sha fm

    Monday 5 August 2013

    නමෝ බුද්ධාය...!
    අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්ථනය කරන ලද "මජ්ඣිම නිකාය උපරිපණ්ණාසකය" නම් වූ උතුම් සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි...!!!
    “ර්‍තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ”
    පින්වත් මහණෙනි,තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වු විට ය.සැඟ වී තිබෙන විට නො වේ
    ( අංගුත්තර නිකාය - තික නිපාතය, භරණ්ඩු වර්ගය, 9 සුත්‍රය )
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතුති
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වු මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වු සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංඟාව (ලෝ සතුන් ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    ( සළායතන සංයුත්තය - උද්දාන ගාථා )
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම

    මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වු අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා
    භික්ෂුසංඝයා අමතා වදාළා. පින්වතුන් වහන්ස කියා ඒ භික්ෂුන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
    පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පෙනෙන පුද්ගලයෙක් ඒ අතරමැද සිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට ගෙට ඇතුළුවෙන, ගෙයින් පිටවෙන, ගේ ඇතුළේ ඇවිදින, එහා මෙහා හැසිරෙන මිනිසුන්ව දකිනවා. පින්වත් මහණෙනි, මං ඔන්න ඔය විදිහට තමයි මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් දැක්කේ. චුතවෙන,උපදින සත්වයන් වගේම ලාමක, උසස්, ලස්සන, කැත සත්වයන් සුගති, දුගති දෙකෙහි ඔවුන්ගේ කර්මානුරූපව චුතවෙන, උපදින ආකාරය මං දැනගන්නවා.ඒකාන්තයෙන්ම මේ භවත් සත්වයන් කයින් යහපතෙහි හැසිරිලා,වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්තවෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා.ඒ වගේම මේ භවත් සත්වයන් කයින් යහපතෙහි හැසිරිලා, වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්තවෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු මිනිසුන් අතර ඉපදිලා ඉන්නවා.
    ඒකාන්තයෙන්ම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා,වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු ප්‍රේතයන් අතර ඉපදිලා ඉන්නවා.ඒ වගේම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු තිරිසනුන් අතර ඉපදිලා ඉන්නවා.ඒ වගේම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු අපාය නම් වු, දුගතිය නම් වු, විනිපාත නම් වු නිරයෙහි ඉපදිලා ඉන්නවා
    පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලා ගෙන යම රජ්ජුරුවෝ ළඟට ගෙනියනවා. දේවයන් වහන්ස, මේ පුරුෂයා මව්ට අයහපත කරපු කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්. කුල දෙටුවන් නොපිදූ කෙනෙක්.දේවයන් වහන්ස, මොහුට දඬුවම් පණවනු මැන
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද?
    එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ඉතා ලාබාල ළදරුවන් මළමුත්‍රා ගොඩෙහි උඩු අතට සයනය කරලා ඉන්න හැටි? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියල. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. ඉපදීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්නට ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා.අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි,යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි.නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි,පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්න
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා.එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ න
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අවුරුදු අසුව පැනපු, අවුරුදු අනුව පැනපු, අවුරුදු සියය වුන, ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා, දිරාපු පරාල වගේ වකුටු ගැහුණු. හැරමිටි ගගහා යන, වෙව්ලමින් යන, ලෙඩ වු, යොවුන් බව නැති වු, දත් කැඩුණු, කෙස් පැහුණු, කෙස් වැටුණු, හම රැළි වැටුණු, තල කැළැල් පිරුණු ශරීර ඇති නාකි උදවිය? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියල. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් ජරා ජීර්ණවීම ස්වභාව කොට ඇති කෙනෙක්. ජරා ජීර්ණවීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියල. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය,එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, තුන්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු තුන්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ.
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ලෙඩ වෙලා ඉන්නවා. දුකට පත්වෙලා ඉන්නවා. දරුණු විදිහට අසනීප වෙලා, තමන් ගේ මළ මුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිට්ටවන්නේ. හාන්සිකරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා දැක්කා, ස්වාමීනී කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මම ත් රෝගී වීම ස්වභාව කොට ඇති කෙනෙක්. රෝගී වීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්,මනසින් පින් කරන්නට ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ.එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි,පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් තුන්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, සතරවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා.එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු සතරවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, රජවරු, දරුණු අපරාධ කළ සොරෙක් අල්ලා ගෙන ගිහින් විවිධාකාරයෙන් දඬුවම් කරනවා. ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා. දඩු මුගුරුවලින් තලනවා. අත් කපල දානවා,කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනවා. කණ් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හුරනවා. යකඩ අඩුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා. ඇඟෙ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල,ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල,එකට ගැට ගහනවා. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලා, ගින්නෙන් රත් කරනවා, කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේම මස් චුටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝල, කකුල් දෙකෙන් වටේට කරකවනවා.ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. උලේ ඉන්දවනවා. හිස ගසා දානවා නුඹ දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? භවත්නි, යමෙක් පව්කම් කරනවා නම්, ඔවුන්ට මෙලොවදීම මෙබඳු වු දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවෙනවා. පරලොවදී විපාක දීම ගැන කවර කථාද? ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනී, එය බැරුව ගියා.
    ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්,වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් සතරවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු පස්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ.
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, මැරිලා එක දවසක් ගතවෙලා තියෙනවා. එහෙම නැත්නම් මැරිලා දවස් දෙකක්, දවස් තුනක් ගතවෙලා තියෙනවා. ඉදිමිලා තියෙනවා. නිල්වෙලා තියෙනවා. සැරව පිරිලා තියෙනවා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් මරණයට පත්වීම ස්වභාව කොට ඇති කෙනෙක්. මරණය ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්,වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා.අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ.එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි,පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.ඊට පස්සේ පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා නිශ්ශබ්ද වෙනවා
    එතකොට පින්වත් මහණෙනි, නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනය නම් වු දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා.ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අණිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නො තිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරිවලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... ඔහුව කකුල් උඩු අතට හරවලා ඔලුවෙන් හිටවනවා. හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... ගිනිගෙන දිළිසෙන රථයක ගැටගහනවා. ගැටගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලී තිබෙන ගිනියම් වු යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වු, ගිනි අඟුරු පර්වතයකට මොහුව නග්ගවනවා, බස්සවනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... ඔහුව කකුල් උඩුඅතට හරවලා හිස යටිඅතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වු ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු වු දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙණ ගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවකට උඩට එනවා. ආයෙමත් යටට බහිනවා.ආයෙ වතාවක් හරස් අතට කරකැවෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඔබනවා.
    පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ නම්,කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙන
    කොටස් වශයෙන් බෙදලයි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලයි තියෙන්නේ.ඒ නිරයේ බිමත් යකඩින්ම යි කරලා තියෙන්නේ. ගිනිගන්නවා. ගිනිදැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් සියයක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා
    පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ පෙරදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් පෙරදිග බිත්තියේ වදිනවා. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් දකුණුදිග බිත්තියේ වදිනවා. දකුණුදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් උතුරුදිග බිත්තියේ වදිනවා. යටින් ගිනිදැල් මතුවෙලා ඇවිදින් උඩ වහලයේ වදිනවා. උඩ වහලයෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් යටට වදිනවා. එයට මැදිවෙන නිරිසතා දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්,මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි
    පින්වත් මහණෙනි, ඔහු ඒ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගාණක් ගතවෙනවා. යම් විටෙක ඒ දොරටුව ළඟට ළං වුනාද, එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

    පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ බටහිර දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. .... (පෙ) .... උතුරු දොරටුව විවෘත වෙනවාද, .... (පෙ) .... දකුණු දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්, මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා.මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි
    පින්වත් මහණෙනි, ඔහු ඒ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගානක් ගතවෙනවා. යම් විටෙක ඒ දොරටුව ළඟට ළං වුනාද, එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්,
    මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි. එතකොට ඔහු ඒ දොරටුවෙන් එළියට පැනගන්නවා.
    පින්වත් මහණෙනි, මහානිරයට සමාන්තරව බැඳිලා තියෙන මහත් වු අසුචි නිරයක් තියෙනවා. ඒ නිරිසතා අන්න ඒ අසුචි නිරයේ වැටෙනවා.
    පින්වත් මහණෙනි, ඔහු අසුචි නිරයේ ගිලෙනවා. එතකොට ඒ අසුචි නිරයේ ඉන්න හිඳිකටු තුඩ වැනි තුඩ ඇති පණුවෝ ඔහුගේ සිවිය සිදුරු කරනවා.සිවිය සිඳ මස් සිදුරු කරනවා. මස් සිදුරු කොට නහර සිදුරු කරනවා. නහර සිදුරු කොට ඇට සිදුරු කරනවා. ඇට සිදුරු කොට ඇටමිදුළු කන්නට පටන් ගන්නවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.පින්වත් මහණෙනි, ඒ අසුචි නිරයට සමාන්තරව ඉතා දරුණු වු, අති විශාල හුණුඅළු නිරයක් තියෙනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ නිරයටයි.එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා.යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඒ හුණුඅළු නිරයට සමාන්තරව ඉතා දරුණු වු, සියක් යොදුන් උස අඟල් දහසයේ පමණට දික් වු කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අතිවිශාල හිඹුල් වනයක් තියෙනවා. එතකොට එහිදී යමපල්ලෝ ඔහුව ඒ හිඹුල් වනයේ නග්ගවනවා, බස්සවනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඒ හිඹුල්වන නිරයට සමාන්තරව ඉතා දරුණු වු,අතිවිශාල අසිපත්වන නිරයක් තියෙනවා. ඔහු ඒ වනයට ඇතුළුවෙනවා. එහිදී සුළඟෙන් සෙලවි සෙලවී අසිපත් වනයේ කොළ වැටෙන්න පටන්ගන්නවා. ඒ වැටෙන වැටෙන කොළවලින් ඔහුගේ අතුත් කපා දමනවා. පාදත් කපා දමනවා.අත් පාත් කපා දමනවා. කණුත් කපා දමනවා. නාසාත් කපා දමනවා. කණ් නාසාත් කපා දමනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඒ අසිපත් නිරයට සමාන්තරව ඉතා දරුණු වු, අති විශාල වේතරණී නම් ලුණු දිය ගඟක් ගලනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ නිරයටයි. එතකොට එහිදී ඔහු යටටත් ගහගෙන යනවා. උඩු අතටත් ගහගෙන යනවා. යටි අතට උඩු අතට ගහගෙන යනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු,තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ බිලී කොකු දාලා ඒකෙ අමුණලා, ඒ නිරිසතාව වේතරණියෙන් ගොඩට ඇදලා ගන්නවා. අරගෙන මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද? නිරිසතා මෙහෙම කියනවා
    ස්වාමීනී, බඩගිනියි පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වු යකඩ අ'ුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන යකඩ ගුලි ඔහුගේ මුඛයේ ඔබනවා. ඒ ලෝහගුලි ඔහුගේ තොලුත් දවනවා.මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා.අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය
    ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ
    පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද? නිරිසතා මෙහෙම කියනවා. ස්වාමීනී,පිපාසයි පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වු යකඩ අඬුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන ලෝදිය ඔහුගේ මුඛයට වක්කරනවා. ඒ ලෝදිය ඔහුගේ තොලුත් දවනවා. මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා. අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ආයෙමත් ඔහුව මහානිරයට ඇදලා දානවා
    පින්වත් මහණෙනි, මෙය සිදු වු දෙයක්. යම රජ්ජුරුවන්ට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුනා. භවත්නි, ලෝකයෙහි යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම්, ඔවුන් මෙබඳු ආකාර වු විවිධාකාර වු දඬුවම් විඳිනවා නෙව.අහෝ! ඒකාන්තයෙන්ම මාත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබනවා නම්, ඒ කාලෙට තථාගත වු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වෙනවා නම්, එතකොට මං ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරන්නට අවස්ථාවක් ලබනවා නම්, එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ මට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා නම්, එතකොට මං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් මොනතරම් දෙයක්ද! කියා.
    පින්වත් මහණෙනි, මං මේවා කියන්නේ කිසිදු ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අහලා නොවෙයි. යම්කරුණක් මා විසින් තමන්ම දැනගත්තාද, තමන්ම දැකගත්තාද, ඒ තමන් ම අවබෝධ කරගත්, ප්‍රකට කරගත්
    දේම යි මම මේ කියන්නේ.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වු ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වු මේ ගාථාවන්ද වදාළ සේක.
    දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත්වෙලා ඉන්නවා. අන්තිමේදී ඒ නරයන් හීන වු නිරයෙහි ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරනවා.
    දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලොව යම් ශාන්ත වු සත්පුරුෂයන් සිටිත්ද, ඔවුන් කිසිකලෙකත් ආර්ය වු සද්ධර්මයෙහි ප්‍රමාදයට පත්වෙන්නේ නෑ
    ඉපදෙන මැරෙන සසර හටගන්නා හේතුව වන උපාදානය පිළිබඳව භය ඇතිකරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙත්ද,ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත්වෙලා ඉන්නේ.සැපසේ වසන්නේ. මෙලොවදී ම නිවී සැනසී වසන්නේ. සියලු භය වෛර ඉක්මවා ගිය ඒ රහත්හු සෑම දුකක්ම ඉක්මවා ගියා.
    සාදු! සාදු!! සාදු!!!
    දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම නිමා විය. තෙරුවන් සරණයි...!


    No comments:

    Post a Comment