ආගමික වටිනාකමකින් අනූන සිතුල් පව්ව හාත්පස විසිරී පැතිරී ඇති වන ගහණයක් මධ්‍යයේ වන සතුන්ගේ නිජ භූමියක් මෙන්ම අභය භූමියක් වූ යාල වනෝද්‍යානය තුළ පිහිටි අති පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයකි. ඇත්තෙන්ම පුරාතනයේ මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ම සැදි තපෝ වනයකි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද වසම තුළ පිහිටි, තිස්සමහාරාමයේ සිට යෝධ කණ්ඩිය දක්වා පැමිණ එතැනින් වමට ඇති මාර්ගයේ කි.මී. 25 1/2 ක් පමණ වනය මැදින් ගමන් කර මෙම ඓතිහාසික පුදබිම වෙතට පිවිසිය හැකි ය. කතරගම සිට ද සිතුල්පව්වට පිවිසිය හැකි මාර්ගයක් ද ඇත.
මෙම පුරා බිම මහා වංශයේ හඳුන්වා ඇත්තේ ‘චිත්තල පබ්බත’ විහාරය වශයෙනි. සෙල්ලිපි වල සඳහන් වන්නේ ‘චිතල පබත’ යනුවෙනි. එහි අරුත නම් ‘සිත සතුටු කරන පව්ව‘ යන්න යි. ඇත්තෙන්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මෙය සිත් සතුටු කිරීමට හැකි ඉතා ආකර්ශනීය, ස්වභාවික පරිසරය තව තවත් හැඩ වැඩ කරලීමට සමත් ගිරි ලෙන්, දිය කදුරු, සහිත රූස්ස ගස් කොළන් මැද ඉතා සොඳුරු පසුබිමක් මධ්‍යයේ සැකැසී තිබෙ යි.
මෙවන් සැකැස්මක් නිසාම සිතුල්පව්ව විහාර සංකීර්ණය, වන්දනාකරුවන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද නොමඳ ආකර්ශනයට ලක්වූ පි‍්‍රය උපදවන්නා වූ, වරක් දෙවරක් නොව කිහිප වරක් වුව යාමට සිත පොළඹවන්නා වූ අපූර්වත්වයෙන් ආඩ්‍ය වූ අඩවියකි.
මන නන්දනීය වූ සිතුල් පව්ව ස්වභාවික භූමි, සැකැස්ම තුළ භූමි බටහිරින් කතරගම කන්දත්, උතුරෙන් හපුතලේ සහ බණ්ඩාරවෙල කඳු වැටිත්, ගිනිකොන දෙසින් පෙනෙන මහ සයුරත්, සයුරේ කුඩා රාවණා සහ කෝට්ටේ ප්‍රදීපාගාරත්, ආකාශචේතිය, මැණික් ගඟ සහ මිනිස් ගල් කන්ද ද මේ මනරම් භූමිය වටව පිහිටා තිබේ.
මෙහි ඓතිහාසික පසුබිම සොයායෑමේ දී අති දීර්ඝ දුරක් දක්වා පිවිසිය හැකිව තිබේ. එනම් මීට වසර 28,000 කටත් 18, 000 කටත් අතර දීර්ඝ වකවානුවක් දක්වා ප්‍රාග් ඓතිහාසික යුගයක නිමිති ඇති බවට ප්‍රබල සාධක මෙම බිමෙන් සොයාගෙන ඇත. ඒ බව පවසන්නේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ශිරාන් දැරණියගල ශූරීන් ය.
සිතුල්පව්ව, දෙකුන්දරා වැව, මඟුල් මහා විහාරය උද්ධකන්දර ආදී ස්ථානවල ඇති ගල් ගුහා හා මේ වටා විහිදුණු පරිසරයේ ඇති තවත් ගල් ලෙන් ගණන 400 ද ඉක්මවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ සිතුල්පව් විහාරයේ දොළොස් දහසක් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කළ බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවට භූමියේ පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගල් ලෙන් සියයක් පමණ සොයාගෙන ඇත. සුවිසල් වපසරියක් තුළ වන සොයාගත් සහ තවත් ඝන වනයේ සැඟව ඇති ලෙන් සමූහය පිළිබඳ සිතීමේ දී එවන් විශාල භික්‍ෂු සමූහයක් මේ පිවිතුරු පුදබිම තුළ වැඩ සිටියා යැයි සිතීම අසාධාරණ නොවෙයි.
කසල වනය සිඳ බිඳ නිකසල පිවිතුරු සිතැති එදා මහරහතන් වහන්සේගෙන් නොඅඩු වූ මෙපින් බිම ධර්මාලෝකය විහිදාලුහ. මාතෘභූමිය සදහම් දීපය ලෙස විරුද ලැබීම වෙනුවෙන් පූජාසනයක් වූ සිතුල්පව්ව රත්නදීපයේ අධ්‍යාත්මය පෝෂණය කළ අමිල නීලරත්නයක්ම ය. මහාවංශය, මෙන්ම පූජාවලියේ ද සඳහන් පරිදි සිතුල්පව් විහාරය කරවන ලද්දේ කාවන්තිස්ස (ක්‍රි.පූ. 2) රජතුමා විසිනි. සිතුල්පව් මහවෙහෙර සිරසේ පිදුම් ලබමින් වැජඹෙනා මහ සිතුල්පව් දාගැබ කරවන ලද්දේ ද කාවන්තිස්ස රජතුමා බව කියැවෙයි. ඉන් මදක් ඔබ්බෙහි තවත් ගිරගත් මත තනා ඇති කුඩා සිතුල්පව් දා ගැබ ද එතුමා විසින් ම කරවන ලද්දකි.
එමෙන්ම ලාංකේය බිම එක්සේසත් කළ අසහාය දුටුගැමුණු නරේන්ද්‍රයන් සහ සද්ධාතිස්ස කුමාරවරු අධ්‍යාපනය ලැබූවේ මෙහි දී බව ද කියැවෙයි. රාජ්‍ය අනුග්‍රහනයෙන් නොඅඩුව පුද ලද පින්බිම සඳහා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස (ක්‍රි.පූ. 119 – 109 ) වලගම්බා (ක්‍රි.පූ. 103 ) භාතිකකාභය (ක්‍රි.පූ. 22 ක්‍රි.ව. 07 ) වසභ ආදී වූ තවත් රජ දරුවන් දායක වී තිබෙයි. මහා වංශයේ සඳහන් වන පරිදි වසභ රජතුමා විසින් කාවන්තිස්ස රජතුමා කළ ස්තූප වටා පරිවාර ස්තූප දහයක් ඉදි කර ඇත.
රූස්ස රුක්පෙළ ආවරණය අභිබවමින් නැගී සිටින සිතුල් පව්වේ ඇති පුදුම හිතෙන ගල්කුඩය වටේ කටාරම් කොටා භික්‍ෂූන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් ලෙස නිමවා ඇත්තේ ද මෙම රජ දරුවා ය. සිතා ගැනීමටවත් නොහැකි ටොන් ගණනාවක බරක් ඇති අති දැවැන්ත මහා ගල් කුට්ටියක් තවත් ගල් තලාවක් මත රැඳී ඇත්තේ කුඩා නෙත්තියකිනි. මෙම මහා ගල් කුළ රඳවා තබා ගැනීමට සියුම් නෙත්තියකට හැකි වූයේ මොන සමතුලිතතා න්‍යායකටදැයි කිසිම ජගතකුටවත් සිතා ගැනීමටවත් නොහැකි තරමට ස්වභාව ධර්මයේ න්‍යාය නූතන විද්‍යා තාක්‍ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිසාවද මවිතයට පත්කරවන සුළු ය.
එදා මහ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කළේ මෙම ගල් කුඩාය යට හීල් හෙවනේ වැඩ වසමින් බව ජනප්‍රවාදයේ කියැවෙයි. දහසක් රහතන් වහන්සේගේ දහසක් පා යුග්මයන්ට දස දහස්වර ස්පර්ශ වූ නිසාදෝ මෙම ගල් කුඩය යට ගල් තලාව පොළවට අල්ලන ටයිල් මතුපිටක් තරමට ඔප මට්ටම් වී ඇති ආකාරය ද ඇදහිය නොහැකි තරම් ය.
පොළව පළා ඉස්මතු වන කඳු ගැට මත සිත් සනහන සුරම්‍යව ධවල පැහැති වෙහෙර සැදී අසහාය පුදබිම වර්ණයෙන් සුගන්ධයෙන් බබළවයි. නෙක ඉසව් සිසාරා නැගෙන පුරා විදු ස්මාරක මේ බිම තව තවත් අසිරිමත් කරවයි.
මේ අපේ උදාර වූ මාතෘ භූමියේ වරුණ කියා පානා ලෙන් විහාර, ආවාස ලෙන් උපෝසථඝර, ධර්ම ශාලාව, පධානඝරය, බෝධි ඝරය, ආසන ඝරය, හස්ති ලාංඡන සහිත ශිලාමය වේදිකා, සිතුවම් සහිත මූර්ති, බුද්ධ ප්‍රතිමා ශේෂයන්, මකර රූ සහිත කොරවක් ගල් ආදී එකී නොකී දෑ සහිත අමිල ඓතිහාසික ආගමික සංකේතයන් පුද බිමේ දී දැක හඳුනා ගැනීමට පුළුවන.
අදත් වැලලී ඇති අතීත උරුම උදානය හෙට දින මේ පුණ්‍ය භූමියෙන් තවත් මතු වනු නොඅනුමාන ය. වලගම්බා රාජ්‍ය සමයේ දී, පැමිණි බැමිණිටියාසායේ දී මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේ සමඟ තිස්සමහාරාම බිමේ වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහ්නසේ කුසට මදක් හෝ අහරක් නොමැතිව කර කොළ වළඳමින් දිවි ගෙවා අවසාන නිමේශයේ දී “එක්ව මියැදෙම්වායි” පෑ අධිෂ්ඨාන බලයෙන් විසි හතර දහසක් මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ දී පිරිනිවන් පෑ බලයෙන් එදා සිතුල්පව්ව පිරිනිවන් මංචකයක් බවට පත් වීය. ඒ ජනප්‍රවාද කතාව ය. එසේ විසිහතර දහසක් රහත් ඵල ලාභීන්ට පරිනිර්වාණය ආසන්නයේම වූ අජරාමර නිවන් සුවය පතා අවසන් නිදි සයනය සෑදුවේ උපේක්‍ෂාවෙන් සියල්ල විඳ දරාගත් මෙ පින් බිම ය.
විසිහතර දහසක් මහරහත් ඵල ලාභීන්ගේ මහා අධිෂ්ඨාන බලය දහස්වසරක් ගෙවූව ද පහන් සංවේගයෙන් අදත් මෙනෙහි කළ හැකි පරම පිවිතුරු සිතුල්පව් සෙනසුන් බිම වෙත අප පිවිසිය යුත්තේ ඉතිහාසයේ ගමන් මඟ ඔස්සේ ය. වනේ වන සතාටත් අභය දානය ප්‍රදානය කළ අභය භූමිය, මාරයාටත් අභියෝග කරමින් පහන් සිතින් භව මඟ නිමා කිරීමට උර දුන් අජන භූමිය, අපට දැක ගත හැක්කේ එවිට ය.