sha fm

    Tuesday 4 February 2014

    වල්ලපට්‌ටා පට්‌ට ගැසීමට පෙර

    http://ratagiyaattho.blogspot.kr/
    වල්ලපට්‌ටා ශාකය (Gyrinops walla) පිළිබඳව නො ඇසූ කෙනකු ශ්‍රී ලංකාවේ මේ වන විට සිටිය නොහැකි තරම් ය. සැබැවින් ම මේ වල්ලපට්‌ටා ශාකය තරම් මෑතකාලීන ව මෙරට ජනතාව තුළ ද නිතර අසන්නට ලැබුණු, කතාබහට ලක්‌ වුණු වෙනත් ශාක විශේෂයක්‌ නොමැති තරම් ය. අධික මිලකින් යුත් සුවඳ විලවුන් වර්ග සෑදීම සඳහා යොදාගනු ලබන රෙසිනමය රසායන ද්‍රව්‍යයක්‌ (Agar wood) නිස්‌සාරණය කරගැනීම සඳහා නීති විරෝධී ජාවාරමක්‌ ආකාරයෙන් වල්ලපට්‌ටා ශාක ස්‌වාභාවික පරිසරයෙන් කපා ඉවත් කරගැනීම මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිරී ගිය ව්‍යාපාරයක්‌ බවට පත් විය. එයට වැට බැඳීමට පොලිසිය, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව, රේගුව වැනි නියාමන ආයතන දැඩි පරිශ්‍රමයක්‌ දරමින් සිටියි.
    ඒ අතරතුර වල්ලපට්‌ටා අපනයනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස්‌ කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටීම වල්ලපට්‌ටා ජාවාරමට උඩගෙඩි දීමක්‌ වේ දැයි යන සැකය මේ වන විට පැන නැඟෙමින් ඇත. වල්ලපට්‌ටා ශාකය වගාවක්‌ ලෙස ප්‍රචලිත කර එයින් ලබාගන්නා අස්‌වැන්න මේ ආකාරයට අපනයනය කිරීමට කටයුතු කරන බව හුවා දැක්‌වුව ද ශ්‍රී ලාංකීය යාන්ත්‍රණය තුළ එය ඒ ආකාරයෙන් ම සිදු වනු ඇති ද යන්න පිළිබඳව අටුවාටීකා අවශ්‍ය වන්නේ නැතැයි සිතමු. එනයින් ගත් කල වල්ලපට්‌ටා අපනයනයට අවසර ලබා දීම ශ්‍රී ලංකාවේ එම ශාකයේ පැවැත්ම අවාසනාවන්ත තත්ත්වයකට ඇද දැමීමට හේතුවක්‌ විය හැකි බව සැලකිල්ලට ගත යුතු ය.වල්ලපට්‌ටා ජාවාරම පිළිබඳව මෑතකාලීනව මුල්වරට අසන්නට ලැබෙන්නේ වර්ෂ 2012 මුල් කාලයේ දී ය. ඒ රත්නපුර කලවාන ප්‍රදේශයේ දී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ සමග ඉන්දියානු ජාතිකයකු අත්අඩංගුවට ගැනීමත් සමග ය. ලෝකයේ මිල අධිකතම සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා Agarwood නිස්‌සාරණය කරගැනීමට යොදාගන්නා වටිනා ශාක විශේෂය ලංකාවේ කරළියට පැමිණෙන්නේ ඒ සමග ය. ඒ හැරෙන්නට දේශීය වෙදකමේ විවිධ අවස්‌ථාවල යොදාගන්නා එතරම් වටිනාකමක්‌ රහිත ශාකයක්‌ ලෙස වල්ලපට්‌ටා ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල උවදුරකින් තොර ව ආරක්‌ෂා වී පැවතිණි.
    වල්ලපට්‌ටා මෙතරම් ප්‍රචලිත වීමට හේතුව බොහෝ දෙනකු දන්නා පරිදි එමඟින් නිස්‌සාරණය කරගනු ලබන රෙසිනමය රසායනික ද්‍රව්‍ය, සුවඳ විලවුන් සහ ඖෂධ සෑදීම සඳහා යොදාගැනීම ය. මේ ශාකයේ කඳ Ascomycetes දිලීර මඟින් ආසාදනය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඊට එරෙහි ව ශාකය මඟින් ස්‍රාවය කරන රසායනික ද්‍රව්‍යයක්‌ කඳ තුළ තැන්පත් වීම සිදු වෙයි. ඉතා ඉහළ ආර්ථික වටිනාකමක්‌ සහිත Agarwood ලෙස නිස්‌සාරණය කරගත හැකි වන්නේ එම රසායනික ද්‍රව්‍යයයි. සංස්‌කෘත භාෂාවෙන් අගුරු ලෙස හැඳින්වෙන මේ ද්‍රව්‍යය විවිධ සංස්‌කෘතීන් හා භාෂාවල විවිධ ආකාරයෙන් නම් විශාල සංඛ්‍යාවකින් හඳුන්වනු ලබයි. අතීතයේ සිට විවිධ ජාතීන් මේ රසායන ද්‍රව්‍යය සමග දීර්ඝ කාලයක්‌ ගනුදෙනු කර ඇති බවට එය පැහැදිලි සාක්‌ෂියකි.
    අගුරු (Agarwood) නිස්‌සාරණය හා භාවිතය පිළිබඳව ඉතිහාසය ඉතා දීර්ඝ වනුයේ ලොව ඉපැරැණි ම ග්‍රන්ථ අතරට ගැනෙන ඉන්දියාවේ සංස්‌කෘත වේද ග්‍රන්ථවල ද අගුරු පිළිබඳව සඳහන් වන බැවිනි. අගුරුවලින් හටගන්නා සංකීර්ණ අතිශය සිත් ඇදගන්නාසුලු සුවඳට සමාන සුවඳක්‌ වහනය කළ හැකි වෙනත් කිසිදු ස්‌වාභාවික ආදේශකයක්‌ සොයාගැනීමට මේ දක්‌වා ද නොහැකි වී ඇති අතර එම ආශ්වාදජනක සුවඳ අතීතයක්‌ පුරා ලෝකවාසී ජනතාව සුවඳවත් කර ඇති බව පෙනෙන්නට තිබේ. වර්තමානයේ වියට්‌නාමයට අයත් දූපත් ප්‍රදේශවල මේ රසායනිකය නිස්‌සාරණය කරන ලද ආකාරය පිළිබඳව ක්‍රිස්‌තුවර්ෂ තුන්වැනි සියවසටත් පෙර අතීත වීන දේශාටකයන් ගේ වාර්තාවල ද කරුණු දක්‌වා ඇත. තව ද ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක්‌ වන සුශ්‍රෑත සංහිතාවේ හා ආදි සාහී මුස්‌ලිම්වරුන් ගේ වාර්තාවල ද මේ රසායනික ද්‍රව්‍යයේ ඇති ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙයි.
    ලෝකයේ අගුරු නිස්‌සාරණය සඳහා වඩාත් ම ප්‍රචලිත ශාක අයත් වන්නේ Aquilaria ගණයට වන අතර එයට අයත් ශාක විශේෂ දහ හතරක්‌ පමණ ආසියානු කලාපයේ රටවල පැතිරී ඇත. ඒ අතරින් විශේෂ අටක්‌ ප්‍රමුඛ ලෙස අගුරු නිෂ්පාදනය කරනු ලබන බව සොයාගෙන ඇත. ඒ අතරින් ප්‍රධාන වනුයේ Aquilaria malaccensis යන විශේෂය වන අතර එය මැලේසියාව, තායිලන්තය හා ඉන්දියාවේ දැකගත හැකි ය. වානිජ ලෙස වගා කර අගුරු නිස්‌සාරණය කරගැනීමට ද මෙය යොදාගැනෙයි.
    එහෙත් ශ්‍රී ලංකාවේ Aquilaria ගණයට අයත් ශාක වාර්තා නො වන අතර මෙරට දී එම ආකාරයේ චර්යාවක්‌ දක්‌වනුයේ වල්ලපට්‌ටා හෙවත් Gyrinops walla ශාකයයි. සෙසු ආසියානු රටවල අගුරු නිස්‌සාරණය කරගත හැකි ශාක හිඟ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පහසුවෙන් මුදල් ඉපැයීමට ලැදි වූ ජාවාරම්කරුවන් ගේ උකුසු ඇස ශ්‍රී ලංකාවේ වල්ලපට්‌ටා කෙරෙහි යොමු වීම විමතියට කරුණක්‌ නො වේ. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වල්ලපට්‌ටා ශාක ජාවාරම ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. වරක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ජනාකීර්ණ පෙදෙසක පිහිටි මුඩු බිමක තිබු වල්ලපට්‌ටා ගසක්‌ ජාවාරම්කරුවන් විසින් කපාගෙන යනු ලැබ තිබූ ආකාරය මේ ලියුම්කරුට ද නිරීක්‌ෂණය කළ හැකි විය. එහෙත් අවාසනාවක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ වල්ලපට්‌ටා ශාකවල මේ ආකාරයෙන් අගුරු හටගැනෙනුයේ සියයට පහකටත් අඩු ප්‍රතිශතයක්‌ වීම ය. නොඑසේ නම් හටගනු ලබන අගුරු ද කලක දී ප්‍රයෝජනයක්‌ ගත නොහැකි ලෙස විනාශ වී යයි. මෙරට වල්ලපට්‌ටා ජාවාරම ඉතා විනාශකාරී හා අසාර්ථක එකක්‌ වනුයේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.ශ්‍රී ලංකාවේ රජය වානිජ භෝග වගාවක්‌ ලෙස මෙරට තුළ වල්ලපට්‌ටා ප්‍රචලිත කිරීමටත් සියල්ලට ම පෙර ඒවා රට යෑවීමට අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමටත් කටයුතු කරන්නේ මෙවැනි පසුබිමක ය. වල්ලපට්‌ටා ශාක වගා කර ඒවායේ කොටස්‌ අපනයනය කර විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම පිළිබඳව අපට ගැටලුවක්‌ නැත. එහෙත් එය සිදු කළ යුතු විධිමත් විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක්‌ ඇත. එසේ නොමැති ව වල්ලපට්‌ටා ශාක අපනයනය කිරීම සඳහා අවසර ලබා දීම මෙරට තුළ ඇති වල්ලපට්‌ටා ශාක ගහනය ශීඝ්‍රයෙන් විනාශ මුඛයට යැමට හේතුවක්‌ වන බව නොකිවමනා ය.
    ඉතා උසස්‌ තත්ත්වයේ අගුරු නිෂ්පාදනය කරන රටවල් අතර කාම්බෝජය, වියට්‌නාමය හා තායිලන්තය වැනි රටවල් ප්‍රධාන වෙයි. ඒවායේ නිෂ්පාදනය කරන මේ රසායනික ද්‍රව්‍ය මැදපෙරදිග, චීනය හා තායිලන්තයේ ම සුවඳවිලවුන් කර්මාන්තය සඳහා යොදාගැනෙන අතර එක්‌සත් ජනපදයේ හා යුරෝපයේ ද මේ වන විට අගුරු (Agarwood) සඳහා හොඳ වෙළෙඳපොළක්‌ පවතී. රත්රන්වලටත් වඩා මිල අධික ද්‍රව්‍යයක්‌ ලෙස අලෙවි වන මේ ශාක කොටස්‌ නිස්‌සාරණය කරගැනීම සඳහා වානිජ ශාක මහා පරිමාණයෙන් කපා ඉවත් කිරීම නිසා සිදු වී ඇති ව්‍යසනය හේතුවෙන් ලෝකයේ මේ අගුරු වෙළෙඳාම නියාමනය කිරීමට ජාත්‍යන්තර එකඟතාවක්‌ ඇති වී තිබේ. අගුරු ජනනය කරන ශාක අන්තර්ජාතිකව වෙළෙඳාම් කිරීම සඳහා එම විශේෂ CITES සම්මුතියේ දෙවැනි උපලේඛනයට ඇතුළත් කර ඇත. ඒ යටතේ ප්‍රථමයෙන් 1995 වසරේ Aquilaria malaccensis විශේෂය දෙවැනි උපලේඛනයට ඇතුළත් කෙරුණු අතර 2004 වසරේ දී අගුරු නිෂ්පාදනය කරන සියලු ම ශාක විශේෂ මේ උපලේඛනයට ඇතුළත් කෙරිණි. අන්තරායට ලක්‌ වූ වනජීවී විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ (Convention on Internqational Trade in Eudangered Species of Wild Fauna and Flora - CITES) මේ උපලේඛනයට ඇතුළත් කරනු ලබන්නේ අවදානමට ලක්‌ වීමේ විභවයක්‌ සහිත විශේෂ ය. එවැනි විශේෂ අන්තර්ජාතික වෙළෙඳාම නියාමනය හා අධීක්‌ෂණය කිරීමට වෙන ම ආයතනයක්‌ ද පිහිටුවා ඇත.
    වල්ලපට්‌ටා ශාක නිස්‌සාරක ආපනය කිරීම නීතිගත කිරීම ඉතා ම කල්පනාකාරීව සිදු කළ යුතු බව අප අවධාරණය කරන්නේ එබැවිනි. මින් පෙර කොතලහිඹුටු ශාක අපනයනය කිරීම සඳහා 2012 වසරේ දී පමණ මේ ආකාරයට පෞද්ගලික සමාගමකට අවසර ලබා දීමට කටයුතු කරන ලද අවස්‌ථාවේ දී ද පරිසර සංරක්‌ෂණවේදීන් ගේ මැදිහත් වීමෙන් එම කටයුත්ත නවතාගත හැකි විය. අද වන විට වල්ලපට්‌ටා ශාකය සම්බන්ධයෙන් ද ඇති වී ඇත්තේ එවැනි ම තත්ත්වයකි. රටක ජෛව සම්පත් සම්බන්ධව ව්‍යවහාරික කටයුතුවල දී බලධාරීන්, දේශපාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් සැලකිලිමත් විය යුත්තේ එමඟින් කෙටිකාලීනව ලැබෙන ආර්ථික වාසි අභිබවා එමඟින් දීර්ඝකාලීන අවාසිසහගත තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බැවිනි. වල්ලපට්‌ටා ශාක සම්බන්ධයෙන් ද එය එසේ ම ය. එබැවින් වල්ලපට්‌ටා පට්‌ටගැසීමට ප්‍රථම මේ ගැනත් සිතා බලන ලෙස වගකිවයුත්තන් ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

    No comments:

    Post a Comment