sha fm

    Sunday, 22 September 2013

    හයක්‌ දොස්‌තරවරු හතරක්‌ උපාධිධාරියෝ


    ජීවත් වන්නට බොහෝ දේ අවශ්‍ය නැත. ජීවිත දිනාගන්නටත් බොහෝ දේ අවශ්‍ය නැත. උත්සාහය අධිෂ්ඨානය හා ඉලක්‌ක ගත අරමුණු ස`දහා විනයක්‌ ගොඩනගාගත් මිනිස්‌සු ජීවිතය දිනා ගනිති. මේ එවැනි සිරිමත් මිනිසුන් ගැන කතාවකි. මෙතැන් සිට ලියෑවෙන්නේ මේ රටේ කුසීත මනුෂ්‍යයින්ට පාඩමක්‌ නොව පාඨමාලාවක්‌ විය හැකි ඒ කතාවය.

    කෝනකරහේන යනු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයත් මාතර දිස්‌ත්‍රික්‌කයත් බෙදුම් ලක්‍ෂයේ පිහිටි සුන්දර ගම්මානයකි. වළස්‌මුල්ල කිරම මාර්ගයේ සැතපුම් කිහිපයක්‌ ගිය තැන කෝනකරහේන ගම්මානය හමු වේ. තේ, පොල් වැනි ආර්ථික බෝගවලින් මෙන්ම මඩ ගොවිතැනින් ද පෝෂිත කෝනකරහේන ගම්මානයේ වැසියන්ද සරල දිවි පෙවතක්‌ ගත කළ මිනිස්‌සු වූහ.



    වීරප්පුලිගේ පියසේන සහ විජයමුණි සන්දිනා යුවළ ජීවන නවාතැන්පළ කරගෙන තිබුණේ ද මේ කෝනකරහේන පිටිසර ගම්මානයයි. එනම් කටු මැට්‌ටෙන් තැනුණු පියසේනගේ පුංචි කැදැල්ලට සෙවණ දී තිබුණේ පොල්අතුය. ඒ පුංචි කැදැල්ලේ අඳුර මැකූ පහන් සිළුව වූයේ කුප්පි ලාම්පුවයි.

    පෙදරේරු කර්මාන්තය ජීවන වෘත්තිය කරගත් පියසේන දරුවන් දස දෙනකුගේ පියෙකි. සන්දිනා අම්මාට තම දරුවන් ගැන සොයා බලනවා හැරෙන්නට රැකියාවක්‌ කිරීමට අවස්‌ථාවක්‌ නොලැබිණි. ගමේ පෙදරේරුවකු යනු මහා විශාල ආදායමක්‌ ලබන පුද්ගලයකු නොවේ. කිසිවකුගේ හව්හරණක්‌ නැති පියසේන පවුලට කිසිම අමතර ආදායමක්‌ ද නොතිබිණි. එහෙයින් මොවුන්ගේ ජීවන මඟ මහා කටුකොහොළින් පිරුණු එකක්‌ විය. එහෙත් මේ දිරිය මව්පිය යුවළ තම දරුවන්ගේ නැණ පහන් ආලෝකවත් කිරීමට නොගත් උත්සාහයක්‌ නැත.

    පියසේන පවුලේ වැඩිහමල් දරුවා රංජිත් ධර්මකීර්තිය. පුංචි රංජිත් අකුරු කරන්නට පාසලට ගියේ කෝනකරහේන ගමේ පාසලටය. මහා විශාල පහසුකම් නොමැති වුවද කෝනකරහේන කනිෂ්ඨයේ දරු දැරියන්ගේ ජීවිත පුබුදුවාලීමට අදිටන් කරගත් ආදරණීය ගුරුභවතුන් පිරිසක්‌ සිටියහ.

    "ගමේ ඉස්‌කෝල මහත්තෙලා, නොනලා දරුවන්ට හොඳට ඉගැන්නුවා. මගේ ලොකු පුතා පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න දක්‍ෂයා. ඒ නිසාම ඉස්‌කෝලේ නොනෙලා මහත්තෙලත් කොලුවට ආදරෙයි" සන්දිනා අම්මා සාඩම්බර අතීතය එසේ මතක්‌ කරන්නට විය.

    පුංචි රංජිත් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් විය. ඉහළ පෙළේ ජනප්‍රිය පාසලකට යැමට රංජිත් සුදුසුකම් ලැබුවද පවුලේ ආර්ථිකය එයට හරස්‌ විය. ගමේ පාසලේම තවත් ළමයින් හත් දෙනකු සමග පන්තියෙන් පන්තියට උසස්‌ වුණු රංජිත් සාමාන්‍ය පෙළ කඩඉම අති විශිෂ්ට ලෙස ජය ගත්තේය. අනතුරුව ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හැදෑරීමට තරමක්‌ පහසුකම්වලින් පොහොසත් වලස්‌මුල්ල මහා විද්‍යාලයට ඇතුළු විය.

    රංජිත් පැමිණි අඩි පාරේ ගමන් කළ සහෝදර සහෝදරියන් දස දෙනාගෙන් අට දෙනෙක්‌ම උපාධිධාරීන් බවට පත්ව සිටිති. එයින් තිදෙනෙක්‌ තම ක්‍ෂේත්‍රයන්හි ඉහළටම යමින් පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත. පවුලේ බාල දරුවන් දෙදෙනා රුහුණු විශ්වද්‍යාලයේ උපාධියට ඉගෙන ගනිමින් සිටිති.

    හතළිස්‌ සය වැනි වියේ පසු වන රංජිත් ධර්මකීර්ති කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකි. එම රෝහලේම ඖෂධවේදිනියක වූ සහ පුංචි සන්දියේ සිට එකම පන්තියේ අකුරු කර මිතුරිය සමග අතිනත ගත් රංජිත් දැන් දරුවන් තිදෙනකුගේ පියෙකි. පියසේන පවුලේ දෙවැන්නා ද පිsරිමි දරුවෙකි. ඔහු නිමල් ධර්මකීර්තිය. ජීවිතයේ හතළිස්‌ හතරවැනි වියට පා තබා ඇති නිමල් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන දන්ත වෛද්‍යවරයා වන්නේය. ඔහු ද විවාහ වී ඇත්තේ ෂෘධවේදිනියක්‌ සමගය. අනුපමා නිමල් යුවළ අතරට දැන් දරුවන් දෙදෙනෙක්‌ පැමිණ සිටිති. නිමල් ධර්මකීර්තිට බාල ආනන්ද ධර්මකීර්ති පශු වෛද්‍යවරයෙකි. ඔහු දැනට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සේවය කරමින් සිටියි. ඔහුගේ සහාකාරිය ගුරුවරියකි. ඇය ජී. ජී. චාන්දනීය. ආනන්ද සහ චාන්දනී දැන් දරුවන් තිදෙනකුගේ මව්පිය යුවළකි.

    පුංචි සන්දියේ සිට අලුත් විදිහට සිතන පතන පියසේන පවුලේ සිව්වැන්නා සරත් ධර්මකීර්තිය. හතළිස්‌ වැනි විය පසු කරමින් සිටින සරත් මහනුවර තාක්‍ෂණ විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. රේණුකා නැමති ගුරුවරිය ජීවන සහාකාරිය කරගත් සරත් දැන් දරුවන් තිදෙනකුගේ පියෙකි.

    වැඩිමහල් දරුවන් සතරදෙනාගේම නම් අවසාන වූයේ ධර්මකීර්ති යන නමිනි. එහෙත් සන්දිනා අම්මාගේ ඉල්ලීම මත අනෙක්‌ දරුවන් සය දෙනාගේ නම් වෙනස්‌ ආරකින් තැබීමට පියසේන තාත්තා තීරණය කළේය. එනම් තම පවුලේ පස්‌වැනි දරුවාගේ උප්පැන්නේ නමේ ඉදිරියෙන් නිශාන්ත සිසිර කුමාර නාමය සටහන් විණි.

    ජීවිතයේ මැදිවිය පසුකරමින් සිටින නිශාන්ත වලස්‌මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරීවරයෙක්‌ ලෙස සේවය කරන්නේය. ඔහු ද තම ජීවන සහාකාරිය ලෙස තෝරාගෙන ඇත්තේ ගුරුවරියක්‌ය. එනම් රූපිකා බස්‌නායකය. නිශාන්ත රූපිකා කැදැල්ල ද දැන් දරුවන් දෙදෙනකුගෙන් හැඩ වී ඇත.

    පියසේන පවුලේ වැඩිමහල් දියණිය වන්නේ ඩබ්. පී. ඉන්ද්‍රdණිය. ඇය වාණිජ විද්‍යා උපාධිධාරිනියක්‌ ලෙස වලස්‌මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන්නීය. ඉන්ද්‍රdණි තම ආදරණීය සහකරුවා ලෙස තෝරාගෙන ඇත්තේ සනත් පීරිස්‌ය. දැන් තිස්‌ පස්‌වැනි වියේ පසු වන ඉන්ද්‍රdණි දරුවන් තිදෙනකුගේ මවකි. පියසේන පවුලේ හත් වැන්නා වූ පද්මා කුමාරිද වෛද්‍යවරියකි. තිස්‌ දෙවැනි වියට පා තබා ඇති පද්මා බුත්තල දිස්‌ත්‍රික්‌ රෝහලේ සේවය කරන්නීය.

    සන්දිනා අම්මාගේ අටවැනි දරුවාද පුත් කුමරෙකි. ඔහු ඉෂාන්ත සිසිර කුමාරය. ඔහුද උපාධිධාරියෙකි. කෘෂිකර්ම විශේෂවේදී උපාධියක්‌ හදාරා ඇති ඉෂාන්ත දැන් මැදමුලන කෘෂිකර්ම උපදේශකවරයා ලෙස සේවය කරමින් සිsටියි. තවමත් විසි නව වැනි වියේ සිටින ඉෂාන්ත අවිවාහකය. සන්දිනා අම්මාගේ බඩපිස්‌සා වන චාමර පුෂ්පකුමාර රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයෙන් උපාධිය හදාරමින් සිටියි. සන්දිනා පියසේන පවුලේ මිණි පහන වූ බඩපිස්‌සිය ලක්‌මිණි චින්තාය. විසි පස්‌වැනි වියේ පසු වන ඇය කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකි.

    මහමෙරක්‌ වූ ජීවන දුක්‌කම්කටොලු මැදින් ජීවන ගඟ තරණය කළ මේ සොඳුරු කැදැල්ලේ දරුවන් සය දෙනෙක්‌ම වෛද්‍යවරු වෙති. එක්‌ අයෙක්‌ ඉංජිනේරුවෙක්‌ වන අතර දෙදෙනෙක්‌ උපාධිය සම්පූර්ණ කර තම ගම් ප්‍රදේශයේම සේවය කරමින් සිටිති. තව කෙනෙක්‌ උපාධිය සම්පූර්ණ කරමින් සිටියි.

    රටක්‌ වටිනා දරුවන් දස දෙනකු ජාතියට බිහි කළ ආඩම්බරකාර පෙදරේරුවා අපි අතරින් සමුගෙන ගිහින් දැන් බොහෝ කල්ය. එහෙත් සන්දිනා අම්මා නම් තවමත් දරු මුණුපුරන්ගේ සුරතල් බලන්නට වාසනාවන්තය.

    "මම ශිෂ්‍යත්වය පාස්‌ වෙනකොට මාව හොඳ පාසලකට යවන්න තාත්තා ළඟ සල්ලි තිබුණේ නැහැ. මගේ නංගිල මල්ලිලත් ශිෂ්‍යත්වය පාස්‌ වුණා. ඒ අයවත් හොඳ පාසලකට යවන්න බැරි වුණා. ඒ ගැන තාත්තා දුක්‌ වුණා. ඒත් අපි දුක්‌ වුණේ නැහැ. අපේ තාත්තා කොහොමහරි අපිට ඉගෙන ගන්න අවශ්‍ය පොත්පත් පුළුවන් විදිහට අරන් දුන්නා. ඒ සම්පත්වලින් අපි හොඳට ඉගෙන ගත්තා. ගමේ පාසල කියලා අපිට වෙනසක්‌ නැහැ. ඉගෙනගන්න ළමයාට කොයි පාසලත් එකයි.

    අපි සාමාන්‍ය පෙළ විභාග පාස්‌ වෙලා වළස්‌මුල්ල ඉස්‌කෝලෙට ඇතුළත් වුණා. ඒත් නිශාන්ත මල්ලිව සාමාන්‍ය පෙළ පාස්‌ වෙලා වළස්‌මුල්ලට දාන්න යනකොට මල්ලිව ඉස්‌කෝලෙට ගන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලා තිබුණා. එහෙම සල්ලි දෙන්න තාත්තා ගාව සල්ලි තිබුණේ නැහැ. අන්තිමේ නිශාන්ත මල්ලිව දැම්මේ කටුවන ඉස්‌කෝලේට. කටුවන ඉස්‌කෝලෙන් මුලින්ම වෛද්‍ය විද්‍යාලයට ගියේ අපේ මල්ලි.

    මම වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ගත්තට පස්‌සේ මගේ ප්‍රධාන ඉල්ලක්‌කය වුණේ මගේ මල්ලිලා නංගිලාට උගන්වන්න. ගේදොර පිළිවෙළකට හදාගන්න. තාත්තත් එක්‌ක එකතුවෙලා ඒක මම බොහෝම පහසුවෙන් කළා.

    ඒ කාලේ අපේ තාත්තයි අම්මයි හැම වෙලාවේම අපිට කිව්වේ කොහොමරි හොඳට ඉගෙනගන්න කියලයි. ඒ දේ අපි කළා. ළමයින්ට ඉගෙනගන්න විශාල පහසුකම් ඕනෑ නැහැ. උනන්දුව සහ ජීවිතයේ ඉලක්‌කයක්‌ තියෙනවා නම් ජීවිතය ජයගනවා කියන දේ බොහෝම සරල දෙයක්‌"



    මිනෙව් රන්චිත
    ඡායාරූප අන්තර්ජාලයෙනි

    No comments:

    Post a Comment