වැලිගම කොක්මාදුව
ශ්‍රී පූර්වාරාම විහාරවාසී
කනංකේ රජමහා විහාර
පරිවේණාධිපති, ශාස්ත්‍රපති
කැටවල ඉන්දසාර හිමි
වාණිජෝව භයං මග්ගං
අප්පස්සත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝච
පාපානි පරිවජ්ජයේ
(ධම්මපදය – පාප වග්ගය)
අප්පස්සත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝච
පාපානි පරිවජ්ජයේ
(ධම්මපදය – පාප වග්ගය)
අද ධර්ම දේශනාව මඟින් පවින් ඉවත්වීමේ වටිනාකම පිළිබඳ කරුණු ටිකක් පෙන්වා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහතින් දක්වා ඇති දහම් ගාථාව මාතෘකා කර ගනිමු. එහි සරල අදහස මෙසේය. “පිරිවර අඩු, බොහෝ ධනය තිබෙන වෙළෙන්දකු සොර සතුරු බිය සහිත මාර්ගවල ගමන් නොකරන්නාක් මෙන් ද, බොහෝ කාලයක් ජීවත්වීමට කැමැති පුද්ගලයකු වස විෂවලින් ඉවත් වී සිටින්නාක් මෙන්ද දෙලොවටම හානිදායක සියලු පාපයන් දුරු කළ යුතුය.”
අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා ධනවත් වෙළෙන්දකු මුල් කරගෙන මෙම ගාථාව දේශනා කළ සේක. කරත්තවලින් ඈත ප්‍රදේශවල වෙළෙඳාමෙහි යන ඉතා ධනවත් වෙළෙන්දකු සැවැත් නුවර සිටියේය. ඔහු වෙළෙඳාමට යෑමට පෙර විහාරස්ථානයට පැමිණ තමන් යෑමට බලාපොරොත්තු වන ප්‍රදේශවලට වැඩම කිරීමට සිටින භික්‍ෂූන් වහන්සේද වැඩමවාගෙන යෑමට පුරුදුව සිටියේය. ගමන් අවසන් වන තුරු උන්වහන්සේට දන් පැන් පූජා කිරීමෙන් හා බණ දහම් ඇසීමෙන් ද ඔහු පින් කර ගත්තේය. එක් කලෙක ඔහු ඉතා ඈත වනගත ප්‍රදේශයකට වෙළෙඳාමට ගියේය. එම ප්‍රදේශයේ සොර සතුරන් ද බහුල විය. සොරුන් සිටින අනතුරුදායක මාර්ග ගැන හිතවතුන් මාර්ගයෙන් දැනගත් මෙම පුද්ගලයා එම මාර්ගවල නොගියේය. ටික දිනක් නතර වී සිටියේය. වෙනත් මාර්ගවලින් ගොස් වෙළෙඳාමත් කරගෙන කිසිදු කරදරයක් නොවී නැවත තම නිවෙසට පැමිණියේය. ඔහු සමඟ වැඩම කළ භික්‍ෂූන් වහන්සේගෙන් මෙම තොරතුරු දැනගත් තථාගත බුදුරජාණන් වහන්සේ එදින දම් සභාවේදී එම තොරතුරු ගෙනහැර දක්වමින් ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.
මෙම ගාථාවෙන් හා කථා පුවතෙන් අපගේ් ජීවිතවලට ගත හැකි ආදර්ශ බොහෝ ඇත. තමාගේ දෛනික කටයුතු කරන අතරතුරදී පින් දහම් කර ගැනීමේ බාධාවක් නැත. මෙම පුද්ගලයා වෙළෙඳාම් කරන අතරතුර දන්දීම, බණ ඇසීම සහ භික්‍ෂූන් වහන්සේට වතාවත් කිරීම ආදි වටිනා පින්කම් රැසක් සිදුකර ගත්තේය. එසේ පින්කම් කරන විට ඔහුගේ සිතෙන් පව් සිතුවිලි බැහැර විය. කරන ලද පින් බලයෙන් ඔහුට සතුරු කරදරවලින් ආරක්‍ෂා වීමට ද හැකි විය. ව්‍යාපාරික හා රැකියා කටයුතු නිසා පින් දහම් කර ගැනීමට වේලාවක් නැතැයි ප්‍රකාශ කරන අද සමාජයේ බොහෝ දෙනකුට මෙම ව්‍යාපාරිකයාගෙන් ලබා ගත හැකි ආදර්ශ බොහෝ ඇත. තමන්ගේ හා තම අඹු දරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන ව්‍යාපාර හා රැකියා දැහැමි විය යුතුය. එවිට පවට යොමු වීමක් නැත. පාප යනු පුද්ගලයකුගේ් ජීවිතය අපිරිසුදු කර ඔහු සතර අපායට පැමිණවීමට උපකාරී වන නරක ක්‍රියාවන්ය. ඒ ක්‍රියාවන්ට ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් චේතනා මුල් වේ. එවැනි නරක චේතනා පදනම් කරගෙන තම සිත, කය, වචන යන තුන්දොරින් සිදුකරන ක්‍රියාවන්ගේ ප්‍රතිඵල මෙලොව පමණක් නොව සසර පුරා කරදර විපත් පමුණුවයි. “පාපකාරි උභයත්ථ තප්පති” යන බුදුවදනෙන් එය පැහැදිලි වෙයි. එනිසා මෙලොව හා පරලොව සැනසීම පිණිස පාපයන්ගෙන් ඉවත් විය යුතුය. විශේෂයෙන්ම පස් පව් නමින් හඳුන්වන පරපණ නැසීම, සොරකම් කිරීම, වැරැදි ලෙස කම් සැප විඳීම, බොරුකීම, මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතය අත්හළ යුතු අතර ඒවාට අනුබල ලබා දීමද නොකළ යුතුය. පව් කරන විට තාවකාලික සතුටක් ලැබුණත් එහි ප්‍රතිඵල දිගුකාලීන පසුතැවිල්ලට හේතුවෙයි.
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
No comments:
Post a Comment