sha fm

    Thursday 4 July 2013

    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පරිවේණාධිපති මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක හාරිස්පත්තුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති බටුගොඩ සංකිච්චායන නා හිමි
    බොහෝ විට මිනිසුන් පාප ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ චේතනා මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකකුගේ දියුණුව, යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත්, ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. මෙබඳු ගති ඇති අය මෝහයෙන් වෙළී ඇති නිසා ඔවුන්ට වරද පෙන්වාදීමට ද අපහසු ය. නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං ගරුකං වාපි ආබාධං චිත්තක්ඛෙපංව පාපුණෙ (ධම්මපදය – දණ්ඩවග්ගය) කාරුණික පින්වතුනි, නිර්දෝෂි උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධාකරන අයට විඳීමට සිදුවන විපාක මෙම ගාථාවෙන් දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත් ඒවායෙහි විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳීමට සිදුවන බව අවධාරණය කර ඇත. එවැනි පව්කම්හි යෙදෙන්නන්ට ලැබෙන විපාක පහක් ඉහත ගාථාවෙන් ඉදිරිපත් කෙරෙන අතර ඒ සමඟම යෙදෙන අනෙක් ගාථා දෙකෙන් තවත් විපාක පහක්ද වශයෙන් විපාක දහයක් විඳුමට සිදුවන බව දේශනා කර තිබේ. අධම, විසම සමාජයේ සද්පුරුෂයන් මෙන්ම අසද්පුරුෂයන්ද දක්නට ලැබේ.ඇතැම් විට සද්පුරුෂයන්ට වඩා අසද්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සද්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි; කරයි; කියයි. ඔහු සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරමින් තමාගේත් අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව,අජීව ලෝකයටම හිතවත් වෙයි.ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සද්පුරුෂයන්ගේ ක්‍රියා කලාප අගය කරන අය මෙන්ම ඒවාට අකුල්හෙළන, ඒවා අගය නොකරන, ඒවාට බාධා කරන, එසේම සද්පුරුෂයන්ට විවිධ අවලාද චෝදනා නඟන, චරිත ඝාතනය කරන්නට වෙරදරනා අසද්පුරුෂයන් ද කොතෙකුත් සමාජයේ සොයා ගැනීමට පුළුවන. පහත් පුද්ගලයන් කෙතෙක් බාධා හිරිහැර කළත් ඒවායෙන් නොසැලී ,අකම්පිතව මහා නුග රුකක් මෙන්ද,මහා පර්වතයක් මෙන්ද කටයුතු කිරීම සද්පුරුෂයාගේ ලක්ෂණයයි. නිදොස් උතුමන්ට හිරිහැර කිරීම නින්දා අපහාස කිරීම අද පමණක් නොව ඉතා දුරාතීතයේ පවා සිදුවුණි. අපේ බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළ උදවිය බොහෝ සිටි බව බුදුසිරිතෙන් මනාව පැහැදිලි වෙයි. ඒවායෙන් නොසැලී ක්‍රියා කිරීම උන්වහන්සේගේ විශේෂ ගුණයකි. එය අපට ද ආදර්ශයකි. නූතන ශාසනාලෝකයේ ආදි කර්තෘන් වහන්සේ වන අසරණ සරණ වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන්ගේ උදාර ශාසනික මෙහෙවරට බාධා කළ, උන්වහන්සේට අපහාස කළ උදවිය පිළිබඳ බොහෝ දෙනා අසා ඇත. එසේම, නූතන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට බාධා කළ නින්දා කළ උදවිය පිළිබඳ අප අසා ඇත. කුමන බාධා, අපහාස ලැබුණත් උදාර අරමුණෙන් කටයුතු කළ එවැනි උතුමන් තම අභිලාශයන් ඉෂ්ට කරගත් අයුරුත්, ඒ තුළින් ලෝකයට සිදු වූ යහපතත් අපට පෙනේ. නින්දා අපහාස කරන මොහොතේ තාවකාලික වින්දනයක් ලැබුණත් එවැනි ක්‍රියාවල නිරතවන පව්කාරයන් කිසිවකුත් යහතින් දිවි අවසන් නොකරන බව කිව හැකිය.මෙලොව මෙන්ම පරලොවද දුක් පීඩාවලට භාජනය වන ඔවුන් මිහිරි ලෙස සිතා කළ ක්‍රියාවල විපාක විඳින විට ගිනිගොඩකට වැටුනවුන් ලෙස පීඩාවට පත්වන අයුරු දැක ගත හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් ඉහත සඳහන් ගාථාව දේශනා කරනු ලැබුවේ මහා මුගලන් හාමුදුරුවන් වහන්සේ මුල්කර ගෙනයි. මුගලන් තෙරණුවන්ගේ පරාර්ථ සේවය හේතුවෙන් බොහෝ දෙනා යහමඟට පැමිණ ධර්මයෙහි හැසිරෙමින් යහපත් ජීවිත ගත කරන්නට වූහ. මිථ්‍යාදෘෂ්ටික අදහස් දැරූ බොහෝ දෙනෙක් මෙම යහපත් ක්‍රියා නො ඉවසූහ. මිනිසුන් යහපතෙහි යොදවන
    මුගලන් තෙරුන් මිනීමරුවන් ලවා මැරවීමට කටයුතු යෙදූ නමුත් දෙවතාවක්ම සිය ඍද්ධි බල මහිමයෙන් දිවිගලවා ගැනීමට තෙරුන්ට හැකි විය. එහෙත් තුන්වැනි වතාවේ උන්වහන්සේ සොරුන්ට මුහුණ දුන්නේ මෙසේ ඔවුන් තමන් තලා පෙළා ඝාතනය කිරීමට පැමිණෙන්නේ තමන් වහන්සේ ඉහත ආත්මභාවයකදී සිදුකළ අකුසල කර්මයක විපාකයක් වශයෙන් හෙයිනි. එය නම් කිසි වරදක් නැති ගුණවත් තම මවුපියන්, කැලයට ගෙන ගොස් පහරදී ඔවුන් මරා දැමීමේ දරුණු ක්‍රියාවයි. මෙහි විපාක ආත්ම ගණනක් තිස්සේම වින්ද මුගලන් තෙරුන් රහත් වූ පසුද මෙසේ පීඩාවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව බුදුරජාණන් වහන්සේ වදාළ අතර, පව්කම්හි නොයෙදෙන ලෙස අවවාද කරමින්, එවැනි ක්‍රියාවල යෙදෙන්නන්ට අත්විඳීමට සිදුවන විපාක මෙසේ දේශනා කළ සේක. 1. අත් පා කැඩීම්, කැපීම්, පහර වැදීම් ආදී දරුණු ශාරීරික වධවේදනා විඳීමට සිදුවෙයි. 2. අව්වැසි පීඩා විඳීමින් දුකසේ උපයන වස්තුව විවිධ හේතු නිසා විනාශයට පත්වෙයි. 3. සිරුර පොඩිපට්ටන්ව යෑම්, හිස පැලීම්, අත්පා අහිමිවීම්, වෙඩිවැදීම්, අකුණු පහරවැදීම් ආදියට ලක්වෙයි. 4. සුවකළ නොහැකි, දරුණු රෝගවලට ලක් වන අතර විශේෂයෙන් චර්ම රෝග, අංශබාග, පිළිකා වැනි රෝගවලට ගොදුරුවෙයි. 5. සිහි විකල්පව උමතු බවට පත්වෙයි. පිස්සකු සේ ක්‍රියා කරයි. 6. රාජ උදහසට ලක්වෙයි. තනතුරුවලින් පහ වෙයි. 7. සොරසතුරන් විසින් ධනය පැහැර ගනු ලැබේ. 8. දරුණු දෝෂාරෝපණවලට හා අභූත චෝදනාවලට ලක් වෙයි. 9. තමාට හිතැති නෑදැ හිතමිතුරන් තමාට අහිමි වෙයි. 10. මතුවැඩ පිණිස රැස්කළ වස්තු අන්සතු වෙයි. ගේදොර ආදිය ගිනි ගැනීම් ආදි විපත්වලට ගොදුරු වෙයි. නිදොස් උතුමන්ට අවැඩ කර ඉහත සඳහන් කළ අන්දමේ විපත්වලට ගොදුරුව පීඩා විඳින බොහෝ දෙනා වර්තමානයේ වුවද අපට දැකිය හැකිය. මවුපියන්ට ගර්හා කරන එසේම ඔවුන්ගේ ජීවිත හානිකරන දරුවන් අපට දකින්නට ලැබෙයි. එසේම වැඩිහිටියන්ට මෙන්ම ගුරුභවතුන්ට හිරිහැර කරන,අපහාස කරන උදවිය ද දකින්නට පුළුවන. බොහෝ තැන්වල ගරුතර මහා සංඝරත්නයට නින්දා අපහාස කරන, ශාරීරික වධහිංසා කරන උදවියද මේ බෞද්ධ රටේ නැතුවා නොවේ. මෙවැනි පව්කම්හි යෙදෙන අය ගිහි, පැවිදි දෙපක්‍ෂයේම හමුවෙයි. බොහෝ විට මිනිසුන් මෙවන් ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකෙකුගේ දියුණූව යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත් ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. බොහෝ විට මෙවැනි පහත් ක්‍රියාවල යෙදෙන්නන් එක්ව කටයුතු කිරීමද සමාජයේ ලක්‍ෂණයකි. ඔවුන් මෝහයෙන් වෙළී ඇති නිසා තමන් එක්ව කරන අකටයුතුවල ආදීනවයන් අවබෝධ කර නොගෙන තව තවත් එවැනි පහත් ක්‍රියාවල යෙදී දුකට පත්වන බව පෙනෙයි. ඔවුන්ට වරද පෙන්වාදීමටද අපහසුය. මෙසේ පහත් ක්‍රියාවන් මිහිරි ලෙස කරන ඔවුන් ඒවායෙහි විපාක විඳින කල්හි ගිනි ගොඩට වැටුනවුන්සේ පීඩාවට පත් වනු ඇත. එනිසා එවැනි පහත් ක්‍රියාවලට යොමු නොවී සද්පුරුෂයන්සේ ක්‍රියා කිරීමට ඔබ සැම උත්සාහ කළ යුතුය. 

    මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ



    මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ
    බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇතිකොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය
    පේදෙණිය විශ්වවිද්‍යාලයේ
    ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
    හඟුරන්කෙත ධීරානන්ද හිමි
    මානුෂිකත්වයේ වැදගත්කම ලොවට පසක් කරලීමට කටයුතු කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ ලෝකයාට මහගු දිනයක් වන අතර සමස්ත මානව වර්ගයාටම සෙත ශාන්තිය උදා වූ දිනයක් ලෙසින් සැලකීම නිවැරැදිය. දඹදිව කිඹුල්වත්පුර ලුම්බිණි සාල වනයේ දී මහාමායා දේවියගේ කුසින් වෙසක් දිනයක උපත ලද සිද්ධාර්ථ කුමාරයාණන් විසිනම වසරක් ගිහිගෙහි වැඩ අනියත බව පසක් කරමින් අභිනිෂ්ක්‍රමණය කොට සියවසක් උරුවෙල් දනව්වේ දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසු ගයා ශීර්ෂයේ ඇසතු රුක් පාමුල සියලු කෙලෙසුන් නසා අනුත්තර සම්මා සම්බුද්ධත්වයෙන් සැනසුම ලැබුවේ වෙසක් දිනක ය.
    සසර ගමන බිඳල කෙලෙස් සතුරන් නසා භව සැනසුම ලබා ලොව සැමදෙනගේ සිත සුව පිණිස සදහම් බෙදමින් තමා ලත් ශාන්තිය සැමට උදාකරනු වස් ගම්නියම්ගම් ජනපද කරා වැඩ සැමට දෙලොව සැප ළඟා කළ බුදුරජාණන් වහන්සේ අසූවැනි වියේහිදී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සාලවනෝද්‍යානයේ දී වෙසක් දිනක සියලු දෑ අනියත බව පසක් කරලමින් පිරිනිවන් පා වදාළ සේක.වසර දෙදහස් පන්සිය පනස් හතක් මුළුල්ලේ උන්වහන්සේගේ තෙමගුල සමරා සිදුකෙරෙන වෙසඟ දිනය තුළ අවවාදයෙන් හා ආදර්ශයෙන් බුදුරදුන් පෙන්වා වදාළ මානුෂිකත්වයත් ඒ තුළින් සමාජයට එළි වූ සදාචාරාත්මක සමාජ දර්ශනය කවරක්ද යන්න පැහැදිලි කරගත යුතු වේ.
    බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ මානුෂිකත්වය අව තක්සේරුවට ලක්වූ එක් සමාජ පන්තියකට පමණක් සියලු වරප්‍රසාද හිමිව පැවැති කුල භේදයෙන් මහත් පීඩනයකට බ්‍රහ්මණ සමාජය විසින් මිනිසා පත්කර තිබූ අවධියකය. ක්ෂත්‍රිය , බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යැයි මිනිසා දේව නියමය මත චතුර්වරණයකට අයත් වේ යැයි ආගමික පදනමක් මත ගොඩනැගූ ආකල්පය තුළින් මිනිසාගේ මානව නිදහස පමණක් නොව මානුෂිකත්වය ද නිර්දය ලෙසින් පහතට හෙළා තිබුණි.පන්ති ස්තරායන හා කුලභේදය පදනම් කරගෙන උපතින්ම මිනිසා වර්ගීකරණයකට ලක් කිරීමෙන්, එම සමාජය තුළ ඇති වූ පීඩකාරිත්වය මෙපමණ යැයි කිව නොහැකි විය. බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇති කොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය. රජ පවුලක උපත ලබා සියලු සැපත් ජනතාව වෙනුවෙන් පසෙක ලා සමාජ අසාධාරණයට එරෙහිව හඬක් නැගීම නිසා කුල භේදයෙන් පීඩනයට ලක්ව අසරණව විසූ දහස් සංඛ්‍යාත ජනතාවට ලැබුණූ නිදහස අපමණය. කුල ස්තරායනය, මගින් සමාජය තුළ සාමය මෙන්ම සමඟියද දෙදරා ගොස් තිබූ අවධියක සමාජගත පුද්ගලයන්ගේ මානව අයිතීන් ඉස්මතු කිරීම අරඹයා බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රියා මාර්ග ගැනීමත් පැහැදිලි කිරීමත් සමගම සැමට එක්ව එකම සසුනක් තුළ ශ්‍රාවකයන් වීමේ වරප්‍රසාදය ලැබුණි. පංච මහා ගංගාවෝ විවිධ නාමයන් ගෙන් ජලය ගෙන සාගරයට වත් කළ එම ගංගා නාමයන් පසෙක ලා සාගර ජලය ලෙසින් හඳුන්වන්නාක් මෙන් උන්වහන්සේගේ ශාසනයට පත් සැම දෙනම සියලු කුලගොත් අතහැර බොදු ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූහ. ගුණවත්කම හා නැණවත්කම පදනම් කොට භික්‍ෂු, භික්ෂුණී උපාසක හා උපාසිකා යනුවෙන් නව සමාජ වර්ගීකරණයක් සසුනට මෙන්ම සමාජයටද උන්වහන්සේ විසින් හඳුන්වාදෙනු ලැබීය.සමාජයෙන් කොන් කොට මිනිසාගේ වහලකු බවට දේව නියමයක් මත පත්කොට තිබූ සුනීත, සෝපාක වැනි ශුද්‍රයනට ද සසුන් දොර විවර කොට නිවන්මග පාදා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සැමට බුද්ධ ශාසනය තුළ සමබවක් ලබාදීමට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රායෝගිකව ගත් ක්‍රියා මාර්ගය මානව හිතවාදි බවේ උච්චත්වය පැහැදිලි කරනු ලැබේ.
    උපත පුද්ගලයාගේ කුලය හෝ ජාතිය නිර්නය කළ නොහැකි සාධකයක් බවත් කරනු ලබන ක්‍රියාදාමය මත පුද්ගලයෙකුගේ තත්ත්වය තීරණය වන බවත් “නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො” යනුවෙන් වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරමින් ඇති කළ සංකල්පමය වෙනස සමාජය තුළ කුලභේදය පසෙක ලා මානව ගුණය, මානව සංවරය හා සාමය සමගිය සමානාත්මතාව ගොඩනැගීමට ගත් මහඟු ආදර්ශ පාඨයක් විය.
    අසාධාරණයකට ලක්ව අසරණව සිටි කාන්තාවනට සමාජයේ ඉදිරියට ඒමට හා පිරිමි පක්ෂය හා සමතැන්හි ලා ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම බුදුරජාණන් වහන්සේ විසින් සැකසනු ලැබීම, සමස්ත කාන්තාවනට විමුක්තිය උදාකර ගැනීමට පමණක් නොව සිය ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර නිවන්සැපය පවා ලබා ගැනීමට අවශ්‍යම මං විවර කිරීමක් විය. සිවුවණක් පිරිසෙන් භික්ෂුණීන්ට ද උපාසිකාවනට ද මේ සසුන විවර වීම කාන්තා විමුක්තියේ අරුණළු උදා වූ අවස්ථාවක් සේ සැලකීම නිවැරැදිය.
    සමාජ අසාධාරණයට පත්ව අසරණව සිටි පාටාචාරව, කිසාගෝතමිය හා රජ්ජුමාලාව වැනි කාන්තාවනට සම්බුද්ධ ශාසනයේ දොරටු විවර වී නිවන් මඟ සලසාගෙන අනෙකුත් සැමට යහපතක් උදාකරදීමට හැකි වූයේ බුදුරජාණන් වහන්සේ කාන්තාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ය. ස්ත්‍රිපුරුෂ සමගියට බුදුරජාණන් වහන්සේ ගත් මෙම ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වූ අතර මානුෂිකත්වය ස්ත්‍රි පුරුෂ භේදයට ලක් කළ යුත්තක් නොවන බව ද මෙමගින් උන්වහන්සේ ලෝකයාට පෙන්වා වදාළහ.
    වැරැදි මාවතට යොමුව අයාලේ ගිය දහස් සංඛ්‍යාත පුද්ගලයන්ට සිය සැනසුම් උදාකර ගැනීමට හා වැරැදි නිවැරැදි බව පසක් කරගැනීමට බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත කාරුණිකත්වය හා මානුෂිකත්වය අතිශයින්ම ඉවහල් විය. අංගුලිමාල හා අජාසත්ත වැනි පුද්ගලයන්ගේ චරිතයන් සුමඟට පත්ව උදාරතර ජීවිතයන් බවට පත්වූයේ බුදුන් වහන්සේ මානුෂිකත්වයෙන් පිරුණු හදවතින් එම ජීවිත දෙස බැලීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව පැහැදිලිය..
    එමෙන්ම පන්සිල් සුරකින, කාය වාග් සංවරත්වයකින් හෙබි සමාජයක් ඇති කරලීමේ අරමුණ මත සිය ශ්‍රාවක පිරිස සංවිධානය කිරීමට අවශ්‍ය දේශනාත්මක හා ප්‍රායෝගික ක්‍රියාදාමයකට යොමුකිරීමද මානුෂිකත්වය සුරකින සමාජගත සමඟිය ඇතිවන සමාජ ස්තරායනයක් නිර්මාණයට අවශ්‍ය සංවිධානාත්මක පදනමක් ඇති කිරීමට බුදුන්රදුන් පියවර ගැනීම සමාජ ගත පුද්ගල සම්බන්ධතා ශක්තිමත් වීමටත් සමාජය සදාචාරාත්මක ක්‍රියාදාමයන් මත සංවිධානය වීමටත් බලපෑ බව පැහැදිලි කරුණකි.
    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ හර පද්ධතින් අප විසින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන්හි ඉස්මතු කරගත යුතු අතරම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදාළ මානුෂිකත්වය කරුණා මෛත්‍රිය පෙරදැරිකර ගෙන ක්‍රියාවට නැගීමට පෙළ ගැසේ නම් වත්මන්හි ඇතිව ඇති බොහෝ ප්‍රශ්නයනට එම ක්‍රියාදාමයෝ පිළිතුරක් වනු ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන දිනයක ප්‍රතිපත්තිමය වශයෙන් උන්වහන්සේට කරනු ලබන ලොකුම උපහාරයක්ද වනවා නො අනුමාන ය.

    රුහුණේ පුංචි සීගිරිය මුල්කිරිගල


    ජනක වෙත්තසිංහ දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි.
    දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. ග්‍රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශ්‍රයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට ද කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ. ස්වභාවධර්මය දායාද කළ ශෛලමය ලෙන්කුටි හතක් සහිත මහල් පහකින් සමන්විත කඳු ගැටය එදා රජ දරුවන් විසින් ජාතික ආගමික උරුමයක් බවට පරිවර්තනය කරමින්, එයට අපූරු නිර්මාණාත්මක හැඩතල ද එක්කර ඇත. අව්‍යාජ ස්වභාව සෞන්දර්යයේ ගිරිකුළ මුල්ගිරිගල නමින් හැඩ වැඩ කර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරය චමත්කාරයෙන් ඔදවත් කරලමිනි. මෙය බොදු ජනතාව උදෙසා තිළිණ කළ අපූර්වත්වයෙන් සුන්දරත්වයෙන් පිරිපුන් තවත් අභිමානවත් බෞද්ධ උරුමයකි. මුල්ගිරි ගල වෙත එන වන්දනා කරුවකුට එය ආගමානුකූල අපූරු අඩවියකි. සොඳුරු සිත් ඇති සංචාරකයකුට අසිරිමත් ඉසව්වකි. පහතමළුව, බෝ මළුව, රජමහ විහාර මළුව උඩ බෝධි මළුව, චෛත්‍ය මළුව වශයෙන් නැගෙන ගිරග විසින් සාදා ඇති තෝතැනි විහාරාංගයන් වෙනුවෙන් උපයෝගී කරගෙන තිබේ. ලෙන් විහාරාරාම හතෙන් දෙකක් පහත මළුවේ ද හතරක් රජමහා විහාර මළුවේ ද ඉතිරිය බෝ මළුවේද දක්නට ලැබෙයි. එදා වනේ වන සතාත් විෂඝෝර සර්පයාත් වඩාත් රුචි කළ උණුසුමත් සමඟ අඳුරෙන් චකිතයෙන් පිරී ගිය ගල් ගුහා සැනසීම සමඟ බුද්ධාලම්භනාලෝකයෙන් මෙන්ම බැතිය ද ආකර්ශනය ද කැටි කර ගනිමින් විහාරාරාම බවට ස්වාභාවික සැකැස්ම සීරු මාරුවට පරිවර්තනය කිරීම අගනේ ය. ලොව අටවැනි පුදුමය ලෙසින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ සීගිරිය ඓශ්චර්යවත් නිර්මාණයකි. එවන් සීගිරි ආලකමන්දාව මතකයට නංවමින් මුල්ගිරිගල
    හඳුන්වන්නේ රුහුණේ පුංචි සීගිරිය නමිනි. එයම මෙහි වන සුවිශේෂී ස්වභාවය, කලාත්මක භාවය හඳුනාගැනීමට හැකි පෙළඹුමක් ඇති කරවන සුළුය. විහාරස්ථානය ආශි‍්‍රතව ඇති දොළොස්වන සියවසට අයත් ශිලා ලේඛනයට අනුව මෙහි පැරැණි නාමය ‘මුහුන්දගිරි’ විහාරය නමින් හඳුන්වා තිබේ. කාවන්තිස්ස රජතුමා සෑදූ හැට හතරක් විහාරස්ථාන අතරට මෙම විහාරස්ථානය අයත්වන බව සැළකේ. එසේ නම් මෙය ඉතා ඓතිහාසික තත්ත්වයක ලා, ගැනිය හැකි ක්‍රි.පූ. යුගය දක්වා දිවෙන සුවිශේෂී වූ පුදබිමෙකි. කාවන්තිස්ස රජතුමා සෑදූ ‘සමුද්ද විහාරය’ මෙය බව මතයක් පවතී. නමුත් වංශකතා වලට අනුව මුල්කිරිගල විහාරය තනවා ඇත්තේ 1 වන ජෙට්ටතිස්ස රජතුමා (ක්‍රි.ව. 266 – 276 ) විසින් බව කියැවෙයි. ජනප්‍රවාදයන්ට අනුව කියැවෙන්නේ මෙම විහාරස්ථානය කරවා ඇත්තේ කාවන්තිස්ස රජතුමාගේ පුතනුවන් වූ සද්ධාතිස්ස රජතුමා බවය. පුදබිමෙහි රෝපණය වී ඇති බෝධීන් වහන්සේ දෙතිස්ඵල රුහ බෝධීන් වශයෙන් සැළකේ. එයද විහාර සංස්කෘතියකට විශේෂිත ය. ඇත්තෙන්ම මෙය විහාර සංකීර්ණයකි. ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් බෝධීන් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක් හා ශිලා ලේඛන මෙන්ම පැරැණි ගල් කණු ශෛලමය ඔරු ශෙලමය මලසුන් මෙහි ඇති පෞරාණිකත්වයටත් ආගමික අභිමානවත් බව සුරැකීමට සබැඳිව අදත් නටබුන් වෙසින් පෙනී සිටියි. එක් එක් මහල් වෙත පිය නැඟීමට තනා ඇති ශෛලමය පියගැට පෙළ ලෙන් කුටි මතු කරලමින් පැරැණි සම්ප්‍රදායික ආකෘතියේ සුන්දරත්වය මතු කරලමින් සාදා ඇති විහාර මැදුරු ද උඩමළුවේ ඇති ජල පොකුණ ද පුදබිමේ විසිතුරු බව ඔපවත් කිරීමට දායක වී තිබෙති. මෙහි ලෙන් විහාර මැදුරු පහක් තුළ ඔත් පිළිමවහන්සේලා හත් නමක් නිමවා තිබේ. එසේම විහාර බිතු මත ඇඳි සිතුවම් පෙළ මහනුවර සම්ප්‍රදායේ රුහුණු ආභාෂයේ කලා කෘතීන්ය. ඒ අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගන්නා බව කලා විචාරකයන්ගේ මතයයි. ඒ අතර වන බෙරයක් වයන කාන්තාරුව
    විශේෂ අවධානයක් දිනා ගන්නා ලද අපූරු සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේනික මකර තොරණ, දොරටුපාල රූපාදිය ද විහාර මැදුරු විචිත්‍රවත් කරවයි. පරංගි ආක්‍රමණිකයන්ගෙන් විනාශ වූ සංස්කෘතික උරුමයන් අතර භාග්‍යයකට මෙන් සුරැකෙමින් පැමිණි මගේ දී ලංදේසි ආක්‍රමණිකයන් ශ්‍රී පාදස්ථානය මෙය යැයි වරදවා තේරුම් ගැනීම නිසා මුල්ගිරිගලට ඔවුන් ඇඩම්ස් බර්ග් යනුවෙන් නම් තබා ඇත. අකාලයේ වල් බිහිව තිබූ මෙම වටිනා උරුමයට නැවත පුනර්ජීවය ප්‍රදානය කළේ 18 වන ශතවර්ෂයේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙනි. පෞරාණික සිතුවම් ඇකී මැකී ගිය බැවින් නැවත ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට එවකට සිටි දක්‍ෂ නිර්මාණ ශිල්පියකු වූ දෙවරගම්පල සිල්වත් තැන සම්බන්ධ කර ගත් බව සැළකෙයි. රුහුණෙන් පැණ නැගුණු ජාතික බෞද්ධ උරුමයේ සාඩම්බරය මේ යැයි කියාපාමින් අදත් නොසැලී පවතින මුල්ගිරිගල සමස්ත ජාතික උරුමයේ තවත් අභිමානවත් ස්මාරකයකි.
     

    Tuesday 2 July 2013

    කායික හා වාචසික හික්මීම සීල සංවරය යි



    පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක පිටිගල ගුණරතන හිමි බුදුරජාණන් වහන්සේ කයින් වචනයෙන් හික්මීමේ සංවරය සීලය ලෙසයි වදාළේ. එබැවින් ඒ කය, වචන දෙක සීල හා දුස්සීල කියන දෙ කොටස වෙන්කළ පසු අපට හමුවන්නේ මනෝ කර්මය යි. මානසික ක්‍රියාවද කුසල සහගත හෝ අකුසල සහගත වෙන්න පුළුවන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්විඳින සත්ත්වයන් ඒ දුකින් නිදහස් කරනු පිණිස ලෞකික මෙන්ම ලෝකෝත්තර ප්‍රතිපදාවලින් යුක්ත දහමක් වදාළා. ඒ අතරේ සීලය පිළිබඳව විශේෂ වෙනවා. සීලය තථාගතයන් වහන්සේ දේශනා කළ නිසා හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා හෝ උන්වහන්සේ සතුටු කරන්නට අප විසින් කළයුත්තක් නොවේ. මෙය අපේම අවශ්‍යතාවය බව පළමුකොට හඳුනාගත යුතුයි. සිල්වත්වීමේ ආනිශංසත් එහි විපාකත් විඳින්නේ තම තමා තනි තනිවමයි. එනිසා අප මේ වෙලාවේදී එබඳු සීලයක් කෙසේ පුරන්නේද යන්න විමසා බලමු. දැන හෝ නො දැන ලෝක සම්මත වරදින් හෝ ශාසනය තුළ පැන වූ සම්මුතිය වරදින් හෝ මිදෙන්නට නිදහස් වීමට ඔබ උත්සහයක් දරනවා නම් එයින් රැස්වන පින ඔබට සංසාර ගමනේ බොහෝ උපකාර වන සැප පිණිස පවතින උපකාරයක් බවට පත්වෙනවා. එනිසා කෙසේ හෝ වැරැදි නොකර ඉන්නට දරන උත්සාහය අත් නොහැර තවදුරටත් ඒ ආකාරයෙන්ම නිවැරැදි මඟක් දැන හඳුනා ගන්නා තුරු එවැනි සීලයක් තුළ පිහිටා සිටීමට වඩ වඩාත් යෝග්‍ය වෙනවා. සීලයේ එන විශේෂ ප්‍රභේද වෙන් වෙන්ව ගෙන කථා නො කළත් ඒ පිළිබඳව විශේෂිත වූ “සීල සැපය”
    පිළිබඳව ඔබට යමක් දැන ගැනීමට කැමැතිනම් විශුද්ධි මාර්ගයේ එන සීල විශුද්ධිය හොඳින් කියවා බැලීම ප්‍රයෝජනවත් වෙනවා. අප දැන් අප කථා කරන්නේ ලෝකෝත්තර මාර්ගයට නිවනට සාපේක්ෂව මේ සීලමය ගුණය කෙසේ නිවැරැදි විය යුතුද කියන අදහස පමණයි. මේ ශාසනය තුළ මූලික වශයෙන් අකුසලය දස ආකාරයකින් දක්වා තිබෙනවා. එයට කියනවා දස අකුසලය කියලා. දස අකුසලය තවත් විදිහකට ත්‍රිවිධ දුෂ්චරිතය ලෙස හඳුන්වනවා. එයින් පැහැදිලි කරන්නේ කයින්, වචනයෙන්, මනසින් කරන අකුසල්. ඒවා කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ලෙස පැහැදිලි කර තිබෙනවා. මෙහිදී කායිකව සිදුවන අකුසල කර්ම තුනක් දක්වනවා. 1) ප්‍රාණඝාතය, 2) සොරකම, 3) කාමමිථ්‍යාචාරය. ඊළඟට වචී දුෂ්චරිතය හතර ආකාරයක් වෙනවා. 1).මුසාවාද, 2). පිසුනාවාච 3).පරුසාවාච, 4). සම්ප්‍රප්පලාප. ඊළඟට මනෝ දුෂ්චරිතයද අංග තුනකින් යුක්ත වෙනවා. 1). අවිද්‍යාව, 2). ව්‍යාපාදය, 3). මිථ්‍යාදෘෂ්ඨිය. යම් කෙනෙකු මේ දස අකුසලයේ වෙන් වී දස කුසලයෙහි පිහිටන්නේ නම් එය මේ ශාසනය තුළ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා - සියලු පව් නො කරන්න. කුසල් වඩන්න. මේ ආකාරයෙන් දක්වන්නට පුළුවන්. නමුත් අප මතක තබාගන්න ඕන කුසලස්ස උපසම්පදා කියන තැන බුද්ධ දේශනා නතර කරලා නැහැ. තවදුරටත් සචිත්තපරියෝ දපනං - සිත පිරිසුදු කළ යුතුයි. මේ සියල්ල මතකයේ තබාගෙන අප මේ අකුසලය පිළිබඳව විමසා බලමු. අකුසලයෙන් මිදී සුසිල්වත් වන ආකාරය දස කුසල කර්මය ලෙසත්, ත්‍රිවිධ සුචරිතය ලෙසත් අප ඉගෙනගෙන තිබෙනවා. එහිදී කාය සුචරිතය ප්‍රාණඝාතයෙන් මිදීම, සොරකමින් වෙන්වීම, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම. වචී සුචරිතය මුසාවාදයෙන්, පරුෂාවාචයෙන්, සම්ප්‍රප්පලාපයෙන් , පිසුනාවාචයෙන් වෙන්වීම. මනෝ සුචරිතය දැඩි ලෝභයෙන්, ව්‍යාපාදයෙන්, මිසදුටු බවින්, වෙන්වීම. මෙයයි දස කුසල ලෙස හඳුන්වන්නේ. කාය දුශ්චරිතය, වචී දුෂ්චරිතය “සීල” කියන කොටසට අයිතියි. බුදුරජාණන් වහන්සේ කයින් වචනයෙන් හික්මීමේ සංවරය සීලය ලෙසයි වදාළේ. එබැවින් ඒ කය, වචන දෙක අප සීල හා දුස්සීල කියන දෙ කොටස වෙන්කළ පසු අපට හමුවන්නේ මනෝ කර්මය යි. මානසික ක්‍රියාවද කුසල සහගත හෝ අකුසල සහගත වෙන්න පුළුවන්. ධම්මපදය ගැන විමසා බැලුවොත් එහි පළමු ගාථාවේ සඳහන් වන මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා තථෝ නං දුක්ඛ මන්චේති චක්කං’ව වහතෝ පදං මනසා චේ පසන්නේ න භාසති වා කරෝති වා තතෝ නං සුඛංමන්චේති ඡායා’ ව අනපායිතී සසර ගමනේ දී දුක්පීඩා ගෙනදෙන කාය සහගත වචී සහගත කර්ම ගොඩ නැ‍ෙගන්නේ දූසිත වූ මනස මූලික වීම බව අප දන්නවා. ඒ අනුව මනස දූෂිත වෙලා දූෂිත සිත මූලික කරගෙන කායිකව හෝ වාචසිකව යම් ක්‍රියාවක් වෙනවානම් එය “ගොනා පසුපස යන කරත්තය” මෙන් දුක පිණිස පවතිනවා. කාය කර්මය, වචී කර්මය දුෂ්චරිත වන්නේ මනස දූෂණය වීමෙනුයි. එහි අනෙක් අදහස මනසා චේ පදුට්ඨේ න ප්‍රසන්න වූ මනස මූලික කරගෙන යමෙක් කායිකව හෝ වාචසිකව යම් ක්‍රියාවක් කරයිද “සෙවනැල්ල” මෙන් තමා අත් නො හැර සැපත තමා වෙත ළංවෙන බව මෙහි කියවෙනවා. සැප ගෙන දෙන කාය කර්මය වාග් කර්මය සිදුවන්නේ් මනස ප්‍රසන්න වීමෙන්ම යි. දැන් ඔබට පැහැදිලියි කාය , වාග් කර්මය, අකුසල් වීමට හෝ කාය වාග් කර්මය කුසල් වීමට හේතුව වන්නේ මනස බව. මනස ගැන නො දැන කාය කර්මය හා වචී කර්ම කුසල කරගන්නට බැහැ. මනසේ ප්‍රසන්න භාවය ගැන නොදැන නොදැක කාය කර්මය, වාග් කර්මය සුචරිතවත් වන්නේ නැහැ. අප සමාදන්වූ ශික්ෂාපද ඒ පොරොන්දු වූ ආකාරයටම වරදට නො වැටී පිහිටා සිටින්නට නම් සිත කෙලෙසෙන්නට සිත කිලුටු වෙන්නට, සිත දූෂිත වන්නට ඉඩ නොතබා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් සිල් පුරන පුද්ගලයාට තිබෙන්නට ඕන. ඒ ගැන දැනුමක්, නුවණක් ඒකාන්තයෙන් තිබිය යුතු බව. මේ කරුණ ගැන සිතන විට පෙනෙනවා. අප දන්නවා මේ කුසලා කුසල ධර්ම, ඒ කුසල අකුසලයට මුල් වූ ලෝභ, ද්වේෂ, මෝහය, අලෝභ, අදෝෂ, අමෝහය කියන හේතු යටතට පත්වෙනවා. ලෝභ සහගතබවින් ගොඩනැගෙන අකුසල ධර්ම තිබෙනවා. ද්වේෂය මූලිකවන, මෝහය මූලික වන අකුසල ධර්ම තිබෙනවා. අලෝභය, අද්වේෂය, අමෝහය මූලික වන කුසල ධර්ම තිබෙනවා. දැඩි ලෝභය එසේ නොමැතිනම් අවිද්‍යාව කියන මානසික ගතිය සිතේ හටගත්විට ඒ හේතුවෙන් හට ගන්න, සිදුවන කාය කර්ම දෙකක් දක්වන්න පුළුවන්. එනම් සොරකම සහ කාමමිථ්‍යාචාරය. දැඩි ලෝභය සිතේ පහළ වුණාමයි මේ කාය කර්ම දෙක සිදුවෙන්නේ. ඒ දැඩි ලෝභය නිසාම වාග් කර්ම අතරින් මුසාවාද කියන කර්මය සිදුවන්නේ. එයට හේතුව අවිද්‍යාව යි. ද්වේෂය, ව්‍යාපාදය, කියන මානසික ගතිය සිතේ බලවත් වූ විට ප්‍රාණඝාතය කියන කාය කර්මයත් පිසුනාවාචා, පරුසාවාචා කියන වචී කර්ම දෙකත් සිදු වෙනවා. මිථ්‍යාදෘෂ්ඨි කියන මානසික ගතියේ ප්‍රතිඵලය තමයි බොහෝ කොට නිශ්ඵල දේ කථා කිරීම. මේ අනුව අපට පුළුවන් මේ කාය කර්ම , වචී කර්ම සහ මනෝ කර්ම තුන වෙන් වෙන්ව හඳුනාගන්න. මානසික ගතිය සිතේ බලවත්නම් මේ කාය වාග් කර්මයන්ගෙන් මිදීමක් නැහැ. අවිද්‍යාව බලවත්නම් සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාද කියන කර්මවලින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. ව්‍යාපාදය සිතේ බලවත්ව තිබෙනවානම් මේ කර්මවලින් මිදෙන්නට අපහසු වෙනවා. මිසදුටු බව සිතේ නැගෙනවානම් දොඩමළු බව, නිසරු දේ කථා කිරීම ආදී ලක්ෂණ වෙනවා. එසේනම් කාය වාග් කර්මයෙන් හා වචී කර්මයෙන් අකුසල නො වන්නට මේ හේතු සිෙඳන වැඩ පිළිවෙළක් අප අනුගමනය කළයුතු වෙනවා. ඉතිරි කොටස ලබන සතියේ සටහන : නයනා නිල්මිණි 

    සංසාර සුගතිය ලබාදෙන සීලය



    පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
    පිටිගල ගුණරතන හිමි
    කයින් වචනයෙන්, සිතින් අකුසල් නොකළ පමණකින්, ආජීවය පිරිසුදු වූ පමණකින් උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් ශ්‍රේෂ්ඨ පරම පුරුෂයෙක් බවට පත්වෙනවානම් උඩුබැලි අතට ඉන්න පුංචි ළදරුවාද උතුම් පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් වූ උතුම් පුරුෂයෙක් විය යුතුයි. තථාගතයන් වහන්සේ විමසනවා ඒ ළදරුවාගේ අතපය සෙලවීම හැර කුමන නම් කායසහගත අකුසල කර්මයක් ද?
    ආත්ම පුද්ගල සංකල්පය තුළයි ඒ සීලය පවතින්නේ. “මම” කියන ආත්මය පිළිගැනීම “මම” කියන පුද්ගලයා සැපවත් කරන්නට සුවපත් කරන්නට යි උත්සාහය. “මම” කියන පුද්ගලයා සතර අපායට වැටෙන්නට දෙන්න බැහැ. එතැන දුක් ඇති තැනක්. එතැනට වැටුණොත් ගොඩක් දුක් විඳින්න වෙනවා. එනිසා “මම” කියන පුද්ගලයා ගලවා ගන්න ඕන. “මම” කියන කෙනා සුගතියට ගෙන ගියොත් බොහෝ සැප තියෙනවා
    අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හික්මවීම සඳහා අපගේ සැප විහරණය සඳහා ‘සීලය’ නමැති උතුම් ප්‍රතිපදාවේ අප හික්මවනු ලැබුවා. සිල්වත්වීමේ ආනිශංසත් දුසිල්වත්වීමේ විපාකත් උන්වහන්සේ වෙන් වෙන් වශයෙන් දෙව්යන්ට මිනිසුන්ට පමණක් නොව බඹුන්ටත් දේශනා කළා.
    සිල්වත් වීමේ ආනිශංසය අත්විඳින්නේ ඔබත් මමත් ය. සිල්වත් නොවීම් ආදීනවය විපාකය අත්විඳින්නේ් ඔබත් මමත් ය. එනිසා මේ සංසාර ගමනේ සීලමය විපාකය අපේ ජීවිතය තුළ බොහෝ ආකාරයකින් උපකාර වෙනවා. සංසාර විමුක්තිය පිණිසත්, ලෝකෝත්තර ප්‍රතිපදාව තුළත් සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා මාර්ග තුළ අපට පිහිටන්නට වෙනවා.
    මජ්ක්‍ධිම නිකායේ “සවන මණ්ඩිකා” සූත්‍රයට අනුව විමසා බැලුවොත් සමණ මණ්ඩිකාපුත්ත උග්ගාහමාන අපගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ සමඟ යෙදුන සංවාදයක දී ඔහු ප්‍රකාශ කරන්නේ ‘යමෙකුª කයින් වචනයෙන් අකුසල් නො කරයිද, ආජීවයද පිරිසුදු ද එසේ නම් ඔහු උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත්වූ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් කියා අප පනවනවා දේශනා කරනවා කියා.
    උග්ගාහමානපුත්ත එදා පැහැදිලි කළේ අද අපේ බෞද්ධ සමාජය ගතකරන ආකල්පය ගත්තොත් උග්ගහමානගේ දර්ශනය හරි. ඇයි? කවුරුන් හෝ කයින්, වචනයෙන්, සිතින් අකුසල් නො කරනවාද දිවි පැවැත්ම යහපත් නම් උතුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් වූ කෙනෙක් කියා අපේ සමාජය තුළත් පිළිගැනීමක් තිබෙනවා. නමුත් ඒ බුද්ධ ශ්‍රාවකවරු තථාගතයන් වහන්සේ හමුවීමේ අදහස ඉදිරිපත් කළවිට උන්වහන්සේ අපූරු නිදර්ශනයක් එක් කරමින් මෙසේ වදාළා.
    ‘’මහණෙනි, කයින් වචනයෙන්, සිතින් අකුසල් නොකළ පමණකින් ආජීවය පිරිසුදු වූ පමණකින් උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් ශ්‍රේෂ්ඨ පරම පුරුෂයෙක් බවට පත්වෙනවානම් උඩුබැලි අතට ඉන්න පුංචි ළදරුවාද උතුම් පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් වූ උතුම් පුරුෂයෙක් විය යුතු බව වදාළා. උන්වහන්සේ විමසනවා ඒ ළදරුවාගේ් අතපය සෙලවීම හැර කුමන නම් කායසහගත අකුසල කර්මයක් ද? එම ළදරුවාට කුමන නම් වචී කර්මයක් ද? මමය, මාගේය කියා නොදන්නා ඔහුට ආජීවයේ කුමනනම් අපිරිසුදු භාවයක් ද? එහෙමනම් ඒ ළදරුවා උග්ගමානපුත්තගේ ඉගැන්වීම අනුවද වර්තමානයේ අපේ පිළිගැනීම අනුව ද එය බුදුදහම නොවේ. වැරැදි නො කළත් කුසල සහගතව ඇති ඊට අදාළ දැක්ම දර්ශනය නො යෙදුනු තැන පවතින පැවැත්ම මේ ශාසනය තුළ හඳුන්වන්නේ ළදරු බව හැටියට යි. ළදරු බව ඉක්මවා යන වැඩපිළිවෙලක් මේ ශාසන තුළ තිබෙන්න ඕන. ඒ ගැන සොයන්නට ඕන. ඒ පිළිබඳව දැනුවත් වීමෙනුයි අපට ‘සීලය’ තුළින් රැස්වන පින සැබෑවටම අපේ ජීවිතවලට එකතු කර ගන්නට, ළඟාකර ගන්නට පහළකර ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
    දුක්කංච අනුපගම්ම සීලවා දුෂ්ඨිගත සීලයක් හා දුෂ්ඨියෙන් ඉක්මවන සීයයක් අපට මේ ශාසනය තුළ කථා කරන්නට පුළුවන්. අද වර්තමානයේ දී ගිහි හා පැවිදි අප බොහෝ විට රකින සීලය දුෂ්ඨිගත යි. ආත්ම පුද්ගල සංකල්පය තුළයි ඒ සිීලය පවතින්නේ. මම කියන ආත්මය පිළිගැනීම මම කියන පුද්ගලයාව සැපවත් කරන්නට සුවපත් කරන්නට යි උත්සහය. මම කියන පුද්ගලයා සතර අපායට වැටෙන්නට දෙන්න බැහැ. එතැන දුක් ඇති තැනක්. එතැනට වැටුණොත් ගොඩක් දුක් විඳින්න වෙනවා. එනිසා මම කියන පුද්ගලයා ගලවා ගන්න ඕන. මම කියන කෙනාට සුගතියට ගෙන ගියොත් බොහෝ සැප තියෙනවා සුවපත් කරන්න සැපවත් කරන්න. එනිසා දුක් විපාක මම කියන කෙනාට ලබාදෙන්න බැහැ කියා සිතන්නේ මේ පුද්ගල සංකල්පය මතයි. මේ පිළිබඳව ගැඹුරට කල්පනා කර විමසා බැලුවොත් අප වැරැදි නො කරන්නේ ඇයි? සිල්වත් වීමට කැමැති ඇයි? කියන ප්‍රශ්නයට පිළිතුර තම තමාගෙන් විමසන විට දෙන්න තිබෙන පිළිතුරයි මුලින් සඳහන් කළේ. නමුත් එසේ හෝ සිල්වත් වීම තුළින් සීලමය පිනක් රැස් වෙනවා.
    නමුත් සංසාර සුගතිය ලබාදෙන පිනක් පමණක් නොවේ ලෝකෝත්තර බවට උපකාරි වන ඒ දක්වා සීලමය පිනක් තථාගතයන් වහන්සේ වදාළා. මේ කුසලයට අකුසලයට හේතු කරන කාරණා පිළිබඳව සොයා බලන්න ඕන. අකුසලයත්, අකුසල මූලයත්, කුසලයත් , කුසල මූලයත් සොයන්න උත්සාහ කළයුත්තේ එනිසයි.
    ‘සම්මා දිට්ඨි’ සූත්‍රය තුළින් ලෝකෝත්තර ප්‍රතිපදාවට ලෝකෝත්තර මඟට පිවිසෙන්නත් මේ දැනුම ප්‍රමාණවත් බව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කර වදාළා.
    එනිසා ඔබත් නිකම්ම සිල්පද සමාදන් නොවී ඊට වඩා එහාට යන දැක්මක් මේ සඳහා එකතු කර ගන්න. ඒ දැනුම ඒ දර්ශනය එකතු කරගෙන අප සුවපත් නො වුණත් මේ අකුසලය විඳින්නේ මෙතැනින් නිරුද්ධ වන්නේ මෙතැනින්, මේ අකුසලය පටන් ගන්නේ මෙතැනින් කියලා මූල දන්නවානම් පැවැත්ම අකුසල වුවත් මේ ශාසනය තුළ විශිෂ්ඨ කොට සලකනවා නම් ඔහුට යම් මොහොතක් විර්යයට සිහියට ඉඩ ලැබුණොත් මොහොතින් ඔහු ඒ සියල්ලෙන් නිදහස් වෙනවා.
    මිනී මරා ඇගිලි මාලයක් කරේ දමාගෙන සිටියත් අංගුලිමාලට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. අම්බපාලි, විමලා, සුභා ආදි ගණිකාවන්ට වරදින් මිදිලා මහරහත් මෙහෙණින් වහන්සේලා බවට පත්වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එසේ වීමට පුළුවන් වුණේ මේ සීලාදී ගුණයටත් නිවන දක්වා හේතුවන පැහැදිලි දර්ශනයක් තිබුණ නිසායි.

    නිවස තුළදී පුහුණු කළ හැකි දහම් මඟ


    මාවරලේ භද්දිය හිමි
    සියලු වැඩ අතහැර දමා ධර්මයම අසමින් හිඳීමෙන් ධර්මය පුහුණුවීමක් නොවේ. සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම් අසල්වැසියන්ගේ යුතුකම් අතහැර දමා බණ ඇසිය යුතුයැයි බුදුදහමේ ගිහියන්ට කොතැනකවත් ප්‍රකාශ කර නැත. ඔබ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. බහුශ්‍රැත විය යුතු යි. ශ්‍රවණය කරන ධර්මය ක්‍රමයෙන් පුහුණු විය යුතුයි. සියලුම කටයුතු අතහැර දමමින් ධර්මය පුහුණුවීමට ඇතැයි කියා කවර හෝ ස්ථානයකට ගියත් ඔබ අපේක්‍ෂා කරන ප්‍රතිඵලය ඔබට නොලැබේ. එනිසා ගැඹුරු අවබෝධයෙන් යුක්තව ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවසේ සිටම පුහුණු විය යුතුයි
    ගිහියකු වශයෙන් ධර්මය පුහුණු වීමේදී මූලිකව අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කවරේද? යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි.
    විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසාන අරමුණ වන්නේ නිර්වාණාවබෝධයයි. නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි තුළ විශේෂයෙන් නිවැරැදිව දැකීම යන අර්ථය දහමෙහි පැහැදිලි කෙරේ. අපට නිවැරැදිව සත්‍යය, සත්‍යය ලෙස දකින්නට නොහැකි වී තිබෙන්නේ අප අන්තවාදයන් නියෝජනය කරන විටයි. ඍජුවම පරලොව ගැන පිළිබඳව සිතමින් මෙලොව පිරිසක් සිටින අතර පරලොවක් නැතැයි සිතන පිරිසකුත් වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙයි.
    බුදුසමය ඔබට යෝජනා කරන්නේ, පරලොවක් ඇත යන අන්තයට හෝ පරලොවක් නැත යන අන්තයට හෝ නොවැටී අපගේ ඊළඟ භවය සැකසීමට හෙවත් සසර ගමන දිගුවීමට හේතු සාධක වන කර්ම රැස්වන ක්‍රියාමාර්ග වලින් හැකි උපරිම ආකාරයෙන් වැළකී සිටින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනිසා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී කරන ක්‍රියාකාරකම් තුළදී ධර්මය පසෙකින් තැබීම නොකළ යුතුයි.
    එදිනෙදා ජීවිතයේදී සිදු කරන සෑම ක්‍රියාවක්ම ධර්මානුකූලව අන්තගාමීත්වයට නොවැටී කරන්නට තීරණ ගනු ලබන හැම මොහොතකම හේතුඵල සම්බන්ධතාවය වටහාගෙන දකින්නට පුළුවන්කම ලැබුණහොත් සෑම දෙයක්ම හටගන්නා හේතු ප්‍රත්‍යයන්ගේ ස්වභාවය නුවණින් දකින්නට හැකි වුවහොත් ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීමේ අවකාශයක් ගෘහස්ථ ජීවිතයේදී උදාවේ.
    සම්‍යයක් හෙවත් නිවැරැදි දැක්ම පියවරෙන් පියවර දෘෂ්ටිය දියුණු කරගැනීමට ගෘහජීවිතය තුළ හැකියාව තිබේ. සම්‍යක් දෘෂ්ඨිය හෙවත් නිවැරැදි දැක්ම අප තුළ ඇතිවන විට අනිවාර්යෙන්ම අපගේ සිත තුළ පුද්ගලයින් සම්බන්ධයෙන් වෙනදා ඇතිවන හැගීම්, වෙනදා පහළ වූ සිතිවිලි සංකල්ප වෙනුවට ඉතාම නිවැරැදි සංකල්ප සහ සිතිවිලි උත්පාදනය වේ. ඒ සංකල්ප අපට උපදවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ තුළ අප හෙළන්නා වූ නිවැරැදි දැක්ම පදනම් කරගෙනයි. අප තුළ උපදින්නාවූ නිවැරැදි සංකල්ප ලෙස අව්‍යාපාද සංකප්පෝ (අනෙක් කෙනා නොනැසේවා) අවිහිංසා සංකප්පෝ (අනෙක් කෙනාට හිංසාවක් පීඩාවක් කරදරයක් කායික මානසික බාධා කිරීමක් නොකළ යුතුයි) අවිහිංසා සංකල්පය,අව්‍යපාද සංකල්පය ගෘහස්ත ජීවිතය තුළ අපට ක්‍රම ක්‍රමයෙන් පුහුණවන්නට හැකියාව ලැබේ.
    නිවසේ සිටින අය වෙත අවිහිංසා සංකල්පයෙන් යුක්ත වීම, නිවසේ සිටින අය නොනැසේවා යන හැඟීමෙන් යුක්තව අපගේ මනස ක්‍රියාත්මක කිරීම යන දියුණු මනෝභාවයන් අප තුළ වර්ධනය කරගන්නට ගෘහස්තයකුට ගෘහජීවිතය තුළම හැකියාව තිබේ. එමෙන්ම නෙක්ඛම්ම සංකප්පයෙන් සමහර දේ අත්හැරීමට අපට ගෘහජීවිතය තුළදී පුරුදු පුහුණු විය හැකිය. දරුවන් බිරිඳ අතහැර වනගතවන්නට ඔබට එක්වරම කළ නොහැකිය. යානවාහන, මිළ මුදල්, බඩුභාණ්ඩ, දේපළ, ඉඩකඩම් සම්බන්ධ ඉතාම ගැඹුරු අවබෝධයකින් යුක්තව ඒවා සමග තිබෙන මානසික සංකල්ප, බැඳීම අතහැර කටයුතු කළ යුතුයි.අල්ලාගෙන කටයුතු කරනවාට වඩා මනසින් අතහැර කටයුතු කළ යුතුයි. එය පියවරෙන් පියවර වර්ධනය කර ගත යුතුයි.
    සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන මාර්ගාංග තුන සිල්වත්වීම පිළිබඳවයි. කායිකවත්, වාචසිකවත් අප තුළ ගොඩනැගී තිබෙන සීලාදී ගුණධර්ම අපගේ ගෘහජීවිතය සාර්ථක කරගැනීමට උපකාරයක් වේ. කතා කරන ප්‍රමාණය ස්වල්ප වුවත් අත්‍යවශ්‍ය අර්ථාන්විත අනෙකා ගේ ජීවිතයට වගේම තමන්ගේ ජීවිතයටත් යහපතක් වන දෙයක් කතා කිරීමට හැකිය.
    කාමමිත්‍යාචාරය, ප්‍රාණඝාතය සහ සොරකම සහ වැරැදි කායික අකුසල කර්මයන්ගේ අප සම්පූර්ණයෙන්ම දුරස්විය යුතුයි. එය ගෘහස්ත ජීවිතයේ පැවැත්මට අදාළ කාරණයකි. නිවස තුළ රැකියා ස්ථාන තුළ බස්රිය තුළ, දුම්රිය තුළ, ගෘහස්ථ ජීවිතය තුළ පුහුණූ විය යුතු කරුණු වේ. බුද්ධ ධර්මය, සාකච්ඡා කරන්නේ වනගතව පුහුණූ විය යුතු අංග පමණක් නොව තමන් එදිනෙදා පියවරෙන් පියවර ගිහිගෙය තුළ වර්ධනය කර ගත් දේද පිළිබඳවයි. සිත දූෂිතවන අකුසල කර්ම තව තවත් වර්ධනය වන වෘත්තීන් තෝරා නොගත යුතුයි. සමහර වෘත්තීන් නිසා රාගය, සමහර වෘත්තීන් නිසා තණ්හාව සමහර වෘත්තීන් නිසා ද්වේශය සමහර වෘත්තීන් නිසා මෝහය වර්ධනය වේ. අවි ආයුධ, මස් මාංශ, වස විස, මත්වතුර, වැනිදේ ඇසුරු කරගත් වෘත්තීන් නොගත යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. එවැනි වෘත්තීන් තුළ කෙලෙස් වැඩිවන නිසා එවැනි වෘත්තීන්ගෙන් හැකිතාක් ඉවත් වීමෙන්,අපගේ ගෘහස්ථ ජීවිතය තුළම ආධ්‍යාත්මික පුහුණුව වෙත ගමන් කිරීමට පහසුවක් වෙයි. එදිනෙදා කටයුතු කරන අතර තුරම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ගමන්කළ යුතුය.
    දැනට අභ්‍යන්තරයේ තිබෙන්නාවූ අකුසල ධර්ම සිතිවිල ක්‍රම ක්‍රමයෙන් ප්‍රහීණ කරගැනීමටත්, අලුත් අකුසල ධර්මයන්හි වර්ධනය වීම හැකිතාක් වළක්වා ගැනීමට වීර්යය කළ යුතුයි.
    උපදවා නොගත් කුසල ධර්ම කරුණාව, මෛත්‍රිය, නිර්ලෝභීබව වැනි ධර්ම මේ වන විට හොදින් වැඩී නැතිනම් ඒවා වර්ධනය කරගන්නට ඔබ යම් ආකාරයක වීර්යයක් දැරිය යුතුයි.
    නිතිපතා ඔබ කරන සෑම ක්‍රියාකාරකමක් තුළම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ තුළින් ගෘහ ජීවිතය තුළ උද්ගතවන වන විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අවම කරගත හැකිය. එවැනි අවබෝධයක් සහිත පුහුණුවක් ඔබ තුළ වර්ධනය වෙමින් තිබේ නම් එවැනි දේ තුළ තිබෙන අනිත්‍යතාවය ඔබට දැකිය හැකිය.
    ඔබ සිත තුළ පූර්ණ ඒකාග්‍රතාවයක් ඇතිකර ගත යුතුයි. එය දියුණු මට්ටමට එන විට ඔබ ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය ප්‍රථම ධ්‍යානය චතුර්ථධ්‍යානය වෙත ගමන් කරාවි. ඔබ කරන ක්‍රියාවට පූර්ණ මානසික ඒකාග්‍රතාවත් තිබිය යුතුයි. සියලු වැඩ අතහැර දමා ධර්මයම අසමින් හිඳීමෙන් ධර්මය පුහුණුවීමක් නොවේ. සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම් අසල්වැසියන්ගේ යුතුකම් අතහැර දමා බණ ඇසිය යුතුයැයි බුදුදහමේ ගිහියන්ට කොතැනකවත් ප්‍රකාශ කර නැත.
    ඔබ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. බහුශ්‍රැත විය යුතු යි. ශ්‍රවණය කරන ධර්මය ක්‍රමයෙන් පුහුණු විය යුතුයි. සියලුම කටයුතු අතහැර දමමින් ධර්මය පුහුණුවීමට ඇතැයි කියා කවර හෝ ස්ථානයකට ගියත් ඔබ අපේක්‍ෂා කරන ප්‍රතිඵලය ඔබට නොලැබේ. එනිසා ගැඹුරු අවබෝධයෙන් යුක්තව ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවසේ සිටම පුහුණු විය යුතුයි.
    එවිට ගෘහ ජීවිතයේ සෑම කටයුත්තක්ම හොඳීන් සිදු කරන ගමන්ම ඔබට හොඳින් ධර්මය පුහුණුවීමටත් අවකාශය ලැබෙනු ඇත

    මැදුම් පිළිවෙත



    පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
    පිටිගල ගුණරතන හිමි
    තුන් ලොවට සැපත උදා කරමින් දුර්ලභව ලොව පහළ වන බුදු උපත සැබැවින්ම තුන් ලොවට සැපතක් වන්නේ තුන්ලොව වැසි සත්ත්වයිනට සසර කතර තරණය කරන්නට සද්ධර්මයේ උපත ද සිදු වූ බැවිනි.
    තථාගතයන් වහන්සේ මිනිස් ලොව, දෙව්ලොව, රූපි, අරූපි, බඹලොව දක්වා ඉහළතල වල ඇති ජීවිත ලෝකෝත්තර දහමට සුදුසුසෙක් නිර්මාණය කරන ලෞකික ගමන් මඟ මේ ජීවිතය තුළදීම ඉක්මවා, ලෝකෝත්තර භූමිය ඉස්මතු කරන ලොව්තුරු දහම් මඟක්ද ලෝකයට වදාළා. සතර අපායට වඩා දුකේ අඩු බවක් මිනිස් ලෝකයේ ඇති බවත්, මිනිස් ලෝකයට වඩා දුකෙහි අඩු බවක් දිව්‍ය ලෝකය තුළත්, දිව්‍ය ලෝකයට වඩා දුකෙහි අඩු බවක් රූපි අරූපි බ්‍රහ්ම ලෝකය තුළත් ඇතිවා මිස දුකෙන් මිදීමක් ඒ කිසිදු තැනක නොමැති බව උන්වහන්සේ වදාළා. මේ හැම ලෝ තලයකම ජාති, ජරා, මරණය විද්‍යාමාන වන බැවින් නිවනට සාපේක්ෂව මේ හැම උපතක්ම දුගතියක් බව දේශනා කළහ.
    නිබ්බාණවා උපදිභාව සබ්බා උත්පත්තියෝ දුක්ඛති මේ තථාගතයන් වහන්සේ ඒ පිළිබඳව කළ උතුම් දේශනාව යි.
    ඒ අනුව උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය පිළිබඳව යම් හඳුනා ගැනීමක් දම්සක් පැවතුම් සූත්‍රය තුළ සඳහන් වෙනවා. එහිදී ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවි තබ්බා මහණෙනි, අන්ත දෙක ඇසුරු නො කොට මැදුම් පිළිවෙත තුළින් ඒ ගමන් මඟ පාදා ගත යුතුබව වදාළා. අදත් යමෙකු ලොව්තුරා මඟ සොයන්නේ නම් අන්ත ඇසුරු නො කොට නො තිබිය යුතු යි.
    අන්ත පිළිබඳව තථාගතයන් වහන්සේ කළ දේශනාව අසිරිමත් ය. උන්වහන්සේ ස්පර්ෂය එක් අන්තයක්, ස්පර්ෂ සමුදය එක් අන්තයක්, ස්පර්ෂ නිරෝධය මැදුම් පිළිවෙත ලෙසත්, නාමය එක් අන්තයක් ,රූපය එක් අන්තයක්, විඤ්ඤාණය මැද ලෙසත්, අධ්‍යාත්මික ආයතනය එක් අන්තයක්, බහිරායතන එක් අන්තයක්, විඤ්ඤානය මැද ලෙසත්, සැප වේදනාව එක් අන්තයක්, දුක් වේදනාව එක් අන්තයක් අදුක්ඛම සුඛ වේදනාව මැද ලෙසත්, සක්කාය එක් අන්තයක්, සක්කාය සමුදය එක් අන්තයක් ලෙසත් සක්කාය නිරෝධය මැදුම් පිළිවෙත ලෙසත් වදාළ හ. ඒ වගේම අතීතය එක් අන්තයක් අනාගතය එක් අන්තයක් වර්තමානය මැද ලෙසත්, අංගුත්තර නිකායේ ‘මජ්ජය සූත්‍රයේ’ උන්වහන්සේ වදාළ හ.
    තවද පාරායන වර්ගයේ දී ඇත යන එක් අන්තයක්, නැත යන දෙවන අන්තය බවත් ඒ ඇත, නැත යන අන්ත දෙකටම නො වැටී මැදුම් පිළිවෙත අනුගමනය කළ යුතුබවත් වදාළ හ.
    යමෙකු රූපයට පිවිස රූපයෙහි පිහිටා රූපමය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව ලබයිනම් එතැන රූපය නැමැති අන්තය ඇසුරු වී ඇත. යමෙකු දකින, අහන, දැනෙන, දැනගන්න දෙය සිතටම ය. සිතෙහිම හට ගන්න සිතිවිලි මාත්‍රයන්ම ය. සිතත් සිතෙහි හට ගන්න සිතිවිලිත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇසුරු කළේද එයද නාමයේ අන්තය ඇසුරු වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව අන්ත නො යික්මවා මැදුම් පිළිවෙතක් කිසිවෙකු හමුවන්න ඉඩ නැහැ. යමෙකුට මැදුම් පිළිවෙත හසුවී නම් ඔහු ඒකාන්තයෙන් අන්තයන්ගෙන් මිදී තිබිය යුතුයි. තවදුරටත් ඒ ගැන සිහිපත් කිරීමත් කළහොත් මේ සඳහා අප අනුගමනය කළයුතු සොඳුරුතම දහම් මඟ ලෙස බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ප්‍රශ්න හතරකට පිළිතුරු සලස්වා ගතයුතු වෙනවා. දුක නම් කුමක් ද? දුකට හේතුව නම් කුමක් ද? දුකෙහි නැති කිරීම නම් කුමක් ද? දුක නැතිකරන මඟ නම් කුමක් ද? මේ සතරට ලැබෙන නිවැරැදි විසඳුමයි සම්මා දිට්ඨිය නමින් දක්වා තිබෙන්නේ.
    දුක්ඛේ ඤාණං
    දුක්ඛ සමුදයේ ඤාණං
    දුක්ඛ නිරෝධේ ඤාණං
    දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං
    ඉදං උච්චති සම්මා දිට්ඨි
    මෙසේ මේ සතර පැනයට පිළිතුරු සපයා ගත් කෙනෙකුට දුක්ඛ නිරෝධය පිණිස කළ යුත්තේ සමුදය ප්‍රහාණය කළයුතු බව සමුදය ප්‍රහාණය වන්නට නම් දුක දුක ලෙසම පිළිසිඳ දත යුතු බව ඒ දුක පිළිසිඳ දකින වැඩපිළිවෙලම දුකෙන් මිදෙන මඟ ලෙස හඳුනාගත යුතුවෙනවා. එහිදී දුක පිළිසිඳ දැකීමෙන් සමුදය ප්‍රහාණය වෙන බවත් සමුදය ප්‍රහාණය වීමෙන් නිරෝධය සාක්ෂාත් වන බවත්, නිරෝධය සාක්ෂාත් කර ගන්නට නැවත නැවතත් දුකම පිළිසිඳ දත යුතු බවට තහවුරු විය යුතුයි. දුක පිළිසඳ දකිනවා යනු සංකිත්තේන පංච උපාධානස්කන්ධා දුක්ඛා පංච උපාධානයත් පංච උපාධානස්කන්ධයන්ගේ උදය වැය (ඇතිවීම සහ නැතිවීම) පිළිසඳ දැකීමයි. නමුත් පංච උපාධානස්කන්ධය පංච උපාධානස්කන්ධයේ උදය වැය දැකීම සියලු දුකේ නිරෝධය පිණිස පවතින එකම එක සෘජු ප්‍රතිපදාව නොවන බවද අප අවධාරණය කොට ගත යුතුයි. ස්කන්ධයන් ස්කන්ධයන්ගේ උදය වැය දැකීමෙන් අපි වර්තමාන දහමත් වර්තමානය තුළ හට ගෙන නිරුද්ධ වුණු ධර්මතාවයන් විනිවිද දකින බව සැබෑවකි. ඒ වර්තමානය තුල හටගන්නා වූ ස්කන්ධයන් අනාගතයට නිදසුන් වර්තමානය තුළම සිඳීම බිඳීම විරුද්ධවීම දැනීමට දුක්ඛ නිරෝධගාමිණි ප්‍රතිපදාව නොවේ. ඒ ප්‍රතිපදාවේ ඇරඹුමක් පමණයි. ඒ අන්ත දැකීමෙනුයි සත්‍ය ඤාණය, සත්‍ය දර්ශනය මැදුම් පිළිවෙත පහළ කර ගන්නට පිළිවෙත තිබෙන්නේ. හැම මොහොතකම වර්තමාන ධර්මයන්ගේ නිරුද්ධවීම දැකීමයි විපස්සනා ඤාණය එම හැම මොහොතකම හමුවන්නේ හසුවන්නේ වර්තමානයේ ඉපදීමත්, වර්තමානයේ කෙරෙන නිරුද්ධවීමේ එකඟතාවයත් මේ ධර්මතාවය දකින කෙනා අතීතය එක් අන්තයක්ය, අනාගතය එක් අන්තයකන්ය, වර්තමානය මජ්ජය කියන තැනින් ඒ මැදුම් පිළිවෙත හා අන්ත කියන දෙපැත්තට අප මේ දහම ගලපා බැලිය යුතුයි. මේ සත්‍ය මේ දර්ශනය තුළ මතුකර ගත යුතුයි.
    එසේනම් යමෙකුට ස්කන්ධයන්ගේ උදයවැය වර්තමානය තුළ ඉපදෙන ධර්මතාවයක් ලෙස දකිනවානම් ඔහුට අවබෝධ ඤාණයක් තිබෙන නමුත් ඒ සත්‍ය ඤාණය පහල වී තිබුණත් තමාගේ පැවැත්ම අතීතය ඇති බවට අනාගතයක් ඇති බවට හමුවන මානසික ස්වභාවයෙන් අත් මිදීමයි. ඔබ මොහොතක් දෙනෙත් පියා ගන්න. ඒ මොහොතේම ඔබට වටහා ගන්න පුළුවන් ඔබ හාත්පස පරිසරය පිළිබඳව. ඔබට ඉදිරියෙන්, දකුණෙන්, වමෙන්, පිටුපසින්, ඉහළින්, පහළින්, මොනවද පවතින්නේ කියා විමසා බැලුවොත් නොයෙක් නොයෙක් දේ ඇති බවට ඔබේ මනසට හසුවෙනු ඇත. බඹයක් පමණ සිරුර තුළින් ඔබ මේ සියල්ල තේරුම් ගත යුතු වෙනවා. අර දහම භාවිතා කරන විට ඔබට වැටහේවි බාහිරයෙන් ඇති බවට හසුවන ඒ ස්වභාවය මනෝ විතර්ක බව. බඹයක් පමණ සිරුර තුළින් මුළු ලෝකයම ඔබට වැටහෙනු ඇත.

    ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !


    ඒ උතුම් සැරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා ගෙන් පැවත එන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය දිවි ඇති තෙක් සරණ යමි..
    ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!


    පුන්‍යානුමෝදනාව-
    මහාමේඝ ආයතනයේ සියලු දෙනාට,මේ සත්‍ය අපට මතුකර දුන් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට,පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ට මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවේවා
    සාදු ! සාදු !! සාදු !!!

    මේ වීඩියෝව නරබන ඔබ සැමටත් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවේවා …! සාදු..! සාදු..! සාදු.

    Monday 1 July 2013

    විස ඉවතලන්නාක් මෙන් පාපය දුරලමු


                                                          වැලිගම කොක්මාදුව 
    ශ්‍රී පූර්වාරාම විහාරවාසී 
    කනංකේ රජමහා විහාර 
    පරිවේණාධිපති, ශාස්ත්‍රපති
    කැටවල ඉන්දසාර හිමි
    වාණිජෝව භයං මග්ගං
    අප්පස්සත්ථෝ මහද්ධනෝ
    විසං ජීවිතුකාමෝච
    පාපානි පරිවජ්ජයේ
    (ධම්මපදය – පාප වග්ගය)

    අද ධර්ම දේශනාව මඟින් පවින් ඉවත්වීමේ වටිනාකම පිළිබඳ කරුණු ටිකක් පෙන්වා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහතින් දක්වා ඇති දහම් ගාථාව මාතෘකා කර ගනිමු. එහි සරල අදහස මෙසේය. “පිරිවර අඩු, බොහෝ ධනය තිබෙන වෙළෙන්දකු සොර සතුරු බිය සහිත මාර්ගවල ගමන් නොකරන්නාක් මෙන් ද, බොහෝ කාලයක් ජීවත්වීමට කැමැති පුද්ගලයකු වස විෂවලින් ඉවත් වී සිටින්නාක් මෙන්ද දෙලොවටම හානිදායක සියලු පාපයන් දුරු කළ යුතුය.”
    අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා ධනවත් වෙළෙන්දකු මුල් කරගෙන මෙම ගාථාව දේශනා කළ සේක. කරත්තවලින් ඈත ප්‍රදේශවල වෙළෙඳාමෙහි යන ඉතා ධනවත් වෙළෙන්දකු සැවැත් නුවර සිටියේය. ඔහු වෙළෙඳාමට යෑමට පෙර විහාරස්ථානයට පැමිණ තමන් යෑමට බලාපොරොත්තු වන ප්‍රදේශවලට වැඩම කිරීමට සිටින භික්‍ෂූන් වහන්සේද වැඩමවාගෙන යෑමට පුරුදුව සිටියේය. ගමන් අවසන් වන තුරු උන්වහන්සේට දන් පැන් පූජා කිරීමෙන් හා බණ දහම් ඇසීමෙන් ද ඔහු පින් කර ගත්තේය. එක් කලෙක ඔහු ඉතා ඈත වනගත ප්‍රදේශයකට වෙළෙඳාමට ගියේය. එම ප්‍රදේශයේ සොර සතුරන් ද බහුල විය. සොරුන් සිටින අනතුරුදායක මාර්ග ගැන හිතවතුන් මාර්ගයෙන් දැනගත් මෙම පුද්ගලයා එම මාර්ගවල නොගියේය. ටික දිනක් නතර වී සිටියේය. වෙනත් මාර්ගවලින් ගොස් වෙළෙඳාමත් කරගෙන කිසිදු කරදරයක් නොවී නැවත තම නිවෙසට පැමිණියේය. ඔහු සමඟ වැඩම කළ භික්‍ෂූන් වහන්සේගෙන් මෙම තොරතුරු දැනගත් තථාගත බුදුරජාණන් වහන්සේ එදින දම් සභාවේදී එම තොරතුරු ගෙනහැර දක්වමින් ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.

    මෙම ගාථාවෙන් හා කථා පුවතෙන් අපගේ් ජීවිතවලට ගත හැකි ආදර්ශ බොහෝ ඇත. තමාගේ දෛනික කටයුතු කරන අතරතුරදී පින් දහම් කර ගැනීමේ බාධාවක් නැත. මෙම පුද්ගලයා වෙළෙඳාම් කරන අතරතුර දන්දීම, බණ ඇසීම සහ භික්‍ෂූන් වහන්සේට වතාවත් කිරීම ආදි වටිනා පින්කම් රැසක් සිදුකර ගත්තේය. එසේ පින්කම් කරන විට ඔහුගේ සිතෙන් පව් සිතුවිලි බැහැර විය. කරන ලද පින් බලයෙන් ඔහුට සතුරු කරදරවලින් ආරක්‍ෂා වීමට ද හැකි විය. ව්‍යාපාරික හා රැකියා කටයුතු නිසා පින් දහම් කර ගැනීමට වේලාවක් නැතැයි ප්‍රකාශ කරන අද සමාජයේ බොහෝ දෙනකුට මෙම ව්‍යාපාරිකයාගෙන් ලබා ගත හැකි ආදර්ශ බොහෝ ඇත. තමන්ගේ හා තම අඹු දරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන ව්‍යාපාර හා රැකියා දැහැමි විය යුතුය. එවිට පවට යොමු වීමක් නැත. පාප යනු පුද්ගලයකුගේ් ජීවිතය අපිරිසුදු කර ඔහු සතර අපායට පැමිණවීමට උපකාරී වන නරක ක්‍රියාවන්ය. ඒ ක්‍රියාවන්ට ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් චේතනා මුල් වේ. එවැනි නරක චේතනා පදනම් කරගෙන තම සිත, කය, වචන යන තුන්දොරින් සිදුකරන ක්‍රියාවන්ගේ ප්‍රතිඵල මෙලොව පමණක් නොව සසර පුරා කරදර විපත් පමුණුවයි. “පාපකාරි උභයත්ථ තප්පති” යන බුදුවදනෙන් එය පැහැදිලි වෙයි. එනිසා මෙලොව හා පරලොව සැනසීම පිණිස පාපයන්ගෙන් ඉවත් විය යුතුය. විශේෂයෙන්ම පස් පව් නමින් හඳුන්වන පරපණ නැසීම, සොරකම් කිරීම, වැරැදි ලෙස කම් සැප විඳීම, බොරුකීම, මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතය අත්හළ යුතු අතර ඒවාට අනුබල ලබා දීමද නොකළ යුතුය. පව් කරන විට තාවකාලික සතුටක් ලැබුණත් එහි ප්‍රතිඵල දිගුකාලීන පසුතැවිල්ලට හේතුවෙයි.
    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    බුදු දහම පරම සැපයකි



    නිකදලුපොත කළටුවාගම 
    රාජ මහා විහාරවාසී 
    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨාධිපති 
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
    උතුරාවල ධම්මරතන හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    සුඛො බුද්ධානං උප්පාදො
    සුඛා සද්ධම්මදේසනා
    සුඛා සංඝස්ස සාමග්ගි
    සමග්ගානං තපො සුඛො
    කාරුණික පින්වත්නි,
    අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත්, ඔබ හැමෝම දන්නා හඳුනන ධම්මපදය නම් ධර්ම පුස්තකයේයි. එහි බුද්ධ වග්ගයේ ඇතුළත් අටවැනි ගාථා රත්නයයි මේ.
    මේ ගාථාවෙහි අර්ථය විවරණය කර දීමට පෙර ඔබ සැමට දහම් අවවාදයක් දීමට කැමැතියි.
    කායෙන සංවරො සාධු
    සාධු වාචාය සංවරො
    මනසා සංවරො සාධු
    සාධු සබ්බත්ථ සංවරො
    පින්වත් ඔබ කයෙන් සංවරවීම හොඳයි. “කායෙන සංවරො සාධු” මැනැවින් හිඳගෙන සංවරව මෙම දහම් කරුණු කියවන්න. එසේම “සාධු වාචාය සංවරො” කී පරිදි කතාබහ නොකර කට සංවර කරගන්නත් ඕනෑ. මනැස, සිත,නැත්නම් විඥානය සංවර කරගැනීම, සන්සුන් කරගැනීම “ මනසා සංවරො සාධු” ලෙසින් දැක්විය හැකියි. එනිසා පින්වත්නි,කයත්, වචනයත් සිතත් සංවර කරගෙන, දැන් අප මුලින් සඳහන් කළ ධර්ම මාතෘකාව වෙත අවධානය යොමු කර ගත යුතු වෙනවා.
    එම ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමය විහාරස්ථානයේදියි. පන්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේ මුල් කරගෙනයි.
    එදා සැවැත්නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස්වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ “ඇවැත්නි,මේ ලෝකයෙහි සැප කුමක්දැ”යි ඔවුනොවුන් සාකච්ඡා කළා.ඇතැමකු කීවේ රජ සැපත තරම් සැපතක් ලොව තවත් නැති බවයි. සමහරකු කම් සැපය තරම් තවත් සැපයක් ලොව නැතැයි කීවා. එතැනට බුදුරජාණන්වහන්සේ වැඩම කළා. භික්ෂූන් වහන්සේ සමඟ කථාකොට, “මහණෙනි,මේ ලෝකයෙහි උතුම්ම සැපය නම් වෙනකක් නොවෙයි. බුදුවරයකුගේ පහළවීම සැපයක්, සදහම් දෙසීම සැපයක්, සංඝ සාමගී‍්‍රය සැපයක්, සමඟි වූවන්ට තපස සැපයක් යැ”යි දේශනා කළා.
    මෙම පාලි ගාථාවේ පදගත අර්ථය දෙස සිත යොමුකරන්න. බුද්ධානං - බුදුවරුන්ගේ, උප්පාදෝ- ඉපදීම, සුඛො - සැපයි, සද්ධම්ම දේසනා - දහම් දෙසීම, සුඛා - සැපයි, සංඝස්ස - සංඝයාගේ , සාමග්ගි – සමඟි බව, සුඛා - සැපයි, සමග්ගානං – සමඟි වූවන්ගේ, තපො - තපස, සුඛා - සැපයි.
    සත්වයන්ට ලොවී ලොව්තුරා සැප ගෙන දෙන බැවින් බුදුවරුන්ගේ පහළවීම සැපයක්. “සුඛො බුද්ධානං උප්පාදො” ධර්මය දුකින් මිදීමට හේතුවන බැවින් සදහම් දෙසීම සැපයක්. “සුඛා සද්ධම්ම දේසනා” සංඝයාගේ සමඟිය ද සැපයෙක්. “සුඛා සංඝස්ස සාමග්ගි” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක්. “සමග්ගානං තපො සුඛො” එම ගාථා ධර්මයේ සරල තේරුම එසේ පෙන්වාදිය හැකියි.
    දැන් අපි “සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දැක්වූ පරිදි බුදුවරුන්ගේ පහළවීම සැපයක් වන්නේ කෙසේද යන්න විමසා බලමු. දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කළ හැකි ජීවිතයක් ගොඩනඟා ගැනීම අසීරුයි. කාලාන්තරයක් එයට පිළිවෙතින් පෙළ ගැසිය යුතුයි. දානයෙන්, ශීලයෙන්, නෛෂ්ක්‍රම්‍යයෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, ක්ෂාන්තියෙන්, සත්‍යයෙන්, අධිෂ්ඨානයෙන්, මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් තම ජීවිතය පිරිපුන් කරගත යුතුයි. එම පිරිපුන් ජීවිත ඇත්නම් ඒ ඇත්තේ බෝසතුන්ටයි. පසුව මේ උත්තමයන් බුදුබවට පත්වනවා. උන්වහන්සේගේ උපත සැපතක්. ඒ බුදුවරයකුගේ පහළවීම නිසා දෙවියන් සහිත සත්ව ලෝකයා සසර දුකින් සැබැවින්ම අත්මිදෙන බැවින්. නිවන ලබා ගන්නට සසරින් මිදෙන එකම මග වූ අරිඅටඟි මඟ එළි පෙහෙළි කරන්නේ අන් කිසිවකු නොව සම්මා සම්බුදුවරයෙකුමයි. එනිසා උන්වහන්සේගේ උපත සැපයක්.එහෙත් එය අතිශයින්ම දුර්ලභ වූවක් බව කිව යුතුමයි. ‘ඉමස්ස ඛො භික්ඛවෙ එක පුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං’ යන පාලි පාඨයෙන් මැනැවින් ඒ බව පැහැදිලි වනවා.
    “සුඛා සද්ධම්මදේසනා” එනම් සදහම් දෙසීම සැපයක් වන්නේ කෙසේද? ධර්ම ශ්‍රවණයට පැමිණ සසර කෙටි කර ගන්නා සත්වයන් එමටයි. ජාති, ජරා මරණාදියෙන් මිදෙන්නන් එමටයි. එනිසා ධර්ම දේශනය, සැපයට හේතුවක් බව පැහැදිලියි. “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියෝසානකල්‍යාණං” ආදියෙහි දැක්වෙන පරිදි සීලය පැවසෙන ධර්ම දේශනය ආදි කල්‍යාණ වනවා. මධ්‍යයෙහි නිවන් මාර්ගය පැවැසෙන ධර්ම දේශනය, මධ්‍යකල්‍යාණ නම් වනවා. අවසානයෙහි නිවන පැවැසෙන දම්දෙසුම් පරියොසාන කල්‍යාණ නම් වනවා. ඒ ධර්ම දේශනය ලෝක සත්වයාට සැබැවින්ම සැපයක් උදා කරනවා.
    “සුඛා සංඝස්ස සාමග්ගි” සංඝයාගේ සමඟිය ද සැපයක්. සංඝරත්නයේ සමඟි බව, එක් සිත් බව, දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කිරීමට මහෝපකාරි වනවා. ඒනිසා සංඝයාගේ සමගිය සැපයක් යැයි වදාළා. මහා සංඝරත්නය යනු සසුන් පිළිවෙතෙහි යෙදෙමින් කෙලෙස් නැසීමට උත්සාහ දරන, ප්‍රතිපත්ති පුරන පිරිසයි. සාමග්ගි නම් උතුම් සංඝරත්නයේ එක්වීමයි. සමඟිසම්පන්න බවයි. එසේ සමඟි වූවන් මැනැවින් දහම් හි පිහිටනවා. දහම්හි පිහිටි පුද්ගලයා විමුක්ති ලාභයෙන් සැනසෙනවා.
    “සාමග්ගානං තපො සුඛො” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක් වනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ සමඟි බව ධර්මය ඉගෙනීමට ධූතාංග පරිපුර්ණයට,මහණ දම් පුරන්නට හේතු භූ®ත වන බැවින් සමඟි වූවන්ට තපස සැපයක් යැයි දේශනා කොට තිබෙනවා.
    එදා සැවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස් වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ යථොක්ත ධර්ම දේශනාව අවසානයේ සියලු කෙලෙස් නසා පරම රමණීය වූ උතුම් නිර්වාණාවබෝධය ලබා ගත්තා. එපමණක් නොවෙයි එම අවස්ථාවට පැමිණි මහ ජනයාට ද එම දේශනාව අසා සෝවාන් ආදි මාර්ග ඵල පිළිවෙළින් නිවන ලබා ගැනීමට හැකි වූ බව සඳහන් වනවා.
    මේ උතුම් සදහම් කාරණා කියවීමෙන්, ඔබ සැමටත් ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා’යි ප්‍රාර්ථනා කරගන්න.