sha fm

    Tuesday, 2 July 2013

    සංසාර සුගතිය ලබාදෙන සීලය



    පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
    පිටිගල ගුණරතන හිමි
    කයින් වචනයෙන්, සිතින් අකුසල් නොකළ පමණකින්, ආජීවය පිරිසුදු වූ පමණකින් උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් ශ්‍රේෂ්ඨ පරම පුරුෂයෙක් බවට පත්වෙනවානම් උඩුබැලි අතට ඉන්න පුංචි ළදරුවාද උතුම් පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් වූ උතුම් පුරුෂයෙක් විය යුතුයි. තථාගතයන් වහන්සේ විමසනවා ඒ ළදරුවාගේ අතපය සෙලවීම හැර කුමන නම් කායසහගත අකුසල කර්මයක් ද?
    ආත්ම පුද්ගල සංකල්පය තුළයි ඒ සීලය පවතින්නේ. “මම” කියන ආත්මය පිළිගැනීම “මම” කියන පුද්ගලයා සැපවත් කරන්නට සුවපත් කරන්නට යි උත්සාහය. “මම” කියන පුද්ගලයා සතර අපායට වැටෙන්නට දෙන්න බැහැ. එතැන දුක් ඇති තැනක්. එතැනට වැටුණොත් ගොඩක් දුක් විඳින්න වෙනවා. එනිසා “මම” කියන පුද්ගලයා ගලවා ගන්න ඕන. “මම” කියන කෙනා සුගතියට ගෙන ගියොත් බොහෝ සැප තියෙනවා
    අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හික්මවීම සඳහා අපගේ සැප විහරණය සඳහා ‘සීලය’ නමැති උතුම් ප්‍රතිපදාවේ අප හික්මවනු ලැබුවා. සිල්වත්වීමේ ආනිශංසත් දුසිල්වත්වීමේ විපාකත් උන්වහන්සේ වෙන් වෙන් වශයෙන් දෙව්යන්ට මිනිසුන්ට පමණක් නොව බඹුන්ටත් දේශනා කළා.
    සිල්වත් වීමේ ආනිශංසය අත්විඳින්නේ ඔබත් මමත් ය. සිල්වත් නොවීම් ආදීනවය විපාකය අත්විඳින්නේ් ඔබත් මමත් ය. එනිසා මේ සංසාර ගමනේ සීලමය විපාකය අපේ ජීවිතය තුළ බොහෝ ආකාරයකින් උපකාර වෙනවා. සංසාර විමුක්තිය පිණිසත්, ලෝකෝත්තර ප්‍රතිපදාව තුළත් සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා මාර්ග තුළ අපට පිහිටන්නට වෙනවා.
    මජ්ක්‍ධිම නිකායේ “සවන මණ්ඩිකා” සූත්‍රයට අනුව විමසා බැලුවොත් සමණ මණ්ඩිකාපුත්ත උග්ගාහමාන අපගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ සමඟ යෙදුන සංවාදයක දී ඔහු ප්‍රකාශ කරන්නේ ‘යමෙකුª කයින් වචනයෙන් අකුසල් නො කරයිද, ආජීවයද පිරිසුදු ද එසේ නම් ඔහු උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත්වූ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් කියා අප පනවනවා දේශනා කරනවා කියා.
    උග්ගාහමානපුත්ත එදා පැහැදිලි කළේ අද අපේ බෞද්ධ සමාජය ගතකරන ආකල්පය ගත්තොත් උග්ගහමානගේ දර්ශනය හරි. ඇයි? කවුරුන් හෝ කයින්, වචනයෙන්, සිතින් අකුසල් නො කරනවාද දිවි පැවැත්ම යහපත් නම් උතුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් වූ කෙනෙක් කියා අපේ සමාජය තුළත් පිළිගැනීමක් තිබෙනවා. නමුත් ඒ බුද්ධ ශ්‍රාවකවරු තථාගතයන් වහන්සේ හමුවීමේ අදහස ඉදිරිපත් කළවිට උන්වහන්සේ අපූරු නිදර්ශනයක් එක් කරමින් මෙසේ වදාළා.
    ‘’මහණෙනි, කයින් වචනයෙන්, සිතින් අකුසල් නොකළ පමණකින් ආජීවය පිරිසුදු වූ පමණකින් උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් ශ්‍රේෂ්ඨ පරම පුරුෂයෙක් බවට පත්වෙනවානම් උඩුබැලි අතට ඉන්න පුංචි ළදරුවාද උතුම් පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් වූ උතුම් පුරුෂයෙක් විය යුතු බව වදාළා. උන්වහන්සේ විමසනවා ඒ ළදරුවාගේ් අතපය සෙලවීම හැර කුමන නම් කායසහගත අකුසල කර්මයක් ද? එම ළදරුවාට කුමන නම් වචී කර්මයක් ද? මමය, මාගේය කියා නොදන්නා ඔහුට ආජීවයේ කුමනනම් අපිරිසුදු භාවයක් ද? එහෙමනම් ඒ ළදරුවා උග්ගමානපුත්තගේ ඉගැන්වීම අනුවද වර්තමානයේ අපේ පිළිගැනීම අනුව ද එය බුදුදහම නොවේ. වැරැදි නො කළත් කුසල සහගතව ඇති ඊට අදාළ දැක්ම දර්ශනය නො යෙදුනු තැන පවතින පැවැත්ම මේ ශාසනය තුළ හඳුන්වන්නේ ළදරු බව හැටියට යි. ළදරු බව ඉක්මවා යන වැඩපිළිවෙලක් මේ ශාසන තුළ තිබෙන්න ඕන. ඒ ගැන සොයන්නට ඕන. ඒ පිළිබඳව දැනුවත් වීමෙනුයි අපට ‘සීලය’ තුළින් රැස්වන පින සැබෑවටම අපේ ජීවිතවලට එකතු කර ගන්නට, ළඟාකර ගන්නට පහළකර ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
    දුක්කංච අනුපගම්ම සීලවා දුෂ්ඨිගත සීලයක් හා දුෂ්ඨියෙන් ඉක්මවන සීයයක් අපට මේ ශාසනය තුළ කථා කරන්නට පුළුවන්. අද වර්තමානයේ දී ගිහි හා පැවිදි අප බොහෝ විට රකින සීලය දුෂ්ඨිගත යි. ආත්ම පුද්ගල සංකල්පය තුළයි ඒ සිීලය පවතින්නේ. මම කියන ආත්මය පිළිගැනීම මම කියන පුද්ගලයාව සැපවත් කරන්නට සුවපත් කරන්නට යි උත්සහය. මම කියන පුද්ගලයා සතර අපායට වැටෙන්නට දෙන්න බැහැ. එතැන දුක් ඇති තැනක්. එතැනට වැටුණොත් ගොඩක් දුක් විඳින්න වෙනවා. එනිසා මම කියන පුද්ගලයා ගලවා ගන්න ඕන. මම කියන කෙනාට සුගතියට ගෙන ගියොත් බොහෝ සැප තියෙනවා සුවපත් කරන්න සැපවත් කරන්න. එනිසා දුක් විපාක මම කියන කෙනාට ලබාදෙන්න බැහැ කියා සිතන්නේ මේ පුද්ගල සංකල්පය මතයි. මේ පිළිබඳව ගැඹුරට කල්පනා කර විමසා බැලුවොත් අප වැරැදි නො කරන්නේ ඇයි? සිල්වත් වීමට කැමැති ඇයි? කියන ප්‍රශ්නයට පිළිතුර තම තමාගෙන් විමසන විට දෙන්න තිබෙන පිළිතුරයි මුලින් සඳහන් කළේ. නමුත් එසේ හෝ සිල්වත් වීම තුළින් සීලමය පිනක් රැස් වෙනවා.
    නමුත් සංසාර සුගතිය ලබාදෙන පිනක් පමණක් නොවේ ලෝකෝත්තර බවට උපකාරි වන ඒ දක්වා සීලමය පිනක් තථාගතයන් වහන්සේ වදාළා. මේ කුසලයට අකුසලයට හේතු කරන කාරණා පිළිබඳව සොයා බලන්න ඕන. අකුසලයත්, අකුසල මූලයත්, කුසලයත් , කුසල මූලයත් සොයන්න උත්සාහ කළයුත්තේ එනිසයි.
    ‘සම්මා දිට්ඨි’ සූත්‍රය තුළින් ලෝකෝත්තර ප්‍රතිපදාවට ලෝකෝත්තර මඟට පිවිසෙන්නත් මේ දැනුම ප්‍රමාණවත් බව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කර වදාළා.
    එනිසා ඔබත් නිකම්ම සිල්පද සමාදන් නොවී ඊට වඩා එහාට යන දැක්මක් මේ සඳහා එකතු කර ගන්න. ඒ දැනුම ඒ දර්ශනය එකතු කරගෙන අප සුවපත් නො වුණත් මේ අකුසලය විඳින්නේ මෙතැනින් නිරුද්ධ වන්නේ මෙතැනින්, මේ අකුසලය පටන් ගන්නේ මෙතැනින් කියලා මූල දන්නවානම් පැවැත්ම අකුසල වුවත් මේ ශාසනය තුළ විශිෂ්ඨ කොට සලකනවා නම් ඔහුට යම් මොහොතක් විර්යයට සිහියට ඉඩ ලැබුණොත් මොහොතින් ඔහු ඒ සියල්ලෙන් නිදහස් වෙනවා.
    මිනී මරා ඇගිලි මාලයක් කරේ දමාගෙන සිටියත් අංගුලිමාලට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. අම්බපාලි, විමලා, සුභා ආදි ගණිකාවන්ට වරදින් මිදිලා මහරහත් මෙහෙණින් වහන්සේලා බවට පත්වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එසේ වීමට පුළුවන් වුණේ මේ සීලාදී ගුණයටත් නිවන දක්වා හේතුවන පැහැදිලි දර්ශනයක් තිබුණ නිසායි.

    No comments:

    Post a Comment