sha fm

    Thursday, 13 February 2014

    මංගලී ජීවිතය වරද්දවා ගත් හැටි

    වෙන කරන්න
    දෙයක්
    තිබුණේ නැහැ....
    මමත් එයාට
    අවනත වුණා......"

    මංගලිකාට ජීවත්වීමට ක්‍රමයක් නොතිබිණි. සැමියා මියගියේ හදිසි අනතුරකිනි. සැමියා මිය ගියාන් පසුව ඇයට දරුවන් ද නොසිටි නිසා ඈ ඇගේ අම්මා ළඟට ගියා ය. හිතුවක්කාර විවාහයක් කරගත් බැවින් අම්මා ඒ වනවිටත් සිටියේ මංගලිකා සමඟ අමනාපයෙනි. එපමණක් නොව ඇගේ සොහොයුරියෝ ද ඇය සමඟ අමනාප ය. මේ මංගලිකාගේ කතාවයි.

    "අපේ අම්මා ඒ කාලේ කැමති වුණේම නැහැ මම ගයාන්ව බඳිනවට. අම්මාට ඕන වුණේ හොඳ සල්ලිකාරයෙක්ට මාව දෙන්න. ගයාන් කියන්නේ අපේ අම්මාගේ මල්ලිගෙ පුතා. ඒත් ගයාන් මා එක්ක යාළු වුණේ ඉස්කෝලේ යන කාලෙමයි. අපේ අම්මට හොඳට දේපළ තිබුණා. ඒ කාලයේ අම්මගෙ මල්ලි ඒ කියන්නේ ගයාන්ගේ තාත්තා හිතුවක්කාර විවාහයක් කරගත්තා කියලා මාමට මොකුත් ම දීලා නැහැ.

    ඒත් නැන්දට හොඳට දේපළ තිබිලා තියෙනවා. අම්මයි මමයි අතරෙ යාළුකමක් නොතිබුණාට ළමයි වුණු අපි අතරේ යාළුකමක් තිබුණා. මං ගයාන් එක්ක යාළු බව දැනගත්තම අක්කා මගේ කම්මුලට ගැහුවා. අනිත් අක්කා ඇනුම්පද කිව්වා. මේ ඔක්කෝටම වඩා තරහා ගත්තේ අම්මා.

    "උඹව කපලා ගඟේ මුහුදේ දැම්මත් මං ඕකට නම් උඹව දෙන්නේ නැහැ......" අම්මා මට හොඳටම ගහලා ගහලා එහෙම කියලා කාමරයකට දාලා වැහුවා. මට අම්මත් එක්ක පුදුම තරහක් ඇති වුණේ. ඒ කාලේ මේ දැන් වගේ නෑනේ. මට ගයාන්ට පණිවුඩයක් යවාගන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ටික දවසක් යනකොට මට ආයෙමත් ගෙදර එහෙ මෙහෙ යන්න අවසර ලැබුණා.



    ඒත් එළියට යනව නම් යන්න වුණේ අක්කලා එක්ක හරි අම්මා එක්ක හරි. මං ගයාන්ව දකින්න නැතුව හරිම හිතේ අමාරුවෙන් හිටියේ. දවසක් ගයාන් අපේ ගෙදර ආවා. ඒ ආවේ පරණ බෝතල් එකතු කරන්නෙක් විදිහට. ගයාන්ව කොහොමවත්ම අඳුන ගන්න බැරි වුණා. අඩුම තරමේ මටවත් හඳුන ගන්න බැරිවුණා. ඒත් බෝතල්කාරයා යන්න පිටත්වෙලා දෙකට තුනට නවපු කොළ කෑල්ලක් මගේ කාමරේ ජනේලය ළඟින් තියලා යනවා මං දැක්කා. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මේ ගයාන්ගේ කවුරුහරි කියලා. රැවුල වවලා කොණ්ඩෙ වවලා හිටපු එයාව කොහොම හඳුනගන්නද ?

    මං අර ජනේලය ළඟ තිබුණ ලියුම කාමරයට වෙලා හොර රහසේ කියෙව්වා.

    "මට ඔයා නැතුව බැහැ..... කැමති නම් ... එන්න. අපි කොහේ හරි ඈතකට ගිහින් ජීවත් වෙමු. අපිට මේ අයගෙ මොකුත් එපා. පුළුවන් නම් අද රෑ අටෙන් පස්සේ ගේට්ටුව ළඟට එන්න.... - මේ ගයාන්"

    "මම හැන්දෑවරුවම කල්පනා කළේ මොකක්ද මේකට කරන්නේ කියලා. මට ගෙදර අය දාලා යන්න නම් දුකක් තිබුණේ නැහැ. ඒත් ගෙදරින් යන්නේ කොහොමද කියන ප්‍රශ්නය විතරයි මට තිබුණේ. කොහොමහරි හැන්දෑවේ හය හත වෙනකොට මං තීරණයකට ආවා.

    ගෙදර හිරකාරියක් වෙලා ඉන්නවාට වඩා යන එක හොඳයි කියලා. ගයාන් මට කිව්වේ මොකුත් ම නැතිව එන්න කියලා. කනේ තිබුණු කරාබු දෙකයි මං ලොකු ළමයෙක් වුණ දවසේ අප්පච්චී දාපූ චේන් පොටයි ගලවලා කණ්ණාඩි මේසය උඩින් තිබ්බා. මට චේන් පොට අරගෙන යන්නත් හිතුණා. අප්පච්චී මතක් වෙන්න. අප්පච්චී මැරුණේ මේ සිද්ධිය සිද්ධවෙන්න අවුරුදු දෙක තුනකට කලින්. සමහර විට අප්පච්චී හිටිය නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.



    කොහොමහරි මං රෑට කෑවෙත් නැහැ. අම්මයි අක්කයි හවස හත හමාරට ටී.වී එක ළඟ වාඩිවුණාම ගෙදර හොරු ගෙනිච්චත් දන්නෙ නැහැ.... මං හීන් සීරුවේ කුස්සිය පැත්තෙන් එළියට ගියා. ඇඳන් හිටපු චීත්ත ගවුම පිටින්ම මම ගේට්ටුව ළඟට ගියා. ගේ දිහා හැරිලා බැලුවම පපුව පත්තුවෙලා ගියා. මං එළියට යනවිට අට පහුවෙලා.

    ගයාන් එයාගේ මෝටර් සයිකලයෙන් ගේට්ටුවට එහායින් හිටියා. මම කළුවරේම ගිහින් බයිසිකලේට නැග්ගා. එයා මාව එක්කගෙන ගියේ එයාගේ මහ ගෙදරට. නැන්දයි මාමයි මාව ආදරෙන් පිළිගත්තා.

    "මේක මෙහෙම වෙන්න තිබුණ දෙයක් නෙමෙයි. දැන් මොනවා කරන්න ද....?" නැන්දා මගේ ඔළුව අතගාලා එහෙම කිව්වා.

    පහුවදා උදේම මාමා එයාගේ කාර්එකේ අපිව එක්කගෙන ගිහිල්ලා කසාද බැන්දුවා. ඊට පස්සේ අපි ගියේ නුවර දවස් ගාණක් අපි නුවර හිටියා. ආයෙමත් නැන්දලගෙ ගෙදර ආවාහම මාමා අපිට වත්ත පහළ ගෙදර පදිංචි වෙන්න හැමදේම සූදානම් කරලා තිබුණේ.

    මහගෙදර හිටියෙ ගයාන්ගෙ අයියා. එයා බැඳල හිටිය අක්කා ටිකක් වෙනස්. මං කා ගැනවත් හොයන්නේ නැතිව මගේ පාඩුවේ හිටියා. නැන්දයි මාමයි මට වෙනස් කම් කළේ නැහැ..... ගයාන් උදේම රස්සාවට ගියා. හවසට ගෙදර ආවා. අපි බැඳලා අවුරුදු තුනක් විතර ගතවුණා. අපිට දරුවෝ හිටියේ නැහැ.... නැන්දා නම් ඒ ගැන නිතර නිතර ඇහුවා.


    ඒ වෙනකොට ගයාන්ගේ අයියගේ බිරිඳට දෙවැනි දරුවා ලැබෙන්න හිටියේ. දරුවෝ නැහැ කියලා අපි අතර ප්‍රශ්න තිබුණේ නැහැ..... ඒත් ගයාන් හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්. ගයාන් මට හොඳට සැලකුවා. ඒත් ඒ හැමදේම නැතිවෙලා යන්න මහ වෙලාවක් ගියේ නැහැ....

    දවසක් උදේ වැඩට ගිය ගයාන් අනතුරකට ලක්වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. මං හිතුවේ ගයාන්ට එච්චරම අමාරුවක් නැතිව ඇති කියලා. ඒත් අපි රෝහලට යනකම්ම දැනගෙන හිටියේ නැහැ එයා මැරිලා කියලා. මට මුළු ලෝකයම අන්ධකාර වෙනවා වගේ දැනුණා.

    ගයාන්ගේ මරණයෙන් පස්සේ මාස ගණනක් යනතුරු නැන්දයි මාමයි මට දොස් කිව්වා. මම නිසා එයාගේ පුතාව නැති වුණා කියලා. මට ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. අයියයි එයාගේ බිරිඳයි මාව ගෙදරින් යවාගන්නමයි බැලුවේ.

    මම මගේ ඇඳුම්, රත්තරන් බඩු ටිකත් අරගෙන ආයෙම ගෙදර ආවා. අම්මා මාව ගෙට ගන්න කැමති වුණේ ම නැහැ. ඒත් පොඩි අක්කා තමයි කිව්වේ ඇවිත් ඉන්න කියලා. ඒ වෙනකොට ලොකු අක්කා විවාහ වෙලා ගමෙන් ගිහිල්ලා හිටියේ.

    පොඩි අක්කා මාව නතර කරගත්තේ එයාගේ දරුවෝ බලා ගන්න. මාසයක් දෙකක් යනවිට අම්මා මා එක්ක තිබුණ අමනාපකම් අත්හැරලා තිබුණා. ඒත් මං ගෙදර ආවා කියලා සැනසිල්ලක් ලැබුණේ නැහැ.

    පොඩි අක්කගෙ මහත්තයා අක්කා නැති වෙලාවට මට කරදර කරන්න ගත්තා. ටික දවසක් යනකොට මමත් එයාට අවනත වුණා. මං හිතපු නැති විදිහට මට බබෙක් ලැබෙන්න ආවා.

    මේක දැන ගත්ත දවසේ අම්මයි, අක්කයි මාවගෙදරින් පැන්නුවා. නමුත් අක්කගෙ මහත්තයා ගෙදරින් පිට එයා දන්න තැනක මාව නතර කෙරුවා. සුමානයකට සැරයක් එයා ඇවිත් මාව බලලා ගියා.

    ඒත් මේ බව දැනගත්ත පොඩි අක්කා මාව හොයාගෙන ඇවිත් ඒ ගෙදරින් පැන්නුවා. ගෙදර මිනිස්සුත් මාව තියාගන්න බය වුණා. මං බඩත් උස්සගෙන ඔළුව හැරිච්ච අතේ ගියා. කන්න නැති වුණාම පාරේ හිඟා කෑවා. මේ අතර තමයි මාව පොලිසියෙන් අල්ලගත්තේ.

    මං කිව්වා මට බස් එක වැරදුණා කියලා. කොහොම හරි මං උසාවි නොගිහින් බේරුණා. ඊට පස්සේ මං මගෙ යාළුවෙක්ව හොයාගෙන ගියා. එයා මාව ආදරෙන් බාරගත්තා. එයා බැඳලා හිටියේ. එයාට දරුවො හිටියෙ නැහැ.... මගෙ දරුවව බාරගන්න කැමති වුණා.



    මං දරුවා ලැබෙනකම් එහෙ හිටියා. ඒත්.. දරුවා ලැබුණම මට දෙන්න ලෝබ හිතුණා. දරුවට පිටිකිරි පුරුදු වනතුරු විතරක් මම එහෙ හිටියා. දරුවා කිරිපිටිවලට හුරුවුණාට පස්සේ මං එහෙන් එන්න ආවා.

    "අනේ මංගලී ඔයා ආයෙත් මෙහෙ එන්න එපා....."යාළුවා මට වැඳලා කිව්වා.

    කමක් නැහැ කොහේ හරි මගෙ දරුවා හොඳින් හැදෙනවනේ කියලා මං හිත හදා ගත්තා. එතැනින් පස්සේ මට යන්න එන්න තැනක් තිබුණේ නැහැ..... මං සමහර ගෙවල්වල වැඩකළේ බත්වේලේ කුළියට. සමහර ගෙවල්වලින් මට අඳින්න ලැබුණා. මම එක එක ගෙවල්වල හිටියා. අන්තිමටම හිටියේ මැඩම්ගෙ ගෙදර. මැඩම්ගෙ ගෙදර මං ගියේ රස්සාවක් හොයාගෙන. මාව දැකපු ගමන් මැඩම් ඇහුවේ වයස කීයද කියලා.
    මම කිව්වා විසි පහයි කියලා.... මැඩම් මට අලුත් ඇඳුම් අරගෙන දුන්නා.

    "උඹ හොඳ කෙල්ල වගේ හොඳට කාලා පිරිසුදුව ඉඳපන්. මං උඹව බලාගන්නම්...."

    මැඩම් මට එහෙම කිව්වා. ඊට පස්සේ මගෙ දවස ගෙවුණේ ඒ විදිහට. ඒ රස්සාව කවදාවත් ගෑනියෙක් කරන්න ඕන රස්සාවක් නෙමෙයි. ඒත් මම ඒකට පැටලුණේ ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති තැන. නමුත් දැන් මට හිතෙනවා මං ඒ තත්ත්වයට වැටෙන්නේ නැතිව හිටිය නම් හොඳයි කියලා......



    ඒත් කරන්න දෙයක් නැති කමට මං ඒ වළට වැටුණා. ඉඳලා හිටලා පොලිසියෙන් පැන්නා. අපිව උසාවි දැම්මා. මාසයක් දෙකක් හිරේ හිටියා. අයෙම ආවා. ඔහොම ඉන්න අතරෙ තමයි මගෙ අතින් මැඩම් ළඟ හිටපු කෙල්ලෙක්ට කනට පාරක් වැදුණේ. එයා මගෙ කස්ටමර් කෙනකුට බොරු කියලා තිබුණා.

    මට ඒකට තරහා ගියා. මං එයාට ගැහුවා. මං ගහපු පාර ඒකිට රිදෙන්න ඇති. ඒ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ ගෙදරට හොරු පැන්නා. මං හිටියේ හැන්දෑවේ නිදියගෙන. ඒත් කාමරේ සෝදිසි කරද් දී කොට්ටේ යට තිබිලා කුඩු ග්‍රෑම් පනහක් ලැබිලා තියෙනවා.

    මං දන්නෑ ඒක කොහොම වුණාද කියලා. ඒකට වගකියන්න ඕන අර මගෙන් ගුටිකාපු කෙල්ල. උසාවියෙන් මට ඇප ලැබුණේ නැහැ..... පොලිසියේ දී ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වෙලා තිබුණා. මට අවුරුදු හතරක දඬුවමක් ලැබුණා.

    ඕක තමයි මගේ කතාව ආයෙමත් අග ඉඳලා මුලට, මුල ඉඳලා අගට හිතද් දී තමයි මට හිතෙන්නේ මං ජීවිතේ වරද්ද ගත්තේ හිතුවක්කාරකම නිසයි කියලා.

    No comments:

    Post a Comment