sha fm

    Saturday 19 October 2013

    වස එන්නතක් ගසා අනියම් පෙමට සමු දෙයි

    ඇල්ල වැල්ලවාය මාර්ගයේ උමාඔය ආසන්නයේදී විෂ ශරීරගත කරගෙන සියදිවි හානි කරගත් බවට සැක කරන හෙද නිලධාරියකුගේ සහ හෙදියකගේ දින කිහිපයක් නරක් වූ මළ සිරුරු දෙකක් ඊයේ (18) වැල්ලවාය ‍පොලීසියට හමුවී ඇත. මේ දෙදෙනාම විවාහකයන් වන අතර අනියම් පෙමක් මෙම සියදිවි හානිකර ගැනීමට මුල් වී ඇතැයි ‍පොලීසිය සඳහන් කරයි. හෙද නිලධාරියා වැලිසර නාවික හමුදා රෝහ‍ලේ සේවයේ නිරතව සිටියෙකි. ඔහු හාලි ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ‍පොලීසිය සඳහන් කරයි. ඔහු හතළිස් හැවිරිදි දෙදරු පියෙකි.
    හෙද නිලධාරිනිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයටත් දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය සඳහන් කරයි.
    තම බිරිඳ අතුරුදන් බවට ඉකුත් 07 වෙනිදා හෙද නිලධාරිනියගේ සැමියා කඩවත ‍පොලීසියට පැමිණිලි කර තිබිණි. ඒ අතර ඉකුත් 16 වෙනිදා ඔහු වැල්ලවාය ‍පොලීසියට පැමිණි බිරිඳ උමාඔය ව්‍යාපෘතිය ආසන්නයේ සියදිවි හානිකර ගන්නා බවට සඳහන් ලිපියක් තැපෑලෙන් තමාට එවා ඇති බව සඳහන් කර ඇයව සොයා ගන්නට උදව් ඉල්ලා තිබේ. ඒ අනුව ‍පොලීසිය උමාඔය ව්‍යාපෘතිය සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසියක් කළද මළ සිරුරක් හමුවී නැත.
    දින කිහිපයකට පෙර මියගියේ යැයි සැලකෙන ඇගේත් අනියම් පෙම්වතාගේත් මළසිරුරු දෙක ‍පොලීසියට හමුවන්නේ ඊයේය. උමාඔය ව්‍යාපෘතියට මඳක් ඈතින් එම මළ සිරුරු හමුවූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
    මළසිරුරු අසල සිලින්ජර තිබෙන බවත් දෙදෙනාගේ අත්වල කැනියුලාද දක්නට ඇති බවත් වැල්ලවාය ‍පොලීසිය සඳහන් කරයි. පෙනෙන්නට ඇති ආකාරයට අනුව විෂ ද්‍රව්‍යයක් ශරීරගත කරගෙන මේ දෙදෙනා සියදිවි හානි කරගෙන ඇති බව වැල්ලවාය ‍පොලීසිය සඳහන් කරයි.

    මොණරාගල කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙසින් වැල්ලවාය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක විජිත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය.

    No comments:

    Post a Comment