sha fm

    Monday, 8 July 2013

    උතුම් මිනිසත් බවෙන් අනගි පල ලබමු



    අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි ශ්‍රී‍්‍ර සම්බුද්ධ ශාසන කීර්ති ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන නා හිමි නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාදො සුපින්වත්නි, සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මහරි වෘක්‍ෂයක් මූල වැඩ සිටින සමයෙක ඒරක පත්ත නම් නාරජු අරභයා මෙම ගාථාධර්මය දේශනා කොට වදාළ සේක. මෙකී ඒරක පත්ත නාගයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උතුම් මිනිසත් බව ලබා එම බුදුසසුනෙහි දිවි ඇති තෙක් මහණ දම්පුරා යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් මිනිසත් බව නො ලබාම සංසාරගතව තිරිසන් ආත්මයක් ලැබුවෙකි. එදවස මහණදම් පුරමින් සිටිනා අතර කිසියම් කාරණයකට ගඟකින් එතෙරවීම සඳහා අගුලකට නඟිද්දී ඒරු ගසක අත්තක් අල්ලා ගන්නාලදින් එයින් කොළයක් කැඩී ගඟට වැටිණ. උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් එවන් වැරැද්දක් වූයේ නම් ආයති සංවරය සඳහා ඇවැත් දෙසිය යුතු වන්නේය. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් දෙසීමට අවස්ථාවකුත් නොලබාම එම ආරම්මණය සම්බන්ධව චිත්ත සන්තානයේ තැවීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් මතු ඔරුවක් පමණ විශාල නාග රාජයෙක්ව උපන්නේය. අප ගෞතම සර්වඥයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණ, පිළිවෙළින් ගම්නියම්ගම් රාජධානිවල වඩිමින් වරෙක බරණැස මහරි රුකක් මුල වැඩ සිටින විට එතැනට පැමිණි මෙම නාගරාජයා බුදුසිරිපා වැඳ හඬන්නට විය. කාශ්‍යප බුද්ධකාලයෙන් පසුව මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක දැක පිනක් කිරීමට නොහැකිවීමත් නිසා ශෝකය ඉවසාගත නොහැකිව හැඬුන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. පින්වත්නි, විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වළ මිනිස් ලොව මිනිස්බව ලබන සත්වයන් ඉතා ස්වල්ප වන අතර එවන් උතුම් මනුකය ලබා ගැනීමෙහිලා සසරදි දානාදි මහා පින්කම කළ යුතුම වන්නේය. සිතුවිලි අනුව භවය පවත්නා හෙයින් මිනිසා ප්‍රධාන ජීවින්ගේ උපත හා පැවැත්ම සද්, අසද් ධර්මයන්හි බලපෑම මත සිදුවන බව බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි වේ. චින්තනයෙන් උස්පහත් වීම මනුෂ්‍ය , තිරිසන්, වෙනසට මූලික වේ. එම චින්තන මූලධර්මයන් ඉහළ තලයකට ගොඩනඟාගැනීම හෝ මනුෂ්‍යත්වයට අදාළ වන පරිදි චින්තන භුමිකාව සකස්කර ගැනීම සඳහා මනාසේ මඟපෙන්වන්නේ බුදුදහමයි. එහෙත් එය අන්තර් ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මිහිමත සිටින නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාව විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කිහිපයකි. * මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනා නොගැනීම * කර්ම නියාමය නොපිළිගැනීම * විවේක බුද්ධිය නැතිකම * භෞතික සම්පත් කෙරෙහි වන අසීමිත ආශාව * මිනිස් චින්තනයට ගරුනොකිරීම මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මිනිසුන් මිනිස් කය පැවැතිය ද චින්තනයෙන් ඉතා ලාමකව මරණින් මතු මනුකය හැර දමා දුගතිගාමි වන්නේය. එබැවින් කලෙකින් මිනිසත් බව ලැබූවද එය පවත්වා ගෙන යෑමද ඉතා දුෂ්කර වන්නේය. මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරගැනීමට ප්‍රධාන කාරණා කිහිපයක් අවශ්‍ය වන්නේය. * මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම * ධාර්මික ජීවන පැවැත්ම * නිවැරැදි ජීවන දර්ශනය * කල්‍යාණ මිත්‍රසේවනය අතීත භවයන්හිදී කළ මහා කුසල බලයෙන් මිනිස් මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මනුෂ්‍යයෙක් ක්‍රමයෙන් කයෙන්, මනැසෙන් හැදි වැඩී මානුෂික ගුණාංග පිළිබඳ දැනීමක් ලබාගත යුතු වන්නේය. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරිවන අතර අධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා පරිසරය තුළින් සද්පුරුෂයන් බිහිවන්නේය.අසද් පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක බොහෝ විට අසද්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වභාවික සිද්ධියකි. මිනිස් කය උපදින විට ලැබෙන අතර උදාර මිනිස්කම අවබෝධයෙන් ලැබෙන්නේය.අප කැමැති වුවද අකැමැති වුවද සාවද්‍ය සංකල්පනා අනිවාර්යයෙන් අප කරා පැමිණෙන්නේය. එහෙත් ඒවා ප්‍රබල ප්‍රයත්නයෙන් බැහැරකොට විකල්ප වශයෙන් කුසල පාක්ෂික චින්තන ධර්මයන් ආදේශ කරගත යුතු වන්නේය. ‘ධම්මිකෝ, ධම්මජීවි’ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත, අදින්නාදානාදී පස්පව් නොකොට දාන, ශීල, භාවනාදි ත්‍රිශික්ෂාවෙහි යෙදෙන්නේ නම් උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් වන අතර මානව පරපුරට මහඟු ආදර්ශයක් ද වන්නේය. මිනිසකු උපන්දා පටන් එක්බසකින් හෝ භාෂා කිහිපයකින් හෝ සිතන කියන අක්‍ෂර වදන් වාක්‍ය ඡේද සිය දහස් ලක්‍ෂ කෝටි ගණනින් ප්‍රමාණ වන නමුත් අප බුදුරදුන් වදාළ එක බණ පදයක් වෙත සිය ශ්‍රවණ, ධාරණ, චින්තන ශක්තිය යොමුවන්නේ නම් එය ඒ සියල්ලටම වඩා සිය දහස් ලක්‍ෂ ගුණයෙන් අනගි වන්නේය. එසේ හෙයින් අප බුදුරජාණන් වහන්සේ ‘කිච්ඡං සද්ධම්ම සවණං’ යනුවෙන් වදාළ සේක. අතිදීර්ඝවූ සංසාර ගමනේදි බුද්ධාදී උත්තමයන්ගේ උතුම් ධර්මය අසන්නට, සිතේ දරා පිළිපදින්නට අවකාශ ලැබෙන්නේ නම් එම කුසලකර්මයේ ප්‍රතිවිපාක වශයෙන් භවාන්තරයේ සියලු සම්පත් හා කෙළවර උතුම් නිවන් සම්පත් ලබාදෙන්නේය. ලෝක ස්වභාව ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් සිතා ආත්මාර්ථකාමිත්වයෙන් දේශනා කිරීම අසද්පුරුෂ ක්‍රියාවකි. එවන් දහම් දෙසීම් ලොව ඕනෑම කලෙක පැවැතිය හැකි අතර ස්වාක්ඛාතවූ සම්බුද්ධ ධර්මය අසන්නට ලැබෙන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සමීපයට පැමිණියොත් පමණි. මනුලොව බුදුරජාණන් වහන්සේ පහළවුවද එම ධර්මය අසා දැනගෙන එයින් සැනසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත්බවක් නොලදහොත් අර්ථයක් සිදු නොවන්නේමය. සද්ධර්මය ඇසීමත්, සිතීමත් , පිළිපැදීමත් උභය ලෝකාර්ථ සිද්ධියට හේතුභූත වන්නේය. එමෙන්ම මෙම උතුම් ධර්මය සංසාරික වශයෙන් පීඩාකර වූ ජාති,ජරා, ව්‍යාධි මරණාදි අපමණ දුක්වේදනා සමනය කිරීමෙන් අවේදයිත සුඛ සංඛ්‍යාත පරම ශාන්ත අමාමහ නිවනින් සැනසීමට යථාර්ථයෙන්ම මහෝපකාරි වන්නේය. ඔබ සැමට තෙරුවන් සරණයි. 

    Sunday, 7 July 2013

    අන්තවාදීන් බුද්ධගයාවට බෝම්බ ගසති


    බිහාරයේ – බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථාන පරිශ‍්‍රය තුළ අද අලූයම පුපුරා ගිය බෝම්බ වලින් ශ‍්‍රී ලාංකික වන්දනාකරුවන්ට හානි සිදුවූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නැතැයි විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මෙම පිපිරීම්වලින් දැඩි හානියක් විහාරස්ථානයට සිදුවී නැහැ. එහිදී ස්වාමීන් වහන්සේ නමක් සහ පිලිපීන වන්දනාකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් බරපතල තත්ත්වයේ නොවන බව සඳහන්. සිද්ධියෙන් කම්පාවට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලන ලෙස ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම්දීමක් සිදුකර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය ආසන්නයේ තිබී තවත් බෝම්බයක්ද ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බිහාර් මහා බෝධි විහාරස්ථානයට මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවී ඇත්තේ දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබියදියි. පොලීසිය විසින් මේ වනවිට විහාරස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට අවසර ලබානොදෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

    ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් කිසිවකුටත් හානියක් නැතැයි බුද්ධගයා මහාබෝධි විහාරයේ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ කියති.
    ‘පාන්දර 5.30ට විතර මේ බෝම්බ පිපිරුණේ. විහාරය අවට පහන් පත්තු කරන ස්ථානයේ, රුවන් සක්මන හා රුවන් ගේ අවට කුඩා බෝම්බ පහක් විතර පිපුරුණා. ඒ වගේම ජපන් පන්සලේ සහ තවත් ස්ථානයකත් පිපිරුණා.
    මේ පිපිරීම්වලින් ටිබෙට් සහ බුරෑම හිමි දෙනමකට සුළු තුවාල වුණා. ලංකාවේ කිසිවකුටත් හානියක් නෑ. විහාරයටත් ලොකු හානියක් වුණේ නෑ. වීදුරු දෙකතුනක් හානි වුණා පමණයි.
    ලංකාවෙන් වන්දනාවේ ආ 25 දෙනකුගෙන් යුත් නඩයක් බුද්ධගයාවට ගිහින් හිටියා. එයාල දැන් අපේ පන්සලේ ඉන්නවා. කිසිම ගැටළුවක් නෑ.
    ආරක්ෂක අංශවලින් ඇවිත් තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කළා. දැන් ගැටළුවක් නෑ.
    මේ ආරක්ෂාව තර කර තිබෙනවා. ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන නිසා තවම ඇතුළට යන්න දෙන්නේ නෑ.‘
    මෙම පිපිරී ගිය බෝම්බ අඩු පීඩන බෝම්භ බවත්, පන්සලේ බුදු ගෙට හානියක් නැති බවත් බිහාර පොලිසිය කියයි.
    මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත් බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසයි.
    මෙම බෝම්බ ත්‍රස්තවාසී ප්‍රහාරයක් බව ඉන්දියා රජය කියයි. බිහාර් මහ ඇමැති නිටිෂ් කුමාර් ද සිද්ධිය සැලවූ වහාම එහි ගියේය.
    මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී එස් කේ බාරද්වාජ් කියයි. එහෙත් ඔහු විස්තර හෙළි කළේ නැත. විහාර භූමියට පිට අය පැමිණීම වළක්වා ඇති බවත්, ප්‍රදේශයේ සෙසු ආගමික ස්ථාන ආරක්ෂාවද තර කළ බවත් පොලිසිය කියයි. බිහාර් පොලිසියේ විශේෂ පොලිස් බලකාය මහා බෝධි විහාරයේ ආරක්ෂාව බාර ගත්තේ ගිය වසරේය. පසුගිය ජූනියේ පෙරහුරු පොලිස් අභ්‍යාසයක් ද එහි සිදුවිය. දකුණු පැට්නා නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි බුද්ධගයාව ශ්‍රී ලංකාව, මියන්මාරය , ජපානය, තායිලන්ත නැනි රටවල බෞද්ධයන්ගෙන් පිරී පවතී.
    වන්දනා සමය ඇරැඹෙනුයේ සැප්තැම්බර මාසයේදීය.

    බිහාර් ප්‍රාන්තයේ මහාබෝධි විහාරස්ථානයේ පිපිරීම් ගැන වහා ම -------------------- සොයා බලන්න - ජනපතිගෙන් උපදෙස් ...

    ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ අද (07දා) පාන්දර සිදු ව ඇති පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහා ම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙම අවාසනාවන්ත සිද්ධිය සැලවූ වහා ම කම්පනයට පත් ජනාධිපතිතුමා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිරන්තර සොයාබැලීමක නිරතව සිටින බවත් සමරනායක මහතා පැවසීය.

    ලෝක උරුම පුදබිමක් ලෙස 2002 දී ප්‍රකාශයට පත් කර ඇති බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාහි මහාබෝධි විහාරස්ථානය තුළ අද පාන්දර 5.15ට පමණ පළමු පිපිරීම වාර්තා වී තිබේ. ඉන් අනතුරුව තවත් පිපිරීම් 7ක් වාර්තා වූ අතර විහාරස්ථානයට නුදුරින් තවත් ජීව බෝම්බයක් සොයාගෙන ඇති අතර එය නිශ්ක්‍රීය කර තිබේ. බෝම්බ නිශ්ක්‍රීය භට කණ්ඩායම් පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් වාර්තා වේ. විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි ද පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

    මේ වනවිටත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ (National Investigation Agency) සහ ජාතික ආරක්ෂක බලකායේ (National Security Guard) කණ්ඩායම් බුද්ධගයා වෙත පැමිණෙන බව ද බිහාර් ප්‍රාන්තයේ මහඇමති නිතිෂ් කුමාර් මහතා විහාරස්ථානය වෙත පැමිණ කරුණු සොයා බැලූ බවත් ඉන්දීය වාර්තා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පට්නා නුවර ඉහළ මට්ටමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

    තුවාල ලැබූ හිමිනමක් අපවත්වී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. මෙහිදී තුවාල ලබා රෝහල් ගත කෙරුණේ ටිබෙටයේ සහ තායිලන්තයේ හිමිවරුන් දෙනමක්. අද උදෑසන 5 යි 40 ට පමණ කෙටි කාලයක් තුළ බෝම්බ පිපිරීම් 9 ක් සිදුවූ බවයි දැන් වාර්තා වන්නේ. පිපිරීම්වලින් තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා.

    පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක්




    බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උපන් ජනසන්ථව කුමාරයා, දිසාපාමොක් ආචාරීන් වෙතින් අධ්‍යාපනය ලබා පැමිණ පියරජතුමාගේ ඇවෑමෙන් රජකමට පත්විය. දස රාජ ධර්මයන් නොඉක්මවා රාජ්‍යය විචාළ එතුමා දන්හල් කරවා දුගී - මගී යාචකාදීන්ට දන් දෙන්නට සැලැස්වීය. නිති පන්සිල්ද පොහොය අටසිල්ද සමාදන්ව සිල්වත් බවට පැමිණි හේ, රට වැසියා ද සිල්රකින පිරිසක් බවට පත්කළේය.

    පොහෝ දිනවල වැසියා රජමැදුරට කැඳවා ඔවුන්ට ධර්මදේශනා කොට ඔවුන් තුළ ගුණ – නුවණ වර්ධනය කළේය. ඔවුන් සුචරිත ධර්මයට යොමුකළේය. මේ ක්‍රියාමාර්ගය නිසා හිරගෙවල් වැසී ගියේය. දන්ගෙඩිය දිරාපත් විය. එක් පොහෝදිනක රජතුමා පැවැත්වූ ධර්ම දේශනාවෙන් මරණ මොහොතේ මිනිසාට පසුතැවිලි වීමට හේතුවෙන කරුණු දහයක් ගෙනහැර දැක්වීය.

    1. යම් කෙනකු තරුණකාලයේ උපයන මිල - මුදල්, ධන - ධාන්‍ය ආදියෙන් කොටසක් ඉතිරි නොකොට එදිනෙදා උපයන සියල්ල එදිනෙදාට වැය කළහොත් වයස නිසා හෝ රෝගාබාධ නිසා හෝ අබලදුබල වී යමක් ඉපයීමට නොහැකි අවස්ථාවට පැමිණිවිට යමක් ඉතිරිකර නොගැනීම ගැන සිතා පසුතැවීමට සිදුවේ. මේ පසුතැවීම වැඩිවන්නේ තරුණ කාලයේ ඉතිරිකරගත් දෙයින් දුබල අවස්ථාවේ අපහසුවක් නැතිව ජීවත්වන අය ගැන අසන - දකින විටය.

    2. බාලකාලයේ සැලකිල්ලෙන් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු නොකළ තැනැත්තා සැලකිල්ලෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වී පහසුවෙන් ජීවත්වෙන අය දැකීමෙන් පසුතැවිලි වේ.

    3. කේලාම් කියමින් අල්ලස් ගනිමින් ජීවත්වන පුද්ගලයා මහලු වයසට පත්වූ පසු මරණින් මත්තේ තමාට කවර විපාකයක් විඳින්න සිදුවේදැයි ඇතිවෙන බිය නිසා තමන් කළ ඒ වැරදි සිහිපත්ව පසුතැවිල්ලට පත්වේ.

    4. සතුන් මැරීම, හොරකම ආදී අකුසල කර්ම කළ පුද්ගලයාද තමා කළ ඒ අකුසල කර්මවලට මරණින් මතු විඳින්නට සිදුවන අකුසල විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වේ.

    5. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය යන අකුසල කර්මයේ නිරතවූවෝ තමන්ට මරණින් මතු ලැබෙන දරුණු විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වෙති.

    6.සම්පත් තිබියදී දනක් - පිනක් නොකර ජීවත් වූ පුද්ගලයා එසේ හැකියාව තිබියදී පින් නොකිරීම ගැන සිතා මරණාසන්න අවස්ථාවේ පසුතැවිල්ලට පත්වේ.

    7. තම මවු - පියන්ට උපස්ථාන නොකළ පුද්ගලයා ඒ යුතුකම තමාගෙන් ඉටු නොවීම ගැන සිතා මහලු වියේදී පසුතැවිලි වේ.

    8. කන - බොන විදිය, අඳීන - පළඳින විදිය ආදී ජීවිතයට අවශ්‍ය කරුණු කියාදෙන හෙයින් පූර්වාචාරීන් වශයෙන්ද යහපත - අයහපත පෙන්නා දෙමින් කැමති ආහාරපානාදිය සම්පාදනය කර දෙන හෙයින් ඉටු දෙවියන් වශයෙන්ද හැඳින්වෙන මවුපියන්ට බැණවදින අපහාස (අක්‍රෝෂඣී පරිභව ) කරන පුද්ගලයා තමන් කළ ඒ අකුසල කර්මයත් ඊට ලැබිය හැකි නපුරු විපාකත් සිහිවීමෙන් මහලු වියේදී පසුතැවිලි වේ.

    9. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් හැන්දක් නොදී ඒ අයට නින්දා - අපහාස කරන පුද්ගලයාද තමන් නොකළ සත්ක්‍රියාවන් ගැනත් කළ අසත් ක්‍රියාවන් ගැනත් සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවීමට පත් වේ.

    10. කලින් කල සිල්වතුන් ගුණවතුන් වෙත ගොස් කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යනාදී කරුණු විමසා අවවාද අනුශාසනා ලබානොගත් පුද්ගලයාද සත් පුරුෂයන් ඇසුරුකිරීමට නොහැකිවීම ගැන මරණාසන්න මොහොතේ පසුතැවිල්ලට පත් වේ.

    කැලිගම විජිතනන්ද හිමි

    සම්බුද්ධ පරිනිර්වාණය



    මිනුවන්ගොඩ පත්තඩුවන
    භික්‍ෂු අභ්‍යාස ආයතනාධිපති
    අධ්‍යාපනවේදී
    නැදගමුවේ විජයමෛත්‍රී හිමි

    “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි.
    බුදුරජාණන් වහන්සේ ලෝකයේ අග්‍රතම උතුමාණන් වහන්සේ බවට පත් වූයේ ඒ අසමසම චරිතය නිසාය. ඒ ශ්‍රේෂ්ඨ ආදර්ශවත් චරිතය හැඩ ගැස්වීමට උපකාරී වූ අභ්‍යන්තර ගති ගුණ රාශියක් ගැන මෙන්ම බාහිර කරුණු කිහිපයක් ගැනත් පාලි, සංස්කෘත ආදි වූ පැරැණි භාෂාවලින් ලියන ලද විවිධ පොත්වල සඳහන්ව තිබේ. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ සිය අවසන් වස් කාලය ගත කළ බේලුව නම් ගමේ දී ආනන්ද හිමියන් අමතා කළ ප්‍රකාශය වැදගත්වේ.
    ආනන්ද හිමියන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ, “ආනන්ද, මම දැන් ජරාවට පත් වූයෙමි. වෘද්ධයෙමි, මහලු වූයෙමි, කල්ගත වූයෙමි, වයස්ගත වූයෙමි. මම දැන් අසූ වයස් ඇත්තෙමි.ආනන්ද දිරාපත් වූ කරත්තයක් පිළියම් කිරීමෙන් පවතින්නාක් මෙන් තථාගත ශරීරයත් පිළියමින් පවතියි. ආනන්ද, යම් අවස්ථාවක තථාගතයෝ සියලු නිමිති මෙනෙහි නොකොට, සමාන වේදනාවන් නිරුද්ධ කිරීමෙන් නිමිති වලින් තොරව චිත්ත සමාධියකට පත්ව වෙසෙත් ද, එම අවස්ථාවේ දී තථාගතයන්ගේ සිරුර ඉතා පහසු ලෙස පවතියි. ආනන්ද එහෙයින් නුඹලා තමන්ට තමන්වම පිළිසරණ කර ගෙන අනුන් පිහිට නොකොට, අනුන් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මයේ සරණ හැර අන් සරණක් නොසොයා සිටිය යුතුයි” යනුවෙන් දේශනා කළ සේක.
    බුදුරාජණන් වහන්සේ එදිනම සන්ධ්‍යාවේදී චාපාල චෛත්‍ය පාමුල දී ආනන්ද හිමියන් අමතා, තමන් වහන්සේට රිසි නම් කල්පයක ආයු කාලයක් ජීවත්ව සිටිය හැකි බව පැවසූ සේක. එම අවස්ථාවේදී ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවැනි තෙවැනි වරටත් මෙසේ උදාර නිමිති උදාර පැහැදිලි කිරීම් කරනු ලබන කල්හි දීද නිසි ප්‍රතිචාර නොදැක්වීය. එයට හේතුව අනඳ හිමියනට සිදුවූ මාරාවේශයක් යැයි කියැවේ. ආනන්ද හිමියන් එම ස්ථානයෙන් ඉවත් වී සුළු මොහොතකින් පැමිණි මාරයාගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක. මේ අවස්ථාව බුද්ධචරිතය තුළ වඩාත්ම හද කම්පා කරවන අවස්ථාවයි. අජීවි වූ මහපොළොව පවා ඒ අවස්ථාවේ කම්පා වූ බව බුද්ධචරිතයේ දැක්වේ. බුදුරදුන්ට තමන් සතුව පැවැති සියලු සැප සම්පත් හැර දමා වඩා අපහසු ජීවන තත්ත්වයකට මුහුණ පාන්නට පිළිවන් වූයේ මහා පුරුෂයන්ගේ උරුමයක් වූ නොඇලී සිටීමේ ගතිය නිසා ය.
    උන්වහන්සේ නොඇලී සිටියේ භව භෝග සම්පත් සහ අප්‍රමාණ වූ ආශාවන් කෙරෙහි පමණක් නොවේ. උන්වහන්සේ මිනිසුන්ගේ ගරු සැලකිලිවලට ද ඇලුණේ නැත. ඒවායින් බැඳුණේ නැත. ඒ නිරාශා ගතිය හෙවත් වස්තු ආදියට මෙන්ම ස්තුතියට කීර්තියට, ප්‍රශංසාවටද ගිජු නොවීම නිසා උන්වහන්සේ සම්මානයේ දී උදම් වූයේවත් අවමානයේ දී කම්පා වූයේවත් නැත. උන්වහන්සේ පිළිපන් ක්ෂේම භූමිය ඡේතෝ විමුක්ති නම් ලද නිවන විය. උන්වහන්සේ ගේ සිතෙහි නොසැලෙන ශක්තියට අනුරූප වන ලෙසම එතුමන් වහන්සේ ක්‍රියාකළ සේක. මේ ක්‍රියා පිළිවෙළට බාධා කළවුන් ගැන උන්වහන්සේ කිසිසේත් තැකීමක් කළේ නැත. කිසිම බාධාවක් නිසා උන්වහන්සේ කම්පා නොවු සේක. තමාගත් මඟ මේ යැයි තමා දත් කල තමාගේ වැඩ පිළිවෙළ මේ යැයි තමා තීරණය කරගත් කල ඒ අනුව නොපැකිළ කටයුතු කිරීම අවංක කමේ ප්‍රධාන ලක්‍ෂණය හෙයින් ඒ උතුම් බුදුගුණය ඒ නයින්ම තේරුම්ගත යුතුය. මෙසේ අතුරු සිදුරු නැති අවංක බවකින් හිමිකෙනෙකුන්ගේ ආත්ම පරිත්‍යාගය ගැන කිවයුත්තක් නැත. ආත්මය දෙවැනි කොටත්, අදහස් පළමුවැනි කොටත් ක්‍රියා කිරීම එබන්දකුගේ සිරිතය.ඒ නිසාම මහබෝසතාණෝ කුමාර කාලයේ දී බුදුබව පතා සියලු උපභෝග , පරිභෝග වස්තු අත්හැර දැම්මා පමණක් නොව දුෂ්කර ක්‍රියාවක යෙදුණූ සා අවුරුදු සමයේදීත් සම්,නහර, ඇට ඉතිරි වී මස්, ලේ වියළී ගියත් කාර්ය සාධනයෙන් තොරව නොනැගිටීමැයි සිතා ධර්මාවබෝධය ලැබෙන තෙක් එය ඉටු කර ගැනීමට මහන්සි ගත්හ. වෘද්ධ අවස්ථාවේ දී බලවත් අසනීපයෙන් පෙළෙමින් සිටියදීත් ගම් නියම්ගම් සැරිසරමින් ශාසන දියුණුවට බුදුන් වහන්සේ කටයුතු කළ සේක. උන්වහන්සේ ජීවිතය ගැන සලකා, සුව පහසුව ගෙන කටයුතු කළේ නම් තවත් අවුරුදු කිහිපයක් ජීවත් විය හැකිව තිබුණූ බව කල්පනාවෙන් යුක්තව මහා පරිනිර්වාණ සූත්‍රය කියවන විට තේරුම්ගත හැකිය.
    බුදුන්වහන්සේගේ පිරිනිවන් කාලය වඩාත් ළංවෙද්දී භික්‍ෂූන් වහන්සේගේ ශෝකය තව තවත් වැඩි විය. ඒ නිසා ඔවුහු උන්වහන්සේ වෙත අවුත් හඩන්නට වැළැපෙන්නට පටන් ගත්හ. ඒ අතර ධර්මාරාම නමැති භික්‍ෂුව බුදුන් ජීවත්ව සිටියදීම රහත් විය යුතු යැයි සිතා උන්වහන්සේ ගැන සෙවීමක්, බැලුමක් නැත්තාක් මෙන් තනිව භාවනාවක යෙදුණේය.ඒ දුටු සෙසු භික්‍ෂූන් වහන්සේ ඒ ගැන බුදුන්ට සැල කළහ.ඒ අනුව උන්වහන්සේ ධර්මාරාම භික්‍ෂූව ගෙන්වා කරුණු විචාළ සේක. ධර්මාරාම භික්‍ෂූ තෙමේ තමාගේ අවංක අදහස නොවළහා හෙළි කළේය. එය මහත්සේ අගය කළ බුදුරජාණන් වහන්සේ ”මා කෙරෙහි ගෞරව ඇති අනෙක් භික්‍ෂූන් විසිනුත් මේ ධර්මාරාම අනුගමනය කළ යුතුය. මට නිසි පූජා කරන්නහු වන්නේ ගඳින් මලින් පුදන්නාහු නොව මා ඉගැන්වූ පිළිවෙත් පුරන්නාහු යැ” යි පැවසූ සේක.
    පිරිනිවන් පාන්නට ළංව තිබිය දී තව තවත් ගිහියනට පැවිද්දන්ට දිය යුතු අවවාද දී නිම කළ යුතුයැයි සිතා අසනීප මැද්දේම ගමෙන් ගමට පා ගමනෙන් වැඩි සේක. මෙසේ වඩිද්දි උන්වහන්සේ බලවත් වේදනාවටත් ක්ලාන්තයටත් පත් වූ සැටි මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් ය. එහෙත් උන්වහන්සේ තමන්ගේ ගමන් නතර කළේ යෑමට පිළිවන් තෙක් හෙවත් පය එසවිය හැකි තෙක් ගොසිනි. එසේ වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් මඤ්චකයට පත් වූ පසුත් තමන්ට ගඳින් මලින් පුදන්නවුන් දෙස බලා ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කළේ මෙසේය.”මෙසේ ආමිෂයෙන් පිදීම මට කරන සැබෑ පිදීමක් නොවේ. භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා, යන කා හට වුවත් මට නිසි පූජා කළ හැක්කේ මාගේ ධර්මය පිළිපැදීමෙන් පමණකි “ බුදුරජාණන් වහන්සේ මෙසේ අන්තිම මොහොතේ පිරිනිවන් මඤ්චකයෙහි සැතැපී මේ කරුණු ගැනම අවධාරණය කළේ මිනිස් සිත අප්‍රමාදිව ගුණධර්ම දියුණුවට යොමු කරවනු සඳහායි.
    බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවෙහි කිසියම් ප්‍රශ්නයක් ඇසීම සඳහා සුභද්‍ර නමැති පිරිවැජියෙක් උන්වහන්සේ වෙත පැමිණියේය. එයින් උන්වහන්සේට පීඩා වෙතැයි සිතූ ආනන්ද හිමියෝ එය වළක්වන්නට උත්සාහ කළහ. එහෙත් ඒ බව දුටු බුදුන් වහන්සේ පිරිවැජියාට වුවමනා ප්‍රශ්න අසන්නට ඉඩ දෙන ලෙස දැන්වූ සේක. ඒ ප්‍රශ්නවලට උන්වහන්සේ ලබා දුන් පිළිතුරු හේතුවෙන් පැහැදුණූ ඔහු උන්වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලීය. ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ලවා ඔහු පැවිදි කරවූ සේක. තමන්ගේ ඉගැන්වීම්වල ගුරුවරයාට පමණක් සීමා වූ රහස් නැතැයි උන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී දේශනා කළ සේක. පිරිනිවන් පාන්නට පෙර උන්වහන්සේ තම අනුගාමිකයන් අමතා, බුදුන් හමුවේ දී මේ මේ දේ අසා දැනගන්නට නොහැකි වූවා යැයි පසුතැවීමට ඉඩ නොලැබෙන සේ බුද්ධධර්මයේ යම් යම් සැක තැන් ඇතොත් ඒවා ගැන අසන්නට යැයි දෙතුන් වරක්ම දන්වා සිටි සේක. ඉතිඋත්ථක පාලියෙහි නිබ්බාන ධාතු සූත්‍රයේ නිවනේ් පවත්නා අවස්ථා දෙකක් ගැන දක්වා ඇත.
    එනම්, සඋපාදිසේස නිබ්බාන ධාතු සහ අනුපාදිසේස නිබ්බාන ධාතු වශයෙනි පුද්ගලයා සියලු කෙලෙසුන් ප්‍රහානය කරීම සඋපාදිසේස නිබ්බාන අවස්ථාවයි. කෙලෙස් පරිනිර්වාණය හැටියට ද මෙය හැඳින්වේ. රහත් වූ තැනැත්තාගේ පංච ස්කන්ධය බිඳී යෑම එනම් පරිනිර්වාණය අනුපාදිසේස නිබ්බාන ධාතුව යි.මෙය භව නිරෝධයයි. යළිත් නූපදින තත්ත්වයට පත් වීමයි.
    ”හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ “ මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න. මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි” අනතුරුව පිළිවෙළින් ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් දෙවැනි ධ්‍යානයටත් , එයින් තුන්වැනි ධ්‍යානයටත්, එයින් නැඟී සතරවැනි ධ්‍යානයටත්, එයින් නැඟි ආකාසඤ්ඤායතනයටත්, විඤ්ඤාණඤ්චායතනයටත් එයින් නැගී ආකිංඤ්චඤ්ඤායතනයටත් එයින් නැඟි නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත්, එයින් නැඟි සඤ්ඤාවෙදයිත නිරෝධයටත් සමවැදී අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවෙදයිතනිරෝධයට සම වැදී නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් එම සමාපත්තියෙන් නැඟි ආකිංඤ්චඤ්ඤායතනයටත්, එයින් නැඟී විඤ්ඤාණඤ්චායතනයටත් එයින් නැඟී ආකාසඤ්ඤායතනයටත් එයින් නැඟී සතරවැනි ධ්‍යානයටත් අනතුරුව තුන්වැනි ධ්‍යානයටත්, දෙවැනි ධ්‍යානයටත් එයින් නැඟී ප්‍රථම ධ්‍යානයටත් සමවැදි අනතුරුව නැවතත් දෙවැනි ධ්‍යානයටත්, තුන්වැනි ධ්‍යානයටත් එයින් සතරවැනි ධ්‍යානයටත් සමවැදි සතරවැනි ධ්‍යානයෙන් නැඟි සිටි වහාම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
    අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් සමගම මහීතලය කම්පා විය. අකල්හි මහ වැසි ඇද වැටිණි. දෙව්,මිනිස්සු හඬන්නට, වැළැපෙන්නට වූහ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් ශෝක සයුරක ගිලි යද්දී එසේ පිරිනිවන් පා වදාළේ උන්වහන්සේගේ අකාලික වූ ශ්‍රී‍්‍ර සද්ධර්මය අපට ශාස්තෘවරයාණන් වන සේ ලොවෙහි මැනැවින් ස්ථාපිත වන සේ කරුණු සම්පූර්ණ වූ විටයි. එබැවින් අද අපට උතුම් ලොව්තුරු ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමට, මනාසේ පිළිවෙත් පිරීමට ඉඩ කඩ සැලැසී ඇත්තේය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධවචනයට ගරු කරමින් අපිදු අප්‍රමාදිව කුසල් දහම්හි නිරත වෙමු.

    දඹදිවට අගරජ වූ ධර්මාශෝක රජතුමා



    විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂ මතුගම ධර්ම සෙන්දනායක ධර්මාශෝක රජතුමා ලක්දිව ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි. ලක්දිව බුදුසසුන පිහිටුවීමේ මාහැඟි අවස්ථාව සමරන මෙවන් සමයක ඒ උතුම් ධර්මදූත සේවාවට හා තෙවැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජතුමා පිළිබඳ වෙසෙසින් අවධානය යොමු වේ. එතුමන්ට ශාසන ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවන අතරම ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට එතුමන්ගේ ගුණ සිහිකිරීම අතිශයින්ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි. බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ.
    වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක. “ස්වාමීනි අර පෙනෙන්නේ මී පැණි විකුණන තැනයි”යනුවෙන් එම ස්ත්‍රිය අත දිගුකොට පෙන්වූ විට පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේට මී පැණි නොලැබුණොත් තමන් හැඳ සිටි ඇඳුම හෝ විකුණා මී පැණි ලබාදෙමි’යි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියාය. මී පැණි වෙළෙඳසැල ඉදිරිපිටට පසේ බුදුන් වහන්සේ පැමිණි පසු උන්වහන්සේ ඉදිරියට පැමිණි වෙළෙන්දා පසඟ පිහිටුවා වැඳ පාත්‍රය අතට ගෙන මී පැණි කළයක් පාත්‍රයට වත් කළේය. පාත්‍රය පිරී ඉතිරී මීපැණි පිටතටද ගලා ගියේය. එය දැක වෙළෙන්දා මහත්සේ සතුටුව මී පැණි දුන් පිනෙන් දස දහසක් යොදුන් දඹදිව එක්සේසත් කොට දඹදිවට අගරජ වෙම්වා යි පැතීය.පසේ බුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු එනවිට ඉහතකී ස්ත්‍රිය හමුවිය. මී පැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේ දැයි ඇසුවාය. ඔහු දඹදිව අග රජකම පැතූ බව ප්‍රකාශ කළ විට “මඳක් වැඩ සිටිය මැනැවයැ” යි පවසා එම ස්ත්‍රිය වහ වහා නිවෙසට ගොස් තමා හැඳ සිටි වස්ත්‍රය සෝදා, වළල්ලක් කොට පාත්‍රය යටට තබා ගන්නැයි පසේ බුදුන් වහන්සේට පූජා කළාය. එසේ පූජා කොට මීපැණි වෙළෙන්දා අග රජවන විට එතුමාගේ අග මෙහෙසිය වෙම්වායි පැතුවාය. වෙළෙන්දා ගේ හා ස්ත්‍රියගේ පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවන බව දැන පසේබුදුන් වහන්සේ ස්ත්‍රිය බලා සිටියදීම අහසට නැඟී ගන්ධ මාදන පර්වතයට වැඩි සේක. එම මී පැණි පාත්‍රයෙන්ම පසේ බුදුන් වහන්සේගේ රෝගය සංසිඳිණි. ඉන් පසු එක් දිනෙක වෙළෙඳ සහෝදරයෝ තිදෙනා එකතුව වෙළෙඳාමේ අය වැය පරීක්‍ෂාකර බැලූහ.එවිට එක් මී පැණි කළයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසීය. තමා පසේ බුදුන් වහන්සේ නමකට මී පැණි කළය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතහොත් මී පැණි කළය හෝ එහි මිල හෝ දෙමි’යි කීය. “නුඹගෙන් ණය ගන්නේ කෙසේදැ’යි විමසූ වැඩුමල් සොහොයුරෝ දෙදෙනා එම මුදල් තිබිණි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යැයි පැවසූහ. “නුඹලා වරදක් නොසිතන්න. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, කාෂාය වස්ත්‍ර දරන පසේ බුදුන්වහන්සේ නමකටයි මී පැණි පූජා කළේ යැ’යි බාල සහෝදරයා කීය. ‘එම්බා මලණ්ඩ, මෙකල සැඩොල් කුලේ අයත් කාෂාය වස්ත්‍ර හැඳ ඇවිදියි. නුඹ දන් දුන්නේද එවැනි සැඬොලෙකුට වෙන්න ඕනෑ යැ’යි වැඩුමල් වෙළෙන්දා පැවසීය. “තොප මී පැණි දන් දුන් අයගෙ ගුණ අපට කියන්නේ ඇයි? තොපගේ පසේ බුදුන් මූදින් එතෙර දමා පියව‘යි දෙවැනි වෙළෙන්දා කීය. “මහානුභාව සම්පන්න ඒ පසේ බුදුන් වහන්සේට එසේ නොකියනු මැනැවි. සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි යැ’ යි බාල සහෝදරයා කීය. ‘තොප ඔය හැටි කියන්නේ නම් අපිත් පින් අනුමෝදන් වෙමු යැයි’ සාධුකාරදී පින් අනුමෝදන් වූහ. මෙසේ පින් සිදුකරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරි සරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබූහ. මී පැණි දන්දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල වෙළෙන්දා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් උපත ලැබීය. මී පැණි වෙළෙඳ සැලට අත දිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධිමිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසොව බවට පත්වූවාය. පසේ බුදුන් මූදින් එතෙර දමව’ යි කී දෙවැනි වෙළෙන්දා ඒ නිසාම දඹදිව නොඉපිද ලක්දිව දේවානම්පියතිස්ස නමින් උපත ලැබීය. පසේ බුදුන් චණ්ඩාලයකු වේදැ’යි කී වැඩුමල් සහෝදරයා සැඩොල් ගමක නුග ගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදිවී රහත් බව ලැබීය. (ඔහු රජතුමාගේ සුමන නම් සහෝදරයකුගේ පුත්‍රයා වන අතර සැමියා යුද්ධයෙන් පැරැදී මැරී වැටුණු බව අසා දේවිය භයින් තැතිගෙන දුවද්දී මේ නුග ගස යටදී දරු උපත සිදුවූ බව සදහන් වේ) මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළේය. ‘සහස්සවත්ථු’ හා ‘සීහලවත්ථු’ කථාවල දැක්වෙන ආකාරයට ඔහු ලක්දිව උපත ලබා පැවිදිව ‘ඛුජ්ජතිස්ස’ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධව පිරිනිවන් පෑ බව සඳහන් වේ. 

    සතර පෝය ගැන හිතමු



    ශාස්ත්‍රපති 
    දොඩම්පහල ශ්‍රී රාහුල හිමි
    අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා. පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා
    අප බොහෝ වෙලාවට කතා කරන්නෙ ඉදිරිය සාර්ථක කර ගන්න, දියුණු වෙන්න අවශ්‍ය කරන මතවාදයක් ගැනයි. නමුත් සාකච්ඡා කරන විට අප අලුත් දේ ඔස්සේ යා යුතුද ? එසේත් නැත්නම් අතීතයේ කළ කී දේ ඔස්සේ ගමන් කළයුතුද? යන ප්‍රශ්නය අපට මතුවනවා. අප හිතනවා ලංකාවේ දියුණුවට නම් බෞද්ධයන්ගේ අභිවෘද්ධිය පිණිස අප මොනවද කළ යුත්තේ කියා.
    එහිදී අප ඇත්තට මුහුණ දෙනවා නම් කළ යුත්තේ ඉදිරියට නොව ආපස්සට හැරී කළ කී දේ ගැන තේරුම් ගැනීමයි.
    අතීතයේ අප කළ කී දේ නැවත අපට කරන්න පුළුවන් නම් එය මහත් ජයග්‍රහණයක්. විවිධ තාඩන පීඩන තුළින්, දඬුවම් කිරීම් තුළින්, ඝාතන තුළින් අතීතයේ අපේ තිබුණු සියලු සංස්කෘතීන් නැතිවුණා. අද අප නිදහස ලබලා අවුරුදු 60 ගණනක් වුනත් අපෙන් ගිලිහී ගිය ඒ සංස්කෘතිය අපට තවම ලබා ගන්න බැරිවෙලා.
    යටත් විජිත සමයේ සිට අපෙන් ගිලිහී ගිය සංස්කෘතිය යළි අපට තවමත් ගොඩනගා ගැනීමට හැකිවී නැහැ. මේ අතරින් හතර පෝය මුල් තැනක් ගන්නවා.
    අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා.
    පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා. මේ පොහොය සතර අතීතයේ සියලු ලාංකිකයන්ට නිවාඩු දිනයන් බවට පත්වූවා. අපට නිවාඩු දිනයන් ලෙස සෙනසුරාදා, ඉරිදා දිනයන් නොව සතර පෝය ලබා දී තිබුණා. සෙනසුරාදා, ඉරිදා දින අපට මිෂනාරීන්ගෙන් ලැබුණු නිවාඩු දිනයන්. අප චන්ද්‍ර මාස ක්‍රමයටයි නිවාඩු දින තීරණය කළේ. මේ දිනවල ආගමික වශයෙන් කාලය ගත කළා. එම දිනවල විහාරස්ථානයට ගොස් කාලය ගත කළා. අද මේ තත්ත්වය දකින්න පුළුවන්ද ? යම්කිසි බලපෑමකින් හෝ අප විහාරස්ථානයට යන්නේ පසළොස්වක පොහෝ දිනට පමණයි. ඒ තත්වයන් බෞද්ධයන් ලෙස අපට සෑහීමකට පත්වන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. අතීතයේ සතර පෝයටම වැඩසටහන් සංවිධානය කළා. හතර පෝයට සිල් ගත්තා. ඒ සිල් ගැනීමේදී අපේ විශාල පිළිගැනීම් තිබුණා. විශේෂයෙන්ම ලෞකික කාර්යයන්හි මේ දිනවල නොයෙදිය යුතු බවට අප අතර මතයක් තිබුණා.
    එමෙන්ම පොහොයත් සමග නැකත් ශාස්ත්‍රය අත්වැල් බැඳ ගත්තා. ඒ දිනවල කාමය උද්දීපනය වන, මෝහය උද්දීපනය වන, ලෝභය උද්දීපනය වන වැඩපළවල නියැළුණේ නැහැ.
    පෝය දවස තුවාලයක් වුවහොත් රුධිර ගලනය වැඩි බව, සර්පයෙක් දෂ්ට කළොත් විෂ ශරීර ගතවීම වැඩි බව ආදී වශයෙන් විශ්වාස තිබුණා. ගොවිතැන් කටයුතු කර්මාන්ත කටයුතුවලින් ඈත්වෙලා මේ දවස් හතර පන්සල ඇසුරු කරගෙන ජීවත්වුණා.
    ඒ විදිහට මාසයකට දවස් 4 ක් අවම වශයෙන් පන්සල ඇසුරු කරගෙන ජීවත් වුණා. සියලුම දේ සිතා බලා කටයුතු කරන්න කාලයක් තිබුණා. මත් වතුර වැනි දුරාචාරවල නියැළෙන්න, එහෙම නැතිනම් ගෙදර දොරේ වැඩ කර ගන්න ඒ දින යොදාගත්තේ නැහැ.
    එහෙම නැතිනම් විනෝද ගමනක්, නෑදෑ, හිතවතුන් හමුවෙන දවසක්වත් නෙවෙයි.
    එදා අපේ රටේ කිසිවකු එම දිනය එවන් කටයුතු සඳහා යොදාගත්තේ නැහැ.
    ආගමික කටයුතු සඳහාම පමණයි එම දිනය යොදා ගත්තෙ. අප මාසෙකට දින 26 ක් පමණ ශරීරය වෙහෙසා වැඩ කරනවා. ඉතිරි දවස් 4 ආගමික වැඩ සඳහා යොදාගෙන මනස සංවර්ධනයට යොදා ගත්තා. එමෙන්ම එදින ශරීරයට යම් විවේකයක් ලබා දෙන්න එම දිනය යොදා ගත්තා.
    අපේ රට නැවත වරක් යහපත් සමාජයක් කරා යාමට උත්සාහ දරනවා නම් හතර පෝය ආගමික වැඩ කටයුතු සඳහා පමණක්ම යොදාගත යුතු වනවා.
    අප අපේ බෞද්ධ වැඩ කටයුතු සඳහා බෞද්ධ ප්‍රතිපදාවක් යොදාගෙන, බෞද්ධ ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු වෙනවා. අප ගසක් කපනකොට පවා කැලය ගැන සොයා බලනවා. වර්තමානයේ විද්‍යාඥයන් එදා අපේ තිබූ ඥානය ගැන සතුට පළ කරනවා. මෙවැනි කරුණු ගැනයි අප අවධානය යොමු කළයුතු වන්නේ. එහෙයින් කරන්න පුළුවන් පැත්ත ගැන පසුව සිතා බලා හතර පෝයට සීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න විහාරස්ථාන කටයුතු කළයුතු වෙනවා.අපේ බෞද්ධ අනන්‍යතාව හෙළිකර යුතු වනවා.
    පෝයටත් සතියේ පොළ විවෘත කරනවා නම්, පෝයටත් ව්‍යාපාර කටයුතු කරනවා නම් එහි ඇති ආගමික පසුබිම මොකක්ද?
    සතර පෝය බෞද්ධයින්ගේ ආගමික දිනය වශයෙන්ම අප වෙන් කර ගතයුතු වන්නේ ඒ නිසයි.
    සාකච්ඡා කළේ: තාරක වික්‍රමසේකර

    පරම දුර්ලභ බුදුඋපත



    රුහුණ විශ්වවිද්‍යාලයේ 
    කුලපති 
    අග්ගමහා පණ්ඩිත
    පල්ලත්තර
    ශ්‍රී සුමනජෝති නා හිමි

    එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මා සම්බුද්ධො.
    (අංගුත්තර නිකාය - ඒකක නිපාත)
    “මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝක සත්වයන් වෙත අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, එක ම පුද්ගලයකු පමණයි ලෝකයෙහි උපදින්නෙ. කවරෙක්ද එම එකම පුද්ගලයා? අර්හත් සම්‍යක් සම්බුද්ධයාණෝයි.”
    අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය මහාබෝසත් තාපසතුමාගේ බුදුවීමේ සිට වසර 2602 වැන්නයි. බුදුන් වහන්සේ දෙසූ නිබ්බානගාමිනී සද්ධර්මය පිළිපදින අප උන්වහන්සේගේ සුවිශේෂත්ව ගුණ පිළිබඳ නිරතුරු සිහිපත් කිරිම අපේ ජීවිත ආලෝකවත් කරගන්නට අතිශයෝපකාරි වන බව සිහිකරන්න. බුදුන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ ධර්මය තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ ලෙස දැනගනු ලැබිය යුතු බවයි. ධර්මය දැන බුදුන් පිළිබඳත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳත් එසේම ප්‍රත්‍යක්‍ෂයෙන් දතයුතුයි. බෞද්ධයා අන්ධ භක්තිකයකු නොවේ. ඔහු හැමදේම පිළිගන්නේ පසක්කොට දැකීමෙනි.
    බුදුරජාණන් වහන්සේ, බුදුන් පිළිබඳ කරන ලද දේශනාවකදි ‘සුඛො බුද්ධානං උප්පාදො’ යනාදි ගාථා පාදයෙන් වදාළේ බුදු කෙනකුගේ ලොව පහළවීම ලෝකයාට සැප ගෙන දෙන බවයි. ඒ සැපය ලෞකික, ලොකෝත්තර වශයෙන් දෙකක් වේ. ලෞකික සැපය නම් සසර සැපයයි. ධන ධාන්‍ය, වතු පිටි, ඉඩකඩම් ,වාසනාවන්ත දූදරුවන් ආදිය ලැබීමෙන් ඉන්ද්‍රිය පිනවීමෙන් විඳින සැපය වෛදයිත සැපයයි. ලොකෝත්තර සැපය නම් සසරින් එතෙර වීමෙන් හෙවත් පිරිනිවීමෙන් ලබන සදාකාලික අවේදයිත සැපයයි. මේ දෙයාකාර සැපයම නිසිපරිදි ලැබිය හැක්කේ බුදුරදුන් වදාළ උපදෙස් අනුව ක්‍රියා කරන්නාට යි. මේ අනුව, සත්වයන්ට මේ දෙයාකාර සැපයම නිසිලෙස භුක්තිවිඳින්නට හැකිවන්නේ ඒ හරි මඟ කියා දෙන බුදුවරයකු ලොව පහළ වුවහොත් පමණි.
    ලෝකයා අපේක්‍ෂා කරන ඉහත කී දෙ සැපයම ලබන්නට උපකාර වන අසහාය උත්තමයා වන බුදුන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ දේශනාවන්ගෙන් එක් දේශනයක් අනුසාරයෙන් කළ කෙටි විස්තරයක් මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරමි. ඉහතින් දැක්වූයේ එම දේශනයයි.
    මේ දේශනාවේ, ඒකපුග්ගලො යි වදාළේ මෙවැනි දෙවැනි පුද්ගලයකු ලොව උපදින්නේ නැත කියන බවයි.බුදුරදුන්ගේ දේශනා ‘සම්මුති දේශනා’ සහ ‘පරමත්ථ දේශනා’ වශයෙන් දෙයාකාරයි.සම්මුති යැයි පැවසුවේ, අප යමක් වෙන්වෙන් කොට හඳුනා ගැනීමට තබාගන්නා මනුස්ස, බ්‍රහ්ම, යක්ඛ, රුක්ඛ, ඉත්ථී, පුරිස, මොග්ගල්ලාන ආදි පටබැඳි නාමයි. සම්මුතිය එසේ හුදෙක් පනවා ගැනීමක්ම වුවද සැබෑවටම පවතින්නේ පරමාර්ථ ධර්මයි. චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන යන එම පරමාර්ථ ධර්ම සතරයි. (මේවා පිළිබඳ වැඩි විස්තර දැනගන්න අංගුත්තර නිකාය අට්ට්කථාවෙහි ඒක පුග්ගල වග්ගය කියවන්න.) සත්ව හෝ මනුෂ්‍යයනගේ සම්මුති ය ඒ නම් දෙකමයි. රූපාදී පඤ්චස්කන්ධයද එහිම පරමාර්ථයි. ඒ අනුව, ’ඒකපුග්ගල’ යන්න සම්මුති වශයෙන් ගත්කල බුදුන් වහන්සේ ට වඩා උසස් හෝ ඒ සමාන හෝ තවත් පුද්ගලයකු නැත යන්නයි. සම්මා සම්බුදුවරයකු සමාන වන්නේ තවත් එවැනි සම්මා සම්බුදුවරයකුටම පමණයි. ලොකෙ’ යි දැක්වූයේ ඕකාස ලෝක, සත්ව ලෝක, සංඛාර ලෝක යන තුනෙන් මෙතැනදි නම් සත්ව ලෝක යන්නයි. එනම් අප ජීවත් වන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකයි.
    අසමසම එකම උත්තමයාණන් වහන්සේ ලොව උපදින්නෙ අන්කිසිවකට නොව බහුජන සිත පිණිස බහුජන සැප පිණිස ලෝක සත්වයා කෙරෙහි සානුකම්පිතව මෙන්ම දෙවි මිනිසුන්ගේ යහපත, හිතය, සැපය පිණිසයි. දීපංකර බුදුන් වහන්සේ ගෙන් නියත විවරණ ලබාගෙන සම ත්‍රිංසත් පාරමි පුරා අවසන් ආත්මභාවයෙහි මහා මායා මව් බිසවගේ කුස පිළිසිඳ වෙසක් පුර පෝ දිනෙක මෙලොව එළිය දැක එකුන් තිස් වියේදී අභිනික්මන් කොට සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට වෙසක් පුර පෝ දිනෙක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ දෙව්, මිනිසුන්ගේ යහපත පිණිසයි. එසේ නොවේනම් මෙයට සාර සංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දීපංකර බුදුන් දවස සුමේධ තාපසව සිටියදී සසරින් මිදෙන්නට තිබුණි. එම අවස්ථාව ඉවත දමා සසර අපමණ දුක් විඳින්නට ඉදිරිපත් වුණෙ “කිං මේ අඤ්ඤාන වෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ, සබ්බඤ්ඤුතං පාපුනිත්වා සන්තාරෙස්සං සදෙවකං” යි වදාළ පරිදි “හුදෙකලා මා පමණක් සිවුසස් අවබෝධ කරන්නේ කුමටද? තව කොපමණ සත්වයින් මේ ගොර බිරම් සසර දුක් විඳිනවද ? එහෙයින් මා බුදු වී දෙවියන්, මිනිසුන් සහිත ලෝසතුන් සසරින් මුදවා ගනිමියි යන උදාරතර කරුණාවෙනි.
    ’බහුජන හිතාය’බහුජන සුඛාය’ යනුවෙන් අදහස් කරන්නේ මහජනතාවගෙන් බොහෝ දෙනකු ගේ යහපත පිණිස සහ මහජනයාගෙන් බොහෝ දෙනෙකුගේ සැප පිණිස මේ අසහාය අද්විතීය උත්තමයා උපදින බවයි. ලෝකානුකම්පාය, සත්වලෝකයාට අනුකම්පා පිණිස යි මේ අසමසම උතුමන් වහන්සේ උපදින්නේ. උන්වහන්සේ සම්මා සම්බුදු බවට පත්වී පවත්වන ධර්ම දේශනය නුවණැත්තෝ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කර ධර්මය නමැති අමෘතයෙන් සැනසී චතුරාර්ය සත්‍යය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර ගනිති. ඒ අනුවයි, සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් ඉක්බිති ඇසළ පුර පෝ දින බරණැස ඉසිපතනයේදි “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවි තබ්බා. යො චායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො, යොචායං අත්තකිලමතානුයොගො.” යනාදී වශයෙන් දම්සක් සතුරේ සිට සුවාසු දහසක් ධර්මස්කන්ධය පන්සාළිස් වසක් ඇතුළත දිවා රෑ නොබලා ඔබට අපට දේශනා කළේ ඒ ඔබ අප සසරින් මුදන්නයි.
    ඉහත කී මේ අසහාය උත්තමයා කවරෙක්ද කියා බුදුන්වහන්සේම භික්‍ෂූන්ගෙන් ප්‍රශ්න කොට තමන්ම ඒ බව හෙළිකරනු කැමැත්තෙන් තථාගතො අරහං සම්මා සම්බුද්ධොයි වදාළසේක. දීපංකරාදි සූවිසි බුදුවරුන් වැඩිය මඟ වැඩම කළ නිසා තථාගතයයි සඳහන් වන අප බුදුරජාණන් වහන්සේ සමත්‍රිංසක් පාරමි ධර්මයන් පෙර බුදුවරුන් මෙන්ම අනන්ත අප්‍රමාණ කාලයක් වෙහෙසී සම්පූර්ණ කර සම්මාසම් බුද්ධත්වයට පත්වූයේ දෙව්, මිනිසුන්ට හිත සුව පිණිසයි. මෙ බඳු පුද්ගලයෙකු ලොව පහළ වීම අතිශය දුර්ලභ බව “දුල්ලභො පුරිසාජඤ්ඤා න සො සබ්බත්ථ ජායති, යත්ථ සො ජායති ධීරො තං කුලං සුඛමෙධති” යි වදාළ ලෙසින් තවදුරටත් දැක්වෙයි. මෙබඳු උතුමකු මේසත්ව ලෝකයෙහි උපත ලැබීම දුර්ලභයි. අතිශයින් දුර්ලභයි. අත්‍යන්තයෙන්ම දුර්ලභයි.
    එබඳු උතුමකු ලොව පහළ වූ විට උන්වහන්සේගේ මහා කරුණාවට පාත්‍රවන ලොව දෙව්, මිනිස්සු ඒකාන්තයෙන්ම සැපයෙන් සැපයට පත්වෙති. “කිච්ඡො බුද්ධානං උත්පාදෝ” බුදුවරයකු උපදින්නේ ඉතා දීර්ඝ කාලයකිනි. එකම කාල පරිච්ඡේයක බුදුවරුන් දෙනමක් උපදින්නේ නැත. එහෙයින් බුදුන්වහන්සේ යනු දිගුකලකින් ලොව පහළවන එකම අසහාය උත්මයාණන් වහන්සේ ය.
    ”සුඛො බුද්ධානං උප්පාදො”

    Friday, 5 July 2013

    සැබැමිතුරන් හදුනා ගනිමු.


    බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මේ මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි.අපට මිතුරන් තෝරාගැනීමේදී බුදුරදුන් යම් කිසි පිලිවෙතක් වදාල සේක.එය නම් මිතුරෙකු තෝරාගැනීමේදී මුලින්ම අපට වඩා ගුණයෙන් ඉහල අයෙකු තෝරා ගැනීමයි.එසේත් නැත්නම් අපට ගුණයෙන් සමාන හෝ මිතුරෙකු තෝරා ගැනීමයි.අප බලාපොරොත්තු වන මිතුරාගේ එම ගතිගුණ නොමැතිනම් තනිව වාසය කිරීම වඩාත් සුදුසුයැයි බුදුරදුන් පෙන්වා දුන් සේක.

    මිතුරන් ප්‍රධාන කොටස් 2කි. ඒ කළ්‍යාණ මිතුරන් (යහපත් මිතුරන්) හා පවිටු මිතුරන්ය (පාප මිත්‍රයන්).බුදුරජාණන් වහන්සේ
    කළ්‍යාණ මිතුරන් සිව් දෙනෙකුත් පවිටු මිතුරන් සිව් දෙනෙකුත් බැගින් වදාලහ.මෙතැන් සිට අපි ඔබට පෙන්වා දෙන්නේ ඒ ඒ
    මිතුරා තුළ ඇති ලක්ෂණයන්ය.

    පාපමිතුරන්

    1. අඤ්ඤදත්තුහර – කිසියම් දෙයක් රැගෙන යාමට කඩාවඩා ගැනීමටම තැත් කරයි.


    2. වචීපරම – අතීතයෙන්,අනාගතයෙන් තේරුමක් නොමැති වචන වලින් සංග්‍රහ කරයි.
    3. අනුප්පියභාණි – හොද දේත්,නරක දේත් බොරුවට වර්ණනා කරයි.
    4. අපායසහායක – සුරාවට ආදී පව් කම් වලට උදව් කර අපායගාමී කරවීමට තැත් කරයි.

    කළණ මිතුරන්

    1. උපකාරක – අපට සැමවිටම උදව් කරයි.ආරක්ෂා කරයි.
    2. සමාන සුඛදුක්ඛ – දුකේදීත් සැපේදීත් එකට සිටී.මිතුරාගේ රහස් රකී.
    3. අත්ථක්කායි – පවින් වළක්වයි.යහපතෙහි යොදවයි.
    4. අනුකම්පක – අනුකම්පා සහගතව දියුණුවේදී උදව් කර ආශිර්වාද කරයි.(ප්‍රශංසා කරයි)

    සැබෑ මිතුරෙක්නම් තම හිතවතාගේ වැරදි පෙන්වා දිය යුතුය.නිවැරදි මග පෙන්වා දිය යුතුය.ඔබට තිසරණයේ පිහිටීමට,ධර්මය ඉගෙනගැනීමට,ධර්ම මාර්ගයේ ගමන් කිරිමට යම් මිතුරෙක් උපකාර කලේද ඔහුට දිවා රෑ වැදවැටුනද කලගුණ සලකා නිමා කල නොහැකි බව ධර්මයේ සදහන් වේ.අපට නිර්වාණය පිණිස ශ්‍රද්ධාව ඇතිකල ගත යුතු වේ.එම ශ්‍රද්ධාව ඇතිකරගැනීමටනම් ධර්මශ්‍රවණය කළ යුතු වේ..ධර්ම ශ්‍රවණයටනම් ධර්මය කියාදෙන කළණ මිතුරන් සිටිය යුතුය.

    මෙම කෙටි ලිපිය කියවූ ඔබට තෙරුවන් සරණයි

    ලෝකයා සමඟ විවාද නොකරන බුදුහිමියෝ



    ගනේමුල්ල 
    ආනන්ද බෝධි ධර්මායතනාධිපති
    ශාස්ත්‍රපති
    පාතේගම සුමනරතන හිමි

    මිථ්‍යා දෘෂ්ටියෙන් බැසගත් තැනැත්තාහු නානා සත්‍යයක් ම කියයි. “ තස්මා න ඒකං සමණා වදන්ති” ඒ කරුණින් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්. මහණෙනි, “ දිට්ඨ” දුටු දෙය, “සුත” ඇසූ දෙය, “මුත” නාසයෙන් ආග්‍රහණය වූ දෙය, දිවට ගත් රසය සහ සමට ස්පර්ෂ වූ දෙය, “ විඤ්ඤාත” මනසට ගත් ධම්ම ආරම්මණය යන ප්‍රඥප්ති වල ලෝකයා පිහිටා සිටින බැවින් මහණෙනි, මම දුක යැයි පවසන දෙය ඔවුන් සැප යැයි පවසමින් මා සමඟ විවාදයට පැමිණෙත්. මහණෙනි, මේ රූපය ලොව ලෝක ධර්මයකි.
    තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරේ. මැනවින් දැන ගනී. මැනවින් අවබෝධ කොට මැනවින් දැනගෙන දේශනා කරයි. පනවයි, පිහිටුවයි, විවරණය කෙරෙයි, බෙදයි, උඩුකුරු කෙරෙයි, මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි, දේශනා කරනු ලබන කල්හි, පනවනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවරණ කරනු ලබන කල්හි, බෙදා දක්වනු ලබන කල්හි, උඩුහුරු (යටිකුරු වූ දෙයක් උඩු අතට හැරවීම සේ) කරනු ලබන කල්හි, යමෙක් නොදනී නම්, නොදකී නම්, මහණෙනි, අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන් සත්ත්වයන් ට මම කුමක් කරම් ද?
    රූපය පමණක් නොව වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේ සියල්ල මහණෙනි ලෝක ධර්මයෝය, “රූපං භික්ඛවේ අනිච්චං, දුක්ඛං. විපරිනාමධම්මං අත්ථිසම්මතං ලෝකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථිති වදාමි” මහණෙනි අනිත්‍යය වූද, දුක්ඛ වූද, විපරිණාම තත්ත්වයට පත්වන්නා වූද, රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මම ද එය ඇතැයි කියමි. පණ්ඩිතයන් විසින් ඇතැයි යැ’ යි පැවසූ දෙය තමන් වහන්සේ ද ඇතැයි යැ’ යි සලකන්නේ ය. පණ්ඩිතයන් විසින් නැතැයි යැයි පවසන ලද්ද තමන් වහන්සේ විසින් නැතැයි යැයි දේශනා කරති. මෙසේ පණ්ඩිතයා යැයි සලකනු ලබන්නේ භාෂා ශාස්ත්‍ර විෂයයන් ගෙන් පරිචය දත් අය නොව මාර්ග ඵල ලද බුදු පසේබුදු මහරහතුන් ය.
    අපේ බුදුරජාණන් වහන්සේ එව බලව යැයි ධර්මය දේශනා කරන අතර ඕනෑම කෙනෙකුට සන්දිට්ඨික වූ ද, අකාලික වූද, ඕපනයික වූද, පච්චත්ත වේදිතබ්බ වූ ද, ධර්මය අනුගමනය කිරීමෙන් ක්ෂාත්සාත් කර ගැනීමට අවස්ථාවක් ආරාධනයත් විවෘත කිරීමත් නොසඟවා එළි කිරීමත් මගින් දෘෂ්ටි වහලුන් බවට පත් නොවී, ධර්මය ප්‍රගුණ කිරීමෙන් වාද විවාද නැති තැනක් අවබෝධ කර ගැනීමට ඉඩ හසර ලබා දී ඇත.
    අද සමාජය තුළ බෞද්ධයන් හා අන්‍යාගමිකයන් අතර පමණක් නොව බෞද්ධ ආගමිකයන් අතර වුව ද, ධර්මය සම්බන්ධයෙන්, මාර්ගය සම්බන්ධයෙන්, ආජීවය සම්බන්ධයෙන් වාද විවාද පවතින බව නොරහසකි. ඊට හේතු වී ඇත්තේ අලගද්දූපම සූත්‍රයේ සඳහන් කළාක් මෙන් සර්පයන් ඇල්ලීමට නොදත් පුරුෂයෙකු සර්පයාගේ කඳ මැදින් ඇල්ලීමෙන් කරගත් විපතක් මෙනි.
    ධර්මය වැරැදි විදිහට තේරුම් ගැනීමෙන්, බාර ගැනීමෙන් දෘෂ්ටි මත අතහැරීම වෙනුවට එමගින් දෘෂ්ටි මත ආරෝපණය වී ඇති ආකාරයකි.
    විවාද රහිත වූ මහා කාරුණිකයන් වහන්සේගේ මේ උතුම් ධර්මය පින්වත් ඥානවන්ත මිනිසුන් විසින් අනුගමනය කිරීමෙන් අප්‍රමාදීව ශාන්ත සැපය ළඟා කර ගත මැනවි.

    උළුක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාමය



    විහාරාධිපති තුරුවිල ඥානානන්ද හිමි අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිහිටි උළුක්කුලම නම් වූ ගම්මානය මේ වන විට වන අලි තර්ජනයට පවා ලක්වන ඉතා දුෂ්කර ගම් පියසකි. මෙහි ප්‍රදේශවාසීන් ජීවත්වනුයේ ගොවිතැන ජීවනෝපාය කරගනිමිනි. එහෙත් විවිධ කාලගුණික වෙනස්වීම් මත සිදුවන හානි මධ්‍යයේ ගොවිතැන පවා රැකගැනීම ඔවුන් හමුවේ ඇති අභියෝගයකි. මේ ගම්මානයට ඇති එකම බෞද්ධාගමික මධ්‍යස්ථානය වන්නේ වසර 120 ට වඩා පැරැණි ශ්‍රී‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයයි. අනුරාධපුර, මහබුලන්කුලම, උළුක්කුලම, ශ්‍රී
    බෝධිරුක්ඛාරාමයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ ලෙස තුරුවිල ඥානානන්ද හිමියෝ වැඩ වාසය කරති. සිසු දරු දැරියන් 200 දෙනකු පමණ දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී පියරතන දහම් පාසලද විහාරස්ථව පවත්වාගෙන යනු ලැබේ. ශාසනාරක්‍ෂක බලමණ්ඩල හා විවිධ පළාත් තරගවලදී ඉහළ දස්කම් දැක්වූ දූ දරුවෝ රැසක් එහි ඉගෙනුම ලබති. එසේම ප්‍රදේශයේ ජනතාවට විවිධ ආගමික අවස්ථාවන්හිදී මූලික වී මඟ පෙන්වීම ලබාදෙන මේ විහාරස්ථානයේ මරණාධාර සමිතියක්ද පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාංග සංවර්ධනය කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතී. ආර්ථික දුෂ්කරතා ඇතත් ගම්වැසියෝ තම ශක්ති පමණින් මෙහි සංවර්ධන කටයුතු කරගෙන යති. තමන්ට අයිති එකම ආගමික මධ්‍යස්ථානය රැක ගැනීම ඔවුන්ගේ අරමුණයි. විහාරස්ථානයේ අලුත්වැඩියා කරගත යුතුව ඇති ගොඩනැඟිලි මෙම විහාරස්ථානයේ විහාරගෙය, සංඝාවාසය සහ ඉදිරිපස දොරටුව අලුත්වැඩියා කරගත යුතුව තිබේ. එමෙන්ම දහම්පාසල සඳහා පවතින ගොඩනැඟිලිවල හිඟකම පමණක් නොව ක්‍රමවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමද සකස්කරගත යුතුව ඇති අඩුපාඩු වේ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යන මේ ග්‍රාමයේ ජනතාවට විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු අවැසි වියදම් දරමින් කරගෙන යෑම පහසු නොවේ. එබැවින් මෙහි සංවර්ධන කටයුතු සඳහා ආධාර කොට මහගු පුණ්‍යකර්මයකට අතහිත දී නිවන් මඟ සලසා ගන්නා මෙන් විහාරාධිපති හිමියෝ ශ්‍රී‍්‍ර ලාංකේය බෞද්ධ හා බෞද්ධ නොවන ජනතාවට කාරුණිකව සිහිපත් කර සිටිති.