sha fm

    Saturday, 29 June 2013

    උපත් පාලන පෙති රැගෙන කාමරවලට රිංගන සිසු සිසුවියෝ

    අපේ රටේ යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කාලයකට පෙර අපූරු කථාවක් කළේය. එය දේශපාලන කථාවක් නම් නොව, ව්‍යවහාර භාෂාවෙන් සඳහන් කළහොත් ‘බොක්කෙන්ම’ කළ කථාවකි. ඒ වෙන කිසිවක් ගැන නොව මෙරට යෞවන යෞවනියන්ට අද මුහුණදෙන්නට වී ඇති ‍පොදු ගැටලුවක් ගැනය. එකී ගැටලුව වන්නේ යෞවන යෞවනියන්ට පෙම් සුව විඳින්නට නිදහස් ස්ථාන රටේ නොමැතිවීමේ අඩුවයි.  
    “දැනට අවුරුදු දෙකහමාරකට විතර ඉස්සර මාතර බිච් එකේ හිටපු තරුණ ජෝඩු අසූවක් විතර ‍පොලීසියට අරගෙන ඇවිත් තිබුණා. එයාල කරල තිබුණු වරද තමයි බිච් එකේ බංකුවක් උඩ නැත්නම් අරලිය ගහක් යට, කුඩයක් යට පෙම්බස් කථා කරමින් සිටීම. වැඩිම වුණොත් මූණ සිපගන්න ඇති. ඒ කියල ඒ අය නිරුවතින් හිටියේ නැහැ. ‍පොලීසියට අරගෙන ඇවිල්ල, අම්ම තාත්තවත් ‍පොලීසියට ගෙනල්ල අර දරුවන්ගේ පෞරුෂය මුළුමනින්ම කඩල දානවා. එදා මාතරදී ‍පොලීසියට අල්ලන් ආපු ජෝඩු අතර හිටියා ඊළඟ සතියේ විවාහ වෙන්න හිටපු ජෝඩුවකුත්. ඒ අය බිච් එකට ඇවිත් බංකුවක් උඩ ඉඳගෙන අයිස්ක්‍රීම් කමින් ඉන්නකොටයි ‍පොලීසිය අල්ලන් ගිහින් තිබුණේ.”
    ඩලස් අලහප්පෙරුම මහතා යෞවන කටයුතු ඇමැතිවරයා වශයෙන් මේ කථාව කියන්නට වූයේ දකුණු පළාත්භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ද උපදෙස් ඇතිව මාතර කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ‍පොලිස් නිලධාරීන් එක්ව සංවිධානය කළා වූ මාධ්‍ය හමුවකදීය. මාධ්‍ය ලෝකයේ දැවැන්තයන්ගේද සහභාගිත්වයෙන් පැවැති එම හමුවේදී ඩලස් ඇමැතිවරයා සඳහන් කරන්නට වූයේ මේ ආකාරයට යෞවන යෞවනියන් ‍පොලීසිය විසින් කුදලාගෙන යනවිට “ප්‍රේම කරන්න එපා කියලද මේ කියන්නේ?” යැයි මේ රටේ යෞවන කටයුතු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවය.
    “මානව සමාජයේ පැවැත්මට ප්‍රේමය අවශ්‍යයි. තරුණ තරුණියන්ට ප්‍රේම කරන්න තැන් හදන්නේ නැත්තේ ඇයි කියල යෞවන කටයුතු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි” යැයිද ඇමැතිවරයා එහිදී අවධාරණය කරන්නට වූයේ ඒ ගැන එතෙක් කිසිදු යෞවනයෙකු ඔහුගෙන් ප්‍රශ්නකර නැති නිසා විය යුතුය
    යෞවන යෞවනියන්ට පෙම් කරන්නට තැනක් අවශ්‍ය බව යෞවන කටයුතු ඇමැතිවරයාට එම ඇමැතිකම ලැබි වසර කිහිපයකට පසුවවත් එසේ  මතක් වීම යෞවන යෞවනියන් ලද භාග්‍යයක්. හැබැයි යෞවන යෞවනියන්ට පෙම් කරන්නට තැනක් අවශ්‍ය බව මතක් වූවත් ඔවුන් වෙනුවෙන් තවමත් යමක් ප්‍රායෝගිකව කර ඇති බවක් නම් පෙනෙන්නට නැත. 
    පෙම්වතුන්ට පෙම් උයන් නොමැතිකමේත්, මුහුදු වෙරළ වැනි ස්ථානවල පෙම්වතුන්ට පෙම්බස් දොඩන්නට ඇති නිදහස ඇහිරී යාමේත් ප්‍රතිඵලය වන්නේ වෙන කිසිවක් නොව, තරුණ පෙම්වතුන් හෝටල් සහ ලැගුම්හල් කාමර වෙත ඇදී යන්නට පෙළඹීමය. ඒ බව ඩලස් ඇමැතිවරයාද පිළිගන්නා කරුණකි. 
    “ගාලු පාරේ මාතර කියල ලොකු අකුරෙන් නම තිබෙනවා. ඊට වඩා ලොකු අකුරෙන් තියෙන්නේ මොකක්ද?, කාමරයක් රුපියල් 400 යි, 500 යි කියල. 400ක් දීල යන්නෙ නැති අයයි අර ‍පොලීසිය අල්ලන් යන්නේ. 400 දීල යන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ.” ඇමැතිවරයා මේ බව පවසන්නේ “මේ රටේ ආණ්ඩුවේ, විපක්ෂයේ දේශපාලනඥයන්ගේ දරුවන්ට ඒ ප්‍රශ්න නැහැ. උන් එළිවෙනකම් ක්ලබ්වල.”යැයිද අවධාරණය කරමිනි.
    මෙරට යෞවන යෞවනියන්ට පෙම් සුව විඳින්නට පෙම් උයන් නොමැතිකම රටේ ලොකුම ප්‍රශ්නයදැයි මෙහිදී යමෙකුට සිතිය හැකිය. ඒ බව නොපෙණුනාට දැන් රටේ ඇති ලොකුම ප්‍රශ්නවලින් එකක් බවට පත්ව තිබෙන බාල වයස්කාර ස්ත්‍රී දූෂණවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙවැනි ගැටලුය. ඒ පෙම් සුව විඳින්නට සුදුසු තැනක් නොමැතිකමින් පෙම්වතුන් හෝටල් කාමරවලට වැදී පෙම් සුව විඳින්නට ගොස් අවසානයේදී තරුණියන් පතිවත පවා අහිමිකරගන්නා බැවිනි. 
    ගම්පහ නගරයේ ඇති ෆාමසිවල  විකිණෙන උපත්පාලන ඖෂධවලින් සහ උපකරණවලින් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන සිසු සිසුවියන් බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා විසින් පසුගියදා කරන ලද හෙළිදරව්වද බැඳී ඇත්තේ පෙම්වතුන් පෙම් කරන්නට හෝටල් කාමරවලට රිංගීමේ කාරණයත් සමගිනි. ඔහු කියන්නේ වැඩි වශයෙන් එම ඹෟෂධ මිලදී ගන්නේ ගම්පහ ටියුෂන් පන්තිවලට පැමිණෙන සිසුන් බවය.
    උපත් පාලන ඖෂධ පාසල් සිසුන්ට කොහෙත්ම අවශ්‍ය ඖෂධයක් නොවන බව පැහැදිලිය. නමුත් වැඩි වශයෙන් එම ඖෂධ සිසුන්ම මිලදී ගන්නේ නම් ඇත්තේ සමාජ සෝදාපාළුවක ලක්ෂණයක් මිස වෙන කිසිවක් නොවේ. 
    ගම්පහ යනු මෙරට ඇති ප්‍රමුඛතම ටියුෂන් පුරවරවලින් එකකි. රටේ නන් දෙසින් මේ පුරවරයට සිසු සිසුවියෝ පැමිණෙති. එක් සති අන්තයකට මෙහි ඇදී එන සිසු සිසුවියන් ගණනය කළ හැකිවන්නේ දස දහස් ගණනිනි. ඒ තරමට සති අන්තයේ ගම්පහ නගරය සිසුන්ගෙන් පිරෙනු ඇත. 
    නමුත් ඒ කිසිදු ටියුෂන් ගුරුවරයෙකුු තමන්ගේ ටියුෂන් පන්තියට පැමිණෙන සිසු සිසුවියන් කුමක් කරන්නේදැයි සොයා බලන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මඩිය තරකර ගැනීම පමණි. ටියුෂන් පැමිණෙන සිසු දරුවන් උපත් පාලන 
    ඖෂධද රැගෙන සිය පෙම්වතියන් සමග හෝටල් කාමරවලට රිංගන්නට යන්නට එයද එක් හේතුවකි.
     “ආරක්ෂිත, සුව පහසු කාමර ඇත.”යනුවෙන් අඩියක් අඩියක් ගානේ  නවාතැන් ‍පොළවල බෝඩ් ලෑලි ගම්පහ නගරය සහ ඒ අවට දක්නට තිබේ. ඒ ඇතැම් නවාතැන් ‍පොළවල කාමරවලට පෙම්වතුන් යනවා යැයි කියන්නේ ජෝඩු දෙක තුන එකටය. ඒ කාමරය හවු‍ලේ බෙදාහදාගෙනය.
    මෙරට ප්‍රමුඛතම ටියුෂන් පුරවරයක් වන නුගේගොඩද මේ තත්ත්වයේ වෙනසක් නැති තරම්ය. හැබැයි ආරක්ෂිත සුව පහසු කාමර ඇතැයි ලොකු අකුරේ බෝඩ් කෑලි නුගේගොඩ නැත. ඒ යැයි කියා නවාතැන්‍පොළවල් නැතුවා නොවේ. නවාතැන්‍පොළවල් ඇති තැන්වල බෝඩ් නැති වූවාට ටියුෂන් පැමිණෙන සිසුහු ඒ තැන් ගැන හොඳ හැටි දනිති. ඒ පුරුද්දක් ලෙස ඇතැම්  සිසුන් පෙම්වතියන්ද සමග කාමරවලට රිංගන බැවිනි.
    “ඔය කියන තත්ත්වය දරුණුවට තිබ්බ තව තැනක් තමයි කුරුණෑගල. හැබැයි ඒ දැනට අවුරුදු දෙක තුනකට ඉස්සරින්.”මේ කථාව කියන්නේ කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතාය.
    ඔහු පවසන්නේ කුරුණෑගලට ටියුෂන් සඳහා ත්‍රිකූණාමලයෙන් මෙන්ම වැලිකන්ද පැත්තෙන්ද සිසු සිසුවියන් පැමිණෙන බවය. එසේ කුරුණෑගලට සතියකට ටියුෂන් සඳහා 35,000ක පමණ සිසුන් පිරිසක් පැමිණෙන බව වංශනාථ මහතා පවසයි.
    “මේ ළමයි හෝටල් කාමරවලට රිංගීමට හේතු කාරණා කිහිපයක් බලපෑව. හෝටල් සෝදිසි කරමින් හෝටල්වලට සිසු සිසුවියන් රිංගීම අඩපණ කරන ගමන් ඒ ළමයි හෝටල් කාමරවලට යන්නේ ඇයි දැයි සොයා බලා ඊට පිළියම් හොයන්න ගත්තා. එහිදී තමයි අපිට පෙනී ගියේ එක් පන්තියක් අවසන් වෙලා ඊළග පන්තිය පටන් ගන්න පැය දෙක තුනක් තිබෙනවනම් ළමයින් අනාරක්ෂිතවන බව. ඒ කාලයේ කුරුණෑගල වැව රවුමේ සහ ඇතුගල ආදී ස්ථානවල පෙම්වතුන්ට ගැවසීම තහනම්කර තිබුණා. ඒ තහනම දැම්මේ ඇයිදැයි කියල දන්නේ නැහැ. ටියුෂන් පැමිණෙන සිසුන් බොහෝ දෙනෙක් පෙම්වතුන් බවට පත්වන්නේ ඉබේටමයි. ඒ අයට චිත්‍රපට ශාලාවකට යන්න බැරිනම්, වැව රවුමේ සිටින්නට බැරිනම්, ඇතුගලට යන්නට බැරිනම් යන්න තිබෙන්නේ හෝටල් කාමරයකටයි. අපි කල්පනා කළා ඒ පැය කිහිපය ඒළමයින්ට ආරක්ෂිතව රැඳෙන්නට හැකි උයනක් ඇති කරන්න. ඒ අනුව අපිට හැකි උනා නගරාධිපතිවරයා සමග කථාබහකර නගරයේ ඇති උයනක් ඒ අය වෙනුවෙන් වෙන් කරන්න. ඒ එක්කම එම උයන වටා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පවා අපි දියත්කරලයි තිබෙන්නේ. ඒ එම දරුවන්ගේම ආරක්ෂාවට” අජිත් වංශනාථ මහතා පවසන ආකාරයට හෝටල් කාමරවලට රිංගන පාසල් සිසු පෙම්වතුන් පෙම් උයන්වල කොටුකරන්නට කුරුණෑගල ‍පොලිසිය කටයුතු කරන්නේ එසේය.
    ඒත් සමගම වෙනත් අපචාර කල්ලිවලින්ද සිසු සිසුවියන් බේරා ගන්නට වැඩපිළිවෙළක් සකස්කරන්නටත් ඔහු අමතක කර නැත. කුරුණෑගල ෆාමසිවලින් උපත්පාලන ඖෂධ, මත් ඖෂධ ආදිය සිසුන්ට අලෙවි නොවන්නේත්, හෝටල් කාමරවලට සිසු සිසුවියන් වද්දා නොගන්නේත්, ඉන්ටර්නෙට් කැෆේවලට යන විට පාස‍ලේ සහතිකයක් ඉල්ලා සිටින්නේත් ඒ අනුවය.
    වංශනාථ මහතා පවසන ආකාරයට පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබුණු කුරුණෑගල වැව රවුමට දැන් ඒ තහංචි නැත. වැව රවුමට පැමිණෙන පෙම්වතුන්ගේ ආරක්ෂාවට පාපැදිවල නැගුණු ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පවා නිතර දෙවේ‍ලේ ගමන් ගනිති. 
    ලංකාවේ ඇති විශාලතම ටියුෂන් පුරවරයක් වන කුරුණෑගල තත්ත්වය එසේ වූවත් රටේ සෙසු ටියුෂන් පුරවල තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. අද වනවිට රටේ කාමර කුලියට දෙන නවාතැන් හතු පිපෙන්නා සේ බිහිවී ඇත්නම් ඒ ටියුෂන් පංති බහුලව ඇති ප්‍රදේශ ආශ්‍රිතව බව ‍පොලීසිය කියයි. කාමර කුලියට විකිණෙන්නේ පැය ගණන්වලටය. එපමණක් නොව, තිරරෙදි දමූ හෝ වීදුරු කළු කළ සුඛෝපභෝගී බස්රථ ඊළග ගමන් වාරයට කැඳවීම් ලැබෙන තුරු ටියුෂන් පෙම්වතුන්ට පෙම්සුව විඳින්නට ලබා දීමේ ජාවාරම්ද ඒ අතර තිබේ. කුරුණෑගල එදා එසේ බස් රථ පෙම්වතුන්ට කුලියට දී තිබුනේ එක් පෙම් යුවළකගෙන් රුපියල් 200 ගානේ අයකරගෙන බව වංශනාථ මහතා පවසයි. කාලයක් ගම්පහද ඒ තත්වය පැවතුණි. දැන් එය නැත්තේ ගම්පහ සුඛෝපභෝගී බස් සේවය නතරකර ඇති බැවිණි. දැනගන්නට ඇති ආකාරයට අනුව එදා පෙම්වතුන්ට පෙම්සුව විඳින්නට බස් රථය කුලියට දීමෙන් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බස් රථය ධාවනය කර උපයන මුදලට වඩා මුදලක් උපයා තිබුණේය. මේ තත්ත්වය ගම්පහට, කුරුණෑගලට, නුගේගොඩට පමණක් සීමා වූවක් නොව, මහා පරිමාණයෙන් ටියුෂන් පන්ති අරක්ගත් ගාල්ලටද, මාතරටද, මීගමුවටද,මහනුවරටද, රත්නපුරයටද, අනුරාධපුරයටද ‍පොදුය. 
    එබැවින් අනාගතයේ ජාතික ව්‍යසනයක පෙරනිමිති කියාපාන ටියුෂන් සංස්කෘතියත් සමග ඇති වෙමින් පවතින උප සංස්කෘතියට කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ‍පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ මෙන් යම් වැඩ පිළිවෙළක් ජාතික වශයෙන් මුළු රටම ආවරණය වන පරිදි ඇති නොවුණහොත් ඇතැම් බටහිර රටවල මෙන් මෙරට පාසල්වලද වැඩිකල් නොගොස් බාලවයස්කාර ගැබිනියන් සුලබ දසුනක් වනු ඇත.

    No comments:

    Post a Comment