sha fm

    Saturday 18 January 2014

    දරුවා නිසා මානසික ලෙඩෙක් වූ තරුණ මවක්.....

    සනිලගේ එක් ඇසක් යාන්තමට පෙනෙව. ඒ පෙනීම ඔහුට ලැබුණෙත් විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු විසින් කළ ශල්‍යකර්මයකින් පසුව. ඉතින් මේ පෙනීම උපයෝගී කරගෙන සනිල පුතු බිත්ති අල්ල අල්ලා නිවස ඇතු‍ලේ හිමිහිට ඇවිදිනවා. තවත් වෙලාවකට බිම වාඩි වෙලා පුංචි සනිල අත් දෙකින් ඔළුවට ගසා ගන්නවා. ඒ සමහර විට මේ දුක දරාගන්න බැරි හින්දා වෙන්න ඇති.සනිලට වචනයක් හරි කතා කරන්න පුළුවන්කම තිබුණා නම් ඔහුට මහ හයියෙන් කෑගහලා ඒ පුංචි හිතේ තෙරපෙන වේදනාව වැඩිහිටියන්ට කියාවි. ඒත් මොනවා කරන්නද? ඒ වාසනාවත් සනිලගේ දෛවය ඔහුට ට ලබාදීලා නැහැ.... සනිලට මෙහෙම අවාසනාවක් ළඟා වුණේ කොහොමද දැන් මේ සටහන කියවන ඔබේ හිතේ ඒ ප්‍රශ්නය නිරන්තරයෙන්ම හට ගනීවි. සනිලගේ මිත්තණියඒ විස්තර පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසිනි.
    "මේ මගේ මුණුබුරා එයා ඉපදෙන කොට ලස්සන දරුවෙක්, ඒත් අපේ අවාසනාවට එයා ඉපදුනේ අඩු මාස ගණනකින්. ඒ කියන්නේ මාස 07 කින් එයා ඉපදුණා." 
    ඇය සඳහන් කරන ආකාරයට සනිල ඉපදුනු හැටියෙම වෛද්‍යවරු ඔහුව නොමේරූ දරු උපත් ඒකකයට යවන්න කටයුතු කළා. හැබැයි ඒ විදිහට යැව්වේ තවත් අසුබ ආරාංචියක් සනිලගේ ආච්චිට වගේම සනිලගේ තාත්තාට කියන ගමන්.
    "මේ දරුවා දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ..... අපි ඔයගොල්ලන්ට කියන්නේ මේ දේ අම්මා එක්ක කියන්න බැරි නිසයි. හිත හදාගන්න."
    වෛද්‍යවරු එහෙම කියද්දී සනිල පුතාගේ ආච්චි අත් දෙක ඔසවලා වැඳ වැටුණා.
    "අනේ දොස්තර මහත්තයා බුදු බව අත්වෙයි. මේ දරුවව අපිට බේරලා දෙන්න." 
    ඇය ඇඬූ කඳුළින් කිව්වා. ඒත් වෛද්‍යවරු කිව්වේ දරුවාට ජීවත් වීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නැති බවයි.
    ඒත් ඊට පස්සේ සනිල ජීවත් වුණා. දවස් දෙක සතිය මාසය ඔය විදිහට කාලය ගත වුණා. අන්තිමට සනිලගේ ඇස්වල ආබාධයක් හට ගෙන තිබෙන බව රෝහලින් පැවසුවා.
    "ඇත්තටම මේ ආබාධය හට ගෙන තියෙන්නේ අපේ දරුවා මිය යාවි කියන විශ්වාසයෙන් නොමේරු දරුවෙකුට ලබා දෙන ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක නොකළ නිසා කියලා පසුව අපට දැනගන්න ලැබුණා. ඇත්තටම මමත් ඒක දැක්කා." කොහොම හරි මේ දේවල් වලින් සිදුවුණේ දරුවගේ ඇස්වල පෙනීම නැති වෙච්ච එක විතරයි.

    සනිලට පසු දවසක ඒ කියන්නේ ඉපදුනු රෝහලින් කොළඹ රිජ්වේ රෝහලටත් මාරු කර එව්වා. ඒ කියන්නේ ඇස්වල පෙනීම හදන්නට පුළුවන්ද කියලා බලන්න. ඒත් මාස හතරකට පමණ පසුව එතැනිනුත් සාර්ථක උත්තරයක් නොලැබුණු නිසා සනිල පුතාව ගෙදර අරන් යන්න මේ ආච්චි අම්මට සිදුවුණා.
    "මේ වෙද්දී දරුවගේ ඇස් පෙනෙන්නේ නැහැ කියලා දැනගත් නිසා මගේ දුවගේ ඒ කියන්නේ සනිල පුතාගේ අම්මා නදීශානිගේ මානසික තත්ත්වය හොඳටම පිරිහිලා තිබුණා. ඇත්තටම ඒ හේතුව නිසා සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක් වුණා.
    ඇය දරුවා වෙනුවෙන් අඬලා අඬලා තමයි ඒ තත්ත්වයට පත් වුණේ. කොහොම හරි එදා ඉඳලම සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක්. ඒ මානසික රෝගය අද වනතුරුත් සුව කරගන්න බැහැ.
     ඒත් වෛද්‍යවරු ඇයව සුවපත් කරගන්න බොහෝ වෙහෙසෙනවා. තව දරුවෙක් හැදුවොත් මේ තත්ත්වය නැතිවේවි කියලා වෛද්‍ය උපදෙසක් හැටියට අපට ලැබුණා. අපි ඒ අනුව නදීශානි දුවව ඊට සූදානම් කළා. ඒ දරුවාට දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් තවම සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක් ඇය ඔහේ බලා ගත්ත අත බලාගෙන කල්පනා කරනවා. අඬනවා. අපට මේ දුකක් දරාගන්න බැහැ....." සනිලගේ ආච්චි අම්මා වේදනාවෙන් යුතුව කිව්වා.
    දැන් මේ වෙද්දී සනිලගේ ආච්චි අම්මා තමයි මේ පුංචි පුතා ගැන සැලකිල්ලෙන් ඉන්නේ. ඔහුගේ දුක සැප බලන්නේ. ප්‍රතිකාර සඳහා රෝහල් ගානේ අරන් යන්නේ. මේ පුංචි දරුවා ඝන ආහාර ගන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර දෙන්නේ දියරමය ආහාරය. ඒ වගේම පිටිකිරි. ඒවාට ලොකු මුදලක් මාසයකට වැය වෙනවා.
    "ඊට අමතරව සිංහල බෙහෙත් වගේම ඉංග්‍රීසි බෙහෙත්වලිනුත් හැකි උපරිම ප්‍රතිකාර ලබාදීලා. දරුවව සුවපත් කර ගන්න බලනවා. මේ හැම දෙයක් වෙනුවෙන් ලොකු මුදලක් මාසයකට වැය වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම  මුදල් වියදම් කරන්න අපට බැහැ. දරුවගේ තාත්තාත් පුංචි ස්වයං රැකියාවක් කරනවා."

    සනිල පුතාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට ගන්න නම් ඇත්තටම ඔවුන්ට ඔබේ උදව් අවශ්‍යයි. දැනට සනිල පුතාගේ ඕනෑ එපාකම් හොයා බලලා කටයුතු කරන මේ පුතාගේ ආච්චි අම්මා පවා ඉන්නේ නිදන්ගත රෝග ගණනාවකින් රෝගී වෙලයි. ඉතින් පරිත්‍යාගශීලී ඔබ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ආදරය දයාව, කරුණාව මුසු වෙච්ච ඔබේ කාරුණික මැදිහත්වීම ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න. මතු දවසක ඔබේ ඒ උදව්වෙන් සනිල පුතා කාගේවත් සරණක් නැතිව දෙපයින් සිට ගනීවි. උදව් කළ සැමට ස්තූති කියාවි.

    ඔවුන්ගේ ගිණුම් අංකය
    ඒ.බි. පද්මා මාලිනි
    72263416
    ලංකා බැංකුව වල්ගම
    දුරකථනය-0724866074

    No comments:

    Post a Comment