sha fm

    Tuesday, 2 July 2013

    ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !


    ඒ උතුම් සැරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා ගෙන් පැවත එන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය දිවි ඇති තෙක් සරණ යමි..
    ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!


    පුන්‍යානුමෝදනාව-
    මහාමේඝ ආයතනයේ සියලු දෙනාට,මේ සත්‍ය අපට මතුකර දුන් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට,පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ට මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවේවා
    සාදු ! සාදු !! සාදු !!!

    මේ වීඩියෝව නරබන ඔබ සැමටත් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවේවා …! සාදු..! සාදු..! සාදු.

    Monday, 1 July 2013

    විස ඉවතලන්නාක් මෙන් පාපය දුරලමු


                                                          වැලිගම කොක්මාදුව 
    ශ්‍රී පූර්වාරාම විහාරවාසී 
    කනංකේ රජමහා විහාර 
    පරිවේණාධිපති, ශාස්ත්‍රපති
    කැටවල ඉන්දසාර හිමි
    වාණිජෝව භයං මග්ගං
    අප්පස්සත්ථෝ මහද්ධනෝ
    විසං ජීවිතුකාමෝච
    පාපානි පරිවජ්ජයේ
    (ධම්මපදය – පාප වග්ගය)

    අද ධර්ම දේශනාව මඟින් පවින් ඉවත්වීමේ වටිනාකම පිළිබඳ කරුණු ටිකක් පෙන්වා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහතින් දක්වා ඇති දහම් ගාථාව මාතෘකා කර ගනිමු. එහි සරල අදහස මෙසේය. “පිරිවර අඩු, බොහෝ ධනය තිබෙන වෙළෙන්දකු සොර සතුරු බිය සහිත මාර්ගවල ගමන් නොකරන්නාක් මෙන් ද, බොහෝ කාලයක් ජීවත්වීමට කැමැති පුද්ගලයකු වස විෂවලින් ඉවත් වී සිටින්නාක් මෙන්ද දෙලොවටම හානිදායක සියලු පාපයන් දුරු කළ යුතුය.”
    අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා ධනවත් වෙළෙන්දකු මුල් කරගෙන මෙම ගාථාව දේශනා කළ සේක. කරත්තවලින් ඈත ප්‍රදේශවල වෙළෙඳාමෙහි යන ඉතා ධනවත් වෙළෙන්දකු සැවැත් නුවර සිටියේය. ඔහු වෙළෙඳාමට යෑමට පෙර විහාරස්ථානයට පැමිණ තමන් යෑමට බලාපොරොත්තු වන ප්‍රදේශවලට වැඩම කිරීමට සිටින භික්‍ෂූන් වහන්සේද වැඩමවාගෙන යෑමට පුරුදුව සිටියේය. ගමන් අවසන් වන තුරු උන්වහන්සේට දන් පැන් පූජා කිරීමෙන් හා බණ දහම් ඇසීමෙන් ද ඔහු පින් කර ගත්තේය. එක් කලෙක ඔහු ඉතා ඈත වනගත ප්‍රදේශයකට වෙළෙඳාමට ගියේය. එම ප්‍රදේශයේ සොර සතුරන් ද බහුල විය. සොරුන් සිටින අනතුරුදායක මාර්ග ගැන හිතවතුන් මාර්ගයෙන් දැනගත් මෙම පුද්ගලයා එම මාර්ගවල නොගියේය. ටික දිනක් නතර වී සිටියේය. වෙනත් මාර්ගවලින් ගොස් වෙළෙඳාමත් කරගෙන කිසිදු කරදරයක් නොවී නැවත තම නිවෙසට පැමිණියේය. ඔහු සමඟ වැඩම කළ භික්‍ෂූන් වහන්සේගෙන් මෙම තොරතුරු දැනගත් තථාගත බුදුරජාණන් වහන්සේ එදින දම් සභාවේදී එම තොරතුරු ගෙනහැර දක්වමින් ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.

    මෙම ගාථාවෙන් හා කථා පුවතෙන් අපගේ් ජීවිතවලට ගත හැකි ආදර්ශ බොහෝ ඇත. තමාගේ දෛනික කටයුතු කරන අතරතුරදී පින් දහම් කර ගැනීමේ බාධාවක් නැත. මෙම පුද්ගලයා වෙළෙඳාම් කරන අතරතුර දන්දීම, බණ ඇසීම සහ භික්‍ෂූන් වහන්සේට වතාවත් කිරීම ආදි වටිනා පින්කම් රැසක් සිදුකර ගත්තේය. එසේ පින්කම් කරන විට ඔහුගේ සිතෙන් පව් සිතුවිලි බැහැර විය. කරන ලද පින් බලයෙන් ඔහුට සතුරු කරදරවලින් ආරක්‍ෂා වීමට ද හැකි විය. ව්‍යාපාරික හා රැකියා කටයුතු නිසා පින් දහම් කර ගැනීමට වේලාවක් නැතැයි ප්‍රකාශ කරන අද සමාජයේ බොහෝ දෙනකුට මෙම ව්‍යාපාරිකයාගෙන් ලබා ගත හැකි ආදර්ශ බොහෝ ඇත. තමන්ගේ හා තම අඹු දරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන ව්‍යාපාර හා රැකියා දැහැමි විය යුතුය. එවිට පවට යොමු වීමක් නැත. පාප යනු පුද්ගලයකුගේ් ජීවිතය අපිරිසුදු කර ඔහු සතර අපායට පැමිණවීමට උපකාරී වන නරක ක්‍රියාවන්ය. ඒ ක්‍රියාවන්ට ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් චේතනා මුල් වේ. එවැනි නරක චේතනා පදනම් කරගෙන තම සිත, කය, වචන යන තුන්දොරින් සිදුකරන ක්‍රියාවන්ගේ ප්‍රතිඵල මෙලොව පමණක් නොව සසර පුරා කරදර විපත් පමුණුවයි. “පාපකාරි උභයත්ථ තප්පති” යන බුදුවදනෙන් එය පැහැදිලි වෙයි. එනිසා මෙලොව හා පරලොව සැනසීම පිණිස පාපයන්ගෙන් ඉවත් විය යුතුය. විශේෂයෙන්ම පස් පව් නමින් හඳුන්වන පරපණ නැසීම, සොරකම් කිරීම, වැරැදි ලෙස කම් සැප විඳීම, බොරුකීම, මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතය අත්හළ යුතු අතර ඒවාට අනුබල ලබා දීමද නොකළ යුතුය. පව් කරන විට තාවකාලික සතුටක් ලැබුණත් එහි ප්‍රතිඵල දිගුකාලීන පසුතැවිල්ලට හේතුවෙයි.
    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    බුදු දහම පරම සැපයකි



    නිකදලුපොත කළටුවාගම 
    රාජ මහා විහාරවාසී 
    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨාධිපති 
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
    උතුරාවල ධම්මරතන හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    සුඛො බුද්ධානං උප්පාදො
    සුඛා සද්ධම්මදේසනා
    සුඛා සංඝස්ස සාමග්ගි
    සමග්ගානං තපො සුඛො
    කාරුණික පින්වත්නි,
    අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගාථා ධර්මය සඳහන් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත්, ඔබ හැමෝම දන්නා හඳුනන ධම්මපදය නම් ධර්ම පුස්තකයේයි. එහි බුද්ධ වග්ගයේ ඇතුළත් අටවැනි ගාථා රත්නයයි මේ.
    මේ ගාථාවෙහි අර්ථය විවරණය කර දීමට පෙර ඔබ සැමට දහම් අවවාදයක් දීමට කැමැතියි.
    කායෙන සංවරො සාධු
    සාධු වාචාය සංවරො
    මනසා සංවරො සාධු
    සාධු සබ්බත්ථ සංවරො
    පින්වත් ඔබ කයෙන් සංවරවීම හොඳයි. “කායෙන සංවරො සාධු” මැනැවින් හිඳගෙන සංවරව මෙම දහම් කරුණු කියවන්න. එසේම “සාධු වාචාය සංවරො” කී පරිදි කතාබහ නොකර කට සංවර කරගන්නත් ඕනෑ. මනැස, සිත,නැත්නම් විඥානය සංවර කරගැනීම, සන්සුන් කරගැනීම “ මනසා සංවරො සාධු” ලෙසින් දැක්විය හැකියි. එනිසා පින්වත්නි,කයත්, වචනයත් සිතත් සංවර කරගෙන, දැන් අප මුලින් සඳහන් කළ ධර්ම මාතෘකාව වෙත අවධානය යොමු කර ගත යුතු වෙනවා.
    එම ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමය විහාරස්ථානයේදියි. පන්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේ මුල් කරගෙනයි.
    එදා සැවැත්නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස්වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ “ඇවැත්නි,මේ ලෝකයෙහි සැප කුමක්දැ”යි ඔවුනොවුන් සාකච්ඡා කළා.ඇතැමකු කීවේ රජ සැපත තරම් සැපතක් ලොව තවත් නැති බවයි. සමහරකු කම් සැපය තරම් තවත් සැපයක් ලොව නැතැයි කීවා. එතැනට බුදුරජාණන්වහන්සේ වැඩම කළා. භික්ෂූන් වහන්සේ සමඟ කථාකොට, “මහණෙනි,මේ ලෝකයෙහි උතුම්ම සැපය නම් වෙනකක් නොවෙයි. බුදුවරයකුගේ පහළවීම සැපයක්, සදහම් දෙසීම සැපයක්, සංඝ සාමගී‍්‍රය සැපයක්, සමඟි වූවන්ට තපස සැපයක් යැ”යි දේශනා කළා.
    මෙම පාලි ගාථාවේ පදගත අර්ථය දෙස සිත යොමුකරන්න. බුද්ධානං - බුදුවරුන්ගේ, උප්පාදෝ- ඉපදීම, සුඛො - සැපයි, සද්ධම්ම දේසනා - දහම් දෙසීම, සුඛා - සැපයි, සංඝස්ස - සංඝයාගේ , සාමග්ගි – සමඟි බව, සුඛා - සැපයි, සමග්ගානං – සමඟි වූවන්ගේ, තපො - තපස, සුඛා - සැපයි.
    සත්වයන්ට ලොවී ලොව්තුරා සැප ගෙන දෙන බැවින් බුදුවරුන්ගේ පහළවීම සැපයක්. “සුඛො බුද්ධානං උප්පාදො” ධර්මය දුකින් මිදීමට හේතුවන බැවින් සදහම් දෙසීම සැපයක්. “සුඛා සද්ධම්ම දේසනා” සංඝයාගේ සමඟිය ද සැපයෙක්. “සුඛා සංඝස්ස සාමග්ගි” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක්. “සමග්ගානං තපො සුඛො” එම ගාථා ධර්මයේ සරල තේරුම එසේ පෙන්වාදිය හැකියි.
    දැන් අපි “සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දැක්වූ පරිදි බුදුවරුන්ගේ පහළවීම සැපයක් වන්නේ කෙසේද යන්න විමසා බලමු. දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කළ හැකි ජීවිතයක් ගොඩනඟා ගැනීම අසීරුයි. කාලාන්තරයක් එයට පිළිවෙතින් පෙළ ගැසිය යුතුයි. දානයෙන්, ශීලයෙන්, නෛෂ්ක්‍රම්‍යයෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, ක්ෂාන්තියෙන්, සත්‍යයෙන්, අධිෂ්ඨානයෙන්, මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් තම ජීවිතය පිරිපුන් කරගත යුතුයි. එම පිරිපුන් ජීවිත ඇත්නම් ඒ ඇත්තේ බෝසතුන්ටයි. පසුව මේ උත්තමයන් බුදුබවට පත්වනවා. උන්වහන්සේගේ උපත සැපතක්. ඒ බුදුවරයකුගේ පහළවීම නිසා දෙවියන් සහිත සත්ව ලෝකයා සසර දුකින් සැබැවින්ම අත්මිදෙන බැවින්. නිවන ලබා ගන්නට සසරින් මිදෙන එකම මග වූ අරිඅටඟි මඟ එළි පෙහෙළි කරන්නේ අන් කිසිවකු නොව සම්මා සම්බුදුවරයෙකුමයි. එනිසා උන්වහන්සේගේ උපත සැපයක්.එහෙත් එය අතිශයින්ම දුර්ලභ වූවක් බව කිව යුතුමයි. ‘ඉමස්ස ඛො භික්ඛවෙ එක පුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං’ යන පාලි පාඨයෙන් මැනැවින් ඒ බව පැහැදිලි වනවා.
    “සුඛා සද්ධම්මදේසනා” එනම් සදහම් දෙසීම සැපයක් වන්නේ කෙසේද? ධර්ම ශ්‍රවණයට පැමිණ සසර කෙටි කර ගන්නා සත්වයන් එමටයි. ජාති, ජරා මරණාදියෙන් මිදෙන්නන් එමටයි. එනිසා ධර්ම දේශනය, සැපයට හේතුවක් බව පැහැදිලියි. “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියෝසානකල්‍යාණං” ආදියෙහි දැක්වෙන පරිදි සීලය පැවසෙන ධර්ම දේශනය ආදි කල්‍යාණ වනවා. මධ්‍යයෙහි නිවන් මාර්ගය පැවැසෙන ධර්ම දේශනය, මධ්‍යකල්‍යාණ නම් වනවා. අවසානයෙහි නිවන පැවැසෙන දම්දෙසුම් පරියොසාන කල්‍යාණ නම් වනවා. ඒ ධර්ම දේශනය ලෝක සත්වයාට සැබැවින්ම සැපයක් උදා කරනවා.
    “සුඛා සංඝස්ස සාමග්ගි” සංඝයාගේ සමඟිය ද සැපයක්. සංඝරත්නයේ සමඟි බව, එක් සිත් බව, දෙවියන් සහිත ලෝකයාට හිත අර්ථයක් සිදු කිරීමට මහෝපකාරි වනවා. ඒනිසා සංඝයාගේ සමගිය සැපයක් යැයි වදාළා. මහා සංඝරත්නය යනු සසුන් පිළිවෙතෙහි යෙදෙමින් කෙලෙස් නැසීමට උත්සාහ දරන, ප්‍රතිපත්ති පුරන පිරිසයි. සාමග්ගි නම් උතුම් සංඝරත්නයේ එක්වීමයි. සමඟිසම්පන්න බවයි. එසේ සමඟි වූවන් මැනැවින් දහම් හි පිහිටනවා. දහම්හි පිහිටි පුද්ගලයා විමුක්ති ලාභයෙන් සැනසෙනවා.
    “සාමග්ගානං තපො සුඛො” සමඟියෙන් කල් යවන්නන්ට තපස සැපයක් වනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ සමඟි බව ධර්මය ඉගෙනීමට ධූතාංග පරිපුර්ණයට,මහණ දම් පුරන්නට හේතු භූ®ත වන බැවින් සමඟි වූවන්ට තපස සැපයක් යැයි දේශනා කොට තිබෙනවා.
    එදා සැවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයට එක් රැස් වූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ යථොක්ත ධර්ම දේශනාව අවසානයේ සියලු කෙලෙස් නසා පරම රමණීය වූ උතුම් නිර්වාණාවබෝධය ලබා ගත්තා. එපමණක් නොවෙයි එම අවස්ථාවට පැමිණි මහ ජනයාට ද එම දේශනාව අසා සෝවාන් ආදි මාර්ග ඵල පිළිවෙළින් නිවන ලබා ගැනීමට හැකි වූ බව සඳහන් වනවා.
    මේ උතුම් සදහම් කාරණා කියවීමෙන්, ඔබ සැමටත් ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා’යි ප්‍රාර්ථනා කරගන්න.

    Sunday, 30 June 2013

    දුරුකළ යුතු පස්පව්

    බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බව අවධාරණයෙන් මතක් කරන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවගෙන් ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම සකල ජන සමාජයට වන අයහපත නිසා ය.

    අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ
    මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත

    අමුණුපුර පියරතන හිමි


    යො පාණමති පාතෙති
    මුසාවාදංච භාසති
    ලොකෙ අදින්නං ආදියති
    පරදාරංච ගච්ඡති
    සුරාමෙරය පානංච
    යොනරො අනුයුංජති
    ඉධෙව මෙසො ලොකස්මිං
    මූලංඛණති අත්තනො

    සුපින්වත්නි

    සකල ජන වන්දනීය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි පන්සියයක් උවසුවන් අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

    සැවැත්නුවර දෙව්රම් වෙහෙර නන් දෙසින් සැපත්වන උපාසක, උපාසිකාවන්ගෙන් පිරී පවත්නා බැවින් සිරියාවෙන් පිරී ඉතිරී යන්නේ ය. පිරිසුදු සිතින් මෙන්ම ගතින්ද බණ අසන දන්දෙන, මල්පහන් පුදන සිල්වත් ගුණවත්, නැණවත් ගිහි පැවිදි උතුමන් නිතර දෙව්රම් වෙහෙරට සැපත්ව ආපසු යන්නේ දෙව් මිනිස් නිවන් සම්පත් සාදාගැනීමේ පරම අධිෂ්ඨානයෙනි.

    මෙම ජනයා අතර පන්සීයක් පමණ දෙනෙක් තම තමන් ආරක්ෂා කරන සිල්පද පිළිබඳ වාදවිවාද ඇතිකොට එම වාදය පිළිබඳව විසඳුමක් ලබාගැනීම බුදුරදුන්වෙත පැමිණ වාදයට හේතු සැලකළහ. බුදුරජාණන් වහන්සේ එම වාදය සන්සිදුවා පස්පව් දුරුකොට පන්සිල් ආරක්ෂා කළයුතු බව දේශනා කොට වදාළ සේක.

    මිහිමත සත්ව පරපුර බිහිවූ දා සිට කෙනෙකුගේ ජීවයක් විනාශකොට තවත් ජීවියක් රැකීමේ ප්‍රවණතාවය නොකඩවා පවතින්නේය. ආගම්, දර්ශන, නීතිරීති, කෙතරම් තිබුණත් ක්‍රමක්‍රමයෙන් ප්‍රාණවදය විවිධාකාරයෙන් සිදුවීම නිසා සත්ව ලෝකය විවිධ ව්‍යසනයන්ට භාජනයවන වග ප්‍රත්‍යක්ෂ වූවකි.

    ප්‍රාණඝාතය කරන්නාට මේ අත්බැව්හිදී සියලු විපත් සිදුවන අතර මරණින් මතු නරකයෙහි ඉපිද කල්ප ගණන් විපාක විඳින්නට සිදුවන්නේම ය. එසේ අනන්ත දුක් වේදනා විඳ මිනිසත්බව ලැබුවත් අල්පායුෂ්කව මරණයට පත් වන්නේය.

    බුද්ධිමත් මිනිසුන් තම තමන්ගේ ජීවිත ගැන සලකා අවිහිංසාවට පුරුදුවන්නේ නම් ලෝකයට මෙතරම් ව්‍යසනයන් සිදු නොවන්නේ ය.

    මිනිසා ශිෂ්ඨාචාරාත්මකව ජීවත්වන්නට සිතනපතන සෑම මොහොතකම එයට බාධාවන්නේ භෞතික සම්පත් නිසා සිදුවන සොරකම වංචාව නිසාබව ප්‍රත්‍යක්ෂ වේ.

    මානසිකව විවෘත ජීවිතයක් ගතකළ මිනිසා මහපොලොවේ සම්පත් පෞද්ගලිකව පරිහරනය කරන්නට යාමෙන් චින්තනය වංචාවෙන් විකෘත වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයෙන් දක්නට පුළුවන.

    මානව පරපුරේ ආදිතම ස්වරූපය විවෘතව පැවතියේ ආශාවේ සීමිතභාවය නිසාය. ක්‍රමක්‍රමයෙන් මිනිස් පරපුරේ ආශාවන් වර්ධනය වනවිට පරිසර සම්පත් අන්‍යෝන්‍ය වශයෙන් පෞද්ගලී කරණයෙන් වෙන්කර ගන්නට පමණක් නොව ආශාව ක්‍රෝධය ආදී ප්‍රපංච ධර්මයන් සංකීර්ණවීම නිසා සමාජ ගැටුම් ඇතිවන්නට විය.

    මිනිසා විසින්ම හදාගත් නීතියෙන් මිනිසාටම සාහාසික දඬුවම් වධ වේදනා විඳින්නට විය. අදත්තාදානය නිසා මිනිසාගේ කාලය, ශ්‍රමය, විනාශවන අතර මානව ධර්ම තුරන් වන්නේ ය.

    අදින්නාදානං භික්ඛවෙ ආසෙවිතං,
    භාවිතං බහුලී කතං නිරය සංවත්තනිකං හොති

    යනාදි නයින් දේශිත බුද්ධ දේශනාව අනුව සොර සිතින් අන්සතු දේ ගැනීම මරණ පාශයක් වන අතර මරණින් මතු සතර අපායේ ඉපිද අතිදිගු කලක් දුක්විඳ මනුලොව උපන්නේ වී නමුත් ඉතා දුප්පත්ව අනුන්ගෙන් හිඟමනේ යමින් ගර්හාවට භාජන වන්නේය. එබැවින් මෙම අදත්තාදාන අකුසල කර්මයෙන් දුරුවිය යුත්තේ ම ය.

    කාමාශාවේ අතෘප්තිකර භාවය නිසා කාමමිථ්‍යාචාර අකුසල් කරණ මිනිසුන් වැඩිවන්නේ ඒ සඳහා සලසන කාමභෝගී උපාය මාර්ග නිසාමය. ආගම, දහම විනය, නීතිය, සිරිත්විරිත් කෙතරම් පැවතියද ඒ සියල්ල ඉක්මවා, කාම මිථ්‍යාචාරය නමැති මහා පාප කර්මය මානව සමාජයට කොතරම් ව්‍යසන ඇතිකරන්නේ දැයි සමාජ සිද්ධිවලින් ප්‍රත්‍යක්ෂ වන්නේය.

    ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ
    අක්ඛධුත්තෝ ච යෝනරෝ
    ලද්ධං ලද්ධං විනාසෙති
    තං පරාභවතො මුඛං

    පරදාර සේවනය, මද්‍යපානය, සූදුව යන පාපක්‍රියා තුනම එකට සංයුක්තව ක්‍රියාත්මක කරන මිනිසා සමාජයේ පාපතම පුද්ගලයෙකු බවත් එයින් මෙලොවදීම අන්තපරිහානියට පත්වන බවත් ශිෂ්ඨ සම්පන්න සෑම සමාජයකම පොදු පිළිගැනීමයි. එහෙත් මානව පරපුර මිහිමත සමාජගත වූදා සිට පටු කල්පනාවත්, තාවකාලික තෘප්තියත්, අනවබෝධයක් එමෙන්ම අන්ධානුකරණයත් නිසා එකී පාප කර්ම ක්‍රියාත්මක කිරීමෙන් සමස්ත මානව වර්ගයටම සිදුවන හානිය කියා නිමකළ නොහැක.

    මානව සමාජයට අතීත කාලයට වඩා වර්තමානයේ අත්දැකීමෙන් යම් ක්‍රියාවක් හිතාහිත බව තේරුම් ගන්නා ක්‍රම බහුලය. ආගම දහමෙන් උගන්වන භාවාන්තරය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය නැතිවුවද ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය මුසාවාදය, සුරාපානය යන පංචපාප කර්ම නිසා පුද්ගලයා හා පුද්ගලාන්තර වශයෙන් සිදුවන ව්‍යසන කෙතරම්දැයි ජනසමාජය දෙස සිහිබුද්ධියෙන් බැලීමෙන් අවබෝධ වන්නේ ය. විශේෂයෙන් මෙකී පංච පාප කර්ම නිසා ලොවට සිදුවන හානි ප්‍රධාන වශයෙන් කීපයක් දැක්විය හැක.

    පවුල් සමාජය බිඳවැටීම, වැඩිහිටි සමාජයෙන් බාල පරපුරට ආදර්ශයක් නැතිවීම, ධන හානිය, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, ආගම දහම දර්ශනය වනගත වීම, උදාර මිනිසුන් පහල නොවීම, ජාත්‍යන්තර යුද්ධ යනාදිය දැක්විය හැකිවේ.

    මිනිසා සකස් කිරීම සඳහා වත්මන් ලෝකයේ කෙතරම් සංරක්ෂණ හා විවිධ භාවිතයන් ඇතිවුවද ඒ සියල්ල අභිබවා විෂමාචාරය ඉතිරී පැතිරී යන්නේ පස්පව් නොකිරීමේ ජගත් ප්‍රතිපත්තියක් නොවීම නිසාය.

    අප බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බව අවධාරණයෙන් මතක් කරන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවගෙන් ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම සකල ජන සමාජයට වන අයහපත නිසා ය.

    පස්පව් කොට මෙතෙනත් ලැබ සෝකය
    ගොස් නිරයේ දුක් විඳිති අනේකය
    රැස්කොට ඉන් පින් මෙමිනිස ලෝකය
    සිස් නොකරව් කලකින් ලත් මේ කය

    මෙසේ පංචපාපයේ දරුණු විපාක ගද්‍යයෙන් පද්‍යයෙන්, උපදේශයෙන්, නාට්‍යයෙන්, චිත්‍රයෙන් ප්‍රකට කර ඇත්තේ ලෝකයේ සත්‍ය ධර්මය තත්වාකාරයෙන් අවබෝධ කළ බුද්ධාදී ආර්ය උත්තමයන් වහන්සේලාගේ දේශනා මාර්ග අනුවය.

    ඔබ සෑම දෙනාම පස්පව් දුරින්ම දුරුකොට පන්සිල් ආරක්ෂා කොට දෙව් මිනිස් නිවන් සම්පත් ලබා සදා සැනසීමට උත්සාහ ගන්න.

    ඔබ සැමට තෙරුවන් සරණයි.

    උතුම් මිනිසත් බවෙන් අනගි පල ලබමු

    උතුම් මිනිසත් බවෙන් අනගි පල ලබමු

    අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි ශ්‍රී‍්‍ර සම්බුද්ධ ශාසන කීර්ති ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන නා හිමි නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාදො සුපින්වත්නි, සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මහරි වෘක්‍ෂයක් මූල වැඩ සිටින සමයෙක ඒරක පත්ත නම් නාරජු අරභයා මෙම ගාථාධර්මය දේශනා කොට වදාළ සේක. මෙකී ඒරක පත්ත නාගයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උතුම් මිනිසත් බව ලබා එම බුදුසසුනෙහි දිවි ඇති තෙක් මහණ දම්පුරා යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් මිනිසත් බව නො ලබාම සංසාරගතව තිරිසන් ආත්මයක් ලැබුවෙකි. එදවස මහණදම් පුරමින් සිටිනා අතර කිසියම් කාරණයකට ගඟකින් එතෙරවීම සඳහා අගුලකට නඟිද්දී ඒරු ගසක අත්තක් අල්ලා ගන්නාලදින් එයින් කොළයක් කැඩී ගඟට වැටිණ. උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් එවන් වැරැද්දක් වූයේ නම් ආයති සංවරය සඳහා ඇවැත් දෙසිය යුතු වන්නේය. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් දෙසීමට අවස්ථාවකුත් නොලබාම එම ආරම්මණය සම්බන්ධව චිත්ත සන්තානයේ තැවීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් මතු ඔරුවක් පමණ විශාල නාග රාජයෙක්ව උපන්නේය. අප ගෞතම සර්වඥයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණ, පිළිවෙළින් ගම්නියම්ගම් රාජධානිවල වඩිමින් වරෙක බරණැස මහරි රුකක් මුල වැඩ සිටින විට එතැනට පැමිණි මෙම නාගරාජයා බුදුසිරිපා වැඳ හඬන්නට විය. කාශ්‍යප බුද්ධකාලයෙන් පසුව මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක දැක පිනක් කිරීමට නොහැකිවීමත් නිසා ශෝකය ඉවසාගත නොහැකිව හැඬුන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. පින්වත්නි, විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වළ මිනිස් ලොව මිනිස්බව ලබන සත්වයන් ඉතා ස්වල්ප වන අතර එවන් උතුම් මනුකය ලබා ගැනීමෙහිලා සසරදි දානාදි මහා පින්කම කළ යුතුම වන්නේය. සිතුවිලි අනුව භවය පවත්නා හෙයින් මිනිසා ප්‍රධාන ජීවින්ගේ උපත හා පැවැත්ම සද්, අසද් ධර්මයන්හි බලපෑම මත සිදුවන බව බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි වේ. චින්තනයෙන් උස්පහත් වීම මනුෂ්‍ය , තිරිසන්, වෙනසට මූලික වේ. එම චින්තන මූලධර්මයන් ඉහළ තලයකට ගොඩනඟාගැනීම හෝ මනුෂ්‍යත්වයට අදාළ වන පරිදි චින්තන භුමිකාව සකස්කර ගැනීම සඳහා මනාසේ මඟපෙන්වන්නේ බුදුදහමයි. එහෙත් එය අන්තර් ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මිහිමත සිටින නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාව විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කිහිපයකි. * මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනා නොගැනීම * කර්ම නියාමය නොපිළිගැනීම * විවේක බුද්ධිය නැතිකම * භෞතික සම්පත් කෙරෙහි වන අසීමිත ආශාව * මිනිස් චින්තනයට ගරුනොකිරීම මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මිනිසුන් මිනිස් කය පැවැතිය ද චින්තනයෙන් ඉතා ලාමකව මරණින් මතු මනුකය හැර දමා දුගතිගාමි වන්නේය. එබැවින් කලෙකින් මිනිසත් බව ලැබූවද එය පවත්වා ගෙන යෑමද ඉතා දුෂ්කර වන්නේය. මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරගැනීමට ප්‍රධාන කාරණා කිහිපයක් අවශ්‍ය වන්නේය. * මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම * ධාර්මික ජීවන පැවැත්ම * නිවැරැදි ජීවන දර්ශනය * කල්‍යාණ මිත්‍රසේවනය අතීත භවයන්හිදී කළ මහා කුසල බලයෙන් මිනිස් මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මනුෂ්‍යයෙක් ක්‍රමයෙන් කයෙන්, මනැසෙන් හැදි වැඩී මානුෂික ගුණාංග පිළිබඳ දැනීමක් ලබාගත යුතු වන්නේය. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරිවන අතර අධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා පරිසරය තුළින් සද්පුරුෂයන් බිහිවන්නේය.අසද් පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක බොහෝ විට අසද්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වභාවික සිද්ධියකි. මිනිස් කය උපදින විට ලැබෙන අතර උදාර මිනිස්කම අවබෝධයෙන් ලැබෙන්නේය.අප කැමැති වුවද අකැමැති වුවද සාවද්‍ය සංකල්පනා අනිවාර්යයෙන් අප කරා පැමිණෙන්නේය. එහෙත් ඒවා ප්‍රබල ප්‍රයත්නයෙන් බැහැරකොට විකල්ප වශයෙන් කුසල පාක්ෂික චින්තන ධර්මයන් ආදේශ කරගත යුතු වන්නේය. ‘ධම්මිකෝ, ධම්මජීවි’ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත, අදින්නාදානාදී පස්පව් නොකොට දාන, ශීල, භාවනාදි ත්‍රිශික්ෂාවෙහි යෙදෙන්නේ නම් උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් වන අතර මානව පරපුරට මහඟු ආදර්ශයක් ද වන්නේය. මිනිසකු උපන්දා පටන් එක්බසකින් හෝ භාෂා කිහිපයකින් හෝ සිතන කියන අක්‍ෂර වදන් වාක්‍ය ඡේද සිය දහස් ලක්‍ෂ කෝටි ගණනින් ප්‍රමාණ වන නමුත් අප බුදුරදුන් වදාළ එක බණ පදයක් වෙත සිය ශ්‍රවණ, ධාරණ, චින්තන ශක්තිය යොමුවන්නේ නම් එය ඒ සියල්ලටම වඩා සිය දහස් ලක්‍ෂ ගුණයෙන් අනගි වන්නේය. එසේ හෙයින් අප බුදුරජාණන් වහන්සේ ‘කිච්ඡං සද්ධම්ම සවණං’ යනුවෙන් වදාළ සේක. අතිදීර්ඝවූ සංසාර ගමනේදි බුද්ධාදී උත්තමයන්ගේ උතුම් ධර්මය අසන්නට, සිතේ දරා පිළිපදින්නට අවකාශ ලැබෙන්නේ නම් එම කුසලකර්මයේ ප්‍රතිවිපාක වශයෙන් භවාන්තරයේ සියලු සම්පත් හා කෙළවර උතුම් නිවන් සම්පත් ලබාදෙන්නේය. ලෝක ස්වභාව ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් සිතා ආත්මාර්ථකාමිත්වයෙන් දේශනා කිරීම අසද්පුරුෂ ක්‍රියාවකි. එවන් දහම් දෙසීම් ලොව ඕනෑම කලෙක පැවැතිය හැකි අතර ස්වාක්ඛාතවූ සම්බුද්ධ ධර්මය අසන්නට ලැබෙන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සමීපයට පැමිණියොත් පමණි. මනුලොව බුදුරජාණන් වහන්සේ පහළවුවද එම ධර්මය අසා දැනගෙන එයින් සැනසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත්බවක් නොලදහොත් අර්ථයක් සිදු නොවන්නේමය. සද්ධර්මය ඇසීමත්, සිතීමත් , පිළිපැදීමත් උභය ලෝකාර්ථ සිද්ධියට හේතුභූත වන්නේය. එමෙන්ම මෙම උතුම් ධර්මය සංසාරික වශයෙන් පීඩාකර වූ ජාති,ජරා, ව්‍යාධි මරණාදි අපමණ දුක්වේදනා සමනය කිරීමෙන් අවේදයිත සුඛ සංඛ්‍යාත පරම ශාන්ත අමාමහ නිවනින් සැනසීමට යථාර්ථයෙන්ම මහෝපකාරි වන්නේය. ඔබ සැමට තෙරුවන් සරණයි. 

    බුරුම විරාතු හිමියන් ත්‍රස්‌තවාදියෙක්‌ද ?

    6 හැවිරිදි අශින් විරාතු හිමියන් ගැන අපි පසුගිය අප්‍රේල් 07 වැනිදා ලිපියක්‌ ලිව්වෙමු. "බුරුමයේ සිදුවන්නේ කුමක්‌ද" මැයෙන් එම ලිපිය පළ වූ අතර පසුව "බුරුමයේ බින් ලාඩන් කවුද" මැයෙන් වූ ලිපියක්‌ මැයි 12 වැනිදා පළ විය. අද විරාතු හිමියන් ගැන සමස්‌ත ලෝකයම කථා කරයි. උන්වහන්සේගේ "969" ව්‍යාපාරය ගැන බටහිර මාධ්‍ය විශාල උනන්දුවක්‌ දක්‌වයි. විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය බුරුම වැසියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. උන්වහන්සේ රට පුරා යමින් බණ දේශනා කරමින් බෞද්ධකම ආරක්‍ෂා කළ යුත්තේ කෙසේද? මුස්‌ලිම් ආක්‍රමණයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි. විරාතු හිමියන් ග්ලෝබල් පොස්‌ට්‌ පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මුස්‌ලිම් ජනගහනය පැතිරෙන්නේ "අප්‍රිකානු මාළු" වර්ධනය වන ආකාරයට ඉතා ශීඝ්‍රයෙන් බවයි. "ඔවුන් තම වර්ගයා වේගයෙන් බිහි කරනවා, ඒ වගේම ඔවුන් හරි දරුණුයි. මේ රටේ ඔවුන් සුළු ජනවර්ගයක්‌ උණත් අපි ඔවුන් නිසා පීඩාවට පත්වෙලා ඉන්නේ" යෑයි විරාතු හිමියන් පවසා ඇත. "ඔබ ඉතාම කරුණාවන්ත හොඳ පුද්ගලයකු විය හැකියි. නමුත් ඔබට පිස්‌සු බල්ලකු සමග නිදා ගන්න බැහැනේ" යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරති.

    විරාතු හිමියන් පිළිබඳව ජුලි 01 වැනිදා ටයිම් සඟරාවේ විශේෂ ලිපියක්‌ පළ වී ඇත. The Face of Buddhisst Terror මැයෙන් වූ එම ලිපියත් එහි කවරයේ ඡායාරූපයත්a බුරුමයේ මෙන්ම බෞද්ධ ලෝකයේත් බලවත් ආන්දොaලනයට තුඩු දී ඇත. විරාතු හිමියන්ගේ ඡායාරූපයක්‌ ටයිම් සඟරාවේ පළ කර ඇති අතර උන්වහන්සේගේ මුහුණ මත The Face of Buddhisst Terror යන වැකිය මුද්‍රණය කර ඇත. මෙම ලිපිය ලියා ඇත්තේ හැනා බීච් නම් මාධ්‍යවේදිනිය විසිනි. ඇය විරාතු හිමියන් ත්‍රස්‌තවාදියකු, විශේෂයෙන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ ප්‍රතිරූපය ලෙස හංවඩු ගසන්නේ කවර පදනමින්ද යන්න පැහැදිලි නැත. ටයිම් සඟරාවෙන් බෞද්ධයන්ට සාධාරණය ඉටු නොවන බව නම් පැහැදිලිය. නමුත් 46 හැවිරිදි විරාතු හිමියන් ත්‍රස්‌තවාදියකු ලෙස අප පිළිගන්නේa නැත. උන්වහන්සේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක නායකයෙකි.

    බුරුමය නම් මේ ලිපිය අඩංගු ටයිම් සඟරාව එරට අලෙවි කිරීම තහනම් කර ඇත. බුරුම ජනපති තේන් සේන්ගේ කාර්යාලය නිවේදනය කර සිටියේ මෙම ලිපිය හරහා බුදු දහම ගැන වැරැදි ආකල්පයක්‌ පැතිරෙන බවයි. එමෙන්ම ජනපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ විරාතු හිමියන් යනු සැබෑ බුදුපුතෙකු බවත් උන්වහන්සේ ගෞරවනීය චරිතයක්‌ බවත්ය. ඇත්තෙන්ම ටයිම් සඟරාව මේ ලිපිය මගින් විරාතු හිමියන්ට පමණක්‌ නොව කෝටි 35 ක්‌ වන සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ටම පහර දී ඇති බව නම් පැහැදිලිය. බෞද්ධයන් කිසිවිටෙක ආගම නමින් යුද්ධ කරන්නට ගියේ නැත. ක්‍රිස්‌තියානින් හා මුස්‌ලිම්වරු ආගම නමින් යුද්ධ කළහ. ඇසට ඇසක්‌, දතට දතක්‌ ඉල්ලුවේ බෞද්ධයන් නම් නොවේ. අන්‍ය ආගමිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස හංවඩු ගසමින් ඔවුන්ව සමූල ඝාතනය කළේ බෞද්ධයන් නම් නොවේ. දැන් මුස්‌ලිම් ලෝකයද දෙකට බෙදී එකිනෙකා මරා ගන්නා තත්ත්වයක්‌ උදාවී ඇත්තේ සුන්හි හා ෂියා නිකාය බේදය නිසාය. ඉරානය අරාජික වී ඇත්තේ ද සිරියාවේ උග්‍ර සිවිල් යුද්ධය ඇතිවී තිබෙන්නේද මේ නිසාය. ෂියා ආගමික අසාද් ජනපති රැක ගැනීමට ෂියාවරුන්ගේ රට වන ඉරානය සහයෝගය දෙන අතර අසාද් විරෝධී සුන්නි කැරළිකරුවන්ට සවුදි අරාබිය, කටාර් වැනි රාජ්‍ය සහයෝගය දෙති. සවුදි අරාබිය යනු සුන්නිවරුන්ගේ ප්‍රධානම රාජ්‍යයයි. මහායාන, ථෙරවාදී යන දෙකොටසට ම අයත් බෞද්ධයන් කිසිම විටක ගැටුමක්‌ ඇති කර ගෙන නැත. එවැනි ගැටුමක්‌ නිර්මාණය වන්නේද නැත. ඔවුන් බෞද්ධ ධජය යටතේ එකට පෙළගැසෙති. එහෙත් බෞද්ධ ත්‍රස්‌තවාදයක්‌ ගැන සඳහන් කරමින් හැනාබීච් මාධ්‍යවේදිනිය මුස්‌ලිම් අන්තවාදීන් සතුටු කරන්නේද යන්න ප්‍රශ්නයකි.

    හැනාබීච් මාධ්‍යවේදිනිය විරාතු හිමියන්ට පහර ගැසුව ද 969 ව්‍යාපාරය නතර වන්නේ නැත. බටහිර ලෝකය පුදුම වී සිටින්නේ මේ ක්‍රියාකාරකම් ගැන එරට විපක්‍ෂ නායිකා අවුන්ග් සාන් සුකී නිහඬව සිටීම ගැනයි. නමුත් ඇය විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට පහර ගැසුවහොත් මේ කාන්තාවගේ දේශපාලන ගමන එයින්ම නතර වනු ඇත. දළයි ලාමාතුමා නම් බුරුමයේ බෞද්ධ භික්‍ෂුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කර තිබුණේ පසුගිය මැයි මාසයේය. ඇත්තෙන්ම ලාමාතුමා බෞද්ධ නායකයකු වුවත් ටිබෙට්‌ අයිතිය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළත් බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළා ද යන්න නම් අපට ප්‍රශ්නයකි. බටහිර මාධ්‍ය දළයිලාමාතුමාට ප්‍රමුඛත්වය දෙන්නේ සැබවින්ම ඔහු බටහිර වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින නිසාවෙනි. මේ අතර පසුගිය 21 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ බුරුමය පිළිබඳව ලිපියක්‌ පළ වී තිබිණි.

    Extremism Rises Among Myanmar Bhddhists මැයෙන් වූ මෙම ලිපියේ එක්‌ වැදගත් කරුණක්‌ හෙළි කර තිබිණි. බුරුමයේ මේ රැඩිකල්වාදී බෞද්ධ ව්‍යාපාරය ආදර්ශ ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගෙන් බව එහි ලියුම්කරු තෝමස්‌ µsයුලර් සඳහන් කර තිබිණි. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ වාර්තාකරුවා පවසන්නේ විරාතු හිමියන්ගේ ජනප්‍රියතාවය සුපිරි ගායක තරුවකගේ ජනප්‍රියතාව හා සමාන බවයි. උන්වහන්සේගේ බණ දේශනා ඇසීමට දහස්‌ ගණන් රොක්‌වන බවද හෙතෙම මේ ලිපියේ සඳහන් කර ඇත. විරාතු හිමියන් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකට මොහු සහභාගි වී ඇත. එහිදී විරාතු හිමියන් පවසා ඇත්තේ තමා රැඩිකල් බෞද්ධ භික්‍ෂුවක්‌ යෑයි ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත් ඒ ගැන තමා තුළ කිසිම පසුතැවීමක්‌ නොමැති බවත්ය. විරාතු හිමියන් පවසන්නේ බෞද්ධයන් දුර්වල වුවහොත් මේ රාජ්‍යය මුස්‌ලිම් රටක්‌ වීම වැළැක්‌විය නොහැකි බවය. විරාතු හිමියන්ගේ මේ වදන නම් පැහැදිලි සත්‍යයකි. එය බුරුමයට මෙන්ම ශ්‍රී ලංකාවට ද ඉතා වැදගත්ය. ඇත්තෙන්ම බුරුමයටත් වඩා වැඩියෙන් මෙරට මුස්‌ලිම් ව්‍යාප්තිවාදය ක්‍රියාත්මක වේ.

    බුරුමයේ සෑම පුද්ගලයින් දස දෙනකුගෙන්ම නව දෙනෙක්‌ බෞද්ධයන්ය. එරට ජනගහනය මිලියන 55 කි. විරාතු හිමියන් පවසන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සොල්දාදුවන් හා සිවිල් සේවකයන් ලෙස ඉන්දියානුවන් ගෙන ආ බවයි. ඒ බහුතරය මුස්‌ලිම්වරුන්ය. ඒ හරහා මුස්‌ලිම් ජනගහනය වේගයෙන් වර්ධනය වී ඇති බවත් ඉංග්‍රීසි පාලකයින් නිසා බෞද්ධයින්ට බලවත් අසාධාරණයක්‌ වී ඇති බවත් මේ හිමිනම ප්‍රකාශ කර සිටී. බුරුමයේ මුස්‌ලිම් විරෝධී ප්‍රහාර ගණනාවක්‌ පසුගිය කාලය පුරා සිදු වූ අතර ඒවා නිසා පුද්ගලයන් 200 ක්‌ මරුමුවට පත් වී තවත් ලක්‍ෂ එකහමාරක පිරිසකට උන්හිටිතැන් අහිමිවිය. මේ ප්‍රහාර කිසිවකට තමා සම්බන්ධ නැති බව විරාතු හිමියෝ අවධාරණය කරති. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ වාර්තාකරුවා නම් සටහන් කරන්නේ විරාතු හිමියන්ගේ දේශන මේ සඳහා බලපා ඇති බවය.

    විරාතු හිමියන්ගේ 969 ව්‍යාපාරය බුරුම බෞද්ධ දරුවන් හැට දහසකට ඉරිදා දහම් පාසල් ආරම්භ කර එයින් බෞද්ධ පුනර්ජීවනය යළි ඇති කිරීමට කටයුතු කර ඇත. උන්වහන්සේගේ දේශනා ඇතුළත් ඩී. වී. ඩී. පට රට පුරා අලෙවි වන්නේ උණු කැවුම් ලෙසය. කවරක්‌ නමුත් මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයෙන් මෙරට බෞද්ධයන්ටද ආදර්ශ ගත හැකි බව පැහැදිලිය.

    එදා භක්‌තියාර් ඛල්ජිගේ මුස්‌ලිම් හමුදාව නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි භික්‍ෂුන් වහන්සේ පන්දහසක්‌ මරණානුස්‌සතිය වැඩූ නිසා ඒ ශිෂ්ඨාචාරය එතැනින්ම අවසන් විය. නමුත් විරාතු හිමියන් පවසන්නේ ශිෂ්ටාචාරය රැක ගැනීම සඳහා සටන් කළ යුතු බවයි. එයට බුරුම බෞද්ධයින් කැමැත්ත පළකර ඇත. ටයිම් සඟරාව නම් එය ත්‍රස්‌තවාදයක්‌ ලෙස හඳුන්වයි. එහෙත් මේ ඊනියා සඟරා මගින් දෙන අදහස පිළිගැනීමට බෞද්ධයින් සූදානම් නැත.

    චතුර පමුණුව - දිවයින පුවත්පත.2013/06/29

    දෙව්දත් වෛර බැඳගත් ආකාරය

    දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. නම් අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුකයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින්ම ඉර්ධි ප‍්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුන සියලු කුසල් අහිමි කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දේව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පළිගැනීමේ සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට විරුද්ධව කුමන්ත‍්‍රණය කරලා සෑහීමකට පත්වීමක් නැහැ. එයාගේ එකම සිහිනය වුනේ බුදුරජාණන් වහන්සේගේ විනාශය දැකීමමයි. කළුගල් පර්වතයක හිස ගසාගන්නා අන්ධයෙක් වගේ දෙව්දත් බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න මහන්සි ගත්තා.

    එක්තරා අවස්ථාවක අජාසත් රජතුමාගේ හමුදා පිරිසෙන් තිස් දෙනෙක් පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේව විනාශ කිරීම පිණිස පිටත් කෙරෙව්වා. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙම කුමන්ත‍්‍රණය හෙළිදරව් කරලා පැවිදි වුනා. අජාසත් රජතුමාගේ ඇත් සේනාවේ ඇති භයනාක ඇතෙක් සිටියා. ඌ සුළු දෙයටත් කිපෙනවා. විශාල ඇතෙක්. නාලාගිරි කියලයි ඌට කිව්වේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩින වීදිය ගැන තොරතුරු සොයා ගත්තා.
    එක දවසක් මේ නාලාගිරි ඇතාට ලොකු රා කළ ගෙඩි දහසයක් පෙව්වා. ඌ හොඳටම වෙරි වුනා. ඊට පස්සෙ ඇත් ගොව්වන් ලවා හෙණ්ඩුවෙන් ඇනලා ඇනලා මේ ඇතාව හොඳටම කුලප්පු කෙරෙව්වා. උගේ ඇස් රතු වුනා. කන් දෙක පළල් කර ගත්තා. නැට්ට ඔසවා ගත්තා. පොළොවේ පස් හාරන්න පටන් ගත්තා. කෝපයෙන් ගුගුරන්න පටන් ගත්තා. හොඬවැල ඔසවා ගත්තා. එක පිම්මට මහ පාරට පැන්නා. ගස් කොළන් උදුරලා විසි කළා. කඩපිල් කුඩුපට්ටම් කළා. මෙය දුටු මිනිසුන් සී සී කඩ දිව්වා. මහපාර එකම යුධ පිටියක් වුනා. ඉදිරියට පැමිණි මිනිසුන්ව කීතු කීතු කරලා දැම්මා. පිස්සෙක් වගේ එක පිම්මේ ඉස්සරහට දුවගෙන එනවා.
    බුදුරජාණන් වහන්සේ ඒ මාවතේ ඇතාට මුහුණලා වැඩම කරනවා. පිටුපසින් වැඩිය ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳටම භය හිතුනා. ”අයියෝ… ඔන්න ඔන්න… භයානක ඇතෙක් පොළොව පෙරළගෙන එනවා. අනේ… මේ පැත්තටයි එන්නේ. හරි වැඬේ…. දැන් මොකද කරන්නේ? ඔව්… මේ ඇතා එන පිළිවෙළට නම්, මාගේ ශාස්තෘන් වහන්සේව මූට ගොදුරු වෙනවා. නැහැ…. නැහැ… එහෙම වෙන්න දෙන්න බැහැ. මට ඕන දෙයක් වුනාවේ. මං මේ ජීවිතය ඇතාට පූජා කරනවා.” කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට පැන්නා. බුදුරජාණන් වහන්සේ වහ වහා අනන්ද ස්වාමීන් වහන්සේව තමන් වහන්සේගේ පිටුපසට ගත්තා. මෛතී‍්‍ර සිතින් යුතු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇතාට කතා කළා. දහම් දෙසුවා. ඇත්තෙන්ම මෛති‍්‍රයෙන් කැටි වූ ඒ සෑම වචනයක්ම ඇතාට තේරුනා. උගේ වෙරි හිඳුනා. දරුණු ගති නැති වුනා. අහිංසක වුනා. ඇතා දමනය වුනා. ඉතාම හීලෑ ඇතෙක් බවට පත් වුනා. අන්තිමේදී මේ අසත්පුරුෂ දේවදත්තයා මේ විදිහට කල්පනා කළා. ”ඒ වැඩෙත් හරි ගියේ නැහැ නෙව. මං ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේව විනාශ කිරීමට හදන හදන උපක‍්‍රමය අසාර්ථක වෙනවා. අනුන්ට කියලා අනුන් ලවා මේක කරන්න බැහැ. හොඳම වැඬේ මගේ අතින්ම මෙයාව විනාශ කරන එකයි” කියලා.
    දවසක් දේවදත්ත හොර රහසේම ගිජ්ඣකූට කන්ද මුදුනට නැග්ගා. ඒ කන්ද ලොකු කන්දක් නොවෙයි. පොඩි ගල්කන්දක්. කඳු මුදුනේ කුටි දෙකයි තියෙන්නෙ. ඉතින් එතැන පහළ ඇති සෙවණ තියෙන තැනක බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් සිටියා. එදා දේවදත්ත ඒ කඳු මුදුනට නැග ගත්තා. එතැන විශාල ගලක් තිබුනා. දේවදත්ත හිමිහිට ඒ ගල සොලවලා පහලට පෙරළුවා. පහළ සක්මන් කරමින් සිටි බුදුරජාණන් වහන්සේගේ හිසට ඉලක්ක කොට පෙරළුවා. ගල වේගයෙන් පහළට වැටෙද්දී හරි පුදුමයි! ඒ කන්දෙන් තව ගලක් මතු වුනා. පහලට වැටෙන ගල ඒකෙ වැදුනා. වැදිලා වෙන පැත්තකට විසි වුනා. එහෙම විසිවෙද්දී ගැලවී ගිය ගල්පතුරක් බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපාදයේ මහපට ඇඟිල්ලේ වැදී ලේ ගලන්න පටන් ගත්තා. දේවදත්ත ඉක්මණින්ම හැංගුනා. බුදුරජුන්ගේ ලේ සෙළවීමේ ආනන්තරීය පාපකර්මය රැස් කරගත්තා. මේ අසත්පුරුෂ පුද්ගලයාට තවමත් පින් පව් තේරෙන්නේ නැහැ. තමන් අතින් සිදුවෙන මේ භයානක පාපකර්ම නිසා දුකට වැටෙන්නේ තමන්ය කියලා තවමත් තේරෙන්නේ නැහැ. තමන් අතින් කරන්නට ගිය ඒ ඝාතන සැලැස්මත් අසාර්ථක වුනා.
    ඊළගට මේ අසත්පුරුෂයා කල්පනා කළේ සඟ පිරිස බිඳවන්නයි. සංඝභේද පාපකර්මය කරන්නයි. අන්තිමේදී කරුණු පහක් මුල් කරගෙන අලුත පැවිදි වූ පන්සියයක සඟ පිරිසක් රවටා ගන්නට දේවදත්ත සමත් වුනා. අලුත පැවිදි වූ පන්සියයක් ස්වාමීන් වහන්සේලා හිතුවේ දේවදත්ත කල්‍යාණ මිත‍්‍රයෙක් කියලයි. ඔවුන් දේවදත්තට රැවටුනා. තමන් ළඟ හිටියොත් ඉක්මණින් නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නම් කියලා ඒ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම තමන්ට අවනත කරගන්නට දේවදත්තගේ මායාකාරී කතා බහට පුළුවන් වුනා. ඒ භික්ෂූන්ව අවනත කරගෙන ගයා ශීර්ෂයට පිටත් වුනා. එහි ගොස් ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට බණ කියන්න පටන් ගත්තා. ඒ භික්ෂූන්ද මග ඵල ලැබීමේ අදහසින් දෙව්දතුන්ගෙන් බණ අහනවා. නමුත් දේවදත්තගේ එකම අදහස ඔවුනට මඟ ඵල ලබාදීම නොවෙයි. බුදුරජුන්ට විරුද්ධව ඔවුන්ව මෙහෙය වීමයි.
    මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අමතා වදාළා ”සාරිපුත්ත, මොග්ගල්ලාන, ඔබ වහාම යන්න. ඒ අලුත පැවිදි වූ භික්ෂූන් කල්‍යාණ මිත‍්‍රයන් හඳුනාගැනීමට අසමර්ථ වුනා. දේවදත්තගේ පවිටු අදහස්වලට ඒ භික්ෂූන් ගොදුරු වෙන්න කලින් ඉක්මනින් බේරාගන්න.” සැරියුත් මුගලන් රහතන් වහන්සේලාද වහ වහා ගයා ශීර්ෂය බලා වැඩම කළා.
    අධික මාන්නයකින් පෙළෙන, ප‍්‍රධානත්වය ලබාගැනීමෙහි විකෘති ආශාවකින් පෙළෙන දේවදත්ත ඈතින් වඩින සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දැක, පී‍්‍රතියෙන් කෑ ගැසුවා. ”පින්වත් මහණෙනි, අන්න බලව්. කවුද හරි? දැන් පැහැදිලියි. මමයි හරි. දැක්කා නේද මා කරා අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේලා එන ආකාරය? බුදු සසුන තියෙන්නේ කවුරු අතේද කියා දැන් මහණෙනි, නුඹලාට පේනවාද? සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ළං වන විට දේවදත්ත උන්වහන්සේලා අමතා මෙහෙම පැවසුවා. ”එම්බා සාරිපුත්ත, මෙහි එන්න. මගේ දකුණු පසෙන් වාඩිවෙන්න. එම්බා මොග්ගල්ලාන, මගේ වම්පසින් වාඩි වෙන්න. දැන් මේ සසුනේ නායකයා මමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මා දැන් මෙතෙක් වේලා දහම් දෙසුවා. මගේ පිට ස්වල්පයක් රිදෙනවා. මා ටික වේලාවක් හාන්සි වී සිටින්නම්. මේ භික්ෂූන්ට ඔබ දහම් දෙසන්න.” දේවදත්ත හාන්සි වුනා. පවිටු සිත් ඇති සිහිනුවණින් තොර ඒ අසත්පුරුෂයාට එසැණින්ම හොඳටම නින්ද ගියා. ගොරව ගොරවා නිදාගත්තා.
    සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී, දේවදත්තට රැවටී සිටි අර අලුත පැවිදි වූ ස්වාමීන් වහන්සේලාට ඇත්ත අවබෝධ වුනා. සැබෑ කල්‍යාණ මිත‍්‍රයා කවුරුන්ද යන වග අවබෝධ වුනා. චතුරාර්ය සත්‍යයත් අවබෝධ වුනා. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි ප‍්‍රාතිහාර්ය දක්වමින් දහම් කරුණු පෙන්වා දුන්නා. ඒ පන්සීයක් භික්ෂූන් වහන්සේලාම සෝවාන් ඵලයට පත් වුනා. අන්තිමේදී ඒ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආපසු වඩින විට උන්වහන්සේලා පසුපසින් අර පන්සියයක් භික්ෂූන් වහන්සේලාම බුදුරජාණන් වහන්සේ ළඟට පිටත් වුනා.
    දේවදත්ත වගේම ඔහුගේ යහළුවා වන කෝකාලිකත් පවිටු කෙනෙක්. ඔහු ඉදිරියට ඇවිත් බලද්දී කවුරුත් නෑ. හැමෝම සැරියුත් මුගලන් රහතන් වහන්සේලා සමඟ පිටත් වෙලා. කෝකාලිකට කේන්ති ගියා. ”මහලොකුවට කෑ ගහනවා. හැමෝම බේරාගන්න ඕන කියලා. ඔන්න අපිත් එක්ක ආපු පන්සිය දෙනත් අර සැරියුත් මුගලන් දෙන්නා ආපහු අරගෙන ගිහිල්ලා. මුන්දැ තවමත් ගොරව ගොරවා බුදි” කියලා කෝකාලික දේවදත්තගේ පපුවට වැලමිටෙන් ඇන්නා. දේවදත්ත ඇහැරුනා. කලබලයට නැගිට්ටා. ඇස් ලොකු කරගෙන වටපිට බැලුවා. කවුරුවත් නැහැ. මේකත් වැරදුනා කියලා හිතද්දී කටින් උණු ලේ පිටවුනා. දේවදත්ත අසනීප වුනා. මාස නවයක්ම දුක් වින්ඳා. එන්න එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදු වෙච්ච වැරදි එකින් එක චිත‍්‍රපටියක් වගේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දීත් උන්වහන්සේ ඒ කිසිවකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුනා.
    දේවදත්තට බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා. ”අනේ… මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මියයන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති.“දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවැත් නුවර බලා පිටත් වුනා. සැවැත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුනා. බලවත්ව පිපාසයක් ඇති වුනා. ඒ වගේම අඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුනා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩිවෙලා හිටගත්තා විතරයි පොළොවෙන් ගිනිදැල් ඇවිත් දේවදත්ත වෙළාගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමය දෙස බලා ‘මම බුදුන් සරණ යමි’යි කියමින් පොළොවේ කිඳා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැළවීමෙන් පසු මෙම ගාථාව වදාළා.
    ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
    පාපං මේ කතන්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ
    පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි එනිසා
    පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි එනිසා
    අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
    ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි දුකින් යුතුව
    පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කෙලෙස්වල ස්වභාවය ඉතාමත්ම භයානකයි. දැන් බලන්න දේවදත්ත කියන්නේ කවුද? යශෝදරාවගේ සහෝදරයා. රාහුල කුමාරයාගේ මාමා. සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා. කොයිතරම් ළඟ ඥාතියෙක්ද? යශෝදරා දේවිය රහත් භික්ෂුණියක් බවට පත්වුනා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුනා. මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වය ලබා ගන්නට සිද්ධාර්ථ කුමාරයාට පුළුවන් වුනා. නමුත් දේවදත්ත විකෘති ආශාව නිසාම, මාන්නය නිසාම, බද්ධ වෛරය නිසාම, ක්‍රෝධ කිරීම නිසාම, පිළිගැනීම නිසාම, ප‍්‍රධානත්වයට ඇති ආශාව නිසාම අවීචි මහා නරකාදියෙහි ඉපදෙන විදිහට කර්ම රැස්කරගත්තා. දැන් දේවදත්ත කල්පයක් පුරාවට ඒ නරකාදියේ මොහොතකවත් සුවයකින් තොරව දුක් විඳිනවා. අනන්තරීය පාප කර්ම කරගත්තා.
    පින්වතුනේ, පින්වත් දරුවනේ, ආනන්තරීය පාපකර්ම පහක් තියෙනවා. මේවාට අනන්තරීය පාපකර්ම කියල කියන්නේ, මරණයෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙළින්ම අවීචි මහා නරකාදියෙහි උපදින නිසයි. ඒ ආනන්තරීය පාප කර්ම පහ මොනවාද?
    1. තමන්ගේ මව් ඝාතනයට පත් කිරීම.
    2. තමන්ගේ පියා ඝාතනයට පත් කිරීම.
    3. රහතන් වහන්සේ නමක් ඝාතනයට පත් කිරීම.
    4. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි රුධිරය ගලන අයුරින් ද්වේෂ සහගත ලෙස තුවාල කිරීම.
    5. සමඟිව සිටින සංඝයා භේද කොට තම පක්ෂයට ගැනීම.
    චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ කෙනෙක් මේ පව්වලින් සදහටම නිදහස් වෙනවා. මේ පව්වලට මූලික හේතුව වන්නේ අසත්පුරුෂකමත්, කෙළෙහි ගුණ නොදන්නාකමත් බලපවත්වන පෘතග්ජන ජීවිතයයි. ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වීම පිණිසවත් මාර්ගය ප‍්‍රගුණ කරන්නේ නැතිනම් මේ අනතුරට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ ජීවිතයේ මෙවැනි පව් නොකළත් වෙන ජීවිතයක වුනත් තමා අතින් මෙවැනි දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා අපට තිබෙන එකම රැකවරණය නම් මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමමයි. සමහරුන් කියාවි ඕවා කෙහොම කරන්නද? පාරමී පුරන්න ඕන නෙවෙද? ඔය කියන පමණින් මගඵල ලබන්නෙ කවුද? කියලා. නමුත් සෝවාන් ආදී මාර්ගඵල ලැබීම පිණිස පාරමී පිරිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කාටවත් දේශනා කරලා නැහැ. උන්වහන්සේ වදාළේ සත්පුරුෂ ආශ‍්‍රයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙනවා නම්, යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයෙහි හැසිරෙනවා නම් ඔහුට මගඵල ලබන්නට පුළුවන් බවයි. එනිසා අහංකාර හිස් මිනිසුන්ගේ ප‍්‍රලාප නොවෙයි අපට වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ !

    ශ්‍රී ලාංකික තරුණයකුට කටාර් හි මරණ දඬුවම

    ශ්‍රී ලාංකික තරුණයකුට කටාර් හි මරණ දඬුවම 
    ශ්‍රී ලාංකික තරුණයකුට කටාර් හි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත.මෙසේ මරණ දඬුවම නියම කර ඇත්තේ වෙන්ඩඩාසාලම් සුදේශ්කර් නමැති විසිදෙහැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුටය.
    කටාර්හි, සේවයේ නියුතු ඉන්දියානු තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම මොහු හට එල්ල වී ඇති චෝදනාව විය. කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුදේශ්කර් කටාර්හි රැකියාව සඳහා ගොස් ඇත්තේ 2010 වසරේ මාර්තු මාසයේදීය.
    අදාළ ඝාතනය සම්බන්ධව සැකපිට ඔහු 2011 වසරේ ජූනි මසදී කටාර් ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මරණ දඬුවම නියමව සිටින සුදේශ්කර්ට සමාව දීම සඳහා ඝාතනයට ලක්වූ ඉන්දියානු තරුණයාගේ දෙමවුපියන් රුපියල් ලක්ෂ 35ක වන්දි මුදලක් ඉල්ලා සිටින බවද වාර්තාවේ.
    මෙම සිද්ධිය සම්බන්ධව සියලු තොරතුරු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
    සුදේශ්කර් නිදහස් කරගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
    තට්ටු තුනකින් පහලට පැන ඔහු ජිවිතයෙන් සමුගෙන ගියේය.

    ඉතාලියේ වෙසෙන ඔබ අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි .

    Descrizione immagine
    ඉතාලියේ වෙසෙන ඔබ අනිවාර්යයෙන්ම දැන  ගත යුතුයි .
    තමුන්ගේ නේවාසික බලපත්‍රය ( permesso di soggiorno ) කල් ඉකුත් වී මාස 6ක් ඇතුලත එය තමුන් වාසය කරන නගර සභාවට (comune ) ඉදිරිපත් නොකළහොත් තමුන්ගේ පදිංචිය අවලංගු වනු ඇත. මාස  6ක් ඇතුලත ඔබට තවමත් නව පෙර්මෙස්සොව ලැබී නොමැති වුවත් අවම වශයෙන් sportello  එකෙන් නිකුත් කරන ලද රිසිට් පත හෝ නග‍ර සභාවට ඉදිරිපත් කලයුතු වේ. 
    මේ සම්බන්දයෙන් වැඩි විස්තර දැන  ගැනීමට විමසන්න. - බිමල් ප්‍රනාන්දු  3296738129
    සතියේ දිනවල අප කාර්යාලයට පැමිණෙන්
    Indirizzo: Consiglio Delle Associazioni Stranieri a Verona
    Via Fillippo Brunelleshi 03 ( zona Stadio )
    Verona,
    Email: mirisage@alice.it
    Tel: +39 328 0889587
            +39 329 6738129

    ඉතාලියේ වෙසෙන ඔබ අනිවාර්යයෙන්ම දැන  ගත යුතතවත් නීතියක් හෙට ඉදිරිපත් කරන්නෙමු.

    කසිණ භාවනාව



    සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි.

    * සමථ භාවනා

    සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු වන භාවනාවකි.

    * සමථ කර්මස්ථාන

    භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි. සමථ භාවනාවට අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤ‍ායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන සතලිසයි.

    * දස කසිණ

    1. පඨවි කසිණය
    2. ආපො කසිණය
    3. තේජො කසිණය
    4. වායෝ කසිණය
    5. නීල කසිණය *
    6. පීත කසිණය
    7. ලෝහිත කසිණය
    8. ඕදාත කසිණය
    9. ආකාශ කසිණය
    10. ආලෝක කසිණය

    * භාවනාවේ යෙදෙන්නා විසින් සිත පිහිටුවා ගැනිම සදහා භාවිතයට ගන්නා වු මැටියෙන් ඔප මට්ටමි කොට බෙර ඇසක් මෙන් තනාගත් මණ්ඩලය පඨවි කසිණයයි. මෙම මණ්ඩල යටත් පිරිසෙන් එක්වියත් සතර අගලයක් පමණ හෝ විශාල කොට ගන්නේ නම් කුඩයක් පමණ හෝ නමතක් පමණ හෝ වීම සුදුසු ය.

    * මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිණයයි . අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුන ජලය ඒ සදහා නොගත යුතු ය. පාත්‍රයක් වැනි රවුමි මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොට ගෙන භාවනා කළ යුතු ය.

    * මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තෙජො කසිණයයි. දරවලින් ගිනි ලගාඩක් පිළියෙළ කොට ගෙන වියතකුත් අගල් හතරක් පමණ කාවාකාර සිදුරක් ඇති තහඩුවකන් ඒ ගිනින සමීපයෙහි තබා ඒ ගින්න අරමුණු කොට ගෙන තෙජෝ කසිණ භාවනාව කළ හැකි ය.

    * සුළග කැපී සෙලවෙන පෙනෙන යමක් අනුව තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියෙන් සිතාගෙන හෝ යමි කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයෙහි හැපෙන වාතය සිහි කිරිමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළහැකි ය. එය වායෝ කසිණයයි.

    * නිල්පාට ඇති මණ්ඩල නීල කසිණසයි. කහපාට ඇති මණ්ඩල පීත කසිණයයි. රතු පාට ඇති මණ්ඩලය ලෝහිත කසිණයයි. සුදු පාට ඇති මණ්ඩල ඕදාත කසිණයයි. ඒ ඒ පාට ඇති සායමි කිසිවක ආලේප කොට වර්ණ කසිණ මණ්ඩල සදා ගත හැකි ය.

    * ආකාශ මණ්ඩල ආලෝක කසිණසයි.යම් කිසිවක වියතකුත් සතර අගලක් තරමි සිදුරක් සදා එම සිදුර තුළින් ආකාශය මෙනෙහි කිරිමි වශයෙන් හෝ ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

    * ආලෝක මණ්ඩලය ආලෝක කසිණසයි. බීමට හෝ බිත්ති යම් තැනකට හෝ වියතකුත් අගල් සතරක් පමණ වු සිදුරකින් ආලෝක වැටෙන්නකට සලස්වා ඒ ආලෝකය බලාගෙක භාවනා කිරිම ආලෝක කසිණයයි. මෙසේ කුඩා සිදුරකින් වැටෙන හිරු එළිය, සද එළිය හෝ පහනක ආලෝකය වශයෙන් ලැබෙන ආලෝක මණ්ඩලය අරමූණු කොට ගෙන භාවනා කිරිම ආලෝක කසිණ භාවනාව යනුවෙන් අදහස් කෙරෙයි.

    සාදු සාදු සාදු..!