මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පරිවේණාධිපති මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක හාරිස්පත්තුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති බටුගොඩ සංකිච්චායන නා හිමි
බොහෝ විට මිනිසුන් පාප ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ චේතනා මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකකුගේ දියුණුව, යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත්, ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. මෙබඳු ගති ඇති අය මෝහයෙන් වෙළී ඇති නිසා ඔවුන්ට වරද පෙන්වාදීමට ද අපහසු ය. නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං ගරුකං වාපි ආබාධං චිත්තක්ඛෙපංව පාපුණෙ (ධම්මපදය – දණ්ඩවග්ගය) කාරුණික පින්වතුනි, නිර්දෝෂි උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධාකරන අයට විඳීමට සිදුවන විපාක මෙම ගාථාවෙන් දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත් ඒවායෙහි විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳීමට සිදුවන බව අවධාරණය කර ඇත. එවැනි පව්කම්හි යෙදෙන්නන්ට ලැබෙන විපාක පහක් ඉහත ගාථාවෙන් ඉදිරිපත් කෙරෙන අතර ඒ සමඟම යෙදෙන අනෙක් ගාථා දෙකෙන් තවත් විපාක පහක්ද වශයෙන් විපාක දහයක් විඳුමට සිදුවන බව දේශනා කර තිබේ. අධම, විසම සමාජයේ සද්පුරුෂයන් මෙන්ම අසද්පුරුෂයන්ද දක්නට ලැබේ.ඇතැම් විට සද්පුරුෂයන්ට වඩා අසද්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සද්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි; කරයි; කියයි. ඔහු සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරමින් තමාගේත් අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව,අජීව ලෝකයටම හිතවත් වෙයි.ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සද්පුරුෂයන්ගේ ක්‍රියා කලාප අගය කරන අය මෙන්ම ඒවාට අකුල්හෙළන, ඒවා අගය නොකරන, ඒවාට බාධා කරන, එසේම සද්පුරුෂයන්ට විවිධ අවලාද චෝදනා නඟන, චරිත ඝාතනය කරන්නට වෙරදරනා අසද්පුරුෂයන් ද කොතෙකුත් සමාජයේ සොයා ගැනීමට පුළුවන. පහත් පුද්ගලයන් කෙතෙක් බාධා හිරිහැර කළත් ඒවායෙන් නොසැලී ,අකම්පිතව මහා නුග රුකක් මෙන්ද,මහා පර්වතයක් මෙන්ද කටයුතු කිරීම සද්පුරුෂයාගේ ලක්ෂණයයි. නිදොස් උතුමන්ට හිරිහැර කිරීම නින්දා අපහාස කිරීම අද පමණක් නොව ඉතා දුරාතීතයේ පවා සිදුවුණි. අපේ බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළ උදවිය බොහෝ සිටි බව බුදුසිරිතෙන් මනාව පැහැදිලි වෙයි. ඒවායෙන් නොසැලී ක්‍රියා කිරීම උන්වහන්සේගේ විශේෂ ගුණයකි. එය අපට ද ආදර්ශයකි. නූතන ශාසනාලෝකයේ ආදි කර්තෘන් වහන්සේ වන අසරණ සරණ වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන්ගේ උදාර ශාසනික මෙහෙවරට බාධා කළ, උන්වහන්සේට අපහාස කළ උදවිය පිළිබඳ බොහෝ දෙනා අසා ඇත. එසේම, නූතන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට බාධා කළ නින්දා කළ උදවිය පිළිබඳ අප අසා ඇත. කුමන බාධා, අපහාස ලැබුණත් උදාර අරමුණෙන් කටයුතු කළ එවැනි උතුමන් තම අභිලාශයන් ඉෂ්ට කරගත් අයුරුත්, ඒ තුළින් ලෝකයට සිදු වූ යහපතත් අපට පෙනේ. නින්දා අපහාස කරන මොහොතේ තාවකාලික වින්දනයක් ලැබුණත් එවැනි ක්‍රියාවල නිරතවන පව්කාරයන් කිසිවකුත් යහතින් දිවි අවසන් නොකරන බව කිව හැකිය.මෙලොව මෙන්ම පරලොවද දුක් පීඩාවලට භාජනය වන ඔවුන් මිහිරි ලෙස සිතා කළ ක්‍රියාවල විපාක විඳින විට ගිනිගොඩකට වැටුනවුන් ලෙස පීඩාවට පත්වන අයුරු දැක ගත හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් ඉහත සඳහන් ගාථාව දේශනා කරනු ලැබුවේ මහා මුගලන් හාමුදුරුවන් වහන්සේ මුල්කර ගෙනයි. මුගලන් තෙරණුවන්ගේ පරාර්ථ සේවය හේතුවෙන් බොහෝ දෙනා යහමඟට පැමිණ ධර්මයෙහි හැසිරෙමින් යහපත් ජීවිත ගත කරන්නට වූහ. මිථ්‍යාදෘෂ්ටික අදහස් දැරූ බොහෝ දෙනෙක් මෙම යහපත් ක්‍රියා නො ඉවසූහ. මිනිසුන් යහපතෙහි යොදවන මුගලන් තෙරුන් මිනීමරුවන් ලවා මැරවීමට කටයුතු යෙදූ නමුත් දෙවතාවක්ම සිය ඍද්ධි බල මහිමයෙන් දිවිගලවා ගැනීමට තෙරුන්ට හැකි විය. එහෙත් තුන්වැනි වතාවේ උන්වහන්සේ සොරුන්ට මුහුණ දුන්නේ මෙසේ ඔවුන් තමන් තලා පෙළා ඝාතනය කිරීමට පැමිණෙන්නේ තමන් වහන්සේ ඉහත ආත්මභාවයකදී සිදුකළ අකුසල කර්මයක විපාකයක් වශයෙන් හෙයිනි. එය නම් කිසි වරදක් නැති ගුණවත් තම මවුපියන්, කැලයට ගෙන ගොස් පහරදී ඔවුන් මරා දැමීමේ දරුණු ක්‍රියාවයි. මෙහි විපාක ආත්ම ගණනක් තිස්සේම වින්ද මුගලන් තෙරුන් රහත් වූ පසුද මෙසේ පීඩාවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව බුදුරජාණන් වහන්සේ වදාළ අතර, පව්කම්හි නොයෙදෙන ලෙස අවවාද කරමින්, එවැනි ක්‍රියාවල යෙදෙන්නන්ට අත්විඳීමට සිදුවන විපාක මෙසේ දේශනා කළ සේක. 1. අත් පා කැඩීම්, කැපීම්, පහර වැදීම් ආදී දරුණු ශාරීරික වධවේදනා විඳීමට සිදුවෙයි. 2. අව්වැසි පීඩා විඳීමින් දුකසේ උපයන වස්තුව විවිධ හේතු නිසා විනාශයට පත්වෙයි. 3. සිරුර පොඩිපට්ටන්ව යෑම්, හිස පැලීම්, අත්පා අහිමිවීම්, වෙඩිවැදීම්, අකුණු පහරවැදීම් ආදියට ලක්වෙයි. 4. සුවකළ නොහැකි, දරුණු රෝගවලට ලක් වන අතර විශේෂයෙන් චර්ම රෝග, අංශබාග, පිළිකා වැනි රෝගවලට ගොදුරුවෙයි. 5. සිහි විකල්පව උමතු බවට පත්වෙයි. පිස්සකු සේ ක්‍රියා කරයි. 6. රාජ උදහසට ලක්වෙයි. තනතුරුවලින් පහ වෙයි. 7. සොරසතුරන් විසින් ධනය පැහැර ගනු ලැබේ. 8. දරුණු දෝෂාරෝපණවලට හා අභූත චෝදනාවලට ලක් වෙයි. 9. තමාට හිතැති නෑදැ හිතමිතුරන් තමාට අහිමි වෙයි. 10. මතුවැඩ පිණිස රැස්කළ වස්තු අන්සතු වෙයි. ගේදොර ආදිය ගිනි ගැනීම් ආදි විපත්වලට ගොදුරු වෙයි. නිදොස් උතුමන්ට අවැඩ කර ඉහත සඳහන් කළ අන්දමේ විපත්වලට ගොදුරුව පීඩා විඳින බොහෝ දෙනා වර්තමානයේ වුවද අපට දැකිය හැකිය. මවුපියන්ට ගර්හා කරන එසේම ඔවුන්ගේ ජීවිත හානිකරන දරුවන් අපට දකින්නට ලැබෙයි. එසේම වැඩිහිටියන්ට මෙන්ම ගුරුභවතුන්ට හිරිහැර කරන,අපහාස කරන උදවිය ද දකින්නට පුළුවන. බොහෝ තැන්වල ගරුතර මහා සංඝරත්නයට නින්දා අපහාස කරන, ශාරීරික වධහිංසා කරන උදවියද මේ බෞද්ධ රටේ නැතුවා නොවේ. මෙවැනි පව්කම්හි යෙදෙන අය ගිහි, පැවිදි දෙපක්‍ෂයේම හමුවෙයි. බොහෝ විට මිනිසුන් මෙවන් ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකෙකුගේ දියුණූව යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත් ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. බොහෝ විට මෙවැනි පහත් ක්‍රියාවල යෙදෙන්නන් එක්ව කටයුතු කිරීමද සමාජයේ ලක්‍ෂණයකි. ඔවුන් මෝහයෙන් වෙළී ඇති නිසා තමන් එක්ව කරන අකටයුතුවල ආදීනවයන් අවබෝධ කර නොගෙන තව තවත් එවැනි පහත් ක්‍රියාවල යෙදී දුකට පත්වන බව පෙනෙයි. ඔවුන්ට වරද පෙන්වාදීමටද අපහසුය. මෙසේ පහත් ක්‍රියාවන් මිහිරි ලෙස කරන ඔවුන් ඒවායෙහි විපාක විඳින කල්හි ගිනි ගොඩට වැටුනවුන්සේ පීඩාවට පත් වනු ඇත. එනිසා එවැනි පහත් ක්‍රියාවලට යොමු නොවී සද්පුරුෂයන්සේ ක්‍රියා කිරීමට ඔබ සැම උත්සාහ කළ යුතුය.
No comments:
Post a Comment