ජනක වෙත්තසිංහ දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි.
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. ග්‍රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශ්‍රයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට ද කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ. ස්වභාවධර්මය දායාද කළ ශෛලමය ලෙන්කුටි හතක් සහිත මහල් පහකින් සමන්විත කඳු ගැටය එදා රජ දරුවන් විසින් ජාතික ආගමික උරුමයක් බවට පරිවර්තනය කරමින්, එයට අපූරු නිර්මාණාත්මක හැඩතල ද එක්කර ඇත. අව්‍යාජ ස්වභාව සෞන්දර්යයේ ගිරිකුළ මුල්ගිරිගල නමින් හැඩ වැඩ කර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරය චමත්කාරයෙන් ඔදවත් කරලමිනි. මෙය බොදු ජනතාව උදෙසා තිළිණ කළ අපූර්වත්වයෙන් සුන්දරත්වයෙන් පිරිපුන් තවත් අභිමානවත් බෞද්ධ උරුමයකි. මුල්ගිරි ගල වෙත එන වන්දනා කරුවකුට එය ආගමානුකූල අපූරු අඩවියකි. සොඳුරු සිත් ඇති සංචාරකයකුට අසිරිමත් ඉසව්වකි. පහතමළුව, බෝ මළුව, රජමහ විහාර මළුව උඩ බෝධි මළුව, චෛත්‍ය මළුව වශයෙන් නැගෙන ගිරග විසින් සාදා ඇති තෝතැනි විහාරාංගයන් වෙනුවෙන් උපයෝගී කරගෙන තිබේ. ලෙන් විහාරාරාම හතෙන් දෙකක් පහත මළුවේ ද හතරක් රජමහා විහාර මළුවේ ද ඉතිරිය බෝ මළුවේද දක්නට ලැබෙයි. එදා වනේ වන සතාත් විෂඝෝර සර්පයාත් වඩාත් රුචි කළ උණුසුමත් සමඟ අඳුරෙන් චකිතයෙන් පිරී ගිය ගල් ගුහා සැනසීම සමඟ බුද්ධාලම්භනාලෝකයෙන් මෙන්ම බැතිය ද ආකර්ශනය ද කැටි කර ගනිමින් විහාරාරාම බවට ස්වාභාවික සැකැස්ම සීරු මාරුවට පරිවර්තනය කිරීම අගනේ ය. ලොව අටවැනි පුදුමය ලෙසින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ සීගිරිය ඓශ්චර්යවත් නිර්මාණයකි. එවන් සීගිරි ආලකමන්දාව මතකයට නංවමින් මුල්ගිරිගල හඳුන්වන්නේ රුහුණේ පුංචි සීගිරිය නමිනි. එයම මෙහි වන සුවිශේෂී ස්වභාවය, කලාත්මක භාවය හඳුනාගැනීමට හැකි පෙළඹුමක් ඇති කරවන සුළුය. විහාරස්ථානය ආශි‍්‍රතව ඇති දොළොස්වන සියවසට අයත් ශිලා ලේඛනයට අනුව මෙහි පැරැණි නාමය ‘මුහුන්දගිරි’ විහාරය නමින් හඳුන්වා තිබේ. කාවන්තිස්ස රජතුමා සෑදූ හැට හතරක් විහාරස්ථාන අතරට මෙම විහාරස්ථානය අයත්වන බව සැළකේ. එසේ නම් මෙය ඉතා ඓතිහාසික තත්ත්වයක ලා, ගැනිය හැකි ක්‍රි.පූ. යුගය දක්වා දිවෙන සුවිශේෂී වූ පුදබිමෙකි. කාවන්තිස්ස රජතුමා සෑදූ ‘සමුද්ද විහාරය’ මෙය බව මතයක් පවතී. නමුත් වංශකතා වලට අනුව මුල්කිරිගල විහාරය තනවා ඇත්තේ 1 වන ජෙට්ටතිස්ස රජතුමා (ක්‍රි.ව. 266 – 276 ) විසින් බව කියැවෙයි. ජනප්‍රවාදයන්ට අනුව කියැවෙන්නේ මෙම විහාරස්ථානය කරවා ඇත්තේ කාවන්තිස්ස රජතුමාගේ පුතනුවන් වූ සද්ධාතිස්ස රජතුමා බවය. පුදබිමෙහි රෝපණය වී ඇති බෝධීන් වහන්සේ දෙතිස්ඵල රුහ බෝධීන් වශයෙන් සැළකේ. එයද විහාර සංස්කෘතියකට විශේෂිත ය. ඇත්තෙන්ම මෙය විහාර සංකීර්ණයකි. ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් බෝධීන් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක් හා ශිලා ලේඛන මෙන්ම පැරැණි ගල් කණු ශෛලමය ඔරු ශෙලමය මලසුන් මෙහි ඇති පෞරාණිකත්වයටත් ආගමික අභිමානවත් බව සුරැකීමට සබැඳිව අදත් නටබුන් වෙසින් පෙනී සිටියි. එක් එක් මහල් වෙත පිය නැඟීමට තනා ඇති ශෛලමය පියගැට පෙළ ලෙන් කුටි මතු කරලමින් පැරැණි සම්ප්‍රදායික ආකෘතියේ සුන්දරත්වය මතු කරලමින් සාදා ඇති විහාර මැදුරු ද උඩමළුවේ ඇති ජල පොකුණ ද පුදබිමේ විසිතුරු බව ඔපවත් කිරීමට දායක වී තිබෙති. මෙහි ලෙන් විහාර මැදුරු පහක් තුළ ඔත් පිළිමවහන්සේලා හත් නමක් නිමවා තිබේ. එසේම විහාර බිතු මත ඇඳි සිතුවම් පෙළ මහනුවර සම්ප්‍රදායේ රුහුණු ආභාෂයේ කලා කෘතීන්ය. ඒ අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගන්නා බව කලා විචාරකයන්ගේ මතයයි. ඒ අතර වන බෙරයක් වයන කාන්තාරුව විශේෂ අවධානයක් දිනා ගන්නා ලද අපූරු සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේනික මකර තොරණ, දොරටුපාල රූපාදිය ද විහාර මැදුරු විචිත්‍රවත් කරවයි. පරංගි ආක්‍රමණිකයන්ගෙන් විනාශ වූ සංස්කෘතික උරුමයන් අතර භාග්‍යයකට මෙන් සුරැකෙමින් පැමිණි මගේ දී ලංදේසි ආක්‍රමණිකයන් ශ්‍රී පාදස්ථානය මෙය යැයි වරදවා තේරුම් ගැනීම නිසා මුල්ගිරිගලට ඔවුන් ඇඩම්ස් බර්ග් යනුවෙන් නම් තබා ඇත. අකාලයේ වල් බිහිව තිබූ මෙම වටිනා උරුමයට නැවත පුනර්ජීවය ප්‍රදානය කළේ 18 වන ශතවර්ෂයේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙනි. පෞරාණික සිතුවම් ඇකී මැකී ගිය බැවින් නැවත ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට එවකට සිටි දක්‍ෂ නිර්මාණ ශිල්පියකු වූ දෙවරගම්පල සිල්වත් තැන සම්බන්ධ කර ගත් බව සැළකෙයි. රුහුණෙන් පැණ නැගුණු ජාතික බෞද්ධ උරුමයේ සාඩම්බරය මේ යැයි කියාපාමින් අදත් නොසැලී පවතින මුල්ගිරිගල සමස්ත ජාතික උරුමයේ තවත් අභිමානවත් ස්මාරකයකි.
No comments:
Post a Comment