කර්ම විපාක වළක්වා ගත හැකි ද? කර්මය මුල් බුදු සමයට අයත් ඉගැන්වීමකි. මිනිස් දිවියට නිරන්තර සබඳතාව ඇති දෙයකි. කර්ම සංකල්පය උපතේ සිට මේ ජීවිතයට පමණක් නොව, ඊළඟ භවයට ද දිවයන්නකි. කර්මය මේ කර්මය සංකල්පය පිළිබඳ ඉගැන්වීම් රැසක් බුදු දහමෙහි සඳහන් වෙයි. කර්මය යනු චේතනාව බව ‘චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි’ යන බුදු වදනෙන් අර්ථවත් වෙයි. මෙය, කර්මය පිළිබඳ මූලික නිර්වචනයකි. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිතේ හට ගන්නා චේතනාව කය, වචන, සිත යන දොරටු තුනින් ක්‍රියාත්මක වීම සම්පූර්ණ කර්මයක් බවයි. එසේ නම් සිතා මතා සිත, කය, වචන තුළින් පරිපූර්ණ කර්ම සිදු වෙයි. නොසිතා කරන ක්‍රියාව සම්පූර්ණ කර්මයක් නොවෙයි. ඒවා අසම්පූර්ණ කර්මයයි. කර්මය, සත්වයාගේ උස් පහත් භේදය, උගත් නූගත් භේදය සඳහා ද බලපාන බව ‘කම්මං සතෙත විභජති යදිදං හීනප්ණනනාය’ යන ඉගැන්වීමෙන් පැහැදිලි කැරෙයි. එසේම කම්ම බන්දු, කම්ම යෝනි, කම්ම පටිසරණෝ යන යෙදුම් වලින් පෙන්වා දෙන්නේ සත්වයා විසින් කරනු ලබන කර්මය තම ඥාතියකු සේ තමන්ට පිළිසරණ වන බවයි. මේ හැරුණු විට එම කර්ම තුළින් ලැබෙන විපාක වලින් සැඟ වී බේරීමට නොහැකි බවද උගන්වා ඇත. න අන්නලිකෙබ නසමුද්දමුජේඣ, න පබ්බතානං විවරං පවිස්ස යනාදී ධම්ම පද ගාථාවෙන් ආහසෙහි, මුහුද මැද හෝ පර්වත විවරයක ආදී කොතැනක හෝ සැඟ වී සිටියත්, කර්ම විපාක පල දෙන බව දේශිතය. මෙය මෙසේ වූවත්, බුදුරදුන් සියල්ල කර්මයට පවරා නැත. පූර්ව කර්මයෙන් සියල්ල සිදුවේය යන මතය, බන්ධනය කරන බුදු දහම කර්මාවාදී හෝ ආත්මවාදී නොවූ දහමක් බව කිව යුතු ය. මැදුම් පිළිවෙත අගය කරන බුදු දහම, පුද්ගල කුසලතාව අගය කරමින් කර්ම විපාක පවා වෙනස් කළ හැකි පිළිවෙත් උගන්වයි. එහෙත් සියලු කර්ම විපාක ක්‍ෂ්ය කළ නො හැකි ය. පෘථග්ජන මිනිසාට, සුළු සුළු කර්ම විපාක වෙනස් කළ හැකි මාර්ග පෙන්වා දී ඇත. අද බොහෝ අය බොහෝ සිද්ධිවලදී කර්මයට වගකීම පවරා පසෙකට වී බලා සිටිති. එසේම කටයුතු ඉබේම ඉටු වනතුරු කර්මය ගැන විශ්වාස තබා සිටිති. ඒ සියල්ල මිථ්‍යා අදහස් බව කිව යුතු ය. මෙලොව සිදු වන විවිධ සිදුවීම් නියාම ධර්ම පහක් අනුව ක්‍රියාත්මක වෙයි. උතු නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය යනු එම නියාම ධර්ම පහයි. මේ ස්වභාව න්‍යාය මුල් වීමෙන් ලොව පැවැත්ම සිදු වෙයි. මේවා ජීවිතවලට ද එලෙසම බලපායි. එසේ නම් සියල්ලම කර්මයට පැවතිය නොහැකි බව පැහැදිලිය. කර්ම ඬයාමය එම පහෙන් එකක් පමණකි. අනෙකුත් නියාම ධර්ම කර්ම විපාක සඳහා ද බලපායි. සෘතු ගුණය නිසා ලෝකයේ කාලගුණික වෙනස්කම් හේතුඵල ලෙස, ස්වභාවිකව සිදු වෙයි. මෙය උතු නියාමයයි. බීජයට අනුරූපව පැලය හට ගනියි. කිසිවකුගේ මැදිහත් වීමක් මේ සඳහා අවශ්‍ය නොවෙයි. මෙය බීජ නියාමයයි. හොඳ, නරක කර්ම වලට හොඳ නරක වශයෙන් විපාක ලැබෙනුයේ ද හේතු ඵල ලෙසයි. මෙය ‘කම්ම’ නියාමයයි. මෙහි ධම්ම නියාමයව භූමි කම්පා, ගිනි, කඳු පිපිරීම්, සුළි සුළං වැනි ස්වාභාවික විපත් ආදිය අයත් වෙයි. ඒවා කරවන කෙනෙක් නැත. සිතෙහි සිදුවන ක්‍රියාකාරීත්වය ද ස්වාභාවික සිදු වන ක්‍රියාදාමයකි. එය චිත්ත නියාමයයි. මෙකී පංච නියාම ධර්ම විවරණයට සමස්ත ලෝකයෙහි භෞතික හා මානසික සියල්ල අයත් වෙයි. කර්ම නියාමයට අයත් වන්නේ මෙම පහෙන් එක් කොටසක් පමණකි. ලොව සියල්ලම කර්මානුරූපව සිදු වෙතැයි පිළිගැනීම් එබැවින් වරදකි. අප ජීවිතයේ සිදු වන සියල්ල හෝ අප කරන සියල්ල අතීත කර්ම හේතුවෙන් ම සිදු වෙතැයි යන අදහස බුදුරදුන් බැහැර කොට ඇත්තේ, එම නිසයි. එහෙත් අප කළ අතීත කර්මවල විපාක අපට නොලැබෙනවා නොවෙයි. එය එසේ වූවත් අප ජීවිතයේ ලොකු කුඩා සෑම සිදුවීමක් පිටුපසම කර්මය තිබෙන බව, බුදු දහම හා පිළි ගනියි. අප කළ කර්ම එලෙස ම විපාක වශයෙන් විඳ දරා ගත යුතු ය. ඒ ගැන වෙන් කළ හැකි දෙයක් නැතැයි සිතීම ද, කර්ම නියාමය වරදවා වටහා ගැනීමකි. වර්තමාන කර්ම වලින් අතීත කර්ම ශක්තිය පාදා ගැනීමට, වෙනස් කර ගැනීමට හෝ ඇතැම් විට නැති කර ගැනීමට ද හැකියාව ඇත. කර්ම ඵලයේ වෙනස්කම් සිදුවීමට කාල සම්පත් බලපායි. යහපත් සශ්‍රීක කාලයක උපත ලදහොත් එය පාප කර්ම වල විපාක අඩු කරයි. නැත්නම් වළක්වයි. ගති සම්පත් නම් ඉතා හොඳ උසස් උපතක් ලබා ගත හොත් එය පාප කර්ම විපාක වැළැක්වීමයි. උපධි සම්පත් නම් රූපයෙන් හෙබි කායික පරිපූර්ණත්වය අතීත අකුසල කර්ම විපාක වෙනසකට හේතු වීමයි. ප්‍රයෝ සම්පත් නම් විවිධ ප්‍රයෝග විධි ක්‍රියා කාරකම් තුළින් ද පුද්ගල අතීත කර්ම විපාක වළක්වා ගත හැකි ය. පාප විපාක මර්දනයට මෙම සම්පත් හතර උපයෝගී වන්නා සේම පුණ්‍ය විපාක වළක්වන ගති විපත්, උපධි විපත්, කාල විපත්, පයෝ විපත් යන විපත්ති සතරක් ද පෙන්වා දී ඇත. මෙයින්ද අපට පැහැදිලි වන්නේ කර්මයේ විපාක ඒ අයුරින්ම සිදු නොවන බවයි. මේ හැරුණු විට කර්ම විපාක වළක්වමේ හැරුණු විට කර්ම විපාක වළක්වා ගත හැකි මාර්ගයකි. පුද්ගල අධිෂ්ඨානය හා උට්ඨාන වීර්යය සිය අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් ගොඩනඟා ගන්නා චිත්ත ශක්තිය, ආත්ම විශ්වාසය මේ සඳහා උපයෝගී වෙයි. අංගුලිමාල, සිය චිත්ත ශක්තිය යොදා සියලු කෙලෙස් නැසූ අතර සියලු කර්ම විපාක ද නැති කරගත් අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් මොනවට පැහැදිලි වෙයි. එයින් ඔහුගේ අකුසල විපාක රැසක් අහෝසි විය. පුද්ගලයා කරන සෑම ක්‍රියාවලියකදීම සම්මා සතිය පිහිටුවා ගන්නේ නම් එයද පාප කර්ම සිදු නොවීමටත්, අතීත කර්ම විපාක වළක්වා ගැනීමටත් හේතුවෙයි. විශේෂයෙන් පුද්ගලයාට බලපා ඇති කර්ම විපාක දුරු කර ගැනීමට ශාන්ති කර්ම ආගමික වතාවත් සිදු කිරීමට ද බෞද්ධයා පෙළඹී ඇත. අද ග්‍රහදෝෂ අපල ලෙස සලකන්නේ ද අප කළ අතීත කර්මයයි. මේවා යටපත් කිරීමට බෝධි පූජා, බුද්ධ පූජා, සෙත් කවි ආදී ආගමික වතාවත් කරති. මේවා ද ඵලදායක පිළිවෙත් ලෙස සැලකිය හැකි ය. මේ සියලු ආගමික කාර්ය තුළින්ම පුද්ගල මානසික සංවර්ධනයක් ගොඩනැඟෙයි. මෙයින් චිත්ත ශක්තිය මෙන්ම ශෝභන චෛතසික සංවර්ධනයක් ඇති කරවිය. ස්වාභාවික පරිසරයෙන්ද යහපත් කිරණ රශ්මියක් ජීවිතයට එක් වෙයි. මෙම අභ්‍යන්තර සහ බාහිර විපර්යාසය තුළින් පාප කර්මය විපාක යටපත් කරගත හැකි ය. එසේම කුසල ශක්තිය මතුකර ගැනීමෙන් අතීත අහිතකර පාප විපාක යටපත් කරගත හැකි ය. පුද්ගලයා විසින් කළ කී හොඳ පුණ්‍ය කර්ම නිතර නිතර සිතීමෙන් චිත්ත ප්‍රමෝදය ප්‍රබෝධයක් ඇති කරවයි. මේ චිත්ත ප්‍රමෝදය කර්ම විපාක දුරුකර ගැනීමට මගක් වෙයි. මේ හැරුණු විට පුද්ගලයා කර්මය හා කර්ම වල විශ්වාසය තුළින් සදාචාර මඟකට යොමු වෙයි. එම ආචාරශීලී දිවි පැවැත්ම කර්ම විපාක වලක්වා ගැනීමට හේතුවෙයි. සත්පුරුෂ ඇසුර හා යහපත් පරිසරයද මේ සඳහා ඉවහල් වෙයි. ඉහත සඳහන් කළ කරුණු අනුව පින්වත් ඔබත් ක්‍රියා කර පාපකර්ම විපාක වලක්වා ගැනීමට උත්සුක වන්න ගුණ දහමින් යුතුව භාවනා යෝගීව සියලු කෙලෙස් ක්ෂය කළහොත් රහත් භාවය ලැබිය හැකි ය. නිවන් ලැබිය හැකි ය. මෙම මඟට පිවිසෙන අයට කර්මයේ කළ කර්ම ක්‍ෂය කළ හැකි නිවන් සුවය සඳහා ඔබට සදහම් මග යෑමට තිසරණ සරණින් ශක්තිය උදාවේවා!
No comments:
Post a Comment