http://ratagiyaattho.blogspot.kr/මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි. අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා.
සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණදහම් අසා පැහැදී ආර්ය මාර්ගයට පිවිසුණා. සිව්වනක් පිරිස යනු භික්‍ෂු,භීක්‍ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස වේ.මෙම කතාවේ මූලිකත්වය දරන්නේ බුද්ධ ශාසනයේ භික්‍ෂූ සමාජය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කළ උදායි හාමුදුරුවන් පිළිබඳවයි.උදායි හාමුදුරුවෝ යහපත් මනා පෙනුමක් ඇති ශරීරය අඟ පසඟ මැනවින් පිහිටි දුටුවන්ගේ සිත් එකවර ඇදී යන මනා ශරීර ස්වභාවයක් තිබූ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරය තුළ තිබුණ මෙම පෙනුම නිසාම උදායි හාමුදුරුවන්ට පැහැදුණු පිරිස විශාලයි.
උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත්ව භික්‍ෂූත්වයට නැඹුරුවූ තරුණ තරුණියන් ප්‍රමාණයත් විශාලයි.එසේ වීමට හේතුව වූයේ උදායි හාමුදුරුවෝ මනා පෙනුමකින් යුතු ශරීරය ස්වභාවයිත් යුත් තත්වයක් තිබූ නිසා. උන්වහන්සේ ලස්සන ශරීර ස්වභාවයෙන් තිබූ කෙනෙක් වුණත් උදායි හාමුදුරුවෝ දැනුම ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුවීමට අපොහොසත් වුණා. බණ දහම් වුණත් නිසි අයුරින් පැහැදිලි කර දීමේ ව්‍යක්ත බවක් උන්වහන්සේ සතුවූයේ නැහැ. ප්‍රඥාව නැති නිසා ධර්මය පිළිබඳ වැටහීමද බොහොම අඩුයි. උදායි හාමුදුරුවන් ගේ ශරීරය ස්වභාවය දියුණුවෙන කොට මානසික ප්‍රඥාව තිබුණෙ අඩුවෙන්. කෙනෙක් එකවර දකින කොට ඒ දකින දැක්මෙන් කෙනෙකුගෙ ප්‍රඥාව , දැනුම,අවබෝධය,තෝරාබේරා ගන්න අමාරුයි. නමුත් ශරීර ස්වභාවයේ හැඩරුව දැන හඳුනගන්න එතරම් අමාරු නැහැ. උදායි හාමුදුරුවෝ තුළ මෙම පිහිටීම් ස්වභාවයන් නිසාම උන්වහන්සේ සමාජය තුළ ලැබූ ජනපි‍්‍රයත්වය ද වැඩියි. පන්සලට එන කෙනෙක් උදායි හාමුදුරුවන් දකින කොට එකවර උන්වහන්සේ කෙරෙහි හිත ඇදී යනවා.
උන්වහන්සේගෙන් බණ දහම් අහන්නත් හිතෙනවා. පිරිස මේ වගේ වැඩිවෙන කොට, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වැඩි වෙනකොට, තමන්ගේ දැනුමේ අඩුපාඩු උදායි හාමුදුරුවන්ට දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ප්‍රඥාවේ අඩුපාඩු කම උන්වන්සේට දැනෙන්න වුණා. තමන්ට ධර්ම දැනුම අඩුයිනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. එහෙම වුණත් දැන් බණදහම් ඉගෙනගන්න තරම් කාලයක් නැහැ. ඒ කාර්යය බහුල නිසා. සමාජයට තමනුත් දන්න කෙනෙක්ය කියක කරුණ පෙන්වීමට ඕනෑ යැයි සිතිවිල්ලක් උදායි හාමුදුරුවන්ට ඇතිවුනා.උන්වහන්සේ, මමත් බණදන්න කෙනෙක්. මටත් බණ හොඳීන් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතාගෙන යනකොට උන්වහන්සේ වටහා ගත්තා මටත් බණ දහම් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා. එක දවසක් උදායි හාමුදුරුවො බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන දහම් සභාවේ මූලිකත්වය දරන ආසනයක වාඩිවෙලා උජාරු ලීලාවෙන් තමනුත් බණ දහම් දන්න කෙනෙක්ය කියා අනෙක් අයට පෙන්වීම සඳහා වාඩිවෙලා හිටියා. ඈත දුර බැහැර ඉඳල බුදුහාමුදුරුවෝ දකින්න පන්සලට ආවා. ධර්මය දන්න ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උදායි හාමුදුරුවො ළඟට ගිහිල්ල ධර්මය ගැන කතා කළා. බුදුහාමුදුරුවී දේශනා කළ විනය හොඳීන් දන්න හාමුදුරුවන් වහන්සේලාට කියන්නේ විනයධර භික්‍ෂූන්වහන්සේ කියලා. දුරබැහැර ප්‍රදේශවලින් වැඩම කළ විනයධර භික්‍ෂූන්වහන්සේලා උදායි හාමුදුරුවන්ගෙන් විනය පිළිබඳ කරුණු විමසුවා. උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කිරීමේ අදහසින් එහෙම කළා නොවෙයි. උදායි හාමුදුරුවන් හිටිය ලීලාවෙන් උන්වහන්සේ හිතුවා උදායි හාමුදුරුවන් ධර්මධර භික්‍ෂූන්වහන්සේ නමක්ය කියලා. විනයධර,භික්‍ෂූන් වහන්සේ නමක්ය කියලා. එසේ හිතලයි උන්වහන්සේගෙන් මේවගේ ප්‍රශ්න ඇසුවේ.
කිසි විටකත් උන්වහන්සේ හෑල්ලුවට ලක්කිරීමේ අදහසින් නොවෙයි. එහෙම වුණත් උත්තර දීගන්න බැරිවුනහම දැනුම අඩු බව වැටුහුණු විට උදායි හාමුදුරුවන් ගැන අනෙක් හාමුදුරුවරු හරියට දුක්වුණා. කළකිරුණා. කම්පාවට පත්වුණා. ඒකට හේතුව තමයි, බුදුරජාණන්වහන්සේ ළඟ වැඩ හිඳගෙන ජේතවනාරාමය ඇසුරු නිසරු කරමින් මහා දැන උගත් පඬිවරුන්ගේ සෙවණේ ඉඳගෙන මේ හාමුදුරුවො මේ තරම් මෝඩ කෙනෙක් බවට පත්වුණේ ඇයි? කියලා. ශරීර ස්වභාවය මනාව තිබුණත්, ප්‍රඥාවෙන් හිස්, ප්‍රඥාවෙන් හීන මේ වගේ කෙනෙක් මෙහෙම වුණේ කොහාමද? කියලා ඈත දුර බැහැර සිට පන්සලට වැඩම කළ හාමුදුරුවරු උදායි හාමුදුරුවො ගැන දුක් වුණා.
උන්වහන්සේලා උදායි හාමුදුරුවෝ ගැන දුක්වුණා විතරක් නොවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙනුත් විමසුවා. බුදුහාමුදුරුවනේ,ඔබ වහන්සේ නිතර නිතර දැක දැක ඔබ වහන්සේගේ උතුම් බණ නිතර නිතර අසා ඔබ වහන්සේගේ සෙවණෙහිමත් වැඩෙන,මෙම උදායි හාමුදුරුවෝ මොනවත් ඉගෙන නොගන්නේ ඇයි? ස්වාමීනි! බුදුපියාණන් වහන්ස, ඒ පිළිබඳ කියලා දෙන්න.උනන්දුවක් නැද්ද කියලා. “ ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් වහන්සේ අරභයා පෙර ඇසූ ප්‍රශ්නය මාතෘකා කරගෙන කරුණු කාරණා කිහිපයක් දේශනා කළා.
යාව ජීවන්ති චෙ බාලෝ
පණ්ඩිතං පයිරු පාසතී
න සෝ ධම්මං විජානාති
ධම්හිී සූපරසං යථා
පණ්ඩිතං පයිරු පාසතී
න සෝ ධම්මං විජානාති
ධම්හිී සූපරසං යථා
මෙම බණ පදය තුළ ආදර්ශවත් උපමාවක් දක්වල තියෙනවා. හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි.අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා. උදායි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියේ බුද්ධ කාලයේ උදායි හාමුදුරුවො වගේ අය අද කාලේ වුවත්, පැවිදි දම් පුරන අය අතර ඉන්න පුළුවන්. ඒ වගේ උදායි හාමුදුරුවන්ගේ හැඩරුව ගත් ගිහි අය වුවත් අපේ සමාජයේ ඕනතරම් ඉන්න පුළුවන්. පන්සලට යනවා.පන්සලට ගිහින් පින් දහම් කරන්නේ නැතිව වෙන වෙන වැඩ කරනවා. හාමුදුරුවන් සමඟ සාකච්ඡා කරනවා. හාමුදුරු කෙනෙක් සමග කතා කිරීමට අවශ්‍ය බණ දහම් ගැන සහ තමන්ගේ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය කරගන්න ආකාරය පිළිබඳවයි. නමුත් ඒවා කතාකරන්නේ නැතිව අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒවගේම පන්සිල් රකිනවාය කියලා පෙන්වමින් හොර රහසේම පන්සිල් කඩනවා. මෙන්න මේ වගේ ගිහි අය අපේ සමාජයේ ජීවත්වෙනවා. ඒ ගිහි අය මොන වගේද කියලා ඇහුවොත් බුදු බණට අනුව අපිට කියන්න වෙන්නේ හොද්දෙම බැහැල ඉන්න හොදි රසය දන්නේ නැති හැන්ද වගේය කියලා.
සටහන: හේමමාලා රන්දුනු