මිනුවන්ගොඩ පත්තඩුවන
භික්‍ෂු අභ්‍යාස ආයතනාධිපති
අධ්‍යාපනවේදී
නැදගමුවේ විජයමෛත්‍රී හිමි
“හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න.මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි.
බුදුරජාණන් වහන්සේ ලෝකයේ අග්‍රතම උතුමාණන් වහන්සේ බවට පත් වූයේ ඒ අසමසම චරිතය නිසාය. ඒ ශ්‍රේෂ්ඨ ආදර්ශවත් චරිතය හැඩ ගැස්වීමට උපකාරී වූ අභ්‍යන්තර ගති ගුණ රාශියක් ගැන මෙන්ම බාහිර කරුණු කිහිපයක් ගැනත් පාලි, සංස්කෘත ආදි වූ පැරැණි භාෂාවලින් ලියන ලද විවිධ පොත්වල සඳහන්ව තිබේ. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ සිය අවසන් වස් කාලය ගත කළ බේලුව නම් ගමේ දී ආනන්ද හිමියන් අමතා කළ ප්‍රකාශය වැදගත්වේ.
ආනන්ද හිමියන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ, “ආනන්ද, මම දැන් ජරාවට පත් වූයෙමි. වෘද්ධයෙමි, මහලු වූයෙමි, කල්ගත වූයෙමි, වයස්ගත වූයෙමි. මම දැන් අසූ වයස් ඇත්තෙමි.ආනන්ද දිරාපත් වූ කරත්තයක් පිළියම් කිරීමෙන් පවතින්නාක් මෙන් තථාගත ශරීරයත් පිළියමින් පවතියි. ආනන්ද, යම් අවස්ථාවක තථාගතයෝ සියලු නිමිති මෙනෙහි නොකොට, සමාන වේදනාවන් නිරුද්ධ කිරීමෙන් නිමිති වලින් තොරව චිත්ත සමාධියකට පත්ව වෙසෙත් ද, එම අවස්ථාවේ දී තථාගතයන්ගේ සිරුර ඉතා පහසු ලෙස පවතියි. ආනන්ද එහෙයින් නුඹලා තමන්ට තමන්වම පිළිසරණ කර ගෙන අනුන් පිහිට නොකොට, අනුන් සරණ නොකොට, ධර්මය පිහිට කොට, ධර්මයේ සරණ හැර අන් සරණක් නොසොයා සිටිය යුතුයි” යනුවෙන් දේශනා කළ සේක.
බුදුරාජණන් වහන්සේ එදිනම සන්ධ්‍යාවේදී චාපාල චෛත්‍ය පාමුල දී ආනන්ද හිමියන් අමතා, තමන් වහන්සේට රිසි නම් කල්පයක ආයු කාලයක් ජීවත්ව සිටිය හැකි බව පැවසූ සේක. එම අවස්ථාවේදී ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවැනි තෙවැනි වරටත් මෙසේ උදාර නිමිති උදාර පැහැදිලි කිරීම් කරනු ලබන කල්හි දීද නිසි ප්‍රතිචාර නොදැක්වීය. එයට හේතුව අනඳ හිමියනට සිදුවූ මාරාවේශයක් යැයි කියැවේ. ආනන්ද හිමියන් එම ස්ථානයෙන් ඉවත් වී සුළු මොහොතකින් පැමිණි මාරයාගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක. මේ අවස්ථාව බුද්ධචරිතය තුළ වඩාත්ම හද කම්පා කරවන අවස්ථාවයි. අජීවි වූ මහපොළොව පවා ඒ අවස්ථාවේ කම්පා වූ බව බුද්ධචරිතයේ දැක්වේ. බුදුරදුන්ට තමන් සතුව පැවැති සියලු සැප සම්පත් හැර දමා වඩා අපහසු ජීවන තත්ත්වයකට මුහුණ පාන්නට පිළිවන් වූයේ මහා පුරුෂයන්ගේ උරුමයක් වූ නොඇලී සිටීමේ ගතිය නිසා ය.
උන්වහන්සේ නොඇලී සිටියේ භව භෝග සම්පත් සහ අප්‍රමාණ වූ ආශාවන් කෙරෙහි පමණක් නොවේ. උන්වහන්සේ මිනිසුන්ගේ ගරු සැලකිලිවලට ද ඇලුණේ නැත. ඒවායින් බැඳුණේ නැත. ඒ නිරාශා ගතිය හෙවත් වස්තු ආදියට මෙන්ම ස්තුතියට කීර්තියට, ප්‍රශංසාවටද ගිජු නොවීම නිසා උන්වහන්සේ සම්මානයේ දී උදම් වූයේවත් අවමානයේ දී කම්පා වූයේවත් නැත. උන්වහන්සේ පිළිපන් ක්ෂේම භූමිය ඡේතෝ විමුක්ති නම් ලද නිවන විය. උන්වහන්සේ ගේ සිතෙහි නොසැලෙන ශක්තියට අනුරූප වන ලෙසම එතුමන් වහන්සේ ක්‍රියාකළ සේක. මේ ක්‍රියා පිළිවෙළට බාධා කළවුන් ගැන උන්වහන්සේ කිසිසේත් තැකීමක් කළේ නැත. කිසිම බාධාවක් නිසා උන්වහන්සේ කම්පා නොවු සේක. තමාගත් මඟ මේ යැයි තමා දත් කල තමාගේ වැඩ පිළිවෙළ මේ යැයි තමා තීරණය කරගත් කල ඒ අනුව නොපැකිළ කටයුතු කිරීම අවංක කමේ ප්‍රධාන ලක්‍ෂණය හෙයින් ඒ උතුම් බුදුගුණය ඒ නයින්ම තේරුම්ගත යුතුය. මෙසේ අතුරු සිදුරු නැති අවංක බවකින් හිමිකෙනෙකුන්ගේ ආත්ම පරිත්‍යාගය ගැන කිවයුත්තක් නැත. ආත්මය දෙවැනි කොටත්, අදහස් පළමුවැනි කොටත් ක්‍රියා කිරීම එබන්දකුගේ සිරිතය.ඒ නිසාම මහබෝසතාණෝ කුමාර කාලයේ දී බුදුබව පතා සියලු උපභෝග , පරිභෝග වස්තු අත්හැර දැම්මා පමණක් නොව දුෂ්කර ක්‍රියාවක යෙදුණූ සා අවුරුදු සමයේදීත් සම්,නහර, ඇට ඉතිරි වී මස්, ලේ වියළී ගියත් කාර්ය සාධනයෙන් තොරව නොනැගිටීමැයි සිතා ධර්මාවබෝධය ලැබෙන තෙක් එය ඉටු කර ගැනීමට මහන්සි ගත්හ. වෘද්ධ අවස්ථාවේ දී බලවත් අසනීපයෙන් පෙළෙමින් සිටියදීත් ගම් නියම්ගම් සැරිසරමින් ශාසන දියුණුවට බුදුන් වහන්සේ කටයුතු කළ සේක. උන්වහන්සේ ජීවිතය ගැන සලකා, සුව පහසුව ගෙන කටයුතු කළේ නම් තවත් අවුරුදු කිහිපයක් ජීවත් විය හැකිව තිබුණූ බව කල්පනාවෙන් යුක්තව මහා පරිනිර්වාණ සූත්‍රය කියවන විට තේරුම්ගත හැකිය.
බුදුන්වහන්සේගේ පිරිනිවන් කාලය වඩාත් ළංවෙද්දී භික්‍ෂූන් වහන්සේගේ ශෝකය තව තවත් වැඩි විය. ඒ නිසා ඔවුහු උන්වහන්සේ වෙත අවුත් හඩන්නට වැළැපෙන්නට පටන් ගත්හ. ඒ අතර ධර්මාරාම නමැති භික්‍ෂුව බුදුන් ජීවත්ව සිටියදීම රහත් විය යුතු යැයි සිතා උන්වහන්සේ ගැන සෙවීමක්, බැලුමක් නැත්තාක් මෙන් තනිව භාවනාවක යෙදුණේය.ඒ දුටු සෙසු භික්‍ෂූන් වහන්සේ ඒ ගැන බුදුන්ට සැල කළහ.ඒ අනුව උන්වහන්සේ ධර්මාරාම භික්‍ෂූව ගෙන්වා කරුණු විචාළ සේක. ධර්මාරාම භික්‍ෂූ තෙමේ තමාගේ අවංක අදහස නොවළහා හෙළි කළේය. එය මහත්සේ අගය කළ බුදුරජාණන් වහන්සේ ”මා කෙරෙහි ගෞරව ඇති අනෙක් භික්‍ෂූන් විසිනුත් මේ ධර්මාරාම අනුගමනය කළ යුතුය. මට නිසි පූජා කරන්නහු වන්නේ ගඳින් මලින් පුදන්නාහු නොව මා ඉගැන්වූ පිළිවෙත් පුරන්නාහු යැ” යි පැවසූ සේක.
පිරිනිවන් පාන්නට ළංව තිබිය දී තව තවත් ගිහියනට පැවිද්දන්ට දිය යුතු අවවාද දී නිම කළ යුතුයැයි සිතා අසනීප මැද්දේම ගමෙන් ගමට පා ගමනෙන් වැඩි සේක. මෙසේ වඩිද්දි උන්වහන්සේ බලවත් වේදනාවටත් ක්ලාන්තයටත් පත් වූ සැටි මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් ය. එහෙත් උන්වහන්සේ තමන්ගේ ගමන් නතර කළේ යෑමට පිළිවන් තෙක් හෙවත් පය එසවිය හැකි තෙක් ගොසිනි. එසේ වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් මඤ්චකයට පත් වූ පසුත් තමන්ට ගඳින් මලින් පුදන්නවුන් දෙස බලා ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කළේ මෙසේය.”මෙසේ ආමිෂයෙන් පිදීම මට කරන සැබෑ පිදීමක් නොවේ. භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා, යන කා හට වුවත් මට නිසි පූජා කළ හැක්කේ මාගේ ධර්මය පිළිපැදීමෙන් පමණකි “ බුදුරජාණන් වහන්සේ මෙසේ අන්තිම මොහොතේ පිරිනිවන් මඤ්චකයෙහි සැතැපී මේ කරුණු ගැනම අවධාරණය කළේ මිනිස් සිත අප්‍රමාදිව ගුණධර්ම දියුණුවට යොමු කරවනු සඳහායි.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවෙහි කිසියම් ප්‍රශ්නයක් ඇසීම සඳහා සුභද්‍ර නමැති පිරිවැජියෙක් උන්වහන්සේ වෙත පැමිණියේය. එයින් උන්වහන්සේට පීඩා වෙතැයි සිතූ ආනන්ද හිමියෝ එය වළක්වන්නට උත්සාහ කළහ. එහෙත් ඒ බව දුටු බුදුන් වහන්සේ පිරිවැජියාට වුවමනා ප්‍රශ්න අසන්නට ඉඩ දෙන ලෙස දැන්වූ සේක. ඒ ප්‍රශ්නවලට උන්වහන්සේ ලබා දුන් පිළිතුරු හේතුවෙන් පැහැදුණූ ඔහු උන්වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලීය. ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ලවා ඔහු පැවිදි කරවූ සේක. තමන්ගේ ඉගැන්වීම්වල ගුරුවරයාට පමණක් සීමා වූ රහස් නැතැයි උන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී දේශනා කළ සේක. පිරිනිවන් පාන්නට පෙර උන්වහන්සේ තම අනුගාමිකයන් අමතා, බුදුන් හමුවේ දී මේ මේ දේ අසා දැනගන්නට නොහැකි වූවා යැයි පසුතැවීමට ඉඩ නොලැබෙන සේ බුද්ධධර්මයේ යම් යම් සැක තැන් ඇතොත් ඒවා ගැන අසන්නට යැයි දෙතුන් වරක්ම දන්වා සිටි සේක. ඉතිඋත්ථක පාලියෙහි නිබ්බාන ධාතු සූත්‍රයේ නිවනේ් පවත්නා අවස්ථා දෙකක් ගැන දක්වා ඇත.
එනම්, සඋපාදිසේස නිබ්බාන ධාතු සහ අනුපාදිසේස නිබ්බාන ධාතු වශයෙනි පුද්ගලයා සියලු කෙලෙසුන් ප්‍රහානය කරීම සඋපාදිසේස නිබ්බාන අවස්ථාවයි. කෙලෙස් පරිනිර්වාණය හැටියට ද මෙය හැඳින්වේ. රහත් වූ තැනැත්තාගේ පංච ස්කන්ධය බිඳී යෑම එනම් පරිනිර්වාණය අනුපාදිසේස නිබ්බාන ධාතුව යි.මෙය භව නිරෝධයයි. යළිත් නූපදින තත්ත්වයට පත් වීමයි.
”හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ “ මහණෙනි, මම දැන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න. මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි” අනතුරුව පිළිවෙළින් ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් දෙවැනි ධ්‍යානයටත් , එයින් තුන්වැනි ධ්‍යානයටත්, එයින් නැඟී සතරවැනි ධ්‍යානයටත්, එයින් නැඟි ආකාසඤ්ඤායතනයටත්, විඤ්ඤාණඤ්චායතනයටත් එයින් නැගී ආකිංඤ්චඤ්ඤායතනයටත් එයින් නැඟි නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත්, එයින් නැඟි සඤ්ඤාවෙදයිත නිරෝධයටත් සමවැදී අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවෙදයිතනිරෝධයට සම වැදී නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් එම සමාපත්තියෙන් නැඟි ආකිංඤ්චඤ්ඤායතනයටත්, එයින් නැඟී විඤ්ඤාණඤ්චායතනයටත් එයින් නැඟී ආකාසඤ්ඤායතනයටත් එයින් නැඟී සතරවැනි ධ්‍යානයටත් අනතුරුව තුන්වැනි ධ්‍යානයටත්, දෙවැනි ධ්‍යානයටත් එයින් නැඟී ප්‍රථම ධ්‍යානයටත් සමවැදි අනතුරුව නැවතත් දෙවැනි ධ්‍යානයටත්, තුන්වැනි ධ්‍යානයටත් එයින් සතරවැනි ධ්‍යානයටත් සමවැදි සතරවැනි ධ්‍යානයෙන් නැඟි සිටි වහාම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් සමගම මහීතලය කම්පා විය. අකල්හි මහ වැසි ඇද වැටිණි. දෙව්,මිනිස්සු හඬන්නට, වැළැපෙන්නට වූහ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් ශෝක සයුරක ගිලි යද්දී එසේ පිරිනිවන් පා වදාළේ උන්වහන්සේගේ අකාලික වූ ශ්‍රී‍්‍ර සද්ධර්මය අපට ශාස්තෘවරයාණන් වන සේ ලොවෙහි මැනැවින් ස්ථාපිත වන සේ කරුණු සම්පූර්ණ වූ විටයි. එබැවින් අද අපට උතුම් ලොව්තුරු ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමට, මනාසේ පිළිවෙත් පිරීමට ඉඩ කඩ සැලැසී ඇත්තේය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධවචනයට ගරු කරමින් අපිදු අප්‍රමාදිව කුසල් දහම්හි නිරත වෙමු.