sha fm

    Sunday, 25 August 2013

    දුක සැප පෙරළෙන සංස්‌කාර

    'සතර අපායෙන් මිදෙමු' 18 කොටස
    වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම අසරණයි. සරණක්‌ ඇති ජීවිතයක්‌ ඉදිරියේ මේවා කුමක්‌ නම් පීඩාවක්‌ කරන්නද..... ලන්තෑරුම් එළියෙන් ලෑලි ඇඳ මත වාඩිවී මේ සටහන තබනකොට භික්‍ෂුවගේ සිත පුදුමාකාර සැනසීමකින් පිරිලා. මේ ටික සටහන් වුණේ වැස්‌ස නිසා. ඒ නිසාම භික්‍ෂුව වැස්‌සට ආශිර්වාද කරනවා. භික්‍ෂුවට මතකය තේර තේරී ගාථාවල එක්‌ රහතන් වහන්සේ නමක්‌ උදාන වාක්‍යයක්‌ ප්‍රකාශ කරනවා 'වැස්‌ස¾ ඔබ ඇති තරම් වහින්න. ගොරවා ගොරවා වහින්න. වැස්‌සට බැහැ මාව අපහසුවට පත්කරන්න. මම කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ' කියලා. වැස්‌සට ගුලිවෙලා, වකුටුවෙලා වැස්‌සට බැණ බැණ ඉන්නවා වෙනුවට උන්වහන්සේ වැස්‌සට ආශිර්වාද කළා. අපි වැස්‌සට කොච්චර කිව්වත් වහින්න එපා කියලා වැස්‌ස එය අහන්නේ නැහැ. වැස්‌සට ඇතිවන තුරාවට එය වහිනවා. වැස්‌ස වහිනතාක්‌ පරිසරය, කුටිය හිරිකිඩෙන්, මීදුමෙන්, දියසීරාවෙන් ආක්‍රමණය කරනවා. මේ වැස්‌සට තෙමුණොත් වැඩිම වුණොත් උණක්‌, සෙම්ප්‍රතිශ්‍යාවක්‌ හැදෙයි. ඊට වඩා හැදෙන ලෙඩක්‌ නැහැ. කොත්තමල්ලි ටිකක්‌ තම්බලා වළඳලා, බටහිර බෙහෙත් පෙත්තක්‌, කරලක්‌ වළඳලා එය සනීප වෙලා යාවී. නමුත් ඇස නිසා ඇති වන කෙළෙස්‌ වැස්‌සට, කණ නිසා ඇති වෙන කෙළෙස්‌ වැස්‌සට නාසය, දිව, මනස, කය නිසා ඇතිවන කෙළෙස්‌ වැස්‌සට පිංවත් ඔබ තෙමුණොත් මෙලොව, පරලොව දෙකේදීම අපි දුකට වැටෙනවා. අර අතීත රහතන් වහන්සේ සිංහනාද කරන්නේ 'මගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ. වැස්‌ස ඇති තරම් වහින්න' කියලා. ආධ්‍යාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥානයත් මේ කාරණා තුන එකතුවන ඵස්‌සය ළඟදීම උන්වහන්සේ අනිත්‍යය දකිනවා. ඵස්‌සය අනිත්‍යයයි කියලා අවබෝධයෙන් දකින තැනදී විඳීමක්‌ සකස්‌වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සැවොම ඵස්‌සය නිත්‍ය වශයෙන් ගෙන පංච උපාදානස්‌කන්ධය සකස්‌කරගන්නවා. ඒ කෙළෙස්‌ වැස්‌සට තෙමෙනවා. විඳීම කියන සෙවිලි නොකළ වහලය අපිව බරපතළ ආකාරයට කෙළෙස්‌වලින් තෙමෙනවා. මෙහි ඵලය තමයි සංස්‌කාරයන්ගේ බලවත් රෝගාතුරභාවය. සංස්‌කාර හේතුවෙන් හටගන්නා රෝගාබාධ බෙහෙත්පෙති, කරල්, සිරප් වළඳලා නම් සනීපකරගන්න බැහැ. කල්ප ගණන් මිථ්‍යදෘෂ්ඨිකභාවය, දුප්පත් බව, කුසගින්න, විරූපි බව, ගින්දර, ගිනි අඟුරු, ලෝදිය මත මදි නැතිව දුක්‌ අනුභව කරලයි අවසන් වෙන්නේ. දුකත් සැපත් දෙකම සංස්‌කාරයන්ගේ ඵලයක්‌ මයි. එම නිසා දුක, සැප දෙකම අපි සම සිතින් පිළිගත යුතුයි. අපි සූදානම් සැප සතුටින් පිළිගෙන, දුක අසතුටින් ප්‍රතික්‍ෂේප කිරීමට නම් අපට කවදාකවත් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙන්නට බැහැ. අනිත්‍ය සංඥාවන්ගෙන් සෙවිලි නොකරන ලද ඇස නිසාමයි, කණ නිසාමයි, නාසය නිසාමයි, දිව නිසාමයි, කය නිසාමයි, මනස නිසාමයි දුකත් සැපත් දෙකම අපට උරුමකර දෙන්නේ. අතීතයේ වැඩ සිටිය රහතන්වහන්සේ 'වැස්‌ස ඇතිතාක්‌ වහින්න. මාගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ' කියලා සිංහනාද කරන්නේ, උන්වහන්සේගේ කුටියට වැසිදිය නොවැටෙන නිසා නොව මීදුම, සීතල නොඑන නිසාම නොව උන්වහන්සේ 'දැක්‌කාය' කියන තැනදීම, 'ඇසුනාය' කියන තැනදීම 'දැනුනාය' කියන තැනදීම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම පිණිස අවබෝධයෙන් සම්පූර්ණ උත්තමයකු නිසාය. 'මම' කියන පුද්ගලයා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වූ ඵලයක්‌ ලෙස අවබෝධ කරගනිද්දී, හේතූන් නිසා සකස්‌ වූ ඵලයක්‌ තුළ සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ වශයෙන් අර්ථයක්‌ නොපෙනෙද්දී කුමක්‌ නිසා, කව්රුන් උදෙසා තෘෂ්ණාවක්‌ සකස්‌වෙන්නද? පිංවත් ඔබ දෑස්‌ හොඳින් විවර කර බලන්න. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන නිසා සකස්‌ වූ කෙළෙස්‌ වැස්‌සට තෙමුණු සත්වයන්ගේ ලෝකයයි ඔබ ඉදිරියේ දර්ශනය වන්නේ. ධාරානිපාත වර්ෂාවක්‌ ගහකොළ පෙරළා, ඇල දොළ ගංගා දෙගොඩ තලා, පස්‌කඳු නායගොස්‌ මහා විනාශක්‌ කරන්නා සේ ඇස නිසා සකස්‌ වූ කෙළෙස්‌වල බරපතළභාවය නිසාම මොනතරම් දුක්‌ ගොඩක්‌ සත්වයා විඳිනවාද. අපි එක මොහොතක්‌වත් ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා වන දුක්‌ ගැන මෙනෙහි කරනවාද, කථාකරනවාද. ඇස, කණ, නාසය, දිව, කය, මනස නිසා කෙළෙස්‌ වැස්‌සට හසුවුණ අයමයි ඔය සිරගෙවල්වල, රෝහල්වල, යුධ භූමිවල, ගිහිගෙවල්වල, මගතොටේ අපට මුණගැසෙන්නේ. ස්‌වභාවධර්මයේ වැස්‌සෙන් නොතෙමෙන්න අපි උපක්‍රම යෙදුවාට, තෘෂ්ණාවේ කෙලෙස්‌ වැස්‌සෙන් අප නිරතුරුවම තෙමෙනවා. අපි ලෙඩවෙනවා. නොදැනුවත්කම නිසාම අසාධ්‍ය රෝගීන් බවට පත්වෙනවා. එහෙම රෝගීන්ට බෙහෙත් කියන්නෙත් තවත් අසාධ්‍ය රෝගියෙක්‌මයි. ඒ නිසා රෝගියා සහ වෛද්‍යවරයා දෙදෙනාම හුඟක්‌ වෙලාවට විනාශය කරාම පියවර තබනවා. එක තාත්තා කෙනෙක්‌ සිටියා, ඒ තාත්තා දරුවන්ට බොහොම ආදරෙයි. ඔහු රජයේ සේවකයෙක්‌. මොහු ශීලය ගැන එතරම් තැකුව කෙනෙක්‌ නෙවෙයි. මාරයා විසින් සමාජය තුළ එලා ඇති තරගකාරීත්වය නැමැති දැළට හසුවෙලා සිටි අයෙක්‌ මොහු. යමක්‌ අයිති කර ගැනීමට යන ගමනේදී මොහු බොහෝම වේගවත්. කොටින්ම මොහුට දවසේ පැය 24ම වුණත් කටයුතු සඳහා ප්‍රමාණවත් මදි. මොහු තමන්ගේ දරුවෙක්‌ වෙනුවෙන් බොහොම මහන්සියෙන් නිවසක්‌ හැදුවා. නිවසේ වැඩකටයුතු අඩක්‌ නිමාකර තිබියදී මොහු මියයනවා. අපි දන්න ස්‌වාමීන් වහන්සේ නමක්‌ සමාධිය තුළින් අරමුණු කර බලනවා මොහු මරණින් මතු කොතැනක ඉපදිලා සිටිනවාද කියලා. එවිට එම ස්‌වාමීන්වහන්සේට අරමුණුවෙනවා මුල් ගලක්‌ දෑතින් අල්ලාගෙන සිටි බහිරව ස්‌වභාවයේ ප්‍රේතයෙක්‌. ඔහු එරමිනියාගොතාගෙන, මුල්ගල බදාගෙන ඉන්නවා වගෙයි දර්ශනය වෙලා තිබෙන්නේ. අපි භහිරවයා යනුවෙන් හඳුන්වන සත්වයෙක්‌. මේ කාරණයේදී භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ, වැඩ අවසන් නොවූ නිවසේ උපාදානය නිසා ඉහත උපත සකස්‌කරගත් බවයි. දැන් ඉතින් මුල්ගල මගේ කොටගෙන බහිරව ලෝකයේ ජීවත්වෙනවා. මේ මුල්ගල නිශ්චිත වශයෙන් එම නිවසේම මුල්ගල ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. බලන්න, නිවස නැමැති රූපය නිසා සකස්‌ වූ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවූ කෙළෙස්‌ වැස්‌සට හසුව ඔහුව ගසාගෙන ගොස්‌ ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය සකස්‌කර දුන්තැන. 'උපාදාන පච්ජයාරි භවෝ'..... ඔබ ඉදිරියේ ඇති භයානකම අනතුරු නුවණින් හඳුනා නොගත්තොත් ඔබට දුකම උරුමකර දෙන ධර්මතාවය. මේ මහත්මයා මනසේ සකස්‌වූ කෙළෙස්‌ වැස්‌සට හසුවීම නිසා සකස්‌කරගත් දුක කල්ප ගණනාවක්‌ විය හැකියි නේද? වර්තමාන සමාජයේ ජීවත්වෙන හුඟ දෙනකුට තමන්ගේ කටයුතුවලට දවසේ පැය 24ත් මදි. ඒ මදිබව නිසාම සමහරු රාත්‍රියේ නින්දෙන් ගණන් හදනවා. දරුවන්ට, බිරිඳට ආදරය කරනවා. මාරයා විසින් එලන ලද තරගකාරීත්වයේ දැලට හසුවී දුවන්නන් වාලේ දුවන චර්යාවෙන් මිදෙන්න. විවේකීව කෙලෙස්‌ වැස්‌ස ගැන සිතන්න. සමාජය වේගයෙන් ලෞකික වශයෙන් සංවර්ධනය වෙනවා. විසිතුරුභාවයෙන්, ගෘහනිර්මාණ ශිල්පයෙන් එකිනෙක අභිබවා දැකුම්කළු නිවාස ඉදිවෙනවා. ඔබගේ සුන්දර නිවස යම් සේ දැකුම්කලුද, විසිතුරුද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබගේ සිත ඊටත් වඩා විසිතුරුයි කියලා. මොකද ඔබ තුළ ඇති තෘෂ්ණාවේ දිග පළල නිසාමයි ඔය වැනි විසිතුරු නිවසක්‌ නිර්මාණය වුණේ කියලා. ඉහත වැකිය සටහන් කරනකොටම භික්‍ෂුවට හිනාවක්‌ ඇති වුණා. භික්‍ෂුව මේ වෙලාවේ වැඩ සිටින කුටිය කැලයේ ඇති මැටිගැසූ කුඩා පැළක්‌. රජගෙදර ඉන්න රජතුමාට වඩා නික්‌ලේෂී සැනසිල්ලක්‌ භික්‍ෂුව මේ මොහොතේ අත්විඳිනවා. තෘෂ්ණාව ක්‍ෂය වුණ තැන නිස්‌සරණය, සැහැල්ලුව මිස දුක සැප එහි කොයින්ද? වැස්‌ස, සුළඟ, සීතල මීදුම එනවා. යනවා. ඒත් ඒ කිසිවකින් පීඩා විඳින්න පුද්ගලයෙක්‌ මෙතැන නැහැ. ඵස්‌ස පච්ජයා වේදනා..... ඵස්‌සය නිසා සකස්‌ වූ විඳීමත්, ඵස්‌සයත්, විඳීමත් අනිත්‍යධර්මයන්මයි. මොන තරම් සරළ සමීකරණයක්‌ද. විසිතුරුභාවය වැඩිවන්න වැඩිවන්න, තෘෂ්ණාව වැඩිවන බව ඔබ තේරුම්ගන්න ඕනා. තෘෂ්ණාව වැඩිවන්න වැඩිවන්න දුකයි වැඩිවන්නේ. දුක කියන්නේ අවිද්‍යාව නිසා අපිට රැස්‌වෙන්නාවූ සංස්‌කාරයි. සංස්‌කාරයන් නිදහසේ භුක්‌තිවිඳීමට අභය භූමියක්‌ වෙමිනුයි ලෝකය පවතින්නේ. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ට බාධාකරන්න කෙනෙක්‌ ලෝකයේ නැහැ.
    උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ

    Tuesday, 20 August 2013

    ලොව උතුම් දානය – ධර්ම දානය


    භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා.

    දානය කියන වචනයෙන් තමයි ධර්මය ගැනත් දේශනා කරලා තිබෙන්නේ. ධර්ම දානය දිමේදී, දානයක් බවට ධර්මය පත්කිරීමේ දී, ධර්මය දන් දීමේදී අපට වැදගත් වන්නේ මේ ධර්ම දානය දෙන්නේ කොහොමද කියන එකයි. ධර්ම දානයේදී පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම දිය යුතුයි. උන් වහන්සේ දේශනා කළා ධර්ම දානය අග්‍රයි කියලා. එනිසා යම් කෙනෙක් අග්‍ර වූ දෙයක් හැටියට මේ ධර්ම දානය දෙන්න දක්ෂ වුණොත් එය ඔහු ලෝකයාට කරන විශාල යහපතක් . එවිට ලෝකයා කුසල් අකුසල් හඳුනාගන්නවා. පින – පව හඳුනාගන්නවා. මෙලොව පරලොව හඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මය, අසත්පුරුෂ ධර්මය හඳුනා ගන්නවා. සසර නිවන හඳුනා ගන්නවා. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේ නොසිතු නොපැතූ යම් කිසි විස්මිත ඤාණයක් ධර්ම දානය තුළින් ලබාගන්න පුළුවන්කම තිබෙනවා.

    භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි, ගිහි පිරිස භික්ෂූන් උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානෝපත්‍ය කියන සිවුපසයෙන් උපස්ථාන කරන නිසා ඔවුන්ට පෙරළා උපකාරයක් ලෙස ධර්ම දානය කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ වදාළා මුල, මැද, අග පිරිසිදු වූ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු පැහැදිලි කරුණුවලින් යුතු ඒ ධර්මය මේ ලෝකයාට දේශනා කරන්න . මේ ධර්මය අවබෝධ කරන පිරිස ඉන්නවා කියලා. එයින් අපට පේනවා ධර්ම දානය කෙතරම් වටිනාකමක් තිබෙනවාද කියලා.

    ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා “ ආනන්ද ඔබ යම්කිසි කෙනකුට කරුණාවන්ත දයාවන්ත නම් අනුකම්පා කරනවා නම් ඔබේ වචනය ඒ අය අහනවා කියලා. එවිට ඒ කෙනාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පහදවන්න කියලා. එය තමයි ඔවුන්ට කරන්න පුලුවන් යහපත්ම දේ. එයින් අපට පැහැදිලියි ධර්ම දානය පිණිස තමයි නිතර රහතන් වහන්සේලා වෙහෙසුනේ. පළමු ධර්ම සංගායනාව , දෙවැනි ධර්ම සංගායනාව , තුන්වැනි ධර්ම සංගායනාව මගින් කළේ ධර්මය විකෘති නොවී නිර්මල ලෙස ආරක්‍ෂා කිරීමයි.

    ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල පිරිසිදු ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන වැඩියේ. එය තමයි ලංකාවෙ සංගායනා කරල ආරක්ෂා කළේ. ඉතින් එලෙස ලැබුණ ඒ නිර්මල ධර්මය වර්තමානයේදී කෙනකුට දානය කරන්න පුළුවන්නම් එය උතුම් වූ දානයයි. වර්තමානයේ අපට පේනවා නොයෙක් ආකාරයෙන් ධර්මය දානය කරන අවස්ථා. දහම් සංයුක්ත තැටියක් නැත්නම් කැසට් පටියක් විකාශය කරලා සියලුම දෙනාට අහන්න සලස්වනවා. සමහර පිරිස් ධර්ම දානය සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා අනෙක් අයට ධර්මය අසන්න උනන්දු කරවනවා. ඒ සියලුම දේවල් ධර්මයට කරන උපකාරයක්. ඒ වගේම දහම් පොතක් මිලට අරගෙන ඒ දහම් පොත නොමිලේ අනෙක් අය උදෙසා බෙදා දෙනවා.

    භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල තිබෙන යම් යම් කොටස් අරගෙන ඒවා මුද්‍රණය කරලා නැවත බෙදා හරිනවා. ඒ සියලුම දේවල් අග්‍රම දානය වන ධර්ම දානයට අයිතියි. මේ සියලුම ආකාරයට ධර්ම දානය කළ හැකියි. නමුත් මේ සියලුම දේ මගින් ඔබ කළ යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමයි. ඔබ අධර්මය ප්‍රචාරය කළොත් එයින් සිදුවන්නේ පිනක් නොවේ. එනිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේම ධර්මය ප්‍රචාරය කරන්න ඔබ උනන්දු විය යුතුයි.අපට පේනවා හුදෙක් ජනපි‍්‍රයත්වය උදෙසා අපහාසය මිනිසුන්ට දෙනවා. විකට දේශනා දන් දෙනවා.

    ලෝකයම හිනස්සවන කරුණු කියන එක ධර්ම දානය නොවේ. ඔබ එය හොඳින් තේරුම් ගත යුතුයි. අනුන්ට ගරහන එක, ඕපාදූප කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති නැහැ. උන්වහන්සේගේ පිරිසිදු දහම තුළ තිබෙන්නේ දුක් විඳින සත්ත්වයා ඒ දුකෙන් එතෙර කරවන වැඩ පිළිවෙළක්. ඒ තුළින් තමයි මිනිසුන්ගේ වසා තිබෙන ප්‍රඥාව අවදි වන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ. එයින් ඔවුන්ට බොහෝ යහපතක් සිදුවෙනවා. මිථ්‍යා වාචා දන්නෙත් නැතිව සම්මා වාචා දන්නෙත් නැතුව ඔබ වියදම් කර කර මිථ්‍යා වාචා දන් දෙනවානම් ඒක කුසලයක් නොවේ අකුසලයක් මයි. එනිසා මේනිසා කුසලයක් වෙත්නම් සම්මාවාචා දන්දෙන්න ඕන.

    උත්තර කියන මහරහතන් වහන්සේ සක් දෙවිඳුන්ට එක්තරා අවස්ථාවක දේශනා කරනවා අපට මේ ලෝකයෙන් පැනයන්න බැරි කරුණු ගැන. එහිදී සඳහන් වෙනවා අපට කවදාවත් මරණයෙන් පැන යන්න බැහැ. වයසට යාමෙන් පැනයන්න බැහැ. රෝග පීඩාදියෙන් , අනිත්‍ය බවට පත්වීමෙන්, කර්ම විපාකයෙන්, පැනයන්න බැහැ කියනවා. එවිට සක්දෙවිඳුන් උත්තර මහරහතන් වහන්සේගෙන් අසනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ කරුණු දේශනා කළේ ඔබ වහන්සේම සොයාගෙන ද? නැත්නම් මේවා වෙන කාගෙවත්ද කියලා. එතකොට රහතන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද . ඒ සියල්ලම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ කියලා. එය උපමාවකින් කියනවා යම් තැනක ධාන්‍ය ගොඩක් තිබෙනවා. එක එක්කෙනා ඒ ධාන්‍ය ගොඩෙන් ධාන්‍ය ලබාගන්න තම තමාට සරිලන භාජන අරගෙන එනවා. ඇවිත් භාජන පුරවාගෙන යනවා. එය දකින සමහර අය අහනවා. ඔබ කොහෙන්ද මේ ධාන්‍ය අරගෙන එන්නේ කියලා. අර අතන ධාන්‍ය ගොඩක් තිබෙනවා. ඒ ධාන්‍ය ගොඩෙනුයි මම මේවා අරගෙන එන්නේ කියලා කියනවා. ඒ වගේ අපිත් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උපයෝගී කොටගෙන තමයි මේ කථාකරන්නේ කියලා.එහෙයින් අපට පැහැදිලියි ඒ බුද්ධ දේශනා තමයි අපට උපුටා දක්වමින් කතාකරන්න තියෙන්නේ.

    ඉතින් මෑත භාගයේදී අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උපුටා ගනිමින් “ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි “ කියන හඬ ඉස්මතු කරන්න ලොකු වෙහෙසක් දැරුවා . ඒ වගේම ගෞතම බුදු සසුන කියන්නේ වඳ බැහැපු පිළිසරණක් රහිත එකක් නොවේ. ඒ ශාසනය තුළ විශාල රැකවරණයක් පිළිසරණක් තිබෙනවා. මෙලොව ජීවිත සුවපත් වන්නේත් පරලොව ජීවිත සුගතිය කරා යන්නේත් මේ ශාසනය තුළ හික්මෙන පුද්ගලයා පමණයි. ගෞතම ශාසනය තුළ ආර්ය සත්‍ය හතරක් තිබෙනවා. මිනිසාගේ සැඟවුණූ ප්‍රඥාව වැඩෙන්නේ ඒ ආර්ය සත්‍ය හතර තුළින්. එනිසා ඒ ආර්ය සත්‍ය නිතර නිතර මිනිසුන්ට කියා දිය යුතුයි. ඔවුන් ඒ කෙරෙහි සමාදන් කළ යුතුයි. ඒ සඳහා තමයි අපට ධර්ම දානය තිබෙන්නේ.

    අද ලෝකයේ මාධ්‍ය බොහෝ ව්‍යාප්තයි. ක්ෂණයකින් එක කරුණක් මුළු ලෝකයාටම දිය හැකියි. ඒනිසා ඔබට ඒ නිර්මල ධර්ම දානය දෙන්න ඉතාමත් ලෙහෙසියි. ඔබ යම් ධර්ම දානයක් දෙනවානම් එය හැම දෙනාගේම හිතසුව පිණිස පවතිනවා. එයින් යම් කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගතහොත් එය විශාල පිනක්. එය විශාල වාසියක් ද වෙනවා. නමුත් ඒ සඳහා ධර්ම දානය දෙන පුද්ගලයා මනා ලෙස ඒ නිර්මල දහම කෙරෙහි ගෞරවයක් ඇතිව විශාල පැහැදීමකට පැමිණිය යුතුයි. එහෙම නැතිව ධර්ම දානය ලෙස අධර්මය දන්දෙන අවස්ථා අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම තර්කානුකූලව තිබෙන අවුල් සහගත ප්‍රකාශත් බුද්ධ වචනයෙන් බැහැර වූ දේත් ධර්ම දානය හැටියට දෙන අවස්ථා තිබෙනවා. ඒවාටත් බොහෝ දෙනෙක් රැවටෙනවා. තමාගේ අදහසට ගැලපුන පමණින්, තමන්ගේ මතයට ගැලපුන පමණින්, තමන් කැමැති පුද්ගලයා කියු පමණින්, ඊට එකඟවෙලා දානය ලෙස දුන්නා කියලා. එය ධර්ම දානයක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම ධර්ම දානය සඳහා දීමට ඔබ උත්සහ ගත යුතුයි. එනිසා ඔබ ඔබට හැකි අයුරින් ධර්ම දානය කරන්න ලෝභ, ද්වේෂ, මෝහය ප්‍රහාණය කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයම දන් දෙන්න. ඒ සදහා අද ඔබට ඕනෑතරම් පහසුකම් ක්‍රම විධි තිබෙනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම ප්‍රචාරය කිරීමට අන් අයගේ සුබ සිද්ධිය පිණිස, ඒ අය කෙරෙහි කරුණා සිතින් යුක්තව ධර්ම දානය කරන්න.

    එවිට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන් පරිදි දාන අතර අග්‍ර දානය දුන් පිරිස අතරට ඔබත් පත්වේවි. ඒ සියල්ල ඔබට නිතර නිතර මෙනෙහි කර සතුටු විය හැකියි. එය ඔබගේ මරණාසන්න මොහොතේදී ද සතුටු විය හැකි කාරණයක් වනවා නො අනුමානයි.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

    රුවන්වැලි’ මහා සෑය


    පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම
    රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.

    දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූයේ ලංකාවේ විශාලතම දාගැබ ඉදිකිරීමට ය. එහෙත් රජතුමාගේ ජීවිත කාලයටම එය සාදා නිම කිරීමට නොහැකි වන බව දත් මහරහතන් වහන්සේලා එහි සැලැස්ම එම ප්‍රමාණයට වඩා කුඩා කිරීමට උපදෙස් දුන් බව කියැවෙයි.

    එවකට ලක්බිමේ විශාලම සෑය එය වූ බැවින් රුවන්වැලි සෑය මහා සෑය නම් විය. ඊට පසුව රුවන්වැලි සෑයට වඩා විශාල ස්තූපයන් ඉදි වුවද මෙහි ඇති විශිෂ්ටත්වය අභිභවා යාමට වෙනත් කිසිදු ස්තූපයක් සමත් වී නැත. අදත් ලක්බිමේ ඇති මහා සෑය නමින් කිරළු දරන්නේ රුවන්වැලි සෑයමය.

    මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.

    දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාට සිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ‘ස්වරණමාලීට’ උපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. ස්වර්ණමාලී මහා සෑය, ‘රත්නමාලී’, රුවන් මැලි යන තවත් සමාන වූ නාමයන්ගෙන් කියැවෙයි. පසුව මෙය ‘රුවන්වැලි’ නමින් වී අද දක්වාද එම නම ප්‍රචලිතව තිබේ. මහා සෑය ඉදිකළේ රුවන්මළුව නම් බිමෙක නිසා එය රුවන්වැලි නමින් වූ බව තවත් තැනක සඳහන් වෙයි.

    මෙම ස්තූපය මහා ස්තූපය වශයෙන් සැලකීමට තවත් බොහෝ කරුණු රාශියක් බෞද්ධ වංශ කතාවට අනුව පෙළ ගැසී තිබීම විශේෂිතය. සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් මෙහි නිධන් කර තිබෙන බව මහා වංශය මෙන්ම වෙනත් වංශ කතා ද සඳහන් කරයි. ද්‍රෝණය නම් කොතරම් නම් ප්‍රමාණයක් දැයි දළවශයෙන් පැහැදිලි කර ගැනීමේ දී එය පැරැණි මිනුම් අනුව ලාස් හතරක් නොහොත් නැලි දහසයක පරිමාවකට සමානය. සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක් පමණ මෙහි නිධන්ව ඇති බවද තැනක කියැවෙයි.

    රුවන්වැලි මහා සෑය පිළිබඳව විස්තර බොහෝ තැන්හි සඳහන්ව තිබේ. එහෙත් අපි අද මෙහි අඩිතාලම පිළිබඳව විශේෂයෙන් කතා කිරීමට අපේක්‍ෂා කරමු. ඊට ආසන්නම හේතුව වන්නේ බුද්ධ වර්ෂ 390ටත් 400ටත් අතර වර්ෂයක ඇසළ මස පුර පසළොස්වක දිනක මෙම මහා සෑය තැනවීමට අවශ්‍ය මඟුල් ගඩොල පිහිටුවීමය. එසේ නම් මෙම අසිරිමත් වූ මහා සෑය සෑදීමේ කාර්ය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් අදට වසර 2156 කට පමණ පෙරය.

    අද අපි තාක්‍ෂණික විද්‍යා ඥානයෙන් හිණි පෙත්තට ද උඩින් අහස් කුස අභිභවන මහා ගොඩනැඟිලි ඉදිකරමින් සිටිමු. සමහර තැනක එවැනි ඉදිකිරීමක් සුළු ගුවන් ප්‍රහාරයකින් පොළොව මතට ඇද වැටෙන අයුරු ද අසා දැක ඇත්තෙමු. එහෙත් මීට වසර දෙදහස් ගණනකට ප්‍රථම අප මුතුන් මිත්තන් සතු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාරද බව කොතරම් දැයි හඳුනා ගැනීමට සමත් ජීවමාන සාධකයක් බවට රුවන්වැලි මහා ස්තූපය නම් කළ හැකි ය.

    මේ ලෝක විනාශයේ දී දියත පුරා විවිධ දේශ දේශාන්තරයන්හී වැඩ වසන සම්බුද්ධ සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑය නම් මෙම අසාදෘශ්‍ය මහා ස්තූපය වෙතට වැඩමවා වදාරා පෙළහර පා, පිරිනිවන් පානා බව අට්ඨකතාවන්හි සඳහන්ව තිබේ. එයින් හැඟෙන්නේ මේ මහා ස්තූපයේ ඇති නොසෙලවෙන මහා බල පරාක්‍රමයක අනුහස නොවන්නේ ද?

    එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම මහා සෑයේ ස්ථිරත්වය වෙනුවෙන් මීට වසර දෙදහස් ගණනකට එපිට දැමූ අඩිතාලම පිළිබඳව කතා කිරීමේ දී මෙහි ඇති පදනමේ මහා ශක්තිවන්තකම පිළිබඳව අපට යම් හැඟීමක් ඇතිකර ගත හැක.

    රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද ‘අලි සපත්තු’ පලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් ‘වෙඬරුමැටි’ නොහොත් ‘නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ ‘ලංකාවේ ස්තූප’ නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)

    මෙම අඩිතාලමේ තාක්‍ෂණය අද විද්‍යාඥයින්ට අභියෝගාත්මක ප්‍රශ්න රැසක් ඉතිරිකර තබා තිබේ. රසදිය, තලතෙල්, මැලියම්, ඉතා සියුම් මැටි වර්ග, තට්ටුවෙන් තට්ටුව ඇති රූ ගල් වර්ග, ලෝහ තහඩු, රිදී පට ආදී මේ සියලු පැරැණි තාක්‍ෂණයේ අමුද්‍රව්‍ය ඒවා ඇතිරූ ක්‍රමවේදයන් දියුණු විද්‍යාත්මක ඥානය හා සැසඳෙන්නේ කෙලෙසක දැයි අපි තවමත් සොයා බැලුවෙහිද? මහා බරක් සමසේ බෙදීයාමට මෙම තහඩු යොදවන්නට ඇත. එසේම අකුණු විපත් ආදිය වළකාලීමටද මෙම ලෝහයන් ප්‍රයෝජනවත් වීමට පුළුවන. අප නොදත් විද්‍යාත්මක පදනමක මහා රහස් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියා වීමට ද පුළුවන. මෙම මහා කර්මාන්තයේ ඉංජිනේරු අධීක්‍ෂණ කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ ඉන්ද්‍ර ගුප්ත නම් භික්‍ෂූන් වහන්සේ නමක් බව සඳහන් වේ. රහතන් වහන්සේලාගෙන් අනූන වූ එම යුගයේ මෙම විද්‍යාඥානයට මහා රහස් බලයක් ද සම්මිශ්‍රණය වූවා දැයි සිතට සැකයක් උපදියි.

    මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ.

    ව්‍යාකූලත්වයට පත් දුටුගැමුණු රජතුමා මෙසේ වන්නේ ඇයි දැයි අසූ දහසක් මහ රහතන් වහන්සේ ගෙන්වා විචාල විට රහතන් වහන්සේලා පැවසුවේ අති මහත් විනාශයකදී වුව මෙම මහා සෑය ස්ථිර ලෙසම පැවැතිය යුතු වූ නිසා එසේ වූ බවය. ලෝක විනාශයකදී පවා මහා මේරුවක් සේ විනාශ නොවී පවතින එකම ස්ථානය රුවන්වැලි මහා සෑය යැයි තැනක සඳහන් වන්නේ මෙහි පදනමේ ඇති මහා සවි බලයේ තරම කියා පෑමට විය හැක.

    මහා සෑයේ මංගල ගඩොල අති උත්සවශ්‍රීයෙන් පිහිටුවන ලද අවස්ථාවට ආශීර්වාද පිණිස විදේශයන්හි ලක්‍ෂ ගණනක් රහතන් වහන්සේ වැඩිය බවක් ද කියැවෙයි. එසේම මෙම ස්තූප කර්මාන්තයේ තවත් විශේෂයක් වන්නේ මේ වෙනුවෙන් ශ්‍රමය, බුද්ධිය වැය කළ සෑම ශිල්පියකු වෙනුවෙන්ම රජතුමා වැටුප් ගෙවීමය.

    ඒ පිළිබඳව මහා වංශයේ සඳහන් වන්නේ මෙසේ ය. ‘මෙහි නොමිලයේ වැඩ නොකටයුතු යැයි රජතුමා දැන් වූ සේක. එක එක දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් කහවණු ද ඛාද්‍ය භෝජ්‍යයන්ද පාන වර්ග ද සුවඳ මල්, උක්සකුරු ආදිය ද තබ්බවා රිසි වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය රිසි සේ ගනිත්වා යි නියම කළේ ය’. මෙයින් හැඟෙන්නේ සුළු කම්කරුවකු පවා සතුටු සිතින් මේ මහා පුණ්‍යකර්මයට සම්බන්ධ කර ගැනීමට රජතුමා අපේක්‍ෂා කළ බවය. සුළු සේවකයකුගේ පවා සිත් නොරිදවා ඉතා සතුටින් මෙම විශ්මිත ඉදිකිරීමට දායක කර ගැනීමට ලැබීමෙන් මෙම මහා ස්තූපයේ පූජනීයත්වයට ශ්‍රමයක දහදියේ බලයද එකතු වී ඇති සෙයකි.

    අදත් සැදැහැති බෞද්ධ ජනතාව රුවන්වැලි මහා ස්තූපය වෙතට පැමිණෙන්නේ මහත් වූ සද්ධා සම්ප්‍රයුක්ත ගෞරවයක් සිත්හි දරා ගනිමින් සියලු විපත් දුරු වේවායි දැඩි අපේක්‍ෂාවෙනි. කිසිවකුත් පීඩාවට පත් නොකරමින් හෘදයාංගව බැඳුණු පිවිතුරු චේතනාවන් පෙරදැරිව කළ මේ උතුම් මහා පූජාවට දෙවිදේවතාවුන්ගේ මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ද ආශීර්වාදය ලැබුණු බව සඳහන් වෙයි.

    නැවතත් කිසිදු දිනක එකම ස්ථානයකදී මෙවන් වූ අසිරිමත් අභිමානවත් මහා බලයක් නිර්මාණය වන්නට ඉඩක් නොමැත. රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී පෙර නොවිඳි අපමන සුවයක්, සැනසීමක් හිතට දැනෙන්නේ එය වටා ගොනුව ඇති මහා බල ශක්තියක උණුසුම අපගේ ලේ ධාතුව හරහා ගමන් කිරීමට තරම් බලයක් මේ
    විශ්මිත වූද සදැහැති වූ ද බලගතු ‘මහා සෑය’ මත අදටත් නොනැසී පවතින නිසා

    Monday, 19 August 2013

    ◄ විස ඇපල් කතන්දරේ... ►


    ඇපල් ගෙඩියේ ආයු කාලය හොයලා බැලුවොත් ගහේ හැදිලා තිබුණා වගේ දෙගුණයක් කල් කඩේ තියෙනවා. එහෙම කඩේ තියාගන්න පුළුවන් වෙන්නේ මොනවා කරලද. මොනවා හරි දෙයක් කරලනේ.

    ඒ කියන්නේ කල් තබා ගැනීමේ ක්‍රම...

    ඇපල් ගෙඩිවල තියෙනවා පුංචි ස්ටිකරයක් අලවලා. මෙන්න මේ ස්ටිකර් එක ගලවලා බලන්න. එතැන තියෙනවා එන්නත් සලකුණ. මේ එන්නත් කිරීමෙන් වෙන්නේ සාමාන්‍ය පලතුරක්, එළවළුවක් ස්වාභාවිකව ඉදෙන ක්‍රමයක් තියෙනවානේ. මෙන්න මේ ක්‍රමේ ඒ කියන්නේ එතිලීන් නිෂ්පාදනය නවත්වනවා. එතකොට පලතුරු, එළවළු සජීවී විදියට කලක් පවතිනවා.

    සාමාන්‍යයෙන් පිටරටදී තමයි සිල්වර් නයිට්ට්‍රේට් ගොඩාක් එන්නත් වෙන්නේ. ඒ වුණාට ලංකාවේ නම් ඒකට වැඩිපුර යොදා ගන්නේ මිනී කල්තියා ගන්න ෆෝමලීන්. එහෙම ෆෝමලීන් ඉස්සාමත් පලතුර කලක් තියා ගන්න පුළුවන්. හිතන්න ඇපල් ගෙඩියක් අවුරුදු ගාණක් හැදෙන්නේ නෑනේ. මාස තුනක් යයි මලේ ඉඳලා ගෙඩිය වෙන්න. හැබැයි ඇපල් ගෙඩිය අවුරුද්දක් විතර කඩේ තියෙන්නේ මේ ක්‍රම එක්ක.

    මේ ගාන දේවල් අතරේ තියෙනවා ආසනික් අඩංගු දිලීර නාශක පළිබෝධත්. තව තියෙනවා නිරාම් කියලා තහනම් කළ පළිබෝධ නාශක වර්ගයකුත්. මේවා තියෙනවා කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. අපේ රටේ මේ ගැන හරි ක්‍රමවේදයක් නැති වුණාට ඇපල් ගෙන්වන අනික් හැම රටක්ම වගේ මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ඇපල් කියන්නේ අපේ රටේ අවුරුද්දකට ගෙඩි කෝටි විස්සක් කන රටක්.

    අපේ රටේ ජන ඝනත්වයෙන් බෙදුවාම ඇපල් ගෙඩි ගාණ, එක්කෙනෙක් අවුරුද්දකට ඇපල් ගෙඩි දහයක් කාලා නෑ. ඒ වුණාට මං හිතන්නේ පුංචි ඒ ඇපල් ගෙඩියටත් වඩා ලොකු පැපොල් ගෙඩි නම් කෝටි හතළිහක් විතර අපි අවුරුද්දකට අපතේ යවනවා. එතකොට තව පලතුරු ජාති. වැල, වරකා, අඹ, කෙසෙල්, පේර කොච්චර අපතේ යවනවා ඇතිද. ඒ වුණාට පැපොල් වගේද ඇපල්. ෆොරින් බඩුනේ, නේද?


    Friday, 16 August 2013

    අද දවසේ කතාව ඔයලත් බලන්නකෝ.

    එක්තරා අඹු සැමි යුවලක් ජීවත් වුනා. මේ යුවල විවාහ පත්වී බොහෝ කලක් ගියද මේ යුවලට දරුවන් සිටියේ නැහැ... දරුවෙකු ලැබීමට ආසාවෙන් කල් ගෙව්වද ඒ සිහිනය ඉටු නොවන බව වටහා ගත් මේ යුවල තමන්ගේ පාළුව කාන්සිය මකා ගැනීමේ අරමුණින් සුරතල් බල්ලෙක්ව ඇති දැඩි කිරීමට පටන් ගත්තා. 

    මේ බල්ලා මේ දෙපළගේ දැඩි ආදරය හා රැකවරණය ලබමින් ඉතා සුරතලෙන් කාලය ගත කළා. මෙසේ ටික කාලයක් ගත වීමෙන් පසු මේ කාන්තාවට දරු ගැබක් පිහිටියා. නියමිත කාලය ගෙවීමෙන් පසු මේ කාන්තාව පිරිමි දරුවෙකු බිහි කළා. තමන්ගේ සිහිනය ඉටු කරමින් පවුලට එක් වූ දරුවාට මේ යුවල ඉතා දැඩි ලෙස ආදරය කළා. නිතර ඔහු සුරතල් කරමින් කාලය ගත කළා. 
    මෙතෙක් කාලයක් මේ යුවලගෙන් තමන් ලද ආදරය ටිකෙන් ටික අඩුවෙමින් යද්දී බල්ලා ඉතා කනස්සල්ලෙන් යුතුව මේ දරු සුරතල් දෙස බලා සිටියා. බල්ලා මෙසේ සිටින්නේ ඌ දරුවාට අකමැති නිසා විය හැකියි කියා මේ යුවල සිතුවා. දිනක් දරුවා තොටිල්ලේ නිදි කරවා මේ යුවලද නින්දට ගියා. උදේ අවදි වී පියා තම පුතු නිදනා තොටිල්ල වෙත යද්දී දුටු දසුනින් වික්ෂිප්ත වී ගියා. කටින් ලේ පෙරමින් බල්ලා තොටිල්ල අසල සිටියා. බිම දිගේ ලේ විසිරී තොටිල්ල වටේද ලේ තැවරී තිබුණා.

    මෙයින් දැඩි දුකකට මෙන්ම ආවේගයට පත් මේ පුද්ගලයා සිතුවේ බල්ලා තම පුතුව සපා කා ඇති බවයි. ඒ ආවේගන්ම තම කාමරයට දිව ගිය මේ පුද්ගලයා කාමරයේ වූ තුවක්කුව රැගෙන විත් වියරුවෙන් මෙන් බල්ලාට වෙඩි තැබුවා. බල්ලා මැරී වැටෙනවාත් සමඟ ඒ ශබ්දයට බිය වූ දරුවා හඬන්නට පටන් ගත්තා. කලබලයෙන් දරුවා වඩා ගත් මේ පුද්ගලයාට දරුවාගේ ඇඟේ එක සිරීම් ලකුණක්වත් දැක ගැනීමට ලැබුනේ නැහැ. ඒ වෙනුවට ඔහු දැක්කේ දරුවාගේ තොටිල්ල අසල බිම කැබලි වලට කැඩි ලේ ගොඩක සිටි විසකුරු සර්පයෙකි. සිදු වී ඇති දේ සැනින් ඔහුට වැටහී ගියා. තම පුතුගේ ජීවිතය බේරා දුන් බල්ලාව තමා විසින් මරණයට පත් කිරීම ගැන ඔහු දැඩි වේදනාවට පත් උනා. මට සමාවෙන්න යැයි කියමින් ඔහු බල්ලාව තුරුලට ගෙන ඇති තරම් හැඬුවා. පුංචි සන්දියේ සිට දරුවෙකු මෙන් ඇති දැඩි කළ ආදරණිය සුරතලා තමන්ගේ ඉවසීම නැති කමින් හා හදිසි කෝපය නිසාවෙන් තමන්ට අහිමි වී ගිය අයුරු ඔහුට දරා ගැනීමට නොහැකි උනා. නමුත් සිදු වූ දෙය වෙනස් කළ හැකිද...? දැඩි සංවේගයෙන් යුතුව ඔවුන් බල්ලාගේ අවසන් කටයුතු සිදු කළා.


    ඔබත් කිසිවිටෙක කිසිවක් විමසා නොබලා හදසි තීරණ වලට එළබෙන්න එපා.
    ඔබ අසනා දෙය ඔබ දකිනා දෙය හා එයින් ඔබ තේරුම් ගන්න දෙය නිවැරදි දේ නොවිය හැකියි...
    දෙයක් පිළිබඳව අවසන් නිගමයකට පැමිණීමට පෙර හොඳින් සොයා බලා සත්‍යය වටහා ගන්න...
    නැතහොත් ඔබට ඉතිරි වෙන්නේ සදාකාලික පසුතැවීමක් පමණකි...

    Monday, 12 August 2013

    ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

    ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

    ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරලා.
    2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කලා.
    පලවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

    දෙවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.

    තුන්වන රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.

    හතරවෙනි රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්‍රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.
    බලන්න මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්‍යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.

    Sunday, 11 August 2013

    මල් පුජාවේ අනිසoස.


    තිකණිකාර පුප්ඵිය නම් රහත් මුනිඳුන්ගේ පෙර ජීවිතයකදී ඒ අනුත්තර වූ සුමේධ නම් භාග්‍යවත් බුදු සමිඳුන් උදෙසා කිණිහිරියා මල් තුනක් සම්බුදු ගුණ අදහාගෙන මහත් වූ චිත්ත ප්‍රීතියෙන් නුවණින් යුතුව පූජා කිරීමේ විපාක ලෙස තුන්සිය වතාවක් මහ පොලොවටම අධිපති සක්විති රජ විය. පන්සිය වතාවක් සක්දෙව් තනතුරද, හැම ජීවිතයකදීම පහත සඳහන් විපාකද ලැබුණාහ.

    1. මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
    2. පහත් කුලවල නොඉපිද උසස් කුල වලම ඉපදුණා.
    3. කැමති කැමති යාන වාහන ලැබුණා.
    4. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.
    5. බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.
    6. සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා.
    7. උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
    8. සැමකල්හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
    9. තම පිරිස කිසිවෙකුට භේද කල නොහැකි වුණා.
    10. ඤාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු වුණා.
    11. ශීත උශ්ණ වලින් පීඩාවක් වුණේ නැහැ.
    12. කායික දාහ මනසික දාහ නැති උතුමෙක් වුණා.
    13. නිවන් සුවය ලැබීමට එම පින උපකාර වුණා.


    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියළුම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක..

    සාදු..! සාදු..! සාදු..!

    අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු..

    අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. 
    සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ 

    දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්‍රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) යන නම් වලින්..

    ඒ වගේම මේ මාසයකට පෝය දින 04 ක් තියෙනවා..

    චන්ද්‍ර මාසයකපෝයනමින් අප හදුන්වන දින 4ක් ඇත.

    මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
    මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
    මාසයේ 23 වන දිනය අව අටවක පෝය
    මාසයේ 30 වන දිනය අමාවක පෝය

    බොහෝ දෙනා මේ ගැන දැන සිටියත් තවත් බොහෝ අයට මේ නම් අමතක වෙලා තියෙන්නත් ඇති...
    මොකද අපි මාස වල නම් භාවිතා කරන්නේ ඉංග්‍රීසි විදිහටනේ...

    බෞද්ධයන් විදියට අපි මේ හැම මාසයකම පසළොස්වකපෝය දිනය ඒ මාසයට අදාල සිංහල ලිතේ නමින් සමරනවා.ඒ පින්දහම් කටයුතු හා ආගමික කටයුතු ඉටුකරමින්..
    පෝය කියලා කිව්වම නිවාඩුවක් කියලා වගේම පන්සල් ගිහින් පින්දහම් කලත් , එක් පුජනීය ස්ථාන වැද බලා ගත්තත්,එක් එක් පොහෝය දිනය අප බුදුන්වහන්සේ ගේ චරිතය හා බැදුනු සිද්ධි පිළිබඳ සොයා බලන්නේ,දන්නේ බොහෝමත්ම ටික දෙනයි...

    අන්න ඒ නිසා අපි සමරන පෝය 12 හා බැදුනු සිද්ධි ගැන කෙටි විස්තරයක් තමා මේ

    වෙසක් පුර පසළොස්වක පෝය
    ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල මෙම පෝය දිනයේදී සිදුවිය.

    ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම, සුමන සමන් දෙවියන්‍ ගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ ශ්‍රී පාදය පිහිට විම,විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නැකතට ආරම්භ කිරීම ආදිය වෙනවා... සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

    පොසොන් පුර පසළොස්වක පෝය
    වෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට වැදගත්ම පෝය දිනයකි. 



    මිහිඳු හිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනයේ වැඩිවශයෙන්ම අනුරාධපුරය හා මිහින්තලය වන්දනාමාන කරනු ලබයි.

    ඇසළ පුර පසළොස්වක පෝය
    බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ
    “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.
    අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන
    භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි.
    එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර , අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.

    මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

    නිකිණි පුර පසළොස්වක පෝය
    ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

    බිනර පෝය
    මෙහෙණි සසුන ආරම්භවූ පෝය දිනය ලෙස ‍බිනර පෝය දිනය සඳහන් වේ. බුදුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.
    අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටි අතර, ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.
    එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.
    ධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

    වප් පුර පසළොස්වක පෝය
    බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.

    ඉල් පුර පසළොස්වක පෝය
    ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.

    උඳුවප් පුර පසළොස්වක පෝය
    සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

    දුරුතු පුර පසළොස්වක පෝය
    බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.

    නවම් පුර පසළොස්වක පෝය
    බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.

    මැදින් පුර පසළොස්වක පෝය
    බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.

    බක් පුර පසළොස්වක පෝය
    බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. මැණික් පුටුවට යුද්ධයකට එළඹුනු චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම ද එදින සිදුවිය.


    බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්



    • ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමා‍ගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.
    • ජයග්‍රහනය පතන්නා  අවසාන ඉලක්කය තෙක්ම නොනැවතී ඉදිරියට යායුතුයි.
    • ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.
    • අතීතය ගැන වැලපීමෙන් වලකින්න.
    • අනාගතය ගැන බිය වීමෙන් වලකින්න,වර්ථමානයේ ජිවත්වන්න.
    • ඔබ කවදාහො මියයනබව නිතර සිත තබාගන්න.
    • මසුරුකම දිවුනුවට නොව විනාශයට හේතුවේ.
    • ඔබගේ දියුණුවට හො පිරිහීමට වගකිවයුත්තා ඔබමය.
    • ඔබට සිටින බලවත්ම සතුරා නොහික්මවනලද ඔබගේ සිතයි.
    • තමාව උපමාකරගේන අනුන්වෙත ක්‍රියා කල යුතුයි.
    • ඔබ අන්අයට ගරුකරනවිට අන්අය ඔබට ගරුකරනු ඇත.
    • හැඩීම වැලපීම නිරර්ථක කාර්යන් දෙකකි.
    • ඔබ වෙත උදවු ඉල්ලාගෙන එන අයට සුලුවෙන්හො උදවුකරන්න.
    • දැනුම නැතිකම මෙන්ම පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ.
    • නරක මිතුරන් ආශ්‍රය කිරිමට වඩා තනිව සිටිම බුද්ධිමත් ක්‍රියාවකි.