sha fm

    Monday, 23 September 2013

    අල්පෙච්චතාවය කියන්නේ කුමක්ද

    අල්පෙච්චතාවය කියන්නේ කුමක්
     යන්න විමසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඔබේ මනසට එවිට මැවෙන්නේ හරි හැටි ඇඳුමක් පැළඳුමක් නොමැතිව, අබලන් වූ භාණ්ඩ පරිහරණය කරමින් සිටින්නෙක් ය. එහෙත් තථාගත දහම තුල සඳහන් වන සැබෑම අල්පෙච්චතාවය යනු එයද? ඔය ආකාරයෙන් ඇති අල්පෙච්චතවයක සීමාව කුමක්ද? අල්ප වූ සීමාව කුමක්ද? මහෙච්ච වූ සීමාව කුමක්ද? මෙහෙ ගැටළු ගණනාවක් ඇති වන බව පෙනී යයි. ඔය ආකාරයේ වූ අල්පේච්ච තාවය සලකා බැලු කල ලෝකයේ හොඳම අල්පෙච්චතාවදියා ජෛන නිඝන්ටනාත පුත්‍රය. මන්ද එතුමාගේ සිරුරේ නූල් පොටක් නැති වෙන තරමටම අල්පෙච්චය. ජෛන නිඝන්ටයනට අනුව ගෞතම බුදුන් වහන්සේ මහෙච්ච ය. මහා මාලිගා ප්‍රසාද උන්වහන්සේ හට විවිධ දායකයෝ පූජා කළහ. ගෞතම බුදුන් වහන්සේ භාවිතා කලේ රන්වන් සිවුරකි. මේ නිසා එදා සමාජය ගෞතම බුදුන් වහන්සේව හංවඩු ගැසුවේ මහෙච්ච වූ ශ්‍රමණයෙක් ලෙසටය. එසේ නම් බුදුන්වහන්සේ දේශනා කල අල්පේච්ච ජීවිතය කුමක්ද? අවාසනාවට අද බෞද්ධයන් සැබෑම අල්පෙච්චතාවය යනු කුමක්ද යන්න නොදනියි. ඔවුන් දන්නේ ජෛන දහමේ සඳහන් වන අල්පෙච්චතාවයයි. බෞද්ධ භික්ෂුවක් උපසම්පදා වීමේදී නිස ගන්නවා යයි සිදු කරනා ක්‍රියාදාමයක් ඇත. එහෙදි සිදු කරන්නේ භික්ෂුවකගේ අවමය පිලිබඳ දේශනා කිරීමය. "භික්ෂුවකගේ අවමය, රුක්මුලයි...එහෙත් යම් භික්ෂුවකට ඔහුගේ පින් මහිමය නිසාවෙන් ආරාම,සේනාසන, මාලිගා ප්‍රාසාද හිමි වුවහොත් ඒ කිසි දෙයකට තණ්හාවෙන් නොබැඳි භාරගත යුතු ය." මේ ආදී වශයෙන් ලැබෙන ආහාර පාන, ගිලන්පස ගැනද එම දේශනාවේ සඳහන් කොට ඇත. අල්පේච්ච වීම යනු සියලු භෞතික දේ අත්හැර වනගත වීම යයි දෘෂ්ටි ගත්තෝද මේ සමාජයේ බහුල වෙති. එහෙත් බුදුවදන එය නොවේ. සංයුක්ත නිකායේ මිගජාල වග්ගයේ මිගජාල සුත්‍රයේ දි , මිගජාල නම් භික්ෂුව බුදුන්වහන්සේ හමුවට පිවිස මෙසේ විමසයි. "ස්වාමිනි, ඒකවිහාරි, ඒකවිහාරි (හුදෙකලා වීම) යයි කියයි, සැබෑවටම ඒකවිහාරි යනු කුමක්ද?" එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරයි. "මිගජාල, යම් භික්ෂුවකට හුදෙකලා වීමට අවශ්‍ය යයි පවසා, සියලු භෞතික දේ අත්හැර වන ගත වෙයි. එහෙත් ඒ මහණ තෙමේ තණ්හාවත් සමඟ ජිවත් වෙයි. මිගජාල ඔහු ඒකවිහාරි නොවේ. මිගජාල, යම් මහණෙකු හට ඒකවිහාරි වීමට යයි පවසා සියලු සම්පත් ඇති ප්‍රසාදයක. ඒ කිසිවකුට මනසින් නොඇලී වාසය කරයි. මිගජාල සැබෑවටම එම භික්ෂු තෙමේ හුදෙකලා වූ භික්ෂුවයි." මේ බුදුවදනට අනුව අල්පෙච්චතාවය යනු කුමක්ද යන්න පැහැදිලිය. තවත් උදාහරණයක් ගෙන බලමු. එක්පුද්ගලයකු හට මාසික වියදමට පන්දහසක් ලැබේ යයි සිතමු. තව අයෙකු හට වියදම සඳහා දසදහසක් ලැබේ යයි සිතමු. පන්දහසක් ලැබෙනා පුද්ගලයා 500ක ඇඳුමක් ගනියි. දසදහසක් ලැබෙන්නා 2000 සක ඇඳුමක් ගනියි. මේ දෙදෙනාගෙන් අල්පේච්ච කවුරුන්ද යන්න කිසිවකුට පිළිතුරු දිය නොහැක. මන්ද ඒ ඒ පුද්ගලයාගේ තරමට ඒ ඒ පුද්ගලයා අල්පෙච්චය. 5000සක් ලැබෙනා පුද්ගලයා 4000සක වස්ත්‍රයක් ගෙන ලක්ෂයක් ලැබෙනා පුද්ගලයෙක් 20000සක වස්ත්‍රයක් පැළඳ සිටිනා විට බැලු බැල්මට අල්පේච්ච ලෙස පෙනෙනුයේ 4000යක වස්ත්‍රය ය. එහෙත් එය එසේ නොවේ. ඔහුට සාපේක්ෂව ඔහු මහෙච්ච වේ. අල්පේච්ච - මහෙච්ච බව ගෝචර වන්නේ මනසට මිස භෞතිකයට නොවේ...

    -පූජනීය සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ දේශනාවක් ඇසුරිනි-

    No comments:

    Post a Comment