sha fm

    Sunday, 14 July 2013

    හොදි රසය නොදන්නා හැන්ද වැනි මිනිස්ස



    මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
    හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි. අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා.
    සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණදහම් අසා පැහැදී ආර්ය මාර්ගයට පිවිසුණා. සිව්වනක් පිරිස යනු භික්‍ෂු,භීක්‍ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස වේ.මෙම කතාවේ මූලිකත්වය දරන්නේ බුද්ධ ශාසනයේ භික්‍ෂූ සමාජය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කළ උදායි හාමුදුරුවන් පිළිබඳවයි.උදායි හාමුදුරුවෝ යහපත් මනා පෙනුමක් ඇති ශරීරය අඟ පසඟ මැනවින් පිහිටි දුටුවන්ගේ සිත් එකවර ඇදී යන මනා ශරීර ස්වභාවයක් තිබූ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරය තුළ තිබුණ මෙම පෙනුම නිසාම උදායි හාමුදුරුවන්ට පැහැදුණු පිරිස විශාලයි.
    උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත්ව භික්‍ෂූත්වයට නැඹුරුවූ තරුණ තරුණියන් ප්‍රමාණයත් විශාලයි.එසේ වීමට හේතුව වූයේ උදායි හාමුදුරුවෝ මනා පෙනුමකින් යුතු ශරීරය ස්වභාවයිත් යුත් තත්වයක් තිබූ නිසා. උන්වහන්සේ ලස්සන ශරීර ස්වභාවයෙන් තිබූ කෙනෙක් වුණත් උදායි හාමුදුරුවෝ දැනුම ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුවීමට අපොහොසත් වුණා. බණ දහම් වුණත් නිසි අයුරින් පැහැදිලි කර දීමේ ව්‍යක්ත බවක් උන්වහන්සේ සතුවූයේ නැහැ. ප්‍රඥාව නැති නිසා ධර්මය පිළිබඳ වැටහීමද බොහොම අඩුයි. උදායි හාමුදුරුවන් ගේ ශරීරය ස්වභාවය දියුණුවෙන කොට මානසික ප්‍රඥාව තිබුණෙ අඩුවෙන්. කෙනෙක් එකවර දකින කොට ඒ දකින දැක්මෙන් කෙනෙකුගෙ ප්‍රඥාව , දැනුම,අවබෝධය,තෝරාබේරා ගන්න අමාරුයි. නමුත් ශරීර ස්වභාවයේ හැඩරුව දැන හඳුනගන්න එතරම් අමාරු නැහැ. උදායි හාමුදුරුවෝ තුළ මෙම පිහිටීම් ස්වභාවයන් නිසාම උන්වහන්සේ සමාජය තුළ ලැබූ ජනපි‍්‍රයත්වය ද වැඩියි. පන්සලට එන කෙනෙක් උදායි හාමුදුරුවන් දකින කොට එකවර උන්වහන්සේ කෙරෙහි හිත ඇදී යනවා.
    උන්වහන්සේගෙන් බණ දහම් අහන්නත් හිතෙනවා. පිරිස මේ වගේ වැඩිවෙන කොට, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වැඩි වෙනකොට, තමන්ගේ දැනුමේ අඩුපාඩු උදායි හාමුදුරුවන්ට දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ප්‍රඥාවේ අඩුපාඩු කම උන්වන්සේට දැනෙන්න වුණා. තමන්ට ධර්ම දැනුම අඩුයිනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. එහෙම වුණත් දැන් බණදහම් ඉගෙනගන්න තරම් කාලයක් නැහැ. ඒ කාර්යය බහුල නිසා. සමාජයට තමනුත් දන්න කෙනෙක්ය කියක කරුණ පෙන්වීමට ඕනෑ යැයි සිතිවිල්ලක් උදායි හාමුදුරුවන්ට ඇතිවුනා.උන්වහන්සේ, මමත් බණදන්න කෙනෙක්. මටත් බණ හොඳීන් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතාගෙන යනකොට උන්වහන්සේ වටහා ගත්තා මටත් බණ දහම් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා. එක දවසක් උදායි හාමුදුරුවො බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන දහම් සභාවේ මූලිකත්වය දරන ආසනයක වාඩිවෙලා උජාරු ලීලාවෙන් තමනුත් බණ දහම් දන්න කෙනෙක්ය කියා අනෙක් අයට පෙන්වීම සඳහා වාඩිවෙලා හිටියා. ඈත දුර බැහැර ඉඳල බුදුහාමුදුරුවෝ දකින්න පන්සලට ආවා. ධර්මය දන්න ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උදායි හාමුදුරුවො ළඟට ගිහිල්ල ධර්මය ගැන කතා කළා. බුදුහාමුදුරුවී දේශනා කළ විනය හොඳීන් දන්න හාමුදුරුවන් වහන්සේලාට කියන්නේ විනයධර භික්‍ෂූන්වහන්සේ කියලා. දුරබැහැර ප්‍රදේශවලින් වැඩම කළ විනයධර භික්‍ෂූන්වහන්සේලා උදායි හාමුදුරුවන්ගෙන් විනය පිළිබඳ කරුණු විමසුවා. උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කිරීමේ අදහසින් එහෙම කළා නොවෙයි. උදායි හාමුදුරුවන් හිටිය ලීලාවෙන් උන්වහන්සේ හිතුවා උදායි හාමුදුරුවන් ධර්මධර භික්‍ෂූන්වහන්සේ නමක්ය කියලා. විනයධර,භික්‍ෂූන් වහන්සේ නමක්ය කියලා. එසේ හිතලයි උන්වහන්සේගෙන් මේවගේ ප්‍රශ්න ඇසුවේ.
    කිසි විටකත් උන්වහන්සේ හෑල්ලුවට ලක්කිරීමේ අදහසින් නොවෙයි. එහෙම වුණත් උත්තර දීගන්න බැරිවුනහම දැනුම අඩු බව වැටුහුණු විට උදායි හාමුදුරුවන් ගැන අනෙක් හාමුදුරුවරු හරියට දුක්වුණා. කළකිරුණා. කම්පාවට පත්වුණා. ඒකට හේතුව තමයි, බුදුරජාණන්වහන්සේ ළඟ වැඩ හිඳගෙන ජේතවනාරාමය ඇසුරු නිසරු කරමින් මහා දැන උගත් පඬිවරුන්ගේ සෙවණේ ඉඳගෙන මේ හාමුදුරුවො මේ තරම් මෝඩ කෙනෙක් බවට පත්වුණේ ඇයි? කියලා. ශරීර ස්වභාවය මනාව තිබුණත්, ප්‍රඥාවෙන් හිස්, ප්‍රඥාවෙන් හීන මේ වගේ කෙනෙක් මෙහෙම වුණේ කොහාමද? කියලා ඈත දුර බැහැර සිට පන්සලට වැඩම කළ හාමුදුරුවරු උදායි හාමුදුරුවො ගැන දුක් වුණා.
    උන්වහන්සේලා උදායි හාමුදුරුවෝ ගැන දුක්වුණා විතරක් නොවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙනුත් විමසුවා. බුදුහාමුදුරුවනේ,ඔබ වහන්සේ නිතර නිතර දැක දැක ඔබ වහන්සේගේ උතුම් බණ නිතර නිතර අසා ඔබ වහන්සේගේ සෙවණෙහිමත් වැඩෙන,මෙම උදායි හාමුදුරුවෝ මොනවත් ඉගෙන නොගන්නේ ඇයි? ස්වාමීනි! බුදුපියාණන් වහන්ස, ඒ පිළිබඳ කියලා දෙන්න.උනන්දුවක් නැද්ද කියලා. “ ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් වහන්සේ අරභයා පෙර ඇසූ ප්‍රශ්නය මාතෘකා කරගෙන කරුණු කාරණා කිහිපයක් දේශනා කළා.
    යාව ජීවන්ති චෙ බාලෝ
    පණ්ඩිතං පයිරු පාසතී
    න සෝ ධම්මං විජානාති
    ධම්හිී සූපරසං යථා
    මෙම බණ පදය තුළ ආදර්ශවත් උපමාවක් දක්වල තියෙනවා. හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි.අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා. උදායි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියේ බුද්ධ කාලයේ උදායි හාමුදුරුවො වගේ අය අද කාලේ වුවත්, පැවිදි දම් පුරන අය අතර ඉන්න පුළුවන්. ඒ වගේ උදායි හාමුදුරුවන්ගේ හැඩරුව ගත් ගිහි අය වුවත් අපේ සමාජයේ ඕනතරම් ඉන්න පුළුවන්. පන්සලට යනවා.පන්සලට ගිහින් පින් දහම් කරන්නේ නැතිව වෙන වෙන වැඩ කරනවා. හාමුදුරුවන් සමඟ සාකච්ඡා කරනවා. හාමුදුරු කෙනෙක් සමග කතා කිරීමට අවශ්‍ය බණ දහම් ගැන සහ තමන්ගේ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය කරගන්න ආකාරය පිළිබඳවයි. නමුත් ඒවා කතාකරන්නේ නැතිව අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒවගේම පන්සිල් රකිනවාය කියලා පෙන්වමින් හොර රහසේම පන්සිල් කඩනවා. මෙන්න මේ වගේ ගිහි අය අපේ සමාජයේ ජීවත්වෙනවා. ඒ ගිහි අය මොන වගේද කියලා ඇහුවොත් බුදු බණට අනුව අපිට කියන්න වෙන්නේ හොද්දෙම බැහැල ඉන්න හොදි රසය දන්නේ නැති හැන්ද වගේය කියලා.

    නිරෝගී ජීවිතයකට සදහම් සිසිලස



    ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ 
    බෞද්ධ සංගමයේ ගිහි අනුශාසක
    වෛද්‍ය ආර්.එම්. ගාමිණි රත්නායක
    වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල භූමියේ ඉදිකර ඇති විහාරස්ථානය සහ එහි වැඩ හිඳින බෝධීන් වහන්සේ ශත වර්ෂයකටත් අධික ඉතිහාසයකට හිමිකම් කියයි. 1962 වසරේ දී විහාරය නවීකරණය කරන ලද අතර ඉන්පසු කාලයත් සමඟ යළි ගරාවැටෙමින් පැවැතිණි.
    පසුව, මෙම රෝහලේ බෞද්ධ සංගමයේ පැවිදි අනුශාසක ධුරයට පත්වූ ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාම විහාරාධිකාරී අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ වසර විසි පහකට අධික කාලයක් තිස්සේ මෙම රෝහලට ඉමහත් සේවයක් ඉටුකරමින් සිටිති.
    නව නිලධාරී මණ්ඩලයක් යටතේ වසර 2009 දී බෞද්ධ සංගමය ක්‍රියාකාරී වූ අතර බාහිර රෝගී අංශය ඉදිරිපිට ඇති බෞද්ධ මන්දිරය සම්පූර්ණයෙන් නවීකරණය කරන ලදී. පැරැණි බෝධි ප්‍රාකාරය වෙනුවට අටවිසි බුද්ධප්‍රතිමා වහන්සේ සහිත නව බෝධි ප්‍රාකාරයක්ද එම වසරේදීම ඉදිකළ අතර එය 2010 වසරේ දී බෝමළුව වටා ඉදිකළ වළාකුළු බැම්ම සමඟ විවෘත කරන ලදී. සර්වඥධාතූන් වහන්සේ තුන් නමක් නිධන් කරන ලද ඉතා අලංකාර චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් 2012 දී ඉදිකරන්නට යෙදුණි. ඒ සඳහා ධාතුන් වහන්සේ පිරිනැමීම වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති අමරපුර මහානිකායේ ප්‍රධාන සංඝනායක අහංගම ආනන්ද නායක ස්වාමින් වහන්සේත්, ශ්‍රී නාගර්ජුන පිරිවෙන් විහාරාධිපති සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පරකන්දෙනියේ ආර්ය ශ්‍රී මනොරථ නායක ස්වාමින් වහන්සේත්, ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාම විහාරාධිකාරී කිවිපති අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේත් විසින් සිදු කරන ලදී.
    2013 වසරේ දී චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා වළාකුළු බැම්මක් ඉදිකිරීමෙන් පසු මෙහි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. රෝහලේ එක් එක් අංශය මඟින් බුද්ධ පූජාව දිනපතා පවත්වනු ලබන අතර පුරපසළොස්වක පොහොය දින විශේෂ බෝධිපූජා සහ ධර්මදේශනා පැවැත්වේ. එමෙන්ම සෑම වසරකම වෙසක් පුර පසළොස්වක පොහොය දින ශීල සමාදාන වැඩසටහන් පැවැත්වෙන අතර වසර අවසානයේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවැත්වේ. මෙහි සියලු කටයුතු අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ද බෞද්ධ සංගමයේ ගිහි අනුශාසක වෛද්‍ය ගාමිණී රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් ද සිදු කෙරෙයි. ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ නොමඳ සහයෝගය නිතැතින්ම ලැබේ.
    රෝහල භූමියේම මෙබඳු පින්බිමක් ඉදිකර පවත්වාගෙන යෑම නිසා රෝහල කාර්ය මණ්ඩලයට හා රෝගීන් හට වන්දනාමාන කරගැනීමේ පහසුව ලැබී ඇත. එමෙන්ම ඉතා විශාල ආකල්පමය වෙනසක් ද සිදු වී ඇති අතර එමඟින් රෝගී සත්කාරයේ ගුණාත්මක භාවය වැඩිදියුණු වීමක් ද සිදු වී තිබේ.

    Thursday, 11 July 2013

    කථා කිරීමට දුෂ්කර වූවෝ



    ශාස්ත්‍රවේදි ,පණ්ඩිත
    කෝන්වැවේ සුනන්ද හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    පින්වත් ආර්ය ශ්‍රාවකයෙනි,
    බුදුරජාණන්වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ පස්වැනි පොතට අයත් දේශනාවක් වන දුක්කථා සූත්‍රයට අනුව බලන විට මේ ලෝකයේ කථා කිරීමට දුෂ්කර පුද්ගලයන් පස්දෙනෙකු සිටින බව පෙන්වා දී තිබෙනවා. එපමණක් ද නොවෙයි කථා කිරීමට පහසු පුද්ගලයන් පස් දෙනකු ගැනත් එහිදී කථා කර තිබෙනවා. අපි පළමුවැනුව බලමු කථා කිරීමට යෑමෙදි දුෂ්කර වූ පුද්ගලයන් පස්දෙනා ගැන.

    අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කථා දුක්කථා

    මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙකු සමඟ ශ්‍රද්ධාව ගැන කථා කිරීමට යෑම දුෂ්කර බවයි. එය එක් දුක් කථාවකි. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.බුදුරජාණන් වහන්සේගේ නව අරහාදිගුණ කියන විට, ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ආදි ගුණ සහ මාර්ග ඵල ලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියන විට ශ්‍රද්ධාවේ පිහිටා නැති තැනැත්තා එය බොහොම හොඳයි කියා අනුමෝදන් වන්නේ නැහැ. එවිට ඔහු කිපෙනවා (කුප්පති). තරහා ගන්නවා (ව්‍යාපජ්ජති). විරුද්ධව නැඟී සිටිනවා (පතිත්ථියති). කෝපයත් දෝෂයත් නොසතුටත් පළ කරනවා (කොපං ච දොසං ච අප්පච්චයං පාතු කරෝති). මොහු ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ.මෙම ස්වභාව ගිහි, පැවිදි දෙපක්‍ෂයටම පොදුයි. ධනඤ්ජානි බැමිණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී හැම කාර්යයක් කරන විටදීම ‘නමෝ බුද්ධාය’යනුවෙන් සිහි කරනවා. එහෙත් ඇයගේ ස්වාමියා වූ මිත්‍යාදෘෂ්ටික ධනඤ්ජානි බමුණා මේ අසා කෝපවී ඇයටත් බුදුරදුන්ටත් දොස් කියනවා. මිත්‍යාදෘෂ්ටික අය ඉදිරියෙහි බුදුගුණ කිව්වොත් ඒ කෙනා කැමැතිවන්නේ නැහැ. ඒ ඇසුවත් අහන්නේ අපහසුවෙන්; චිත්ත පීඩාවෙන්.එයටත් හේතුව ඔහු තුළ ශ්‍රද්ධා සම්පත්තිය නැති කමයි. ශ්‍රද්ධාව තමන්ට ලැබී තිබෙන ධනයක්. මහත්වූ ලාභයක් . පින්වතුනි,ශ්‍රද්ධාව තිබෙන කෙනාට බුදුගුණ කියනකොට, බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීමක් ගැන කරන කථාවක් ඇහෙන කොට ඇතිවන්නේ මහත් වූ පී‍්‍රතියක්; ප්‍රමුදිත බවක්. දැන් බලන්න අච්ඡරිය අබ්භූ®ත සූත්‍රයේ සඳහන් බුද්ධ චරිතයේ ආශ්චර්යවත් සිදුවීම් ගැන කියන විට පුදුමාකාර අධ්‍යාත්මික සතුටක් සිතට දැනෙනවා. සිදුහත් බෝසතුන් තව්තිසා දෙව්ලොවින් චුතව මහාමායා දේවියගේ කුසින් බිහිවී නෙළුම් මල් සතක් උඩ ඇවිද ගොස් “අග්ගො හමස්මි ලොකස්ස” යනාදී වශයෙන් ගම්භීර ප්‍රකාශයක් කළා. මේ සිදුවීම් යථාර්ථයෙන් ම සිදුවන ආශ්චර්යමත් සිදුවීම්. මෙය කියන විට අපගේ සිත්වල බුද්ධාලම්බන පී‍්‍රතියක් ඇතිවෙනවා. එයට හේතුව ශ්‍රද්ධා සම්පත්තියයි.
    ඒ වගේම රහතන් වහන්සේ නමක් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරජාණන් වහන්සේ හමුවී සිරිපතුල් සිඹ පිරිමදිමින් වදාළේ, ‘ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන්. මෙමඟින් පෙනෙන්නේ ශ්‍රද්ධා සම්පත්තිය නොවේද? තව විටෙක දී පිංගිය බමුණාගෙන් බාවරී බමුණා මෙලෙස විමසනවා. ‘පින්වත් පිංගිය, ඔබ බුදුරජාණන් වහන්සේ ගෙන් වෙන්ව වාසය කරන්නේ නැහැ කීවත් වෙන්ව වාසය කරන්නේ ඇයි?’ එවිට පිංගිය උත්තර දෙන්නේ,’තණ්හාව නැසූ අකාලික දහමක් දෙසු බුදුසමිඳු දිවා රෑ දෙකෙහිම මම මනැසින් දකිමි. දෑසින් දකිමි’ යනුවෙන්. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම බුදුගුණ ,දහම්ගුණ, සිහිකරමින් ජීවිතයට රැකවරණ ලබාගන්නා බවයි. මුළුලොවම එක පැත්තක වුවත් බුදුරජුන් එක පැත්තක නම් අන්න ඒ පැත්තේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම ඉන්නවා.මේ ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වන්නේ අවංක,ඍජු ගුණයක් ඇති, විවෘත මනැසක් ඇති කෙනාට පමණයි.

    දුස්සීලස්ස සීල කථා දුක්කථා

    දුශ්ශීල කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශ්ශීල කෙනා සම¼ග ශීලය ගැන කථා කරන්නට ගියොත්, කිපෙනවා. එයට විරුද්ධව සතුරෙකු මෙන් නැඟී සිටිනවා. දුශ්ශීල තැනැත්තා නිතරම අගය කරන්නේ දුසිල්වත්කමයි. ඔහු සිල් රැකීම අසාර්ථක වැඩපිළිවෙළක් හා කරදරයක් ලෙස දකිනවා. නවීන ලෝකය සමඟ ශීලය පවා වෙනස්විය යුතු බව ඔහුගේ අවබෝධයයි.ඒනිසාම දූෂණය හා සැහැසිකම පැතිරෙනවා. එහෙත් නැණගුණ තිබෙන කෙනා තමාගේ සිල්වත්කමට හානිකර ගන්නේ නැහැ.දුශ්ශීල අය නිතරම සිල්වත් අයට නින්දා අපහාස කරන්න බලනවා. බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම සදහා චිංච මානවිකාව උන්වහන්සේ ඉදිරියට එව්වා. මෙලෙසයි දුශ්ශීල අයගේ වැඩ.

    අප්පස්සුතස්ස බාහුසච්ච කථා දුක්කථා

    අල්ප ශ්‍රැත වූ එනම් ධර්මය පිළිබඳ ඥානයක් නැති කෙනෙකු සමඟ විස්තර සහිතව දහම් කරුණු කථාකිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්.අල්පශ්‍රැත යනුවෙන් අදහස් වන්නේ බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති අල්ප දැනුමයි. බහුශ්‍රැත බවෙන් තොරවීමයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවැනි දහම් කරුණු හා සූත්‍ර දේශනා කර තිබෙනවා කියා දහම් දැනුම නැති කෙනකු සමග කථා කළොත් ඔහු කේන්ති ගන්නවා, විරුද්ධ වනවා, නොසතුටට පත්වනවා. එපමණක් නොව මෙතරම් ධර්මකාරණා ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ, එක බණ පදයක් තිබුණා නම් ඇති කියාත් ඔහු කියනවා. එයට හේතුව ඔහු තුළ ශ්‍රැත සම්පත්තිය නැතිවීමයි. එමඟින් තමන්ට ඕන ආකාරයට ධර්මය අර්ථ විවරණය කරන්න යනවා. ධර්මය පිළිබඳව බහුශ්‍රැතකම නැතිව පැය ගණනක් කථා කළත් ඒ කථාව තුළ ඇත්තේ දහම් කරුණු ස්වල්පයයි. එවැනි අය කැමැති නිතරම තමා හුවා දැක්වීමටයි. ධර්ම දැනුම ඇති පිරිසක් ඉදිරියේ ඔහු වචනවලින් ජයගැනීමට උත්සාහ ගන්නවා.එමඟින් ඔහුගේ අල්පශ්‍රැත බව තවදුරටත් ප්‍රකට වනවා. එහෙත් ඔහු තමන් අල්පශ්‍රැත කෙනෙකු කියා පිළිගැනීමට කැමැති නැහැ.

    මච්ඡරියස්ස චාග කථා දුක්කථා

    දැඩි ලෝභ අය එක්ක ත්‍යාග ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක්කථාවක්. මසුරු කෙනා දන්දීම අනුමෝදන් වන්නේ නැහැ. දන්දෙන විට මසුරු කෙනා දොස් කියනවා, මොනවට ද ඔතරම් දන් දෙන්නේ බොහෝ මුදල්වියදම් කරමින් කියා. මෙහිදී පින්වත්නි, ඔහු දන් දෙන්නේත් නෑ. දන්දීම අනුමෝදන් වෙන්නේත් නැහැ. දන් දීම වළක්වන්නත් බලනවා. එහෙත් දන්දෙන අය දෙසැරයක් හිතන්නේ නැහැ. දන්දෙන කෙනා දන්දීමෙන්ම සතුටුවෙනවා. මසුරු කෙනාට එසේ සතුටුවන්න පුළුවන් කමක් නැහැ. එමඟින් තමාමයි අසතුටට මානසික, පීඩනයට පත්වන්නේ.
    සමහරුන්ට යමක් ගැන තණ්හාව නැතිව යන්නේ ඒදේ පාවිච්චි කරන්න බැරිවන විටයි.එයින් ප්‍රයෝජනයක් ගන්න තිබෙන විට දෙන්න කැමැති නැහැ. එසේනම් මසුරු කෙනාට ත්‍යාගය ගැන කියන කථාව දුෂ්කරයි.මසුරුකම ජීවිතයට විශාල හානියක්; පාඩුවක්; අසහනයක්.

    දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්කථා

    ප්‍රඥාව නැතිකෙනකු සමඟ ප්‍රඥාව ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශප්‍රාඥ කෙනා නිතරම ත්‍රිලක්ෂණය දකින්නේ ‘කලකිරීමක්’ හැටියටයි . අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යනු මේ ලෝකයේ තිබෙන යථාර්ථයයි. ප්‍රඥා රහිත කෙනා අනිත්‍ය ලක්ෂණය වෙනුවට ලෝකය නිත්‍ය යැයි සිතනවා. දුක ගැන කියනවාටත් කැමැති නැහැ. මම මගේ යැයි ආත්ම දෘෂ්ටියෙන් ඔහු පසුවනවා. එසේම අසුබ භාවනාව වැඩීම නිසා තම ජීවිතය හා පවුල් ජීවිතය අවුල් වනවා සහ ඒ තුළ ප්‍රශ්න ඇති වනවා යැයි ප්‍රඥාව නැති කෙනා සිතනවා.මෙයට හේතුව ප්‍රඥාව අඩුකෙනාට ප්‍රඥා කථාව දුෂ්කරතාවක් වන නිසායි.
    ප්‍රඥාව ගැන බුදුරජුන් පෙන්වාදී ඇත්තේ මෙසේයි.’අරියාය නිබ්බේධිකාය සමන්නාගතො උදයත්ථ ගාමිණීපඤ්ඤා ‘ ඇතිවීම,නැතිවීම ගැන අවබෝධ කරනවාය යන අදහසයි. ‘කලකිරීම’ යන්නෙන් අදහස් කරන්නේ චිත්ත පීඩාවක්, එපාවීමක් නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ්ව තිබෙනවා. යථාර්ථය දැකීමෙන්, ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් නොඇලි සිටින මට්ටමට ප්‍රඥාව දියුණුවීමයි. මෙන්න මේ අර්ථය සමඟ දුශ්ප්‍රාඥයා නිතරම ගැටෙනවා. අනිත්‍යයි. දුකයි,අනාත්මයි, කියා සිතන්න සිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නොඇල්මක්. එම නිසා ඔහු තුළ උපේක්‍ෂාවක් ඇතිවනවා. බොජ්ඣංග ධර්ම වැඩෙනවා. සතර අපාය ගැන කියන විට තම ශරීරයේ ස්වභාව ගැන කියන විට එය යථාර්ථයක් ලෙස තේරුම් ගැනීමට නොහැකි අයට එය මානසික අසහනයක් බවට, එපාවීමක් බවට පත්වනවා. ගිහිජීවිතය තුළ අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව සහ බිම්බිසාර රජු ආදින් මඟ ඵල ලැබු උතුමන්. ඔවුන් ලෝකය ගැන මනා අවබෝධයෙන් සිටියා. එහෙත් ප්‍රඥාව නැති කෙනාට මේ කියන අවබෝධය ලැබෙන්නේ නැහැ. ජීවිතයම අවුල් කරගන්නවා.
    එසේ නම් කථා කිරීමට පහසු පුද්ගලයන් පස්දෙනාත් මේ අනුව පින්වත් ඔබට දැන් හඳුනාගැනීමට පහසුයි. ඉහත සඳහන් කථා කිරීමට දුෂ්කර පස්දෙනාගේ විරුද්ධ පැත්තයි.
    * ශ්‍රද්ධාව තිබෙන කෙනකු සමග ශ්‍රද්ධාව ගැන කථා කිරීමට පහසුයි.
    * සිල්වත් කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීම පහසුයි
    * බහුශ්‍රැත කෙනකු සමඟ බහුශ්‍රැත කථාව පහසුයි
    * ත්‍යාගවන්තයා සමඟ ත්‍යාගය ගැන කථාව පහසුයි
    * ප්‍රඥාවන්තයා සමඟ ප්‍රඥාව ගැන කථාව පහසුයි
    මෙලෙස ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග සහ පඤ්ඤා යන පංච සේඛ බල තම ජීවිතය තුළ දියුණු කරගෙන ලෞකික ජීවිතය ද සාර්ථක කරගනිමින් නිවන් පසක් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

    Wednesday, 10 July 2013

    කුසලයට මුල්වන පිරිසුදු චේතනාව



    උඩුබද්දාවේ
    සෝමරත්න බන්නැහැක
    කිසිම සත්වයකු සසර දුක් විඳීමට කැමැති නැත. සැපයට සියල්ලන්ම කැමැති ය. සැප ඇති තැනක මිස දුක් ඇති තැනක ඉපිද තව දුරටත් පින් කරගත නොහැකි ය. එබැවින් ලෞකික වශයෙන් සැප ඇති තැනක ඉපදීම නිවන් දකින තෙක් පවත්වා ගැනීමට වගකීමෙන් පින්දහම්හි නිරත වීම බුද්ධිමත් ජනතාවගේ ලක්‍ෂණයයි. පින් කර සැප ලබා ගත්තායැ’ යි කියා නිවනට බාධාවක් නැත. සසර එතෙර කිරීමෙන් ලබන නිවනට ද පින් අවශ්‍යම ය. පින් මඳ වූවෝ නිවනට දුරස්ථයෝ ය.
    පින්,පව් හා කුසලාකුසල කර්ම පිළිබඳ විවරණය වන මේ ලිපිය බුදදහමේ අග්‍රඵලය වන නිවන් ඵලය සාධනය කර ගැනීමට අදාළ මූලික පසුබිම සකස් කරගැනීම පිණිසයි. හිරි ඔතප් (පව් කරන්නට ඇති ලජ්ජාව සහ බිය) මුලින් ම පුද්ගයකු තුළ පැවැතිය යුතුය. එය නොමැති තැනැත්තා ඕනෑම නරක ක්‍රියාවකට පෙළැඹිය හැකිය. එයින් නිවන් මඟ තව තවත් ඇහිරී ඔහු නිවන වෙතින් ඈතට යෑම නොවැළැක්විය හැකි ය. එබැවින් පව්කම්වලින් වැළැකුණු, පින් දහම් හි නිරත පුද්ගලයකු වීම අවශ්‍යය.
    ඇතැමුන් පින් පිළිබඳ ද දරන්නේ තරමක් උදාසීන, බියමුසු හැඟීමකි. එසේ ම ප්‍රාඥායන් විසින් නොකටයුත්තක් ලෙසට ඔවුහු මෙය සලකති. එයට හේතුව පින්කිරීමෙන් සංසාරය දිග්ගැසෙනවා යැයි අනවශ්‍ය භීතිකාවකින් පෙළීමයි. එබැවින් බෞද්ධයන් පින් නොව කුසල් කළ යුතු යැයි ඇතැම්හු පවසති. එය එසේ ප්‍රකාශ කළ නොහැකි ය.පින් හා කුසල් යන දෙක මාතෘකා වශයෙන් දෙකක් වුවත් පිනෙහි කුසලයත් , කුසලයෙහි පිනත් රැඳී පවතින බව තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ ම, පින් කරන්නට බිය වන්නට එපා යැයි දේශනා කර තිබිය දී ඒ ගැන අප සැක පහළ කරන්නේ කවර කරුණකට ද?
    පිනෙහි ස්වභාව සුවපත් කිරීම මිස සසර දිග් කිරීම නොවේ. කිසිම සත්වයකු සසර දුක් විඳීමට කැමැති නැත. සැපයට සියල්ලන්ම කැමැතිය. සැප ඇති තැනක මිස දුක් ඇති තැනක ඉපිද සැප විඳිය නොහැකි ය. එබැවින් ලෞකික වශයෙන් සැප ඇති තැනක ඉපදීම නිවන් දකින තෙක් පවත්වා ගැනීමට වගකීමෙන් පින්දහම්හි නිරත වීම බුද්ධිමත් ජනතාවගේ ලක්‍ෂණයයි. පින් කර සැප ලබා ගත්තායැයි කියා නිවනට බාධාවක් නැත. සසර එතෙර කිරීමෙන් ලබන නිවනට ද පින් අවශ්‍යමය. පින් මඳ වූවෝ නිවනට දුරස්ථයෝ ය.
    මෙහි ලා පිනෙහි ස්වභාව තවදුරටත් වටහා ගත යුතුය. ‘චිත්තං පුනාතී’ති පුඤ්ඤං’ යනුවෙන් පින විග්‍රහ කොට ඇත. පින පිළිබඳ පැහැදිලි විග්‍රහයකි එය. එහෙත් මේ විග්‍රහය වරදවාගත් ඇතැමුන් ‘සිත පිනා යෑම පින යැ’යි වරදවා වටහා ගෙන ඒ වැරැදි මතය ජනතාව අතරට ද ගෙන යමින් තිබෙන බව පෙනේ. සිත පිනා යෑම පින වන්නේ කෙසේද? නරක වැඩ කරන්නවුන් ද එය කරනුයේ පිනායන සිතකිනි. සමහරු නරක දෙයක් කළ පසුව ද පිනා ගිය සිතින් සිටිති. නරක දෙයෙහි අයහපත් විපාකය ලැබෙන තෙක් ඔහු කළ නරක දෙය මධුවක් මෙන් සලකන බව බුදුරජාණන් වහන්සේගේ දේශනයකි. එබැවින් පව්කම් කරන්නෝද නොපිනා ගිය සිතකින් එය නොකරති. ඒ අනුව, සිත පිනා යෑම පින යැයි බොහෝ ධර්මධරයන් කරන විග්‍රහය ධර්මානුකූල නොවේ. එය අධර්මය ධර්මය කොට දැක්වීමකි. ’පුනාති’ යන වචනයෙහි තේරුම ‘පිරිසුදු කරයි’ යන්නයි. ‘පොළයි’ යන අර්ථයද එහි ඇත. “පොළයි’ යන අර්ථය ගත්කල පොළන විට සිදුවන්නේ නරක දේ ඉවත් වී හොඳ දේ ඉතිරි වීමයි. වී,හාල්, ආදිය කුල්ලකට දමා පොළන විට නරක දෑ බැහැරව හොඳ දෑ එහි රඳා පවතී. එසේම සිතෙහි ඇති නරක චෛතසික පොළා ඉවත් කරද්දී යහපත් චෛතසික ඉතිරිවේ. ‘පිරිසුදු කරයි’ යන අර්ථයෙන් ගත්කල ද වන්නේ එයමයි. ඒ අනුව, පින යනු පිරිසුදු කිරීමයි. කවරක් පිරිසුදු කිරීමද ? සිත පිරිසුදු කිරීමයි. කවර දේවලින් පිරිසුදු කර ගැනීමද? ලෝභ, ද්වේශ,මෝහාදි අකුසල චෛතසිකයන්ගෙන්ය.එසේ නොමැතිව සිත සතුටුවීම් මාත්‍රය පිනක් වන්නේ නැත. සිත සතුටුවිය යුත්තේ යහපත් චෛතසික ක්‍රියාකාරිත්වයකිනි.
    සිත පිරිසුදු කර ගැනීමට පුණ්‍ය ක්‍රියා දහයක් බුදුදහම දක්වා ඇත.ඒවා දසපුණ්‍ය ක්‍රියා ලෙස විග්‍රහ වෙයි. එනම් දාන, ශීල,භාවනා, පත්තිදාන (පින්දීම), පත්තානුමෝදනා (පින් අනුමෝදන් වීම), ව්‍යොවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදියයුත්තන් පිදීම), ධම්ම දේශනා, ධම්ම සවණ සහ දිට්ඨිජුකම්ම යනුයි. මේ සෑම ක්‍රියාවකම සිත පිරිසුදු වීම පැවැතියහොත් පමණිපින අර්ථවත් වන්නේ. එසේ නොමැති වුවහොත් එය පිනක් වන්නේ නැත.
    උදාහරණයක් ගෙන එය පැහැදිලි කරගනිමු. දානය නමැති පුණ්‍ය ක්‍රියාව දස පුණ්‍ය ක්‍රියාවන්හි පළමුවැන්නයි. දානය පිනක් වන්නේ ඒ තුළ සිත ලෝභාදි අකුසල් චෛතසික කෙරෙන් පිරිසුදු වුවහොත් පමණි. එසේ නොමැතිව කවරක් හො කෙසේ හෝ දීමෙන් පින් සිදුවන්නේ නැත.මජ්ඣිම නිකායෙහි ‘චූල පුණ්ණම’ සූත්‍රයෙහි දන් දී අපාගත වන්නන්ද සිටින බව දේශනා කොට ඇත. ඒ කවර දානයක් ද යත්, අසද්පුරුෂ දානයයි. අසද්පුරුෂ දානය යනු නො සකසා දීම ය,අසහත්‍ථව දීම ය, නොවිමසා දීමය, අපවිද්ධය දීමය, අනාගමන දිට්ඨිකව දීමය. මෙසේ දන් දෙන්නන් දුගතියෙහි උපත ලබන බව ‘චූල පුණ්ණම’ සූත්‍රයේ දී දක්වා ඇත.
    එබැවින් හුදෙක් ක්‍රියාව නොව ඒ තුළ චේතනාව කොතරම් පිරිසුදුව පවතීද යන්න තුළය පින රඳා පවතින්නේ. එබැවින් දන් දී පින් කැමැති වන්නන් මේ ගැන සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම අද බෞද්ධයන් යැයි කියා ගන්නා ඇතැමුන්ගේ නිවෙස් තුළ සිදු කරන්නේ දන් දීම නොව ‘යාග කර්මයන්’ය. සතුන් මරා කපා කොටා උයා මත්ස්‍ය මාංශ පිළියෙළ කරමින් දෙන දානය පින් ඇති දෙයක් නොවන්නේය. එයින් ලෝභ, ද්වේශ, මෝහාදිය වර්ධනය වීමකි සිදුවී ඇත්තේ. අනුන්ගේ මාංශයට පළමුව ලෝභය පහළ වී ඇත. අනුන්ගේ ශරීරය කපා කොටා ගන්නට ද්වේශයකින් තොරව බැරිය. එබැවින් ද්වේශය ද ඉදිරිපත් වී තිබේ.මේ නිසා ඇතැම් බෞද්ධ නිවෙස් තුළ සිදුකෙරෙන දානය, ලෝභ,ද්වේශ,මෝහාදිය වර්ධනය කරන්නක් බව මේ අනුව පෙනේ. ඒවා නැතිවීම පිණිසය දන්දිය යුත්තේ. ලෝභ, ද්වේශ, මෝහාදි චේතනාවෙන් යුතුව පුණ්‍ය ක්‍රියා දහයෙහිම යෙදුණ ද පිනක් නැත. එබැවින් පින යනු අප සිතා සිටින සාමාන්‍ය ස්වභාව ඉක්මවා ගිය වටිනා දෙයක් බව වටහාගත යුතුය.
    අනෙක ඇතැමුන් සිතා සිටින පරිදි පින් කිරීමෙන් සසර දිගුවන්නේ කෙසේද? ලෝභ,ද්වේශ,මෝහාදියෙන් සිත පිරිසුදු කරන විට සසර දිග්වන්නේ නැත. දස පුණ්‍ය ක්‍රියාවන්හි අරමුණ මැනැවින් තේරුම්ගෙන කිරීමෙන් සසර කෙටි කර ගත හැකිය.එහෙයින් පින් කරන්න එපා, කුසල් කරන්න එපා යැයි කියමින් බුද්ධාවවාදය ද වරදවා වටහාගෙන සිටින අය මේ ගැන සිතීම අවශ්‍යය. පින් සහ කුසල් දෙක මාතෘකා වශයෙන් දෙකක් වුවත් පිනෙහි කුසලයත්, කුසලයෙහි පිනත් රැඳී පවත්නා බවත්, එය නිවන ඉලක්ක කොට ගෙන පැවැතිය යුතු බවත් තේරුම් ගෙන පිනෙහි කුසලයෙහි ඡන්දය ඇතිකර ගත යුතුය.
    අපේ සමාජයේ සහතිකවලට සෝවාන් ආදි මඟ ඵල ලබාගෙන සිටින්නෝ පින් දහම් හෙළා දකිති. බුදුරජාණන් වහන්සේ ‘පිනට බියවන්නට එපා’ කියා දේශනා කර තිබිය දී ඔවුන් පින් කරන්නවුන් හෙළා දකින්නේ ඔවුන් මාර්ග ඵල තබා පෘථග්ජන භාවය පරදවමින් ලබාගන්නා සද්ධානුසාරි බවටවත් නොපත් හුදු මිථ්‍යා දෘෂ්ටික පිරිසක් වන නිසාම විය යුතුය. මහාචාර්යවරයකු පෙර පාසල වැඩක් නැතැයි කියනවා නම්, ඔහු මහාචාර්යකමට නුසුදුසුය.මක්නිසාද ඔහු ඒ තත්ත්වයට ආ මඟ නොදන්නා නිසාය. එසේම මඟ ඵල නොව සද්ධානුසාරි බවටවත් පත්ව සිටියා නම්, තම ශාස්තෘවරයා කරන්න යැයි කියූ දෙය එපා යැයි පවසන්නේ නැත. මෙලෙස පින් කරන්න එපා යැයි යමකු පවසන්නේ නම් ඔහු ශාසනයේ උණුසුමවත් නොලැබුණ පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    (උඩුබද්දාව, නැවකඩ ශෛලගිරි විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී ආලංකුලමේ පේ‍්‍රමසිරි හිමිපාණන් විසින් ‘අසිරිමත් බණ කතා - 2’ ධර්ම ග්‍රන්ථයට සපයන ලද පෙරවදන ඇසුරෙන් මේ ලිපිය සකස් කරන්නට යෙදුණු බව කෘතවේදීව සඳහන් කරමි.)

    සද්පුරුෂයෝ



    කැප්පෙටිපොල, පාලුගම, 
    ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරි,
    වැලිමඩ ගුරු මධ්‍යස්ථානයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය 
    විල්ඔය පඤ්ඤාතිලක හිමි
    විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය.අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු දේවත්වයෙන් සැළකුවේ ඔවුන්ගේ අනවබෝධය නිසා නොව තමන්ට ජීවත්වීමට උපකාරි වන මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දැක්වීම උදෙසායි. කුඹුරේදී හිස් වැසුම් පා වැසුම් නො පැළැන්දේ මේ හේතුවෙනි. බෝග අසුරන විට,ආහාර පිසින විට,ආහාර බෙදන විට එයට තුන්වරක් වැන්දේ කෘතවේදිත්වය සඳහායි
    සද් යනු යහපත්, හොඳ,විශිෂ්ට යන අරුත් දෙන උපසර්ග පදයකි. සද්පුරුෂ යනු යහපත්, විශිෂ්ට හොඳ මිනිසා යන්නයි. විශිෂ්ටයකු වීම සැමදෙනාගේ ම ප්‍රාර්ථනයයි.
    කේවලා හෙසා භික්ඛවෙ සප්පුරිසභූමි,යදිදං කතඤ්ඤුතා කතවේදිතා
    “මහණෙනි, සත්පුරුෂයකු හඳුනා ගත හැකි ආකාර දෙකකි. කළ උපකාරය සිහිපත් කරන්නා, හා කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නා යි”
    සත්පුරුෂයකු විය හැකික්‍රම දෙකකි.
    1.කළ උපකාරය සිහිපත් කිරීම
    2.කළ උපකාරයට ප්‍රති උපකාර දැක්වීම
    සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී කෙළෙහි ගුණ දැක්වීම යන්නෙන් අදහස් කරනුයේ මෙම සද්පුරුෂ ගුණයයි. සද්පුරුෂයකුවීම,සද්පුරුෂයකු දැකීම අතිශය දුෂ්කර හා දුර්ලභ අවස්ථාවක් බව බුදුරජාණන් වහන්සේ දක්වති.
    “කතඤ්ඤු කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලොකස්මිං” කළ උපකාරය සිහිපත් කරන හා කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන පුද්ගලයෝ ලොවෙහි දුර්ලභ වෙති යනු බුදු වදනයි.
    ලොව විශිෂ්ට වූ බුදු, පසේ බුදු, මහ රහත් යන උත්තමයෝ සත්පුරුෂයෝ වෙති. එය උතුමන්ගේ චරිත තුළින් මනාව ප්‍රකට කෙරෙයි. අපගේ බුදු පියාණන් වහන්සේ බුදු බව ලැබීමට පාරමී ධර්ම පූරණය කරන අවධියේ දීද සද් පුරුෂ ගුණ සිත දැරූ බව ජාතක කතා පොත් වහන්සේ තුළින් මනාව ප්‍රකටය. මහා අස්සාරෝහ ජාතකය තුළින් මෙය මනාව පැහැදිලි වෙයි.
    උන්වහන්සේ දඹදිව රජ කුලයක ඉපිද සිටි අවස්ථාවේ සතුරු සේනාවට අසුව පැන යන්නට විය. එහි දී එක් පසල් දනව්වක ගම්වැසියෙකු එතුමන්ට දින කිහිපයක් ආරක්‍ෂාව සපයයි. නැවත රාජ්‍ය බලය ලබා ගන්නා එතුමා උපක්‍රමශීලිව තමන්ට උපකාර වූ මිනිසා හා ඔහු ගේ පවුලේ උදවිය රජ මාලිගයට කැඳවා රාජ්‍යයෙන් අඩකට ඔහු ද රජ කොට පාලනය කරයි. මෙය බෝසත් අවධියේ උන්වහන්සේ සද්පුරුෂ ධර්මය රැකි එක් අවස්ථාවකි. මෙවන් අවස්ථා ජාතක පොතෙහි බොහෝ දක්නට ලැබෙයි.
    බුදුබව ලැබීමෙන් අනතුරුව සත් සතිය ගත කළහ. එහි දී උන්වහන්සේ තමන්ට බුදු බව ලබා ගැනීම උදෙසා උපකාරී වූ පරිසරයට කෘතවේදි බව දැක්වූහ.අනිමිස ලෝචන පූජාව මීට කදිම සාක්ෂියකි. බුදුරජාණන් වහන්සේ මුලින් ම අප වෙත දැක්වූ ධර්මය මේ අනුව ගත් විට කෘතවේදිත්වය හා කෘතඥතාවයි. ජීව,අජීව,අචින්තක, සචින්තක, භෞතික අභෞතික මේ සියල්ල කෙරෙහි කෘතවේදීව, කෘතඥතාවයෙන් යුක්තව විසිය යුතු බව උන්වහන්සේ මේ තුළින් ලොවට ප්‍රකට කළහ.
    බුදු දහම සමාජ සංස්ථා ගොඩනගා එම සමාජ සංස්ථාවන්ට යම් යම් වගකීම් පවරා ඇත. එසේ පවරන වගකීම් තුළින් සමාජය කෘතවේදිත්වයට හා කෘතඥතාවට යොමු කොට ඇත. මව්පියෝ දරුවන් හදා වඩා ගනිමින්, වරදින් මුදා යහපතෙහි යොදවා ඔවුන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වා ලොකු මහත්කොට ආවාහ විවාහ කර දී දේපළ පවරා ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය ඉටු කළ අතර දරුවෝ මව්පියන් මහලු වූ විට ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ඔවුන්ගේ කුදු මහත් කටයුතු ඉටු කළහ. මේ නිසා බෞද්ධ සමාජය තුළ වැඩිහිටි නිවාස, ළමා නිවාස, අනාථ නිවාස බිහි නොවීය. මෙලෙසම ගුරුවරු සිසුන් මැනවින් හික්මවමින්, වරදින් මුදා යහපතෙහි යොදවා මැනවින් ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් අතර, සිසු දරුවෝ ගුරුවරුන්ට කෘතවේදි වෙමින් ගුරුන්ට ගරු සත්කාර සම්මාන දක්වමින් මැනවින් ශිල්ප උගත් හා බිරිඳ ස්වාමියාට ගරු කරමින් ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කරමින් ඔහුට ශක්තියක් වූ අතර ස්වාමි පුරුෂයාද බිරිඳට ගරුකරමින් ඇයට ඇප උපස්ථාන කළේය. පාලකයෝ පාලිතයන්ටත් පාලිතයෝ පාලකයන්ටත් තම යුතුකම ඉටු කළහ. ගිහියෝ පැවිද්දන්ට මෛත්‍රී සහගතව සිව්පසයෙන් උපස්ථාන කළහ.පැවිද්දෝ ගිහියන්ගේ මෙලොව පරලොව සුභ සිද්ධිය සඳහා අනුශාසනා පැවැත් වූහ. එය බුදුරාජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අවධාරණය කළහ.
    ගිහීන මුපකාරොන්තං
    නිච්චමාමිස දානතො
    කරොථ ධම්ම දානෙන
    තෙසං පච්චූපකාරකං
    නිතර සිව්පසයෙන් උදව් කරන්නාවූ ගිහි පිරිසට ප්‍රතිඋපකාරයක් වශයෙන් ධර්ම දානයෙහි යෙදෙන්න. උන්වහන්සේ ගේ අවවාදය වූහ.මේ නිසා බෞද්ධ සමාජය කෘතවේදි සමාජයක් විය. කෘතඥතාව පිරි සමාජයක් විය.සත්පුරුෂ සමාජයක් විය.
    මනුෂ්‍යයන්ට පමණක් නොව සතා සිව්පාවට ද ඒ කෘතවේදිත්වය එලෙස දැක්වීය. උන්වහන්සේ පඤ්ච ශීල ප්‍රතිපදාව තුළින් මේ ජීව හිතවාදි බව ප්‍රකට කරයි. සැම දෙනාගේ් ජීවිත සඳහා හැම දෙනාම උපකාරි වෙයි. එසේ නම් අනිකා කෙරෙහි සැළකිලිමත්ව කටයුතු කළ යුතු යි. කරණීයමෙත්ත , මංගල, ආදී සූත්‍ර දේශනා තුළින්ද මේ ජීව හිතවාදි සමාජ උපකාරි සමාජයකට ආදර්ශයට ගත හැකි දේශනා ඇත.
    ආදි කාලීන බෞද්ධ සමාජය මේ පද්මාකාර ආකෘතියේ සමාජයක් විය. විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය.අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු දේවත්වයෙන් සැළකුවේ ඔවුන්ගේ අනවබෝධය නිසා නොව තමන්ට ජීවත්වීමට උපකාරි වන මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දැක්වීම උදෙසායි. කුඹුරේදී හිස් වැසුම් පා වැසුම් නො පැළැන්දේ මේ හේතුවෙනි. බෝග අසුරන විට, ආහාර පිසින විට, ආහාර බෙදන විට එයට තුන්වරක් වැන්දේ කෘතවේදිත්වය සඳහායි. ආහාර පිසූ බඳුන බිඳුන පසු ද විසි කළේ නැත. ගෙයි පිළිකන්නේ මුනින් අතට හරවා තැබිණි. සිසුහු තමා ඉගෙනගන්නා පොත ගන්නා විටත්, යළි තබනවිටත් ඊට වැන්දාහ.මේ කිසිවක් නිසා නොව තම කෘතවේදිත්වය හා කෘතඥතාවය පදනම්කොට ගෙන ය.
    අටලෝ දහමෙහි වටිනා පැත්ත අත්පත් කරගන්නටත් නොවටිනා පැත්ත බැහැර කරන්නටත් මහ තරගයක නිරත ඇතැම් මිනිසා කෘතවේදිත්වය හා කෘතඥතාවය අමතක කර ඇත. මේ නිසා විෂම, සමාජයක් බිහිව ඇත. ඒ නිසා අප ජීවත්වන සමාජය තුළ අවුල් වියවුල් වලින් යුතු හිංසාකාරි සමාජයක් වී ඇත. මෙය වෙනස් කළ හැක්කේද අපටයි. බුදු ගුණ අගයමු. බුදුබණ පිළිපදිමු. අපි යහපත් මිනිස්සු වෙමු. යහපත් සමාජයක් බිහි කරමු.

    Monday, 8 July 2013

    කථා කිරීමට දුෂ්කර වූවෝ


    ශාස්ත්‍රවේදි ,පණ්ඩිත
    කෝන්වැවේ සුනන්ද හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    පින්වත් ආර්ය ශ්‍රාවකයෙනි,
    බුදුරජාණන්වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ පස්වැනි පොතට අයත් දේශනාවක් වන දුක්කථා සූත්‍රයට අනුව බලන විට මේ ලෝකයේ කථා කිරීමට දුෂ්කර පුද්ගලයන් පස්දෙනෙකු සිටින බව පෙන්වා දී තිබෙනවා. එපමණක් ද නොවෙයි කථා කිරීමට පහසු පුද්ගලයන් පස් දෙනකු ගැනත් එහිදී කථා කර තිබෙනවා. අපි පළමුවැනුව බලමු කථා කිරීමට යෑමෙදි දුෂ්කර වූ පුද්ගලයන් පස්දෙනා ගැන.

    අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කථා දුක්කථා

    මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙකු සමඟ ශ්‍රද්ධාව ගැන කථා කිරීමට යෑම දුෂ්කර බවයි. එය එක් දුක් කථාවකි. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.බුදුරජාණන් වහන්සේගේ නව අරහාදිගුණ කියන විට, ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ආදි ගුණ සහ මාර්ග ඵල ලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියන විට ශ්‍රද්ධාවේ පිහිටා නැති තැනැත්තා එය බොහොම හොඳයි කියා අනුමෝදන් වන්නේ නැහැ. එවිට ඔහු කිපෙනවා (කුප්පති). තරහා ගන්නවා (ව්‍යාපජ්ජති). විරුද්ධව නැඟී සිටිනවා (පතිත්ථියති). කෝපයත් දෝෂයත් නොසතුටත් පළ කරනවා (කොපං ච දොසං ච අප්පච්චයං පාතු කරෝති). මොහු ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ.මෙම ස්වභාව ගිහි, පැවිදි දෙපක්‍ෂයටම පොදුයි. ධනඤ්ජානි බැමිණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී හැම කාර්යයක් කරන විටදීම ‘නමෝ බුද්ධාය’යනුවෙන් සිහි කරනවා. එහෙත් ඇයගේ ස්වාමියා වූ මිත්‍යාදෘෂ්ටික ධනඤ්ජානි බමුණා මේ අසා කෝපවී ඇයටත් බුදුරදුන්ටත් දොස් කියනවා. මිත්‍යාදෘෂ්ටික අය ඉදිරියෙහි බුදුගුණ කිව්වොත් ඒ කෙනා කැමැතිවන්නේ නැහැ. ඒ ඇසුවත් අහන්නේ අපහසුවෙන්; චිත්ත පීඩාවෙන්.එයටත් හේතුව ඔහු තුළ ශ්‍රද්ධා සම්පත්තිය නැති කමයි. ශ්‍රද්ධාව තමන්ට ලැබී තිබෙන ධනයක්. මහත්වූ ලාභයක් . පින්වතුනි,ශ්‍රද්ධාව තිබෙන කෙනාට බුදුගුණ කියනකොට, බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීමක් ගැන කරන කථාවක් ඇහෙන කොට ඇතිවන්නේ මහත් වූ පී‍්‍රතියක්; ප්‍රමුදිත බවක්. දැන් බලන්න අච්ඡරිය අබ්භූ®ත සූත්‍රයේ සඳහන් බුද්ධ චරිතයේ ආශ්චර්යවත් සිදුවීම් ගැන කියන විට පුදුමාකාර අධ්‍යාත්මික සතුටක් සිතට දැනෙනවා. සිදුහත් බෝසතුන් තව්තිසා දෙව්ලොවින් චුතව මහාමායා දේවියගේ කුසින් බිහිවී නෙළුම් මල් සතක් උඩ ඇවිද ගොස් “අග්ගො හමස්මි ලොකස්ස” යනාදී වශයෙන් ගම්භීර ප්‍රකාශයක් කළා. මේ සිදුවීම් යථාර්ථයෙන් ම සිදුවන ආශ්චර්යමත් සිදුවීම්. මෙය කියන විට අපගේ සිත්වල බුද්ධාලම්බන පී‍්‍රතියක් ඇතිවෙනවා. එයට හේතුව ශ්‍රද්ධා සම්පත්තියයි.
    ඒ වගේම රහතන් වහන්සේ නමක් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරජාණන් වහන්සේ හමුවී සිරිපතුල් සිඹ පිරිමදිමින් වදාළේ, ‘ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන්. මෙමඟින් පෙනෙන්නේ ශ්‍රද්ධා සම්පත්තිය නොවේද? තව විටෙක දී පිංගිය බමුණාගෙන් බාවරී බමුණා මෙලෙස විමසනවා. ‘පින්වත් පිංගිය, ඔබ බුදුරජාණන් වහන්සේ ගෙන් වෙන්ව වාසය කරන්නේ නැහැ කීවත් වෙන්ව වාසය කරන්නේ ඇයි?’ එවිට පිංගිය උත්තර දෙන්නේ,’තණ්හාව නැසූ අකාලික දහමක් දෙසු බුදුසමිඳු දිවා රෑ දෙකෙහිම මම මනැසින් දකිමි. දෑසින් දකිමි’ යනුවෙන්. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම බුදුගුණ ,දහම්ගුණ, සිහිකරමින් ජීවිතයට රැකවරණ ලබාගන්නා බවයි. මුළුලොවම එක පැත්තක වුවත් බුදුරජුන් එක පැත්තක නම් අන්න ඒ පැත්තේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම ඉන්නවා.මේ ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වන්නේ අවංක,ඍජු ගුණයක් ඇති, විවෘත මනැසක් ඇති කෙනාට පමණයි.

    දුස්සීලස්ස සීල කථා දුක්කථා

    දුශ්ශීල කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශ්ශීල කෙනා සම¼ග ශීලය ගැන කථා කරන්නට ගියොත්, කිපෙනවා. එයට විරුද්ධව සතුරෙකු මෙන් නැඟී සිටිනවා. දුශ්ශීල තැනැත්තා නිතරම අගය කරන්නේ දුසිල්වත්කමයි. ඔහු සිල් රැකීම අසාර්ථක වැඩපිළිවෙළක් හා කරදරයක් ලෙස දකිනවා. නවීන ලෝකය සමඟ ශීලය පවා වෙනස්විය යුතු බව ඔහුගේ අවබෝධයයි.ඒනිසාම දූෂණය හා සැහැසිකම පැතිරෙනවා. එහෙත් නැණගුණ තිබෙන කෙනා තමාගේ සිල්වත්කමට හානිකර ගන්නේ නැහැ.දුශ්ශීල අය නිතරම සිල්වත් අයට නින්දා අපහාස කරන්න බලනවා. බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම සදහා චිංච මානවිකාව උන්වහන්සේ ඉදිරියට එව්වා. මෙලෙසයි දුශ්ශීල අයගේ වැඩ.

    අප්පස්සුතස්ස බාහුසච්ච කථා දුක්කථා

    අල්ප ශ්‍රැත වූ එනම් ධර්මය පිළිබඳ ඥානයක් නැති කෙනෙකු සමඟ විස්තර සහිතව දහම් කරුණු කථාකිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්.අල්පශ්‍රැත යනුවෙන් අදහස් වන්නේ බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති අල්ප දැනුමයි. බහුශ්‍රැත බවෙන් තොරවීමයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවැනි දහම් කරුණු හා සූත්‍ර දේශනා කර තිබෙනවා කියා දහම් දැනුම නැති කෙනකු සමග කථා කළොත් ඔහු කේන්ති ගන්නවා, විරුද්ධ වනවා, නොසතුටට පත්වනවා. එපමණක් නොව මෙතරම් ධර්මකාරණා ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ, එක බණ පදයක් තිබුණා නම් ඇති කියාත් ඔහු කියනවා. එයට හේතුව ඔහු තුළ ශ්‍රැත සම්පත්තිය නැතිවීමයි. එමඟින් තමන්ට ඕන ආකාරයට ධර්මය අර්ථ විවරණය කරන්න යනවා. ධර්මය පිළිබඳව බහුශ්‍රැතකම නැතිව පැය ගණනක් කථා කළත් ඒ කථාව තුළ ඇත්තේ දහම් කරුණු ස්වල්පයයි. එවැනි අය කැමැති නිතරම තමා හුවා දැක්වීමටයි. ධර්ම දැනුම ඇති පිරිසක් ඉදිරියේ ඔහු වචනවලින් ජයගැනීමට උත්සාහ ගන්නවා.එමඟින් ඔහුගේ අල්පශ්‍රැත බව තවදුරටත් ප්‍රකට වනවා. එහෙත් ඔහු තමන් අල්පශ්‍රැත කෙනෙකු කියා පිළිගැනීමට කැමැති නැහැ.

    මච්ඡරියස්ස චාග කථා දුක්කථා

    දැඩි ලෝභ අය එක්ක ත්‍යාග ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක්කථාවක්. මසුරු කෙනා දන්දීම අනුමෝදන් වන්නේ නැහැ. දන්දෙන විට මසුරු කෙනා දොස් කියනවා, මොනවට ද ඔතරම් දන් දෙන්නේ බොහෝ මුදල්වියදම් කරමින් කියා. මෙහිදී පින්වත්නි, ඔහු දන් දෙන්නේත් නෑ. දන්දීම අනුමෝදන් වෙන්නේත් නැහැ. දන් දීම වළක්වන්නත් බලනවා. එහෙත් දන්දෙන අය දෙසැරයක් හිතන්නේ නැහැ. දන්දෙන කෙනා දන්දීමෙන්ම සතුටුවෙනවා. මසුරු කෙනාට එසේ සතුටුවන්න පුළුවන් කමක් නැහැ. එමඟින් තමාමයි අසතුටට මානසික, පීඩනයට පත්වන්නේ.
    සමහරුන්ට යමක් ගැන තණ්හාව නැතිව යන්නේ ඒදේ පාවිච්චි කරන්න බැරිවන විටයි.එයින් ප්‍රයෝජනයක් ගන්න තිබෙන විට දෙන්න කැමැති නැහැ. එසේනම් මසුරු කෙනාට ත්‍යාගය ගැන කියන කථාව දුෂ්කරයි.මසුරුකම ජීවිතයට විශාල හානියක්; පාඩුවක්; අසහනයක්.

    දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්කථා

    ප්‍රඥාව නැතිකෙනකු සමඟ ප්‍රඥාව ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශප්‍රාඥ කෙනා නිතරම ත්‍රිලක්ෂණය දකින්නේ ‘කලකිරීමක්’ හැටියටයි . අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යනු මේ ලෝකයේ තිබෙන යථාර්ථයයි. ප්‍රඥා රහිත කෙනා අනිත්‍ය ලක්ෂණය වෙනුවට ලෝකය නිත්‍ය යැයි සිතනවා. දුක ගැන කියනවාටත් කැමැති නැහැ. මම මගේ යැයි ආත්ම දෘෂ්ටියෙන් ඔහු පසුවනවා. එසේම අසුබ භාවනාව වැඩීම නිසා තම ජීවිතය හා පවුල් ජීවිතය අවුල් වනවා සහ ඒ තුළ ප්‍රශ්න ඇති වනවා යැයි ප්‍රඥාව නැති කෙනා සිතනවා.මෙයට හේතුව ප්‍රඥාව අඩුකෙනාට ප්‍රඥා කථාව දුෂ්කරතාවක් වන නිසායි.
    ප්‍රඥාව ගැන බුදුරජුන් පෙන්වාදී ඇත්තේ මෙසේයි.’අරියාය නිබ්බේධිකාය සමන්නාගතො උදයත්ථ ගාමිණීපඤ්ඤා ‘ ඇතිවීම,නැතිවීම ගැන අවබෝධ කරනවාය යන අදහසයි. ‘කලකිරීම’ යන්නෙන් අදහස් කරන්නේ චිත්ත පීඩාවක්, එපාවීමක් නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ්ව තිබෙනවා. යථාර්ථය දැකීමෙන්, ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් නොඇලි සිටින මට්ටමට ප්‍රඥාව දියුණුවීමයි. මෙන්න මේ අර්ථය සමඟ දුශ්ප්‍රාඥයා නිතරම ගැටෙනවා. අනිත්‍යයි. දුකයි,අනාත්මයි, කියා සිතන්න සිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නොඇල්මක්. එම නිසා ඔහු තුළ උපේක්‍ෂාවක් ඇතිවනවා. බොජ්ඣංග ධර්ම වැඩෙනවා. සතර අපාය ගැන කියන විට තම ශරීරයේ ස්වභාව ගැන කියන විට එය යථාර්ථයක් ලෙස තේරුම් ගැනීමට නොහැකි අයට එය මානසික අසහනයක් බවට, එපාවීමක් බවට පත්වනවා. ගිහිජීවිතය තුළ අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව සහ බිම්බිසාර රජු ආදින් මඟ ඵල ලැබු උතුමන්. ඔවුන් ලෝකය ගැන මනා අවබෝධයෙන් සිටියා. එහෙත් ප්‍රඥාව නැති කෙනාට මේ කියන අවබෝධය ලැබෙන්නේ නැහැ. ජීවිතයම අවුල් කරගන්නවා.
    එසේ නම් කථා කිරීමට පහසු පුද්ගලයන් පස්දෙනාත් මේ අනුව පින්වත් ඔබට දැන් හඳුනාගැනීමට පහසුයි. ඉහත සඳහන් කථා කිරීමට දුෂ්කර පස්දෙනාගේ විරුද්ධ පැත්තයි.
    * ශ්‍රද්ධාව තිබෙන කෙනකු සමග ශ්‍රද්ධාව ගැන කථා කිරීමට පහසුයි.
    * සිල්වත් කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීම පහසුයි
    * බහුශ්‍රැත කෙනකු සමඟ බහුශ්‍රැත කථාව පහසුයි
    * ත්‍යාගවන්තයා සමඟ ත්‍යාගය ගැන කථාව පහසුයි
    * ප්‍රඥාවන්තයා සමඟ ප්‍රඥාව ගැන කථාව පහසුයි
    මෙලෙස ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග සහ පඤ්ඤා යන පංච සේඛ බල තම ජීවිතය තුළ දියුණු කරගෙන ලෞකික ජීවිතය ද සාර්ථක කරගනිමින් නිවන් පසක් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

    උතුම් මිනිසත් බවෙන් අනගි පල ලබමු



    අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි ශ්‍රී‍්‍ර සම්බුද්ධ ශාසන කීර්ති ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන නා හිමි නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාදො සුපින්වත්නි, සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මහරි වෘක්‍ෂයක් මූල වැඩ සිටින සමයෙක ඒරක පත්ත නම් නාරජු අරභයා මෙම ගාථාධර්මය දේශනා කොට වදාළ සේක. මෙකී ඒරක පත්ත නාගයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උතුම් මිනිසත් බව ලබා එම බුදුසසුනෙහි දිවි ඇති තෙක් මහණ දම්පුරා යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් මිනිසත් බව නො ලබාම සංසාරගතව තිරිසන් ආත්මයක් ලැබුවෙකි. එදවස මහණදම් පුරමින් සිටිනා අතර කිසියම් කාරණයකට ගඟකින් එතෙරවීම සඳහා අගුලකට නඟිද්දී ඒරු ගසක අත්තක් අල්ලා ගන්නාලදින් එයින් කොළයක් කැඩී ගඟට වැටිණ. උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් එවන් වැරැද්දක් වූයේ නම් ආයති සංවරය සඳහා ඇවැත් දෙසිය යුතු වන්නේය. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් දෙසීමට අවස්ථාවකුත් නොලබාම එම ආරම්මණය සම්බන්ධව චිත්ත සන්තානයේ තැවීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් මතු ඔරුවක් පමණ විශාල නාග රාජයෙක්ව උපන්නේය. අප ගෞතම සර්වඥයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණ, පිළිවෙළින් ගම්නියම්ගම් රාජධානිවල වඩිමින් වරෙක බරණැස මහරි රුකක් මුල වැඩ සිටින විට එතැනට පැමිණි මෙම නාගරාජයා බුදුසිරිපා වැඳ හඬන්නට විය. කාශ්‍යප බුද්ධකාලයෙන් පසුව මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක දැක පිනක් කිරීමට නොහැකිවීමත් නිසා ශෝකය ඉවසාගත නොහැකිව හැඬුන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. පින්වත්නි, විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වළ මිනිස් ලොව මිනිස්බව ලබන සත්වයන් ඉතා ස්වල්ප වන අතර එවන් උතුම් මනුකය ලබා ගැනීමෙහිලා සසරදි දානාදි මහා පින්කම කළ යුතුම වන්නේය. සිතුවිලි අනුව භවය පවත්නා හෙයින් මිනිසා ප්‍රධාන ජීවින්ගේ උපත හා පැවැත්ම සද්, අසද් ධර්මයන්හි බලපෑම මත සිදුවන බව බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි වේ. චින්තනයෙන් උස්පහත් වීම මනුෂ්‍ය , තිරිසන්, වෙනසට මූලික වේ. එම චින්තන මූලධර්මයන් ඉහළ තලයකට ගොඩනඟාගැනීම හෝ මනුෂ්‍යත්වයට අදාළ වන පරිදි චින්තන භුමිකාව සකස්කර ගැනීම සඳහා මනාසේ මඟපෙන්වන්නේ බුදුදහමයි. එහෙත් එය අන්තර් ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මිහිමත සිටින නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාව විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කිහිපයකි. * මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනා නොගැනීම * කර්ම නියාමය නොපිළිගැනීම * විවේක බුද්ධිය නැතිකම * භෞතික සම්පත් කෙරෙහි වන අසීමිත ආශාව * මිනිස් චින්තනයට ගරුනොකිරීම මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මිනිසුන් මිනිස් කය පැවැතිය ද චින්තනයෙන් ඉතා ලාමකව මරණින් මතු මනුකය හැර දමා දුගතිගාමි වන්නේය. එබැවින් කලෙකින් මිනිසත් බව ලැබූවද එය පවත්වා ගෙන යෑමද ඉතා දුෂ්කර වන්නේය. මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරගැනීමට ප්‍රධාන කාරණා කිහිපයක් අවශ්‍ය වන්නේය. * මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම * ධාර්මික ජීවන පැවැත්ම * නිවැරැදි ජීවන දර්ශනය * කල්‍යාණ මිත්‍රසේවනය අතීත භවයන්හිදී කළ මහා කුසල බලයෙන් මිනිස් මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මනුෂ්‍යයෙක් ක්‍රමයෙන් කයෙන්, මනැසෙන් හැදි වැඩී මානුෂික ගුණාංග පිළිබඳ දැනීමක් ලබාගත යුතු වන්නේය. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරිවන අතර අධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා පරිසරය තුළින් සද්පුරුෂයන් බිහිවන්නේය.අසද් පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක බොහෝ විට අසද්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වභාවික සිද්ධියකි. මිනිස් කය උපදින විට ලැබෙන අතර උදාර මිනිස්කම අවබෝධයෙන් ලැබෙන්නේය.අප කැමැති වුවද අකැමැති වුවද සාවද්‍ය සංකල්පනා අනිවාර්යයෙන් අප කරා පැමිණෙන්නේය. එහෙත් ඒවා ප්‍රබල ප්‍රයත්නයෙන් බැහැරකොට විකල්ප වශයෙන් කුසල පාක්ෂික චින්තන ධර්මයන් ආදේශ කරගත යුතු වන්නේය. ‘ධම්මිකෝ, ධම්මජීවි’ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත, අදින්නාදානාදී පස්පව් නොකොට දාන, ශීල, භාවනාදි ත්‍රිශික්ෂාවෙහි යෙදෙන්නේ නම් උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් වන අතර මානව පරපුරට මහඟු ආදර්ශයක් ද වන්නේය. මිනිසකු උපන්දා පටන් එක්බසකින් හෝ භාෂා කිහිපයකින් හෝ සිතන කියන අක්‍ෂර වදන් වාක්‍ය ඡේද සිය දහස් ලක්‍ෂ කෝටි ගණනින් ප්‍රමාණ වන නමුත් අප බුදුරදුන් වදාළ එක බණ පදයක් වෙත සිය ශ්‍රවණ, ධාරණ, චින්තන ශක්තිය යොමුවන්නේ නම් එය ඒ සියල්ලටම වඩා සිය දහස් ලක්‍ෂ ගුණයෙන් අනගි වන්නේය. එසේ හෙයින් අප බුදුරජාණන් වහන්සේ ‘කිච්ඡං සද්ධම්ම සවණං’ යනුවෙන් වදාළ සේක. අතිදීර්ඝවූ සංසාර ගමනේදි බුද්ධාදී උත්තමයන්ගේ උතුම් ධර්මය අසන්නට, සිතේ දරා පිළිපදින්නට අවකාශ ලැබෙන්නේ නම් එම කුසලකර්මයේ ප්‍රතිවිපාක වශයෙන් භවාන්තරයේ සියලු සම්පත් හා කෙළවර උතුම් නිවන් සම්පත් ලබාදෙන්නේය. ලෝක ස්වභාව ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් සිතා ආත්මාර්ථකාමිත්වයෙන් දේශනා කිරීම අසද්පුරුෂ ක්‍රියාවකි. එවන් දහම් දෙසීම් ලොව ඕනෑම කලෙක පැවැතිය හැකි අතර ස්වාක්ඛාතවූ සම්බුද්ධ ධර්මය අසන්නට ලැබෙන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සමීපයට පැමිණියොත් පමණි. මනුලොව බුදුරජාණන් වහන්සේ පහළවුවද එම ධර්මය අසා දැනගෙන එයින් සැනසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත්බවක් නොලදහොත් අර්ථයක් සිදු නොවන්නේමය. සද්ධර්මය ඇසීමත්, සිතීමත් , පිළිපැදීමත් උභය ලෝකාර්ථ සිද්ධියට හේතුභූත වන්නේය. එමෙන්ම මෙම උතුම් ධර්මය සංසාරික වශයෙන් පීඩාකර වූ ජාති,ජරා, ව්‍යාධි මරණාදි අපමණ දුක්වේදනා සමනය කිරීමෙන් අවේදයිත සුඛ සංඛ්‍යාත පරම ශාන්ත අමාමහ නිවනින් සැනසීමට යථාර්ථයෙන්ම මහෝපකාරි වන්නේය. ඔබ සැමට තෙරුවන් සරණයි. 

    Sunday, 7 July 2013

    අන්තවාදීන් බුද්ධගයාවට බෝම්බ ගසති


    බිහාරයේ – බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථාන පරිශ‍්‍රය තුළ අද අලූයම පුපුරා ගිය බෝම්බ වලින් ශ‍්‍රී ලාංකික වන්දනාකරුවන්ට හානි සිදුවූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නැතැයි විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මෙම පිපිරීම්වලින් දැඩි හානියක් විහාරස්ථානයට සිදුවී නැහැ. එහිදී ස්වාමීන් වහන්සේ නමක් සහ පිලිපීන වන්දනාකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් බරපතල තත්ත්වයේ නොවන බව සඳහන්. සිද්ධියෙන් කම්පාවට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලන ලෙස ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම්දීමක් සිදුකර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය ආසන්නයේ තිබී තවත් බෝම්බයක්ද ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බිහාර් මහා බෝධි විහාරස්ථානයට මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවී ඇත්තේ දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබියදියි. පොලීසිය විසින් මේ වනවිට විහාරස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට අවසර ලබානොදෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

    ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් කිසිවකුටත් හානියක් නැතැයි බුද්ධගයා මහාබෝධි විහාරයේ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ කියති.
    ‘පාන්දර 5.30ට විතර මේ බෝම්බ පිපිරුණේ. විහාරය අවට පහන් පත්තු කරන ස්ථානයේ, රුවන් සක්මන හා රුවන් ගේ අවට කුඩා බෝම්බ පහක් විතර පිපුරුණා. ඒ වගේම ජපන් පන්සලේ සහ තවත් ස්ථානයකත් පිපිරුණා.
    මේ පිපිරීම්වලින් ටිබෙට් සහ බුරෑම හිමි දෙනමකට සුළු තුවාල වුණා. ලංකාවේ කිසිවකුටත් හානියක් නෑ. විහාරයටත් ලොකු හානියක් වුණේ නෑ. වීදුරු දෙකතුනක් හානි වුණා පමණයි.
    ලංකාවෙන් වන්දනාවේ ආ 25 දෙනකුගෙන් යුත් නඩයක් බුද්ධගයාවට ගිහින් හිටියා. එයාල දැන් අපේ පන්සලේ ඉන්නවා. කිසිම ගැටළුවක් නෑ.
    ආරක්ෂක අංශවලින් ඇවිත් තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කළා. දැන් ගැටළුවක් නෑ.
    මේ ආරක්ෂාව තර කර තිබෙනවා. ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන නිසා තවම ඇතුළට යන්න දෙන්නේ නෑ.‘
    මෙම පිපිරී ගිය බෝම්බ අඩු පීඩන බෝම්භ බවත්, පන්සලේ බුදු ගෙට හානියක් නැති බවත් බිහාර පොලිසිය කියයි.
    මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත් බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසයි.
    මෙම බෝම්බ ත්‍රස්තවාසී ප්‍රහාරයක් බව ඉන්දියා රජය කියයි. බිහාර් මහ ඇමැති නිටිෂ් කුමාර් ද සිද්ධිය සැලවූ වහාම එහි ගියේය.
    මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී එස් කේ බාරද්වාජ් කියයි. එහෙත් ඔහු විස්තර හෙළි කළේ නැත. විහාර භූමියට පිට අය පැමිණීම වළක්වා ඇති බවත්, ප්‍රදේශයේ සෙසු ආගමික ස්ථාන ආරක්ෂාවද තර කළ බවත් පොලිසිය කියයි. බිහාර් පොලිසියේ විශේෂ පොලිස් බලකාය මහා බෝධි විහාරයේ ආරක්ෂාව බාර ගත්තේ ගිය වසරේය. පසුගිය ජූනියේ පෙරහුරු පොලිස් අභ්‍යාසයක් ද එහි සිදුවිය. දකුණු පැට්නා නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි බුද්ධගයාව ශ්‍රී ලංකාව, මියන්මාරය , ජපානය, තායිලන්ත නැනි රටවල බෞද්ධයන්ගෙන් පිරී පවතී.
    වන්දනා සමය ඇරැඹෙනුයේ සැප්තැම්බර මාසයේදීය.

    බිහාර් ප්‍රාන්තයේ මහාබෝධි විහාරස්ථානයේ පිපිරීම් ගැන වහා ම -------------------- සොයා බලන්න - ජනපතිගෙන් උපදෙස් ...

    ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ අද (07දා) පාන්දර සිදු ව ඇති පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහා ම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙම අවාසනාවන්ත සිද්ධිය සැලවූ වහා ම කම්පනයට පත් ජනාධිපතිතුමා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිරන්තර සොයාබැලීමක නිරතව සිටින බවත් සමරනායක මහතා පැවසීය.

    ලෝක උරුම පුදබිමක් ලෙස 2002 දී ප්‍රකාශයට පත් කර ඇති බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාහි මහාබෝධි විහාරස්ථානය තුළ අද පාන්දර 5.15ට පමණ පළමු පිපිරීම වාර්තා වී තිබේ. ඉන් අනතුරුව තවත් පිපිරීම් 7ක් වාර්තා වූ අතර විහාරස්ථානයට නුදුරින් තවත් ජීව බෝම්බයක් සොයාගෙන ඇති අතර එය නිශ්ක්‍රීය කර තිබේ. බෝම්බ නිශ්ක්‍රීය භට කණ්ඩායම් පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් වාර්තා වේ. විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි ද පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

    මේ වනවිටත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ (National Investigation Agency) සහ ජාතික ආරක්ෂක බලකායේ (National Security Guard) කණ්ඩායම් බුද්ධගයා වෙත පැමිණෙන බව ද බිහාර් ප්‍රාන්තයේ මහඇමති නිතිෂ් කුමාර් මහතා විහාරස්ථානය වෙත පැමිණ කරුණු සොයා බැලූ බවත් ඉන්දීය වාර්තා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පට්නා නුවර ඉහළ මට්ටමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

    තුවාල ලැබූ හිමිනමක් අපවත්වී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. මෙහිදී තුවාල ලබා රෝහල් ගත කෙරුණේ ටිබෙටයේ සහ තායිලන්තයේ හිමිවරුන් දෙනමක්. අද උදෑසන 5 යි 40 ට පමණ කෙටි කාලයක් තුළ බෝම්බ පිපිරීම් 9 ක් සිදුවූ බවයි දැන් වාර්තා වන්නේ. පිපිරීම්වලින් තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා.

    පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක්




    බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උපන් ජනසන්ථව කුමාරයා, දිසාපාමොක් ආචාරීන් වෙතින් අධ්‍යාපනය ලබා පැමිණ පියරජතුමාගේ ඇවෑමෙන් රජකමට පත්විය. දස රාජ ධර්මයන් නොඉක්මවා රාජ්‍යය විචාළ එතුමා දන්හල් කරවා දුගී - මගී යාචකාදීන්ට දන් දෙන්නට සැලැස්වීය. නිති පන්සිල්ද පොහොය අටසිල්ද සමාදන්ව සිල්වත් බවට පැමිණි හේ, රට වැසියා ද සිල්රකින පිරිසක් බවට පත්කළේය.

    පොහෝ දිනවල වැසියා රජමැදුරට කැඳවා ඔවුන්ට ධර්මදේශනා කොට ඔවුන් තුළ ගුණ – නුවණ වර්ධනය කළේය. ඔවුන් සුචරිත ධර්මයට යොමුකළේය. මේ ක්‍රියාමාර්ගය නිසා හිරගෙවල් වැසී ගියේය. දන්ගෙඩිය දිරාපත් විය. එක් පොහෝදිනක රජතුමා පැවැත්වූ ධර්ම දේශනාවෙන් මරණ මොහොතේ මිනිසාට පසුතැවිලි වීමට හේතුවෙන කරුණු දහයක් ගෙනහැර දැක්වීය.

    1. යම් කෙනකු තරුණකාලයේ උපයන මිල - මුදල්, ධන - ධාන්‍ය ආදියෙන් කොටසක් ඉතිරි නොකොට එදිනෙදා උපයන සියල්ල එදිනෙදාට වැය කළහොත් වයස නිසා හෝ රෝගාබාධ නිසා හෝ අබලදුබල වී යමක් ඉපයීමට නොහැකි අවස්ථාවට පැමිණිවිට යමක් ඉතිරිකර නොගැනීම ගැන සිතා පසුතැවීමට සිදුවේ. මේ පසුතැවීම වැඩිවන්නේ තරුණ කාලයේ ඉතිරිකරගත් දෙයින් දුබල අවස්ථාවේ අපහසුවක් නැතිව ජීවත්වන අය ගැන අසන - දකින විටය.

    2. බාලකාලයේ සැලකිල්ලෙන් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු නොකළ තැනැත්තා සැලකිල්ලෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වී පහසුවෙන් ජීවත්වෙන අය දැකීමෙන් පසුතැවිලි වේ.

    3. කේලාම් කියමින් අල්ලස් ගනිමින් ජීවත්වන පුද්ගලයා මහලු වයසට පත්වූ පසු මරණින් මත්තේ තමාට කවර විපාකයක් විඳින්න සිදුවේදැයි ඇතිවෙන බිය නිසා තමන් කළ ඒ වැරදි සිහිපත්ව පසුතැවිල්ලට පත්වේ.

    4. සතුන් මැරීම, හොරකම ආදී අකුසල කර්ම කළ පුද්ගලයාද තමා කළ ඒ අකුසල කර්මවලට මරණින් මතු විඳින්නට සිදුවන අකුසල විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වේ.

    5. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය යන අකුසල කර්මයේ නිරතවූවෝ තමන්ට මරණින් මතු ලැබෙන දරුණු විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වෙති.

    6.සම්පත් තිබියදී දනක් - පිනක් නොකර ජීවත් වූ පුද්ගලයා එසේ හැකියාව තිබියදී පින් නොකිරීම ගැන සිතා මරණාසන්න අවස්ථාවේ පසුතැවිල්ලට පත්වේ.

    7. තම මවු - පියන්ට උපස්ථාන නොකළ පුද්ගලයා ඒ යුතුකම තමාගෙන් ඉටු නොවීම ගැන සිතා මහලු වියේදී පසුතැවිලි වේ.

    8. කන - බොන විදිය, අඳීන - පළඳින විදිය ආදී ජීවිතයට අවශ්‍ය කරුණු කියාදෙන හෙයින් පූර්වාචාරීන් වශයෙන්ද යහපත - අයහපත පෙන්නා දෙමින් කැමති ආහාරපානාදිය සම්පාදනය කර දෙන හෙයින් ඉටු දෙවියන් වශයෙන්ද හැඳින්වෙන මවුපියන්ට බැණවදින අපහාස (අක්‍රෝෂඣී පරිභව ) කරන පුද්ගලයා තමන් කළ ඒ අකුසල කර්මයත් ඊට ලැබිය හැකි නපුරු විපාකත් සිහිවීමෙන් මහලු වියේදී පසුතැවිලි වේ.

    9. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් හැන්දක් නොදී ඒ අයට නින්දා - අපහාස කරන පුද්ගලයාද තමන් නොකළ සත්ක්‍රියාවන් ගැනත් කළ අසත් ක්‍රියාවන් ගැනත් සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවීමට පත් වේ.

    10. කලින් කල සිල්වතුන් ගුණවතුන් වෙත ගොස් කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යනාදී කරුණු විමසා අවවාද අනුශාසනා ලබානොගත් පුද්ගලයාද සත් පුරුෂයන් ඇසුරුකිරීමට නොහැකිවීම ගැන මරණාසන්න මොහොතේ පසුතැවිල්ලට පත් වේ.

    කැලිගම විජිතනන්ද හිමි

    සම්බුද්ධ පරිනිර්වාණය



    මිනුවන්ගොඩ පත්තඩුවන
    භික්‍ෂු අභ්‍යාස ආයතනාධිපති
    අධ්‍යාපනවේදී
    නැදගමුවේ විජයමෛත්‍රී හිමි

    “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි.
    බුදුරජාණන් වහන්සේ ලෝකයේ අග්‍රතම උතුමාණන් වහන්සේ බවට පත් වූයේ ඒ අසමසම චරිතය නිසාය. ඒ ශ්‍රේෂ්ඨ ආදර්ශවත් චරිතය හැඩ ගැස්වීමට උපකාරී වූ අභ්‍යන්තර ගති ගුණ රාශියක් ගැන මෙන්ම බාහිර කරුණු කිහිපයක් ගැනත් පාලි, සංස්කෘත ආදි වූ පැරැණි භාෂාවලින් ලියන ලද විවිධ පොත්වල සඳහන්ව තිබේ. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ සිය අවසන් වස් කාලය ගත කළ බේලුව නම් ගමේ දී ආනන්ද හිමියන් අමතා කළ ප්‍රකාශය වැදගත්වේ.
    ආනන්ද හිමියන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ, “ආනන්ද, මම දැන් ජරාවට පත් වූයෙමි. වෘද්ධයෙමි, මහලු වූයෙමි, කල්ගත වූයෙමි, වයස්ගත වූයෙමි. මම දැන් අසූ වයස් ඇත්තෙමි.ආනන්ද දිරාපත් වූ කරත්තයක් පිළියම් කිරීමෙන් පවතින්නාක් මෙන් තථාගත ශරීරයත් පිළියමින් පවතියි. ආනන්ද, යම් අවස්ථාවක තථාගතයෝ සියලු නිමිති මෙනෙහි නොකොට, සමාන වේදනාවන් නිරුද්ධ කිරීමෙන් නිමිති වලින් තොරව චිත්ත සමාධියකට පත්ව වෙසෙත් ද, එම අවස්ථාවේ දී තථාගතයන්ගේ සිරුර ඉතා පහසු ලෙස පවතියි. ආනන්ද එහෙයින් නුඹලා තමන්ට තමන්වම පිළිසරණ කර ගෙන අනුන් පිහිට නොකොට, අනුන් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මයේ සරණ හැර අන් සරණක් නොසොයා සිටිය යුතුයි” යනුවෙන් දේශනා කළ සේක.
    බුදුරාජණන් වහන්සේ එදිනම සන්ධ්‍යාවේදී චාපාල චෛත්‍ය පාමුල දී ආනන්ද හිමියන් අමතා, තමන් වහන්සේට රිසි නම් කල්පයක ආයු කාලයක් ජීවත්ව සිටිය හැකි බව පැවසූ සේක. එම අවස්ථාවේදී ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවැනි තෙවැනි වරටත් මෙසේ උදාර නිමිති උදාර පැහැදිලි කිරීම් කරනු ලබන කල්හි දීද නිසි ප්‍රතිචාර නොදැක්වීය. එයට හේතුව අනඳ හිමියනට සිදුවූ මාරාවේශයක් යැයි කියැවේ. ආනන්ද හිමියන් එම ස්ථානයෙන් ඉවත් වී සුළු මොහොතකින් පැමිණි මාරයාගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක. මේ අවස්ථාව බුද්ධචරිතය තුළ වඩාත්ම හද කම්පා කරවන අවස්ථාවයි. අජීවි වූ මහපොළොව පවා ඒ අවස්ථාවේ කම්පා වූ බව බුද්ධචරිතයේ දැක්වේ. බුදුරදුන්ට තමන් සතුව පැවැති සියලු සැප සම්පත් හැර දමා වඩා අපහසු ජීවන තත්ත්වයකට මුහුණ පාන්නට පිළිවන් වූයේ මහා පුරුෂයන්ගේ උරුමයක් වූ නොඇලී සිටීමේ ගතිය නිසා ය.
    උන්වහන්සේ නොඇලී සිටියේ භව භෝග සම්පත් සහ අප්‍රමාණ වූ ආශාවන් කෙරෙහි පමණක් නොවේ. උන්වහන්සේ මිනිසුන්ගේ ගරු සැලකිලිවලට ද ඇලුණේ නැත. ඒවායින් බැඳුණේ නැත. ඒ නිරාශා ගතිය හෙවත් වස්තු ආදියට මෙන්ම ස්තුතියට කීර්තියට, ප්‍රශංසාවටද ගිජු නොවීම නිසා උන්වහන්සේ සම්මානයේ දී උදම් වූයේවත් අවමානයේ දී කම්පා වූයේවත් නැත. උන්වහන්සේ පිළිපන් ක්ෂේම භූමිය ඡේතෝ විමුක්ති නම් ලද නිවන විය. උන්වහන්සේ ගේ සිතෙහි නොසැලෙන ශක්තියට අනුරූප වන ලෙසම එතුමන් වහන්සේ ක්‍රියාකළ සේක. මේ ක්‍රියා පිළිවෙළට බාධා කළවුන් ගැන උන්වහන්සේ කිසිසේත් තැකීමක් කළේ නැත. කිසිම බාධාවක් නිසා උන්වහන්සේ කම්පා නොවු සේක. තමාගත් මඟ මේ යැයි තමා දත් කල තමාගේ වැඩ පිළිවෙළ මේ යැයි තමා තීරණය කරගත් කල ඒ අනුව නොපැකිළ කටයුතු කිරීම අවංක කමේ ප්‍රධාන ලක්‍ෂණය හෙයින් ඒ උතුම් බුදුගුණය ඒ නයින්ම තේරුම්ගත යුතුය. මෙසේ අතුරු සිදුරු නැති අවංක බවකින් හිමිකෙනෙකුන්ගේ ආත්ම පරිත්‍යාගය ගැන කිවයුත්තක් නැත. ආත්මය දෙවැනි කොටත්, අදහස් පළමුවැනි කොටත් ක්‍රියා කිරීම එබන්දකුගේ සිරිතය.ඒ නිසාම මහබෝසතාණෝ කුමාර කාලයේ දී බුදුබව පතා සියලු උපභෝග , පරිභෝග වස්තු අත්හැර දැම්මා පමණක් නොව දුෂ්කර ක්‍රියාවක යෙදුණූ සා අවුරුදු සමයේදීත් සම්,නහර, ඇට ඉතිරි වී මස්, ලේ වියළී ගියත් කාර්ය සාධනයෙන් තොරව නොනැගිටීමැයි සිතා ධර්මාවබෝධය ලැබෙන තෙක් එය ඉටු කර ගැනීමට මහන්සි ගත්හ. වෘද්ධ අවස්ථාවේ දී බලවත් අසනීපයෙන් පෙළෙමින් සිටියදීත් ගම් නියම්ගම් සැරිසරමින් ශාසන දියුණුවට බුදුන් වහන්සේ කටයුතු කළ සේක. උන්වහන්සේ ජීවිතය ගැන සලකා, සුව පහසුව ගෙන කටයුතු කළේ නම් තවත් අවුරුදු කිහිපයක් ජීවත් විය හැකිව තිබුණූ බව කල්පනාවෙන් යුක්තව මහා පරිනිර්වාණ සූත්‍රය කියවන විට තේරුම්ගත හැකිය.
    බුදුන්වහන්සේගේ පිරිනිවන් කාලය වඩාත් ළංවෙද්දී භික්‍ෂූන් වහන්සේගේ ශෝකය තව තවත් වැඩි විය. ඒ නිසා ඔවුහු උන්වහන්සේ වෙත අවුත් හඩන්නට වැළැපෙන්නට පටන් ගත්හ. ඒ අතර ධර්මාරාම නමැති භික්‍ෂුව බුදුන් ජීවත්ව සිටියදීම රහත් විය යුතු යැයි සිතා උන්වහන්සේ ගැන සෙවීමක්, බැලුමක් නැත්තාක් මෙන් තනිව භාවනාවක යෙදුණේය.ඒ දුටු සෙසු භික්‍ෂූන් වහන්සේ ඒ ගැන බුදුන්ට සැල කළහ.ඒ අනුව උන්වහන්සේ ධර්මාරාම භික්‍ෂූව ගෙන්වා කරුණු විචාළ සේක. ධර්මාරාම භික්‍ෂූ තෙමේ තමාගේ අවංක අදහස නොවළහා හෙළි කළේය. එය මහත්සේ අගය කළ බුදුරජාණන් වහන්සේ ”මා කෙරෙහි ගෞරව ඇති අනෙක් භික්‍ෂූන් විසිනුත් මේ ධර්මාරාම අනුගමනය කළ යුතුය. මට නිසි පූජා කරන්නහු වන්නේ ගඳින් මලින් පුදන්නාහු නොව මා ඉගැන්වූ පිළිවෙත් පුරන්නාහු යැ” යි පැවසූ සේක.
    පිරිනිවන් පාන්නට ළංව තිබිය දී තව තවත් ගිහියනට පැවිද්දන්ට දිය යුතු අවවාද දී නිම කළ යුතුයැයි සිතා අසනීප මැද්දේම ගමෙන් ගමට පා ගමනෙන් වැඩි සේක. මෙසේ වඩිද්දි උන්වහන්සේ බලවත් වේදනාවටත් ක්ලාන්තයටත් පත් වූ සැටි මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් ය. එහෙත් උන්වහන්සේ තමන්ගේ ගමන් නතර කළේ යෑමට පිළිවන් තෙක් හෙවත් පය එසවිය හැකි තෙක් ගොසිනි. එසේ වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් මඤ්චකයට පත් වූ පසුත් තමන්ට ගඳින් මලින් පුදන්නවුන් දෙස බලා ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කළේ මෙසේය.”මෙසේ ආමිෂයෙන් පිදීම මට කරන සැබෑ පිදීමක් නොවේ. භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා, යන කා හට වුවත් මට නිසි පූජා කළ හැක්කේ මාගේ ධර්මය පිළිපැදීමෙන් පමණකි “ බුදුරජාණන් වහන්සේ මෙසේ අන්තිම මොහොතේ පිරිනිවන් මඤ්චකයෙහි සැතැපී මේ කරුණු ගැනම අවධාරණය කළේ මිනිස් සිත අප්‍රමාදිව ගුණධර්ම දියුණුවට යොමු කරවනු සඳහායි.
    බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවෙහි කිසියම් ප්‍රශ්නයක් ඇසීම සඳහා සුභද්‍ර නමැති පිරිවැජියෙක් උන්වහන්සේ වෙත පැමිණියේය. එයින් උන්වහන්සේට පීඩා වෙතැයි සිතූ ආනන්ද හිමියෝ එය වළක්වන්නට උත්සාහ කළහ. එහෙත් ඒ බව දුටු බුදුන් වහන්සේ පිරිවැජියාට වුවමනා ප්‍රශ්න අසන්නට ඉඩ දෙන ලෙස දැන්වූ සේක. ඒ ප්‍රශ්නවලට උන්වහන්සේ ලබා දුන් පිළිතුරු හේතුවෙන් පැහැදුණූ ඔහු උන්වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලීය. ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ලවා ඔහු පැවිදි කරවූ සේක. තමන්ගේ ඉගැන්වීම්වල ගුරුවරයාට පමණක් සීමා වූ රහස් නැතැයි උන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී දේශනා කළ සේක. පිරිනිවන් පාන්නට පෙර උන්වහන්සේ තම අනුගාමිකයන් අමතා, බුදුන් හමුවේ දී මේ මේ දේ අසා දැනගන්නට නොහැකි වූවා යැයි පසුතැවීමට ඉඩ නොලැබෙන සේ බුද්ධධර්මයේ යම් යම් සැක තැන් ඇතොත් ඒවා ගැන අසන්නට යැයි දෙතුන් වරක්ම දන්වා සිටි සේක. ඉතිඋත්ථක පාලියෙහි නිබ්බාන ධාතු සූත්‍රයේ නිවනේ් පවත්නා අවස්ථා දෙකක් ගැන දක්වා ඇත.
    එනම්, සඋපාදිසේස නිබ්බාන ධාතු සහ අනුපාදිසේස නිබ්බාන ධාතු වශයෙනි පුද්ගලයා සියලු කෙලෙසුන් ප්‍රහානය කරීම සඋපාදිසේස නිබ්බාන අවස්ථාවයි. කෙලෙස් පරිනිර්වාණය හැටියට ද මෙය හැඳින්වේ. රහත් වූ තැනැත්තාගේ පංච ස්කන්ධය බිඳී යෑම එනම් පරිනිර්වාණය අනුපාදිසේස නිබ්බාන ධාතුව යි.මෙය භව නිරෝධයයි. යළිත් නූපදින තත්ත්වයට පත් වීමයි.
    ”හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ “ මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න. මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි” අනතුරුව පිළිවෙළින් ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් දෙවැනි ධ්‍යානයටත් , එයින් තුන්වැනි ධ්‍යානයටත්, එයින් නැඟී සතරවැනි ධ්‍යානයටත්, එයින් නැඟි ආකාසඤ්ඤායතනයටත්, විඤ්ඤාණඤ්චායතනයටත් එයින් නැගී ආකිංඤ්චඤ්ඤායතනයටත් එයින් නැඟි නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත්, එයින් නැඟි සඤ්ඤාවෙදයිත නිරෝධයටත් සමවැදී අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවෙදයිතනිරෝධයට සම වැදී නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් එම සමාපත්තියෙන් නැඟි ආකිංඤ්චඤ්ඤායතනයටත්, එයින් නැඟී විඤ්ඤාණඤ්චායතනයටත් එයින් නැඟී ආකාසඤ්ඤායතනයටත් එයින් නැඟී සතරවැනි ධ්‍යානයටත් අනතුරුව තුන්වැනි ධ්‍යානයටත්, දෙවැනි ධ්‍යානයටත් එයින් නැඟී ප්‍රථම ධ්‍යානයටත් සමවැදි අනතුරුව නැවතත් දෙවැනි ධ්‍යානයටත්, තුන්වැනි ධ්‍යානයටත් එයින් සතරවැනි ධ්‍යානයටත් සමවැදි සතරවැනි ධ්‍යානයෙන් නැඟි සිටි වහාම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
    අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් සමගම මහීතලය කම්පා විය. අකල්හි මහ වැසි ඇද වැටිණි. දෙව්,මිනිස්සු හඬන්නට, වැළැපෙන්නට වූහ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් ශෝක සයුරක ගිලි යද්දී එසේ පිරිනිවන් පා වදාළේ උන්වහන්සේගේ අකාලික වූ ශ්‍රී‍්‍ර සද්ධර්මය අපට ශාස්තෘවරයාණන් වන සේ ලොවෙහි මැනැවින් ස්ථාපිත වන සේ කරුණු සම්පූර්ණ වූ විටයි. එබැවින් අද අපට උතුම් ලොව්තුරු ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමට, මනාසේ පිළිවෙත් පිරීමට ඉඩ කඩ සැලැසී ඇත්තේය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධවචනයට ගරු කරමින් අපිදු අප්‍රමාදිව කුසල් දහම්හි නිරත වෙමු.