sha fm

    Friday 14 February 2014

    කතුන් රවටන ස්ත්‍රී ලෝලීන්

    බැදීමකින් තොරවම කතුන් සමග ඇසුර පවත්වයි....

    මෙවැනි ලිපියක් ලිවීමෙන් මිතුරන් සේම මිතුරන් නොවන අපේම පාර්ශ්වයෙන් දෝෂාරෝපණයක් එල්ලවන්නට ද පුළුවන. මෙය දැකීමෙන් කිසිවකුගේ සිත් රිදවීමකට බඳුන් වූයේ නම් ඒ පිළිබඳව සමාව දුන මැනවි. නමුත් නොලියාම බැරි බැවින් ලියමි. ලිපියේ මාතෘකාව දැනටම ඔබ දැක ඇති බැවින් මේ කතාකරන්නට දඟලන්නේ කුමක් ගැනදැයි නොඑසේ නම් කවුරුන් ගැනදැයි ඔබ දැනටමත් දන්නවා ඇත.කෙළින්ම කතාවට එන්නේ නම්, සැබවින්ම 'ස්ත්‍රීලෝලියකු' යනු කවරෙක්ද ? මදකට සිතනු මැනවි. Womanizer යනු කාන්තා ලෝලීයා යන්න සඳහා ඇති ඉංගිරිසි පදයයි. මෙහි අර්ථය කෙළින්ම ගෙන බැලුවහොත් 'සල්ලාලයා,  ස්ත්‍රීලෝලියා’ හා ගැහැනුසොඩා' වැනි වදන් හමුවේ. ඇතැම් අය මෙවැනි පුද්ගලයන් හට 'ගෑනු පෙරේතයා' වැනි නමක් ද යොදන බැව් පෙනේ.මේ අතරින් බරපතළ බවින් අඩුම වදන 'ස්ත්‍රී ලෝලියා' බැවින් එය මේ ලිපිය සඳහා යොදාගනු ලබනු ලැබේ.
    අප දන්නා කියන කාලයේ පටන්, පාසල් සමයේ සිටම මියෙන තුරාම මෙම වර්ගයට අයත් පුද්ගලයන් නිතර හමුවේ. සමාජයේ මේ සඳහා වෙනත් පදයක් ඇතිදැයි නොදන්නා මුත් දන්නා තරමින් මොවුන් හඳුන්වන එක් ප්‍රකට නමක් වන්නේ 'කොබා' ය.

    නමුත් ඇතැම් විට එය ද මේ සඳහා කොතරම් ගැළපෙන්නේ දැයි කිය නොහැකි ය. ස්ත්‍රී ලෝලියා යනු කාන්තාවන් සොයා ගොස් ඔවුනට අතවර කරන්නවුන් යැයි ඔබ සිතනු ඇත. එහෙත් ඔබ වැරදිය. ඇතැම්විට
    මොවුන්ගේ ක්‍රියාකලාපයන් කරදරයක් විය හැකි මුත් ස්ත්‍රී දූෂකයන්ගේ ගණයට මොවුන් වැටෙන්නේ නැත.

    මොවුන් නිතර කාන්තා ඇසුරට කැමති අතර කාන්තාවන් අතරම ගැවසේ. අවස්ථාවක් ලද සැනින් උපක්‍රමශීලීව කාන්තාවක ඩැහැ ගන්නා මොවුහු එතැනින් නොනැවතී තවත් කාන්තාවක සොයා යයි. ඒ ගස් සොයමින් කොටමින් යන කොට්ටෝරුවකු මෙනි.කෙසෙල් ගසට කොටන අවස්ථාවක් උදාවුවහොත් හොට පැටලෙනු නිසැකය. නමුත් එක්වරම මෙවැන්නන් හඳුනාගන්නට අපහසුය. මෙහි සඳහන්කොට ඇති  කරුණු පිළිබඳ කාන්තා ඔබ යම් අවධානයක් යොමු කරන්නේ නම් ඔබේ ඔබ අතරේ  සිටින ‘ස්ත්‍රීලෝලීන්’ව හඳුනාගැනීමට පහසු වනු ඇත.
    ඉංගිරිසි බසින් මේ සඳහා ඇති වදන වන womanizer යන්න ලොව පුරා ජනප්‍රිය කරවන ලද්දේ "බ්‍රිට්නි ස්පියර්ස්" බව සැලකේ. ඒ ඇයගේ ඛිඪපජභඵ නම් සංගීත ඇල්බමයෙනි. ඇය මෙම වදනින් ස්ත්‍රීලෝලියා යන්නට දී ඇත්තේ බරපතළ තේරුමකි.  ඒ අනුව ස්ථිර සබඳතාවයකින් තොරව කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වන්නට ලොල් තැනැත්තා මේ නමින් හැඳින්වේ. ඔහු මේ සඳහා දහසක් බොරු පවසයි.

    කාන්තාව ඇසිපිය ගසනවාටත් වඩා වේගයෙන් ඔහු ඇයගේ හදවත සොරකම් කරයි. මෙවැන්නෙකුට ස්ථිර සම්බන්ධයක් පවත්වාගෙන යා නොහැකිය. මොවුනට අවශ්‍ය වන්නේ කාන්තාවගේ හදවත නොව මාංශයයි; ඒ බව සඟවන ඔහු කාන්තාවන් මුලාකර ගැනීමට ව්‍යාජ ආදරයක් පෙන්වයි.
    ස්ත්‍රීලෝලියා සියලු අතින්ම හැසිරෙන්නේ නියම ‘මහත්මයකු’ පරිදිය. නමුත් හිත යට ඇත්තේ වැරදි, දුෂ්ට චේතනාවකි. නමුත් කාන්තාවන්ට එය වැටහෙන්නේ බොහෝ විට සියල්ල සිදුවූ පසුය. මීට අමතරව පහත සඳහන් කොට ඇති ලක්ෂණ ද ඔබට ස්ත්‍රී ලෝලියකු පහසුවෙන් හඳුනාගන්නට සහය වනු ඇත.
    1. ඔබ ඇසුරු කරන පිරිමියකු ඔබට විවිධ අවස්ථාවලදී විවිධ නම්වලින් අමතන්නට පුරුදුව ඇත්නම් ඔහු මේ ගණයට අයත් වූවකු විය හැක. වෙනත් ලෙසකින් පැවසුවහොත් ඔහුට ඔබේ නම එක් වරකට වඩා වරදී. එයින් පැවසෙන්නේ ඔහුට විවිධ නම්වලින් තවත් මිතුරියන් ගණනාවක්ම සිටිනා බවය.
    2. කාන්තාලෝලීන් කතාවට අතිදක්ෂයෝ වෙති. ඔහු කිසිවිටෙකත් ‘මම’ යන්න නොකියයි. 'මම නොවෙයි අපි' වැනි වදන් ඔහු නිතර පවසයි. කාන්තාව දෙගිඩියාවකින් මෙවැන්නකු සමග මිතුරු වුවද මෙවැනි කතාබහ නිසා එම තත්ත්වය මගහැරී ඔහුගේ පැත්තට පහසුවෙන් නැඹුරුවේ. ‘අපි‘ යන වචන පැවසීම තුළින් අනාගතයේ ඔහු කාන්තාව සමග එක්ව ජීවත්වන්නට සැලසුම් කරනවා වැනි හැඟීම් පෙන්නුම් කරයි. බොහෝ කාන්තාවක් මුලාවන්නේ මෙවැනි අවස්ථාවකදීය.
    3. මෙවැනි පුද්ගලයන් ඔබ අසල සිටිද්දී ඔබ සමග කතාබහේ යෙදෙමින් සිටිද්දී සිය ජංගම දුරකථනය හරහා දිගින් දිගට කෙටි පණිවුඩ යැවීමේ පුරුද්දක් ඇත්නම්, මේ පණිවුඩ යවනු ලබන්නේ කාන්තාවන්ට නම් ඔහු  නිසැකවම ස්ත්‍රී ලෝලියෙකි.

    4. ඔහු කාන්තාවන්ට සැබෑ නමින් නොව වෙනත්  සුරතල් නම්වලින් ආමන්ත්‍රණය කරයි.  බබා, චූටි, මැණිකේ, රත්තරං, ඩාලිං, සුදා අප සමාජයේ භාවිතා වන එබඳු සුරතල් නම් කිහිපයකි. ඔබත් එවැන්නකුගේ මිතුරියක නම් පරෙස්සම් විය යුතුය. ඔහු මෙසේ සුරතල් නම් භාවිත කරන්නේ විවිධ නම් අතරින් ඔබේ සැබෑ නම අමතක වීම හෝ හරිහැටි මතකයේ නොමැති නිසා ද විය හැක.
    5. මෙවැනි පුද්ගලයන් විසින් කාන්තාවන් අතිශය වර්ණනාවක ලක් කෙරේ. “මම දැකපු ලස්සනම ඇස් තියෙන්නේ ඔයාට”, මම මේ වගේ විවෘතව වෙන කිසිම කෙල්ලෙක් එක්ක කතා කරලා නෑ” ඔයාට තියෙන්නේ පුදුම ආත්ම ශක්තියක්. මෙවැනි වදන් ස්ත්‍රීලෝලියකු වෙතින් නිතර ඇසිය හැකිය. නමුත් මේ සත්‍ය නොවේ.
    6. ස්ත්‍රී ලෝලියකු ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් වුවද හඳුනාගත හැකිය. ඔහුගේ මිතුරු සමාජයේ වැඩි වශයෙන්ම සිටින්නේ කාන්තාවන්ය. ඔහු වැඩි වශයෙන් අදහස් දක්වන්නේ ද කාන්තාවන්ට සම්බන්ධ දේවලටය.
    ඔබත් මෙවැනි ගතිගුණ ඇති පුද්ගලයකුගේ මිතුරියක් නම් කෙටියෙන්ම පැවසිය යුත්තේ පරෙස්සම් වීම නුවණට හුරුය කියාය. ඔබ සිතනවාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වන මෙවැන්නන් පිළිබඳ බොහෝ විට අවබෝධ වන්නේ සියල්ල අවසන් වූ පසුය. එබැවින් ඔවුන් පිළිබඳ අවබෝධයෙන් සිටීම ඔබේම ආරක්ෂාවට  හේතු වේ.

    Thursday 13 February 2014

    මංගලී ජීවිතය වරද්දවා ගත් හැටි

    වෙන කරන්න
    දෙයක්
    තිබුණේ නැහැ....
    මමත් එයාට
    අවනත වුණා......"

    මංගලිකාට ජීවත්වීමට ක්‍රමයක් නොතිබිණි. සැමියා මියගියේ හදිසි අනතුරකිනි. සැමියා මිය ගියාන් පසුව ඇයට දරුවන් ද නොසිටි නිසා ඈ ඇගේ අම්මා ළඟට ගියා ය. හිතුවක්කාර විවාහයක් කරගත් බැවින් අම්මා ඒ වනවිටත් සිටියේ මංගලිකා සමඟ අමනාපයෙනි. එපමණක් නොව ඇගේ සොහොයුරියෝ ද ඇය සමඟ අමනාප ය. මේ මංගලිකාගේ කතාවයි.

    "අපේ අම්මා ඒ කාලේ කැමති වුණේම නැහැ මම ගයාන්ව බඳිනවට. අම්මාට ඕන වුණේ හොඳ සල්ලිකාරයෙක්ට මාව දෙන්න. ගයාන් කියන්නේ අපේ අම්මාගේ මල්ලිගෙ පුතා. ඒත් ගයාන් මා එක්ක යාළු වුණේ ඉස්කෝලේ යන කාලෙමයි. අපේ අම්මට හොඳට දේපළ තිබුණා. ඒ කාලයේ අම්මගෙ මල්ලි ඒ කියන්නේ ගයාන්ගේ තාත්තා හිතුවක්කාර විවාහයක් කරගත්තා කියලා මාමට මොකුත් ම දීලා නැහැ.

    ඒත් නැන්දට හොඳට දේපළ තිබිලා තියෙනවා. අම්මයි මමයි අතරෙ යාළුකමක් නොතිබුණාට ළමයි වුණු අපි අතරේ යාළුකමක් තිබුණා. මං ගයාන් එක්ක යාළු බව දැනගත්තම අක්කා මගේ කම්මුලට ගැහුවා. අනිත් අක්කා ඇනුම්පද කිව්වා. මේ ඔක්කෝටම වඩා තරහා ගත්තේ අම්මා.

    "උඹව කපලා ගඟේ මුහුදේ දැම්මත් මං ඕකට නම් උඹව දෙන්නේ නැහැ......" අම්මා මට හොඳටම ගහලා ගහලා එහෙම කියලා කාමරයකට දාලා වැහුවා. මට අම්මත් එක්ක පුදුම තරහක් ඇති වුණේ. ඒ කාලේ මේ දැන් වගේ නෑනේ. මට ගයාන්ට පණිවුඩයක් යවාගන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ටික දවසක් යනකොට මට ආයෙමත් ගෙදර එහෙ මෙහෙ යන්න අවසර ලැබුණා.



    ඒත් එළියට යනව නම් යන්න වුණේ අක්කලා එක්ක හරි අම්මා එක්ක හරි. මං ගයාන්ව දකින්න නැතුව හරිම හිතේ අමාරුවෙන් හිටියේ. දවසක් ගයාන් අපේ ගෙදර ආවා. ඒ ආවේ පරණ බෝතල් එකතු කරන්නෙක් විදිහට. ගයාන්ව කොහොමවත්ම අඳුන ගන්න බැරි වුණා. අඩුම තරමේ මටවත් හඳුන ගන්න බැරිවුණා. ඒත් බෝතල්කාරයා යන්න පිටත්වෙලා දෙකට තුනට නවපු කොළ කෑල්ලක් මගේ කාමරේ ජනේලය ළඟින් තියලා යනවා මං දැක්කා. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මේ ගයාන්ගේ කවුරුහරි කියලා. රැවුල වවලා කොණ්ඩෙ වවලා හිටපු එයාව කොහොම හඳුනගන්නද ?

    මං අර ජනේලය ළඟ තිබුණ ලියුම කාමරයට වෙලා හොර රහසේ කියෙව්වා.

    "මට ඔයා නැතුව බැහැ..... කැමති නම් ... එන්න. අපි කොහේ හරි ඈතකට ගිහින් ජීවත් වෙමු. අපිට මේ අයගෙ මොකුත් එපා. පුළුවන් නම් අද රෑ අටෙන් පස්සේ ගේට්ටුව ළඟට එන්න.... - මේ ගයාන්"

    "මම හැන්දෑවරුවම කල්පනා කළේ මොකක්ද මේකට කරන්නේ කියලා. මට ගෙදර අය දාලා යන්න නම් දුකක් තිබුණේ නැහැ. ඒත් ගෙදරින් යන්නේ කොහොමද කියන ප්‍රශ්නය විතරයි මට තිබුණේ. කොහොමහරි හැන්දෑවේ හය හත වෙනකොට මං තීරණයකට ආවා.

    ගෙදර හිරකාරියක් වෙලා ඉන්නවාට වඩා යන එක හොඳයි කියලා. ගයාන් මට කිව්වේ මොකුත් ම නැතිව එන්න කියලා. කනේ තිබුණු කරාබු දෙකයි මං ලොකු ළමයෙක් වුණ දවසේ අප්පච්චී දාපූ චේන් පොටයි ගලවලා කණ්ණාඩි මේසය උඩින් තිබ්බා. මට චේන් පොට අරගෙන යන්නත් හිතුණා. අප්පච්චී මතක් වෙන්න. අප්පච්චී මැරුණේ මේ සිද්ධිය සිද්ධවෙන්න අවුරුදු දෙක තුනකට කලින්. සමහර විට අප්පච්චී හිටිය නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.



    කොහොමහරි මං රෑට කෑවෙත් නැහැ. අම්මයි අක්කයි හවස හත හමාරට ටී.වී එක ළඟ වාඩිවුණාම ගෙදර හොරු ගෙනිච්චත් දන්නෙ නැහැ.... මං හීන් සීරුවේ කුස්සිය පැත්තෙන් එළියට ගියා. ඇඳන් හිටපු චීත්ත ගවුම පිටින්ම මම ගේට්ටුව ළඟට ගියා. ගේ දිහා හැරිලා බැලුවම පපුව පත්තුවෙලා ගියා. මං එළියට යනවිට අට පහුවෙලා.

    ගයාන් එයාගේ මෝටර් සයිකලයෙන් ගේට්ටුවට එහායින් හිටියා. මම කළුවරේම ගිහින් බයිසිකලේට නැග්ගා. එයා මාව එක්කගෙන ගියේ එයාගේ මහ ගෙදරට. නැන්දයි මාමයි මාව ආදරෙන් පිළිගත්තා.

    "මේක මෙහෙම වෙන්න තිබුණ දෙයක් නෙමෙයි. දැන් මොනවා කරන්න ද....?" නැන්දා මගේ ඔළුව අතගාලා එහෙම කිව්වා.

    පහුවදා උදේම මාමා එයාගේ කාර්එකේ අපිව එක්කගෙන ගිහිල්ලා කසාද බැන්දුවා. ඊට පස්සේ අපි ගියේ නුවර දවස් ගාණක් අපි නුවර හිටියා. ආයෙමත් නැන්දලගෙ ගෙදර ආවාහම මාමා අපිට වත්ත පහළ ගෙදර පදිංචි වෙන්න හැමදේම සූදානම් කරලා තිබුණේ.

    මහගෙදර හිටියෙ ගයාන්ගෙ අයියා. එයා බැඳල හිටිය අක්කා ටිකක් වෙනස්. මං කා ගැනවත් හොයන්නේ නැතිව මගේ පාඩුවේ හිටියා. නැන්දයි මාමයි මට වෙනස් කම් කළේ නැහැ..... ගයාන් උදේම රස්සාවට ගියා. හවසට ගෙදර ආවා. අපි බැඳලා අවුරුදු තුනක් විතර ගතවුණා. අපිට දරුවෝ හිටියේ නැහැ.... නැන්දා නම් ඒ ගැන නිතර නිතර ඇහුවා.


    ඒ වෙනකොට ගයාන්ගේ අයියගේ බිරිඳට දෙවැනි දරුවා ලැබෙන්න හිටියේ. දරුවෝ නැහැ කියලා අපි අතර ප්‍රශ්න තිබුණේ නැහැ..... ඒත් ගයාන් හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්. ගයාන් මට හොඳට සැලකුවා. ඒත් ඒ හැමදේම නැතිවෙලා යන්න මහ වෙලාවක් ගියේ නැහැ....

    දවසක් උදේ වැඩට ගිය ගයාන් අනතුරකට ලක්වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. මං හිතුවේ ගයාන්ට එච්චරම අමාරුවක් නැතිව ඇති කියලා. ඒත් අපි රෝහලට යනකම්ම දැනගෙන හිටියේ නැහැ එයා මැරිලා කියලා. මට මුළු ලෝකයම අන්ධකාර වෙනවා වගේ දැනුණා.

    ගයාන්ගේ මරණයෙන් පස්සේ මාස ගණනක් යනතුරු නැන්දයි මාමයි මට දොස් කිව්වා. මම නිසා එයාගේ පුතාව නැති වුණා කියලා. මට ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. අයියයි එයාගේ බිරිඳයි මාව ගෙදරින් යවාගන්නමයි බැලුවේ.

    මම මගේ ඇඳුම්, රත්තරන් බඩු ටිකත් අරගෙන ආයෙම ගෙදර ආවා. අම්මා මාව ගෙට ගන්න කැමති වුණේ ම නැහැ. ඒත් පොඩි අක්කා තමයි කිව්වේ ඇවිත් ඉන්න කියලා. ඒ වෙනකොට ලොකු අක්කා විවාහ වෙලා ගමෙන් ගිහිල්ලා හිටියේ.

    පොඩි අක්කා මාව නතර කරගත්තේ එයාගේ දරුවෝ බලා ගන්න. මාසයක් දෙකක් යනවිට අම්මා මා එක්ක තිබුණ අමනාපකම් අත්හැරලා තිබුණා. ඒත් මං ගෙදර ආවා කියලා සැනසිල්ලක් ලැබුණේ නැහැ.

    පොඩි අක්කගෙ මහත්තයා අක්කා නැති වෙලාවට මට කරදර කරන්න ගත්තා. ටික දවසක් යනකොට මමත් එයාට අවනත වුණා. මං හිතපු නැති විදිහට මට බබෙක් ලැබෙන්න ආවා.

    මේක දැන ගත්ත දවසේ අම්මයි, අක්කයි මාවගෙදරින් පැන්නුවා. නමුත් අක්කගෙ මහත්තයා ගෙදරින් පිට එයා දන්න තැනක මාව නතර කෙරුවා. සුමානයකට සැරයක් එයා ඇවිත් මාව බලලා ගියා.

    ඒත් මේ බව දැනගත්ත පොඩි අක්කා මාව හොයාගෙන ඇවිත් ඒ ගෙදරින් පැන්නුවා. ගෙදර මිනිස්සුත් මාව තියාගන්න බය වුණා. මං බඩත් උස්සගෙන ඔළුව හැරිච්ච අතේ ගියා. කන්න නැති වුණාම පාරේ හිඟා කෑවා. මේ අතර තමයි මාව පොලිසියෙන් අල්ලගත්තේ.

    මං කිව්වා මට බස් එක වැරදුණා කියලා. කොහොම හරි මං උසාවි නොගිහින් බේරුණා. ඊට පස්සේ මං මගෙ යාළුවෙක්ව හොයාගෙන ගියා. එයා මාව ආදරෙන් බාරගත්තා. එයා බැඳලා හිටියේ. එයාට දරුවො හිටියෙ නැහැ.... මගෙ දරුවව බාරගන්න කැමති වුණා.



    මං දරුවා ලැබෙනකම් එහෙ හිටියා. ඒත්.. දරුවා ලැබුණම මට දෙන්න ලෝබ හිතුණා. දරුවට පිටිකිරි පුරුදු වනතුරු විතරක් මම එහෙ හිටියා. දරුවා කිරිපිටිවලට හුරුවුණාට පස්සේ මං එහෙන් එන්න ආවා.

    "අනේ මංගලී ඔයා ආයෙත් මෙහෙ එන්න එපා....."යාළුවා මට වැඳලා කිව්වා.

    කමක් නැහැ කොහේ හරි මගෙ දරුවා හොඳින් හැදෙනවනේ කියලා මං හිත හදා ගත්තා. එතැනින් පස්සේ මට යන්න එන්න තැනක් තිබුණේ නැහැ..... මං සමහර ගෙවල්වල වැඩකළේ බත්වේලේ කුළියට. සමහර ගෙවල්වලින් මට අඳින්න ලැබුණා. මම එක එක ගෙවල්වල හිටියා. අන්තිමටම හිටියේ මැඩම්ගෙ ගෙදර. මැඩම්ගෙ ගෙදර මං ගියේ රස්සාවක් හොයාගෙන. මාව දැකපු ගමන් මැඩම් ඇහුවේ වයස කීයද කියලා.
    මම කිව්වා විසි පහයි කියලා.... මැඩම් මට අලුත් ඇඳුම් අරගෙන දුන්නා.

    "උඹ හොඳ කෙල්ල වගේ හොඳට කාලා පිරිසුදුව ඉඳපන්. මං උඹව බලාගන්නම්...."

    මැඩම් මට එහෙම කිව්වා. ඊට පස්සේ මගෙ දවස ගෙවුණේ ඒ විදිහට. ඒ රස්සාව කවදාවත් ගෑනියෙක් කරන්න ඕන රස්සාවක් නෙමෙයි. ඒත් මම ඒකට පැටලුණේ ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති තැන. නමුත් දැන් මට හිතෙනවා මං ඒ තත්ත්වයට වැටෙන්නේ නැතිව හිටිය නම් හොඳයි කියලා......



    ඒත් කරන්න දෙයක් නැති කමට මං ඒ වළට වැටුණා. ඉඳලා හිටලා පොලිසියෙන් පැන්නා. අපිව උසාවි දැම්මා. මාසයක් දෙකක් හිරේ හිටියා. අයෙම ආවා. ඔහොම ඉන්න අතරෙ තමයි මගෙ අතින් මැඩම් ළඟ හිටපු කෙල්ලෙක්ට කනට පාරක් වැදුණේ. එයා මගෙ කස්ටමර් කෙනකුට බොරු කියලා තිබුණා.

    මට ඒකට තරහා ගියා. මං එයාට ගැහුවා. මං ගහපු පාර ඒකිට රිදෙන්න ඇති. ඒ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ ගෙදරට හොරු පැන්නා. මං හිටියේ හැන්දෑවේ නිදියගෙන. ඒත් කාමරේ සෝදිසි කරද් දී කොට්ටේ යට තිබිලා කුඩු ග්‍රෑම් පනහක් ලැබිලා තියෙනවා.

    මං දන්නෑ ඒක කොහොම වුණාද කියලා. ඒකට වගකියන්න ඕන අර මගෙන් ගුටිකාපු කෙල්ල. උසාවියෙන් මට ඇප ලැබුණේ නැහැ..... පොලිසියේ දී ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වෙලා තිබුණා. මට අවුරුදු හතරක දඬුවමක් ලැබුණා.

    ඕක තමයි මගේ කතාව ආයෙමත් අග ඉඳලා මුලට, මුල ඉඳලා අගට හිතද් දී තමයි මට හිතෙන්නේ මං ජීවිතේ වරද්ද ගත්තේ හිතුවක්කාරකම නිසයි කියලා.

    Monday 10 February 2014

    පාසල් නේවාසිකාගාරයේ දී අබු සැමියන් ලෙස හැසිරිලා..

    http://ratagiyaattho.blogspot.kr/
    පාසල් සිසුවියක්ව පාසල් නේවාසිකාගාරයක් තුළ දී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. මේ අයුරින් අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වයසැති බාලවයස්කාර පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18 ක් වයසැති පාසල් සිසුවෙකුව ය.අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර ඉගෙණුම ලබමින් සිටින අතර, සැකකාර ශිෂ්‍යා ද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත. දෙදෙනා අතර මීට සති කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත. පසුගිය 01 වැනිදා පුද්ගලික උපකාරක පන්තියකට යාම සදහා සිසුවිය ආණමඩුව නගරයට පැමිණ ඇත.බස් නැවතුම්පලේ දී සිසුවිය සහ සැකකරු මුණගැසීමෙන් අනතුරුව සැකකරුගේ ඉල්ලීම මත දෙදෙනාම පාසලේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බවත්, ඉන්පසු නේවාසිකාගාරය තුළදී සැකකරු වූ පෙම්වතා විසින් තමන්ව දුෂණය කළ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියගේ ජංගම දුරකථනයේ තිබූ කෙටි පණිවිඩයක් ඇයගේ මාමා කෙනෙකු දැක මේ සම්බන්ධයෙන් සොයා බලන විට සිද්ධිය අනාවරණය වී ඇත.ඉන් පසුව සිද්ධිය පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසු අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට යොමුකර ඇත. ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.  
     

    Sunday 9 February 2014

    වරද හෙළිවෙතැයි බියෙන් තරුණිය මරා දාලා......

    http://ratagiyaattho.blogspot.kr/
    ඉන්දියාවේ බටහිර උත්තර ප‍්‍රදේශ් මතුරා ගම්මානයේ සාමිවරයකු විසින් දූෂණයට ලක් කළ බව කියන තරුණියක අධිකරණ භූමියේදී වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම තරුණිය එදින අධිකරණය වෙත ගොස් ඇත්තේ සාමිවරයාට එරෙහිව සාක්ෂි දීම සඳහායි.
    එම අවස්ථාවට ඇය සමඟ අධිකරණය වෙත ගිය තරුණියගේ මව ද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා දැනට රෝහල්ගතව ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. අධිකරණ භූමියේ දී තරුණියට හා මවට වෙඩි තබා පලායාමට උත්සහ කළ දෙදනකු අත්අඩංගුවට ගෙන ඇතත් සෙසු පිරිස පලාගොස් තිබේ.
    සාමිවරයා විසින් දූෂණය කළ බව කියන තරුණිය 25 හැවිරිදි අයෙකි. ඇය දූෂණයට ලක් කළ බව කියන සාමිවරයා ඉන්දියාවේ උසස් අධ්‍යාත්මික නායකයකු බව පැවසේ. ගෝවින්දානන්දන් ටීරාත් නමැති මෙම සාමිවරයා අතින් තරුණිය දූෂණයට ලක්ව ඇත්තේ 2012 වසරේදී යි. සිද්ධියෙන් අනතුරුව එරට පොලිසිය වෙත ඇය පැමිණිලි කළ ද මේ වනතෙක් සාමිවරයා අත්අඩංගුවට ගෙන නොමැත.

    Friday 7 February 2014

    කුරුණෑගල දරුවෙක් FB නිස සියදිවි නසාගෙන

    http://ratagiyaattho.blogspot.kr/
    කුරුණෑගල දරුවෙක් FB නිස සියදිවි නසාගෙන කියලා මේ දිනවල අප කවුරුත් දන්නා සිදුවීමක්.ඇත්තටම කණුගාටුදායකයි. නමුත් සියල්ල සිදූවී හමාරයි.

    දරුවන් යනු අතදැකීම් බහුල පිරිසක් නෙවෙයි. 15 වැනි වියේ ඉන්න දැරිවියක් යනු කිසි සේත් බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් වයසේ කෙනෙක් නෙවෙයි. මේ සිද්ධිය සම්බන්ධම විදුහල්පතිරයා හා ගුරු මණ්ඩලය ගත්ත ක්‍රියවනුත් 100% ක්ම නිවරුදි කීයලා කියන්න බැහැ.නමුත් අප කල යුත්තේ, මේ දෙයට එසේත් නැති නම් දරුවා එල්ලී සියදිවි නසා ගැනීම සාධාරණීය කරනය කිරීම නොවෙයි. මේවා හැම තැනම පෝස්ටර්./වෙබ් සයිට්ස්/පත්තරවල ගියාම වෙන්නේ, මේ වගේ තීරණයක් අනුමත කරනවා වගෙයි.

    අද කාලේ ෆේස්බුක් එකේ ඉන්නේ වැඩිහරියක් නවයොවුන් වියේ දරු දැරියන්. එහෙම තියෙද්දි, මේ දැරිවි කල දේ සාධාරණීය කරනය කර හැම තැනම හඬා වැළපීම යුතු නොහී.

    ඒකෙන් අපි හිතන සුබපල ගන්න බැහැ. අනිත් දරු දැරියනුත් මෙවැනි සිද්ධියක් වූ සැනින් ගන්නෙ, මෙවැනි අතිභයානක මුළු ජීවියම/මුළු පවුලක්ම දරුණූ ආගාධයකට ඇදදාන බරපතල තීරණයක් විය හැකියි.

    ඔබේ දරුවාට/නැගෙණියට/සහෝදරයාට/පුතනුවන්ට මෙම කුරුණෑගල සිසුවිය සිදුකර ගත් විනාශය වරදක් බවත්, මතු අත්භවයක මනුස්ස ආත්මයක් නැවත නොලැබෙන තරමේ මහා පාපකර්මයක් බවත් තේරුම් කර දෙන්න !

    Thursday 6 February 2014

    සාප්පු කුටියේ දී කතුන්ගේ රුව නිරුවතට නැගේ

    http://ratagiyaattho.blogspot.kr/


    ඇඳුම් මාරුකරන කතුන්ගේ දසුන් බලනවුන්ට චිත්‍රපටයක් වගේ.... 

    අතිශයින්ම කාන්තාවන්  කළඹවන පුවතක් නම් කිසිවෙකුටවත් නොදැනෙන ලෙස විශේෂයෙන්ම කාන්තා වැසිකිලිවල රහසිගතව කැමරා සවිකර තිබීමයි. මෙය පසුය දිනවල එක්තාරා ආන්දෝලනයක් බවට පත් වූ කරුණක් ද වුවා. ඉතින් මෙවැනි වූ සිදුවීම් තව කොතෙක් නම් අප අවට අපටත් නොදැනීම සිදුවනවා ඇතිදැයි යන පැනයත් මේ අතර අප සිතට නැගෙනවා. හදිසි අවශ්‍යතාවයකට හෝ එවැනි ‍පොදු ස්ථානයකට යාමට චකිතයක් දනවන තරමට දැන් මේ සිද්ධිය ප්‍රබල වි තිබෙනවා.කලකට පෙර ද ඒ ආකාරයේ සිදුවීමක් ගම්පහ ප්‍රසිද්ධ රෙදි වෙළෙඳසලක් තුළදී ද සිදුව තිබූ බව අනාවරණය වූයේ එය සිදු කළා යැයි පවසන වෙළෙඳස‍ලේ හිමිකරුවා ඝාතනය වීමත් සමග එහි සුලමුල සොයා ගිය අවස්ථාවේදී  ය. නමුත් එම සිදුවීමේ යථා ස්වරූපය තවමත් කිසිවෙක්ට දැනගන්නට ලැබීනැත.
    දැනට හෙළිදරව් වී ඇත්තේ ඒ ආකාරයේ සූක්ෂ්ම කැමරා Pinhole Camera ආදිය මගින් ෆිට්ඕන් රූම් (fit on room Trial room) වැසිකිළි ආදිය තුළ දී අතිශය පෞද්ගලික ක්‍රියාවන් හා විශේෂයෙන් කාන්තාවන්ගේ නිරුවත රහසිගතව නැරඹූ සිද්ධීන් ය.
    තවමත් අප රටේ නීතිය හමුවට ගොස් නැතත් ලොව වෙනත් රටවල දෙපැති කණ්ණාඩි (Two way Mirrors) කරගෙන සිදුකරන ඒ ආකාරයේම ක්‍රියාවන් අපමණය. තවම අපේ රට තුළ හෙළිදරව් නොවූවද දැනටමත් ඇතැම් සාප්පු ආදියේ ඒ ආකාරයේ දෙපැති කණ්ණාඩි යොදා ගනිමින් එවැනි ක්‍රියාවන් සිදුනොවේ යැයි කිව නොහැක. එමෙන්ම මෙය දෙපැති කණ්ණාඩි පිළිබඳව හොඳින් දන්නා අයෙකුට හැර හඳුනා ගැනීම පහසු නොවන සූක්ෂ්ම දෙයක් වීම ද විශේෂත්වයකි.
    වෙනත් රටවල අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා මෙම කණ්ණාඩි විශේෂය යොදා ගැනෙන බව ද පැවසේ. ඕනෑම දෙයක් හොඳට මෙන්ම නරකටද යොදා ගන්නවූත් සුලබ ලොවක මෙම දෙපැති කණ්ණාඩියද අනුන්ගේ නිරුවත නැරඹීමෙන් විනෝදවන්නවුන් තම පහත් ආශ්වාදය සඳහා යොදා ගෙන තිබේ.
    ඉතා මිල අධික කණ්ණාඩියක් වන මෙම දෙපැති කණ්ණාඩිය බැලූ බැල්මට අප හැඩවැඩ බලන සාමාන්‍ය කණ්ණාඩියකි. කණ්ණාඩිය ඉදිරිපිට දී අපේ ප්‍රතිබිම්බය පමණක් ඉතා හොඳින් දර්ශනය වීම ඉතා හුරු පුරුදු කණ්ණාඩියකි.
    එහෙත් මෙම දෙපැති කණ්ණාඩියේ ඇති විශේෂත්වය වන්නේ එම දෙපැති කණ්ණාඩිය ඉදිරියේ සිටින අයෙකුගේ පෙනෙන සම්පූර්ණ ප්‍රතිබිම්බයම කණ්ණාඩියේ අනෙක් පසින් සිටින කෙනෙකුට ද ඉතා හොඳින් දැකගත හැකි වීමයි. එහෙත් කණ්ණාඩිය ඉදිරියේ සිටින අයට කෙසේවත් තමන්ව වෙනත් පාර්ශ්වයකට දර්ශනය වන බවක් නොපෙනෙයි.
    ඒ අනුව ඇඳුම් මාරුකරන කුටියක (fit on room) එසේත් නැතිනම් හෝටල් කාමරයකදී වුවද තමන්ව කිසිවෙකුගේ නෙත නොගැටෙනවා ඇතැයි යන විශ්වාසය මත ඉතා නිදහසේ හැසිරීමට කෙනෙකු පෙළඹේ. එහෙත් යම් ස්ථානයක පෙරකී ආකාරයේ දෙපැති කණ්ණාඩියක් සවිකර ඇත්නම් එහි අනෙක් පස සිටින කෙනෙකුට චිත්‍රපටයක් නරඹනවා මෙන් එම කුටිය හෝ කාමරය ඇතුළත සිදුවන සියල්ල ඒ අයුරින්ම නැරඹීමට හැකියාව ලැබේ.
    මෙහිදී දෙපැති කණ්ණාඩිය අනෙක් පැත්තේ යමකු පෙනී සිටීමේ මෙන්ම අනික් පස සවි කළ වීඩියෝ කැමරා මගින් එම නිරුවත් දර්ශන ඩැහැ ගැනුණු අවස්ථාවන් පිළිබඳවද දැනගන්නට ලේබේ.
    දෙපැති කණ්ණාඩියක් (Two way mirror) සවිකර ඇති දැයි හඳුනා ගන්නේ කෙසේද ?
    බැලූ බැල්මට අපහසු වුMirrorවද දෙපැති කණ්ණාඩියක් හඳුනාගැනීමට හැකි එක් උපක්‍රමයක් වේ. ඒ අනුව අපට යම් සැකයක් ඇති ස්ථානයක සවිකර ඇති කණ්ණාඩියක් මත මෙම රූපසටහනේ දැක්වෙන අන්දමින් ඇඟිල්ල තැබූ විට එම කණ්ණාඩිය සාමාන්‍ය එකක් ද නැතහොත් ඇතුළත වන සියල්ල පිටතට දර්ශනය වන දෙපැති කණ්ණාඩියක් දැයි හඳුනා ගත හැකිය.
    ඒ අනුව කණ්ණාඩිය මත ඇඟිල්ල තැබූ විට සාමාන්‍ය භාවිතයේ ඇති කණ්ණාඩියක් තුළින් පෙනෙන ඇඟිල්‍ලේ ප්‍රතිබිම්බය සහ සැබෑ ඇඟිල්ල අතර ඉතාම කුඩා අවකාශයක් දැකිය හැකිය. ඒ කණ්ණාඩියේ පිටත ආ‍ලේප කර ඇති රසඳිය ආ‍ලේපනයේ ඝණත්වය දැක්වෙන ඉඩ ප්‍රමාණයයි.
    එහෙත් දෙපැති කණ්ණාඩිය මත ඇඟිල්ලක් තැබූ විට පෙර කී ආකාරයේ හිඩැසක් නැතිනම් අවකාශයක් කිසිසේත් දර්ශනය නොවේ. ඇඟිල්ල සහ ප්‍රතිබිම්බය එකිනෙක ඉතා හොඳින් ගැටෙන නැතහොත් එකිනෙක ස්පර්ශ වන බවක් දැක ගත හැකිය.
    දැන් දැන් රට තොට සිදුවන දේ "සූදානම් ශරීරයෙන්" යැයි කියා සාප්පුවක, හෝටල් කාමරයක ඇති සැකකටයුතු කණ්ණාඩියක් මත ඇඟිල්ල තබා පළමු කොටම සැක හැර ගැනීම ඇඟට ගුණ යැයි පැවැසිය යුතුය.

    Tuesday 4 February 2014

    වල්ලපට්‌ටා පට්‌ට ගැසීමට පෙර

    http://ratagiyaattho.blogspot.kr/
    වල්ලපට්‌ටා ශාකය (Gyrinops walla) පිළිබඳව නො ඇසූ කෙනකු ශ්‍රී ලංකාවේ මේ වන විට සිටිය නොහැකි තරම් ය. සැබැවින් ම මේ වල්ලපට්‌ටා ශාකය තරම් මෑතකාලීන ව මෙරට ජනතාව තුළ ද නිතර අසන්නට ලැබුණු, කතාබහට ලක්‌ වුණු වෙනත් ශාක විශේෂයක්‌ නොමැති තරම් ය. අධික මිලකින් යුත් සුවඳ විලවුන් වර්ග සෑදීම සඳහා යොදාගනු ලබන රෙසිනමය රසායන ද්‍රව්‍යයක්‌ (Agar wood) නිස්‌සාරණය කරගැනීම සඳහා නීති විරෝධී ජාවාරමක්‌ ආකාරයෙන් වල්ලපට්‌ටා ශාක ස්‌වාභාවික පරිසරයෙන් කපා ඉවත් කරගැනීම මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිරී ගිය ව්‍යාපාරයක්‌ බවට පත් විය. එයට වැට බැඳීමට පොලිසිය, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව, රේගුව වැනි නියාමන ආයතන දැඩි පරිශ්‍රමයක්‌ දරමින් සිටියි.
    ඒ අතරතුර වල්ලපට්‌ටා අපනයනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස්‌ කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටීම වල්ලපට්‌ටා ජාවාරමට උඩගෙඩි දීමක්‌ වේ දැයි යන සැකය මේ වන විට පැන නැඟෙමින් ඇත. වල්ලපට්‌ටා ශාකය වගාවක්‌ ලෙස ප්‍රචලිත කර එයින් ලබාගන්නා අස්‌වැන්න මේ ආකාරයට අපනයනය කිරීමට කටයුතු කරන බව හුවා දැක්‌වුව ද ශ්‍රී ලාංකීය යාන්ත්‍රණය තුළ එය ඒ ආකාරයෙන් ම සිදු වනු ඇති ද යන්න පිළිබඳව අටුවාටීකා අවශ්‍ය වන්නේ නැතැයි සිතමු. එනයින් ගත් කල වල්ලපට්‌ටා අපනයනයට අවසර ලබා දීම ශ්‍රී ලංකාවේ එම ශාකයේ පැවැත්ම අවාසනාවන්ත තත්ත්වයකට ඇද දැමීමට හේතුවක්‌ විය හැකි බව සැලකිල්ලට ගත යුතු ය.වල්ලපට්‌ටා ජාවාරම පිළිබඳව මෑතකාලීනව මුල්වරට අසන්නට ලැබෙන්නේ වර්ෂ 2012 මුල් කාලයේ දී ය. ඒ රත්නපුර කලවාන ප්‍රදේශයේ දී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ සමග ඉන්දියානු ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් සමග ය. ලෝකයේ මිල අධිකතම සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා Agarwood නිස්‌සාරණය කරගැනීමට යොදාගන්නා වටිනා ශාක විශේෂය ලංකාවේ කරළියට පැමිණෙන්නේ ඒ සමග ය. ඒ හැරෙන්නට දේශීය වෙදකමේ විවිධ අවස්‌ථාවල යොදාගන්නා එතරම් වටිනාකමක්‌ රහිත ශාකයක්‌ ලෙස වල්ලපට්‌ටා ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල උවදුරකින් තොර ව ආරක්‌ෂා වී පැවතිණි.
    වල්ලපට්‌ටා මෙතරම් ප්‍රචලිත වීමට හේතුව බොහෝ දෙනකු දන්නා පරිදි එමඟින් නිස්‌සාරණය කරගනු ලබන රෙසිනමය රසායනික ද්‍රව්‍ය, සුවඳ විලවුන් සහ ඖෂධ සෑදීම සඳහා යොදාගැනීම ය. මේ ශාකයේ කඳ Ascomycetes දිලීර මඟින් ආසාදනය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඊට එරෙහි ව ශාකය මඟින් ස්‍රාවය කරන රසායනික ද්‍රව්‍යයක්‌ කඳ තුළ තැන්පත් වීම සිදු වෙයි. ඉතා ඉහළ ආර්ථික වටිනාකමක්‌ සහිත Agarwood ලෙස නිස්‌සාරණය කරගත හැකි වන්නේ එම රසායනික ද්‍රව්‍යයයි. සංස්‌කෘත භාෂාවෙන් අගුරු ලෙස හැඳින්වෙන මේ ද්‍රව්‍යය විවිධ සංස්‌කෘතීන් හා භාෂාවල විවිධ ආකාරයෙන් නම් විශාල සංඛ්‍යාවකින් හඳුන්වනු ලබයි. අතීතයේ සිට විවිධ ජාතීන් මේ රසායන ද්‍රව්‍යය සමග දීර්ඝ කාලයක්‌ ගනුදෙනු කර ඇති බවට එය පැහැදිලි සාක්‌ෂියකි.
    අගුරු (Agarwood) නිස්‌සාරණය හා භාවිතය පිළිබඳව ඉතිහාසය ඉතා දීර්ඝ වනුයේ ලොව ඉපැරැණි ම ග්‍රන්ථ අතරට ගැනෙන ඉන්දියාවේ සංස්‌කෘත වේද ග්‍රන්ථවල ද අගුරු පිළිබඳව සඳහන් වන බැවිනි. අගුරුවලින් හටගන්නා සංකීර්ණ අතිශය සිත් ඇදගන්නාසුලු සුවඳට සමාන සුවඳක්‌ වහනය කළ හැකි වෙනත් කිසිදු ස්‌වාභාවික ආදේශකයක්‌ සොයාගැනීමට මේ දක්‌වා ද නොහැකි වී ඇති අතර එම ආශ්වාදජනක සුවඳ අතීතයක්‌ පුරා ලෝකවාසී ජනතාව සුවඳවත් කර ඇති බව පෙනෙන්නට තිබේ. වර්තමානයේ වියට්‌නාමයට අයත් දූපත් ප්‍රදේශවල මේ රසායනිකය නිස්‌සාරණය කරන ලද ආකාරය පිළිබඳව ක්‍රිස්‌තුවර්ෂ තුන්වැනි සියවසටත් පෙර අතීත වීන දේශාටකයන් ගේ වාර්තාවල ද කරුණු දක්‌වා ඇත. තව ද ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක්‌ වන සුශ්‍රෑත සංහිතාවේ හා ආදි සාහී මුස්‌ලිම්වරුන් ගේ වාර්තාවල ද මේ රසායනික ද්‍රව්‍යයේ ඇති ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙයි.
    ලෝකයේ අගුරු නිස්‌සාරණය සඳහා වඩාත් ම ප්‍රචලිත ශාක අයත් වන්නේ Aquilaria ගණයට වන අතර එයට අයත් ශාක විශේෂ දහ හතරක්‌ පමණ ආසියානු කලාපයේ රටවල පැතිරී ඇත. ඒ අතරින් විශේෂ අටක්‌ ප්‍රමුඛ ලෙස අගුරු නිෂ්පාදනය කරනු ලබන බව සොයාගෙන ඇත. ඒ අතරින් ප්‍රධාන වනුයේ Aquilaria malaccensis යන විශේෂය වන අතර එය මැලේසියාව, තායිලන්තය හා ඉන්දියාවේ දැකගත හැකි ය. වානිජ ලෙස වගා කර අගුරු නිස්‌සාරණය කරගැනීමට ද මෙය යොදාගැනෙයි.
    එහෙත් ශ්‍රී ලංකාවේ Aquilaria ගණයට අයත් ශාක වාර්තා නො වන අතර මෙරට දී එම ආකාරයේ චර්යාවක්‌ දක්‌වනුයේ වල්ලපට්‌ටා හෙවත් Gyrinops walla ශාකයයි. සෙසු ආසියානු රටවල අගුරු නිස්‌සාරණය කරගත හැකි ශාක හිඟ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පහසුවෙන් මුදල් ඉපැයීමට ලැදි වූ ජාවාරම්කරුවන් ගේ උකුසු ඇස ශ්‍රී ලංකාවේ වල්ලපට්‌ටා කෙරෙහි යොමු වීම විමතියට කරුණක්‌ නො වේ. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වල්ලපට්‌ටා ශාක ජාවාරම ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. වරක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ජනාකීර්ණ පෙදෙසක පිහිටි මුඩු බිමක තිබු වල්ලපට්‌ටා ගසක්‌ ජාවාරම්කරුවන් විසින් කපාගෙන යනු ලැබ තිබූ ආකාරය මේ ලියුම්කරුට ද නිරීක්‌ෂණය කළ හැකි විය. එහෙත් අවාසනාවක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ වල්ලපට්‌ටා ශාකවල මේ ආකාරයෙන් අගුරු හටගැනෙනුයේ සියයට පහකටත් අඩු ප්‍රතිශතයක්‌ වීම ය. නොඑසේ නම් හටගනු ලබන අගුරු ද කලක දී ප්‍රයෝජනයක්‌ ගත නොහැකි ලෙස විනාශ වී යයි. මෙරට වල්ලපට්‌ටා ජාවාරම ඉතා විනාශකාරී හා අසාර්ථක එකක්‌ වනුයේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.ශ්‍රී ලංකාවේ රජය වානිජ භෝග වගාවක්‌ ලෙස මෙරට තුළ වල්ලපට්‌ටා ප්‍රචලිත කිරීමටත් සියල්ලට ම පෙර ඒවා රට යෑවීමට අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමටත් කටයුතු කරන්නේ මෙවැනි පසුබිමක ය. වල්ලපට්‌ටා ශාක වගා කර ඒවායේ කොටස්‌ අපනයනය කර විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම පිළිබඳව අපට ගැටලුවක්‌ නැත. එහෙත් එය සිදු කළ යුතු විධිමත් විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක්‌ ඇත. එසේ නොමැති ව වල්ලපට්‌ටා ශාක අපනයනය කිරීම සඳහා අවසර ලබා දීම මෙරට තුළ ඇති වල්ලපට්‌ටා ශාක ගහනය ශීඝ්‍රයෙන් විනාශ මුඛයට යැමට හේතුවක්‌ වන බව නොකිවමනා ය.
    ඉතා උසස්‌ තත්ත්වයේ අගුරු නිෂ්පාදනය කරන රටවල් අතර කාම්බෝජය, වියට්‌නාමය හා තායිලන්තය වැනි රටවල් ප්‍රධාන වෙයි. ඒවායේ නිෂ්පාදනය කරන මේ රසායනික ද්‍රව්‍ය මැදපෙරදිග, චීනය හා තායිලන්තයේ ම සුවඳවිලවුන් කර්මාන්තය සඳහා යොදාගැනෙන අතර එක්‌සත් ජනපදයේ හා යුරෝපයේ ද මේ වන විට අගුරු (Agarwood) සඳහා හොඳ වෙළෙඳපොළක්‌ පවතී. රත්රන්වලටත් වඩා මිල අධික ද්‍රව්‍යයක්‌ ලෙස අලෙවි වන මේ ශාක කොටස්‌ නිස්‌සාරණය කරගැනීම සඳහා වානිජ ශාක මහා පරිමාණයෙන් කපා ඉවත් කිරීම නිසා සිදු වී ඇති ව්‍යසනය හේතුවෙන් ලෝකයේ මේ අගුරු වෙළෙඳාම නියාමනය කිරීමට ජාත්‍යන්තර එකඟතාවක්‌ ඇති වී තිබේ. අගුරු ජනනය කරන ශාක අන්තර්ජාතිකව වෙළෙඳාම් කිරීම සඳහා එම විශේෂ CITES සම්මුතියේ දෙවැනි උපලේඛනයට ඇතුළත් කර ඇත. ඒ යටතේ ප්‍රථමයෙන් 1995 වසරේ Aquilaria malaccensis විශේෂය දෙවැනි උපලේඛනයට ඇතුළත් කෙරුණු අතර 2004 වසරේ දී අගුරු නිෂ්පාදනය කරන සියලු ම ශාක විශේෂ මේ උපලේඛනයට ඇතුළත් කෙරිණි. අන්තරායට ලක්‌ වූ වනජීවී විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ (Convention on Internqational Trade in Eudangered Species of Wild Fauna and Flora - CITES) මේ උපලේඛනයට ඇතුළත් කරනු ලබන්නේ අවදානමට ලක්‌ වීමේ විභවයක්‌ සහිත විශේෂ ය. එවැනි විශේෂ අන්තර්ජාතික වෙළෙඳාම නියාමනය හා අධීක්‌ෂණය කිරීමට වෙන ම ආයතනයක්‌ ද පිහිටුවා ඇත.
    වල්ලපට්‌ටා ශාක නිස්‌සාරක ආපනය කිරීම නීතිගත කිරීම ඉතා ම කල්පනාකාරීව සිදු කළ යුතු බව අප අවධාරණය කරන්නේ එබැවිනි. මින් පෙර කොතලහිඹුටු ශාක අපනයනය කිරීම සඳහා 2012 වසරේ දී පමණ මේ ආකාරයට පෞද්ගලික සමාගමකට අවසර ලබා දීමට කටයුතු කරන ලද අවස්‌ථාවේ දී ද පරිසර සංරක්‌ෂණවේදීන් ගේ මැදිහත් වීමෙන් එම කටයුත්ත නවතාගත හැකි විය. අද වන විට වල්ලපට්‌ටා ශාකය සම්බන්ධයෙන් ද ඇති වී ඇත්තේ එවැනි ම තත්ත්වයකි. රටක ජෛව සම්පත් සම්බන්ධව ව්‍යවහාරික කටයුතුවල දී බලධාරීන්, දේශපාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් සැලකිලිමත් විය යුත්තේ එමඟින් කෙටිකාලීනව ලැබෙන ආර්ථික වාසි අභිබවා එමඟින් දීර්ඝකාලීන අවාසිසහගත තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බැවිනි. වල්ලපට්‌ටා ශාක සම්බන්ධයෙන් ද එය එසේ ම ය. එබැවින් වල්ලපට්‌ටා පට්‌ටගැසීමට ප්‍රථම මේ ගැනත් සිතා බලන ලෙස වගකිවයුත්තන් ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

    Monday 3 February 2014

    තරුණයකුට ලිංගික අතවර කළ පොලිස් පරීක්ෂකවරියගේ පැටිකිරිය

    http://ratagiyaattho.blogspot.kr/

    තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ ‍පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් ‍පොලිස් නිලධාරිනියක
    විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ ‍පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම් ය. මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පති බල ප්‍රදේශයෙනි. නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි.
    එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම ‍පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම හෝ පාඨකයන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු. මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ‍පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛේදනීය සිදුවීම් පෙලකි.ඇය සේවය කරනුයේ යම් ‍පොලිස් කොට්ඨාසයක කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික  ලේකම්වරියක ලෙසිනි. එම ‍පොලිස් කොට්ඨාසයේ වසර ගණනාවක්ම ඇය සේවය කරන්නී ය. ඒ කාලය තුළ වරින්වර පත්ව ආ ‍පොලිස් අධිකාරීවරුන් හතර පස් දෙනකුගේම පෞද්ගලික ‍ලේකම්වරිය වූයේ ඇය යි.මෙම නිලධාරිනිය විවාහක ය. තිස්පස් වියැති ය. සැමියාද ‍පොලිස් පරීක්ෂකවරයෙකි. දෙදෙනාට දාව දරුවන්ද සිටියි. ඉන් එහාට ඒ පවු‍ලේ තොරතුරු සටහන් තබන්නට යන්නේ නැත. ඒ එම දරුවන්ටත්, ඇගේ සැමියාටත් ඒ තුළින් යම් බලපෑමක් සිදුවිය හැකි නිසා ය.
    මෙම නිලධාරිනිය ‍පොලිස් සේවයට එක්ව ඇත්තේ උප ‍පොලිස් පරීක්ෂකවරියක ලෙසිනි. ‍පොලීසියට එක් වූ දා සිටම ඇය පොලීසියට ගෙන දුන්නේ කීර්තියකි. ඒ බොක්සිං ක්‍රීඩාවෙනි. ක්‍රීඩාවෙන් ඉදිරියට ගියාක් මෙන්ම ඇය මෙයට වසර දෙක තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයට ද ගොස් තිබුණා ය. ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් මෙරටට පැමිණ කළ පරීක්ෂණයකින් සමත්ව ය.බිරිය සමග නිදි යහනේ සිටි තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන්නේ මෙම නිලධාරිනියට ය. එම සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයා මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවෙකි. ‍පොලීසියට කර ඇති ප්‍රකාශයකට අනුව ඔහුත්, ඇයත් මුණගැසී දැන හඳුනාගෙන ඇත්තේ බොක්සිං ක්‍රීඩා තරගාවලියකදී ය.දැන හඳුනාගැනීම හිතවත් කමකටත් පසුව ඉන් එහා ගිය සම්බන්ධයක් බවටත් පත්වන්නට එතරම් කාලයක් ගොස් නැත. ‍පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ නිවසට ගොස්, ඔහුව පැහැරගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියැවෙන්නේ දෙදෙනා අතර ඇති වුණු ඒ සම්බන්ධතාව පළුදුවීමත් සමගිනි.
    ඇය එසේ ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියන්නේ පසුගිය 28 වෙනිදා රාත්‍රියේදී ය. එමෙන්ම මෙම නිලධාරිනිය නිදාගෙන හුන් ඔහුගේ බිරිඳටත් සිව් හැවිරිදි දරුවාටත් පහර දී ඇති බවද සඳහන් වේ.

    ඔහුගේ බිරිඳත්, ඔහුත් ඉකුත් 29 වෙනිදා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලට අනුව කියැවෙන්නේ ‍පොලිස් පරීක්ෂකවරිය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් කරදර කර ඇති බව ය. ඒ ඇය සමග ඇසුරු කරන්නට පැමිණෙන ලෙස ය.



    ඇය එසේ කරනු ලබන කරදර ගැන මෙම තරුණයා බිරිඳව පවා දැනුවත් කර තිබි ඇත. ඒ ඇයගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් නිසා බව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවේ කර ඇති පැමිණිල්ලෙහි සඳහන් ය.
    "අපි දෙන්නා කතාබහ කරන එක නතර කරන්න හදන්න එපා....." යනුවෙන් ඇය ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවද පැමිණිල්ලෙහි සඳහන් ය.
    වරක් ඇය බලහත්කාරයෙන් ඔහුව පැහැර ගෙන ගියේ යැයි සඳහන් කර ඇත්තේ බියගම පැත්තේ හෝටලයකට ය. එදා ඔහුව රැගෙන ගොස් ඇතැයි පැමිණිල්‍ලේ සඳහන් වන්නේ දරුවාටත් බිරිඳටත් ඔහුටත් වෙඩි තබා මරා ඇයත් සිය දිවි හානි කර ගන්නා බවට තර්ජනය කරමිනි.ඒ ඇතිවුණු බියට ඔහු ඇය සමග හෝටලයට ගියද, බිරිඳ සිය දරුවා ද සමග ගමේ ගිය බව සඳහන් ය. ඒ ගොස් ටික කලකට පසු බිරිඳ නැවත පැමිණියත් ‍පොලිස් පරීක්ෂකවරියගෙන් නම් ගැලවිල්ලක් නොලැබුණු බවත්, පවුල් ජීවිතය විනාශ වුණු බවත් ඔහු නියෝජ්‍යය ‍පොලිස්පතිවරයා හමුවේ පවසා ඇත.
    ‍පොලිස් නිලධාරිනිය එදා ඔහුව පැහැර ගැනීමට නිවසට කඩා වැදුණේ යැයි සඳහන් වන්නේ රාත්‍රි 8.00ට පමණ ය. ඒ වන විට ඔහු සිට ඇත්තේ නිදි ඇඳේ ය. නිවසින් පිටතට ඔහුව ඇදගෙන ගියේ යැයි සඳහන් වන්නේ ගෙල මිරිකා පහරදීය. ඉන්පසු ඇය ඔහු රැගෙන ගොස් ඇත්තේද ඔහුට අයත් මෝටර් රථයේම දමාගෙනය.
    එසේ බලහත්කාරයෙන් ඇය ඔහුව රැගෙන ගොස් ඇත්තේ  මුහුදු වෙරළකට ය. අනතුරුව හෝටල් කාමරයකට ගෙන ගිය බවද සඳහන් වේ. ඇය ඔහුව නිදහස් කරන්නේ පසු දිනය. නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවට එවර මෙම තරුණයා බිරිඳත් සමග ගොස් ඒ ගැන පැමිණිලි කරන්නේ දිගින් දිගටම ඇගෙන් එල්ල වුණු තාඩන පීඩන ඉවසා ගන්නට නොහැකි වූ තැනය.ඒ අනුව දැන් මෙම ‍පොලිස් නිලධාරිනියට එරෙහිව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙසින් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක ය. එම පරීක්ෂණය සිදුවන්නේ සහකාර ‍පොලිස් අධිකාරීවරයකු යටතේ ය. ඇයට ‍පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ගිනි අවි පවා මේ වන විටත් භාරගෙන හමාර ය. ඉන් නොනැවතී ඇගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. මේ සියල්ල මෙසේ සිදුවෙද් දී මෙම නිලධාරිනිය මෙවැනි තත්ත්වයකට ඇද වැටුණු ආකාරය ගැනද විවිධ තොරතුරු දැනගන්නට තිබේ.

    ඇය දීර්ඝ කාලයක් බොක්සිං ක්‍රීඩාවේ නිරතව සිටි තැනැත්තියකි. එහි දී හිසට වැදෙන පහරවල බලපෑම් මතුවන්නේ කාලයක් ගතවන විට බවද පැවසේ. මෙවැනි සාධක නිසා හටගත් පීඩනය තීව්‍ර වන්නට තවත් හේතුවක් තිබි ඇති බවද සඳහන් වේ.
    ඒ ඇතැම් ඉහළ නිලධාරීන්ගෙන් ඇයට එල්ල වන අයුතු බලපෑම් ය. මෙය ‍පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු  දන්නා ප්‍රසිද්ධ රහසක් බවද පැවසේ. මේ ආකාරයෙන් ඉහළ ‍පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ඒ පීඩනයන් හේතුකොටගෙන ඇය යම් මානසික ආතතියකට ලක්ව සිටි නිසා ඒ බව හඳුනාගත් ඇතැම් ඉහළ නිලධාරීන් උපදේශන සායනවලට පවා ඇයව යොමු කර තිබුණු බව සඳහන් ය.
    ‍පොලිස් නිලධාරිනිය අවසානයේ මෙම තත්ත්වයට පත් වූයේ ඇයට එල්ල වූ මේ ආකාරයේ විවිධ බලපෑම් හේතුවෙන් හටගත් ව්‍යාකූලතා නිසා විය නොහැකිද යන්න මේ ගැන දන්නා බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නය වී ඇත. ඒ නිසා ඇගේ වැඩ තහනම් කර ඇයව හුදෙකලා කිරීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය හැකිද යන්න පිළිබඳව මෙහි දී ඇතිවන්නේ ගැටලුවකි.ඇයව ඒ තැනට පත් කළ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන්ද යම් පරීක්ෂණයක් කිරීමට ‍පොලිස් බලධාරීන්ගේ ද අවධානය යොමු වෙන්නේ නම් එය මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට යම්  පිටුවහලක් වනු ඇත. එහෙත් ඊට ඉහළ පුටුවල රැඳී සිටින ‍පොලීසියේ නිලධාරීන්ගෙන් ඉඩක් ලැබේවි දැයි ඇත්තේ ගැටලුවකි.
    එසේම ඈ අදාළ තරුණයා පැහැරගෙන ගොස් වරින් වර ඔහු සමග ඇසුර පවත්වා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ අනියම් පෙම පලුදු වීමත් සමග බවද නැවත වතාවක් අප පවසන්නෙමු.

    yahoo මේල් වෙත හැකරලුන් පනියි!

    ඔබේ Yahoo මේල් පරිස්සම් කරගන්න....
    Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් රැසකගේ ගිණුම් හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලොව පුරා Yahoo විද්‍යුත් තැපැල් සේවය භාවිතා කරන්නන් මිලියන 273කගේ රහස් වචන, පරිශීලන නම (User name) හැකර්ස්ලා විසින් හොරකම් කර තිබේ.
    හැකර්ස්ලාගේ ග‍්‍රහණයට හසු වූ විද්‍යුත් ලිපින ගිණුම් වැඩි සංඛ්‍යාවක් මෑතකදී විද්‍යුත් ලිපි යැවූ පිරිසකගේ Yahoo ආයතනය සිය ආයතන බ්ලොග් අඩවියේ සදහන් කොට තිබේ. පිළිතුරු ලිපියක් එවන ලෙස සදහන්  කළ විද්‍යුත් ලිපියක් වෙනත් විද්‍යුත්
    ලිපිනවලට යැවීමෙන් ඊට ලැබෙන පිළිතුර ඔස්සේ ගිණුම් හැක් කරන බව Yahoo ආයතනය තහවුරු කරගෙන ඇත.එහෙයින් නොදන්නා විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ලැබෙන විද්‍යුත් ලිපිවලට පිළිතුරු යැවීමේ දී ප‍්‍රවේශම් වන ලෙස Yahoo ආයතනය ඉල්ලීමක්
    කරයි.

    Sunday 2 February 2014

    සිරුරින් රුධිරය ගලන බුදු පිළිමයක හාස්කම්

    http://ratagiyaattho.blogspot.kr/


    බුදු පිළිමයේ ඇඟිල්ල කපා ඉවත් කරත්ම  නොකඩවා රුධිරය
    ගලන්නට වුණා...... 
    හාස්කම් ප්‍රතිමා පිළිබඳව ලොව නන් දෙසින් අසන්නට ලැබේ. එහෙත් මිනිස් සිරුරකින් මෙන් රුධිරය ගලන බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ මෙම අපූරු වෘත්තාන්තය මට දැන ගන්නට ලැබි දැනට සෑහෙන කලකි. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව වශයෙන් සැලකෙන 'සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික් වාර්තාව' (Report on The Kegalla district of the province of Sabaragamuwa) නම් කෘතියෙනි.
    එය ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාඥයා වීමේ ගෞරවය හිමිකරගත් ඉංග්‍රීසි ජාතික එච්. සී.පී. බෙල් සූරීන් විසින් එක් දහස් අටසිය අනූ දෙක වසරේ සම්පාදනය කරන ලද්දකි. එම කෘතිය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඇති පුරාවිද්‍යාත්මක අගයකින් යුතු ස්ථාන රාශියක් පිළිබඳ ඉතා වැදගත් ගවේෂණාත්මක තොරතුරු රැසක් අනාවරණය කෙරෙයි. එහි  සඳහන් අන්දමට මෙම විස්මිත බුද්ධ ප්‍රතිමාව තිබි ඇත්තේ කෑගල්ල, බුලත් කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ දහවන සැතපුම් කණුව අද්දර සිට තවත් සැතපුම්  හතරක  දුරින් පිහිටි උඩුව විහාරයේ ය.

    එවකට පැවැති ජනප්‍රවාදය ඇසුරින් එච්.සී.පී. බෙල් සූරීන් තම සුප්‍රකට 'කෑගලු වාර්තාව' කෘතියෙන් එම බුදු පිළිමය සම්බන්ධයෙන් තබන සටහන මෙලෙසිනි.
    ගැවිලිපිටියේ ගමගේ පරම්පරාවට අයත් කලිඟුවා නම් මිනිසෙක් සිටියේ ය. ඔහු රක්ඛන්ඩු දේශයේ සිට පාතබුලත්ගම උඩුව විහාරයට සෘද්ධි බලයෙන් වැඩම කොට සිටි දඹරන් බුදු පිළිම වහන්සේ සොරකම් කළේය.
    පසුව හෙතෙම එම පිළිමයේ කුඩා ඇඟිල්ලක් කපා වෙන් කරගත්තේ කිසියම්  ආභරණයක් සාදා ගනු පිණිස ය. එහෙත් එම ඇඟිල්ල කපා ඉවත්  කරත්ම එම ස්ථානයෙන් (මිනිස් සිරුරකින් මෙන්) නොකඩවා රුධිරය ගලන්නට පටන් ගත්තේය.කලිඟුවාට මෙම රුධිරය ගැලීම කිසිදු ලෙසකින් නතර කර ගත නොහැකි විය. ඉන් මහත් බියට පත් හෙතෙම රුධිරය වැස්සෙන බුද්ධ ප්‍රතිමාව ගෙන ගොස් නිවසේ ළිඳට දැම්මේ ය. මේ අතර විහාරයේ තිබූ දඹරන් පිළිමය අතුරුදන්ව ඇති බව විහාරාධිපති හිමියන්ට දැන ගන්නට ලැබිණ. උන්වහන්සේ හනික ඒ පුවත ගම්වැසියන්ට දැනුම් දුන්හ.
    ගම්වැසියන් මගින් එම පුවත නොපමාවම රජවාසලට ද යැවිණි. මෙම පිළිමය කෙතරම් අනගි සහ පූජනීය එකක් ද යත් රජතුමා පවා මින් මහත් කලබලයට පත්විය. ඒ අනුව රජු හැකිතාක්  ඉක්මනින් පිළිමය සොයා ගත යුතු බවට රාජ ආඥාවක් ද නිකුත් කළේය. කෙසේ හෝ මෙම පිළිමය පිළිබඳව විපරම් කරමින් කලිඟුවාගේ නිවස ඉදිරිපිටින් යමින් සිටි රාජ පුරුෂයන්ට ඔහුගේ පුතු වෙතින් යම් තොරතුරක් දැනගන්නට ලැබිණ.
    ඒ තම පියා විසින් එම පිළිමය ළිඳට ගෙන ගොස් දැමූ බව ය. එම දරුවාගේ කීම අනුව හනික ළිඳ පිරික්සූ පිරිස සන්ත්‍රාසයෙන් විස්මයට පත්වූහ. ඊට හේතුව ඒ වන විට මුළු  ළිඳම රුධිරයෙන් පිරී තිබෙනු දැකීමෙනි. ළිඳේ  තිබූ එම පිළිමය වහාම ගොඩට ගැනිණ.ඒ සමගම රාජ පුරුෂයෝ ඒ වන විට නිවසේ අටුවේ සැඟව සිටි "කළිඟුවා" අල්ලා රජු හමුවට ඉදිරිපත් කළහ. එහි දී  බුදුන්ට අනදර කිරීමේ චෝදනාවට කලිඟුවා වරදකරු ලෙස ප්‍රකාශ කෙරිණ. රාජාධිකරණය ඔහු මරණ දඬුවමට යටත් කොට දේපළ ද රාජ සන්තක කරවීය.ඉන්පසුව කලිඟුවාගේ පරපුරට  කළ හැකි පරම නිග්‍රහය වශයෙන් ඔහුගේ බිරිඳ රොඩී  රැහැට පාවාදුන් බවද එච්.සී.පී. බෙල් සූරීන්  සිය කෘතියේ සඳහන් කළ එම ජනප්‍රවාදයේ සඳහන් වේ.ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පවසනුයේ එය නාඟල්‍ලේ රොඩීන් අතර තම පරපුර සම්බන්ධයෙන් පවත්නා ප්‍රවාදයක් බවය.
    මිල කළ නොහැකි දඹරන්  පිළිමය අතුරුදන්.
    මෙම ආකෘතියෙන් යුතු සිරස්තල සහිත පුවත් අප රටේ ප්‍රවෘත්ති පත්‍ර ඉතිහාසය ඇරඹුමේ සිට පුවත්පත් මගින් දැකගත හැකි විය. එමෙන්ම ගත වූ කෙටි කාලය තුළ අප රට පුරා වසංගතයක් මෙන් පැතිර යන්නට පටන් ගත් නිදන් උන්මාදය නිසා එබඳු පුවත් පත් වාර්තාවල සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ නැංවිණි.
    මෙම දඹරන් පිළිම පිළිබඳ  මිථ්‍යාව සහ යථාර්ථය විමසුම පිණිස ගවේෂණයක් සිදුකළ යුතු යැයි මට සිතුණේ මෙම 'මිල කළ නොහැකි' යන ආකර්ෂණීය සිරස්තලය නිසා පුද්ගල මානසිකත්වයන් තුළ ඉහළ නැංවෙන අසීමාන්තික තෘෂ්ණාව මත සිදුවන පුරාවස්තු සංහාරය දිනෙන් දින උග්‍රවන පසුබිමකය. 'දඹරන් පිළිම සහ නිදන් කොල්ලය' පිළිබඳ එම ගවේෂණ වාර්තාව මා විසින් පසුගිය කාලයේ ලියන ලද 'අවතාර ලුහුබැඳ' නම් ගුප්ත විශ්වාස  ගවේෂණ කෘතියට ඇතුළු කොට තිබේ.ඉහත සඳහන්  උඩුවේ විහාරයේ තිබූ දඹරන් පිළිමය ඇතුළු හාස්කම් පිළිම හා සබැඳුණු රසවත් ජනප්‍රවාද රාශියක් ඒකරාශී කර ගැනීමට මට හැකිවූයේ එම ගවේෂණයේ දීය. එහෙත් ඒ සියලු ජනප්‍රවාද අතුරින් උඩුව විහාරයේ ඇති හාස්කම් පිළිමය සම්බන්ධ පුරාවෘත්තය අතිශයින් රසවත්ය. සජීවීමත්ය.
    ඊට හේතුව යම් යම් වෙනස්කම් සහිතව මෙම රුධිරය ගලන  බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ සිදුවීම තවත් මූලාශ්‍ර කිහිපයකින්ම හමුවීම ය. මෙම පිළිමය සම්බන්ධ වැඩිදුර තොරතුරු සොයා බැලීමට මට සිත් වූයේ එම සුවිශේෂතාව මුල් කරගනිමිනි.

    සාමාන්‍යයෙන් සාහිත්‍යමය මූලාශ්‍ර මගින් උකහා ගත හැකි මෙබඳු රසවත් තොරතුරු සම්බන්ධයෙන් ඒවාට කේන්ද්‍රීය වූ ස්ථානවලින් කිසිදු තොරතුරක් එක්කර ගැනීමට ඉඩක්  නොලැබේ. ඇත්තටම මෙහේ එහෙම දෙයක් වෙලා තියනවද?  යනුවෙන් බොහෝ විට එම ස්ථාන භාරකරුවන් පවා විස්මයට පත්ව අසා සිටිනුයේ එහි යන ආගන්තුකයන් වන අපෙන්ම ය.එහෙත් සාහිත්‍ය මූලාශ්‍රයන් කිහිපයකම එකිනෙකට තරමක් වෙනස් ආකාරවලින් විස්තර කෙරෙන උඩුව පන්ස‍ලේ තිබූ මෙම රුධිරය ගලන බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් එම මූලාශ්‍රයන්ට ගොනු නොවූ තවත් වැදගත් ජනප්‍රවාදගත කරුණු ස්වල්පයක් හෝ සපයා ගත හැකිද? යන්න විමසා බැලීමට මට සිත්විය. එමෙන්ම එම හාස්කම පිළිමය පිළිබඳ වර්තමාන තත්ත්වය එම ස්ථාන භාරකාරත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් විමසා දැනගැනීමට ද මට අවශ්‍ය විය.
    1892 වසරේ බෙල් මහතා විසින් සිය ඓතිහාසික 'කෑගලු වාර්තාවේ' සඳහන් කොට තිබූ මං සලකුණු ඔස්සේම ඊට වසර එකසිය විසි එකකට පසුව එළැඹුණු ඉකුත් දෙසැම්බරයේ දිනයක එම හාස්කම් බලැති බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටි බව පැවැසෙන උඩුව විහාරය සොයා යාමට මා තීරණය කළේ ඉහත පසුබිම යටතේ ය. ඒ පිළිබදව තවත් තොරතුරු ඔබ හමුවේ තබන තෙක් අදට සමු ගනිමි.