ශාස්ත්‍රවේදි ,පණ්ඩිතකෝන්වැවේ සුනන්ද හිමි
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
පින්වත් ආර්ය ශ්‍රාවකයෙනි,
බුදුරජාණන්වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ පස්වැනි පොතට අයත් දේශනාවක් වන දුක්කථා සූත්‍රයට අනුව බලන විට මේ ලෝකයේ කථා කිරීමට දුෂ්කර පුද්ගලයන් පස්දෙනෙකු සිටින බව පෙන්වා දී තිබෙනවා. එපමණක් ද නොවෙයි කථා කිරීමට පහසු පුද්ගලයන් පස් දෙනකු ගැනත් එහිදී කථා කර තිබෙනවා. අපි පළමුවැනුව බලමු කථා කිරීමට යෑමෙදි දුෂ්කර වූ පුද්ගලයන් පස්දෙනා ගැන.
අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කථා දුක්කථා
මෙයින් අදහස් වන්නේ ශ්‍රද්ධාව නැති කෙනෙකු සමඟ ශ්‍රද්ධාව ගැන කථා කිරීමට යෑම දුෂ්කර බවයි. එය එක් දුක් කථාවකි. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.බුදුරජාණන් වහන්සේගේ නව අරහාදිගුණ කියන විට, ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ආදි ගුණ සහ මාර්ග ඵල ලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියන විට ශ්‍රද්ධාවේ පිහිටා නැති තැනැත්තා එය බොහොම හොඳයි කියා අනුමෝදන් වන්නේ නැහැ. එවිට ඔහු කිපෙනවා (කුප්පති). තරහා ගන්නවා (ව්‍යාපජ්ජති). විරුද්ධව නැඟී සිටිනවා (පතිත්ථියති). කෝපයත් දෝෂයත් නොසතුටත් පළ කරනවා (කොපං ච දොසං ච අප්පච්චයං පාතු කරෝති). මොහු ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ.මෙම ස්වභාව ගිහි, පැවිදි දෙපක්‍ෂයටම පොදුයි. ධනඤ්ජානි බැමිණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී හැම කාර්යයක් කරන විටදීම ‘නමෝ බුද්ධාය’යනුවෙන් සිහි කරනවා. එහෙත් ඇයගේ ස්වාමියා වූ මිත්‍යාදෘෂ්ටික ධනඤ්ජානි බමුණා මේ අසා කෝපවී ඇයටත් බුදුරදුන්ටත් දොස් කියනවා. මිත්‍යාදෘෂ්ටික අය ඉදිරියෙහි බුදුගුණ කිව්වොත් ඒ කෙනා කැමැතිවන්නේ නැහැ. ඒ ඇසුවත් අහන්නේ අපහසුවෙන්; චිත්ත පීඩාවෙන්.එයටත් හේතුව ඔහු තුළ ශ්‍රද්ධා සම්පත්තිය නැති කමයි. ශ්‍රද්ධාව තමන්ට ලැබී තිබෙන ධනයක්. මහත්වූ ලාභයක් . පින්වතුනි,ශ්‍රද්ධාව තිබෙන කෙනාට බුදුගුණ කියනකොට, බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීමක් ගැන කරන කථාවක් ඇහෙන කොට ඇතිවන්නේ මහත් වූ පී‍්‍රතියක්; ප්‍රමුදිත බවක්. දැන් බලන්න අච්ඡරිය අබ්භූ®ත සූත්‍රයේ සඳහන් බුද්ධ චරිතයේ ආශ්චර්යවත් සිදුවීම් ගැන කියන විට පුදුමාකාර අධ්‍යාත්මික සතුටක් සිතට දැනෙනවා. සිදුහත් බෝසතුන් තව්තිසා දෙව්ලොවින් චුතව මහාමායා දේවියගේ කුසින් බිහිවී නෙළුම් මල් සතක් උඩ ඇවිද ගොස් “අග්ගො හමස්මි ලොකස්ස” යනාදී වශයෙන් ගම්භීර ප්‍රකාශයක් කළා. මේ සිදුවීම් යථාර්ථයෙන් ම සිදුවන ආශ්චර්යමත් සිදුවීම්. මෙය කියන විට අපගේ සිත්වල බුද්ධාලම්බන පී‍්‍රතියක් ඇතිවෙනවා. එයට හේතුව ශ්‍රද්ධා සම්පත්තියයි.
ඒ වගේම රහතන් වහන්සේ නමක් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරජාණන් වහන්සේ හමුවී සිරිපතුල් සිඹ පිරිමදිමින් වදාළේ, ‘ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යනුවෙන්. මෙමඟින් පෙනෙන්නේ ශ්‍රද්ධා සම්පත්තිය නොවේද? තව විටෙක දී පිංගිය බමුණාගෙන් බාවරී බමුණා මෙලෙස විමසනවා. ‘පින්වත් පිංගිය, ඔබ බුදුරජාණන් වහන්සේ ගෙන් වෙන්ව වාසය කරන්නේ නැහැ කීවත් වෙන්ව වාසය කරන්නේ ඇයි?’ එවිට පිංගිය උත්තර දෙන්නේ,’තණ්හාව නැසූ අකාලික දහමක් දෙසු බුදුසමිඳු දිවා රෑ දෙකෙහිම මම මනැසින් දකිමි. දෑසින් දකිමි’ යනුවෙන්. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම බුදුගුණ ,දහම්ගුණ, සිහිකරමින් ජීවිතයට රැකවරණ ලබාගන්නා බවයි. මුළුලොවම එක පැත්තක වුවත් බුදුරජුන් එක පැත්තක නම් අන්න ඒ පැත්තේ ශ්‍රද්ධාව තිබෙන කෙනා නිතරම ඉන්නවා.මේ ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් වන්නේ අවංක,ඍජු ගුණයක් ඇති, විවෘත මනැසක් ඇති කෙනාට පමණයි.
දුස්සීලස්ස සීල කථා දුක්කථා
දුශ්ශීල කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශ්ශීල කෙනා සම¼ග ශීලය ගැන කථා කරන්නට ගියොත්, කිපෙනවා. එයට විරුද්ධව සතුරෙකු මෙන් නැඟී සිටිනවා. දුශ්ශීල තැනැත්තා නිතරම අගය කරන්නේ දුසිල්වත්කමයි. ඔහු සිල් රැකීම අසාර්ථක වැඩපිළිවෙළක් හා කරදරයක් ලෙස දකිනවා. නවීන ලෝකය සමඟ ශීලය පවා වෙනස්විය යුතු බව ඔහුගේ අවබෝධයයි.ඒනිසාම දූෂණය හා සැහැසිකම පැතිරෙනවා. එහෙත් නැණගුණ තිබෙන කෙනා තමාගේ සිල්වත්කමට හානිකර ගන්නේ නැහැ.දුශ්ශීල අය නිතරම සිල්වත් අයට නින්දා අපහාස කරන්න බලනවා. බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම සදහා චිංච මානවිකාව උන්වහන්සේ ඉදිරියට එව්වා. මෙලෙසයි දුශ්ශීල අයගේ වැඩ.
අප්පස්සුතස්ස බාහුසච්ච කථා දුක්කථා
අල්ප ශ්‍රැත වූ එනම් ධර්මය පිළිබඳ ඥානයක් නැති කෙනෙකු සමඟ විස්තර සහිතව දහම් කරුණු කථාකිරීමට දුෂ්කරයි. එය දුක් කථාවක්.අල්පශ්‍රැත යනුවෙන් අදහස් වන්නේ බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති අල්ප දැනුමයි. බහුශ්‍රැත බවෙන් තොරවීමයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවැනි දහම් කරුණු හා සූත්‍ර දේශනා කර තිබෙනවා කියා දහම් දැනුම නැති කෙනකු සමග කථා කළොත් ඔහු කේන්ති ගන්නවා, විරුද්ධ වනවා, නොසතුටට පත්වනවා. එපමණක් නොව මෙතරම් ධර්මකාරණා ඉගෙන ගැනීමට අවශ්‍ය නැහැ, එක බණ පදයක් තිබුණා නම් ඇති කියාත් ඔහු කියනවා. එයට හේතුව ඔහු තුළ ශ්‍රැත සම්පත්තිය නැතිවීමයි. එමඟින් තමන්ට ඕන ආකාරයට ධර්මය අර්ථ විවරණය කරන්න යනවා. ධර්මය පිළිබඳව බහුශ්‍රැතකම නැතිව පැය ගණනක් කථා කළත් ඒ කථාව තුළ ඇත්තේ දහම් කරුණු ස්වල්පයයි. එවැනි අය කැමැති නිතරම තමා හුවා දැක්වීමටයි. ධර්ම දැනුම ඇති පිරිසක් ඉදිරියේ ඔහු වචනවලින් ජයගැනීමට උත්සාහ ගන්නවා.එමඟින් ඔහුගේ අල්පශ්‍රැත බව තවදුරටත් ප්‍රකට වනවා. එහෙත් ඔහු තමන් අල්පශ්‍රැත කෙනෙකු කියා පිළිගැනීමට කැමැති නැහැ.
මච්ඡරියස්ස චාග කථා දුක්කථා
දැඩි ලෝභ අය එක්ක ත්‍යාග ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක්කථාවක්. මසුරු කෙනා දන්දීම අනුමෝදන් වන්නේ නැහැ. දන්දෙන විට මසුරු කෙනා දොස් කියනවා, මොනවට ද ඔතරම් දන් දෙන්නේ බොහෝ මුදල්වියදම් කරමින් කියා. මෙහිදී පින්වත්නි, ඔහු දන් දෙන්නේත් නෑ. දන්දීම අනුමෝදන් වෙන්නේත් නැහැ. දන් දීම වළක්වන්නත් බලනවා. එහෙත් දන්දෙන අය දෙසැරයක් හිතන්නේ නැහැ. දන්දෙන කෙනා දන්දීමෙන්ම සතුටුවෙනවා. මසුරු කෙනාට එසේ සතුටුවන්න පුළුවන් කමක් නැහැ. එමඟින් තමාමයි අසතුටට මානසික, පීඩනයට පත්වන්නේ.
සමහරුන්ට යමක් ගැන තණ්හාව නැතිව යන්නේ ඒදේ පාවිච්චි කරන්න බැරිවන විටයි.එයින් ප්‍රයෝජනයක් ගන්න තිබෙන විට දෙන්න කැමැති නැහැ. එසේනම් මසුරු කෙනාට ත්‍යාගය ගැන කියන කථාව දුෂ්කරයි.මසුරුකම ජීවිතයට විශාල හානියක්; පාඩුවක්; අසහනයක්.
දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්කථා
ප්‍රඥාව නැතිකෙනකු සමඟ ප්‍රඥාව ගැන කථා කිරීම දුෂ්කරයි. එය දුක් කථාවක්. දුශප්‍රාඥ කෙනා නිතරම ත්‍රිලක්ෂණය දකින්නේ ‘කලකිරීමක්’ හැටියටයි . අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යනු මේ ලෝකයේ තිබෙන යථාර්ථයයි. ප්‍රඥා රහිත කෙනා අනිත්‍ය ලක්ෂණය වෙනුවට ලෝකය නිත්‍ය යැයි සිතනවා. දුක ගැන කියනවාටත් කැමැති නැහැ. මම මගේ යැයි ආත්ම දෘෂ්ටියෙන් ඔහු පසුවනවා. එසේම අසුබ භාවනාව වැඩීම නිසා තම ජීවිතය හා පවුල් ජීවිතය අවුල් වනවා සහ ඒ තුළ ප්‍රශ්න ඇති වනවා යැයි ප්‍රඥාව නැති කෙනා සිතනවා.මෙයට හේතුව ප්‍රඥාව අඩුකෙනාට ප්‍රඥා කථාව දුෂ්කරතාවක් වන නිසායි.
ප්‍රඥාව ගැන බුදුරජුන් පෙන්වාදී ඇත්තේ මෙසේයි.’අරියාය නිබ්බේධිකාය සමන්නාගතො උදයත්ථ ගාමිණීපඤ්ඤා ‘ ඇතිවීම,නැතිවීම ගැන අවබෝධ කරනවාය යන අදහසයි. ‘කලකිරීම’ යන්නෙන් අදහස් කරන්නේ චිත්ත පීඩාවක්, එපාවීමක් නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් එහි ගැබ්ව තිබෙනවා. යථාර්ථය දැකීමෙන්, ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් නොඇලි සිටින මට්ටමට ප්‍රඥාව දියුණුවීමයි. මෙන්න මේ අර්ථය සමඟ දුශ්ප්‍රාඥයා නිතරම ගැටෙනවා. අනිත්‍යයි. දුකයි,අනාත්මයි, කියා සිතන්න සිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නොඇල්මක්. එම නිසා ඔහු තුළ උපේක්‍ෂාවක් ඇතිවනවා. බොජ්ඣංග ධර්ම වැඩෙනවා. සතර අපාය ගැන කියන විට තම ශරීරයේ ස්වභාව ගැන කියන විට එය යථාර්ථයක් ලෙස තේරුම් ගැනීමට නොහැකි අයට එය මානසික අසහනයක් බවට, එපාවීමක් බවට පත්වනවා. ගිහිජීවිතය තුළ අනේපිඬු සිටුතුමා, විශාඛා මහෝපාසිකාව සහ බිම්බිසාර රජු ආදින් මඟ ඵල ලැබු උතුමන්. ඔවුන් ලෝකය ගැන මනා අවබෝධයෙන් සිටියා. එහෙත් ප්‍රඥාව නැති කෙනාට මේ කියන අවබෝධය ලැබෙන්නේ නැහැ. ජීවිතයම අවුල් කරගන්නවා.
එසේ නම් කථා කිරීමට පහසු පුද්ගලයන් පස්දෙනාත් මේ අනුව පින්වත් ඔබට දැන් හඳුනාගැනීමට පහසුයි. ඉහත සඳහන් කථා කිරීමට දුෂ්කර පස්දෙනාගේ විරුද්ධ පැත්තයි.
* ශ්‍රද්ධාව තිබෙන කෙනකු සමග ශ්‍රද්ධාව ගැන කථා කිරීමට පහසුයි.
* සිල්වත් කෙනකු සමඟ ශීලය ගැන කථා කිරීම පහසුයි
* බහුශ්‍රැත කෙනකු සමඟ බහුශ්‍රැත කථාව පහසුයි
* ත්‍යාගවන්තයා සමඟ ත්‍යාගය ගැන කථාව පහසුයි
* ප්‍රඥාවන්තයා සමඟ ප්‍රඥාව ගැන කථාව පහසුයි
මෙලෙස ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, චාග සහ පඤ්ඤා යන පංච සේඛ බල තම ජීවිතය තුළ දියුණු කරගෙන ලෞකික ජීවිතය ද සාර්ථක කරගනිමින් නිවන් පසක් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.