sha fm

    Sunday, 7 July 2013

    දඹදිවට අගරජ වූ ධර්මාශෝක රජතුමා



    විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂ මතුගම ධර්ම සෙන්දනායක ධර්මාශෝක රජතුමා ලක්දිව ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි. ලක්දිව බුදුසසුන පිහිටුවීමේ මාහැඟි අවස්ථාව සමරන මෙවන් සමයක ඒ උතුම් ධර්මදූත සේවාවට හා තෙවැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජතුමා පිළිබඳ වෙසෙසින් අවධානය යොමු වේ. එතුමන්ට ශාසන ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවන අතරම ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට එතුමන්ගේ ගුණ සිහිකිරීම අතිශයින්ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි. බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ.
    වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක. “ස්වාමීනි අර පෙනෙන්නේ මී පැණි විකුණන තැනයි”යනුවෙන් එම ස්ත්‍රිය අත දිගුකොට පෙන්වූ විට පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේට මී පැණි නොලැබුණොත් තමන් හැඳ සිටි ඇඳුම හෝ විකුණා මී පැණි ලබාදෙමි’යි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියාය. මී පැණි වෙළෙඳසැල ඉදිරිපිටට පසේ බුදුන් වහන්සේ පැමිණි පසු උන්වහන්සේ ඉදිරියට පැමිණි වෙළෙන්දා පසඟ පිහිටුවා වැඳ පාත්‍රය අතට ගෙන මී පැණි කළයක් පාත්‍රයට වත් කළේය. පාත්‍රය පිරී ඉතිරී මීපැණි පිටතටද ගලා ගියේය. එය දැක වෙළෙන්දා මහත්සේ සතුටුව මී පැණි දුන් පිනෙන් දස දහසක් යොදුන් දඹදිව එක්සේසත් කොට දඹදිවට අගරජ වෙම්වා යි පැතීය.පසේ බුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු එනවිට ඉහතකී ස්ත්‍රිය හමුවිය. මී පැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේ දැයි ඇසුවාය. ඔහු දඹදිව අග රජකම පැතූ බව ප්‍රකාශ කළ විට “මඳක් වැඩ සිටිය මැනැවයැ” යි පවසා එම ස්ත්‍රිය වහ වහා නිවෙසට ගොස් තමා හැඳ සිටි වස්ත්‍රය සෝදා, වළල්ලක් කොට පාත්‍රය යටට තබා ගන්නැයි පසේ බුදුන් වහන්සේට පූජා කළාය. එසේ පූජා කොට මීපැණි වෙළෙන්දා අග රජවන විට එතුමාගේ අග මෙහෙසිය වෙම්වායි පැතුවාය. වෙළෙන්දා ගේ හා ස්ත්‍රියගේ පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවන බව දැන පසේබුදුන් වහන්සේ ස්ත්‍රිය බලා සිටියදීම අහසට නැඟී ගන්ධ මාදන පර්වතයට වැඩි සේක. එම මී පැණි පාත්‍රයෙන්ම පසේ බුදුන් වහන්සේගේ රෝගය සංසිඳිණි. ඉන් පසු එක් දිනෙක වෙළෙඳ සහෝදරයෝ තිදෙනා එකතුව වෙළෙඳාමේ අය වැය පරීක්‍ෂාකර බැලූහ.එවිට එක් මී පැණි කළයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසීය. තමා පසේ බුදුන් වහන්සේ නමකට මී පැණි කළය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතහොත් මී පැණි කළය හෝ එහි මිල හෝ දෙමි’යි කීය. “නුඹගෙන් ණය ගන්නේ කෙසේදැ’යි විමසූ වැඩුමල් සොහොයුරෝ දෙදෙනා එම මුදල් තිබිණි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යැයි පැවසූහ. “නුඹලා වරදක් නොසිතන්න. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, කාෂාය වස්ත්‍ර දරන පසේ බුදුන්වහන්සේ නමකටයි මී පැණි පූජා කළේ යැ’යි බාල සහෝදරයා කීය. ‘එම්බා මලණ්ඩ, මෙකල සැඩොල් කුලේ අයත් කාෂාය වස්ත්‍ර හැඳ ඇවිදියි. නුඹ දන් දුන්නේද එවැනි සැඬොලෙකුට වෙන්න ඕනෑ යැ’යි වැඩුමල් වෙළෙන්දා පැවසීය. “තොප මී පැණි දන් දුන් අයගෙ ගුණ අපට කියන්නේ ඇයි? තොපගේ පසේ බුදුන් මූදින් එතෙර දමා පියව‘යි දෙවැනි වෙළෙන්දා කීය. “මහානුභාව සම්පන්න ඒ පසේ බුදුන් වහන්සේට එසේ නොකියනු මැනැවි. සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි යැ’ යි බාල සහෝදරයා කීය. ‘තොප ඔය හැටි කියන්නේ නම් අපිත් පින් අනුමෝදන් වෙමු යැයි’ සාධුකාරදී පින් අනුමෝදන් වූහ. මෙසේ පින් සිදුකරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරි සරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබූහ. මී පැණි දන්දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල වෙළෙන්දා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් උපත ලැබීය. මී පැණි වෙළෙඳ සැලට අත දිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධිමිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසොව බවට පත්වූවාය. පසේ බුදුන් මූදින් එතෙර දමව’ යි කී දෙවැනි වෙළෙන්දා ඒ නිසාම දඹදිව නොඉපිද ලක්දිව දේවානම්පියතිස්ස නමින් උපත ලැබීය. පසේ බුදුන් චණ්ඩාලයකු වේදැ’යි කී වැඩුමල් සහෝදරයා සැඩොල් ගමක නුග ගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදිවී රහත් බව ලැබීය. (ඔහු රජතුමාගේ සුමන නම් සහෝදරයකුගේ පුත්‍රයා වන අතර සැමියා යුද්ධයෙන් පැරැදී මැරී වැටුණු බව අසා දේවිය භයින් තැතිගෙන දුවද්දී මේ නුග ගස යටදී දරු උපත සිදුවූ බව සදහන් වේ) මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළේය. ‘සහස්සවත්ථු’ හා ‘සීහලවත්ථු’ කථාවල දැක්වෙන ආකාරයට ඔහු ලක්දිව උපත ලබා පැවිදිව ‘ඛුජ්ජතිස්ස’ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධව පිරිනිවන් පෑ බව සඳහන් වේ. 

    සතර පෝය ගැන හිතමු



    ශාස්ත්‍රපති 
    දොඩම්පහල ශ්‍රී රාහුල හිමි
    අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා. පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා
    අප බොහෝ වෙලාවට කතා කරන්නෙ ඉදිරිය සාර්ථක කර ගන්න, දියුණු වෙන්න අවශ්‍ය කරන මතවාදයක් ගැනයි. නමුත් සාකච්ඡා කරන විට අප අලුත් දේ ඔස්සේ යා යුතුද ? එසේත් නැත්නම් අතීතයේ කළ කී දේ ඔස්සේ ගමන් කළයුතුද? යන ප්‍රශ්නය අපට මතුවනවා. අප හිතනවා ලංකාවේ දියුණුවට නම් බෞද්ධයන්ගේ අභිවෘද්ධිය පිණිස අප මොනවද කළ යුත්තේ කියා.
    එහිදී අප ඇත්තට මුහුණ දෙනවා නම් කළ යුත්තේ ඉදිරියට නොව ආපස්සට හැරී කළ කී දේ ගැන තේරුම් ගැනීමයි.
    අතීතයේ අප කළ කී දේ නැවත අපට කරන්න පුළුවන් නම් එය මහත් ජයග්‍රහණයක්. විවිධ තාඩන පීඩන තුළින්, දඬුවම් කිරීම් තුළින්, ඝාතන තුළින් අතීතයේ අපේ තිබුණු සියලු සංස්කෘතීන් නැතිවුණා. අද අප නිදහස ලබලා අවුරුදු 60 ගණනක් වුනත් අපෙන් ගිලිහී ගිය ඒ සංස්කෘතිය අපට තවම ලබා ගන්න බැරිවෙලා.
    යටත් විජිත සමයේ සිට අපෙන් ගිලිහී ගිය සංස්කෘතිය යළි අපට තවමත් ගොඩනගා ගැනීමට හැකිවී නැහැ. මේ අතරින් හතර පෝය මුල් තැනක් ගන්නවා.
    අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා.
    පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා. මේ පොහොය සතර අතීතයේ සියලු ලාංකිකයන්ට නිවාඩු දිනයන් බවට පත්වූවා. අපට නිවාඩු දිනයන් ලෙස සෙනසුරාදා, ඉරිදා දිනයන් නොව සතර පෝය ලබා දී තිබුණා. සෙනසුරාදා, ඉරිදා දින අපට මිෂනාරීන්ගෙන් ලැබුණු නිවාඩු දිනයන්. අප චන්ද්‍ර මාස ක්‍රමයටයි නිවාඩු දින තීරණය කළේ. මේ දිනවල ආගමික වශයෙන් කාලය ගත කළා. එම දිනවල විහාරස්ථානයට ගොස් කාලය ගත කළා. අද මේ තත්ත්වය දකින්න පුළුවන්ද ? යම්කිසි බලපෑමකින් හෝ අප විහාරස්ථානයට යන්නේ පසළොස්වක පොහෝ දිනට පමණයි. ඒ තත්වයන් බෞද්ධයන් ලෙස අපට සෑහීමකට පත්වන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. අතීතයේ සතර පෝයටම වැඩසටහන් සංවිධානය කළා. හතර පෝයට සිල් ගත්තා. ඒ සිල් ගැනීමේදී අපේ විශාල පිළිගැනීම් තිබුණා. විශේෂයෙන්ම ලෞකික කාර්යයන්හි මේ දිනවල නොයෙදිය යුතු බවට අප අතර මතයක් තිබුණා.
    එමෙන්ම පොහොයත් සමග නැකත් ශාස්ත්‍රය අත්වැල් බැඳ ගත්තා. ඒ දිනවල කාමය උද්දීපනය වන, මෝහය උද්දීපනය වන, ලෝභය උද්දීපනය වන වැඩපළවල නියැළුණේ නැහැ.
    පෝය දවස තුවාලයක් වුවහොත් රුධිර ගලනය වැඩි බව, සර්පයෙක් දෂ්ට කළොත් විෂ ශරීර ගතවීම වැඩි බව ආදී වශයෙන් විශ්වාස තිබුණා. ගොවිතැන් කටයුතු කර්මාන්ත කටයුතුවලින් ඈත්වෙලා මේ දවස් හතර පන්සල ඇසුරු කරගෙන ජීවත්වුණා.
    ඒ විදිහට මාසයකට දවස් 4 ක් අවම වශයෙන් පන්සල ඇසුරු කරගෙන ජීවත් වුණා. සියලුම දේ සිතා බලා කටයුතු කරන්න කාලයක් තිබුණා. මත් වතුර වැනි දුරාචාරවල නියැළෙන්න, එහෙම නැතිනම් ගෙදර දොරේ වැඩ කර ගන්න ඒ දින යොදාගත්තේ නැහැ.
    එහෙම නැතිනම් විනෝද ගමනක්, නෑදෑ, හිතවතුන් හමුවෙන දවසක්වත් නෙවෙයි.
    එදා අපේ රටේ කිසිවකු එම දිනය එවන් කටයුතු සඳහා යොදාගත්තේ නැහැ.
    ආගමික කටයුතු සඳහාම පමණයි එම දිනය යොදා ගත්තෙ. අප මාසෙකට දින 26 ක් පමණ ශරීරය වෙහෙසා වැඩ කරනවා. ඉතිරි දවස් 4 ආගමික වැඩ සඳහා යොදාගෙන මනස සංවර්ධනයට යොදා ගත්තා. එමෙන්ම එදින ශරීරයට යම් විවේකයක් ලබා දෙන්න එම දිනය යොදා ගත්තා.
    අපේ රට නැවත වරක් යහපත් සමාජයක් කරා යාමට උත්සාහ දරනවා නම් හතර පෝය ආගමික වැඩ කටයුතු සඳහා පමණක්ම යොදාගත යුතු වනවා.
    අප අපේ බෞද්ධ වැඩ කටයුතු සඳහා බෞද්ධ ප්‍රතිපදාවක් යොදාගෙන, බෞද්ධ ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු වෙනවා. අප ගසක් කපනකොට පවා කැලය ගැන සොයා බලනවා. වර්තමානයේ විද්‍යාඥයන් එදා අපේ තිබූ ඥානය ගැන සතුට පළ කරනවා. මෙවැනි කරුණු ගැනයි අප අවධානය යොමු කළයුතු වන්නේ. එහෙයින් කරන්න පුළුවන් පැත්ත ගැන පසුව සිතා බලා හතර පෝයට සීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න විහාරස්ථාන කටයුතු කළයුතු වෙනවා.අපේ බෞද්ධ අනන්‍යතාව හෙළිකර යුතු වනවා.
    පෝයටත් සතියේ පොළ විවෘත කරනවා නම්, පෝයටත් ව්‍යාපාර කටයුතු කරනවා නම් එහි ඇති ආගමික පසුබිම මොකක්ද?
    සතර පෝය බෞද්ධයින්ගේ ආගමික දිනය වශයෙන්ම අප වෙන් කර ගතයුතු වන්නේ ඒ නිසයි.
    සාකච්ඡා කළේ: තාරක වික්‍රමසේකර

    පරම දුර්ලභ බුදුඋපත



    රුහුණ විශ්වවිද්‍යාලයේ 
    කුලපති 
    අග්ගමහා පණ්ඩිත
    පල්ලත්තර
    ශ්‍රී සුමනජෝති නා හිමි

    එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මා සම්බුද්ධො.
    (අංගුත්තර නිකාය - ඒකක නිපාත)
    “මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝක සත්වයන් වෙත අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, එක ම පුද්ගලයකු පමණයි ලෝකයෙහි උපදින්නෙ. කවරෙක්ද එම එකම පුද්ගලයා? අර්හත් සම්‍යක් සම්බුද්ධයාණෝයි.”
    අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය මහාබෝසත් තාපසතුමාගේ බුදුවීමේ සිට වසර 2602 වැන්නයි. බුදුන් වහන්සේ දෙසූ නිබ්බානගාමිනී සද්ධර්මය පිළිපදින අප උන්වහන්සේගේ සුවිශේෂත්ව ගුණ පිළිබඳ නිරතුරු සිහිපත් කිරිම අපේ ජීවිත ආලෝකවත් කරගන්නට අතිශයෝපකාරි වන බව සිහිකරන්න. බුදුන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ ධර්මය තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ ලෙස දැනගනු ලැබිය යුතු බවයි. ධර්මය දැන බුදුන් පිළිබඳත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳත් එසේම ප්‍රත්‍යක්‍ෂයෙන් දතයුතුයි. බෞද්ධයා අන්ධ භක්තිකයකු නොවේ. ඔහු හැමදේම පිළිගන්නේ පසක්කොට දැකීමෙනි.
    බුදුරජාණන් වහන්සේ, බුදුන් පිළිබඳ කරන ලද දේශනාවකදි ‘සුඛො බුද්ධානං උප්පාදො’ යනාදි ගාථා පාදයෙන් වදාළේ බුදු කෙනකුගේ ලොව පහළවීම ලෝකයාට සැප ගෙන දෙන බවයි. ඒ සැපය ලෞකික, ලොකෝත්තර වශයෙන් දෙකක් වේ. ලෞකික සැපය නම් සසර සැපයයි. ධන ධාන්‍ය, වතු පිටි, ඉඩකඩම් ,වාසනාවන්ත දූදරුවන් ආදිය ලැබීමෙන් ඉන්ද්‍රිය පිනවීමෙන් විඳින සැපය වෛදයිත සැපයයි. ලොකෝත්තර සැපය නම් සසරින් එතෙර වීමෙන් හෙවත් පිරිනිවීමෙන් ලබන සදාකාලික අවේදයිත සැපයයි. මේ දෙයාකාර සැපයම නිසිපරිදි ලැබිය හැක්කේ බුදුරදුන් වදාළ උපදෙස් අනුව ක්‍රියා කරන්නාට යි. මේ අනුව, සත්වයන්ට මේ දෙයාකාර සැපයම නිසිලෙස භුක්තිවිඳින්නට හැකිවන්නේ ඒ හරි මඟ කියා දෙන බුදුවරයකු ලොව පහළ වුවහොත් පමණි.
    ලෝකයා අපේක්‍ෂා කරන ඉහත කී දෙ සැපයම ලබන්නට උපකාර වන අසහාය උත්තමයා වන බුදුන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ දේශනාවන්ගෙන් එක් දේශනයක් අනුසාරයෙන් කළ කෙටි විස්තරයක් මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරමි. ඉහතින් දැක්වූයේ එම දේශනයයි.
    මේ දේශනාවේ, ඒකපුග්ගලො යි වදාළේ මෙවැනි දෙවැනි පුද්ගලයකු ලොව උපදින්නේ නැත කියන බවයි.බුදුරදුන්ගේ දේශනා ‘සම්මුති දේශනා’ සහ ‘පරමත්ථ දේශනා’ වශයෙන් දෙයාකාරයි.සම්මුති යැයි පැවසුවේ, අප යමක් වෙන්වෙන් කොට හඳුනා ගැනීමට තබාගන්නා මනුස්ස, බ්‍රහ්ම, යක්ඛ, රුක්ඛ, ඉත්ථී, පුරිස, මොග්ගල්ලාන ආදි පටබැඳි නාමයි. සම්මුතිය එසේ හුදෙක් පනවා ගැනීමක්ම වුවද සැබෑවටම පවතින්නේ පරමාර්ථ ධර්මයි. චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන යන එම පරමාර්ථ ධර්ම සතරයි. (මේවා පිළිබඳ වැඩි විස්තර දැනගන්න අංගුත්තර නිකාය අට්ට්කථාවෙහි ඒක පුග්ගල වග්ගය කියවන්න.) සත්ව හෝ මනුෂ්‍යයනගේ සම්මුති ය ඒ නම් දෙකමයි. රූපාදී පඤ්චස්කන්ධයද එහිම පරමාර්ථයි. ඒ අනුව, ’ඒකපුග්ගල’ යන්න සම්මුති වශයෙන් ගත්කල බුදුන් වහන්සේ ට වඩා උසස් හෝ ඒ සමාන හෝ තවත් පුද්ගලයකු නැත යන්නයි. සම්මා සම්බුදුවරයකු සමාන වන්නේ තවත් එවැනි සම්මා සම්බුදුවරයකුටම පමණයි. ලොකෙ’ යි දැක්වූයේ ඕකාස ලෝක, සත්ව ලෝක, සංඛාර ලෝක යන තුනෙන් මෙතැනදි නම් සත්ව ලෝක යන්නයි. එනම් අප ජීවත් වන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකයි.
    අසමසම එකම උත්තමයාණන් වහන්සේ ලොව උපදින්නෙ අන්කිසිවකට නොව බහුජන සිත පිණිස බහුජන සැප පිණිස ලෝක සත්වයා කෙරෙහි සානුකම්පිතව මෙන්ම දෙවි මිනිසුන්ගේ යහපත, හිතය, සැපය පිණිසයි. දීපංකර බුදුන් වහන්සේ ගෙන් නියත විවරණ ලබාගෙන සම ත්‍රිංසත් පාරමි පුරා අවසන් ආත්මභාවයෙහි මහා මායා මව් බිසවගේ කුස පිළිසිඳ වෙසක් පුර පෝ දිනෙක මෙලොව එළිය දැක එකුන් තිස් වියේදී අභිනික්මන් කොට සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට වෙසක් පුර පෝ දිනෙක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ දෙව්, මිනිසුන්ගේ යහපත පිණිසයි. එසේ නොවේනම් මෙයට සාර සංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දීපංකර බුදුන් දවස සුමේධ තාපසව සිටියදී සසරින් මිදෙන්නට තිබුණි. එම අවස්ථාව ඉවත දමා සසර අපමණ දුක් විඳින්නට ඉදිරිපත් වුණෙ “කිං මේ අඤ්ඤාන වෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ, සබ්බඤ්ඤුතං පාපුනිත්වා සන්තාරෙස්සං සදෙවකං” යි වදාළ පරිදි “හුදෙකලා මා පමණක් සිවුසස් අවබෝධ කරන්නේ කුමටද? තව කොපමණ සත්වයින් මේ ගොර බිරම් සසර දුක් විඳිනවද ? එහෙයින් මා බුදු වී දෙවියන්, මිනිසුන් සහිත ලෝසතුන් සසරින් මුදවා ගනිමියි යන උදාරතර කරුණාවෙනි.
    ’බහුජන හිතාය’බහුජන සුඛාය’ යනුවෙන් අදහස් කරන්නේ මහජනතාවගෙන් බොහෝ දෙනකු ගේ යහපත පිණිස සහ මහජනයාගෙන් බොහෝ දෙනෙකුගේ සැප පිණිස මේ අසහාය අද්විතීය උත්තමයා උපදින බවයි. ලෝකානුකම්පාය, සත්වලෝකයාට අනුකම්පා පිණිස යි මේ අසමසම උතුමන් වහන්සේ උපදින්නේ. උන්වහන්සේ සම්මා සම්බුදු බවට පත්වී පවත්වන ධර්ම දේශනය නුවණැත්තෝ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කර ධර්මය නමැති අමෘතයෙන් සැනසී චතුරාර්ය සත්‍යය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර ගනිති. ඒ අනුවයි, සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් ඉක්බිති ඇසළ පුර පෝ දින බරණැස ඉසිපතනයේදි “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවි තබ්බා. යො චායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො, යොචායං අත්තකිලමතානුයොගො.” යනාදී වශයෙන් දම්සක් සතුරේ සිට සුවාසු දහසක් ධර්මස්කන්ධය පන්සාළිස් වසක් ඇතුළත දිවා රෑ නොබලා ඔබට අපට දේශනා කළේ ඒ ඔබ අප සසරින් මුදන්නයි.
    ඉහත කී මේ අසහාය උත්තමයා කවරෙක්ද කියා බුදුන්වහන්සේම භික්‍ෂූන්ගෙන් ප්‍රශ්න කොට තමන්ම ඒ බව හෙළිකරනු කැමැත්තෙන් තථාගතො අරහං සම්මා සම්බුද්ධොයි වදාළසේක. දීපංකරාදි සූවිසි බුදුවරුන් වැඩිය මඟ වැඩම කළ නිසා තථාගතයයි සඳහන් වන අප බුදුරජාණන් වහන්සේ සමත්‍රිංසක් පාරමි ධර්මයන් පෙර බුදුවරුන් මෙන්ම අනන්ත අප්‍රමාණ කාලයක් වෙහෙසී සම්පූර්ණ කර සම්මාසම් බුද්ධත්වයට පත්වූයේ දෙව්, මිනිසුන්ට හිත සුව පිණිසයි. මෙ බඳු පුද්ගලයෙකු ලොව පහළ වීම අතිශය දුර්ලභ බව “දුල්ලභො පුරිසාජඤ්ඤා න සො සබ්බත්ථ ජායති, යත්ථ සො ජායති ධීරො තං කුලං සුඛමෙධති” යි වදාළ ලෙසින් තවදුරටත් දැක්වෙයි. මෙබඳු උතුමකු මේසත්ව ලෝකයෙහි උපත ලැබීම දුර්ලභයි. අතිශයින් දුර්ලභයි. අත්‍යන්තයෙන්ම දුර්ලභයි.
    එබඳු උතුමකු ලොව පහළ වූ විට උන්වහන්සේගේ මහා කරුණාවට පාත්‍රවන ලොව දෙව්, මිනිස්සු ඒකාන්තයෙන්ම සැපයෙන් සැපයට පත්වෙති. “කිච්ඡො බුද්ධානං උත්පාදෝ” බුදුවරයකු උපදින්නේ ඉතා දීර්ඝ කාලයකිනි. එකම කාල පරිච්ඡේයක බුදුවරුන් දෙනමක් උපදින්නේ නැත. එහෙයින් බුදුන්වහන්සේ යනු දිගුකලකින් ලොව පහළවන එකම අසහාය උත්මයාණන් වහන්සේ ය.
    ”සුඛො බුද්ධානං උප්පාදො”

    Friday, 5 July 2013

    සැබැමිතුරන් හදුනා ගනිමු.


    බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මේ මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි.අපට මිතුරන් තෝරාගැනීමේදී බුදුරදුන් යම් කිසි පිලිවෙතක් වදාල සේක.එය නම් මිතුරෙකු තෝරාගැනීමේදී මුලින්ම අපට වඩා ගුණයෙන් ඉහල අයෙකු තෝරා ගැනීමයි.එසේත් නැත්නම් අපට ගුණයෙන් සමාන හෝ මිතුරෙකු තෝරා ගැනීමයි.අප බලාපොරොත්තු වන මිතුරාගේ එම ගතිගුණ නොමැතිනම් තනිව වාසය කිරීම වඩාත් සුදුසුයැයි බුදුරදුන් පෙන්වා දුන් සේක.

    මිතුරන් ප්‍රධාන කොටස් 2කි. ඒ කළ්‍යාණ මිතුරන් (යහපත් මිතුරන්) හා පවිටු මිතුරන්ය (පාප මිත්‍රයන්).බුදුරජාණන් වහන්සේ
    කළ්‍යාණ මිතුරන් සිව් දෙනෙකුත් පවිටු මිතුරන් සිව් දෙනෙකුත් බැගින් වදාලහ.මෙතැන් සිට අපි ඔබට පෙන්වා දෙන්නේ ඒ ඒ
    මිතුරා තුළ ඇති ලක්ෂණයන්ය.

    පාපමිතුරන්

    1. අඤ්ඤදත්තුහර – කිසියම් දෙයක් රැගෙන යාමට කඩාවඩා ගැනීමටම තැත් කරයි.


    2. වචීපරම – අතීතයෙන්,අනාගතයෙන් තේරුමක් නොමැති වචන වලින් සංග්‍රහ කරයි.
    3. අනුප්පියභාණි – හොද දේත්,නරක දේත් බොරුවට වර්ණනා කරයි.
    4. අපායසහායක – සුරාවට ආදී පව් කම් වලට උදව් කර අපායගාමී කරවීමට තැත් කරයි.

    කළණ මිතුරන්

    1. උපකාරක – අපට සැමවිටම උදව් කරයි.ආරක්ෂා කරයි.
    2. සමාන සුඛදුක්ඛ – දුකේදීත් සැපේදීත් එකට සිටී.මිතුරාගේ රහස් රකී.
    3. අත්ථක්කායි – පවින් වළක්වයි.යහපතෙහි යොදවයි.
    4. අනුකම්පක – අනුකම්පා සහගතව දියුණුවේදී උදව් කර ආශිර්වාද කරයි.(ප්‍රශංසා කරයි)

    සැබෑ මිතුරෙක්නම් තම හිතවතාගේ වැරදි පෙන්වා දිය යුතුය.නිවැරදි මග පෙන්වා දිය යුතුය.ඔබට තිසරණයේ පිහිටීමට,ධර්මය ඉගෙනගැනීමට,ධර්ම මාර්ගයේ ගමන් කිරිමට යම් මිතුරෙක් උපකාර කලේද ඔහුට දිවා රෑ වැදවැටුනද කලගුණ සලකා නිමා කල නොහැකි බව ධර්මයේ සදහන් වේ.අපට නිර්වාණය පිණිස ශ්‍රද්ධාව ඇතිකල ගත යුතු වේ.එම ශ්‍රද්ධාව ඇතිකරගැනීමටනම් ධර්මශ්‍රවණය කළ යුතු වේ..ධර්ම ශ්‍රවණයටනම් ධර්මය කියාදෙන කළණ මිතුරන් සිටිය යුතුය.

    මෙම කෙටි ලිපිය කියවූ ඔබට තෙරුවන් සරණයි

    ලෝකයා සමඟ විවාද නොකරන බුදුහිමියෝ



    ගනේමුල්ල 
    ආනන්ද බෝධි ධර්මායතනාධිපති
    ශාස්ත්‍රපති
    පාතේගම සුමනරතන හිමි

    මිථ්‍යා දෘෂ්ටියෙන් බැසගත් තැනැත්තාහු නානා සත්‍යයක් ම කියයි. “ තස්මා න ඒකං සමණා වදන්ති” ඒ කරුණින් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්. මහණෙනි, “ දිට්ඨ” දුටු දෙය, “සුත” ඇසූ දෙය, “මුත” නාසයෙන් ආග්‍රහණය වූ දෙය, දිවට ගත් රසය සහ සමට ස්පර්ෂ වූ දෙය, “ විඤ්ඤාත” මනසට ගත් ධම්ම ආරම්මණය යන ප්‍රඥප්ති වල ලෝකයා පිහිටා සිටින බැවින් මහණෙනි, මම දුක යැයි පවසන දෙය ඔවුන් සැප යැයි පවසමින් මා සමඟ විවාදයට පැමිණෙත්. මහණෙනි, මේ රූපය ලොව ලෝක ධර්මයකි.
    තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරේ. මැනවින් දැන ගනී. මැනවින් අවබෝධ කොට මැනවින් දැනගෙන දේශනා කරයි. පනවයි, පිහිටුවයි, විවරණය කෙරෙයි, බෙදයි, උඩුකුරු කෙරෙයි, මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි, දේශනා කරනු ලබන කල්හි, පනවනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවරණ කරනු ලබන කල්හි, බෙදා දක්වනු ලබන කල්හි, උඩුහුරු (යටිකුරු වූ දෙයක් උඩු අතට හැරවීම සේ) කරනු ලබන කල්හි, යමෙක් නොදනී නම්, නොදකී නම්, මහණෙනි, අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන් සත්ත්වයන් ට මම කුමක් කරම් ද?
    රූපය පමණක් නොව වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේ සියල්ල මහණෙනි ලෝක ධර්මයෝය, “රූපං භික්ඛවේ අනිච්චං, දුක්ඛං. විපරිනාමධම්මං අත්ථිසම්මතං ලෝකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථිති වදාමි” මහණෙනි අනිත්‍යය වූද, දුක්ඛ වූද, විපරිණාම තත්ත්වයට පත්වන්නා වූද, රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මම ද එය ඇතැයි කියමි. පණ්ඩිතයන් විසින් ඇතැයි යැ’ යි පැවසූ දෙය තමන් වහන්සේ ද ඇතැයි යැ’ යි සලකන්නේ ය. පණ්ඩිතයන් විසින් නැතැයි යැයි පවසන ලද්ද තමන් වහන්සේ විසින් නැතැයි යැයි දේශනා කරති. මෙසේ පණ්ඩිතයා යැයි සලකනු ලබන්නේ භාෂා ශාස්ත්‍ර විෂයයන් ගෙන් පරිචය දත් අය නොව මාර්ග ඵල ලද බුදු පසේබුදු මහරහතුන් ය.
    අපේ බුදුරජාණන් වහන්සේ එව බලව යැයි ධර්මය දේශනා කරන අතර ඕනෑම කෙනෙකුට සන්දිට්ඨික වූ ද, අකාලික වූද, ඕපනයික වූද, පච්චත්ත වේදිතබ්බ වූ ද, ධර්මය අනුගමනය කිරීමෙන් ක්ෂාත්සාත් කර ගැනීමට අවස්ථාවක් ආරාධනයත් විවෘත කිරීමත් නොසඟවා එළි කිරීමත් මගින් දෘෂ්ටි වහලුන් බවට පත් නොවී, ධර්මය ප්‍රගුණ කිරීමෙන් වාද විවාද නැති තැනක් අවබෝධ කර ගැනීමට ඉඩ හසර ලබා දී ඇත.
    අද සමාජය තුළ බෞද්ධයන් හා අන්‍යාගමිකයන් අතර පමණක් නොව බෞද්ධ ආගමිකයන් අතර වුව ද, ධර්මය සම්බන්ධයෙන්, මාර්ගය සම්බන්ධයෙන්, ආජීවය සම්බන්ධයෙන් වාද විවාද පවතින බව නොරහසකි. ඊට හේතු වී ඇත්තේ අලගද්දූපම සූත්‍රයේ සඳහන් කළාක් මෙන් සර්පයන් ඇල්ලීමට නොදත් පුරුෂයෙකු සර්පයාගේ කඳ මැදින් ඇල්ලීමෙන් කරගත් විපතක් මෙනි.
    ධර්මය වැරැදි විදිහට තේරුම් ගැනීමෙන්, බාර ගැනීමෙන් දෘෂ්ටි මත අතහැරීම වෙනුවට එමගින් දෘෂ්ටි මත ආරෝපණය වී ඇති ආකාරයකි.
    විවාද රහිත වූ මහා කාරුණිකයන් වහන්සේගේ මේ උතුම් ධර්මය පින්වත් ඥානවන්ත මිනිසුන් විසින් අනුගමනය කිරීමෙන් අප්‍රමාදීව ශාන්ත සැපය ළඟා කර ගත මැනවි.

    උළුක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාමය



    විහාරාධිපති තුරුවිල ඥානානන්ද හිමි අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිහිටි උළුක්කුලම නම් වූ ගම්මානය මේ වන විට වන අලි තර්ජනයට පවා ලක්වන ඉතා දුෂ්කර ගම් පියසකි. මෙහි ප්‍රදේශවාසීන් ජීවත්වනුයේ ගොවිතැන ජීවනෝපාය කරගනිමිනි. එහෙත් විවිධ කාලගුණික වෙනස්වීම් මත සිදුවන හානි මධ්‍යයේ ගොවිතැන පවා රැකගැනීම ඔවුන් හමුවේ ඇති අභියෝගයකි. මේ ගම්මානයට ඇති එකම බෞද්ධාගමික මධ්‍යස්ථානය වන්නේ වසර 120 ට වඩා පැරැණි ශ්‍රී‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයයි. අනුරාධපුර, මහබුලන්කුලම, උළුක්කුලම, ශ්‍රී
    බෝධිරුක්ඛාරාමයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ ලෙස තුරුවිල ඥානානන්ද හිමියෝ වැඩ වාසය කරති. සිසු දරු දැරියන් 200 දෙනකු පමණ දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී පියරතන දහම් පාසලද විහාරස්ථව පවත්වාගෙන යනු ලැබේ. ශාසනාරක්‍ෂක බලමණ්ඩල හා විවිධ පළාත් තරගවලදී ඉහළ දස්කම් දැක්වූ දූ දරුවෝ රැසක් එහි ඉගෙනුම ලබති. එසේම ප්‍රදේශයේ ජනතාවට විවිධ ආගමික අවස්ථාවන්හිදී මූලික වී මඟ පෙන්වීම ලබාදෙන මේ විහාරස්ථානයේ මරණාධාර සමිතියක්ද පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාංග සංවර්ධනය කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතී. ආර්ථික දුෂ්කරතා ඇතත් ගම්වැසියෝ තම ශක්ති පමණින් මෙහි සංවර්ධන කටයුතු කරගෙන යති. තමන්ට අයිති එකම ආගමික මධ්‍යස්ථානය රැක ගැනීම ඔවුන්ගේ අරමුණයි. විහාරස්ථානයේ අලුත්වැඩියා කරගත යුතුව ඇති ගොඩනැඟිලි මෙම විහාරස්ථානයේ විහාරගෙය, සංඝාවාසය සහ ඉදිරිපස දොරටුව අලුත්වැඩියා කරගත යුතුව තිබේ. එමෙන්ම දහම්පාසල සඳහා පවතින ගොඩනැඟිලිවල හිඟකම පමණක් නොව ක්‍රමවත් වැසිකිළි පහසුකම් නොමැතිවීමද සකස්කරගත යුතුව ඇති අඩුපාඩු වේ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යන මේ ග්‍රාමයේ ජනතාවට විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු අවැසි වියදම් දරමින් කරගෙන යෑම පහසු නොවේ. එබැවින් මෙහි සංවර්ධන කටයුතු සඳහා ආධාර කොට මහගු පුණ්‍යකර්මයකට අතහිත දී නිවන් මඟ සලසා ගන්නා මෙන් විහාරාධිපති හිමියෝ ශ්‍රී‍්‍ර ලාංකේය බෞද්ධ හා බෞද්ධ නොවන ජනතාවට කාරුණිකව සිහිපත් කර සිටිති. 

    අරහත් මහා කස්සප චරිතාපදානය


    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
    පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
    හිටපු කථිකාචාර්ය 
    අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
    ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
    මහරැඹෑවැවේ පාලිත හිමි
    පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ශ්‍රාවක අපදානයන්හි ඇතුළත් මහා මොග්ගල්ලාන අපදානයෙහි එන පෙර ජන්මයන්හි උන්වහන්සේ කළ කර්ම හා ඒවා මතු ආත්මයන් සඳහා බලපෑ ආකාරය යි. අද අප විමසා බලන්නේ මහා කස්සප ආපදානය යි.
    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනෙහි විසූ ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශාසන භාරකාරත්වය හිමි වන්නේ ද උන්වහන්සේට ය. පළමු ධර්ම සංගායනාවේ මූලිකත්වය ගන්නේ ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ය. එපමණක් නොව උන්වහන්සේ ගෞතම සම්බුදු සසුනෙහි “ධූතංගධාරී” භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට ද පත් වූහ. මේ උන්වහන්සේගේ ස්වයං කථික චරිතාපදානයයි.
    අටලෝ දහමෙහි නොසැළෙන ගති ඇති ලෝක ජ්‍යෙෂ්ඨ වූ ‘පදුමුත්තර’ සම්බුදුරජාණන් වහන්සේගේ සසුන ලොව පැවැති සමයේ උන්වහන්සේ පිරිනිවන්පෑ කල්හි, දෙවියන් හා මනුෂ්‍යයන් විසින් උන්වහන්සේට විවිධ පූජා පවත්වන ලදී. ඔද වැඩි සිත් ඇති ජන සමූහයා අතිශයින් ප්‍රමුදිතව පූජා පවත්වන කල්හි මට පී‍්‍රතියක් ඇති විය.
    මාගේ නෑ මිතුරන් කැඳවා ‘ලෝක ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑහ. අපි උන්වහන්සේට ඒකාන්තයෙන් පූජාවක් කරමු යැයි යෝජනා කළෙමු” ඔවුහු එය මැනැවැයි පිළිගෙන, “අපි ඒ ලෝක නාථ වූ බුදුරජාණන් වහන්සේ විෂයෙහි මහත් වූ පින් රැස්කරන්නෙමු” යි මාගේ සතුට වර්ධනය වදාළහ.
    රියන් සියයක් උස් වූ මනාව නිමවන ලද අගෑවක් කොට රියන් 150 ක් පළල වූ විමානයක් කළෙමි. එහි තල්ගස් පෙළින් විසිතුරු වූ ප්‍රාසාදායක් කොට මගේ සිත පහදවා උතුම් චෛත්‍ය පිදුවෙමි. ඇවිලගත් ගිනිකන්දක් මෙන්ද පිපනා වූ සල් රුකක් මෙන්ද අහසෙහි බඳිනා ලද ඉන්ද්‍රධච්ඡය මෙන් ද ඒ ස්තූපය සිව්දිග බබුළුවයි.
    මම එහි සිත පහදවා බොහෝ කුසල්කොට පෙර කරනලද කුසලකර්මය සිහි කොට,තව්තිසා දෙව්ලොව උප්පත්තිය ලදිමි “ එහි මම අසුන් දහසක් යෙදූ දිව්‍ය යානයට නැගුණෙමි. ඉතා උස් වූ මාගේ විමානය මහල් හතකින් යුක්ත වූයේ උඩට නැගුණේ විය. තනි රනින් කරන ලද කූටාගාරයෝ (කුඩා ප්‍රමාණයේ කුටි) දහස් ගණනක් එහි විය. ඒවා ස්වකීය දීප්තියෙන් සියලු දිසාවන් බබුළුවමින් දිලිසෙත්.
    පද්මරාග මාණික්‍යයෙන්ම නිමා වූ වෙනත් විමන් ද එහි ඇත. ඒවායෙන් විහිදුවන පැහැයෙන් සිව්දිගම බබුළුවත් මාගේ පුණ්‍යකර්ම බලයෙන් මැනවින් නිර්මිත වූ ස්වර්ණමය කුළු ගෙවල් හාත්පස මෙසේ බැබළිණි. ඒ සියලු කුළුගෙවල්වල ශෝභාව අධික විය.මම සියලු දෙවියන් ඉක්ම වීමට සමත් වුණෙමි.මේ මා කළ කුසල කර්මයේ බලයයි.
    කල්ප සැට දහසක් මුළුල්ලෙහි ‘උබ්බිද්ධ නම් ක්‍ෂත්‍රියෙක්ව සව් මහ සයුර හා සිව් මහ දිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වුණෙමි. සතුරු රජුන් ජයගෙන නිර්භයව වාසය කළෙමි. එසේම මේ භද්‍ර කල්පයෙහි තිස්වරක් මහත් පල ඇත්තේ ස්වකීය පුණ්‍ය කර්මයන්ගේ ඇළුණු සක්විති රජෙක් වුණෙමි. එහි ද මට දිගින් සූවිසි රියන් වූ පළලින් දොළොස් රියන් වූ ඉන්ද්‍රඛීලයක් වැනි වූ භවනක් පැන නැංගේය. විශාල පවුරු හා තොරණ ඇති දිගින් යොදුන් පන් සියයක් වූ පළලින් ඉන් අඩක් වූ ද, තව්තිසා වැසියන්ගේ දිව්‍ය පුරය හා සමාන වූ ජන සමූහයාගෙන් ගැවසීගත් ‘රම්මක’ නම් නගරයක් විය.
    යම් සේ ඉදිකටු ගුලාවෙහි ඉදිකටු විසිපහක් ලැබූ කල්හි ඒවා එකිනෙක ගැවසී, ගැටෙන්නේ යම් සේද එලෙස මාගේ මේ උතුම් රම්මක නගරය හස්ථී අශ්ව රථයන්ගෙන් පිරීගියේ මිනිසුන්ගෙන් හැම කල්හි ගැවසී ගත්තේ විය. එහි වාසය කරමින් සම්පත් අනුභව කරනුයේ ශරීරයේ අවසානයෙන් දෙව්ලොවට ගියේ මාගේ අන්තිම භවයෙහි ද කුසල සම්පත් ඇත්තේ විය.
    ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි මහත් වූ සම්පත් ඇති බමුණු කුලයෙහි උපන්නෙමි. දෙමාපියන්ගේ ඇවෑමෙන් අසූකෙළක් වස්තුව හැරදමා ගෞතම බුදුසසුනෙහි පැවිදි වුණෙමි.
    මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝද අෂ්ටවීමෝක්ෂයෝද ෂඩ්අහිඥාවෝද, සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකරන ලදිමි”

    Thursday, 4 July 2013

    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පරිවේණාධිපති මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක හාරිස්පත්තුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති බටුගොඩ සංකිච්චායන නා හිමි
    බොහෝ විට මිනිසුන් පාප ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ චේතනා මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකකුගේ දියුණුව, යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත්, ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. මෙබඳු ගති ඇති අය මෝහයෙන් වෙළී ඇති නිසා ඔවුන්ට වරද පෙන්වාදීමට ද අපහසු ය. නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං ගරුකං වාපි ආබාධං චිත්තක්ඛෙපංව පාපුණෙ (ධම්මපදය – දණ්ඩවග්ගය) කාරුණික පින්වතුනි, නිර්දෝෂි උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධාකරන අයට විඳීමට සිදුවන විපාක මෙම ගාථාවෙන් දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත් ඒවායෙහි විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳීමට සිදුවන බව අවධාරණය කර ඇත. එවැනි පව්කම්හි යෙදෙන්නන්ට ලැබෙන විපාක පහක් ඉහත ගාථාවෙන් ඉදිරිපත් කෙරෙන අතර ඒ සමඟම යෙදෙන අනෙක් ගාථා දෙකෙන් තවත් විපාක පහක්ද වශයෙන් විපාක දහයක් විඳුමට සිදුවන බව දේශනා කර තිබේ. අධම, විසම සමාජයේ සද්පුරුෂයන් මෙන්ම අසද්පුරුෂයන්ද දක්නට ලැබේ.ඇතැම් විට සද්පුරුෂයන්ට වඩා අසද්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සද්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි; කරයි; කියයි. ඔහු සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරමින් තමාගේත් අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව,අජීව ලෝකයටම හිතවත් වෙයි.ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සද්පුරුෂයන්ගේ ක්‍රියා කලාප අගය කරන අය මෙන්ම ඒවාට අකුල්හෙළන, ඒවා අගය නොකරන, ඒවාට බාධා කරන, එසේම සද්පුරුෂයන්ට විවිධ අවලාද චෝදනා නඟන, චරිත ඝාතනය කරන්නට වෙරදරනා අසද්පුරුෂයන් ද කොතෙකුත් සමාජයේ සොයා ගැනීමට පුළුවන. පහත් පුද්ගලයන් කෙතෙක් බාධා හිරිහැර කළත් ඒවායෙන් නොසැලී ,අකම්පිතව මහා නුග රුකක් මෙන්ද,මහා පර්වතයක් මෙන්ද කටයුතු කිරීම සද්පුරුෂයාගේ ලක්ෂණයයි. නිදොස් උතුමන්ට හිරිහැර කිරීම නින්දා අපහාස කිරීම අද පමණක් නොව ඉතා දුරාතීතයේ පවා සිදුවුණි. අපේ බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළ උදවිය බොහෝ සිටි බව බුදුසිරිතෙන් මනාව පැහැදිලි වෙයි. ඒවායෙන් නොසැලී ක්‍රියා කිරීම උන්වහන්සේගේ විශේෂ ගුණයකි. එය අපට ද ආදර්ශයකි. නූතන ශාසනාලෝකයේ ආදි කර්තෘන් වහන්සේ වන අසරණ සරණ වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන්ගේ උදාර ශාසනික මෙහෙවරට බාධා කළ, උන්වහන්සේට අපහාස කළ උදවිය පිළිබඳ බොහෝ දෙනා අසා ඇත. එසේම, නූතන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට බාධා කළ නින්දා කළ උදවිය පිළිබඳ අප අසා ඇත. කුමන බාධා, අපහාස ලැබුණත් උදාර අරමුණෙන් කටයුතු කළ එවැනි උතුමන් තම අභිලාශයන් ඉෂ්ට කරගත් අයුරුත්, ඒ තුළින් ලෝකයට සිදු වූ යහපතත් අපට පෙනේ. නින්දා අපහාස කරන මොහොතේ තාවකාලික වින්දනයක් ලැබුණත් එවැනි ක්‍රියාවල නිරතවන පව්කාරයන් කිසිවකුත් යහතින් දිවි අවසන් නොකරන බව කිව හැකිය.මෙලොව මෙන්ම පරලොවද දුක් පීඩාවලට භාජනය වන ඔවුන් මිහිරි ලෙස සිතා කළ ක්‍රියාවල විපාක විඳින විට ගිනිගොඩකට වැටුනවුන් ලෙස පීඩාවට පත්වන අයුරු දැක ගත හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් ඉහත සඳහන් ගාථාව දේශනා කරනු ලැබුවේ මහා මුගලන් හාමුදුරුවන් වහන්සේ මුල්කර ගෙනයි. මුගලන් තෙරණුවන්ගේ පරාර්ථ සේවය හේතුවෙන් බොහෝ දෙනා යහමඟට පැමිණ ධර්මයෙහි හැසිරෙමින් යහපත් ජීවිත ගත කරන්නට වූහ. මිථ්‍යාදෘෂ්ටික අදහස් දැරූ බොහෝ දෙනෙක් මෙම යහපත් ක්‍රියා නො ඉවසූහ. මිනිසුන් යහපතෙහි යොදවන
    මුගලන් තෙරුන් මිනීමරුවන් ලවා මැරවීමට කටයුතු යෙදූ නමුත් දෙවතාවක්ම සිය ඍද්ධි බල මහිමයෙන් දිවිගලවා ගැනීමට තෙරුන්ට හැකි විය. එහෙත් තුන්වැනි වතාවේ උන්වහන්සේ සොරුන්ට මුහුණ දුන්නේ මෙසේ ඔවුන් තමන් තලා පෙළා ඝාතනය කිරීමට පැමිණෙන්නේ තමන් වහන්සේ ඉහත ආත්මභාවයකදී සිදුකළ අකුසල කර්මයක විපාකයක් වශයෙන් හෙයිනි. එය නම් කිසි වරදක් නැති ගුණවත් තම මවුපියන්, කැලයට ගෙන ගොස් පහරදී ඔවුන් මරා දැමීමේ දරුණු ක්‍රියාවයි. මෙහි විපාක ආත්ම ගණනක් තිස්සේම වින්ද මුගලන් තෙරුන් රහත් වූ පසුද මෙසේ පීඩාවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව බුදුරජාණන් වහන්සේ වදාළ අතර, පව්කම්හි නොයෙදෙන ලෙස අවවාද කරමින්, එවැනි ක්‍රියාවල යෙදෙන්නන්ට අත්විඳීමට සිදුවන විපාක මෙසේ දේශනා කළ සේක. 1. අත් පා කැඩීම්, කැපීම්, පහර වැදීම් ආදී දරුණු ශාරීරික වධවේදනා විඳීමට සිදුවෙයි. 2. අව්වැසි පීඩා විඳීමින් දුකසේ උපයන වස්තුව විවිධ හේතු නිසා විනාශයට පත්වෙයි. 3. සිරුර පොඩිපට්ටන්ව යෑම්, හිස පැලීම්, අත්පා අහිමිවීම්, වෙඩිවැදීම්, අකුණු පහරවැදීම් ආදියට ලක්වෙයි. 4. සුවකළ නොහැකි, දරුණු රෝගවලට ලක් වන අතර විශේෂයෙන් චර්ම රෝග, අංශබාග, පිළිකා වැනි රෝගවලට ගොදුරුවෙයි. 5. සිහි විකල්පව උමතු බවට පත්වෙයි. පිස්සකු සේ ක්‍රියා කරයි. 6. රාජ උදහසට ලක්වෙයි. තනතුරුවලින් පහ වෙයි. 7. සොරසතුරන් විසින් ධනය පැහැර ගනු ලැබේ. 8. දරුණු දෝෂාරෝපණවලට හා අභූත චෝදනාවලට ලක් වෙයි. 9. තමාට හිතැති නෑදැ හිතමිතුරන් තමාට අහිමි වෙයි. 10. මතුවැඩ පිණිස රැස්කළ වස්තු අන්සතු වෙයි. ගේදොර ආදිය ගිනි ගැනීම් ආදි විපත්වලට ගොදුරු වෙයි. නිදොස් උතුමන්ට අවැඩ කර ඉහත සඳහන් කළ අන්දමේ විපත්වලට ගොදුරුව පීඩා විඳින බොහෝ දෙනා වර්තමානයේ වුවද අපට දැකිය හැකිය. මවුපියන්ට ගර්හා කරන එසේම ඔවුන්ගේ ජීවිත හානිකරන දරුවන් අපට දකින්නට ලැබෙයි. එසේම වැඩිහිටියන්ට මෙන්ම ගුරුභවතුන්ට හිරිහැර කරන,අපහාස කරන උදවිය ද දකින්නට පුළුවන. බොහෝ තැන්වල ගරුතර මහා සංඝරත්නයට නින්දා අපහාස කරන, ශාරීරික වධහිංසා කරන උදවියද මේ බෞද්ධ රටේ නැතුවා නොවේ. මෙවැනි පව්කම්හි යෙදෙන අය ගිහි, පැවිදි දෙපක්‍ෂයේම හමුවෙයි. බොහෝ විට මිනිසුන් මෙවන් ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකෙකුගේ දියුණූව යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත් ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. බොහෝ විට මෙවැනි පහත් ක්‍රියාවල යෙදෙන්නන් එක්ව කටයුතු කිරීමද සමාජයේ ලක්‍ෂණයකි. ඔවුන් මෝහයෙන් වෙළී ඇති නිසා තමන් එක්ව කරන අකටයුතුවල ආදීනවයන් අවබෝධ කර නොගෙන තව තවත් එවැනි පහත් ක්‍රියාවල යෙදී දුකට පත්වන බව පෙනෙයි. ඔවුන්ට වරද පෙන්වාදීමටද අපහසුය. මෙසේ පහත් ක්‍රියාවන් මිහිරි ලෙස කරන ඔවුන් ඒවායෙහි විපාක විඳින කල්හි ගිනි ගොඩට වැටුනවුන්සේ පීඩාවට පත් වනු ඇත. එනිසා එවැනි පහත් ක්‍රියාවලට යොමු නොවී සද්පුරුෂයන්සේ ක්‍රියා කිරීමට ඔබ සැම උත්සාහ කළ යුතුය. 

    මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ



    මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ
    බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇතිකොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය
    පේදෙණිය විශ්වවිද්‍යාලයේ
    ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
    හඟුරන්කෙත ධීරානන්ද හිමි
    මානුෂිකත්වයේ වැදගත්කම ලොවට පසක් කරලීමට කටයුතු කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ ලෝකයාට මහගු දිනයක් වන අතර සමස්ත මානව වර්ගයාටම සෙත ශාන්තිය උදා වූ දිනයක් ලෙසින් සැලකීම නිවැරැදිය. දඹදිව කිඹුල්වත්පුර ලුම්බිණි සාල වනයේ දී මහාමායා දේවියගේ කුසින් වෙසක් දිනයක උපත ලද සිද්ධාර්ථ කුමාරයාණන් විසිනම වසරක් ගිහිගෙහි වැඩ අනියත බව පසක් කරමින් අභිනිෂ්ක්‍රමණය කොට සියවසක් උරුවෙල් දනව්වේ දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසු ගයා ශීර්ෂයේ ඇසතු රුක් පාමුල සියලු කෙලෙසුන් නසා අනුත්තර සම්මා සම්බුද්ධත්වයෙන් සැනසුම ලැබුවේ වෙසක් දිනක ය.
    සසර ගමන බිඳල කෙලෙස් සතුරන් නසා භව සැනසුම ලබා ලොව සැමදෙනගේ සිත සුව පිණිස සදහම් බෙදමින් තමා ලත් ශාන්තිය සැමට උදාකරනු වස් ගම්නියම්ගම් ජනපද කරා වැඩ සැමට දෙලොව සැප ළඟා කළ බුදුරජාණන් වහන්සේ අසූවැනි වියේහිදී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සාලවනෝද්‍යානයේ දී වෙසක් දිනක සියලු දෑ අනියත බව පසක් කරලමින් පිරිනිවන් පා වදාළ සේක.වසර දෙදහස් පන්සිය පනස් හතක් මුළුල්ලේ උන්වහන්සේගේ තෙමගුල සමරා සිදුකෙරෙන වෙසඟ දිනය තුළ අවවාදයෙන් හා ආදර්ශයෙන් බුදුරදුන් පෙන්වා වදාළ මානුෂිකත්වයත් ඒ තුළින් සමාජයට එළි වූ සදාචාරාත්මක සමාජ දර්ශනය කවරක්ද යන්න පැහැදිලි කරගත යුතු වේ.
    බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ මානුෂිකත්වය අව තක්සේරුවට ලක්වූ එක් සමාජ පන්තියකට පමණක් සියලු වරප්‍රසාද හිමිව පැවැති කුල භේදයෙන් මහත් පීඩනයකට බ්‍රහ්මණ සමාජය විසින් මිනිසා පත්කර තිබූ අවධියකය. ක්ෂත්‍රිය , බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යැයි මිනිසා දේව නියමය මත චතුර්වරණයකට අයත් වේ යැයි ආගමික පදනමක් මත ගොඩනැගූ ආකල්පය තුළින් මිනිසාගේ මානව නිදහස පමණක් නොව මානුෂිකත්වය ද නිර්දය ලෙසින් පහතට හෙළා තිබුණි.පන්ති ස්තරායන හා කුලභේදය පදනම් කරගෙන උපතින්ම මිනිසා වර්ගීකරණයකට ලක් කිරීමෙන්, එම සමාජය තුළ ඇති වූ පීඩකාරිත්වය මෙපමණ යැයි කිව නොහැකි විය. බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇති කොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය. රජ පවුලක උපත ලබා සියලු සැපත් ජනතාව වෙනුවෙන් පසෙක ලා සමාජ අසාධාරණයට එරෙහිව හඬක් නැගීම නිසා කුල භේදයෙන් පීඩනයට ලක්ව අසරණව විසූ දහස් සංඛ්‍යාත ජනතාවට ලැබුණූ නිදහස අපමණය. කුල ස්තරායනය, මගින් සමාජය තුළ සාමය මෙන්ම සමඟියද දෙදරා ගොස් තිබූ අවධියක සමාජගත පුද්ගලයන්ගේ මානව අයිතීන් ඉස්මතු කිරීම අරඹයා බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රියා මාර්ග ගැනීමත් පැහැදිලි කිරීමත් සමගම සැමට එක්ව එකම සසුනක් තුළ ශ්‍රාවකයන් වීමේ වරප්‍රසාදය ලැබුණි. පංච මහා ගංගාවෝ විවිධ නාමයන් ගෙන් ජලය ගෙන සාගරයට වත් කළ එම ගංගා නාමයන් පසෙක ලා සාගර ජලය ලෙසින් හඳුන්වන්නාක් මෙන් උන්වහන්සේගේ ශාසනයට පත් සැම දෙනම සියලු කුලගොත් අතහැර බොදු ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූහ. ගුණවත්කම හා නැණවත්කම පදනම් කොට භික්‍ෂු, භික්ෂුණී උපාසක හා උපාසිකා යනුවෙන් නව සමාජ වර්ගීකරණයක් සසුනට මෙන්ම සමාජයටද උන්වහන්සේ විසින් හඳුන්වාදෙනු ලැබීය.සමාජයෙන් කොන් කොට මිනිසාගේ වහලකු බවට දේව නියමයක් මත පත්කොට තිබූ සුනීත, සෝපාක වැනි ශුද්‍රයනට ද සසුන් දොර විවර කොට නිවන්මග පාදා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සැමට බුද්ධ ශාසනය තුළ සමබවක් ලබාදීමට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රායෝගිකව ගත් ක්‍රියා මාර්ගය මානව හිතවාදි බවේ උච්චත්වය පැහැදිලි කරනු ලැබේ.
    උපත පුද්ගලයාගේ කුලය හෝ ජාතිය නිර්නය කළ නොහැකි සාධකයක් බවත් කරනු ලබන ක්‍රියාදාමය මත පුද්ගලයෙකුගේ තත්ත්වය තීරණය වන බවත් “නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො” යනුවෙන් වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරමින් ඇති කළ සංකල්පමය වෙනස සමාජය තුළ කුලභේදය පසෙක ලා මානව ගුණය, මානව සංවරය හා සාමය සමගිය සමානාත්මතාව ගොඩනැගීමට ගත් මහඟු ආදර්ශ පාඨයක් විය.
    අසාධාරණයකට ලක්ව අසරණව සිටි කාන්තාවනට සමාජයේ ඉදිරියට ඒමට හා පිරිමි පක්ෂය හා සමතැන්හි ලා ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම බුදුරජාණන් වහන්සේ විසින් සැකසනු ලැබීම, සමස්ත කාන්තාවනට විමුක්තිය උදාකර ගැනීමට පමණක් නොව සිය ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර නිවන්සැපය පවා ලබා ගැනීමට අවශ්‍යම මං විවර කිරීමක් විය. සිවුවණක් පිරිසෙන් භික්ෂුණීන්ට ද උපාසිකාවනට ද මේ සසුන විවර වීම කාන්තා විමුක්තියේ අරුණළු උදා වූ අවස්ථාවක් සේ සැලකීම නිවැරැදිය.
    සමාජ අසාධාරණයට පත්ව අසරණව සිටි පාටාචාරව, කිසාගෝතමිය හා රජ්ජුමාලාව වැනි කාන්තාවනට සම්බුද්ධ ශාසනයේ දොරටු විවර වී නිවන් මඟ සලසාගෙන අනෙකුත් සැමට යහපතක් උදාකරදීමට හැකි වූයේ බුදුරජාණන් වහන්සේ කාන්තාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ය. ස්ත්‍රිපුරුෂ සමගියට බුදුරජාණන් වහන්සේ ගත් මෙම ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වූ අතර මානුෂිකත්වය ස්ත්‍රි පුරුෂ භේදයට ලක් කළ යුත්තක් නොවන බව ද මෙමගින් උන්වහන්සේ ලෝකයාට පෙන්වා වදාළහ.
    වැරැදි මාවතට යොමුව අයාලේ ගිය දහස් සංඛ්‍යාත පුද්ගලයන්ට සිය සැනසුම් උදාකර ගැනීමට හා වැරැදි නිවැරැදි බව පසක් කරගැනීමට බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත කාරුණිකත්වය හා මානුෂිකත්වය අතිශයින්ම ඉවහල් විය. අංගුලිමාල හා අජාසත්ත වැනි පුද්ගලයන්ගේ චරිතයන් සුමඟට පත්ව උදාරතර ජීවිතයන් බවට පත්වූයේ බුදුන් වහන්සේ මානුෂිකත්වයෙන් පිරුණු හදවතින් එම ජීවිත දෙස බැලීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව පැහැදිලිය..
    එමෙන්ම පන්සිල් සුරකින, කාය වාග් සංවරත්වයකින් හෙබි සමාජයක් ඇති කරලීමේ අරමුණ මත සිය ශ්‍රාවක පිරිස සංවිධානය කිරීමට අවශ්‍ය දේශනාත්මක හා ප්‍රායෝගික ක්‍රියාදාමයකට යොමුකිරීමද මානුෂිකත්වය සුරකින සමාජගත සමඟිය ඇතිවන සමාජ ස්තරායනයක් නිර්මාණයට අවශ්‍ය සංවිධානාත්මක පදනමක් ඇති කිරීමට බුදුන්රදුන් පියවර ගැනීම සමාජ ගත පුද්ගල සම්බන්ධතා ශක්තිමත් වීමටත් සමාජය සදාචාරාත්මක ක්‍රියාදාමයන් මත සංවිධානය වීමටත් බලපෑ බව පැහැදිලි කරුණකි.
    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ හර පද්ධතින් අප විසින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයන්හි ඉස්මතු කරගත යුතු අතරම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදාළ මානුෂිකත්වය කරුණා මෛත්‍රිය පෙරදැරිකර ගෙන ක්‍රියාවට නැගීමට පෙළ ගැසේ නම් වත්මන්හි ඇතිව ඇති බොහෝ ප්‍රශ්නයනට එම ක්‍රියාදාමයෝ පිළිතුරක් වනු ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන දිනයක ප්‍රතිපත්තිමය වශයෙන් උන්වහන්සේට කරනු ලබන ලොකුම උපහාරයක්ද වනවා නො අනුමාන ය.

    රුහුණේ පුංචි සීගිරිය මුල්කිරිගල


    ජනක වෙත්තසිංහ දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි.
    දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. ග්‍රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශ්‍රයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට ද කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ. ස්වභාවධර්මය දායාද කළ ශෛලමය ලෙන්කුටි හතක් සහිත මහල් පහකින් සමන්විත කඳු ගැටය එදා රජ දරුවන් විසින් ජාතික ආගමික උරුමයක් බවට පරිවර්තනය කරමින්, එයට අපූරු නිර්මාණාත්මක හැඩතල ද එක්කර ඇත. අව්‍යාජ ස්වභාව සෞන්දර්යයේ ගිරිකුළ මුල්ගිරිගල නමින් හැඩ වැඩ කර ඇත්තේ පවතින ස්වාභාවික පරිසරය චමත්කාරයෙන් ඔදවත් කරලමිනි. මෙය බොදු ජනතාව උදෙසා තිළිණ කළ අපූර්වත්වයෙන් සුන්දරත්වයෙන් පිරිපුන් තවත් අභිමානවත් බෞද්ධ උරුමයකි. මුල්ගිරි ගල වෙත එන වන්දනා කරුවකුට එය ආගමානුකූල අපූරු අඩවියකි. සොඳුරු සිත් ඇති සංචාරකයකුට අසිරිමත් ඉසව්වකි. පහතමළුව, බෝ මළුව, රජමහ විහාර මළුව උඩ බෝධි මළුව, චෛත්‍ය මළුව වශයෙන් නැගෙන ගිරග විසින් සාදා ඇති තෝතැනි විහාරාංගයන් වෙනුවෙන් උපයෝගී කරගෙන තිබේ. ලෙන් විහාරාරාම හතෙන් දෙකක් පහත මළුවේ ද හතරක් රජමහා විහාර මළුවේ ද ඉතිරිය බෝ මළුවේද දක්නට ලැබෙයි. එදා වනේ වන සතාත් විෂඝෝර සර්පයාත් වඩාත් රුචි කළ උණුසුමත් සමඟ අඳුරෙන් චකිතයෙන් පිරී ගිය ගල් ගුහා සැනසීම සමඟ බුද්ධාලම්භනාලෝකයෙන් මෙන්ම බැතිය ද ආකර්ශනය ද කැටි කර ගනිමින් විහාරාරාම බවට ස්වාභාවික සැකැස්ම සීරු මාරුවට පරිවර්තනය කිරීම අගනේ ය. ලොව අටවැනි පුදුමය ලෙසින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ සීගිරිය ඓශ්චර්යවත් නිර්මාණයකි. එවන් සීගිරි ආලකමන්දාව මතකයට නංවමින් මුල්ගිරිගල
    හඳුන්වන්නේ රුහුණේ පුංචි සීගිරිය නමිනි. එයම මෙහි වන සුවිශේෂී ස්වභාවය, කලාත්මක භාවය හඳුනාගැනීමට හැකි පෙළඹුමක් ඇති කරවන සුළුය. විහාරස්ථානය ආශි‍්‍රතව ඇති දොළොස්වන සියවසට අයත් ශිලා ලේඛනයට අනුව මෙහි පැරැණි නාමය ‘මුහුන්දගිරි’ විහාරය නමින් හඳුන්වා තිබේ. කාවන්තිස්ස රජතුමා සෑදූ හැට හතරක් විහාරස්ථාන අතරට මෙම විහාරස්ථානය අයත්වන බව සැළකේ. එසේ නම් මෙය ඉතා ඓතිහාසික තත්ත්වයක ලා, ගැනිය හැකි ක්‍රි.පූ. යුගය දක්වා දිවෙන සුවිශේෂී වූ පුදබිමෙකි. කාවන්තිස්ස රජතුමා සෑදූ ‘සමුද්ද විහාරය’ මෙය බව මතයක් පවතී. නමුත් වංශකතා වලට අනුව මුල්කිරිගල විහාරය තනවා ඇත්තේ 1 වන ජෙට්ටතිස්ස රජතුමා (ක්‍රි.ව. 266 – 276 ) විසින් බව කියැවෙයි. ජනප්‍රවාදයන්ට අනුව කියැවෙන්නේ මෙම විහාරස්ථානය කරවා ඇත්තේ කාවන්තිස්ස රජතුමාගේ පුතනුවන් වූ සද්ධාතිස්ස රජතුමා බවය. පුදබිමෙහි රෝපණය වී ඇති බෝධීන් වහන්සේ දෙතිස්ඵල රුහ බෝධීන් වශයෙන් සැළකේ. එයද විහාර සංස්කෘතියකට විශේෂිත ය. ඇත්තෙන්ම මෙය විහාර සංකීර්ණයකි. ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් බෝධීන් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 ක් හා ශිලා ලේඛන මෙන්ම පැරැණි ගල් කණු ශෛලමය ඔරු ශෙලමය මලසුන් මෙහි ඇති පෞරාණිකත්වයටත් ආගමික අභිමානවත් බව සුරැකීමට සබැඳිව අදත් නටබුන් වෙසින් පෙනී සිටියි. එක් එක් මහල් වෙත පිය නැඟීමට තනා ඇති ශෛලමය පියගැට පෙළ ලෙන් කුටි මතු කරලමින් පැරැණි සම්ප්‍රදායික ආකෘතියේ සුන්දරත්වය මතු කරලමින් සාදා ඇති විහාර මැදුරු ද උඩමළුවේ ඇති ජල පොකුණ ද පුදබිමේ විසිතුරු බව ඔපවත් කිරීමට දායක වී තිබෙති. මෙහි ලෙන් විහාර මැදුරු පහක් තුළ ඔත් පිළිමවහන්සේලා හත් නමක් නිමවා තිබේ. එසේම විහාර බිතු මත ඇඳි සිතුවම් පෙළ මහනුවර සම්ප්‍රදායේ රුහුණු ආභාෂයේ කලා කෘතීන්ය. ඒ අතර තේලපත්ත ජාතකය පෙරහර ජවනිකාව, බෙරකරුවන් ගේ සිතුවම් විශේෂ තැනක් ගන්නා බව කලා විචාරකයන්ගේ මතයයි. ඒ අතර වන බෙරයක් වයන කාන්තාරුව
    විශේෂ අවධානයක් දිනා ගන්නා ලද අපූරු සිතුවමක් වශයෙන් හඳුන්වයි. රුහුණට ආවේනික මකර තොරණ, දොරටුපාල රූපාදිය ද විහාර මැදුරු විචිත්‍රවත් කරවයි. පරංගි ආක්‍රමණිකයන්ගෙන් විනාශ වූ සංස්කෘතික උරුමයන් අතර භාග්‍යයකට මෙන් සුරැකෙමින් පැමිණි මගේ දී ලංදේසි ආක්‍රමණිකයන් ශ්‍රී පාදස්ථානය මෙය යැයි වරදවා තේරුම් ගැනීම නිසා මුල්ගිරිගලට ඔවුන් ඇඩම්ස් බර්ග් යනුවෙන් නම් තබා ඇත. අකාලයේ වල් බිහිව තිබූ මෙම වටිනා උරුමයට නැවත පුනර්ජීවය ප්‍රදානය කළේ 18 වන ශතවර්ෂයේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙනි. පෞරාණික සිතුවම් ඇකී මැකී ගිය බැවින් නැවත ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට එවකට සිටි දක්‍ෂ නිර්මාණ ශිල්පියකු වූ දෙවරගම්පල සිල්වත් තැන සම්බන්ධ කර ගත් බව සැළකෙයි. රුහුණෙන් පැණ නැගුණු ජාතික බෞද්ධ උරුමයේ සාඩම්බරය මේ යැයි කියාපාමින් අදත් නොසැලී පවතින මුල්ගිරිගල සමස්ත ජාතික උරුමයේ තවත් අභිමානවත් ස්මාරකයකි.