sha fm

    Sunday 7 July 2013

    අන්තවාදීන් බුද්ධගයාවට බෝම්බ ගසති


    බිහාරයේ – බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථාන පරිශ‍්‍රය තුළ අද අලූයම පුපුරා ගිය බෝම්බ වලින් ශ‍්‍රී ලාංකික වන්දනාකරුවන්ට හානි සිදුවූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නැතැයි විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මෙම පිපිරීම්වලින් දැඩි හානියක් විහාරස්ථානයට සිදුවී නැහැ. එහිදී ස්වාමීන් වහන්සේ නමක් සහ පිලිපීන වන්දනාකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් බරපතල තත්ත්වයේ නොවන බව සඳහන්. සිද්ධියෙන් කම්පාවට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලන ලෙස ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම්දීමක් සිදුකර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය ආසන්නයේ තිබී තවත් බෝම්බයක්ද ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බිහාර් මහා බෝධි විහාරස්ථානයට මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවී ඇත්තේ දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබියදියි. පොලීසිය විසින් මේ වනවිට විහාරස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට අවසර ලබානොදෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

    ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් කිසිවකුටත් හානියක් නැතැයි බුද්ධගයා මහාබෝධි විහාරයේ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ කියති.
    ‘පාන්දර 5.30ට විතර මේ බෝම්බ පිපිරුණේ. විහාරය අවට පහන් පත්තු කරන ස්ථානයේ, රුවන් සක්මන හා රුවන් ගේ අවට කුඩා බෝම්බ පහක් විතර පිපුරුණා. ඒ වගේම ජපන් පන්සලේ සහ තවත් ස්ථානයකත් පිපිරුණා.
    මේ පිපිරීම්වලින් ටිබෙට් සහ බුරෑම හිමි දෙනමකට සුළු තුවාල වුණා. ලංකාවේ කිසිවකුටත් හානියක් නෑ. විහාරයටත් ලොකු හානියක් වුණේ නෑ. වීදුරු දෙකතුනක් හානි වුණා පමණයි.
    ලංකාවෙන් වන්දනාවේ ආ 25 දෙනකුගෙන් යුත් නඩයක් බුද්ධගයාවට ගිහින් හිටියා. එයාල දැන් අපේ පන්සලේ ඉන්නවා. කිසිම ගැටළුවක් නෑ.
    ආරක්ෂක අංශවලින් ඇවිත් තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කළා. දැන් ගැටළුවක් නෑ.
    මේ ආරක්ෂාව තර කර තිබෙනවා. ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන නිසා තවම ඇතුළට යන්න දෙන්නේ නෑ.‘
    මෙම පිපිරී ගිය බෝම්බ අඩු පීඩන බෝම්භ බවත්, පන්සලේ බුදු ගෙට හානියක් නැති බවත් බිහාර පොලිසිය කියයි.
    මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත් බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසයි.
    මෙම බෝම්බ ත්‍රස්තවාසී ප්‍රහාරයක් බව ඉන්දියා රජය කියයි. බිහාර් මහ ඇමැති නිටිෂ් කුමාර් ද සිද්ධිය සැලවූ වහාම එහි ගියේය.
    මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී එස් කේ බාරද්වාජ් කියයි. එහෙත් ඔහු විස්තර හෙළි කළේ නැත. විහාර භූමියට පිට අය පැමිණීම වළක්වා ඇති බවත්, ප්‍රදේශයේ සෙසු ආගමික ස්ථාන ආරක්ෂාවද තර කළ බවත් පොලිසිය කියයි. බිහාර් පොලිසියේ විශේෂ පොලිස් බලකාය මහා බෝධි විහාරයේ ආරක්ෂාව බාර ගත්තේ ගිය වසරේය. පසුගිය ජූනියේ පෙරහුරු පොලිස් අභ්‍යාසයක් ද එහි සිදුවිය. දකුණු පැට්නා නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි බුද්ධගයාව ශ්‍රී ලංකාව, මියන්මාරය , ජපානය, තායිලන්ත නැනි රටවල බෞද්ධයන්ගෙන් පිරී පවතී.
    වන්දනා සමය ඇරැඹෙනුයේ සැප්තැම්බර මාසයේදීය.

    බිහාර් ප්‍රාන්තයේ මහාබෝධි විහාරස්ථානයේ පිපිරීම් ගැන වහා ම -------------------- සොයා බලන්න - ජනපතිගෙන් උපදෙස් ...

    ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ අද (07දා) පාන්දර සිදු ව ඇති පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහා ම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙම අවාසනාවන්ත සිද්ධිය සැලවූ වහා ම කම්පනයට පත් ජනාධිපතිතුමා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිරන්තර සොයාබැලීමක නිරතව සිටින බවත් සමරනායක මහතා පැවසීය.

    ලෝක උරුම පුදබිමක් ලෙස 2002 දී ප්‍රකාශයට පත් කර ඇති බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාහි මහාබෝධි විහාරස්ථානය තුළ අද පාන්දර 5.15ට පමණ පළමු පිපිරීම වාර්තා වී තිබේ. ඉන් අනතුරුව තවත් පිපිරීම් 7ක් වාර්තා වූ අතර විහාරස්ථානයට නුදුරින් තවත් ජීව බෝම්බයක් සොයාගෙන ඇති අතර එය නිශ්ක්‍රීය කර තිබේ. බෝම්බ නිශ්ක්‍රීය භට කණ්ඩායම් පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් වාර්තා වේ. විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි ද පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

    මේ වනවිටත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ (National Investigation Agency) සහ ජාතික ආරක්ෂක බලකායේ (National Security Guard) කණ්ඩායම් බුද්ධගයා වෙත පැමිණෙන බව ද බිහාර් ප්‍රාන්තයේ මහඇමති නිතිෂ් කුමාර් මහතා විහාරස්ථානය වෙත පැමිණ කරුණු සොයා බැලූ බවත් ඉන්දීය වාර්තා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පට්නා නුවර ඉහළ මට්ටමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

    තුවාල ලැබූ හිමිනමක් අපවත්වී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. මෙහිදී තුවාල ලබා රෝහල් ගත කෙරුණේ ටිබෙටයේ සහ තායිලන්තයේ හිමිවරුන් දෙනමක්. අද උදෑසන 5 යි 40 ට පමණ කෙටි කාලයක් තුළ බෝම්බ පිපිරීම් 9 ක් සිදුවූ බවයි දැන් වාර්තා වන්නේ. පිපිරීම්වලින් තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා.

    No comments:

    Post a Comment