sha fm

    Sunday, 3 November 2013

    ලිංගික අතවරයකට ලක්වී ඒඩ්ස් හැදුනු කුසුම්

    කොළඹින් ඉතා දුර බැහැර දුෂ්කර පළාතක උපත ලද කුසුම්, මල්ලිලා දෙදෙනකු සිටින පවුලක අක්කා විය. ඔවුන් කොතරම්  දිළිඳුදැයිි කිවහොත් වාසය කළේ හේනක් මැද වූ කුඩා පැලකය. එම පැල කටු මැටියෙන් සාදන ලද්දකි. කුසුම්ට අධ්‍යාපනය ලැබිමේ වාසනාව  තිබුණේ දෙවන ශේ්‍රණියට පමණි. දොළොස් හැවිරිදි වියේ දී ඇය වැඩි වියට පත් වූ පසු එවැනි  පැලක වාසය කිරීම ඇගේ ආරක්ෂාවට ප්‍රමාණවත් නැති බව වටහා  ගත් කුසුම්ගේ පියා ඇය වෙනත් පළාතක ඔහු දන්නා හඳුනන නිවෙසක නතර කළේය.එම නිවස ප්‍රමාණයෙන් විශාල වූ අතර එකම පවු‍ලේ දූ දරුවෝ  විවාහ වී එහි පවුල් කිහිපයක්  ලෙස පදිංචිව සිටියහ. කුසුම් එම නිවසේ නතර වී ඔවුන්ගේ වැඩ පලට උදව් දුන්නාය.මේ නිවසේ අවුරුදු තිහක පමණ පුද්ගලයකු සිටියේය. නිවසේ කාන්තාව කීවේ ඔහු තමාගේ සහෝදරයෙකු බවය. දිනක් කුසුම්ගේ දෙමාපියන් කැඳවූ නිවසේ කාන්තාව ඔවුන් සමග රහස් සාකච්ඡාවක යෙදී සිටියාය. එම සාකච්ඡාව අවසානයේ කුසුම්ව කැඳ වූ ඇගේ දෙමාපියන් කීවේ කුසුම්ගේ යහපත තකා ඇය විවාහ කර දෙන්නට යන බවයි.වයස අවුරුදු දහතුනේ දී කුසුම් තිස් හැවිරිදි පුද්ගලයකු සමග යුග දිවියට ඇතුළත් වූයේ එලෙසිනි. ඇය එකල කොතරම් කුඩා යුවතියකද කිවහොත්  මංගල ඇඳුමේ හැට්ටයට සරිලන තරමට පපු ප්‍රදේශයවත්  වැඩී තිබුණේ  නැත. බ්‍රෙසියරය තුළට රෙදි කැබලි ඔබා ඒ අඩුව සම්පූර්ණ කෙරිනි.මේ විවාහය සිදුකර තිබුණේ  කුසුම්ගේ දෙමාපියන් නොමග යවාය. වයසින් වැඩි වුවත් ඔහුට ඉඩකඩම් ආදිය ඇති බව හුවා දක්වමින් කුසුම්ව විවාහ කර දී  තිබූ අතර ඔහු කිසිදු වත් ‍පොහොසත්කමක් නැති කුලීකාරයකු බව කුසුම් හරියටම දැනගන්නා විටත් ඇය ගැබිනියක වී හමාරය.

    මේ දීගය කුසුම්ගේ ජීවිතයට මොන අතකින් වත් සතුටක් සැනසුමක් හෝ යහපතක් ගෙනාවේ නැත. ඔහුගෙන් ඇය ලද ලොකුම සම්පත වූයේ අරක්කු ටිකක්  තොල ගෑ පසු ලබන ගුටි  සංග්‍රහයන්ය. අන්තිමේ  දරුවාගේ වයස මාස තුනේදී කුසුම් දරුවා ද රැගෙන සැමියා අතහැර මව්පියන්  වෙත ගොස් පදිංචි වූවාය.
    නමුත් කුසුම්ගේ මව්පියන් ජීවත්  වූයේද  ඉතාමත් අසීරුවෙනි. දරුවා  කුඩා වැඩි නිසා කුසුම්ටද කුලී වැඩකටවත් යාමට හැකියාවක්  තිබුණේ නැත. මේ අතර ඒ ප්‍රදේශයේ  සුළු වෙළදාමකින්  ජීවත්වන තැනැත්තෙකු කුසුම්ව දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත  පළ කළේය. දරුවා හදා වඩා ගන්නට මගක් නොමැතිකම නිසාම කුසුම් ඔහු හා යාමට එකඟ වූවාය.
    ඒ වන විට දරුවාගේ වයස අවුරුද්දකට වැඩිය. කෙසේ වුවද දෙවන සැමියාගේ දෙමාපියන් තම පුතු දරුවෙකුත් සමග බිරිඳක් නිවසට එක්කර ගෙන ඒම ගැන බලවත් සේ විරුද්ධ වූයෙන් කුසුම්ට සිදු වූයේ අකමැත්තෙන් වුවත්  දරුවා පළමු සැමියාටම භාර කරන්නටය.

    මේ විවාහයෙන් කුසුම්ට තවත් දරුවන් තිදෙනකු ලැබිණි. ඒ දියණියන් දෙදෙනකු හා පුතකු වශයෙනි. කුඩා දරුවන්  තිදෙනකු ජීවත් කරගනිමින් තම පවු‍ලේ පැවැත්ම සපුරා ගැනීමට සැමියාගේ වෙළෙඳාමෙන් හැකියාවක් නොවීය. අනෙක් අතට ඔහු උපයන මුදලින් වැඩි කොටසක් වැය කළේ මත්පැන්වලටය. මේ අනුව ඉහටත් උඩින් පිරී ඉතිරී ගිය අගහිඟකම්වලින් ඔවුනට අඩුවක් නොවිණි. නිවසේ ගැටලු වැඩි වන විට සැමියාගේ මත්පැන් බිමද වැඩිවෙයි. මත්පැන් පානය වැඩි වන විට කුසුම්ට ඔහුගෙන් සිදුවන අඩන්තේට්ටම් ද වැඩි වෙයි. ඇගේ ශරීරයේ ස්ථාන ගණනාවකම ඔහු විසින් විවිධ දේවල් වලින් දුන් පහරවල් නිසා ලත් තුවාල වලින් ඉතිරි වූ කැළැල් අදටත් පවතියි.
    මේ වන විට කුසුම්ගේ වයස අවුරුදු විසි එකකි. ඇගේ බාල දරුවාගේ වයස මාස නවයක් විය. මේ කාලයේ ඇගේ ගමට විදේශ රැකියා නියෝජිත ආයතනයක උප නියෝජිතයකු පැමිණියේ ඒ ප්‍රදේශයේ වෙසෙන මැදපෙරදිග යාමට කැමති කාන්තාවන් එසේ යැවීම සඳහා තෝරා ගැනීම පිණිසය. 
    කුසුම්ගේ සැමියාට දැනුණේ ඉල්ලමක් පෑදුණාක් වැනි සතුටකි. දරුවන් බලා කියා ගන්නට කුසුම්ගේ  මව්පියන් ද කැමැත්ත පළ කළ නිසා කුසුම් රට යාමට තීරණය කළාය. ඇයට තිබූ ලොකුම වුවමනාව වූයේ එලෙසින් හෝ මුදල් සොයා දරුවන් සතර දෙනා දුකක් නැතිව ජීවත් කර ගන්නටය.
    වැඩි කල් නොයවාම කුසුම්ට කුවේට් රටට යාමට අවස්ථාව ලැබිණි.
    ඇයට සේවය කිරීමට ලැබුණු නිවසේ සිටියේ මැදිවියේ යුවළක් හා ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. මසකට වතාවක් එම කාන්තාවගේ සොයුරා පැමිණ දින කිහිපයක් එහි නතර වී හිඳ යයි.
    කුසුම් ලිපි ලියා තම පවු‍ලේ අයට යවන ලෙස කියමින්  තැපැල් කරන්නට දුන්නේ එම නිවසේ කාන්තාවටය. නමුත් කුසුම් යැවූ ඒ කිසිදු ලිපියකට පිළිතුරු ලැබුණේ නැත. මේ ගැන සිතමින් කල්පනා කරමින් හිඳින අතරේ දිනක් එම නිවසේ පිරිමියා බලහත්කාරයෙන් ඇගේ කාමරයට රිංගුවේය. කොතෙක් උත්සාහ කළත් ඔහුගෙන් ඇයට ගැලවීමක් ලැබුණේ නැත. පසුව ඇය මේ පිළිබඳව ස්වාමි දුවට පැමිණිලි කළේ විසඳුමක් අපේක්ෂාවෙනි. ඇය ඇගේ භාෂාවෙන් උඹට අපි සල්ලි දීලා ගත්තේ ඒකටත් එක්ක තමයි කී කල කුසුම් ගල් ගැසී බලා සිටියාය. ඉන් එහාට කළ හැකි කිසිවක් ඇය සතු වූයේ නැත.
    කුසුම් ලිංගික ගොදුරක් බවට පත්වූයේ එම හාම්පුතාගේ පමණක් නොවේ. මසකට වතාවක් එහි පැමිණ යන ස්වාමිදුවගේ සහෝදරයා ද තම ලිංගික ආශාවන් සපුරා ගැනීම පිණිස කුසුම්ව පාවිච්චි කළේය.
    මේ සියලු දේ මෙසේ සිදු වුවත් ඔවුන් කුසුම්ට තඹ දොයිතුවක වැටුපක් දුන්නේ නැත. ඇය විසින් සැමියාට සහ දෙමාපියන්ට යවන ලද ලිපි කිසිවක් ඔවුන් තැපෑලට දමා තිබුණේද නැත. වැටුප් ගැන මතක් කරන විට ඔවුන් නිර්ලෝභීව ප්‍රදානය කළ දෙයක් තිබිණි. ඒ කුසුම්ව ඇගේ කාමරයට දමා ඇති තරම්  පහර දීමය.
    දැන් කුසුම් කුවේට් පැමින මාස හයක්ද ගත වී තිබේ. දරුවන් ගැන සැමියා ගැන මව්පියන් ගැන කිසිදු තොරතුරක් නොමැත. දරුවන් කෙසේ කනවා බොනවා ඇතිද? බාල පුතුට කිරිපිටි මිලදී ගන්නේ කොහොමද? වැනි ගැටලු සිහිපත් වන විට කුසුම්ගේ හිස ගිනි ගනී. අන්තිමේ  ඇයට කළ හැකිව තිබුණේ එකම දෙයක් පමණි. ඒ මෙම නිවසින් පැනයාමය. 
    නමුත් සිව් මහල් නිවසකින් පැන යාම පහසු නොවේ. කෙසේ හෝ අවස්ථාවක් ලැබුණු සැනින් පැන යන අදහස සිත  ඇතිව කුසුම්  බෝල්‍පොයින්ට් පෑනකින් සිය සුදු පැහැති යට සායේ තමන් වාසය කරන නිවසේ දුරකථන අංකය, තමාව එවන ලද රැකියා නියෝජිත ආයතනයේ එරට කාර්යාලයේ දුරකථන අංකය ලංකාවේ තමන්ගේ  අසල්වැසි නිවසක දුරකථන අංකය තම ජාතික හැඳුනුම්පත් අංකය යන මේවා ලියා ගත්තාය. ඇය එසේ කළේ මේවා සටහන් කළ කඩදාසි කැබැල්ලක් වත් අත තබා ගන්නට හැකියාවක් නොමැති වීම නිසාය.
    එක්තරා දිනයක ඇයට උඩුමහ‍ලේ එක දිගට සාරි වනා ඇති අයුරු දක්නට ලැබිණි. එය අඳුර පැතිර තිබූ යාමයයි. සාරි එකින් එක ගෙන ඒවා ලණුවක් මෙන් රෝල් කර දිග වැලක්  ආකාරයට සවිමත්ව ගැට ගැසූ කුසුම් එහි එක් කොනක්  ජනේලයක ගැට ගසා අනෙක් කොන පහලට දැමුවාය. එය  ‍පොළවට  ආසන්න දිගකින්  තිබිණි. අසීරුවෙන් එහි එල්ලුනු කුසුම්  සිතට දිරිගෙන ජනෙල් පඩි වලට දෙපා තබමින්  ක්‍රමයෙන් පහලට බසින්නට වූවාය. ඇය මේ ක්‍රියාව කළේ ජීවිත ආශාව අතහැර දමාය. කෙසේ හෝ පහල ටැක්සියක් නතර කර තිබිණි. එහි රියැදුරා රෙදි ‍පොටක් දිගේ පහලට එල්ලෙමින් බසින මේ තරුණ කාන්තාව දුටුවේය.
    ''මැරෙන්නද හදන්නේ ? මේ වාහනේට අඩිය තියන්න  ඔහු උඩ බලාගෙන කෑ ගැසීය.
    කුසුම් මෝටර් රථයට දෙපා තබා හති අරින්නට වූවාය. රැකෙම්වා හෝ මියෙම්වායි සිත දැඩි කරගෙන තමා ඉදිරියට තැබූ පියවර සාර්ථක වීම ගැන කුසුම්ට දැනුණේ මහත් සැනසිල්ලකි. ඇය එම ටැක්සි  රියැදුරාට කතා කර තමා රැකියා ඒජන්සියට ඇරලවන ලෙස ඉල්ලා සිටියාය.
    ඔහු ඇය මෝටර් රථයේ නංවාගෙන පාරවල් ගණනාවකින් ගොස් මුහුද අයිනේ රථය නතර කළේය.
    මං ඒජන්සියට ඇරලන්නම්. හැබැයි ඊට කලින් මාත් එක්ක උඹ ඉන්න ඕන.
    ඔහු කියද්දී කුසුම්ට දැනුණු අසරණකම නිමක් නැති තරම් විය.
    එම රාත්‍රියේ කිසිදු හව් හරණක් නැතිව කායිකවත් මානසිකවත් අන්ත අසරණ තත්ත්වයට පත් වූ කුසුම් එම ටැක්සි රියදුරාට  අවනත වූයේ ජීවිතාශාව නිසා මිස කිසිදු ලිංගික හැඟීමකින් නොවේ.
    ඉන්පසු ඔහු ඇය රැගෙන රැකියා ඒජන්සියට යන බව පවසා ගියේ වෙනත් නිවසකටය. එහි සිටියේ බංග්ලාදේශ ජාතිකයෙකි. ටැක්සි රියැදුරා ඒ තැනැත්තාට කුසුම්ව භාර දී  ඩිනාර් පන්සීයක් ලබා ගත්තේය. කුසුම් හඬා වැටුණාය. නමුත් බංග්ලාදේශ ජාතිකයාට කළ හැකිව තිබුණේ කෑම බිම දී ඇය තම කාමරයේ රඳවාගෙන  ලිංගික ප්‍රයෝජන ගැනීම පමණි. මෙසේ සතියක් ගතවිය.
    මාව සී.අයි.ඩී. එකෙන් චෙක් කළොත් අහුවෙන්න පුළුවන්. ඒ හින්දා මං ඔයාව වෙන තැනකට යවන්නම්. කියූ බංග්ලාදේශ ජාතිකයා ඇය එක්කරගෙන ගියේ තවත් නිවසකටය.  එහි සිටියේ ඉන්දියන්  ජාතිකයෙකි. ඔහුට කුසුම්ව දී හෙතෙම ඩිනාර් දහසක් ලබාගත්තේය. දැන් කුසුම් ඉන්දියන් ජාතිකයාගේ  ලිංගික ගොදුර වී සිටියි. 
    දරුවන් ගැන කිසිම තොරතුරක් නැත. ඔවුන්ට කුමක් වී ඇත්දැයි ඇය නොදනී. සත පහක ආදායමක් මේ වන තුරුත් ඇයට හිමි වී ද නැත. කුසුම්ට සිය දිවි නසා ගන්නට  සිතුණේ වරක් දෙවරක් නොවේ. නමුත් දරුවන්  ගැන සිතා නැවතත් ඇය සිත ශක්තිමත් කර ගත්තාය.
    සී.අයි.ඩී. එකෙන් ප්‍රශ්න  එයි අපිව අහු වුණොත්. මං ඔයාව ලංකාවේ අක්කා කෙනෙක් ළඟට ඇරලන්නම්.
    සති දෙකකට පමණ පසු ඉන්දියන් ජාතිකයා කීය. කුසුම්ට දැනුණේ මහත් වූ සතුටකි.
    එක්තරා දිනයක ඔහු ඇයව තට්ටු නිවසකට ගොස් ඇරලවීය. එහෙත් ඔහු කුසුම්ව එම ශ්‍රී ලාංකික කාන්තාවට භාර දුන්නේ  නිකම්ම නොවේ. ඔහු විසින් ඒ අවස්ථාවේ ඩිනාර් තුන් දහසකට කුසුම්ව අලෙවි කර තිබිණි.
    එම කාන්තාව කුසුම්ට හොඳින්  සැලකුවාය. විසිතුරු ඇඳුම් ගෙනත්  දුන් අතර මුහුණේ  මේක් අප් ආදිය දමා ප්‍රසන්න ලෙස සිටින අන්දම පුහුණු කළාය. දැන් සති දෙකක් පමණ ගතව ඇත. 
    අනේ අක්කෙ මට මොකක් හරි රස්සාවක් හොයල දෙන්න. මගෙ දරුවො බඩගින්නෙ ඇති කුසුම් පින්සෙන්ඩු වූවාය.
    ඔයා වෙන කොහේ හරි රස්සාවල් වලට යන්න ගියොත්  අහුවෙනවා. අහුවෙලා ජේල් එකට දැම්මොත්  ආයෙ එළියට ඒමක් නෑ. ඔයාට ගෙදරට යවන්න සල්ලිනේ ඕනේ. ඒ හින්දා මං කියන විදිහට වැඩ කරන්න.
    ඒ කාන්තාව උපදෙස් දුන්නාය. ඇය පවසා සිටියේ  කුසුම්ට එහි පැමිණෙන පිරිමින් ලිංගිකව සතුටු කරන ලෙසයි. ඒ සඳහා පිරිමින්  විසින්  ගෙවනු ලබන මුදලින් හරි අඩක්ම ඇයට දෙන බවටද එම කාන්තාව ‍පොරොන්දු වූවාය. නමුත්  කුසුම්ට ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තිබුණේ නැත. ඇය එම කාන්තාවගෙන් ඉල්ලා සිටියේ  තමාට සැමියාට සහ දරුවන්ට කතා කරන්නට දුරකථන ඇමතුමක් රැගෙන දෙන ලෙසයි. එම කාන්තාව ඊට ඉඩ  දුන්නාය. අසල්වැසි  නිවසක අංකයට කතා කළ පසු සැමියා වහා ඒ නිවසට පැමිණ ඇමතුමට පිළිතුරු දුන්නේය.
    කොහෙද පට්ට ......... යනුවෙන් අමුතිත්ත කුණුහරුපයකින් කතාව ආරම්භ කළ ඔහු මාස නවයක කාලයක් මුදල් හෝ කිසිදු තොරතුරක් නොමැති වීම ගැන කුසුම්ට බොහෝ  සෙයින් දොස් පැවරුවේය. ඇයට දැනුනේ මුළු ලෝකයම තම දෙපා මුල කඩා වැටුණාක් බඳු කලකිරීමකි.
    ඔහාට ආව නම් වල්කමේ ගිහින්  හරි කමක් නෑ. මට සල්ලි එවාපිය. තොගෙ දරුවන්ට කන්න දෙන්න ඕන නම් ඔහු ඇමතුම විසන්ධි කළේ එවැනි  නරුම වදන් පෙළකින් ඇයට සංග්‍රහ කරමිනි.
    මැදපෙරදිග පැමිණි දා සිටම කුසුම්ට සිදුවූයේ පිරිමින්ගේ අතින් අතට මාරු වන්නටය. තෙමිච්ච කුකුළාට සීතල නෑ යි සිතූ කුසුම් අන්ත කලකිරීම් හමුවේ සිත හදා ගත්තාය.
    වසර හතරක් තිස්සේ එම ගණිකා නිවාසයේ රැඳි හිඳිමින්  විවිධාකාර  පිරිමින්ව සතුටු කළ ඇය මාස් පතා රුපියල්       ලක්ෂයකට ආසන්න මුදලක්  සැමියා හට එව්වේ දරුවන් ගැන සිතාය. ඒ අතර ලක්ෂ පහලොවක පමණ රන් ආභරණ මිලදී ගන්නටත් තවත්් ලක්ෂ විස්සක පමණ මුදලක් අතේ ඉතිරි කර ගන්නටත් ඇයට හැකිවිණි. ඉන්පසු කුසුම් මව්බිමට පැමිණියේ  සිය දරුවන් සහ සැමියා  සමග යහපත් ජීවිතයක්  ආරම්භ කිරීමේ බලා‍පොරොත්තුව ඇතිවය.
    නමුත් ඇගේ සැමියාට ඇයගේ පැමිණීම කිසිදු සතුටක් ඉපදවූයේ නැත. ඔහු ඇයට කරදර කරමින්  ඇගේ බැංකු ‍පොතේ තිබූ මුදල්වලින් සුළු කොටසක්  ඉතිරි වෙද්දී අනෙක් සියල්ලම බලහත්කාරයෙන්ම ලබා ගත්තේය. එපමණක් නොව ඇයට පෙර පරිද්දෙන්ම තලා පෙලා  හිරිහැරද කළේය. ඔහුට වෙනත්  බිරිඳක් සිටින බව කුසුම් දැන ගත්තේ තම බැංකු ‍පොතේ තිබූ මුදලින් සෑහෙන කොටසක් ඔහු  විසින් ඩැහැ ගත්තාටත් පසුවය.  අන්තිමේ දරුවන් තුන් දෙනාවද රැගෙන ඇය මව්පියන් වෙත ගියාය.
    ඉන්පසු ඇය දරුවන් ජීවත්  කරවීම සඳහා නොකළ කුලී වැඩක් නැත. බැරිම තැන කුසුම් යළිත්  මැදපෙරදිග යාමට තීරණය  කළේ වෙන කරන්නට දෙයක් නැතිකමටය. එවර ඇයට යාමට ලැබුණේ ඩුබායි රටටයි.
    ඒ රටට ගිය පසු මුලින්ම කරනු ලබන වෛද්‍ය         පරීක්ෂණයෙන් පසු ඇය එක්තරා ස්ථානයකට යවනු ලැබිණි. එය කාමරයක් විය. එහි ඇය වැනි කාන්තාවෝ තව දහ පහළොස් දෙනෙක් සිටියහ. ඔවුන් කිසි හාවක් හූවක් නැත. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමාව රැකියාව කිරීම පිණිස අදාළ  නිවසට භාර  නොදෙන්නේ මන්දැයි කුසුම් තුළ ඇති වූයේ විමතියකි. ඒ ගැන දැන ගන්නට කෙනකු  සිටියේ ද නැත.
    මේ අතර ඇය ගැන කිසිදු  තොරතුරක් නැති නිසා ඇගේ සොයුරා මෙරට රැකියා නියෝජිත ආයතනයට කතා කර ඇය පිළිබඳව විමසා ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ අමුතුම කතාවකි.
    එයාට භයානක බෝ වෙන ලෙඩක්. තව සතියකින්  ඉන්ජෙක්ෂන් එකක් දීලා  එයාව මරල දායි...
     මේ කතාව ඇසූ කුසුම්ගේ සොයුරා තැති ගත්තේය. ඔහු තැති ගත්තේ තම සොයුරිය මරා දමාවි  යන බියෙන් නොවේ. ඇගේ දරුවන්ටත් එම රෝගය බෝවී ඇතැයි යනුවෙනි. ගෙදර පැමිණි ඔහු ඒ  මොහොතේම කුසුම්ගේ දරුවන් තිදෙනා නිවසින් එලවා දැමීය. ඉන්පසු ඒ  අසරණ දරුවන්ට රැකවරණය දුන්නේ අසල්වැසි  පවුලකි.
    රැකියා ඒජන්සියෙන් පැවසූ අන්දමට  කුසුම්ව මරා දැමුවේ නැත. ඒ වෙනුවට ඇය ටික දිනකින් ආපසු ලංකාවට එවා තිබිණි. එයට හේතුවක් ඇය දැන සිටියේ නැත. ලංකාවට එන විට ඇගේ දරුවෝ අන්ත අසරණ වී සිටියහ. ගමේ තිබූ රජයේ ඉඩමක අසල්වැසි කිහිප දෙනකුගේ උදව්වෙන් ඇය ඉටිරෙදි ගසා පැලක් තනවා ගත්තේ දරුවන් සමග ජීවත් වන්නටය. ඇය ඔවුන් රැක ගැනීමට අතට හසුවන හැම කුලී වැඩක්ම කළාය.
    මෙසේ මාස හතරක් පහක් ගත විය.  කුසුම්ගේ  දිවේ උල්ලෝගම් වැනි කිරි මැලියම්  බැඳෙන්නට වූ අතර ඇගේ කොණ්ඩය අතින් ඇල්ලූ විටත් ගැලවී වැටිණි. සිරුර බලා සිටියදී කෘශ විය. ඇවිදින විට තමා සුළඟටත්  වීසි වනු ඇයට දැනිණි. අව්වේ සිටින විට සිරුර කහ පැහැවිය. ඇය ක්ලාන්ත වී ඇද වැටෙන තත්ත්වයටම පත්විය. බලා ඉන්නට බැරිකමට කුසුම්ගේ පියා ඇය ළගම තිබූ රජයේ රෝහලක නතර කළේය. නමුත් කුසුම්ගේ රෝගයක් සොයා ගත නොහැකි වූ නිසා ඇය වෙනත් ප්‍රධාන රෝහලක්  වෙත මාරු කරනු ලැබිය.
    කුසුම්ට එච්.අයි. වී. ශරීරගත වී ඒ වන විට ඒඩ්ස් තත්ත්වයටම පැමිණ ඇති බව එහිදී  අනාවරණය කර ගනු ලැබිණි. ඇය වහාම කොළඹට නුදුරු අයි.ඩී.එච්. රෝහලට මාරු කරනු ලැබිය. 
    කුසුම් මාස හයක් එම රෝහ‍ලේ ඇඳ මත වැටී සිටියාය. නැගිට ගන්නට ඇයට වාරු නැත. හිසේ එක කෙස් ගහක් වත් නොමැත. ශරීරය අඟුරු  මෙන් කළු පැහැවී තිබේ. සිරුර පුරා ඉබේම තුවාලද මතු වී ඇත.
     කුසුම් මරණය ළං වෙන තුරු ඔහේ  බලා සිටියාය. ඇගේ දරුවෝද ඉඳ හිට ඇය බලන්නට පැමිණියහ. කුසුම්ගේ  දහසය හැවිරිදි වැඩිමහල් දියණිය තරුණයකු සමග පලාගොස් විවාහ වී තිබුණේද මේ කාලයේ දීමය.
    එච්.අයි.වී. වෛරසය වැඩෙන්නේ රුධිරයේ සුදු රුධිරාණු ෙසෙලවල ඇති වසා ෙසෙලවලය. එම වසා ෙසෙල වලද CD 4 නමින් ෙසෙල කොටසක් තිබේ. වෛරසය වසා ෙසෙල වල වර්ධනය වන විට වසා ෙසෙල විනාශ වන අතර CD 4 ෙසෙලද අඩුවේ. CD 4 ෙසෙල සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තිබිය යුතු ප්‍රමාණය දළ වශයෙන්  දහසකට ඉහළ වේ. එච්. අයි. වී. ආසාදිතයකුගේ එය තුන්සියය දක්වා අඩු වීම යනු රෝගියා ඒඩ්ස් තත්ත්වයට පත්වීමය. කුසුම්ගේ CD 4 ෙසෙල හතලිහ දක්වාම අඩු වී තිබිණි.
    කෙසේ හෝ කුසුම්ට ජීවත් වීමට වාසනාව තිබිණි. ඇයට කරන ලද ප්‍රතිකාරවලින් ඇගේ CD 4 ෙසෙල ප්‍රමාණය ඉහළ නැංගේය. මාස හයකට පසු ඇයට ආපසු ගෙදර ඒමට ලැබිණි.
    දැන් ඇයට එච්.අයි.වී. ආසාදනය වී වසර දහයකි. එය දැන ගත්දා සිට ඇය කිසිදු පිරිමියකු සමග කායික ඇසුරක් පැවැත්වූයේ නැත. ඇගේ දරුවන් ද ඔවුන්ගේ කැමැත්තට අනුව අඩු වයස් වලින්ම විවාහ දිවියට ඇතුලත්ව තිබිණ. දැන් අගනුවර නතර වී කුසුම් කුඩා රැකියාවක් කරමින් ජීවත් වන්නීය. උපන්දා සිටම දුකම අනුභව කළ ඇය තමා අද මේ තත්ත්වයට පත්ව හිඳීම ගැන උපේක්ෂාවෙන් බැලීමට තරම් මනසින්  ‍පොහොසත්ය. දිනපතා ඒඩ්ස් ප්‍රතිවිරෝධී ඖෂධ(Antiretro viral drugs) ගන්නා ඇයට දැන් බරපතල රෝගාබාධ කිසිවක් නැත. ඇගේ CD 4 ෙසෙල සංඛ්‍යාවද දැන් 1340 දක්වා ඉහළ නැග තිබේ.
    ඉන්දු පෙරේරා 

    No comments:

    Post a Comment