sha fm

    Tuesday 23 July 2013

    මත්තා පේ‍්‍රත වස්තුව

    මත්තා සහ ඇයගේ සැමියා ජීවත් වුනේ සැවත්නුවර යි. ඇය ක්‍රෝධ සහගතයි. ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති කිසිවෙකුට පිහිට වීමට අකැමැති ආඩම්බරකාර තැනැත්තියක්. ඇයට දරුවන් සිටියේ නැහැ. නිතරම ද්වේෂයෙන් ජීවත් වීම ඇගේ ලක්ෂණයක්.
    කාලයකදී තම කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා මත්තාගේ ස්වාමියා තවත් විවාහයක් කරගත්තා. ඔහු බොහෝ නිරහංකාර ශ්‍රද්ධාවන්ත නපුරු සිත් නැති තැනැත්තෙක්. ඔහුගේ දෙවැනි බිරිද වූයේ තිස්සායි. ඇයද ස්වාමියාට බොහෝ පක්ෂපාතියි. පි‍්‍රයශීලියි. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාසම්පන්න විවාහයෙන් පසු ගැබිණියක් වූ ඇය පුතකු බිහි කළා. ඔහු ‘භූත’ නමින් හැඳින්වූවා.
    තිස්සාගේ ගුණ යහපත්කම නිසා ස්වාමියා ඇයට බොහෝ ආදරය කළා. මත්තා මේ දෙදෙනාටම ඊර්ෂ්‍යා කළා. තිස්සාට බොහෝ විට වද හිංසා කළා. කාලයකදී මත්තා දුෂ්ඨ ගතිගුණ සමඟම මරණයට පත්වුණා. දිගහරින අතක් හකුලන වේගයෙන් ඇය පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. දිනක් ඇය තිස්සා වෙත පැමිණ පෙනී සිටියා.
    තිස්සා- ‘ඔබේ ඇ‍ඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉළඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
    මත්තා- ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට එන්න සිදුවුණේ.
    තිස්සා- ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.
    මත්තා- මං ඒ කාලේ හරි නපුරුයි. පරුෂ වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරලා තමයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ.
    තිස්සා- ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නේ මොන කර්මයක් කළ නිසාද?’
    මත්තා- දිනක් ඔබ හොඳට වතුර නාලා හිස සෝදලා හිටියේ. ලස්සනට ඇඳගෙන හිටියා. එතකොට මම කළේ ඔබටත් වඩා ලස්සනට තව තවත් අලංකාර වුණ එකයි. මම බලාගෙන හිටියා. ඔබ ස්වාමියාත් සමග බොහෝ වෙලා කතාබහ කරන හැටි. මට එතකොට පුදුම ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් ඇතිවුණා. මම කළේ පස් ගොඩක් ගෙනැල්ලා ඔබේ ඇඟ පුරාම දැම්මා.
    තිස්සා- ඔබ කියන ඔය දේ හරි. ඔබ ඒ කාලේ පස්වලින් මට දමල ගැහුවා තමයි.ඒත් දැන් ඔබ මුළු ඇඟම කස කසා ඉන්නේ මොන කර්මයක් නිසාද?
    මත්තා- අපි දෙන්නම බෙහෙත් හොයන්න වනාන්තරයට ගියා. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මම අරගෙන ආවේ කහඹිලියා ගෙඩි. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඔබ නිදා ගන්න ඇ‍ෙඳ් මම ඒ කහඹිලියා ගෙඩි විසිරවා දැම්මා. ඒ කර්මයේ විපාකය අනුව තමයි මට මෙහෙම කස කසා ඉන්න වුණේ.
    තිස්සා- ඔය කියන දේ මම දන්නවා.’ ඒත් දැන් ඇයි ඔබ නිරුවස්ත්‍රව ඉන්නේ?
    මත්තා- දවසක් අපේ ගෙදරට යාළුවෝ ඔක්කෝම එකතු වුණා. නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියා එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. මට ආරාධනා ලැබුණේ නැහැ. මම ඔබේ වස්ත්‍රය හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඒ කර්මයේ විපාකය තමයි මම දැන් නිරුවස්ත්‍රව ඉන්නේ.
    තිස්සා- මත්තා ඔබ මගේ වස්ත්‍රය සොරකම් කළ බව මම දන්නවා ඒත් දැන් මම අහන්නේ ඔබ ළඟින් මේ තරම් අසුචි ගඳ ගහන්නේ ඇයි?
    මත්තා- අනේ මම ඔබට අයිති සුවඳ මල්මාලා, සුවඳ විලවුන් වටිනා විලවුන් සියල්ලම එකතු එකරලා වැසිකිලි වලට දැම්මා. ඒක මගේ අතින් සිදුවූ වරදක්. ඒ වරදට තමයි මේතරම් අසුචි ගඳ ගහන්නේ.
    තිස්සා -ඉතින් මොන වගේ දුකට පත්වෙලාද ඉන්නේ? තව මොනවගේ කර්ම කළාද?
    මත්තා- ඒ ගෙදර තිබුණ ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දන් පින්කම් කරන්නට වස්තුව තිබියදී පවා තමන්ට පිහිට පිණිස මම පින්කම් කළේ නැහැ. අන්න ඒ කර්මයට තමයි මම මෙතරම් දුක් විඳින්නේ. ඒ කාලයේ ඔබ කිව්වා ‘ නුඹනම් කරන්නේ පව්මයි. පව් කරලා නම් සුගතියේ උපත ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ’ කියලා’
    තිස්සා- ඔබ මාව සැලකුවේ විරුද්ධකාරියක් ලෙසටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් පෙනෙනවනේ පව්වල විපාකවල තරම. ඔබේ ගෙදර සිටි දාසියන් තමයි දැන් ඔබේ ආභරණ පළඳන්නේ. සැප සම්පත් තාවකාලිකයි. දැන් අපේ ස්වාමියා කඩපිලේ ඉඳල ගෙදර එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම් එතෙක් ඉන්න.
    මත්තා- අනේ මම නිරුවස්තරෙන් ඉන්නේ. මම විරූපියි. කටු ටික විතරයි නහරවැල් පෑදිලා ස්ත්‍රින්ට මේක ලැජ්ජාවට කරුණක්. ඔහුට මාව පෙන්වන්න එපා.
    තිස්සා- එහෙමනම් මම ඔබට මොනවද දෙන්නේ?
    මත්තා- භික්ෂූ සංඝයාගේ සංඝයා ලෙස භික්ෂුන් වහන්සේ හතර නමකුත් ඒ වගේම පෞද්ගලික වශයෙන් භික්ෂුන් වහන්සේ හතර නමකුත් කියන භික්ෂූන් අට නමකට දානයක් පිළිගන්වන්න. ඒ පින මට අනුමෝදන් කරන්න.
    තිස්සා හොඳයි කියලා භික්ෂූන් වහන්සේ අට නමකට දානය පූජා කළා. සිවුරු පිරිකර පූජාකරලා ඒ පින අනුමෝදන් කළා. ඒ පින දීපු සැණින් පුණ්‍ය විපාක පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදිය සැප සම්පත් පහළ වුණා. මේ දානයෙහි ඵලය.
    ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය තම බිරිඳ වන තිස්සා ඉදිරියේ පෙනී සිටියා.
    පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබුලවන ඕසධි තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ මොනවගේ පිනක් නිසාද?
    ඒ කාලේ මගේ නම මත්තා. ඔබ තිස්සා යි. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්ඳෑවරු වෙලා හිටියේ. අනේ මට පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට ආවේ. ඔබ දීපු දානේ නිසා මට දැන් කිසි දෙයකින් භයක් නැහැ. මම සතුටින් ඉන්නේ ඔබලා සැමදෙනාම නෑදෑයින් සමගින් බොහෝ කලක් ජීවත් වෙත්වා! මත්තා ප්‍රාර්ථනා කළා.
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
    සටහන – නයනා නිල්මිණි

    Saturday 20 July 2013

    සිතුල්පව්ව රජමහා විහාරය


    ආගමික වටිනාකමකින් අනූන සිතුල් පව්ව හාත්පස විසිරී පැතිරී ඇති වන ගහණයක් මධ්‍යයේ වන සතුන්ගේ නිජ භූමියක් මෙන්ම අභය භූමියක් වූ යාල වනෝද්‍යානය තුළ පිහිටි අති පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයකි. ඇත්තෙන්ම පුරාතනයේ මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ම සැදි තපෝ වනයකි.
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද වසම තුළ පිහිටි, තිස්සමහාරාමයේ සිට යෝධ කණ්ඩිය දක්වා පැමිණ එතැනින් වමට ඇති මාර්ගයේ කි.මී. 25 1/2 ක් පමණ වනය මැදින් ගමන් කර මෙම ඓතිහාසික පුදබිම වෙතට පිවිසිය හැකි ය. කතරගම සිට ද සිතුල්පව්වට පිවිසිය හැකි මාර්ගයක් ද ඇත.
    මෙම පුරා බිම මහා වංශයේ හඳුන්වා ඇත්තේ ‘චිත්තල පබ්බත’ විහාරය වශයෙනි. සෙල්ලිපි වල සඳහන් වන්නේ ‘චිතල පබත’ යනුවෙනි. එහි අරුත නම් ‘සිත සතුටු කරන පව්ව‘ යන්න යි. ඇත්තෙන්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මෙය සිත් සතුටු කිරීමට හැකි ඉතා ආකර්ශනීය, ස්වභාවික පරිසරය තව තවත් හැඩ වැඩ කරලීමට සමත් ගිරි ලෙන්, දිය කදුරු, සහිත රූස්ස ගස් කොළන් මැද ඉතා සොඳුරු පසුබිමක් මධ්‍යයේ සැකැසී තිබෙ යි.
    මෙවන් සැකැස්මක් නිසාම සිතුල්පව්ව විහාර සංකීර්ණය, වන්දනාකරුවන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද නොමඳ ආකර්ශනයට ලක්වූ පි‍්‍රය උපදවන්නා වූ, වරක් දෙවරක් නොව කිහිප වරක් වුව යාමට සිත පොළඹවන්නා වූ අපූර්වත්වයෙන් ආඩ්‍ය වූ අඩවියකි.
    මන නන්දනීය වූ සිතුල් පව්ව ස්වභාවික භූමි, සැකැස්ම තුළ භූමි බටහිරින් කතරගම කන්දත්, උතුරෙන් හපුතලේ සහ බණ්ඩාරවෙල කඳු වැටිත්, ගිනිකොන දෙසින් පෙනෙන මහ සයුරත්, සයුරේ කුඩා රාවණා සහ කෝට්ටේ ප්‍රදීපාගාරත්, ආකාශචේතිය, මැණික් ගඟ සහ මිනිස් ගල් කන්ද ද මේ මනරම් භූමිය වටව පිහිටා තිබේ.
    මෙහි ඓතිහාසික පසුබිම සොයායෑමේ දී අති දීර්ඝ දුරක් දක්වා පිවිසිය හැකිව තිබේ. එනම් මීට වසර 28,000 කටත් 18, 000 කටත් අතර දීර්ඝ වකවානුවක් දක්වා ප්‍රාග් ඓතිහාසික යුගයක නිමිති ඇති බවට ප්‍රබල සාධක මෙම බිමෙන් සොයාගෙන ඇත. ඒ බව පවසන්නේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ශිරාන් දැරණියගල ශූරීන් ය.
    සිතුල්පව්ව, දෙකුන්දරා වැව, මඟුල් මහා විහාරය උද්ධකන්දර ආදී ස්ථානවල ඇති ගල් ගුහා හා මේ වටා විහිදුණු පරිසරයේ ඇති තවත් ගල් ලෙන් ගණන 400 ද ඉක්මවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ සිතුල්පව් විහාරයේ දොළොස් දහසක් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කළ බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවට භූමියේ පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගල් ලෙන් සියයක් පමණ සොයාගෙන ඇත. සුවිසල් වපසරියක් තුළ වන සොයාගත් සහ තවත් ඝන වනයේ සැඟව ඇති ලෙන් සමූහය පිළිබඳ සිතීමේ දී එවන් විශාල භික්‍ෂු සමූහයක් මේ පිවිතුරු පුදබිම තුළ වැඩ සිටියා යැයි සිතීම අසාධාරණ නොවෙයි.
    කසල වනය සිඳ බිඳ නිකසල පිවිතුරු සිතැති එදා මහරහතන් වහන්සේගෙන් නොඅඩු වූ මෙපින් බිම ධර්මාලෝකය විහිදාලුහ. මාතෘභූමිය සදහම් දීපය ලෙස විරුද ලැබීම වෙනුවෙන් පූජාසනයක් වූ සිතුල්පව්ව රත්නදීපයේ අධ්‍යාත්මය පෝෂණය කළ අමිල නීලරත්නයක්ම ය. මහාවංශය, මෙන්ම පූජාවලියේ ද සඳහන් පරිදි සිතුල්පව් විහාරය කරවන ලද්දේ කාවන්තිස්ස (ක්‍රි.පූ. 2) රජතුමා විසිනි. සිතුල්පව් මහවෙහෙර සිරසේ පිදුම් ලබමින් වැජඹෙනා මහ සිතුල්පව් දාගැබ කරවන ලද්දේ ද කාවන්තිස්ස රජතුමා බව කියැවෙයි. ඉන් මදක් ඔබ්බෙහි තවත් ගිරගත් මත තනා ඇති කුඩා සිතුල්පව් දා ගැබ ද එතුමා විසින් ම කරවන ලද්දකි.
    එමෙන්ම ලාංකේය බිම එක්සේසත් කළ අසහාය දුටුගැමුණු නරේන්ද්‍රයන් සහ සද්ධාතිස්ස කුමාරවරු අධ්‍යාපනය ලැබූවේ මෙහි දී බව ද කියැවෙයි. රාජ්‍ය අනුග්‍රහනයෙන් නොඅඩුව පුද ලද පින්බිම සඳහා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස (ක්‍රි.පූ. 119 – 109 ) වලගම්බා (ක්‍රි.පූ. 103 ) භාතිකකාභය (ක්‍රි.පූ. 22 ක්‍රි.ව. 07 ) වසභ ආදී වූ තවත් රජ දරුවන් දායක වී තිබෙයි. මහා වංශයේ සඳහන් වන පරිදි වසභ රජතුමා විසින් කාවන්තිස්ස රජතුමා කළ ස්තූප වටා පරිවාර ස්තූප දහයක් ඉදි කර ඇත.
    රූස්ස රුක්පෙළ ආවරණය අභිබවමින් නැගී සිටින සිතුල් පව්වේ ඇති පුදුම හිතෙන ගල්කුඩය වටේ කටාරම් කොටා භික්‍ෂූන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් ලෙස නිමවා ඇත්තේ ද මෙම රජ දරුවා ය. සිතා ගැනීමටවත් නොහැකි ටොන් ගණනාවක බරක් ඇති අති දැවැන්ත මහා ගල් කුට්ටියක් තවත් ගල් තලාවක් මත රැඳී ඇත්තේ කුඩා නෙත්තියකිනි. මෙම මහා ගල් කුළ රඳවා තබා ගැනීමට සියුම් නෙත්තියකට හැකි වූයේ මොන සමතුලිතතා න්‍යායකටදැයි කිසිම ජගතකුටවත් සිතා ගැනීමටවත් නොහැකි තරමට ස්වභාව ධර්මයේ න්‍යාය නූතන විද්‍යා තාක්‍ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිසාවද මවිතයට පත්කරවන සුළු ය.
    එදා මහ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කළේ මෙම ගල් කුඩාය යට හීල් හෙවනේ වැඩ වසමින් බව ජනප්‍රවාදයේ කියැවෙයි. දහසක් රහතන් වහන්සේගේ දහසක් පා යුග්මයන්ට දස දහස්වර ස්පර්ශ වූ නිසාදෝ මෙම ගල් කුඩය යට ගල් තලාව පොළවට අල්ලන ටයිල් මතුපිටක් තරමට ඔප මට්ටම් වී ඇති ආකාරය ද ඇදහිය නොහැකි තරම් ය.
    පොළව පළා ඉස්මතු වන කඳු ගැට මත සිත් සනහන සුරම්‍යව ධවල පැහැති වෙහෙර සැදී අසහාය පුදබිම වර්ණයෙන් සුගන්ධයෙන් බබළවයි. නෙක ඉසව් සිසාරා නැගෙන පුරා විදු ස්මාරක මේ බිම තව තවත් අසිරිමත් කරවයි.
    මේ අපේ උදාර වූ මාතෘ භූමියේ වරුණ කියා පානා ලෙන් විහාර, ආවාස ලෙන් උපෝසථඝර, ධර්ම ශාලාව, පධානඝරය, බෝධි ඝරය, ආසන ඝරය, හස්ති ලාංඡන සහිත ශිලාමය වේදිකා, සිතුවම් සහිත මූර්ති, බුද්ධ ප්‍රතිමා ශේෂයන්, මකර රූ සහිත කොරවක් ගල් ආදී එකී නොකී දෑ සහිත අමිල ඓතිහාසික ආගමික සංකේතයන් පුද බිමේ දී දැක හඳුනා ගැනීමට පුළුවන.
    අදත් වැලලී ඇති අතීත උරුම උදානය හෙට දින මේ පුණ්‍ය භූමියෙන් තවත් මතු වනු නොඅනුමාන ය. වලගම්බා රාජ්‍ය සමයේ දී, පැමිණි බැමිණිටියාසායේ දී මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේ සමඟ තිස්සමහාරාම බිමේ වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහ්නසේ කුසට මදක් හෝ අහරක් නොමැතිව කර කොළ වළඳමින් දිවි ගෙවා අවසාන නිමේශයේ දී “එක්ව මියැදෙම්වායි” පෑ අධිෂ්ඨාන බලයෙන් විසි හතර දහසක් මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ දී පිරිනිවන් පෑ බලයෙන් එදා සිතුල්පව්ව පිරිනිවන් මංචකයක් බවට පත් වීය. ඒ ජනප්‍රවාද කතාව ය. එසේ විසිහතර දහසක් රහත් ඵල ලාභීන්ට පරිනිර්වාණය ආසන්නයේම වූ අජරාමර නිවන් සුවය පතා අවසන් නිදි සයනය සෑදුවේ උපේක්‍ෂාවෙන් සියල්ල විඳ දරාගත් මෙ පින් බිම ය.
    විසිහතර දහසක් මහරහත් ඵල ලාභීන්ගේ මහා අධිෂ්ඨාන බලය දහස්වසරක් ගෙවූව ද පහන් සංවේගයෙන් අදත් මෙනෙහි කළ හැකි පරම පිවිතුරු සිතුල්පව් සෙනසුන් බිම වෙත අප පිවිසිය යුත්තේ ඉතිහාසයේ ගමන් මඟ ඔස්සේ ය. වනේ වන සතාටත් අභය දානය ප්‍රදානය කළ අභය භූමිය, මාරයාටත් අභියෝග කරමින් පහන් සිතින් භව මඟ නිමා කිරීමට උර දුන් අජන භූමිය, අපට දැක ගත හැක්කේ එවිට ය.

    බෝදියේ සෙවණ ලබමින් අවබෝදය මගහරින්නේ කිමද?

    ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඓතිහාසික විප්ලවයක් සිදු කළ වර්ෂය ලෙස ක්‍රි.පූ. 236 ඉතිහාසයට එක් වී තිබේ. එකී විප්ලවයේ පළමුවැනි කොටස වූයේ එම වසරේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදුදහම හදුන්වා දෙනු ලැබීමයි. එහි දෙවැනි කොටස වූයේ එම වසරේ උඳුවප් මාසයේ දී සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවනු ලැබීමයි. ඊට සමගාමීව මෙරට භික්ෂුණී ශාසනයද පිහිටුවනු ලැබිණි.
    මෙම විශේෂ සිදුවීම් දෙකටම පුරෝගාමී වූ මහා පුරුෂයන් දෙදෙනෙකි. එවකට ශ්‍රී ලංකාද්වීපයේ රජ කළ දේවානම්පියතිස්ස මහරජතුමා සහ දඹදිව ධර්මාශෝක මහ අධිරාජයා ඔවුහු වෙති. මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයන් දෙදෙනාගේ පුරෝගාමිත්වයෙන් සිදුවූ එම සිදුවීම් පිළිබඳ දීපවංශය, මහාවංශය සහ බෝධිවංශය ආදී ඓතිහාසික ග්‍රන්ථවල මැනැවින් විස්තර කර තිබේ. එමතුදු නොව, මිහින්තලේ, රජගල ආදි ස්ථානවලින් හමු වූ සෙල් ලිපි සහ පුරාවිද්‍යාත්මක තොරතුරු වලිනුත්, දඹදිව සාංචි තොරණේ කැටයම් ආදියෙනුත් මෙම ඓතිහාසික සිදුවීම් වල සත්‍යතාව මැනැවින් තහවුරු වී තිබේ. එබැවින් අපගේ උත්සාහය එකී සිදුවීම් පිළිබඳ නැවත විස්තර කිරීම නොව ඒ හා බැඳුණු සමාජ යථාර්ථයක් අපට හැකි පමණින් විග්‍රහ කිරීම වේ.
    පොදු ජන ව්‍යවහාරයේදී ‘බෝ’ හෙවත් ‘බෝධි’ යනුවෙන් හැඳින්වුව ද මෙම වෘක්ෂයේ නාමය එය නොවේ. ‘අශ්වත්ථ” හෙවත් ‘ඇසතු’ ය. එය බෝ හෙවත් බෝධි යන නාමයෙන් ප්‍රකට වීම ඇරැඹුණේ සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධගයාවේ නේරංජනා නදිය අසබඩ වූ ඇසතු වෘක්ෂය පාමුල, ඊට පිට දී වැඩහිඳිමින් සම්මා සම්බෝධිය අවබෝධ කිරීම හේතුවෙනි.
    බුද්ධත්වය, සර්වඥතාඥානය, සහ ආර්යසත්‍යඥානය වැනි නම්වලින් මිනිස් මනැසක ඉතා පරිණත අවස්ථාව හැඳින්වේ. එය බුද්ධි විකාශයේ අතිශය ඉහළම තත්ත්වයයි. ‘බෝධි’ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ එයයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ මෙම අවස්ථාවේදීය. උන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍ර‍්‍රයේදීම චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක.
    දුක්ඛ සත්‍යය (දුක)
    සමුදය සත්‍යය (දුක ඇතිවීමට හේතුව)
    නිරෝධ සත්‍යය (දුකින් මිදීම) සහ
    මාර්ග සත්‍යය (දුකින් මිදීමේ මාර්ගය)
    යනු එම ආර්ය සත්‍ය සතරයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ දුකින් මිදීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සවිස්තරව පෙන්වා දුන් සේක. බුදුදහමේ හදවත ලෙස, මෙම චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැඳින්වේ.
    මේ අනුව බලන විට ‘බෝධිය’ යනු බෞද්ධයාට තවදුරටත් වෘක්ෂයක් පමණක් නොවේ.බෝධි වන්දනය යනු වෘක්ෂ වන්දනයක්ද නොවේ. ඊට වඩා බොහෝ ගැඹුරු අරුත් ඇත්තකි. සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ බෝධිය හෙවත් බුද්ධත්වය ලැබීම පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරූහ. උන්වහන්සේ මේ තරම් කැපකිරීම් කරමින් බෝධිය අවබෝධ කරගැනීමට වෙහෙසුණේ ඇයි? පිළිතුර ඉතා පැහැදිලි වූවකි. ලෝක සත්වයා තෙරක් නොපෙනෙන සංසාරයේ භවයකින් භවයකට ගමන් කරමින් අනන්ත අප්‍රමාණ ලෙසදුක් විඳින බව සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ සිය නුවණින් දුටහ. මේ බියකරු සසරෙන් මිදෙන මාර්ගයක් ඉන් පෙර ලෝකයේ කිසිවෙකු හෝ දැන නොසිටියේය. එහි අරුත නම් සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙමින් සම්‍යක් දෘෂ්ඨිය හෙවත් නිවැරැදි මාර්ගය දකින තුරු මුළු ලෝකයම අවිද්‍යාවේ හෙවත් මිථ්‍යාදෘෂ්ඨීයේ ගිලී තිබීමයි.
    බුදුරජාණන් වහන්සේගේ දහම, එතෙක් ලොවෙහි වූ සියලු මිථ්‍යා දෘෂ්ඨින්ගෙන් වෙනස් වන වැදගත් කරුණු රැසකි. එයින් කරුණූ දෙකක් දක්වනු කැමැත්තෙමි. බුදුදහම ඍජුවම ආත්මවාදය බැහැර කරයි. එමෙන්ම මිනිසාට ස්වච්ඡන්දතාව තිබෙන බව පිළිගනී. අනාත්මවාදී වූද මිනිසාගේ ස්වච්ඡන්දතාව පිළිගනු ලබන්නා වූ ද ලෝකයේ එකම දහම බුදුදහම පමණකි.
    පාලි ‘අත්ථ’ යන පදයේ අර්ථය ‘නැති නොවනසුළු’, ‘වෙනස් නොවන සුළු’ යන්නයි. මිනිසා තුළ ඇති නැති නොවන සුළු වෙනස් නොවනසුළු දෙය ආත්ම වශයෙන් විශ්වාස කෙරිණි. ඇතැම් ආගම්වලට අනුව ජාතියෙන් ජාතියට ගමන් කරන්නේ ආත්මයයි.
    සියලු කුසල හෝ අකුසල කර්මවල විපාක ලෙස වර හෝ දණ්ඩන හෝ ලබන්නේ මිනිසා තුළ ඇති ආත්මයයි. මෙම දර්ශනය ආත්මවාදය යනුවෙන් හැඳින්වේ. බුදුදහම මේ බරපතළ මිථ්‍යාව බැහැර කරයි.ආත්මය යනු බරපතළ මිථ්‍යා විශ්වාසයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. බුදුදහම අනාත්මවාදි දහමක් වන්නේ එබැවිනි.
    ‘ස්වච්ඡන්දතාව’ යනු මිනිසාගේ වගකීම් මිනිසාටම ඇති බව පිළිගැනීමකි. ඒ අනුව බුදුදහම මිනිසාගේ් ස්වච්ඡන්දතාව පිළිගනිමින් මිනිසා පිළිබඳ පූර්ණ වගකීම ඇත්තේ මිනිසාටම බව පැහැදිලිවම දක්වයි. පුද්ගලයා කරන කුසලා කුසල කර්මවල ප්‍රතිඵල ඔහුම විඳිය යුතුය. නිවැරැදි මාර්ගයක ගමන් කරන්නේ නම් බුද්ධත්වයට පත්වීමට ඔහුට හැකිවේ. ධම්මපදයේ අත්ථ වග්ගයෙහි එන පහත සඳහන් ගාථාව ඊට මනා නිදසුනකි.
    අත්තාහි අත්තනෝ නාථෝ
    කෝ හි නාථො පරෝ සියා
    අත්තනා’ ව සුදන්තේන
    නාථං ලභති දුල්ලභං
    තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනු මේ ගාථාවේ අර්ථයයි.
    මේ ආකාරයට විමසා බලන විට සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බෝධිය සෙවණේදී සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නා තෙක්ම මෙලොව සත්වයා විසුවේ අවිද්‍යා ඝන අන්ධකාරයේය. ඔවුහු විවිධාකාර වූ මිථ්‍යා දෘෂ්ඨිවල ගිලී අප්‍රමාණ දුකට පාත්‍රව සිටියෝය. සැනසීම පතා විවිධ බාහිර බලවේගවල පිහිට පැතූ®හ. මෙම දුක්ඛදායක තත්ත්වය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මෙලෙසිනි.
    බියෙන් තැතිගත් මනුෂ්‍යයා පර්වත, කැලෑ, ආරාම, ගස් හා චෛත්‍ය යන මේ දේ බොහෝ සෙයින් සරණ කොට ගනී.
    මේ අකාරයට තමාට පාලනය කළ නොහැකි ස්වභාවික වස්තු හා සංසිද්ධීන් දේවත්වයට පත් කරමින්ද තමාගේ වගකීම් තමා නොගනිමින්ද තමාට බැහැරින් වු බලවේගයකට පවරමින්ද මිනිසා දුකින් දුකට පත් වූයේ මෙම මිථ්‍යා දෘෂ්ඨියේ ගිලී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.
    මේ කිසිවක් සරණ යෑම බියෙන් මිදීමට උපකාර නොවේ. එය උතුම් සරණ ද නොවේ..මේ කිසිදු සරණකින් මිනිසා දුකින් නොමිදේ. එය කළ හැකි වන්නේ තිසරණ සරණ යමින්, චතුරාර්ය සත්‍යය සිහිනුවණින් දැකීමෙනි. සම්මා දිට්ඨිය ලබා ගැනීමෙනි.
    මේ සරණම බිය රහිතය. මේ සරණම උතුම්ය. මේ (තිසරණ) සරණට පැමිණ සියලු දුකින් මිදේ. මේ බුද්ධ වචනයයි. අපට මෙයින් වටහාගත හැක්කේ කුමක්ද?
    මිථ්‍යා දෘෂ්ඨීයේ ගිලී සිටි ජනතාවට බුදුරජාණන් වහන්සේ සම්මා දෘෂ්ඨිය පෙන්වා දුන් බවයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට නිර්මල බුදුදහම හඳුන්වා දෙනතුරු මේ දේශයේ වූයේද මිථ්‍යා දෘෂ්ඨියම වේ.ප්‍රාග් බෞද්ධ ඇදහිලි සහ විශ්වාස විමර්ශනය කරන විට මේ වග පැහැදිලි වේ. යක්ෂ වන්දනය, වෘක්ෂ වන්දනය, මළවුන් පිදීම සහ බ්‍රාහ්මණාගම වැනි විවිධාකාර ඇදහීම් මෙරට තිබූ බව වංශකතා හා පුරාවිද්‍යා සාධකවලින් හෙළිවේ.මේ ඇතැමෙක් දඹදිවෙන් මෙහි ලැබුණු ඒවා වන අතර තවත් කොටසක් මෙහි තිබූ ඒවා වේ. ඒ සියල්ල ස්වච්ඡන්දතාව නොතිබීම සහ ආත්මවාදිවීම යන කරුණු මුල් කරගත් ඒවා බව පෙනේ.
    මහින්දාගමනයෙන් එතෙක් මේ දේශයෙහි වූ මිථ්‍යාදෘෂ්ඨිය නිමා වී ශ්‍රී ලාංකිකයන්ට සම්මා දෘෂ්ඨියේ ආලෝකය වැටුණේය. එය මේ දෙරණ මත ස්ථිරසාරව මුල් බැස ගත්තේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කිරීමත් සමඟිනි.එතෙක් වෘක්ෂ වන්දනය කළ සිංහලයන්ට බෝධි වන්දනය හුදු වෘක්ෂ වන්දනයක් නොවිණ. එය බෝධිය හෙවත් බුද්ධ වන්දනයක් විය. එය ඉතා ගැඹූරු අරුත් නංවන්නකි. අතීත සිංහලයෝ බෝධිය වන්දනය කරමින් සිය ජීවිතයේ විවිධ පිරිපතවලට පිහිටක් පැතීමේ සරල ලාමක තත්ත්වයේ නොසිටියහ. එය එසේ වූයේ එහි යථාර්ථය ඔවුන් නිවැරදිව වටහා ගෙන සිටි නිසාය. ඔවුහු බෝධිය අවබෝධ කර ගැනීමේ නිවැරැදි මාර්ගයට අවතීර්ණවීමේ අතිශය වැදගත් දොරටුවක් ලෙස බෝධි වන්දනය යොදා ගත්හ. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙමින් අනාත්මතාව අවබෝධ කර ගනිමින් තමන් සතු ස්වච්ඡන්දතාව වටහා ගනිමින් බුදුන් වහන්සේ පෑ මඟ යමින් සිය විමුක්තිය උදාකර ගැනීමට අනලස්ව කටයුතු කළහ. ධාතුසේන රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් පවත්වා බුදු බව ප්‍රාර්ථනා කළ බැව් වංශ කතාවල දැක්වේ.
    එසේ වූ අර්ථ සම්පන්න අතීතයක් හිමිව සිටි අප එයින් වසර දහස් ගණනකට පසුව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ කවර තත්ත්වයකටද? වර්තමානයේ පුවත්පත් වැනි ජනමාධ්‍යවල පිටු ගණන් පිරී ඇත්තේ විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි ගුප්ත බලවේගවල පිළිසරණ ලබා දිය හැකි බව පැවසෙන දැන්වීම් වලිනි. නිරන්තරයෙන් දැකගත හැක්කේ ස්වච්ඡන්දතාව පසෙක දමා විවිධ බලවේග පසුපස පිහිට පතා යන ජනතාවකි. බෞද්ධයන්ගේ සම්මා දෘෂ්ඨිය මේ ආකාරයට පිරිහී යෑම ඉතා කනගාටුදායකය. ලෝකයේ එකම අනාත්මවාදි දහමේ ශ්‍රාවකයන් මෙසේ ආත්මවාදි ගමනකට ප්‍රවිශ්ඨ වී සිටීම යළි යළිත් විමසා බැලිය යුතු බරපතළ කාරණාවකි.ලොව්තුරා බුද්ධත්වය ලැබිය හැක්කේ මිනිසාටම පමණක් බව පැහැදිලිවම පෙන්වා දුන් දහමක ශ්‍රාවකයන් එය පසෙක දමා නොපෙනෙන දෙවියන්, භූ®තයින් පසු පස අන්ධයන්, වහලුන් සේ යමින් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කිරීම ඛේදවාචකයකි. අරුත්සුන් උත්සාහයකි. එය මකුළුදැලේ පැටලුණු සතා දඟලන විට තව තවත් එහිම පැටලී විනාශ වී යෑම වැන්නකි.

    Sunday 14 July 2013

    ථෙරවාදි බුදුදහමේ ඉහළම නිදහසක් තියෙනවා



    දහම්සෙවන සිඟිත්තෝ 
    ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ
    සුදුහුම්පොළ විමලසාර හිමි
    මිය ගියාට පසු ඔහුගේ භෂ්මාවශේෂ විහාරස්ථාන භූමියෙහි තැන්පත් කරනවා. එහිදී විහාරස්ථානයට පුණ්‍යාධාර ලබාදෙනවා. මිය ගිය පුද්ගලයා රාජ්‍ය සේවකයෙක් නම් ඇතැම්විට ඔහුගේ විශ්‍රාම වැටුප පවා විහාරස්ථානයට හරවනවා. මාස් පතා හෝ අවුරුදු පතා විහාරස්ථානයට යම් මුදලක් පරිත්‍යාග කරනවා. මේ නිසා බුදුදහමේ උන්නතියට නැත්නම් විහාරස්ථානයේ සංවර්ධනයට අමුතුවෙන් බර පැන දැරීමට අවශ්‍ය නැහැ
    බුදුරජාණන් වහන්සේ අපට ලබාදුන් පළමු ආදර්ශය කළගුණ සැලකීමයි. උන්වහන්සේ තරම් අන්‍යයන් ගැන සොයා බලා කටයුතු කළ කිසිම ශාස්තෘන් වහන්සේ නමක් ලොව මෙතෙක් පහළ වී නැහැ. ඒ නිසාම එවකට භාරතයේ අන්‍යආගමික නායකයන්ගේ පැසසුමට පවා උන්වහන්සේ ලක්වුණා. එපමණක් නෙමෙයි අන්‍ය ආගමික න්‍යායාචාර්යවරුන් බුදු දහම වැළද ගත්තේ තම විශාල පිරිස් ද සමඟින්.
    පිරිනිවන් පාන අවස්ථාව දක්වාම උන්වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස කටයුතු කළා.
    උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ධර්මය වරින්වර විවිධ වෙනස්වීම් වලට ලක් වුණා. විශේෂයෙන්ම ධර්ම සංගායනා මෙහිදී විශේෂයෙන් ඉවහල් වුණා. මහායාන හා හීනයාන වශයෙන් බුදු දහමේ නිකාය වෙන්වීමක් ඇතිවුණේ ඒ ඇසුරින්.
    ජපානය, කොරියාව, චීනය, භූතානය වගේ රටවල මහායාන දහමත්, ශ්‍රී ලංකව, තායිලන්තය, මියැන්මාරය වැනි රටවල ථෙරවාදි දහමත් වර්ධනය වුණා.
    නිවන් දැකීමේ අරමුණ තිබුණත්, අනිත් හැම රටකම බුදුදහම නැංවීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් තියෙනවා. අපේ රටේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ථෙරවාදි බුදු දහමේ ඉහළම නිදහසක් තිබෙනවා. මට පේන විදියට අප ඒ නිදහස අයුතු ලෙසින් භාවිතා කරනව වගෙයි. පිටතින් ඉඳල බලන විටයි ඒ බව හොඳින්ම පේන්නෙ.
    සැලසුම් සහගත නායකත්ව වැඩපිළිවෙළක් ග්‍රාමීය මට්ටම දක්වාම ක්‍රියාත්මක කරන්න ඕන. ජපානය දෙස බැලීමේදී අපට හොඳින්ම පේනවා මෙරටට වඩා නිකායන් රැසක්ම ජපානයේ තිබෙන බව.
    ඒත් ඒ හැම නිකායකම නිවැරැදිව අනුගමනය කරන ව්‍යවස්ථාවක් ප්‍රතිපත්තියක් තියෙනවා. අද පැවිදි පාර්ශ්වයට ඇතුළු වුණ අයෙක් වුනත් ඒ සියල්ලටම ගරු කරමින් ඒ අනුව කටයුතු කරනවා. බුදු දහම අනෙක් රටවල ඉහළ මට්ටමින් දියුණු වී ඇත්තේත් අප රටේ තවමත් දියුණුවන මට්ටමේ ඇත්තේත් අප ඇත්ත නිවැරැදිව දැක ඊට මුහුණ නොදෙන නිසයි. මේ නිසා ඇතැම් විට ග්‍රාමීය මට්ටමින් භික්‍ෂූන් වහන්සේ අසරණ වී තිබෙනවා. ඇතැම්විට ග්‍රාමීය මට්ටමේ භික්ෂූන් වහන්සේගේ ගැටලු විසඳා ගන්න අපහසු වනවා. මේ නිසා ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ග්‍රාමීය විහාරස්ථාන අඩපණ වනවා. එවන් අවස්ථාවල එම භික්ෂූන් වහන්සේ ඡ්‍යොතිෂය වැනි දේට යොමු වනවා. සෙත් කවි, බලි තොවිල් ආදියටත් යොමුවනවා. එතැනින් විහාරස්ථාන ව්‍යපාර මට්ටමට පත්වනවා. මේ තත්වය ඇතැම් විට නාගරිකවත් දක්නට තිබෙන බව ඇත්ත . එහෙත් පොදුවේ සලකා බැලු විට අපට පෙනී යන්නේ එක් එක් විහාරස්ථානවලට වෙන් වෙන් වශයෙන් සකසා ගත් ක්‍රමවේද තිබෙන බවයි. එය වෙනස් විය යුතුයි. අපට ස්ථීර වැඩපිළිවෙළක් බුදුදහමේ දියුණුවට තිබිය යුතුයි.
    මහායාන බුදු දහමේ ආරම්භකයන් ඉතාම කල්පනාකාරිව දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. එමඟින් එම රටවල බුදුදහමත් විහාරස්ථාන මෙන්ම භික්‍ෂූන් වහන්සේ සුරැකීමට කටයුතු යෙදී තිබෙනවා.
    ජපන් බෞද්ධයන්ගේ දරුවන්ට නම් ලබා දෙන්නේ පන්සලෙන්, පන්සල අයත් නිකාය ඒ දරුවාගේ වාසගම බවට පත්වනවා. ඒ තැනැත්තා මිය යන තුරුම පන්සල හා සම්බන්ධව කටයුතු කරනවා.
    මිය ගියාට පසු ඔහුගේ භෂ්මාවශේෂ විහාරස්ථාන භූමියෙහි තැන්පත් කරනවා. එහිදී විහාරස්ථානයට පුණ්‍යාධාර ලබාදෙනවා. මිය ගිය පුද්ගලයා රාජ්‍ය සේවකයෙක් නම් ඇතැම්විට ඔහුගේ විශ්‍රාම වැටුප පවා විහාරස්ථානයට හරවනවා. මාස් පතා හෝ අවුරුදු පතා විහාරස්ථානයට යම් මුදලක් පරිත්‍යාග කරනවා .මේ නිසා බුදුදහමේ උන්නතියට නැත්නම් විහාරස්ථානයේ සංවර්ධනයට අමුතුවෙන් බර පැන දැරීමට අවශ්‍ය නැහැ.
    අපේ රටේ බෞද්ධයන් නගා සිටුවීමටත් විහාරස්ථාන ගොඩනැංවීමටත් නිසි වැඩ පිළිවෙළක් ආරම්භ විය යුතුයි. එසේ නිවැරැදි වැඩපිළිවෙළක් නොමැති නිසයි අපේ ස්වාමීන් වහන්සේ සෙත් කවි, බලිතොවිල් වගේම ඡ්‍යොතිෂ වැඩවලට යොමුවන්නේ. ඇතැම් හිමිවරුන් විවිධ ව්‍යාපාරවලටත් යොමු වෙලා. මෙය සැබැවින්ම කනගාටුදායකයි.මේ නිසා බුදුදහම නැංවීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් අවශ්‍ය වෙනවා.
    භික්‍ෂූන් වහන්සේ මෙන්ම දසසිල් මාතාවන්ගේ අධ්‍යාපනය නැංවිය හැකි ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුවනවා. භික්ෂුන් වහන්සේ ගතින් මහණ කළාට සිතින් මහණ කර නැහැ.
    අපට උරුම අපේ ගමේ සංස්කෘතියට අප යළි යොමු විය යුතුවනවා.
    අද බොහෝ දුරට චරිත වශයෙන් කැපී පෙනෙන තත්ත්වයක් මිස දහමට අනුව නිසි පරිදි හැඩ ගැසීමේ ක්‍රමවේදයක් දක්නට නැහැ. ධර්මදේශනා සඳහා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේට ආරාධනා නොකර බාහිර ස්වාමින් වහන්සේ වඩමවන්නේ සප්ත අපරහානීය ධර්මවල දැක්වෙන තම ප්‍රදේශයන්ට නොපැමිණි පූජ්‍ය උතුමන් ගෙන්වා ගැනීමේ අරමුණින් නෙමෙයි. පුද්ගල චරිතයන්ට අපි වැඩි තැනක් ලබාදී ඇති නිසයි.
    ගිහි පැවිදි දෙපාර්ශ්වයම අපේ දහම රැක ගන්න කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ ‘’චක්ඛූං උදපාදි , ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යන්නයි. මට ප්‍රඥාව පහළ වුණා ආලෝකය දැනුණ යන්නයි.
    ඒ කාර්යය සිදු කිරීමට අපේ භික්ෂූන් වහන්සේ ඇප කැපවී කටයුතු කළ යුතුවනවා.
    ‘ආරඤ්ඤ ගතො රුක්ඛ මූලගතො
    සුඤ්ඤගාත ගතො යනුවෙන් භික්ෂූන් වහන්ස කැපවිය යුතු අකාරය බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
    ඒ උදෙසා භික්ෂූන් වහන්සේ ඇප කැපවී කටයුතු කළ යුතුවනවා. ගිහියා නිසි පරිදි ධනයෙන්, පිරිසුදු මනසකින් නිරෝගීව සිටියහොත් පමණයි භික්ෂූන් වහන්සේට ඇප උපස්ථාන කළ හැක්කේ. එම නිසා නිරන්තරයෙන්ම මේ දෙපාර්ශ්වය අතර අවබෝධයක් තිබීම වැදගත් වනවා.අද විහාරස්ථානවල අඩුපාඩු සපුරා ගන්නට දායකයට වැඩි බරක් පැටවෙනවා. ඒ තත්ත්වය උදා වී ඇත්තේ අනෙක් රටවල මෙන් අපේ විහාරස්ථාන සියල්ල එකම ජාලයක නොපිහිටි නිසයි. අඩුතැනින් වැඩිතැනට මෙන්ම වැඩි තැනින් අඩුතැනට ගලා යා යුතුදේ තිබෙනවා. එහෙත් අපේ රටේ බුදුදහමේ එවැන්නක් නැහැ. එවැනි ක්‍රමවේදයක් හැදෙන තුරු අපේ බුදුදහමට එල්ල වන අකටයුතු නැවැත්වීම අසීරු වනවා.
    සාකච්ඡා කළේ
    තාරක වික්‍රමසේකර

    හොදි රසය නොදන්නා හැන්ද වැනි මිනිස්ස



    මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
    හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි. අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා.
    සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණදහම් අසා පැහැදී ආර්ය මාර්ගයට පිවිසුණා. සිව්වනක් පිරිස යනු භික්‍ෂු,භීක්‍ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස වේ.මෙම කතාවේ මූලිකත්වය දරන්නේ බුද්ධ ශාසනයේ භික්‍ෂූ සමාජය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කළ උදායි හාමුදුරුවන් පිළිබඳවයි.උදායි හාමුදුරුවෝ යහපත් මනා පෙනුමක් ඇති ශරීරය අඟ පසඟ මැනවින් පිහිටි දුටුවන්ගේ සිත් එකවර ඇදී යන මනා ශරීර ස්වභාවයක් තිබූ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරය තුළ තිබුණ මෙම පෙනුම නිසාම උදායි හාමුදුරුවන්ට පැහැදුණු පිරිස විශාලයි.
    උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත්ව භික්‍ෂූත්වයට නැඹුරුවූ තරුණ තරුණියන් ප්‍රමාණයත් විශාලයි.එසේ වීමට හේතුව වූයේ උදායි හාමුදුරුවෝ මනා පෙනුමකින් යුතු ශරීරය ස්වභාවයිත් යුත් තත්වයක් තිබූ නිසා. උන්වහන්සේ ලස්සන ශරීර ස්වභාවයෙන් තිබූ කෙනෙක් වුණත් උදායි හාමුදුරුවෝ දැනුම ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුවීමට අපොහොසත් වුණා. බණ දහම් වුණත් නිසි අයුරින් පැහැදිලි කර දීමේ ව්‍යක්ත බවක් උන්වහන්සේ සතුවූයේ නැහැ. ප්‍රඥාව නැති නිසා ධර්මය පිළිබඳ වැටහීමද බොහොම අඩුයි. උදායි හාමුදුරුවන් ගේ ශරීරය ස්වභාවය දියුණුවෙන කොට මානසික ප්‍රඥාව තිබුණෙ අඩුවෙන්. කෙනෙක් එකවර දකින කොට ඒ දකින දැක්මෙන් කෙනෙකුගෙ ප්‍රඥාව , දැනුම,අවබෝධය,තෝරාබේරා ගන්න අමාරුයි. නමුත් ශරීර ස්වභාවයේ හැඩරුව දැන හඳුනගන්න එතරම් අමාරු නැහැ. උදායි හාමුදුරුවෝ තුළ මෙම පිහිටීම් ස්වභාවයන් නිසාම උන්වහන්සේ සමාජය තුළ ලැබූ ජනපි‍්‍රයත්වය ද වැඩියි. පන්සලට එන කෙනෙක් උදායි හාමුදුරුවන් දකින කොට එකවර උන්වහන්සේ කෙරෙහි හිත ඇදී යනවා.
    උන්වහන්සේගෙන් බණ දහම් අහන්නත් හිතෙනවා. පිරිස මේ වගේ වැඩිවෙන කොට, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වැඩි වෙනකොට, තමන්ගේ දැනුමේ අඩුපාඩු උදායි හාමුදුරුවන්ට දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ප්‍රඥාවේ අඩුපාඩු කම උන්වන්සේට දැනෙන්න වුණා. තමන්ට ධර්ම දැනුම අඩුයිනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. එහෙම වුණත් දැන් බණදහම් ඉගෙනගන්න තරම් කාලයක් නැහැ. ඒ කාර්යය බහුල නිසා. සමාජයට තමනුත් දන්න කෙනෙක්ය කියක කරුණ පෙන්වීමට ඕනෑ යැයි සිතිවිල්ලක් උදායි හාමුදුරුවන්ට ඇතිවුනා.උන්වහන්සේ, මමත් බණදන්න කෙනෙක්. මටත් බණ හොඳීන් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතාගෙන යනකොට උන්වහන්සේ වටහා ගත්තා මටත් බණ දහම් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා. එක දවසක් උදායි හාමුදුරුවො බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන දහම් සභාවේ මූලිකත්වය දරන ආසනයක වාඩිවෙලා උජාරු ලීලාවෙන් තමනුත් බණ දහම් දන්න කෙනෙක්ය කියා අනෙක් අයට පෙන්වීම සඳහා වාඩිවෙලා හිටියා. ඈත දුර බැහැර ඉඳල බුදුහාමුදුරුවෝ දකින්න පන්සලට ආවා. ධර්මය දන්න ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උදායි හාමුදුරුවො ළඟට ගිහිල්ල ධර්මය ගැන කතා කළා. බුදුහාමුදුරුවී දේශනා කළ විනය හොඳීන් දන්න හාමුදුරුවන් වහන්සේලාට කියන්නේ විනයධර භික්‍ෂූන්වහන්සේ කියලා. දුරබැහැර ප්‍රදේශවලින් වැඩම කළ විනයධර භික්‍ෂූන්වහන්සේලා උදායි හාමුදුරුවන්ගෙන් විනය පිළිබඳ කරුණු විමසුවා. උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කිරීමේ අදහසින් එහෙම කළා නොවෙයි. උදායි හාමුදුරුවන් හිටිය ලීලාවෙන් උන්වහන්සේ හිතුවා උදායි හාමුදුරුවන් ධර්මධර භික්‍ෂූන්වහන්සේ නමක්ය කියලා. විනයධර,භික්‍ෂූන් වහන්සේ නමක්ය කියලා. එසේ හිතලයි උන්වහන්සේගෙන් මේවගේ ප්‍රශ්න ඇසුවේ.
    කිසි විටකත් උන්වහන්සේ හෑල්ලුවට ලක්කිරීමේ අදහසින් නොවෙයි. එහෙම වුණත් උත්තර දීගන්න බැරිවුනහම දැනුම අඩු බව වැටුහුණු විට උදායි හාමුදුරුවන් ගැන අනෙක් හාමුදුරුවරු හරියට දුක්වුණා. කළකිරුණා. කම්පාවට පත්වුණා. ඒකට හේතුව තමයි, බුදුරජාණන්වහන්සේ ළඟ වැඩ හිඳගෙන ජේතවනාරාමය ඇසුරු නිසරු කරමින් මහා දැන උගත් පඬිවරුන්ගේ සෙවණේ ඉඳගෙන මේ හාමුදුරුවො මේ තරම් මෝඩ කෙනෙක් බවට පත්වුණේ ඇයි? කියලා. ශරීර ස්වභාවය මනාව තිබුණත්, ප්‍රඥාවෙන් හිස්, ප්‍රඥාවෙන් හීන මේ වගේ කෙනෙක් මෙහෙම වුණේ කොහාමද? කියලා ඈත දුර බැහැර සිට පන්සලට වැඩම කළ හාමුදුරුවරු උදායි හාමුදුරුවො ගැන දුක් වුණා.
    උන්වහන්සේලා උදායි හාමුදුරුවෝ ගැන දුක්වුණා විතරක් නොවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙනුත් විමසුවා. බුදුහාමුදුරුවනේ,ඔබ වහන්සේ නිතර නිතර දැක දැක ඔබ වහන්සේගේ උතුම් බණ නිතර නිතර අසා ඔබ වහන්සේගේ සෙවණෙහිමත් වැඩෙන,මෙම උදායි හාමුදුරුවෝ මොනවත් ඉගෙන නොගන්නේ ඇයි? ස්වාමීනි! බුදුපියාණන් වහන්ස, ඒ පිළිබඳ කියලා දෙන්න.උනන්දුවක් නැද්ද කියලා. “ ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් වහන්සේ අරභයා පෙර ඇසූ ප්‍රශ්නය මාතෘකා කරගෙන කරුණු කාරණා කිහිපයක් දේශනා කළා.
    යාව ජීවන්ති චෙ බාලෝ
    පණ්ඩිතං පයිරු පාසතී
    න සෝ ධම්මං විජානාති
    ධම්හිී සූපරසං යථා
    මෙම බණ පදය තුළ ආදර්ශවත් උපමාවක් දක්වල තියෙනවා. හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි.අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා. උදායි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියේ බුද්ධ කාලයේ උදායි හාමුදුරුවො වගේ අය අද කාලේ වුවත්, පැවිදි දම් පුරන අය අතර ඉන්න පුළුවන්. ඒ වගේ උදායි හාමුදුරුවන්ගේ හැඩරුව ගත් ගිහි අය වුවත් අපේ සමාජයේ ඕනතරම් ඉන්න පුළුවන්. පන්සලට යනවා.පන්සලට ගිහින් පින් දහම් කරන්නේ නැතිව වෙන වෙන වැඩ කරනවා. හාමුදුරුවන් සමඟ සාකච්ඡා කරනවා. හාමුදුරු කෙනෙක් සමග කතා කිරීමට අවශ්‍ය බණ දහම් ගැන සහ තමන්ගේ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය කරගන්න ආකාරය පිළිබඳවයි. නමුත් ඒවා කතාකරන්නේ නැතිව අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒවගේම පන්සිල් රකිනවාය කියලා පෙන්වමින් හොර රහසේම පන්සිල් කඩනවා. මෙන්න මේ වගේ ගිහි අය අපේ සමාජයේ ජීවත්වෙනවා. ඒ ගිහි අය මොන වගේද කියලා ඇහුවොත් බුදු බණට අනුව අපිට කියන්න වෙන්නේ හොද්දෙම බැහැල ඉන්න හොදි රසය දන්නේ නැති හැන්ද වගේය කියලා.

    නිරෝගී ජීවිතයකට සදහම් සිසිලස



    ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ 
    බෞද්ධ සංගමයේ ගිහි අනුශාසක
    වෛද්‍ය ආර්.එම්. ගාමිණි රත්නායක
    වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල භූමියේ ඉදිකර ඇති විහාරස්ථානය සහ එහි වැඩ හිඳින බෝධීන් වහන්සේ ශත වර්ෂයකටත් අධික ඉතිහාසයකට හිමිකම් කියයි. 1962 වසරේ දී විහාරය නවීකරණය කරන ලද අතර ඉන්පසු කාලයත් සමඟ යළි ගරාවැටෙමින් පැවැතිණි.
    පසුව, මෙම රෝහලේ බෞද්ධ සංගමයේ පැවිදි අනුශාසක ධුරයට පත්වූ ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාම විහාරාධිකාරී අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ වසර විසි පහකට අධික කාලයක් තිස්සේ මෙම රෝහලට ඉමහත් සේවයක් ඉටුකරමින් සිටිති.
    නව නිලධාරී මණ්ඩලයක් යටතේ වසර 2009 දී බෞද්ධ සංගමය ක්‍රියාකාරී වූ අතර බාහිර රෝගී අංශය ඉදිරිපිට ඇති බෞද්ධ මන්දිරය සම්පූර්ණයෙන් නවීකරණය කරන ලදී. පැරැණි බෝධි ප්‍රාකාරය වෙනුවට අටවිසි බුද්ධප්‍රතිමා වහන්සේ සහිත නව බෝධි ප්‍රාකාරයක්ද එම වසරේදීම ඉදිකළ අතර එය 2010 වසරේ දී බෝමළුව වටා ඉදිකළ වළාකුළු බැම්ම සමඟ විවෘත කරන ලදී. සර්වඥධාතූන් වහන්සේ තුන් නමක් නිධන් කරන ලද ඉතා අලංකාර චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් 2012 දී ඉදිකරන්නට යෙදුණි. ඒ සඳහා ධාතුන් වහන්සේ පිරිනැමීම වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති අමරපුර මහානිකායේ ප්‍රධාන සංඝනායක අහංගම ආනන්ද නායක ස්වාමින් වහන්සේත්, ශ්‍රී නාගර්ජුන පිරිවෙන් විහාරාධිපති සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පරකන්දෙනියේ ආර්ය ශ්‍රී මනොරථ නායක ස්වාමින් වහන්සේත්, ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාම විහාරාධිකාරී කිවිපති අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේත් විසින් සිදු කරන ලදී.
    2013 වසරේ දී චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා වළාකුළු බැම්මක් ඉදිකිරීමෙන් පසු මෙහි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. රෝහලේ එක් එක් අංශය මඟින් බුද්ධ පූජාව දිනපතා පවත්වනු ලබන අතර පුරපසළොස්වක පොහොය දින විශේෂ බෝධිපූජා සහ ධර්මදේශනා පැවැත්වේ. එමෙන්ම සෑම වසරකම වෙසක් පුර පසළොස්වක පොහොය දින ශීල සමාදාන වැඩසටහන් පැවැත්වෙන අතර වසර අවසානයේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවැත්වේ. මෙහි සියලු කටයුතු අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ද බෞද්ධ සංගමයේ ගිහි අනුශාසක වෛද්‍ය ගාමිණී රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් ද සිදු කෙරෙයි. ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ නොමඳ සහයෝගය නිතැතින්ම ලැබේ.
    රෝහල භූමියේම මෙබඳු පින්බිමක් ඉදිකර පවත්වාගෙන යෑම නිසා රෝහල කාර්ය මණ්ඩලයට හා රෝගීන් හට වන්දනාමාන කරගැනීමේ පහසුව ලැබී ඇත. එමෙන්ම ඉතා විශාල ආකල්පමය වෙනසක් ද සිදු වී ඇති අතර එමඟින් රෝගී සත්කාරයේ ගුණාත්මක භාවය වැඩිදියුණු වීමක් ද සිදු වී තිබේ.

    Thursday 11 July 2013

    කථා කිරීමට දුෂ්කර වූවෝ



    ශාස්ත්‍රවේදි ,පණ්ඩිත
    කෝන්වැවේ සුනන්ද හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    පින්වත් ආර්ය ශ්‍රාවකයෙනි,
    බුදුරජාණන්වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ පස්වැනි පොතට අයත් දේශනාවක් වන දුක්කථා සූත්‍රයට අනුව බලන විට මේ ලෝකයේ කථා කිරීමට දුෂ්කර පුද්ගලයන් පස්දෙනෙකු සිටින බව පෙන්වා දී තිබෙනවා. එපමණක් ද නොවෙයි කථා කිරීමට පහසු පුද්ගලයන් පස් දෙනකු ගැනත් එහිදී කථා කර තිබෙනවා. අපි පළමුවැනුව බලමු කථා කිරීමට යෑමෙදි දුෂ්කර වූ පුද්ගලයන් පස්දෙනා ගැන.

    අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කථා දුක්කථා

    මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙකු සමඟ ශ්‍රද්ධාව ගැන කථා කිරීමට යෑම දුෂ්කර බවයි. එය එක් දුක් කථාවකි. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.බුදුරජාණන් වහන්සේගේ නව අරහාදිගුණ කියන විට, ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ආදි ගුණ සහ මාර්ග ඵල ලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියන විට ශ්‍රද්ධාවේ පිහිටා නැති තැනැත්තා එය බොහොම හොඳයි කියා අනුමෝදන් වන්නේ නැහැ. එවිට ඔහු කිපෙනවා (කුප්පති). තරහා ගන්නවා (ව්‍යාපජ්ජති). විරුද්ධව නැඟී සිටිනවා (පතිත්ථියති). කෝපයත් දෝෂයත් නොසතුටත් පළ කරනවා (කොපං ච දොසං ච අප්පච්චයං පාතු කරෝති). මොහු ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ.මෙම ස්වභාව ගිහි, පැවිදි දෙපක්‍ෂයටම පොදුයි. ධනඤ්ජානි බැමිණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී හැම කාර්යයක් කරන විටදීම ‘නමෝ බුද්ධාය’යනුවෙන් සිහි කරනවා. එහෙත් ඇයගේ ස්වාමියා වූ මිත්‍යාදෘෂ්ටික ධනඤ්ජානි බමුණා මේ අසා කෝපවී ඇයටත් බුදුරදුන්ටත් දොස් කියනවා. මිත්‍යාදෘෂ්ටික අය ඉදිරියෙහි බුදුගුණ කිව්වොත් ඒ කෙනා කැමැතිවන්නේ නැහැ. ඒ ඇසුවත් අහන්නේ අපහසුවෙන්; චිත්ත පීඩාවෙන්.එයටත් හේතුව ඔහු තුළ ශ්‍රද්ධා සම්පත්තිය නැති කමයි. ශ්‍රද්ධාව තමන්ට ලැබී තිබෙන ධනයක්. මහත්වූ ලාභයක් . පින්වතුනි,ශ්‍රද්ධාව තිබෙන කෙනාට බුදුගුණ කියනකොට, බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීමක් ගැන කරන කථාවක් ඇහෙන කොට ඇතිවන්නේ මහත් වූ පී‍්‍රතියක්; ප්‍රමුදිත බවක්. දැන් බලන්න අච්ඡරිය අබ්භූ®ත සූත්‍රයේ සඳහන් බුද්ධ චරිතයේ ආශ්චර්යවත් සිදුවීම් ගැන කියන විට පුදුමාකාර අධ්‍යාත්මික සතුටක් සිතට දැනෙනවා. සිදුහත් බෝසතුන් තව්තිසා දෙව්ලොවින් චුතව මහාමායා දේවියගේ කුසින් බිහිවී නෙළුම් මල් සතක් උඩ ඇවිද ගොස් “අග්ගො හමස්මි ලොකස්ස” යනාදී වශයෙන් ගම්භීර ප්‍රකාශයක් කළා. මේ සිදුවීම් යථාර්ථයෙන් ම සිදුවන ආශ්චර්යමත් සිදුවීම්. මෙය කියන විට අපගේ සිත්වල බුද්ධාලම්බන පී‍්‍රතියක් ඇතිවෙනවා. එයට හේතුව ශ්‍රද්ධා සම්පත්තියයි.
    ඒ වගේම රහතන් වහන්සේ නමක් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරජාණන් වහන්සේ හමුවී සිරිපතුල් සිඹ පිරිමදිමින් වදාළේ, ‘ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන්. මෙමඟින් පෙනෙන්නේ ශ්‍රද්ධා සම්පත්තිය නොවේද? තව විටෙක දී පිංගිය බමුණාගෙන් බාවරී බමුණා මෙලෙස විමසනවා. ‘පින්වත් පිංගිය, ඔබ බුදුරජාණන් වහන්සේ ගෙන් වෙන්ව වාසය කරන්නේ නැහැ කීවත් වෙන්ව වාසය කරන්නේ ඇයි?’ එවිට පිංගිය උත්තර දෙන්නේ,’තණ්හාව නැසූ අකාලික දහමක් දෙසු බුදුසමිඳු දිවා රෑ දෙකෙහිම මම මනැසින් දකිමි. දෑසින් දකිමි’ යනුවෙන්. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම බුදුගුණ ,දහම්ගුණ, සිහිකරමින් ජීවිතයට රැකවරණ ලබාගන්නා බවයි. මුළුලොවම එක පැත්තක වුවත් බුදුරජුන් එක පැත්තක නම් අන්න ඒ පැත්තේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම ඉන්නවා.මේ ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වන්නේ අවංක,ඍජු ගුණයක් ඇති, විවෘත මනැසක් ඇති කෙනාට පමණයි.

    දුස්සීලස්ස සීල කථා දුක්කථා

    දුශ්ශීල කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශ්ශීල කෙනා සම¼ග ශීලය ගැන කථා කරන්නට ගියොත්, කිපෙනවා. එයට විරුද්ධව සතුරෙකු මෙන් නැඟී සිටිනවා. දුශ්ශීල තැනැත්තා නිතරම අගය කරන්නේ දුසිල්වත්කමයි. ඔහු සිල් රැකීම අසාර්ථක වැඩපිළිවෙළක් හා කරදරයක් ලෙස දකිනවා. නවීන ලෝකය සමඟ ශීලය පවා වෙනස්විය යුතු බව ඔහුගේ අවබෝධයයි.ඒනිසාම දූෂණය හා සැහැසිකම පැතිරෙනවා. එහෙත් නැණගුණ තිබෙන කෙනා තමාගේ සිල්වත්කමට හානිකර ගන්නේ නැහැ.දුශ්ශීල අය නිතරම සිල්වත් අයට නින්දා අපහාස කරන්න බලනවා. බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම සදහා චිංච මානවිකාව උන්වහන්සේ ඉදිරියට එව්වා. මෙලෙසයි දුශ්ශීල අයගේ වැඩ.

    අප්පස්සුතස්ස බාහුසච්ච කථා දුක්කථා

    අල්ප ශ්‍රැත වූ එනම් ධර්මය පිළිබඳ ඥානයක් නැති කෙනෙකු සමඟ විස්තර සහිතව දහම් කරුණු කථාකිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්.අල්පශ්‍රැත යනුවෙන් අදහස් වන්නේ බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති අල්ප දැනුමයි. බහුශ්‍රැත බවෙන් තොරවීමයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවැනි දහම් කරුණු හා සූත්‍ර දේශනා කර තිබෙනවා කියා දහම් දැනුම නැති කෙනකු සමග කථා කළොත් ඔහු කේන්ති ගන්නවා, විරුද්ධ වනවා, නොසතුටට පත්වනවා. එපමණක් නොව මෙතරම් ධර්මකාරණා ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ, එක බණ පදයක් තිබුණා නම් ඇති කියාත් ඔහු කියනවා. එයට හේතුව ඔහු තුළ ශ්‍රැත සම්පත්තිය නැතිවීමයි. එමඟින් තමන්ට ඕන ආකාරයට ධර්මය අර්ථ විවරණය කරන්න යනවා. ධර්මය පිළිබඳව බහුශ්‍රැතකම නැතිව පැය ගණනක් කථා කළත් ඒ කථාව තුළ ඇත්තේ දහම් කරුණු ස්වල්පයයි. එවැනි අය කැමැති නිතරම තමා හුවා දැක්වීමටයි. ධර්ම දැනුම ඇති පිරිසක් ඉදිරියේ ඔහු වචනවලින් ජයගැනීමට උත්සාහ ගන්නවා.එමඟින් ඔහුගේ අල්පශ්‍රැත බව තවදුරටත් ප්‍රකට වනවා. එහෙත් ඔහු තමන් අල්පශ්‍රැත කෙනෙකු කියා පිළිගැනීමට කැමැති නැහැ.

    මච්ඡරියස්ස චාග කථා දුක්කථා

    දැඩි ලෝභ අය එක්ක ත්‍යාග ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක්කථාවක්. මසුරු කෙනා දන්දීම අනුමෝදන් වන්නේ නැහැ. දන්දෙන විට මසුරු කෙනා දොස් කියනවා, මොනවට ද ඔතරම් දන් දෙන්නේ බොහෝ මුදල්වියදම් කරමින් කියා. මෙහිදී පින්වත්නි, ඔහු දන් දෙන්නේත් නෑ. දන්දීම අනුමෝදන් වෙන්නේත් නැහැ. දන් දීම වළක්වන්නත් බලනවා. එහෙත් දන්දෙන අය දෙසැරයක් හිතන්නේ නැහැ. දන්දෙන කෙනා දන්දීමෙන්ම සතුටුවෙනවා. මසුරු කෙනාට එසේ සතුටුවන්න පුළුවන් කමක් නැහැ. එමඟින් තමාමයි අසතුටට මානසික, පීඩනයට පත්වන්නේ.
    සමහරුන්ට යමක් ගැන තණ්හාව නැතිව යන්නේ ඒදේ පාවිච්චි කරන්න බැරිවන විටයි.එයින් ප්‍රයෝජනයක් ගන්න තිබෙන විට දෙන්න කැමැති නැහැ. එසේනම් මසුරු කෙනාට ත්‍යාගය ගැන කියන කථාව දුෂ්කරයි.මසුරුකම ජීවිතයට විශාල හානියක්; පාඩුවක්; අසහනයක්.

    දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්කථා

    ප්‍රඥාව නැතිකෙනකු සමඟ ප්‍රඥාව ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශප්‍රාඥ කෙනා නිතරම ත්‍රිලක්ෂණය දකින්නේ ‘කලකිරීමක්’ හැටියටයි . අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යනු මේ ලෝකයේ තිබෙන යථාර්ථයයි. ප්‍රඥා රහිත කෙනා අනිත්‍ය ලක්ෂණය වෙනුවට ලෝකය නිත්‍ය යැයි සිතනවා. දුක ගැන කියනවාටත් කැමැති නැහැ. මම මගේ යැයි ආත්ම දෘෂ්ටියෙන් ඔහු පසුවනවා. එසේම අසුබ භාවනාව වැඩීම නිසා තම ජීවිතය හා පවුල් ජීවිතය අවුල් වනවා සහ ඒ තුළ ප්‍රශ්න ඇති වනවා යැයි ප්‍රඥාව නැති කෙනා සිතනවා.මෙයට හේතුව ප්‍රඥාව අඩුකෙනාට ප්‍රඥා කථාව දුෂ්කරතාවක් වන නිසායි.
    ප්‍රඥාව ගැන බුදුරජුන් පෙන්වාදී ඇත්තේ මෙසේයි.’අරියාය නිබ්බේධිකාය සමන්නාගතො උදයත්ථ ගාමිණීපඤ්ඤා ‘ ඇතිවීම,නැතිවීම ගැන අවබෝධ කරනවාය යන අදහසයි. ‘කලකිරීම’ යන්නෙන් අදහස් කරන්නේ චිත්ත පීඩාවක්, එපාවීමක් නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ්ව තිබෙනවා. යථාර්ථය දැකීමෙන්, ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් නොඇලි සිටින මට්ටමට ප්‍රඥාව දියුණුවීමයි. මෙන්න මේ අර්ථය සමඟ දුශ්ප්‍රාඥයා නිතරම ගැටෙනවා. අනිත්‍යයි. දුකයි,අනාත්මයි, කියා සිතන්න සිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නොඇල්මක්. එම නිසා ඔහු තුළ උපේක්‍ෂාවක් ඇතිවනවා. බොජ්ඣංග ධර්ම වැඩෙනවා. සතර අපාය ගැන කියන විට තම ශරීරයේ ස්වභාව ගැන කියන විට එය යථාර්ථයක් ලෙස තේරුම් ගැනීමට නොහැකි අයට එය මානසික අසහනයක් බවට, එපාවීමක් බවට පත්වනවා. ගිහිජීවිතය තුළ අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව සහ බිම්බිසාර රජු ආදින් මඟ ඵල ලැබු උතුමන්. ඔවුන් ලෝකය ගැන මනා අවබෝධයෙන් සිටියා. එහෙත් ප්‍රඥාව නැති කෙනාට මේ කියන අවබෝධය ලැබෙන්නේ නැහැ. ජීවිතයම අවුල් කරගන්නවා.
    එසේ නම් කථා කිරීමට පහසු පුද්ගලයන් පස්දෙනාත් මේ අනුව පින්වත් ඔබට දැන් හඳුනාගැනීමට පහසුයි. ඉහත සඳහන් කථා කිරීමට දුෂ්කර පස්දෙනාගේ විරුද්ධ පැත්තයි.
    * ශ්‍රද්ධාව තිබෙන කෙනකු සමග ශ්‍රද්ධාව ගැන කථා කිරීමට පහසුයි.
    * සිල්වත් කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීම පහසුයි
    * බහුශ්‍රැත කෙනකු සමඟ බහුශ්‍රැත කථාව පහසුයි
    * ත්‍යාගවන්තයා සමඟ ත්‍යාගය ගැන කථාව පහසුයි
    * ප්‍රඥාවන්තයා සමඟ ප්‍රඥාව ගැන කථාව පහසුයි
    මෙලෙස ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග සහ පඤ්ඤා යන පංච සේඛ බල තම ජීවිතය තුළ දියුණු කරගෙන ලෞකික ජීවිතය ද සාර්ථක කරගනිමින් නිවන් පසක් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

    Wednesday 10 July 2013

    කුසලයට මුල්වන පිරිසුදු චේතනාව



    උඩුබද්දාවේ
    සෝමරත්න බන්නැහැක
    කිසිම සත්වයකු සසර දුක් විඳීමට කැමැති නැත. සැපයට සියල්ලන්ම කැමැති ය. සැප ඇති තැනක මිස දුක් ඇති තැනක ඉපිද තව දුරටත් පින් කරගත නොහැකි ය. එබැවින් ලෞකික වශයෙන් සැප ඇති තැනක ඉපදීම නිවන් දකින තෙක් පවත්වා ගැනීමට වගකීමෙන් පින්දහම්හි නිරත වීම බුද්ධිමත් ජනතාවගේ ලක්‍ෂණයයි. පින් කර සැප ලබා ගත්තායැ’ යි කියා නිවනට බාධාවක් නැත. සසර එතෙර කිරීමෙන් ලබන නිවනට ද පින් අවශ්‍යම ය. පින් මඳ වූවෝ නිවනට දුරස්ථයෝ ය.
    පින්,පව් හා කුසලාකුසල කර්ම පිළිබඳ විවරණය වන මේ ලිපිය බුදදහමේ අග්‍රඵලය වන නිවන් ඵලය සාධනය කර ගැනීමට අදාළ මූලික පසුබිම සකස් කරගැනීම පිණිසයි. හිරි ඔතප් (පව් කරන්නට ඇති ලජ්ජාව සහ බිය) මුලින් ම පුද්ගයකු තුළ පැවැතිය යුතුය. එය නොමැති තැනැත්තා ඕනෑම නරක ක්‍රියාවකට පෙළැඹිය හැකිය. එයින් නිවන් මඟ තව තවත් ඇහිරී ඔහු නිවන වෙතින් ඈතට යෑම නොවැළැක්විය හැකි ය. එබැවින් පව්කම්වලින් වැළැකුණු, පින් දහම් හි නිරත පුද්ගලයකු වීම අවශ්‍යය.
    ඇතැමුන් පින් පිළිබඳ ද දරන්නේ තරමක් උදාසීන, බියමුසු හැඟීමකි. එසේ ම ප්‍රාඥායන් විසින් නොකටයුත්තක් ලෙසට ඔවුහු මෙය සලකති. එයට හේතුව පින්කිරීමෙන් සංසාරය දිග්ගැසෙනවා යැයි අනවශ්‍ය භීතිකාවකින් පෙළීමයි. එබැවින් බෞද්ධයන් පින් නොව කුසල් කළ යුතු යැයි ඇතැම්හු පවසති. එය එසේ ප්‍රකාශ කළ නොහැකි ය.පින් හා කුසල් යන දෙක මාතෘකා වශයෙන් දෙකක් වුවත් පිනෙහි කුසලයත් , කුසලයෙහි පිනත් රැඳී පවතින බව තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ ම, පින් කරන්නට බිය වන්නට එපා යැයි දේශනා කර තිබිය දී ඒ ගැන අප සැක පහළ කරන්නේ කවර කරුණකට ද?
    පිනෙහි ස්වභාව සුවපත් කිරීම මිස සසර දිග් කිරීම නොවේ. කිසිම සත්වයකු සසර දුක් විඳීමට කැමැති නැත. සැපයට සියල්ලන්ම කැමැතිය. සැප ඇති තැනක මිස දුක් ඇති තැනක ඉපිද සැප විඳිය නොහැකි ය. එබැවින් ලෞකික වශයෙන් සැප ඇති තැනක ඉපදීම නිවන් දකින තෙක් පවත්වා ගැනීමට වගකීමෙන් පින්දහම්හි නිරත වීම බුද්ධිමත් ජනතාවගේ ලක්‍ෂණයයි. පින් කර සැප ලබා ගත්තායැයි කියා නිවනට බාධාවක් නැත. සසර එතෙර කිරීමෙන් ලබන නිවනට ද පින් අවශ්‍යමය. පින් මඳ වූවෝ නිවනට දුරස්ථයෝ ය.
    මෙහි ලා පිනෙහි ස්වභාව තවදුරටත් වටහා ගත යුතුය. ‘චිත්තං පුනාතී’ති පුඤ්ඤං’ යනුවෙන් පින විග්‍රහ කොට ඇත. පින පිළිබඳ පැහැදිලි විග්‍රහයකි එය. එහෙත් මේ විග්‍රහය වරදවාගත් ඇතැමුන් ‘සිත පිනා යෑම පින යැ’යි වරදවා වටහා ගෙන ඒ වැරැදි මතය ජනතාව අතරට ද ගෙන යමින් තිබෙන බව පෙනේ. සිත පිනා යෑම පින වන්නේ කෙසේද? නරක වැඩ කරන්නවුන් ද එය කරනුයේ පිනායන සිතකිනි. සමහරු නරක දෙයක් කළ පසුව ද පිනා ගිය සිතින් සිටිති. නරක දෙයෙහි අයහපත් විපාකය ලැබෙන තෙක් ඔහු කළ නරක දෙය මධුවක් මෙන් සලකන බව බුදුරජාණන් වහන්සේගේ දේශනයකි. එබැවින් පව්කම් කරන්නෝද නොපිනා ගිය සිතකින් එය නොකරති. ඒ අනුව, සිත පිනා යෑම පින යැයි බොහෝ ධර්මධරයන් කරන විග්‍රහය ධර්මානුකූල නොවේ. එය අධර්මය ධර්මය කොට දැක්වීමකි. ’පුනාති’ යන වචනයෙහි තේරුම ‘පිරිසුදු කරයි’ යන්නයි. ‘පොළයි’ යන අර්ථයද එහි ඇත. “පොළයි’ යන අර්ථය ගත්කල පොළන විට සිදුවන්නේ නරක දේ ඉවත් වී හොඳ දේ ඉතිරි වීමයි. වී,හාල්, ආදිය කුල්ලකට දමා පොළන විට නරක දෑ බැහැරව හොඳ දෑ එහි රඳා පවතී. එසේම සිතෙහි ඇති නරක චෛතසික පොළා ඉවත් කරද්දී යහපත් චෛතසික ඉතිරිවේ. ‘පිරිසුදු කරයි’ යන අර්ථයෙන් ගත්කල ද වන්නේ එයමයි. ඒ අනුව, පින යනු පිරිසුදු කිරීමයි. කවරක් පිරිසුදු කිරීමද ? සිත පිරිසුදු කිරීමයි. කවර දේවලින් පිරිසුදු කර ගැනීමද? ලෝභ, ද්වේශ,මෝහාදි අකුසල චෛතසිකයන්ගෙන්ය.එසේ නොමැතිව සිත සතුටුවීම් මාත්‍රය පිනක් වන්නේ නැත. සිත සතුටුවිය යුත්තේ යහපත් චෛතසික ක්‍රියාකාරිත්වයකිනි.
    සිත පිරිසුදු කර ගැනීමට පුණ්‍ය ක්‍රියා දහයක් බුදුදහම දක්වා ඇත.ඒවා දසපුණ්‍ය ක්‍රියා ලෙස විග්‍රහ වෙයි. එනම් දාන, ශීල,භාවනා, පත්තිදාන (පින්දීම), පත්තානුමෝදනා (පින් අනුමෝදන් වීම), ව්‍යොවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදියයුත්තන් පිදීම), ධම්ම දේශනා, ධම්ම සවණ සහ දිට්ඨිජුකම්ම යනුයි. මේ සෑම ක්‍රියාවකම සිත පිරිසුදු වීම පැවැතියහොත් පමණිපින අර්ථවත් වන්නේ. එසේ නොමැති වුවහොත් එය පිනක් වන්නේ නැත.
    උදාහරණයක් ගෙන එය පැහැදිලි කරගනිමු. දානය නමැති පුණ්‍ය ක්‍රියාව දස පුණ්‍ය ක්‍රියාවන්හි පළමුවැන්නයි. දානය පිනක් වන්නේ ඒ තුළ සිත ලෝභාදි අකුසල් චෛතසික කෙරෙන් පිරිසුදු වුවහොත් පමණි. එසේ නොමැතිව කවරක් හො කෙසේ හෝ දීමෙන් පින් සිදුවන්නේ නැත.මජ්ඣිම නිකායෙහි ‘චූල පුණ්ණම’ සූත්‍රයෙහි දන් දී අපාගත වන්නන්ද සිටින බව දේශනා කොට ඇත. ඒ කවර දානයක් ද යත්, අසද්පුරුෂ දානයයි. අසද්පුරුෂ දානය යනු නො සකසා දීම ය,අසහත්‍ථව දීම ය, නොවිමසා දීමය, අපවිද්ධය දීමය, අනාගමන දිට්ඨිකව දීමය. මෙසේ දන් දෙන්නන් දුගතියෙහි උපත ලබන බව ‘චූල පුණ්ණම’ සූත්‍රයේ දී දක්වා ඇත.
    එබැවින් හුදෙක් ක්‍රියාව නොව ඒ තුළ චේතනාව කොතරම් පිරිසුදුව පවතීද යන්න තුළය පින රඳා පවතින්නේ. එබැවින් දන් දී පින් කැමැති වන්නන් මේ ගැන සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම අද බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැමුන්ගේ නිවෙස් තුළ සිදු කරන්නේ දන් දීම නොව ‘යාග කර්මයන්’ය. සතුන් මරා කපා කොටා උයා මත්ස්‍ය මාංශ පිළියෙළ කරමින් දෙන දානය පින් ඇති දෙයක් නොවන්නේය. එයින් ලෝභ, ද්වේශ, මෝහාදිය වර්ධනය වීමකි සිදුවී ඇත්තේ. අනුන්ගේ මාංශයට පළමුව ලෝභය පහළ වී ඇත. අනුන්ගේ ශරීරය කපා කොටා ගන්නට ද්වේශයකින් තොරව බැරිය. එබැවින් ද්වේශය ද ඉදිරිපත් වී තිබේ.මේ නිසා ඇතැම් බෞද්ධ නිවෙස් තුළ සිදුකෙරෙන දානය, ලෝභ,ද්වේශ,මෝහාදිය වර්ධනය කරන්නක් බව මේ අනුව පෙනේ. ඒවා නැතිවීම පිණිසය දන්දිය යුත්තේ. ලෝභ, ද්වේශ, මෝහාදි චේතනාවෙන් යුතුව පුණ්‍ය ක්‍රියා දහයෙහිම යෙදුණ ද පිනක් නැත. එබැවින් පින යනු අප සිතා සිටින සාමාන්‍ය ස්වභාව ඉක්මවා ගිය වටිනා දෙයක් බව වටහාගත යුතුය.
    අනෙක ඇතැමුන් සිතා සිටින පරිදි පින් කිරීමෙන් සසර දිගුවන්නේ කෙසේද? ලෝභ,ද්වේශ,මෝහාදියෙන් සිත පිරිසුදු කරන විට සසර දිග්වන්නේ නැත. දස පුණ්‍ය ක්‍රියාවන්හි අරමුණ මැනැවින් තේරුම්ගෙන කිරීමෙන් සසර කෙටි කර ගත හැකිය.එහෙයින් පින් කරන්න එපා, කුසල් කරන්න එපා යැයි කියමින් බුද්ධාවවාදය ද වරදවා වටහාගෙන සිටින අය මේ ගැන සිතීම අවශ්‍යය. පින් සහ කුසල් දෙක මාතෘකා වශයෙන් දෙකක් වුවත් පිනෙහි කුසලයත්, කුසලයෙහි පිනත් රැඳී පවත්නා බවත්, එය නිවන ඉලක්ක කොට ගෙන පැවැතිය යුතු බවත් තේරුම් ගෙන පිනෙහි කුසලයෙහි ඡන්දය ඇතිකර ගත යුතුය.
    අපේ සමාජයේ සහතිකවලට සෝවාන් ආදි මඟ ඵල ලබාගෙන සිටින්නෝ පින් දහම් හෙළා දකිති. බුදුරජාණන් වහන්සේ ‘පිනට බියවන්නට එපා’ කියා දේශනා කර තිබිය දී ඔවුන් පින් කරන්නවුන් හෙළා දකින්නේ ඔවුන් මාර්ග ඵල තබා පෘථග්ජන භාවය පරදවමින් ලබාගන්නා සද්ධානුසාරි බවටවත් නොපත් හුදු මිථ්‍යා දෘෂ්ටික පිරිසක් වන නිසාම විය යුතුය. මහාචාර්යවරයකු පෙර පාසල වැඩක් නැතැයි කියනවා නම්, ඔහු මහාචාර්යකමට නුසුදුසුය.මක්නිසාද ඔහු ඒ තත්ත්වයට ආ මඟ නොදන්නා නිසාය. එසේම මඟ ඵල නොව සද්ධානුසාරි බවටවත් පත්ව සිටියා නම්, තම ශාස්තෘවරයා කරන්න යැයි කියූ දෙය එපා යැයි පවසන්නේ නැත. මෙලෙස පින් කරන්න එපා යැයි යමකු පවසන්නේ නම් ඔහු ශාසනයේ උණුසුමවත් නොලැබුණ පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    (උඩුබද්දාව, නැවකඩ ශෛලගිරි විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී ආලංකුලමේ පේ‍්‍රමසිරි හිමිපාණන් විසින් ‘අසිරිමත් බණ කතා - 2’ ධර්ම ග්‍රන්ථයට සපයන ලද පෙරවදන ඇසුරෙන් මේ ලිපිය සකස් කරන්නට යෙදුණු බව කෘතවේදීව සඳහන් කරමි.)

    සද්පුරුෂයෝ



    කැප්පෙටිපොල, පාලුගම, 
    ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරි,
    වැලිමඩ ගුරු මධ්‍යස්ථානයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය 
    විල්ඔය පඤ්ඤාතිලක හිමි
    විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය.අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු දේවත්වයෙන් සැළකුවේ ඔවුන්ගේ අනවබෝධය නිසා නොව තමන්ට ජීවත්වීමට උපකාරි වන මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දැක්වීම උදෙසායි. කුඹුරේදී හිස් වැසුම් පා වැසුම් නො පැළැන්දේ මේ හේතුවෙනි. බෝග අසුරන විට,ආහාර පිසින විට,ආහාර බෙදන විට එයට තුන්වරක් වැන්දේ කෘතවේදිත්වය සඳහායි
    සද් යනු යහපත්, හොඳ,විශිෂ්ට යන අරුත් දෙන උපසර්ග පදයකි. සද්පුරුෂ යනු යහපත්, විශිෂ්ට හොඳ මිනිසා යන්නයි. විශිෂ්ටයකු වීම සැමදෙනාගේ ම ප්‍රාර්ථනයයි.
    කේවලා හෙසා භික්ඛවෙ සප්පුරිසභූමි,යදිදං කතඤ්ඤුතා කතවේදිතා
    “මහණෙනි, සත්පුරුෂයකු හඳුනා ගත හැකි ආකාර දෙකකි. කළ උපකාරය සිහිපත් කරන්නා, හා කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නා යි”
    සත්පුරුෂයකු විය හැකික්‍රම දෙකකි.
    1.කළ උපකාරය සිහිපත් කිරීම
    2.කළ උපකාරයට ප්‍රති උපකාර දැක්වීම
    සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී කෙළෙහි ගුණ දැක්වීම යන්නෙන් අදහස් කරනුයේ මෙම සද්පුරුෂ ගුණයයි. සද්පුරුෂයකුවීම,සද්පුරුෂයකු දැකීම අතිශය දුෂ්කර හා දුර්ලභ අවස්ථාවක් බව බුදුරජාණන් වහන්සේ දක්වති.
    “කතඤ්ඤු කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලොකස්මිං” කළ උපකාරය සිහිපත් කරන හා කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන පුද්ගලයෝ ලොවෙහි දුර්ලභ වෙති යනු බුදු වදනයි.
    ලොව විශිෂ්ට වූ බුදු, පසේ බුදු, මහ රහත් යන උත්තමයෝ සත්පුරුෂයෝ වෙති. එය උතුමන්ගේ චරිත තුළින් මනාව ප්‍රකට කෙරෙයි. අපගේ බුදු පියාණන් වහන්සේ බුදු බව ලැබීමට පාරමී ධර්ම පූරණය කරන අවධියේ දීද සද් පුරුෂ ගුණ සිත දැරූ බව ජාතක කතා පොත් වහන්සේ තුළින් මනාව ප්‍රකටය. මහා අස්සාරෝහ ජාතකය තුළින් මෙය මනාව පැහැදිලි වෙයි.
    උන්වහන්සේ දඹදිව රජ කුලයක ඉපිද සිටි අවස්ථාවේ සතුරු සේනාවට අසුව පැන යන්නට විය. එහි දී එක් පසල් දනව්වක ගම්වැසියෙකු එතුමන්ට දින කිහිපයක් ආරක්‍ෂාව සපයයි. නැවත රාජ්‍ය බලය ලබා ගන්නා එතුමා උපක්‍රමශීලිව තමන්ට උපකාර වූ මිනිසා හා ඔහු ගේ පවුලේ උදවිය රජ මාලිගයට කැඳවා රාජ්‍යයෙන් අඩකට ඔහු ද රජ කොට පාලනය කරයි. මෙය බෝසත් අවධියේ උන්වහන්සේ සද්පුරුෂ ධර්මය රැකි එක් අවස්ථාවකි. මෙවන් අවස්ථා ජාතක පොතෙහි බොහෝ දක්නට ලැබෙයි.
    බුදුබව ලැබීමෙන් අනතුරුව සත් සතිය ගත කළහ. එහි දී උන්වහන්සේ තමන්ට බුදු බව ලබා ගැනීම උදෙසා උපකාරී වූ පරිසරයට කෘතවේදි බව දැක්වූහ.අනිමිස ලෝචන පූජාව මීට කදිම සාක්ෂියකි. බුදුරජාණන් වහන්සේ මුලින් ම අප වෙත දැක්වූ ධර්මය මේ අනුව ගත් විට කෘතවේදිත්වය හා කෘතඥතාවයි. ජීව,අජීව,අචින්තක, සචින්තක, භෞතික අභෞතික මේ සියල්ල කෙරෙහි කෘතවේදීව, කෘතඥතාවයෙන් යුක්තව විසිය යුතු බව උන්වහන්සේ මේ තුළින් ලොවට ප්‍රකට කළහ.
    බුදු දහම සමාජ සංස්ථා ගොඩනගා එම සමාජ සංස්ථාවන්ට යම් යම් වගකීම් පවරා ඇත. එසේ පවරන වගකීම් තුළින් සමාජය කෘතවේදිත්වයට හා කෘතඥතාවට යොමු කොට ඇත. මව්පියෝ දරුවන් හදා වඩා ගනිමින්, වරදින් මුදා යහපතෙහි යොදවා ඔවුන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වා ලොකු මහත්කොට ආවාහ විවාහ කර දී දේපළ පවරා ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය ඉටු කළ අතර දරුවෝ මව්පියන් මහලු වූ විට ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ඔවුන්ගේ කුදු මහත් කටයුතු ඉටු කළහ. මේ නිසා බෞද්ධ සමාජය තුළ වැඩිහිටි නිවාස, ළමා නිවාස, අනාථ නිවාස බිහි නොවීය. මෙලෙසම ගුරුවරු සිසුන් මැනවින් හික්මවමින්, වරදින් මුදා යහපතෙහි යොදවා මැනවින් ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් අතර, සිසු දරුවෝ ගුරුවරුන්ට කෘතවේදි වෙමින් ගුරුන්ට ගරු සත්කාර සම්මාන දක්වමින් මැනවින් ශිල්ප උගත් හා බිරිඳ ස්වාමියාට ගරු කරමින් ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කරමින් ඔහුට ශක්තියක් වූ අතර ස්වාමි පුරුෂයාද බිරිඳට ගරුකරමින් ඇයට ඇප උපස්ථාන කළේය. පාලකයෝ පාලිතයන්ටත් පාලිතයෝ පාලකයන්ටත් තම යුතුකම ඉටු කළහ. ගිහියෝ පැවිද්දන්ට මෛත්‍රී සහගතව සිව්පසයෙන් උපස්ථාන කළහ.පැවිද්දෝ ගිහියන්ගේ මෙලොව පරලොව සුභ සිද්ධිය සඳහා අනුශාසනා පැවැත් වූහ. එය බුදුරාජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අවධාරණය කළහ.
    ගිහීන මුපකාරොන්තං
    නිච්චමාමිස දානතො
    කරොථ ධම්ම දානෙන
    තෙසං පච්චූපකාරකං
    නිතර සිව්පසයෙන් උදව් කරන්නාවූ ගිහි පිරිසට ප්‍රතිඋපකාරයක් වශයෙන් ධර්ම දානයෙහි යෙදෙන්න. උන්වහන්සේ ගේ අවවාදය වූහ.මේ නිසා බෞද්ධ සමාජය කෘතවේදි සමාජයක් විය. කෘතඥතාව පිරි සමාජයක් විය.සත්පුරුෂ සමාජයක් විය.
    මනුෂ්‍යයන්ට පමණක් නොව සතා සිව්පාවට ද ඒ කෘතවේදිත්වය එලෙස දැක්වීය. උන්වහන්සේ පඤ්ච ශීල ප්‍රතිපදාව තුළින් මේ ජීව හිතවාදි බව ප්‍රකට කරයි. සැම දෙනාගේ් ජීවිත සඳහා හැම දෙනාම උපකාරි වෙයි. එසේ නම් අනිකා කෙරෙහි සැළකිලිමත්ව කටයුතු කළ යුතු යි. කරණීයමෙත්ත , මංගල, ආදී සූත්‍ර දේශනා තුළින්ද මේ ජීව හිතවාදි සමාජ උපකාරි සමාජයකට ආදර්ශයට ගත හැකි දේශනා ඇත.
    ආදි කාලීන බෞද්ධ සමාජය මේ පද්මාකාර ආකෘතියේ සමාජයක් විය. විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය.අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු දේවත්වයෙන් සැළකුවේ ඔවුන්ගේ අනවබෝධය නිසා නොව තමන්ට ජීවත්වීමට උපකාරි වන මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දැක්වීම උදෙසායි. කුඹුරේදී හිස් වැසුම් පා වැසුම් නො පැළැන්දේ මේ හේතුවෙනි. බෝග අසුරන විට, ආහාර පිසින විට, ආහාර බෙදන විට එයට තුන්වරක් වැන්දේ කෘතවේදිත්වය සඳහායි. ආහාර පිසූ බඳුන බිඳුන පසු ද විසි කළේ නැත. ගෙයි පිළිකන්නේ මුනින් අතට හරවා තැබිණි. සිසුහු තමා ඉගෙනගන්නා පොත ගන්නා විටත්, යළි තබනවිටත් ඊට වැන්දාහ.මේ කිසිවක් නිසා නොව තම කෘතවේදිත්වය හා කෘතඥතාවය පදනම්කොට ගෙන ය.
    අටලෝ දහමෙහි වටිනා පැත්ත අත්පත් කරගන්නටත් නොවටිනා පැත්ත බැහැර කරන්නටත් මහ තරගයක නිරත ඇතැම් මිනිසා කෘතවේදිත්වය හා කෘතඥතාවය අමතක කර ඇත. මේ නිසා විෂම, සමාජයක් බිහිව ඇත. ඒ නිසා අප ජීවත්වන සමාජය තුළ අවුල් වියවුල් වලින් යුතු හිංසාකාරි සමාජයක් වී ඇත. මෙය වෙනස් කළ හැක්කේද අපටයි. බුදු ගුණ අගයමු. බුදුබණ පිළිපදිමු. අපි යහපත් මිනිස්සු වෙමු. යහපත් සමාජයක් බිහි කරමු.

    Monday 8 July 2013

    කථා කිරීමට දුෂ්කර වූවෝ


    ශාස්ත්‍රවේදි ,පණ්ඩිත
    කෝන්වැවේ සුනන්ද හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    පින්වත් ආර්ය ශ්‍රාවකයෙනි,
    බුදුරජාණන්වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ පස්වැනි පොතට අයත් දේශනාවක් වන දුක්කථා සූත්‍රයට අනුව බලන විට මේ ලෝකයේ කථා කිරීමට දුෂ්කර පුද්ගලයන් පස්දෙනෙකු සිටින බව පෙන්වා දී තිබෙනවා. එපමණක් ද නොවෙයි කථා කිරීමට පහසු පුද්ගලයන් පස් දෙනකු ගැනත් එහිදී කථා කර තිබෙනවා. අපි පළමුවැනුව බලමු කථා කිරීමට යෑමෙදි දුෂ්කර වූ පුද්ගලයන් පස්දෙනා ගැන.

    අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කථා දුක්කථා

    මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙකු සමඟ ශ්‍රද්ධාව ගැන කථා කිරීමට යෑම දුෂ්කර බවයි. එය එක් දුක් කථාවකි. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.බුදුරජාණන් වහන්සේගේ නව අරහාදිගුණ කියන විට, ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ආදි ගුණ සහ මාර්ග ඵල ලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියන විට ශ්‍රද්ධාවේ පිහිටා නැති තැනැත්තා එය බොහොම හොඳයි කියා අනුමෝදන් වන්නේ නැහැ. එවිට ඔහු කිපෙනවා (කුප්පති). තරහා ගන්නවා (ව්‍යාපජ්ජති). විරුද්ධව නැඟී සිටිනවා (පතිත්ථියති). කෝපයත් දෝෂයත් නොසතුටත් පළ කරනවා (කොපං ච දොසං ච අප්පච්චයං පාතු කරෝති). මොහු ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ.මෙම ස්වභාව ගිහි, පැවිදි දෙපක්‍ෂයටම පොදුයි. ධනඤ්ජානි බැමිණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී හැම කාර්යයක් කරන විටදීම ‘නමෝ බුද්ධාය’යනුවෙන් සිහි කරනවා. එහෙත් ඇයගේ ස්වාමියා වූ මිත්‍යාදෘෂ්ටික ධනඤ්ජානි බමුණා මේ අසා කෝපවී ඇයටත් බුදුරදුන්ටත් දොස් කියනවා. මිත්‍යාදෘෂ්ටික අය ඉදිරියෙහි බුදුගුණ කිව්වොත් ඒ කෙනා කැමැතිවන්නේ නැහැ. ඒ ඇසුවත් අහන්නේ අපහසුවෙන්; චිත්ත පීඩාවෙන්.එයටත් හේතුව ඔහු තුළ ශ්‍රද්ධා සම්පත්තිය නැති කමයි. ශ්‍රද්ධාව තමන්ට ලැබී තිබෙන ධනයක්. මහත්වූ ලාභයක් . පින්වතුනි,ශ්‍රද්ධාව තිබෙන කෙනාට බුදුගුණ කියනකොට, බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීමක් ගැන කරන කථාවක් ඇහෙන කොට ඇතිවන්නේ මහත් වූ පී‍්‍රතියක්; ප්‍රමුදිත බවක්. දැන් බලන්න අච්ඡරිය අබ්භූ®ත සූත්‍රයේ සඳහන් බුද්ධ චරිතයේ ආශ්චර්යවත් සිදුවීම් ගැන කියන විට පුදුමාකාර අධ්‍යාත්මික සතුටක් සිතට දැනෙනවා. සිදුහත් බෝසතුන් තව්තිසා දෙව්ලොවින් චුතව මහාමායා දේවියගේ කුසින් බිහිවී නෙළුම් මල් සතක් උඩ ඇවිද ගොස් “අග්ගො හමස්මි ලොකස්ස” යනාදී වශයෙන් ගම්භීර ප්‍රකාශයක් කළා. මේ සිදුවීම් යථාර්ථයෙන් ම සිදුවන ආශ්චර්යමත් සිදුවීම්. මෙය කියන විට අපගේ සිත්වල බුද්ධාලම්බන පී‍්‍රතියක් ඇතිවෙනවා. එයට හේතුව ශ්‍රද්ධා සම්පත්තියයි.
    ඒ වගේම රහතන් වහන්සේ නමක් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරජාණන් වහන්සේ හමුවී සිරිපතුල් සිඹ පිරිමදිමින් වදාළේ, ‘ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන්. මෙමඟින් පෙනෙන්නේ ශ්‍රද්ධා සම්පත්තිය නොවේද? තව විටෙක දී පිංගිය බමුණාගෙන් බාවරී බමුණා මෙලෙස විමසනවා. ‘පින්වත් පිංගිය, ඔබ බුදුරජාණන් වහන්සේ ගෙන් වෙන්ව වාසය කරන්නේ නැහැ කීවත් වෙන්ව වාසය කරන්නේ ඇයි?’ එවිට පිංගිය උත්තර දෙන්නේ,’තණ්හාව නැසූ අකාලික දහමක් දෙසු බුදුසමිඳු දිවා රෑ දෙකෙහිම මම මනැසින් දකිමි. දෑසින් දකිමි’ යනුවෙන්. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම බුදුගුණ ,දහම්ගුණ, සිහිකරමින් ජීවිතයට රැකවරණ ලබාගන්නා බවයි. මුළුලොවම එක පැත්තක වුවත් බුදුරජුන් එක පැත්තක නම් අන්න ඒ පැත්තේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම ඉන්නවා.මේ ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වන්නේ අවංක,ඍජු ගුණයක් ඇති, විවෘත මනැසක් ඇති කෙනාට පමණයි.

    දුස්සීලස්ස සීල කථා දුක්කථා

    දුශ්ශීල කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශ්ශීල කෙනා සම¼ග ශීලය ගැන කථා කරන්නට ගියොත්, කිපෙනවා. එයට විරුද්ධව සතුරෙකු මෙන් නැඟී සිටිනවා. දුශ්ශීල තැනැත්තා නිතරම අගය කරන්නේ දුසිල්වත්කමයි. ඔහු සිල් රැකීම අසාර්ථක වැඩපිළිවෙළක් හා කරදරයක් ලෙස දකිනවා. නවීන ලෝකය සමඟ ශීලය පවා වෙනස්විය යුතු බව ඔහුගේ අවබෝධයයි.ඒනිසාම දූෂණය හා සැහැසිකම පැතිරෙනවා. එහෙත් නැණගුණ තිබෙන කෙනා තමාගේ සිල්වත්කමට හානිකර ගන්නේ නැහැ.දුශ්ශීල අය නිතරම සිල්වත් අයට නින්දා අපහාස කරන්න බලනවා. බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම සදහා චිංච මානවිකාව උන්වහන්සේ ඉදිරියට එව්වා. මෙලෙසයි දුශ්ශීල අයගේ වැඩ.

    අප්පස්සුතස්ස බාහුසච්ච කථා දුක්කථා

    අල්ප ශ්‍රැත වූ එනම් ධර්මය පිළිබඳ ඥානයක් නැති කෙනෙකු සමඟ විස්තර සහිතව දහම් කරුණු කථාකිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්.අල්පශ්‍රැත යනුවෙන් අදහස් වන්නේ බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති අල්ප දැනුමයි. බහුශ්‍රැත බවෙන් තොරවීමයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවැනි දහම් කරුණු හා සූත්‍ර දේශනා කර තිබෙනවා කියා දහම් දැනුම නැති කෙනකු සමග කථා කළොත් ඔහු කේන්ති ගන්නවා, විරුද්ධ වනවා, නොසතුටට පත්වනවා. එපමණක් නොව මෙතරම් ධර්මකාරණා ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ, එක බණ පදයක් තිබුණා නම් ඇති කියාත් ඔහු කියනවා. එයට හේතුව ඔහු තුළ ශ්‍රැත සම්පත්තිය නැතිවීමයි. එමඟින් තමන්ට ඕන ආකාරයට ධර්මය අර්ථ විවරණය කරන්න යනවා. ධර්මය පිළිබඳව බහුශ්‍රැතකම නැතිව පැය ගණනක් කථා කළත් ඒ කථාව තුළ ඇත්තේ දහම් කරුණු ස්වල්පයයි. එවැනි අය කැමැති නිතරම තමා හුවා දැක්වීමටයි. ධර්ම දැනුම ඇති පිරිසක් ඉදිරියේ ඔහු වචනවලින් ජයගැනීමට උත්සාහ ගන්නවා.එමඟින් ඔහුගේ අල්පශ්‍රැත බව තවදුරටත් ප්‍රකට වනවා. එහෙත් ඔහු තමන් අල්පශ්‍රැත කෙනෙකු කියා පිළිගැනීමට කැමැති නැහැ.

    මච්ඡරියස්ස චාග කථා දුක්කථා

    දැඩි ලෝභ අය එක්ක ත්‍යාග ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක්කථාවක්. මසුරු කෙනා දන්දීම අනුමෝදන් වන්නේ නැහැ. දන්දෙන විට මසුරු කෙනා දොස් කියනවා, මොනවට ද ඔතරම් දන් දෙන්නේ බොහෝ මුදල්වියදම් කරමින් කියා. මෙහිදී පින්වත්නි, ඔහු දන් දෙන්නේත් නෑ. දන්දීම අනුමෝදන් වෙන්නේත් නැහැ. දන් දීම වළක්වන්නත් බලනවා. එහෙත් දන්දෙන අය දෙසැරයක් හිතන්නේ නැහැ. දන්දෙන කෙනා දන්දීමෙන්ම සතුටුවෙනවා. මසුරු කෙනාට එසේ සතුටුවන්න පුළුවන් කමක් නැහැ. එමඟින් තමාමයි අසතුටට මානසික, පීඩනයට පත්වන්නේ.
    සමහරුන්ට යමක් ගැන තණ්හාව නැතිව යන්නේ ඒදේ පාවිච්චි කරන්න බැරිවන විටයි.එයින් ප්‍රයෝජනයක් ගන්න තිබෙන විට දෙන්න කැමැති නැහැ. එසේනම් මසුරු කෙනාට ත්‍යාගය ගැන කියන කථාව දුෂ්කරයි.මසුරුකම ජීවිතයට විශාල හානියක්; පාඩුවක්; අසහනයක්.

    දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්කථා

    ප්‍රඥාව නැතිකෙනකු සමඟ ප්‍රඥාව ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශප්‍රාඥ කෙනා නිතරම ත්‍රිලක්ෂණය දකින්නේ ‘කලකිරීමක්’ හැටියටයි . අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යනු මේ ලෝකයේ තිබෙන යථාර්ථයයි. ප්‍රඥා රහිත කෙනා අනිත්‍ය ලක්ෂණය වෙනුවට ලෝකය නිත්‍ය යැයි සිතනවා. දුක ගැන කියනවාටත් කැමැති නැහැ. මම මගේ යැයි ආත්ම දෘෂ්ටියෙන් ඔහු පසුවනවා. එසේම අසුබ භාවනාව වැඩීම නිසා තම ජීවිතය හා පවුල් ජීවිතය අවුල් වනවා සහ ඒ තුළ ප්‍රශ්න ඇති වනවා යැයි ප්‍රඥාව නැති කෙනා සිතනවා.මෙයට හේතුව ප්‍රඥාව අඩුකෙනාට ප්‍රඥා කථාව දුෂ්කරතාවක් වන නිසායි.
    ප්‍රඥාව ගැන බුදුරජුන් පෙන්වාදී ඇත්තේ මෙසේයි.’අරියාය නිබ්බේධිකාය සමන්නාගතො උදයත්ථ ගාමිණීපඤ්ඤා ‘ ඇතිවීම,නැතිවීම ගැන අවබෝධ කරනවාය යන අදහසයි. ‘කලකිරීම’ යන්නෙන් අදහස් කරන්නේ චිත්ත පීඩාවක්, එපාවීමක් නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ්ව තිබෙනවා. යථාර්ථය දැකීමෙන්, ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් නොඇලි සිටින මට්ටමට ප්‍රඥාව දියුණුවීමයි. මෙන්න මේ අර්ථය සමඟ දුශ්ප්‍රාඥයා නිතරම ගැටෙනවා. අනිත්‍යයි. දුකයි,අනාත්මයි, කියා සිතන්න සිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නොඇල්මක්. එම නිසා ඔහු තුළ උපේක්‍ෂාවක් ඇතිවනවා. බොජ්ඣංග ධර්ම වැඩෙනවා. සතර අපාය ගැන කියන විට තම ශරීරයේ ස්වභාව ගැන කියන විට එය යථාර්ථයක් ලෙස තේරුම් ගැනීමට නොහැකි අයට එය මානසික අසහනයක් බවට, එපාවීමක් බවට පත්වනවා. ගිහිජීවිතය තුළ අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව සහ බිම්බිසාර රජු ආදින් මඟ ඵල ලැබු උතුමන්. ඔවුන් ලෝකය ගැන මනා අවබෝධයෙන් සිටියා. එහෙත් ප්‍රඥාව නැති කෙනාට මේ කියන අවබෝධය ලැබෙන්නේ නැහැ. ජීවිතයම අවුල් කරගන්නවා.
    එසේ නම් කථා කිරීමට පහසු පුද්ගලයන් පස්දෙනාත් මේ අනුව පින්වත් ඔබට දැන් හඳුනාගැනීමට පහසුයි. ඉහත සඳහන් කථා කිරීමට දුෂ්කර පස්දෙනාගේ විරුද්ධ පැත්තයි.
    * ශ්‍රද්ධාව තිබෙන කෙනකු සමග ශ්‍රද්ධාව ගැන කථා කිරීමට පහසුයි.
    * සිල්වත් කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීම පහසුයි
    * බහුශ්‍රැත කෙනකු සමඟ බහුශ්‍රැත කථාව පහසුයි
    * ත්‍යාගවන්තයා සමඟ ත්‍යාගය ගැන කථාව පහසුයි
    * ප්‍රඥාවන්තයා සමඟ ප්‍රඥාව ගැන කථාව පහසුයි
    මෙලෙස ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග සහ පඤ්ඤා යන පංච සේඛ බල තම ජීවිතය තුළ දියුණු කරගෙන ලෞකික ජීවිතය ද සාර්ථක කරගනිමින් නිවන් පසක් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.