sha fm

    Tuesday 14 January 2014

    කෝටියක කොන්ත්‍රාත්තුවක් දී පාතාලයින් ලවා පියා නැසූ තවත් අජාසත්තයෙක්

    http://ratagiyaattho.blogspot.kr/

    කෝටියක කොන්ත්‍රාත්තුවක් දී පාතාලයින් ලවා පියා නැසූ තවත් අජාසත්තයෙක්

    අවසානයේ පියා
    මියගිය දුක
    දරාගත නොහැකියි
    කියමින් වහ බී
    යකා නටලා.....

    එංගලන්ත රජ පවුලට ඥාති සම්බන්ධකම් ඇති "ස්කාගර්" නැමැති සුදු ජාතික වැවිලිකරුවෙකුට හිමි වූ 'ගෝල්ඩන් හෙවන්' නම් වතුයායේ අයිතිය සුදු ජාතිකයාගෙන් පසුව ලැබෙන්නේ "එදිරිසිංහ ආරච්චිලාගේ නවරත්න"ටය. දශක ගණනකට ඉහත සිදු වූ ඒ සිද්ධිය අපූරු එකකි. එකල නවරත්න ‍පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුව වරක් මහනුවරට කැඳවන්නේ දළදා පෙරහර ආරක්ෂක රාජකාරි සඳහා ය. ඉහළ ‍පොලිස් නිලධාරීන් ඔහුට එදා භාරකර ඇත්තේ දළදා මාළිගාව ඉදිරිපිට ඇති මාර්ග කොටස ය.

    එදා පරීක්ෂක ශ්‍රේණියේ පහළ නිලධාරීන් ඇන්දේ කොට කලිසම් ය. බැටන් ‍පොල්ල හැරුණු කොට වෙනත් කිසිදු ආයුධයක් ‍පොලිස් නිලධාරීන්ට නැත. නවරත්න රාළහාමිට පැවැරෙන්නේ මාර්ගයේ කිසිදු වාහනයක් නතර කරන්නට ඉඩ නොදී පෙරහර ගමන් ගන්නා මාර්ගය ආරක්ෂා කිරීම ය.

    ජැන්ඩියට හැඳ පැළඳ ගත් සුදු මහත්තයෙක් එකල තිබුණු සුඛෝපභෝගිම මෝටර් රථ වර්ගයක් වූ හම්බර් රථයකින් පැමිණ එය  දළදා මාළිගාව අසල මාර්ගයේ  නතර කරනුයේ ඔය අතරතුරදී ය.

    නවරත්න රාළහාමි ඒ සැණින් එතැනට දිවවිත් වාහනය ඉවත්කර ගන්නා ලෙස සුදු ජාතිකයාට දැනුම් දෙන්නේ එම ස්ථානයේ වාහන නතර කිරීම තහනම් නිසා ය. එම සුදු ජාතිකයා වෙන කිසිවෙකුත් නොව ගෝල්ඩන් හෙවන් වතුයායේ හිමිකරු ස්කාගර් ය. එංගලන්තයේ රජ පවුලට ඇති ඥාති සම්බන්ධය නිසාදෝ ඔහු නවරත්න රාළහාමිව තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මෝටර් රථය ඒ තැනම නතර කොට ඔහු ඉන් බැස  මාළිගාව  දෙසට ගමන් ගත්තේ ය.

    ඒ ගොස් ඔහු නැවත එන විට නවරත්න රාළහාමි සිටින්නේ වැඩ තහනමකට ලක්ව ය. ඒ නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම හේතුවෙන් උසස් නිලධාරීන්ගේ උදහසට ලක්වීය. ඒ වෙන කිසිවක් නිසා නොව පෙරහර ගමන් මගේ මෝටර් රථයක් නතර කරන්නට ඉඩදීම හේතුවෙනි.

    වැඩ තහනම් වුවත් නවරත්න රාළහාමි ස්කාගර් නැවත පැමිණෙන තුරු මෝටර් රථය අසලට වී බලා සිටියේ ය. ඒ ඔහු නිසා තමාට වූ අසාධාරණය ගැන කියන්නට ය. නැවත ‍පොලීසියේ රක්ෂාව සකස්කර දෙන්න යැයි කියන්නට ය. නවරත්න රාළහාමිගේ ඒ දුක්ගැනවිල්ල ඇසූ ස්කාගර් ඔහුව මෝටර් රථයේ නංවා ගන්නේ ‍පොලීසියේ රක්ෂාව වෙනුවට අලුත් රක්ෂාවක් ලබාදීමේ ‍පොරොන්දුව ඇතිවය. ඒ ස්කාගර් ගේ රියැදුරා ලෙසය.

    එකල තරුණ වයසේ පසු වූ නවරත්න ස්කාගර්ගේ ද සිත් දිනාගෙන වතු පාලකයා බවට ද පත්විනි. අවසානයේ දී ඔහු එම වත්තේම සේවිකාවක් විවාහ කර ගත්තේ ද ස්කාගර්ගේ ආශිර්වාදය ද ඇතිව ය.
    ස්කාගර් හදිසියේම මිය යන්නේ එම විවාහයෙන් වැඩි කලක් යන්නට මත්තෙනි. එම මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා ඇතත් අවසානයේ දී කෝටි ගණනක් වූ ස්කාගර්ගේ දේ‍පොළවල එකම හිමිකරුවා බවට පත්වන්නේ ද නවරත්න ය. ඒ ස්කාගර්ගේ දේ‍පොළවලට අයිතිවාසිකම් කියන්නට වෙන කිසිවෙකු නොවූ බැවිනි.

    පූරුවේ පිනකටමෙන් නවරත්නගේ හිසමත කඩා වැටුණු ඒ කෝටි ගණනක දේ‍පොළ පාලනය කිරීමටත් එම දේ‍පොළ නිසි ආයෝජනයකට යොමුකිරීමටත් නවරත්නට පුළුල් දැනුමක්  නොවීය. ඔහු තම බිරිඳත්  ඈට දාව උපන් දරුවන් දෙදෙනාත් නඩත්තු කරන්නට වූයේ මෙම වටිනා දේ‍පොළ ටිකින් ටික විකුණා දමමිනි. කුමාර සැප විඳිමින් හැඩි දැඩි වූ ඒ දරුවන් දෙදෙනාට ද මේ දේ‍පොළ නඩත්තු කරන්නට උවමනාවක් තිබූ බව නොපෙනිණි. නවරත්නට කරදර කරමින් දේ‍පොළ විකුණමින් ජීවත්වනවා හැරුණු කොට ඔවුන් දෙදෙනාට ස්වාධීනව නැගිටින්නටද උවමනාවක් නොවීය.

    ඔවුන්ගෙන් වැඩිමලා ටිරෝන් ය. ඔහු විවාහ වන්නේ රුසියානු කාන්තාවක් සමගිනි. ඇය සමග ඔහු මීගමුවේම පදිංචිව සිටින අතර බාල පුතා ගිහාන් සිය බිරිඳ සහ දරුවා සමග පදිංචිව සිටියේ ගෝල්ඩන් හෙවන් වත්තේ පිහිටි නිවසේ ය. එය නිවසක් යැයි කීවාට වලව්වකි. නිසි නඩත්තුවක් නොමැති කමින් එයද දැන් ඇත්තේ ගරා වැටෙමිනි.

    එදා 2013 දෙසැම්බර් 18 වෙනිදා ය. සවස හතරට පහට පමණ බිරිඳ සහ දාහතර වියැති තම දරුවා සමග ත්‍රිරෝද රථයක නැගී ගිහාන් පිටත්ව යන්නේ මීගමුවට ය. ඒ අමතර පංතියකට දරුවාව  ඇරලවන්නට ය. ඒ ගිය විට පාළුවට ගිය වත්තක් මැද පිහිටි ගරාවැටුණු ඒ වලව්වේ තනිවන්නේ ඒ වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවුණු නවරත්නය. හැබැයි ඔහුට එය හොඳටෝම හුරුය.

    මීගමුවට ගිය ගිහාන් සහ බිරිඳ නැවතත් නිවස බලා එන්නේ රාත්‍රී 7.00 ට පමණය. ඒ එන අතරතුර ත්‍රිරෝද රථ රියදුරා වත්තේ කොනක යමෙකු  වැටී සිටිනු දුටුවේය. ඒ ත්‍රිරෝද රථයේ පහන් එළියෙනි. වැටී සිටියේ නවරත්නය. ඒ වනවිටත් ඔහු  අවසන් හුස්ම හෙලා තිබූ  බැවින් ගිහාන් ඒ ගැන සිය වැඩිමහල් සහෝදරයා වූ ටිරෝන්ට ඇමතුමක් ගෙන කීවේය.



    ඒ ඇමතුම ලැබෙන විට දූනගහ ප්‍රදේශයේ සිටි ටිරෝන් පණිවුඩය ලද වහාම එහි ආවේය."අනේ අපේ තාත්තට මේ මොකද දෙයියනේ සිද්ධ වුණේ?" ගිහාන් හඬා වැටෙන්නට වූයේ පියාගේ හදිසි මරණයෙන් කම්පාවට පත්වය. අවසන් මොහොතේ පියාට වතුර උගුරක් වත් දීගත නොහැකි වීම ගැන ඔහු එහි දී වඩාත් කම්පාවට පත් වූයේ ය.

    මීගමුව ‍පොලීසියේ නිලධාරීන් මළ සිරුර මීගමුව රෝහලට ගෙන යන්නට කටයුතු කරන්නේ මූලික විමර්ශන කටයුතුවලින් පසුවය. ඒ එම මරණය බිම වැටීමකින් සිදුවී ඇති බව සිතාය. නවරත්නගේ වයස ද ඊට බලපෑවේ ය. සිරුරේ තැනින් තැන වූ සීරිම් තුවාලද බිම වැටීමකින් සිදු වූවක් බවට සිතන්නට සාක්ෂි සැපයුවේ ය.

    එය එසේ වුවත් නවරත්නගේ මරණය ස්වාභාවික හෝ හදිසි අනතුරකින් වූ මරණයක් නොව මිනීමැරුමක් බව තහවුරු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ය. මීගමුව රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ "ඒ. දයාපාල" මහතාට අනුව නවරත්නගේ මරණය සිදුකොට තිබුණේ හුස්ම හිරකරය. සිරුරේ තැලීම් සලකුණු සහ ඉල ඇට කැඩීම් මෙන්ම උගුරු දණ්ඩ කැඩීමක්ද අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට හසුවී තිබිණි.

    ඒ නවරත්න මරා දැමීමට පෙර දරුණු පහරදීම් සිදුවී ඇති බව සනාථ කරමිනි. ඒත් සමගම මීගමුව කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතා ක්‍රියාත්මක විය. තමාගේ සෘජු අධීක්ෂණයේ පවතින කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුසන්ත ප්‍රියදර්ශන කැඳවා නවරත්නගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමේ වගකීම  ඔහුට පවරනු ලැබිය. ඔහු ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් සකස් කළේය. ඒ එක් කණ්ඩායමක ප්‍රධානියා වූයේ සැරයන් සුදත් ගුණවර්ධනය. ඔහුගේ සහයකයා වූයේ  සැරයන් විජේසේකරය.

    අවසන් කාලයේ නවරත්න ඒ වන විට ඉතිරිව ඇති ගෝල්ඩන් හෙවන් වත්තේ ඉඩකඩම් විකුණා දමා, අනුරාධපුරය පැත්තෙන් ඉඩමක් ගෙන වැඩිහිටි නිවසක් තනා ජීවත් වීමට තීරණය කරගෙන සිටි බවටත්, ඒ ගැන දරුවන් සහ ඔහු අතර ආරවුලක් පැවැති බවටත් තොරතුරු පරීක්ෂණ කණ්ඩායමට ලැබෙන්නට වූයේ ඒත් සමගිනි.

    ඒ වන විටත් මුළු ඉඩමම රුපියල් කෝටි 18 කට මිලදී  ගැනීමට ගැණුම්කරුවෙකු පවා නවරත්නට සිටියේය. ඊට වඩා  වැඩි වටිනාකමක් එම ඉඩමට තිබුණත් ඒ ගාණට  ඉඩම විකුණා දමන්නට ඔහු සිතාගෙන සිටියේ දරුවන් දෙදෙනාගේ නාස්තිකාර විය හියදම් නිසා ටිකෙන් ටික ගෝල්ඩන් හෙවන් වත්ත විනාශ වී යනු දැකීමට නොහැකිවය.


    එදා මේ වත්ත හිමිව සිටි සුදු ජාතිකයා නවරත්නට හමු වන විට පැදවූ වාහනය පවා ඒ වන විටත් කෞතුක වස්තුවක් ලෙස වලව්වේ තිබුණේ ය. ඔහු ඉඩම විකුණන්නට සූදානම් වූයේ අද වන විට මිල කළ නොහැකි පෞරාණික වටිනාකමක් ඇති එම වාහනයද සමගිනි.

    ඉඩකඩම් විකිණීමේ සිය පියාගේ තීරණයට ඒවන විටත් දරුවන් දෙදෙනා යුද ප්‍රකාශ කර තිබුණි. ඒ ඔවුන් දෙදෙනාට දේ‍පොළ වලින් හෝ ඉඩම විකුණන මුදලින් හෝ කිසිවක් නොලැබෙන බව දැන සිටි බැවිනි. නවරත්න අබිරහස් ලෙස ඝාතනයට ලක්වන්නේ ඒ සම්බන්ධයෙන් දරුවන් දෙදෙනා ඔහු සමග අඬ දබර වල නිරතව සිටින අතරතුරදී ය.

    මෙම කරුණු එකිනෙක සොයාගත් ‍පොලිස් කණ්ඩායම නවරත්නගේ මළ ගෙදරද වෙස් වලාගෙන කාලය ගත කළේ තවදුරටත් තොරතුරු රැස්කර ගන්නටය. ඒ අයියා මලෝ දෙදෙනා එක්ව පහර දී පියාව මරා දමන්නට ඇති බවට වූ සැකයක්ද සමගිනි.

    නවරත්නගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර ආගමික වතාවත් සිදුකරමින් භික්ෂූන් වහන්සේ පාංශුකූලය දෙන අතරතුර ගිහාන් වස පානය කර සිය දිවි හානිකර  ගන්නට උත්සාහ දරන්නේ ඒ සැකය ඔහු වෙත යොමු කරවමිනි. වස පානය කළත් ඔහුගේ දිවි ගැලවෙන්නේ කඩිනමින් රෝහල්ගත කිරීම නිසාය.

    එතැන් සිට ‍පොලිස් කණ්ඩායම පන්නන්නට ගන්නේ ගිහාන් පසුපස ය. රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවක් මිතුරෙකුට ලබා දී  ඔහු සිය පියාව මරා දැමූ බව හෙළිවන්නේ එවිට ය. පියාව මරා දැමීමේ කෝටියේ කොන්ත්‍රාත්තුව ඔහු ලබා දී ඇතැයි පැවසෙන්නේ "ගොටු අනුරට"ය.

    මීගමුවේ සිටි නම් දැරූ පාතාල අපරාධකරුවන් සමග ඇසුරු කර ඇති "ගොටු අනුර" එම කොන්ත්‍රාත්තුව භාර ගන්නේ රුපියල් විසි පන් දහසක අත්තිකාරමක් ද ලබාගෙන ය. නවරත්නව මරා දමන්නට ඔහු එදා "ගෝල්ඩන් හෙවන්" වත්තට රිංගා ගන්නේ තනිවම නොව තවත්  අයෙකුද සමගිනි.

    එදින  සවස නවරත්න පමණක් වත්තේ තනිවන බව ගිහාන්ගෙන් දැනගත් ගොටු අනුර සිය ගෝලයා සමග සවස 6.30 ට පමණ එහි ගොස් නවරත්නව මරා දමන්නේ පහර දී  ගෙල මිරිකාය. සිය පියාගේ  මරණය ගැන කම්පාවට පත්ව ගිහාන්  එදා හඬා වැටෙන්නේ ද ඔහු කෙරෙහි කිසිවකුගේත් සැකයක් ඇති නොවන්නට ය.

    නවරත්නගේ අබිරහස් ඝාතනය මේ ආකාරයට කඩිනමින් විසඳීමට ‍පොලිස් කණ්ඩායමට රුකුලක් ලැබෙන්නේ ගිහාන් වස පානය කිරීම නිසා ය. ඔහු වස පානය කර ඇත්තේ ගොටු අනුර මළ ගෙදරට විත් කෝටියේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි මුදල ඉල්ලා කරදර කරන්නට වූ නිසා ය.

    No comments:

    Post a Comment