sha fm

    Saturday, 20 July 2013

    බෝදියේ සෙවණ ලබමින් අවබෝදය මගහරින්නේ කිමද?

    ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඓතිහාසික විප්ලවයක් සිදු කළ වර්ෂය ලෙස ක්‍රි.පූ. 236 ඉතිහාසයට එක් වී තිබේ. එකී විප්ලවයේ පළමුවැනි කොටස වූයේ එම වසරේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදුදහම හදුන්වා දෙනු ලැබීමයි. එහි දෙවැනි කොටස වූයේ එම වසරේ උඳුවප් මාසයේ දී සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවනු ලැබීමයි. ඊට සමගාමීව මෙරට භික්ෂුණී ශාසනයද පිහිටුවනු ලැබිණි.
    මෙම විශේෂ සිදුවීම් දෙකටම පුරෝගාමී වූ මහා පුරුෂයන් දෙදෙනෙකි. එවකට ශ්‍රී ලංකාද්වීපයේ රජ කළ දේවානම්පියතිස්ස මහරජතුමා සහ දඹදිව ධර්මාශෝක මහ අධිරාජයා ඔවුහු වෙති. මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයන් දෙදෙනාගේ පුරෝගාමිත්වයෙන් සිදුවූ එම සිදුවීම් පිළිබඳ දීපවංශය, මහාවංශය සහ බෝධිවංශය ආදී ඓතිහාසික ග්‍රන්ථවල මැනැවින් විස්තර කර තිබේ. එමතුදු නොව, මිහින්තලේ, රජගල ආදි ස්ථානවලින් හමු වූ සෙල් ලිපි සහ පුරාවිද්‍යාත්මක තොරතුරු වලිනුත්, දඹදිව සාංචි තොරණේ කැටයම් ආදියෙනුත් මෙම ඓතිහාසික සිදුවීම් වල සත්‍යතාව මැනැවින් තහවුරු වී තිබේ. එබැවින් අපගේ උත්සාහය එකී සිදුවීම් පිළිබඳ නැවත විස්තර කිරීම නොව ඒ හා බැඳුණු සමාජ යථාර්ථයක් අපට හැකි පමණින් විග්‍රහ කිරීම වේ.
    පොදු ජන ව්‍යවහාරයේදී ‘බෝ’ හෙවත් ‘බෝධි’ යනුවෙන් හැඳින්වුව ද මෙම වෘක්ෂයේ නාමය එය නොවේ. ‘අශ්වත්ථ” හෙවත් ‘ඇසතු’ ය. එය බෝ හෙවත් බෝධි යන නාමයෙන් ප්‍රකට වීම ඇරැඹුණේ සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධගයාවේ නේරංජනා නදිය අසබඩ වූ ඇසතු වෘක්ෂය පාමුල, ඊට පිට දී වැඩහිඳිමින් සම්මා සම්බෝධිය අවබෝධ කිරීම හේතුවෙනි.
    බුද්ධත්වය, සර්වඥතාඥානය, සහ ආර්යසත්‍යඥානය වැනි නම්වලින් මිනිස් මනැසක ඉතා පරිණත අවස්ථාව හැඳින්වේ. එය බුද්ධි විකාශයේ අතිශය ඉහළම තත්ත්වයයි. ‘බෝධි’ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ එයයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ මෙම අවස්ථාවේදීය. උන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍ර‍්‍රයේදීම චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක.
    දුක්ඛ සත්‍යය (දුක)
    සමුදය සත්‍යය (දුක ඇතිවීමට හේතුව)
    නිරෝධ සත්‍යය (දුකින් මිදීම) සහ
    මාර්ග සත්‍යය (දුකින් මිදීමේ මාර්ගය)
    යනු එම ආර්ය සත්‍ය සතරයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ දුකින් මිදීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සවිස්තරව පෙන්වා දුන් සේක. බුදුදහමේ හදවත ලෙස, මෙම චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැඳින්වේ.
    මේ අනුව බලන විට ‘බෝධිය’ යනු බෞද්ධයාට තවදුරටත් වෘක්ෂයක් පමණක් නොවේ.බෝධි වන්දනය යනු වෘක්ෂ වන්දනයක්ද නොවේ. ඊට වඩා බොහෝ ගැඹුරු අරුත් ඇත්තකි. සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ බෝධිය හෙවත් බුද්ධත්වය ලැබීම පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරූහ. උන්වහන්සේ මේ තරම් කැපකිරීම් කරමින් බෝධිය අවබෝධ කරගැනීමට වෙහෙසුණේ ඇයි? පිළිතුර ඉතා පැහැදිලි වූවකි. ලෝක සත්වයා තෙරක් නොපෙනෙන සංසාරයේ භවයකින් භවයකට ගමන් කරමින් අනන්ත අප්‍රමාණ ලෙසදුක් විඳින බව සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ සිය නුවණින් දුටහ. මේ බියකරු සසරෙන් මිදෙන මාර්ගයක් ඉන් පෙර ලෝකයේ කිසිවෙකු හෝ දැන නොසිටියේය. එහි අරුත නම් සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙමින් සම්‍යක් දෘෂ්ඨිය හෙවත් නිවැරැදි මාර්ගය දකින තුරු මුළු ලෝකයම අවිද්‍යාවේ හෙවත් මිථ්‍යාදෘෂ්ඨීයේ ගිලී තිබීමයි.
    බුදුරජාණන් වහන්සේගේ දහම, එතෙක් ලොවෙහි වූ සියලු මිථ්‍යා දෘෂ්ඨින්ගෙන් වෙනස් වන වැදගත් කරුණු රැසකි. එයින් කරුණූ දෙකක් දක්වනු කැමැත්තෙමි. බුදුදහම ඍජුවම ආත්මවාදය බැහැර කරයි. එමෙන්ම මිනිසාට ස්වච්ඡන්දතාව තිබෙන බව පිළිගනී. අනාත්මවාදී වූද මිනිසාගේ ස්වච්ඡන්දතාව පිළිගනු ලබන්නා වූ ද ලෝකයේ එකම දහම බුදුදහම පමණකි.
    පාලි ‘අත්ථ’ යන පදයේ අර්ථය ‘නැති නොවනසුළු’, ‘වෙනස් නොවන සුළු’ යන්නයි. මිනිසා තුළ ඇති නැති නොවන සුළු වෙනස් නොවනසුළු දෙය ආත්ම වශයෙන් විශ්වාස කෙරිණි. ඇතැම් ආගම්වලට අනුව ජාතියෙන් ජාතියට ගමන් කරන්නේ ආත්මයයි.
    සියලු කුසල හෝ අකුසල කර්මවල විපාක ලෙස වර හෝ දණ්ඩන හෝ ලබන්නේ මිනිසා තුළ ඇති ආත්මයයි. මෙම දර්ශනය ආත්මවාදය යනුවෙන් හැඳින්වේ. බුදුදහම මේ බරපතළ මිථ්‍යාව බැහැර කරයි.ආත්මය යනු බරපතළ මිථ්‍යා විශ්වාසයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. බුදුදහම අනාත්මවාදි දහමක් වන්නේ එබැවිනි.
    ‘ස්වච්ඡන්දතාව’ යනු මිනිසාගේ වගකීම් මිනිසාටම ඇති බව පිළිගැනීමකි. ඒ අනුව බුදුදහම මිනිසාගේ් ස්වච්ඡන්දතාව පිළිගනිමින් මිනිසා පිළිබඳ පූර්ණ වගකීම ඇත්තේ මිනිසාටම බව පැහැදිලිවම දක්වයි. පුද්ගලයා කරන කුසලා කුසල කර්මවල ප්‍රතිඵල ඔහුම විඳිය යුතුය. නිවැරැදි මාර්ගයක ගමන් කරන්නේ නම් බුද්ධත්වයට පත්වීමට ඔහුට හැකිවේ. ධම්මපදයේ අත්ථ වග්ගයෙහි එන පහත සඳහන් ගාථාව ඊට මනා නිදසුනකි.
    අත්තාහි අත්තනෝ නාථෝ
    කෝ හි නාථො පරෝ සියා
    අත්තනා’ ව සුදන්තේන
    නාථං ලභති දුල්ලභං
    තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනු මේ ගාථාවේ අර්ථයයි.
    මේ ආකාරයට විමසා බලන විට සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බෝධිය සෙවණේදී සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නා තෙක්ම මෙලොව සත්වයා විසුවේ අවිද්‍යා ඝන අන්ධකාරයේය. ඔවුහු විවිධාකාර වූ මිථ්‍යා දෘෂ්ඨිවල ගිලී අප්‍රමාණ දුකට පාත්‍රව සිටියෝය. සැනසීම පතා විවිධ බාහිර බලවේගවල පිහිට පැතූ®හ. මෙම දුක්ඛදායක තත්ත්වය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මෙලෙසිනි.
    බියෙන් තැතිගත් මනුෂ්‍යයා පර්වත, කැලෑ, ආරාම, ගස් හා චෛත්‍ය යන මේ දේ බොහෝ සෙයින් සරණ කොට ගනී.
    මේ අකාරයට තමාට පාලනය කළ නොහැකි ස්වභාවික වස්තු හා සංසිද්ධීන් දේවත්වයට පත් කරමින්ද තමාගේ වගකීම් තමා නොගනිමින්ද තමාට බැහැරින් වු බලවේගයකට පවරමින්ද මිනිසා දුකින් දුකට පත් වූයේ මෙම මිථ්‍යා දෘෂ්ඨියේ ගිලී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.
    මේ කිසිවක් සරණ යෑම බියෙන් මිදීමට උපකාර නොවේ. එය උතුම් සරණ ද නොවේ..මේ කිසිදු සරණකින් මිනිසා දුකින් නොමිදේ. එය කළ හැකි වන්නේ තිසරණ සරණ යමින්, චතුරාර්ය සත්‍යය සිහිනුවණින් දැකීමෙනි. සම්මා දිට්ඨිය ලබා ගැනීමෙනි.
    මේ සරණම බිය රහිතය. මේ සරණම උතුම්ය. මේ (තිසරණ) සරණට පැමිණ සියලු දුකින් මිදේ. මේ බුද්ධ වචනයයි. අපට මෙයින් වටහාගත හැක්කේ කුමක්ද?
    මිථ්‍යා දෘෂ්ඨීයේ ගිලී සිටි ජනතාවට බුදුරජාණන් වහන්සේ සම්මා දෘෂ්ඨිය පෙන්වා දුන් බවයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට නිර්මල බුදුදහම හඳුන්වා දෙනතුරු මේ දේශයේ වූයේද මිථ්‍යා දෘෂ්ඨියම වේ.ප්‍රාග් බෞද්ධ ඇදහිලි සහ විශ්වාස විමර්ශනය කරන විට මේ වග පැහැදිලි වේ. යක්ෂ වන්දනය, වෘක්ෂ වන්දනය, මළවුන් පිදීම සහ බ්‍රාහ්මණාගම වැනි විවිධාකාර ඇදහීම් මෙරට තිබූ බව වංශකතා හා පුරාවිද්‍යා සාධකවලින් හෙළිවේ.මේ ඇතැමෙක් දඹදිවෙන් මෙහි ලැබුණු ඒවා වන අතර තවත් කොටසක් මෙහි තිබූ ඒවා වේ. ඒ සියල්ල ස්වච්ඡන්දතාව නොතිබීම සහ ආත්මවාදිවීම යන කරුණු මුල් කරගත් ඒවා බව පෙනේ.
    මහින්දාගමනයෙන් එතෙක් මේ දේශයෙහි වූ මිථ්‍යාදෘෂ්ඨිය නිමා වී ශ්‍රී ලාංකිකයන්ට සම්මා දෘෂ්ඨියේ ආලෝකය වැටුණේය. එය මේ දෙරණ මත ස්ථිරසාරව මුල් බැස ගත්තේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කිරීමත් සමඟිනි.එතෙක් වෘක්ෂ වන්දනය කළ සිංහලයන්ට බෝධි වන්දනය හුදු වෘක්ෂ වන්දනයක් නොවිණ. එය බෝධිය හෙවත් බුද්ධ වන්දනයක් විය. එය ඉතා ගැඹූරු අරුත් නංවන්නකි. අතීත සිංහලයෝ බෝධිය වන්දනය කරමින් සිය ජීවිතයේ විවිධ පිරිපතවලට පිහිටක් පැතීමේ සරල ලාමක තත්ත්වයේ නොසිටියහ. එය එසේ වූයේ එහි යථාර්ථය ඔවුන් නිවැරදිව වටහා ගෙන සිටි නිසාය. ඔවුහු බෝධිය අවබෝධ කර ගැනීමේ නිවැරැදි මාර්ගයට අවතීර්ණවීමේ අතිශය වැදගත් දොරටුවක් ලෙස බෝධි වන්දනය යොදා ගත්හ. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙමින් අනාත්මතාව අවබෝධ කර ගනිමින් තමන් සතු ස්වච්ඡන්දතාව වටහා ගනිමින් බුදුන් වහන්සේ පෑ මඟ යමින් සිය විමුක්තිය උදාකර ගැනීමට අනලස්ව කටයුතු කළහ. ධාතුසේන රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් පවත්වා බුදු බව ප්‍රාර්ථනා කළ බැව් වංශ කතාවල දැක්වේ.
    එසේ වූ අර්ථ සම්පන්න අතීතයක් හිමිව සිටි අප එයින් වසර දහස් ගණනකට පසුව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ කවර තත්ත්වයකටද? වර්තමානයේ පුවත්පත් වැනි ජනමාධ්‍යවල පිටු ගණන් පිරී ඇත්තේ විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි ගුප්ත බලවේගවල පිළිසරණ ලබා දිය හැකි බව පැවසෙන දැන්වීම් වලිනි. නිරන්තරයෙන් දැකගත හැක්කේ ස්වච්ඡන්දතාව පසෙක දමා විවිධ බලවේග පසුපස පිහිට පතා යන ජනතාවකි. බෞද්ධයන්ගේ සම්මා දෘෂ්ඨිය මේ ආකාරයට පිරිහී යෑම ඉතා කනගාටුදායකය. ලෝකයේ එකම අනාත්මවාදි දහමේ ශ්‍රාවකයන් මෙසේ ආත්මවාදි ගමනකට ප්‍රවිශ්ඨ වී සිටීම යළි යළිත් විමසා බැලිය යුතු බරපතළ කාරණාවකි.ලොව්තුරා බුද්ධත්වය ලැබිය හැක්කේ මිනිසාටම පමණක් බව පැහැදිලිවම පෙන්වා දුන් දහමක ශ්‍රාවකයන් එය පසෙක දමා නොපෙනෙන දෙවියන්, භූ®තයින් පසු පස අන්ධයන්, වහලුන් සේ යමින් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කිරීම ඛේදවාචකයකි. අරුත්සුන් උත්සාහයකි. එය මකුළුදැලේ පැටලුණු සතා දඟලන විට තව තවත් එහිම පැටලී විනාශ වී යෑම වැන්නකි.

    No comments:

    Post a Comment