sha fm

    Saturday 7 September 2013

    මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා

    සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍

    මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ. 

    මෑතකාලීනව ජංගම දුරකථන ක්ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’, ‘සැම්සුම්’ වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි.

    දෙවසරක කාලයක් මයික්‍රොසොෆ්ට් හා නොකියා ආයතන අතර මනා සහයෝගීතිවයක් පැවති අතර නොකියා ජංගම දුකරථන ජාලය මිලදී ගැනීමට ගත් තීරණය දැවැන්ත ඉදිරි පියවරක් වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කියා සිටිති.

    මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගන්නා බව පසුගිය දා ප‍්‍රකාශ වු අතර, ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 

    Thursday 5 September 2013

    ලොවවිසකුරුම නාගයා

    ලොව විසකුරුම සර්ප වර්ගයට අයත් සතකු විසින් දෂ්ට කිරීම නිසා සතියකට වැඩි කාලයක් සිහි විසඥව සිටින දරුවකු ගැන පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා.ටායිපෑන් නමැති මේ නාග වර්ගය එක දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනකු මැරීමටත් මීයන් 250000 ක් මැරීමටත් හැකියාව ඇත.ටායිපෑන් නාග වර්ගය අඩි 8ක් පමණ දිගයි.මිලිමීටර් 12ක් දිග විස දල ඌට තිබෙනවා.මේ නාගයා විසින් දෂ්ට කරනු ලබන කෙනෙකු විනාඩියක් තුල මිය යනවා.වාසනාවට මේ නයාගේ අපූරු විශේෂත්වයක් තිබෙනවා.ඒ මෙම නයා මිනිසුන් සිටින පළාතකවත් සිටීමට අකමැති,මිනිසුන්ගේ සුවඳ දැනනවිට දිවගොස් සැඟවෙන නාග වර්ගයක් වීමයි.මෙම නාගයන් දෂ්ට කලවිට ලබාදෙන බෙහෙතද මෙම නාගයන්ගේ විසෙන්ම සාදනු ලබනවා.

    Saturday 31 August 2013

    ‘බුද්ධ පාත්‍රය ඉන්දියාවට ඉල්ලයි‘

    ‘කණිෂ්ක රජ සමයේ ඉන්දියාවෙන් ගෙන ගිහින්‘

    ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාස්ත්‍රීය ජනතාදාල් පක්ෂයේ නායක ආර් ප්‍රසාද් සිං ඉන්දියා රජයට බල කරයි.
    බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි සමයේ පිඩු සිඟා වැඩීමටත්, දන් වැළඳීමටත් පාවිච්චි කළ පාත්‍රය වෛශාලී නුවර (බිහාරයේ) ජනතාවගේ උරුමයක් බව කියන ඔහු බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 500දී පමණ පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවරට යෑමට පෙර එම පාත්‍රය වෛශාලී නුවර ජනතාවට දුන් බවත් වසර 500ක් පුරාම වෛශාලී නුවර වැසියන් එම පාත්‍රයට පුද පූජා කළ බවත් ඔහු කියයි.
    පළමුවැනි සියවසේ ඉන්දියාව ආක්‍රමණය කළ කණිෂ්ක රජුගේ සේනාව මෙම පාත්‍රය එදා පුරිස්පුත්‍ර (අද පාකිස්තානයේ පෙෂාවෝර්) නුවරටත්, එතැනින් ගන්ධාරයටත් (කන්දහාර්) රැගෙන ගොස් ඇති බවත් සිං කියයි.
    ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති මොහොමඩ් නජිබුල්ලා (1987-1992) එම පාත්‍රය් කාබුල් කටුගෙයි තැන්පත් කළ බවත් තම ඉල්ලීමට අන්තර් ජාතික බෞද්ධ සංවිධන හැටක් පමණ සහාය දක්වන බවත් ඔහු පවසයි.
    මෙම පාත්‍රා ධාතුව ඉන්දියාවට ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව හිටපු විදේශ ඇමැති එස් එම් ක්‍රිෂ්නා පැවසූ බව ඔහු කියයි.
    චීන දේශ ගවේෂකයන් වන ෆාහින් හා හුඇං ට්සෑන් ද ඉන්දියාවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් ඇලෙක්සැන්ඩර් කනින්හැම් ද ආචාර්ය ස්වීදර් වාසුදේව්, සොහානි හා රොමිලා තපාර් යන ඉතිහාසඥයන් ද එම පාත්‍රය කණිෂ්ක අධිරාජයා විසින් රැගෙන යන බව තහවුරු කරන්නේයැයි ද ඔහු කියයි.

    Friday 30 August 2013

    ජීවිතය නිරවුල් කරන නිවන් සුව සලසන ඉන්ද්‍රිය සංවරය

    ජීවිතය නිරවුල් කරන නිවන් සුව සලසන ඉන්ද්‍රිය සංවරය
    මෙලොව උපන් මිනිසාට හුදකලාව ජීවත්විය නොහැකි ය. අනිවාර්යයෙන්ම ඔහුට අවට ලෝකය හා සම්බන්ධතා වන්නේ බිළිඳකු මෙලොව එළිය දුටු වේලේ සිට ය. කිරිකැටි බිළිඳා, මවගේ කිරි උරා බොමින්, දරු සෙනෙහස, දයාව, කරුණාව, මැද මවගේත් අවට සමාජයේත් සම්බන්ධතාව පවත්වා ගනියි. එසේ අවට ලෝකය හා සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා ස්වභාව ධර්මය විසින් මිනිසාට ලබා දී ඇති ඉන්ද්‍රිය හයකි. එනම් ඇස, කන, නහය, දිව, කය හා මනසයි. පි‍්‍රය ජනක රූප දර්ශන ආදිය සොය සොයා ඇස මහන්සි වෙයි. කන මිහිරි ශබ්දත් නහය සුවඳ ආඝ්‍රාණයත්, දිව මිහිරි රසත් සොයයි. සැපවත් ස්පර්ශ විඳීමට කය කැමැති ය. මනස පි‍්‍රය ජක අරමුණු වලින් ආශ්වාදය ලබයි. මෙසේ, ඉඳුරන් කැමැති අරමුණු කෙරෙහි දක්වන අසීමිත ලොල් බව හේතුවෙන් සමාජයේ විශාල පිරිසක් විපතට පත්ව සිටිනු දිස් වෙයි. නමුත් යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් ඉඳුරන් පිනවීම පාලනය කර ගන්නා පිරිස ඉතා අල්ප ය. මෙසේ ඉඳුරන් පිනවීම පාලනය කර ගැනීම බුදු සමයෙහි ඉගැන්වෙන්නේ ඉන්ද්‍රිය සංවරය යනුවෙනි.

    භාග්‍යවතුන් වහන්සේ, මෙලොව පහළ වූ සමයේ, මහා භාරතය පුරා ඉන්ද්‍රිය සංවරය පිළිබඳ කතිකාවන් බොහෝ වූ බව, බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. ඒ සඳහා සමහර බ්‍රාහ්මණයෝ ඇසින් රූප නොබලා සිටිම, කනින් ශබ්ද නො අසා සිටීම වැනි බොළඳ ක්‍රියා මාර්ග අනුගමනය කළ බව කියැවෙයි. ඉන් යහපත් ප්‍රතිඵල අත් පත් කර ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ඇතැම්හු ශරීරයට අප්‍රමාණ දුක් දෙමින් අත්තකිලමථානු පිළිවෙත් පුරමින් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට වෙහෙසුණහ. එලෙසම තවත් පිරිසක් අසීමිතව ඉඳුරන් පිනවමින් කාමසුඛල්ලිකානු පිළිවෙත් ක්‍රියාත්මක කළහ.

    මහා භාරතය පුරා ප්‍රචලිතව පැවැති මේ පිළිවෙත් පිළිබඳ ලද අත්දැකීම් සම්භාරයක් භාග්‍යවතුන් වහන්සේ සතුව පැවතිණ. එම අත්දැකීම උපයෝගී කර ගත් උන්වහන්සේ, ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළහ. ඉන්, එම අන්ත දෙකේම හිස් බව මනාව වටහා ගෙන, ඒ අන්ත දෙකම ප්‍රතික්‍ෂේප කළහ.

    ඒ වෙනුවට, නුවණැස ලබා දෙන, කෙළෙසුන් සංසිඳීම චතුස්සත්‍ය අවබෝධය, නිවන් අවබෝධය පිණිසම හේතු වන මධ්‍යම ප්‍රතිපදාව දේශනා කර වදාළ අන්දම, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දැක්වෙන්නේ මෙසේ ය. “ද්වේ මෙ භික්‍ඛවේ අත්තා පබ්බජිතෙන න සෙව්තබ්බා, යෝචායං කාමසුඛල්ලිකානු, යෝගෝ - හිතො, ගම්මො, පෝථුජ්ජනිකො, අනරියො, අනත්ථසංහිතො, යෝචායං අත්තකිලමථානු යොගො දුක්ඛෝ, අතරියෝ, අනත්ථසංහිතො, එකෙ ;ත භික්‍ඛවේ උභෝ අන්තෙ අනූපගම්ම මජ්ජිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය නිබ්බාණය, සංවත්තති” යනුවෙනි. (මෙහි සරල අදහස ලාමක වූත්, අනර්ථයක් සිදුකරන්නාවූත් කාමසුඛල්ලිකානු යෝගය හා දුක් උපදවමින් අනාර්ථකාමීවත්තා වූ අත්තකිලමථානු යෝගය යන අන්ත දෙකම පැවිද්දන් විසින් අත්හළ යුතු අතර, නුවණැස ලබාදෙමින් නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීම සඳහා වූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම සුදුසු වෙයි යන්න ය.) එසේම මධ්‍යම ප්‍රතිපදාව තුළින් ස්වකීය ඉන්ද්‍රිය සංවර කර ගනිමින් දෙලොව හිත සුව සලසා ගන්නා අන්දම පහදා වදාළහ.

    පෘථග්ජන මිනිසා තුළ ඉන්ද්‍රිය අසංවරභාවයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී. එලෙසම ඕනෑම කෙනකුට ඉන්ද්‍රිය අසංවරව පවත්වා ගැනීම ඉතා පහසු ය. නමුත් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ශික්‍ෂාකාමී ජීවිතයක් ගත කිරීම දුෂ්කර ය. එබැවින් නැණවත් මිනිසා ඉන්ද්‍රිය සංවරය ගැන අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවත් වෙයි. ඉන්ද්‍රිය සංවරයෙන් තොර පුද්ගලයා ඉන්ද්‍රියවලට පි‍්‍රය අරමුණු ලැබුණු වහාම දැඩි සේ ඊට ලොල්ව ඒවා ග්‍රහණය කර ගැනීමට පෙළඹෙයි. කිසිම විචාරයකින් තොරව ඔහු පාප මිත්‍ර සේවනයට යොමුවෙයි. මවුපිය, ගුරු, වැඩිහිටි උපදෙස් නොපිළිපදියි. පහසුවෙන්ම මත්පැන්, මත්කුඩු හා වෙනත් දුශ්චරිත ආදියටද පෙළඹේ. මේ අන්දමට ඉන්ද්‍රිය සංවරභාවයෙන් තොර වූ මොනතරම් පිරිසක් සිපිරි ගෙවල සිර දඬුවම් විඳීමත් දුක් විඳිත් ද ස්වකීය ජීවිත විනාශ කර ගත් පිරිස කොපමණද?
    රටක සාරධර්ම සුරකිමින් සංවර, ශික්‍ෂාකාමී සමාජයක් බිහිකිරීම සඳහා මාධ්‍ය මඟින් ඉටු කළ හැකි සේවාව ඉතා විශාල ය. මේ වගකීම හරිහැටි අවබෝධ කර නොගත් මෙරට සමහර රූපවාහිනී, නාලිකා වාණිජ, දේශපාලන හා පෞද්ගලික වාසි ආදිය සඳහාතම මාධ්‍ය යොදා ගනිමින් ක්‍රියා කරන අන්දම ඛේදජනක ය. දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ රටක පැවැති උතුම් සාරධර්ම විනාශ කිරීමකි, එය. නොදැනුවත්වම රටේ සමස්ත සමාජය පිරිහීමට පත් කරවීමකි. මේවායේ දවසේ වැඩි කාලයක් තිස්සේ ප්‍රදර්ශනය කැරෙන ටෙලිනාට්‍ය, තුට්ටු දෙකේ හින්දි චිත්‍රපටවල ඇතුළත් ප්‍රචණ්ඩත්වය, කාමුකත්වය, අසංවර හැසිරීම්, පවුල් අවුල් ආදිය මඟින ළමා තරුණ, වැඩිහිටි කොයිකාගේත් සිත් සතන් දූෂණය කර අසංවරභාවයට පොලඹවනු පෙනෙයි. අඩනිරුවත් කාන්තා රංගන, පිළිකුල් සහගත හැසිරීම් රටා ආදිය ඇතුළත් වෙළෙඳ දැන්වීම් වලින් ද අඩුවක් නැත. මීට සමගාමීව, හොර රහසේ ප්‍රදර්ශනය වන ‘නිල් චිත්‍රපට’ ජාවාරම මගින් ඉන්ද්‍රිය සංවරය රැකගැනීමට විශාල ලෙස බාධා පමුණුවන බව පෙනෙයි. මාතෘත්වයට පවා නිගාදෙන අඩ නිරුවත් කාන්තා ඇඳුම් විලාසිතා වලින් ගමත් නගරයත් එකසේ පිරී ඇත. මින් සමාජයේ ඉන්ද්‍රිය සංවර බව රැක ගැනීමට ඉතා විශාල බාධා ඇතිවෙයි.ප්‍රඥාවන්ත වූ, බුද්ධිමත් වූ පුද්ගලයාට මෙවැනි සමාජය කෙළෙසන, සමාජය පරිහානියට ඇද දමන දේ පිළිබඳ අවබෝධය තුළින් ඉන්ද්‍රිය සංවරව පවත්වා ගැනීමේ හැකියාව ඇත. ඔහු නිරතුරුවම ධාර්මික වූත්, ප්‍රතිපත්ති ගරුක වූත් සාර්ථක දිවි පෙවෙතක් ගත කරයි. ගමන, බිමන, ඇඳුම්, පැළඳුම්, ;;දනික කටයුතු ඥාති මිත්‍රාදීන් ඇසුර ආදී සෑම කටයුත්තක්ම ක්‍රමවත්ව ඉටු කරයි. කිසිම පාපකාරී ක්‍රියාවකට හෝ අධර්මිෂ්ට ක්‍රියාවකට නොපෙළඹෙයි. මේ අන්දමේ චර්යා රටාවකින් යුතු ඉන්ද්‍රිය සංවර පුද්ගලයා සමාජයට පි‍්‍රයශීලී පුද්ගලයකු වෙයි. කාගේත් ප්‍රසාදයට ලක් වෙයි. ඔහුගේ කීර්තිය පැතිරෙයි.මේ කරුණු පිළිබඳ එදා සිංහල සමාජය වැටහීමකින් ක්‍රියා කළ බව පෙනෙයි. නමුත් වර්තමාන සමාජය තුළින් එය ගිලිහී යෑමට පටන් ගෙන තිබෙන බව පෙනෙයි. වාණිජත්වය මත පදනම් වූ සිතුම් පැතුම් වලින් වර්තමාන සමාජයේ බහුතර සිත් සතන් පිරී ගොස්, දූෂිතව පවතී. ඒ හේතුවෙන් සමාජය භයානක ඉරණමකට මුහුණපෑමේ තර්ජනයකට ලක්ව සිටියි. කාම වස්තූන්ගෙන් ලැබෙන ආශ්වාදයට වසඟවීම නිසා ඒවා තමා සතු කර ගැනීමට හා රැක ගැනීමට යොමු වීම. ඉන්ද්‍රිය අසංවර පුද්ගලයාගේ ස්වභාවයයි.එහි දී ඔහු තමන්ට ආශ්වාදය ලබා ගැනීම සඳහා බාධා පැමිණෙන විට අපරාධ කිරීමට පවා පෙළඹෙයි. එබැවින්, සමාජ ජීවිතයේ දී ඉන්ද්‍රිය සංවරය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය. සංවර වූ ඉන්ද්‍රිය, පුද්ගලයාට රන් රිදී මුතු මැණික් පරදවන ආභරණයකි. එහි බැබලීම දස අත පැතිරෙයි. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව එය පවතියි.ලොව පහළ වූ ආගම් කර්තෘවරුන් අතර, බුදුරජාණන් වහන්සේ තරම් ඉන්ද්‍රිය සංවරය පිළිබඳ දේශනා කළ ආදර්ශ ලබා දුන් ශ්‍රේෂ්ඨ උත්තමයකු ගැන සඳහන් නොවෙයි. බුදුන් වහන්සේ ඇති කළ සංඝ සමාජය, ගුණගරුක, විනයගරුක, ප්‍රතිපත්ති ගරුක, උතුම් සංස්ථාවක් බවට පත් කිරීම සඳහා ක්‍රියා කළ සේක. සංඝ සමාජයේ යහපත් පැවැත්ම උදෙසා දේශනා කර වදාළ ‘සේඛියා පද’ ආදිය තුළින් ඒ බව තහවුරු වෙයි.එසේම ගිහි ජීවිත ගත කරන පෘථග්ජන ගිහියාට ලබා ගත හැකි මඟ පෙන්වීම්, අවවාද ආදිය ද බොහෝ ය. ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පන්සිල් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉන්ද්‍රිය සංවරය අවධාරණය කර ඇත. ඉන්ද්‍රිය සතුටු කිරීමට යොමු වන නොහික්මුණු පුද්ගලයා තුළ ජනිත වන ආශා, දුක්, දොම්නස් ආදී කෙලෙසුන් හේතු කොට ගෙන පන්සිල් රැකීමට බාධා පැමිණෙන හෙයිනි.මෙසේ වූ ආශා දුක් දොම්නස් ජය ගැනීම උදෙසා ඉන්ද්‍රිය සංවරය හේතු වන අන්දම, ධම්මපදයේ භික්‍ඛු වග්ගයේ දැක්වෙන්නේ මෙසේ ය.

    චක්ඛුනා සංවණේ සාධු
    සාධු සෝතේන සංවරෝ
    ඝණෙන සංවරෝ සාධු
    සාධු ජිවිහාය සංවරෝ
    කායෙන සංවරෝ සාධු
    සාධු වාචාය සංවරො
    මනසා සංවරෝ සාධු
    සාධු සබ්බත්ථ සංවරෝ
    මෙහි සරල අදහස නම් ඇස, කන, නාසය, දිව, කය, මනස හා වචනය සංවර කර ගැනීම, යහපත් බවයි. සැම තැන්හිම සංවර වීම යහපත් ය.
    ඉන්ද්‍රිය සංවරය මගින් බුදු දහම අපේක්‍ෂා කරනුයේ, මිනිසා අක්‍රීය තත්ත්වයකට පත් කර කොටු කර තැබීම නොවෙයි. හික්මුණු ඉඳුරන් තුළින් වඩා යහපත් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් මානව සමාජයක ඔහු කොටස් කරුවකු කිරීමයි.


    Tuesday 27 August 2013

    රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට පුළුවන් හරිය ඔබත් දන්නවද?

    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

    6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.



    10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

    13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.


    --share කිරීම වැදගත්--

    උපුටාගැනීමකි..

    Monday 26 August 2013

    එක්වන්න අප හා ධර්ම රසය විදිමට


    මේ ඔක්කෝම දුක් පොදි..
    ඔය පංචස්කන්දය කියන්නේ මහ දුකක් නේද?ඒ වුනාට මෙක අල්ලන් ඉන්නේ මහා සැපක් කියලා හිතන් නේද?බලන්න වෙලාවක,ඇහැට නිතර ආදරේ දෙයක් තියෙනවද?තමන්ගේ කියලා අපි ඔක්කෝම ඇහැට ආදරෙයි..නමුත් වෙලාවක ඇහැ දුක් දෙන්නේ නැද්ද?එක ඇහැ නෙමෙයි ඇස් දෙකක් තියෙනවනෙ..එක ඇහැකින් යමක් ලැබෙනවනම් ඇස් දෙකක් තියෙනකොට දුක් දෙගුනයයි..නේද?එතකොට එක ඇහැක් තියෙන එකද වටින්නේ ඇස් දෙකක් තියෙන එකද වටින්නේ?කොච්චර දුක් දුන්නත් ඇස් දෙකක් තියෙන එක වටිනවා නේද?ඉතින් බලන්න එතකොට එතන ඇතිවන දුක්?
    ඊගාවට බලන්න ඔලුව කියන එක?සැපයිද?දුකයිද?ඔලුව හින්දා කොච්චර දුක් ලැබෙනවා ඇද්ද?ඒත් ඔලුව නැතුව හිටියොත් පුලුවන්ද?බෑ ඔලුව තියෙන්නම ඕනේ.ඒ වුණත් ඔලුව හින්දා කොච්චර නම් වේදනාද?හිසේ අමාරුව,පාන්දරට ඇතිවන පීනස,ඉරුවාරදය වගේ කොච්චර නම් දුක් දෙනවද?ඔලුව කියන එක අපිට නැතුවම බැරි වුනාට බලන්න එතන ඇතිවන දුක කොතරම්ද කියලා?ඊලගට දත් ටික කියන්නෙත් අපිට නැතිවම් බැරි දෙයක්.හැබැයි බලන්න කොතරම් දුක් පිඩා ඇති කරනවද කියලා?ඔහොම බලන් ගියාම නාසය,කන්,උගුර,පපුව,බඩ,අත්,පා ඔය අපෙ ඇගෙ කි නොකි සියල්ලම අපිට දෙන්නේ විශාල දුකක් නේද?අපිටම නැතිවම බැරි දේවල් වුනාට බලන්න කොයිතරම් නම් අපිට දුකක් දෙනවද කියලා?

    ඒ වුනාට අපිට මෙක තේරුම් යනවද?නෑ නේද?බලන්න කොච්චර රුපයට අපි වහල් වෙනවද කියලා?ලස්සන රුපයක් දැක්කම අපි එක කෙරෙහි ඇලිලා එක පසු පස යනවා..ඊට පස්සේ තව ඊට වඩා ලස්සන රුපයක් දැක්කම අපි එකට ඇලෙනවා නේද?ඔය වගේ අපි මේ රුපයට ඇලෙන එකේ කෙලවරක් නේ නේද?
    අපි අලුත් සින්දුවක් ආවාම මොකද කරන්නේ දවස් ගනන් එක අහනවා..එයට වඩා අලුත් එකක් අවාම මොකද කරන්නේ එක අහනවා අනිත් එවා අත හැරලා..ඔකට කෙලවරක් තියෙනවද නේ නේද?
    ඔය වගේ අපි ගන්ධයට,රසයට,ස්පර්ශයට වහල් වෙනවා නේද?කෙලවරක් තියෙනවද?රසය,රුපය,ගන්ධය අලුත් වුනාම තව තවත් එකට ඇලෙනවා මිසක් ගැලවිමක් නෑ නෙද?
    මෙක හරියට පිපාසිත පුද්ගලයෙකුට පිපාසයට ලුණු වතුර පානය කරන්න දුන්නා වගේ වැඩක් නේද?ලුණු වතුර බිව්වා කියලා ඒ වෙලාවට පිපාසය නිවෙනවා වගේ දැනුනට ඇත්තටම මොකද වෙන්නේ?පිපාසය වැඩි වෙනවා නේද?ඔක තමයි පින්වතුනි,දුක කියන්නේ නැතිවිමක්.නිවිමක් ඇති කර ගන්නකම් ඇතිවිමක් නෑ..කොච්චර දුක වුනත් ඇලෙන්නේම ඒ දෙමයි..එකයි බුදු රජාණන් වහන්සේ මේ නිවිමට මග පෙන්නුවේ..එක තෙරුම් අරන් නිවැරදි මග යන එක ඔය ඇත්තන්ට භාරයි..තෙරුවන් සරණයි..

    Sunday 25 August 2013

    දුක සැප පෙරළෙන සංස්‌කාර

    'සතර අපායෙන් මිදෙමු' 18 කොටස
    වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම අසරණයි. සරණක්‌ ඇති ජීවිතයක්‌ ඉදිරියේ මේවා කුමක්‌ නම් පීඩාවක්‌ කරන්නද..... ලන්තෑරුම් එළියෙන් ලෑලි ඇඳ මත වාඩිවී මේ සටහන තබනකොට භික්‍ෂුවගේ සිත පුදුමාකාර සැනසීමකින් පිරිලා. මේ ටික සටහන් වුණේ වැස්‌ස නිසා. ඒ නිසාම භික්‍ෂුව වැස්‌සට ආශිර්වාද කරනවා. භික්‍ෂුවට මතකය තේර තේරී ගාථාවල එක්‌ රහතන් වහන්සේ නමක්‌ උදාන වාක්‍යයක්‌ ප්‍රකාශ කරනවා 'වැස්‌ස¾ ඔබ ඇති තරම් වහින්න. ගොරවා ගොරවා වහින්න. වැස්‌සට බැහැ මාව අපහසුවට පත්කරන්න. මම කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ' කියලා. වැස්‌සට ගුලිවෙලා, වකුටුවෙලා වැස්‌සට බැණ බැණ ඉන්නවා වෙනුවට උන්වහන්සේ වැස්‌සට ආශිර්වාද කළා. අපි වැස්‌සට කොච්චර කිව්වත් වහින්න එපා කියලා වැස්‌ස එය අහන්නේ නැහැ. වැස්‌සට ඇතිවන තුරාවට එය වහිනවා. වැස්‌ස වහිනතාක්‌ පරිසරය, කුටිය හිරිකිඩෙන්, මීදුමෙන්, දියසීරාවෙන් ආක්‍රමණය කරනවා. මේ වැස්‌සට තෙමුණොත් වැඩිම වුණොත් උණක්‌, සෙම්ප්‍රතිශ්‍යාවක්‌ හැදෙයි. ඊට වඩා හැදෙන ලෙඩක්‌ නැහැ. කොත්තමල්ලි ටිකක්‌ තම්බලා වළඳලා, බටහිර බෙහෙත් පෙත්තක්‌, කරලක්‌ වළඳලා එය සනීප වෙලා යාවී. නමුත් ඇස නිසා ඇති වන කෙළෙස්‌ වැස්‌සට, කණ නිසා ඇති වෙන කෙළෙස්‌ වැස්‌සට නාසය, දිව, මනස, කය නිසා ඇතිවන කෙළෙස්‌ වැස්‌සට පිංවත් ඔබ තෙමුණොත් මෙලොව, පරලොව දෙකේදීම අපි දුකට වැටෙනවා. අර අතීත රහතන් වහන්සේ සිංහනාද කරන්නේ 'මගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ. වැස්‌ස ඇති තරම් වහින්න' කියලා. ආධ්‍යාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥානයත් මේ කාරණා තුන එකතුවන ඵස්‌සය ළඟදීම උන්වහන්සේ අනිත්‍යය දකිනවා. ඵස්‌සය අනිත්‍යයයි කියලා අවබෝධයෙන් දකින තැනදී විඳීමක්‌ සකස්‌වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සැවොම ඵස්‌සය නිත්‍ය වශයෙන් ගෙන පංච උපාදානස්‌කන්ධය සකස්‌කරගන්නවා. ඒ කෙළෙස්‌ වැස්‌සට තෙමෙනවා. විඳීම කියන සෙවිලි නොකළ වහලය අපිව බරපතළ ආකාරයට කෙළෙස්‌වලින් තෙමෙනවා. මෙහි ඵලය තමයි සංස්‌කාරයන්ගේ බලවත් රෝගාතුරභාවය. සංස්‌කාර හේතුවෙන් හටගන්නා රෝගාබාධ බෙහෙත්පෙති, කරල්, සිරප් වළඳලා නම් සනීපකරගන්න බැහැ. කල්ප ගණන් මිථ්‍යදෘෂ්ඨිකභාවය, දුප්පත් බව, කුසගින්න, විරූපි බව, ගින්දර, ගිනි අඟුරු, ලෝදිය මත මදි නැතිව දුක්‌ අනුභව කරලයි අවසන් වෙන්නේ. දුකත් සැපත් දෙකම සංස්‌කාරයන්ගේ ඵලයක්‌ මයි. එම නිසා දුක, සැප දෙකම අපි සම සිතින් පිළිගත යුතුයි. අපි සූදානම් සැප සතුටින් පිළිගෙන, දුක අසතුටින් ප්‍රතික්‍ෂේප කිරීමට නම් අපට කවදාකවත් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙන්නට බැහැ. අනිත්‍ය සංඥාවන්ගෙන් සෙවිලි නොකරන ලද ඇස නිසාමයි, කණ නිසාමයි, නාසය නිසාමයි, දිව නිසාමයි, කය නිසාමයි, මනස නිසාමයි දුකත් සැපත් දෙකම අපට උරුමකර දෙන්නේ. අතීතයේ වැඩ සිටිය රහතන්වහන්සේ 'වැස්‌ස ඇතිතාක්‌ වහින්න. මාගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ' කියලා සිංහනාද කරන්නේ, උන්වහන්සේගේ කුටියට වැසිදිය නොවැටෙන නිසා නොව මීදුම, සීතල නොඑන නිසාම නොව උන්වහන්සේ 'දැක්‌කාය' කියන තැනදීම, 'ඇසුනාය' කියන තැනදීම 'දැනුනාය' කියන තැනදීම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම පිණිස අවබෝධයෙන් සම්පූර්ණ උත්තමයකු නිසාය. 'මම' කියන පුද්ගලයා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වූ ඵලයක්‌ ලෙස අවබෝධ කරගනිද්දී, හේතූන් නිසා සකස්‌ වූ ඵලයක්‌ තුළ සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ වශයෙන් අර්ථයක්‌ නොපෙනෙද්දී කුමක්‌ නිසා, කව්රුන් උදෙසා තෘෂ්ණාවක්‌ සකස්‌වෙන්නද? පිංවත් ඔබ දෑස්‌ හොඳින් විවර කර බලන්න. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන නිසා සකස්‌ වූ කෙළෙස්‌ වැස්‌සට තෙමුණු සත්වයන්ගේ ලෝකයයි ඔබ ඉදිරියේ දර්ශනය වන්නේ. ධාරානිපාත වර්ෂාවක්‌ ගහකොළ පෙරළා, ඇල දොළ ගංගා දෙගොඩ තලා, පස්‌කඳු නායගොස්‌ මහා විනාශක්‌ කරන්නා සේ ඇස නිසා සකස්‌ වූ කෙළෙස්‌වල බරපතළභාවය නිසාම මොනතරම් දුක්‌ ගොඩක්‌ සත්වයා විඳිනවාද. අපි එක මොහොතක්‌වත් ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා වන දුක්‌ ගැන මෙනෙහි කරනවාද, කථාකරනවාද. ඇස, කණ, නාසය, දිව, කය, මනස නිසා කෙළෙස්‌ වැස්‌සට හසුවුණ අයමයි ඔය සිරගෙවල්වල, රෝහල්වල, යුධ භූමිවල, ගිහිගෙවල්වල, මගතොටේ අපට මුණගැසෙන්නේ. ස්‌වභාවධර්මයේ වැස්‌සෙන් නොතෙමෙන්න අපි උපක්‍රම යෙදුවාට, තෘෂ්ණාවේ කෙලෙස්‌ වැස්‌සෙන් අප නිරතුරුවම තෙමෙනවා. අපි ලෙඩවෙනවා. නොදැනුවත්කම නිසාම අසාධ්‍ය රෝගීන් බවට පත්වෙනවා. එහෙම රෝගීන්ට බෙහෙත් කියන්නෙත් තවත් අසාධ්‍ය රෝගියෙක්‌මයි. ඒ නිසා රෝගියා සහ වෛද්‍යවරයා දෙදෙනාම හුඟක්‌ වෙලාවට විනාශය කරාම පියවර තබනවා. එක තාත්තා කෙනෙක්‌ සිටියා, ඒ තාත්තා දරුවන්ට බොහොම ආදරෙයි. ඔහු රජයේ සේවකයෙක්‌. මොහු ශීලය ගැන එතරම් තැකුව කෙනෙක්‌ නෙවෙයි. මාරයා විසින් සමාජය තුළ එලා ඇති තරගකාරීත්වය නැමැති දැළට හසුවෙලා සිටි අයෙක්‌ මොහු. යමක්‌ අයිති කර ගැනීමට යන ගමනේදී මොහු බොහෝම වේගවත්. කොටින්ම මොහුට දවසේ පැය 24ම වුණත් කටයුතු සඳහා ප්‍රමාණවත් මදි. මොහු තමන්ගේ දරුවෙක්‌ වෙනුවෙන් බොහොම මහන්සියෙන් නිවසක්‌ හැදුවා. නිවසේ වැඩකටයුතු අඩක්‌ නිමාකර තිබියදී මොහු මියයනවා. අපි දන්න ස්‌වාමීන් වහන්සේ නමක්‌ සමාධිය තුළින් අරමුණු කර බලනවා මොහු මරණින් මතු කොතැනක ඉපදිලා සිටිනවාද කියලා. එවිට එම ස්‌වාමීන්වහන්සේට අරමුණුවෙනවා මුල් ගලක්‌ දෑතින් අල්ලාගෙන සිටි බහිරව ස්‌වභාවයේ ප්‍රේතයෙක්‌. ඔහු එරමිනියාගොතාගෙන, මුල්ගල බදාගෙන ඉන්නවා වගෙයි දර්ශනය වෙලා තිබෙන්නේ. අපි භහිරවයා යනුවෙන් හඳුන්වන සත්වයෙක්‌. මේ කාරණයේදී භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ, වැඩ අවසන් නොවූ නිවසේ උපාදානය නිසා ඉහත උපත සකස්‌කරගත් බවයි. දැන් ඉතින් මුල්ගල මගේ කොටගෙන බහිරව ලෝකයේ ජීවත්වෙනවා. මේ මුල්ගල නිශ්චිත වශයෙන් එම නිවසේම මුල්ගල ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. බලන්න, නිවස නැමැති රූපය නිසා සකස්‌ වූ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවූ කෙළෙස්‌ වැස්‌සට හසුව ඔහුව ගසාගෙන ගොස්‌ ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය සකස්‌කර දුන්තැන. 'උපාදාන පච්ජයාරි භවෝ'..... ඔබ ඉදිරියේ ඇති භයානකම අනතුරු නුවණින් හඳුනා නොගත්තොත් ඔබට දුකම උරුමකර දෙන ධර්මතාවය. මේ මහත්මයා මනසේ සකස්‌වූ කෙළෙස්‌ වැස්‌සට හසුවීම නිසා සකස්‌කරගත් දුක කල්ප ගණනාවක්‌ විය හැකියි නේද? වර්තමාන සමාජයේ ජීවත්වෙන හුඟ දෙනකුට තමන්ගේ කටයුතුවලට දවසේ පැය 24ත් මදි. ඒ මදිබව නිසාම සමහරු රාත්‍රියේ නින්දෙන් ගණන් හදනවා. දරුවන්ට, බිරිඳට ආදරය කරනවා. මාරයා විසින් එලන ලද තරගකාරීත්වයේ දැලට හසුවී දුවන්නන් වාලේ දුවන චර්යාවෙන් මිදෙන්න. විවේකීව කෙලෙස්‌ වැස්‌ස ගැන සිතන්න. සමාජය වේගයෙන් ලෞකික වශයෙන් සංවර්ධනය වෙනවා. විසිතුරුභාවයෙන්, ගෘහනිර්මාණ ශිල්පයෙන් එකිනෙක අභිබවා දැකුම්කළු නිවාස ඉදිවෙනවා. ඔබගේ සුන්දර නිවස යම් සේ දැකුම්කලුද, විසිතුරුද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබගේ සිත ඊටත් වඩා විසිතුරුයි කියලා. මොකද ඔබ තුළ ඇති තෘෂ්ණාවේ දිග පළල නිසාමයි ඔය වැනි විසිතුරු නිවසක්‌ නිර්මාණය වුණේ කියලා. ඉහත වැකිය සටහන් කරනකොටම භික්‍ෂුවට හිනාවක්‌ ඇති වුණා. භික්‍ෂුව මේ වෙලාවේ වැඩ සිටින කුටිය කැලයේ ඇති මැටිගැසූ කුඩා පැළක්‌. රජගෙදර ඉන්න රජතුමාට වඩා නික්‌ලේෂී සැනසිල්ලක්‌ භික්‍ෂුව මේ මොහොතේ අත්විඳිනවා. තෘෂ්ණාව ක්‍ෂය වුණ තැන නිස්‌සරණය, සැහැල්ලුව මිස දුක සැප එහි කොයින්ද? වැස්‌ස, සුළඟ, සීතල මීදුම එනවා. යනවා. ඒත් ඒ කිසිවකින් පීඩා විඳින්න පුද්ගලයෙක්‌ මෙතැන නැහැ. ඵස්‌ස පච්ජයා වේදනා..... ඵස්‌සය නිසා සකස්‌ වූ විඳීමත්, ඵස්‌සයත්, විඳීමත් අනිත්‍යධර්මයන්මයි. මොන තරම් සරළ සමීකරණයක්‌ද. විසිතුරුභාවය වැඩිවන්න වැඩිවන්න, තෘෂ්ණාව වැඩිවන බව ඔබ තේරුම්ගන්න ඕනා. තෘෂ්ණාව වැඩිවන්න වැඩිවන්න දුකයි වැඩිවන්නේ. දුක කියන්නේ අවිද්‍යාව නිසා අපිට රැස්‌වෙන්නාවූ සංස්‌කාරයි. සංස්‌කාරයන් නිදහසේ භුක්‌තිවිඳීමට අභය භූමියක්‌ වෙමිනුයි ලෝකය පවතින්නේ. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ට බාධාකරන්න කෙනෙක්‌ ලෝකයේ නැහැ.
    උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග්‍රහය - ඉන්ද්‍රජිත් සුබසිංහ

    Tuesday 20 August 2013

    ලොව උතුම් දානය – ධර්ම දානය


    භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා.

    දානය කියන වචනයෙන් තමයි ධර්මය ගැනත් දේශනා කරලා තිබෙන්නේ. ධර්ම දානය දිමේදී, දානයක් බවට ධර්මය පත්කිරීමේ දී, ධර්මය දන් දීමේදී අපට වැදගත් වන්නේ මේ ධර්ම දානය දෙන්නේ කොහොමද කියන එකයි. ධර්ම දානයේදී පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම දිය යුතුයි. උන් වහන්සේ දේශනා කළා ධර්ම දානය අග්‍රයි කියලා. එනිසා යම් කෙනෙක් අග්‍ර වූ දෙයක් හැටියට මේ ධර්ම දානය දෙන්න දක්ෂ වුණොත් එය ඔහු ලෝකයාට කරන විශාල යහපතක් . එවිට ලෝකයා කුසල් අකුසල් හඳුනාගන්නවා. පින – පව හඳුනාගන්නවා. මෙලොව පරලොව හඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මය, අසත්පුරුෂ ධර්මය හඳුනා ගන්නවා. සසර නිවන හඳුනා ගන්නවා. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේ නොසිතු නොපැතූ යම් කිසි විස්මිත ඤාණයක් ධර්ම දානය තුළින් ලබාගන්න පුළුවන්කම තිබෙනවා.

    භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි, ගිහි පිරිස භික්ෂූන් උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානෝපත්‍ය කියන සිවුපසයෙන් උපස්ථාන කරන නිසා ඔවුන්ට පෙරළා උපකාරයක් ලෙස ධර්ම දානය කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ වදාළා මුල, මැද, අග පිරිසිදු වූ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු පැහැදිලි කරුණුවලින් යුතු ඒ ධර්මය මේ ලෝකයාට දේශනා කරන්න . මේ ධර්මය අවබෝධ කරන පිරිස ඉන්නවා කියලා. එයින් අපට පේනවා ධර්ම දානය කෙතරම් වටිනාකමක් තිබෙනවාද කියලා.

    ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා “ ආනන්ද ඔබ යම්කිසි කෙනකුට කරුණාවන්ත දයාවන්ත නම් අනුකම්පා කරනවා නම් ඔබේ වචනය ඒ අය අහනවා කියලා. එවිට ඒ කෙනාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පහදවන්න කියලා. එය තමයි ඔවුන්ට කරන්න පුලුවන් යහපත්ම දේ. එයින් අපට පැහැදිලියි ධර්ම දානය පිණිස තමයි නිතර රහතන් වහන්සේලා වෙහෙසුනේ. පළමු ධර්ම සංගායනාව , දෙවැනි ධර්ම සංගායනාව , තුන්වැනි ධර්ම සංගායනාව මගින් කළේ ධර්මය විකෘති නොවී නිර්මල ලෙස ආරක්‍ෂා කිරීමයි.

    ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල පිරිසිදු ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන වැඩියේ. එය තමයි ලංකාවෙ සංගායනා කරල ආරක්ෂා කළේ. ඉතින් එලෙස ලැබුණ ඒ නිර්මල ධර්මය වර්තමානයේදී කෙනකුට දානය කරන්න පුළුවන්නම් එය උතුම් වූ දානයයි. වර්තමානයේ අපට පේනවා නොයෙක් ආකාරයෙන් ධර්මය දානය කරන අවස්ථා. දහම් සංයුක්ත තැටියක් නැත්නම් කැසට් පටියක් විකාශය කරලා සියලුම දෙනාට අහන්න සලස්වනවා. සමහර පිරිස් ධර්ම දානය සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා අනෙක් අයට ධර්මය අසන්න උනන්දු කරවනවා. ඒ සියලුම දේවල් ධර්මයට කරන උපකාරයක්. ඒ වගේම දහම් පොතක් මිලට අරගෙන ඒ දහම් පොත නොමිලේ අනෙක් අය උදෙසා බෙදා දෙනවා.

    භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල තිබෙන යම් යම් කොටස් අරගෙන ඒවා මුද්‍රණය කරලා නැවත බෙදා හරිනවා. ඒ සියලුම දේවල් අග්‍රම දානය වන ධර්ම දානයට අයිතියි. මේ සියලුම ආකාරයට ධර්ම දානය කළ හැකියි. නමුත් මේ සියලුම දේ මගින් ඔබ කළ යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමයි. ඔබ අධර්මය ප්‍රචාරය කළොත් එයින් සිදුවන්නේ පිනක් නොවේ. එනිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේම ධර්මය ප්‍රචාරය කරන්න ඔබ උනන්දු විය යුතුයි.අපට පේනවා හුදෙක් ජනපි‍්‍රයත්වය උදෙසා අපහාසය මිනිසුන්ට දෙනවා. විකට දේශනා දන් දෙනවා.

    ලෝකයම හිනස්සවන කරුණු කියන එක ධර්ම දානය නොවේ. ඔබ එය හොඳින් තේරුම් ගත යුතුයි. අනුන්ට ගරහන එක, ඕපාදූප කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති නැහැ. උන්වහන්සේගේ පිරිසිදු දහම තුළ තිබෙන්නේ දුක් විඳින සත්ත්වයා ඒ දුකෙන් එතෙර කරවන වැඩ පිළිවෙළක්. ඒ තුළින් තමයි මිනිසුන්ගේ වසා තිබෙන ප්‍රඥාව අවදි වන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ. එයින් ඔවුන්ට බොහෝ යහපතක් සිදුවෙනවා. මිථ්‍යා වාචා දන්නෙත් නැතිව සම්මා වාචා දන්නෙත් නැතුව ඔබ වියදම් කර කර මිථ්‍යා වාචා දන් දෙනවානම් ඒක කුසලයක් නොවේ අකුසලයක් මයි. එනිසා මේනිසා කුසලයක් වෙත්නම් සම්මාවාචා දන්දෙන්න ඕන.

    උත්තර කියන මහරහතන් වහන්සේ සක් දෙවිඳුන්ට එක්තරා අවස්ථාවක දේශනා කරනවා අපට මේ ලෝකයෙන් පැනයන්න බැරි කරුණු ගැන. එහිදී සඳහන් වෙනවා අපට කවදාවත් මරණයෙන් පැන යන්න බැහැ. වයසට යාමෙන් පැනයන්න බැහැ. රෝග පීඩාදියෙන් , අනිත්‍ය බවට පත්වීමෙන්, කර්ම විපාකයෙන්, පැනයන්න බැහැ කියනවා. එවිට සක්දෙවිඳුන් උත්තර මහරහතන් වහන්සේගෙන් අසනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ කරුණු දේශනා කළේ ඔබ වහන්සේම සොයාගෙන ද? නැත්නම් මේවා වෙන කාගෙවත්ද කියලා. එතකොට රහතන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද . ඒ සියල්ලම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ කියලා. එය උපමාවකින් කියනවා යම් තැනක ධාන්‍ය ගොඩක් තිබෙනවා. එක එක්කෙනා ඒ ධාන්‍ය ගොඩෙන් ධාන්‍ය ලබාගන්න තම තමාට සරිලන භාජන අරගෙන එනවා. ඇවිත් භාජන පුරවාගෙන යනවා. එය දකින සමහර අය අහනවා. ඔබ කොහෙන්ද මේ ධාන්‍ය අරගෙන එන්නේ කියලා. අර අතන ධාන්‍ය ගොඩක් තිබෙනවා. ඒ ධාන්‍ය ගොඩෙනුයි මම මේවා අරගෙන එන්නේ කියලා කියනවා. ඒ වගේ අපිත් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උපයෝගී කොටගෙන තමයි මේ කථාකරන්නේ කියලා.එහෙයින් අපට පැහැදිලියි ඒ බුද්ධ දේශනා තමයි අපට උපුටා දක්වමින් කතාකරන්න තියෙන්නේ.

    ඉතින් මෑත භාගයේදී අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උපුටා ගනිමින් “ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි “ කියන හඬ ඉස්මතු කරන්න ලොකු වෙහෙසක් දැරුවා . ඒ වගේම ගෞතම බුදු සසුන කියන්නේ වඳ බැහැපු පිළිසරණක් රහිත එකක් නොවේ. ඒ ශාසනය තුළ විශාල රැකවරණයක් පිළිසරණක් තිබෙනවා. මෙලොව ජීවිත සුවපත් වන්නේත් පරලොව ජීවිත සුගතිය කරා යන්නේත් මේ ශාසනය තුළ හික්මෙන පුද්ගලයා පමණයි. ගෞතම ශාසනය තුළ ආර්ය සත්‍ය හතරක් තිබෙනවා. මිනිසාගේ සැඟවුණූ ප්‍රඥාව වැඩෙන්නේ ඒ ආර්ය සත්‍ය හතර තුළින්. එනිසා ඒ ආර්ය සත්‍ය නිතර නිතර මිනිසුන්ට කියා දිය යුතුයි. ඔවුන් ඒ කෙරෙහි සමාදන් කළ යුතුයි. ඒ සඳහා තමයි අපට ධර්ම දානය තිබෙන්නේ.

    අද ලෝකයේ මාධ්‍ය බොහෝ ව්‍යාප්තයි. ක්ෂණයකින් එක කරුණක් මුළු ලෝකයාටම දිය හැකියි. ඒනිසා ඔබට ඒ නිර්මල ධර්ම දානය දෙන්න ඉතාමත් ලෙහෙසියි. ඔබ යම් ධර්ම දානයක් දෙනවානම් එය හැම දෙනාගේම හිතසුව පිණිස පවතිනවා. එයින් යම් කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගතහොත් එය විශාල පිනක්. එය විශාල වාසියක් ද වෙනවා. නමුත් ඒ සඳහා ධර්ම දානය දෙන පුද්ගලයා මනා ලෙස ඒ නිර්මල දහම කෙරෙහි ගෞරවයක් ඇතිව විශාල පැහැදීමකට පැමිණිය යුතුයි. එහෙම නැතිව ධර්ම දානය ලෙස අධර්මය දන්දෙන අවස්ථා අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම තර්කානුකූලව තිබෙන අවුල් සහගත ප්‍රකාශත් බුද්ධ වචනයෙන් බැහැර වූ දේත් ධර්ම දානය හැටියට දෙන අවස්ථා තිබෙනවා. ඒවාටත් බොහෝ දෙනෙක් රැවටෙනවා. තමාගේ අදහසට ගැලපුන පමණින්, තමන්ගේ මතයට ගැලපුන පමණින්, තමන් කැමැති පුද්ගලයා කියු පමණින්, ඊට එකඟවෙලා දානය ලෙස දුන්නා කියලා. එය ධර්ම දානයක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම ධර්ම දානය සඳහා දීමට ඔබ උත්සහ ගත යුතුයි. එනිසා ඔබ ඔබට හැකි අයුරින් ධර්ම දානය කරන්න ලෝභ, ද්වේෂ, මෝහය ප්‍රහාණය කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයම දන් දෙන්න. ඒ සදහා අද ඔබට ඕනෑතරම් පහසුකම් ක්‍රම විධි තිබෙනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම ප්‍රචාරය කිරීමට අන් අයගේ සුබ සිද්ධිය පිණිස, ඒ අය කෙරෙහි කරුණා සිතින් යුක්තව ධර්ම දානය කරන්න.

    එවිට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන් පරිදි දාන අතර අග්‍ර දානය දුන් පිරිස අතරට ඔබත් පත්වේවි. ඒ සියල්ල ඔබට නිතර නිතර මෙනෙහි කර සතුටු විය හැකියි. එය ඔබගේ මරණාසන්න මොහොතේදී ද සතුටු විය හැකි කාරණයක් වනවා නො අනුමානයි.

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

    රුවන්වැලි’ මහා සෑය


    පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන් පටන් තම
    රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.

    දුටුගැමුණු රජතුමාට අවශ්‍ය වූයේ ලංකාවේ විශාලතම දාගැබ ඉදිකිරීමට ය. එහෙත් රජතුමාගේ ජීවිත කාලයටම එය සාදා නිම කිරීමට නොහැකි වන බව දත් මහරහතන් වහන්සේලා එහි සැලැස්ම එම ප්‍රමාණයට වඩා කුඩා කිරීමට උපදෙස් දුන් බව කියැවෙයි.

    එවකට ලක්බිමේ විශාලම සෑය එය වූ බැවින් රුවන්වැලි සෑය මහා සෑය නම් විය. ඊට පසුව රුවන්වැලි සෑයට වඩා විශාල ස්තූපයන් ඉදි වුවද මෙහි ඇති විශිෂ්ටත්වය අභිභවා යාමට වෙනත් කිසිදු ස්තූපයක් සමත් වී නැත. අදත් ලක්බිමේ ඇති මහා සෑය නමින් කිරළු දරන්නේ රුවන්වැලි සෑයමය.

    මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.

    දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාට සිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ‘ස්වරණමාලීට’ උපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. ස්වර්ණමාලී මහා සෑය, ‘රත්නමාලී’, රුවන් මැලි යන තවත් සමාන වූ නාමයන්ගෙන් කියැවෙයි. පසුව මෙය ‘රුවන්වැලි’ නමින් වී අද දක්වාද එම නම ප්‍රචලිතව තිබේ. මහා සෑය ඉදිකළේ රුවන්මළුව නම් බිමෙක නිසා එය රුවන්වැලි නමින් වූ බව තවත් තැනක සඳහන් වෙයි.

    මෙම ස්තූපය මහා ස්තූපය වශයෙන් සැලකීමට තවත් බොහෝ කරුණු රාශියක් බෞද්ධ වංශ කතාවට අනුව පෙළ ගැසී තිබීම විශේෂිතය. සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් මෙහි නිධන් කර තිබෙන බව මහා වංශය මෙන්ම වෙනත් වංශ කතා ද සඳහන් කරයි. ද්‍රෝණය නම් කොතරම් නම් ප්‍රමාණයක් දැයි දළවශයෙන් පැහැදිලි කර ගැනීමේ දී එය පැරැණි මිනුම් අනුව ලාස් හතරක් නොහොත් නැලි දහසයක පරිමාවකට සමානය. සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක් පමණ මෙහි නිධන්ව ඇති බවද තැනක කියැවෙයි.

    රුවන්වැලි මහා සෑය පිළිබඳව විස්තර බොහෝ තැන්හි සඳහන්ව තිබේ. එහෙත් අපි අද මෙහි අඩිතාලම පිළිබඳව විශේෂයෙන් කතා කිරීමට අපේක්‍ෂා කරමු. ඊට ආසන්නම හේතුව වන්නේ බුද්ධ වර්ෂ 390ටත් 400ටත් අතර වර්ෂයක ඇසළ මස පුර පසළොස්වක දිනක මෙම මහා සෑය තැනවීමට අවශ්‍ය මඟුල් ගඩොල පිහිටුවීමය. එසේ නම් මෙම අසිරිමත් වූ මහා සෑය සෑදීමේ කාර්ය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් අදට වසර 2156 කට පමණ පෙරය.

    අද අපි තාක්‍ෂණික විද්‍යා ඥානයෙන් හිණි පෙත්තට ද උඩින් අහස් කුස අභිභවන මහා ගොඩනැඟිලි ඉදිකරමින් සිටිමු. සමහර තැනක එවැනි ඉදිකිරීමක් සුළු ගුවන් ප්‍රහාරයකින් පොළොව මතට ඇද වැටෙන අයුරු ද අසා දැක ඇත්තෙමු. එහෙත් මීට වසර දෙදහස් ගණනකට ප්‍රථම අප මුතුන් මිත්තන් සතු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාරද බව කොතරම් දැයි හඳුනා ගැනීමට සමත් ජීවමාන සාධකයක් බවට රුවන්වැලි මහා ස්තූපය නම් කළ හැකි ය.

    මේ ලෝක විනාශයේ දී දියත පුරා විවිධ දේශ දේශාන්තරයන්හී වැඩ වසන සම්බුද්ධ සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑය නම් මෙම අසාදෘශ්‍ය මහා ස්තූපය වෙතට වැඩමවා වදාරා පෙළහර පා, පිරිනිවන් පානා බව අට්ඨකතාවන්හි සඳහන්ව තිබේ. එයින් හැඟෙන්නේ මේ මහා ස්තූපයේ ඇති නොසෙලවෙන මහා බල පරාක්‍රමයක අනුහස නොවන්නේ ද?

    එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම මහා සෑයේ ස්ථිරත්වය වෙනුවෙන් මීට වසර දෙදහස් ගණනකට එපිට දැමූ අඩිතාලම පිළිබඳව කතා කිරීමේ දී මෙහි ඇති පදනමේ මහා ශක්තිවන්තකම පිළිබඳව අපට යම් හැඟීමක් ඇතිකර ගත හැක.

    රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද ‘අලි සපත්තු’ පලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් ‘වෙඬරුමැටි’ නොහොත් ‘නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ ‘ලංකාවේ ස්තූප’ නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)

    මෙම අඩිතාලමේ තාක්‍ෂණය අද විද්‍යාඥයින්ට අභියෝගාත්මක ප්‍රශ්න රැසක් ඉතිරිකර තබා තිබේ. රසදිය, තලතෙල්, මැලියම්, ඉතා සියුම් මැටි වර්ග, තට්ටුවෙන් තට්ටුව ඇති රූ ගල් වර්ග, ලෝහ තහඩු, රිදී පට ආදී මේ සියලු පැරැණි තාක්‍ෂණයේ අමුද්‍රව්‍ය ඒවා ඇතිරූ ක්‍රමවේදයන් දියුණු විද්‍යාත්මක ඥානය හා සැසඳෙන්නේ කෙලෙසක දැයි අපි තවමත් සොයා බැලුවෙහිද? මහා බරක් සමසේ බෙදීයාමට මෙම තහඩු යොදවන්නට ඇත. එසේම අකුණු විපත් ආදිය වළකාලීමටද මෙම ලෝහයන් ප්‍රයෝජනවත් වීමට පුළුවන. අප නොදත් විද්‍යාත්මක පදනමක මහා රහස් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියා වීමට ද පුළුවන. මෙම මහා කර්මාන්තයේ ඉංජිනේරු අධීක්‍ෂණ කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ ඉන්ද්‍ර ගුප්ත නම් භික්‍ෂූන් වහන්සේ නමක් බව සඳහන් වේ. රහතන් වහන්සේලාගෙන් අනූන වූ එම යුගයේ මෙම විද්‍යාඥානයට මහා රහස් බලයක් ද සම්මිශ්‍රණය වූවා දැයි සිතට සැකයක් උපදියි.

    මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ.

    ව්‍යාකූලත්වයට පත් දුටුගැමුණු රජතුමා මෙසේ වන්නේ ඇයි දැයි අසූ දහසක් මහ රහතන් වහන්සේ ගෙන්වා විචාල විට රහතන් වහන්සේලා පැවසුවේ අති මහත් විනාශයකදී වුව මෙම මහා සෑය ස්ථිර ලෙසම පැවැතිය යුතු වූ නිසා එසේ වූ බවය. ලෝක විනාශයකදී පවා මහා මේරුවක් සේ විනාශ නොවී පවතින එකම ස්ථානය රුවන්වැලි මහා සෑය යැයි තැනක සඳහන් වන්නේ මෙහි පදනමේ ඇති මහා සවි බලයේ තරම කියා පෑමට විය හැක.

    මහා සෑයේ මංගල ගඩොල අති උත්සවශ්‍රීයෙන් පිහිටුවන ලද අවස්ථාවට ආශීර්වාද පිණිස විදේශයන්හි ලක්‍ෂ ගණනක් රහතන් වහන්සේ වැඩිය බවක් ද කියැවෙයි. එසේම මෙම ස්තූප කර්මාන්තයේ තවත් විශේෂයක් වන්නේ මේ වෙනුවෙන් ශ්‍රමය, බුද්ධිය වැය කළ සෑම ශිල්පියකු වෙනුවෙන්ම රජතුමා වැටුප් ගෙවීමය.

    ඒ පිළිබඳව මහා වංශයේ සඳහන් වන්නේ මෙසේ ය. ‘මෙහි නොමිලයේ වැඩ නොකටයුතු යැයි රජතුමා දැන් වූ සේක. එක එක දොරටුවෙහි සොළොස් ලක්‍ෂය බැගින් කහවණු ද ඛාද්‍ය භෝජ්‍යයන්ද පාන වර්ග ද සුවඳ මල්, උක්සකුරු ආදිය ද තබ්බවා රිසි වූ පරිද්දෙන් කර්මාන්තය කොට ඒ දෙය රිසි සේ ගනිත්වා යි නියම කළේ ය’. මෙයින් හැඟෙන්නේ සුළු කම්කරුවකු පවා සතුටු සිතින් මේ මහා පුණ්‍යකර්මයට සම්බන්ධ කර ගැනීමට රජතුමා අපේක්‍ෂා කළ බවය. සුළු සේවකයකුගේ පවා සිත් නොරිදවා ඉතා සතුටින් මෙම විශ්මිත ඉදිකිරීමට දායක කර ගැනීමට ලැබීමෙන් මෙම මහා ස්තූපයේ පූජනීයත්වයට ශ්‍රමයක දහදියේ බලයද එකතු වී ඇති සෙයකි.

    අදත් සැදැහැති බෞද්ධ ජනතාව රුවන්වැලි මහා ස්තූපය වෙතට පැමිණෙන්නේ මහත් වූ සද්ධා සම්ප්‍රයුක්ත ගෞරවයක් සිත්හි දරා ගනිමින් සියලු විපත් දුරු වේවායි දැඩි අපේක්‍ෂාවෙනි. කිසිවකුත් පීඩාවට පත් නොකරමින් හෘදයාංගව බැඳුණු පිවිතුරු චේතනාවන් පෙරදැරිව කළ මේ උතුම් මහා පූජාවට දෙවිදේවතාවුන්ගේ මෙන්ම මහ රහතන් වහන්සේලාගේ ද ආශීර්වාදය ලැබුණු බව සඳහන් වෙයි.

    නැවතත් කිසිදු දිනක එකම ස්ථානයකදී මෙවන් වූ අසිරිමත් අභිමානවත් මහා බලයක් නිර්මාණය වන්නට ඉඩක් නොමැත. රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී පෙර නොවිඳි අපමන සුවයක්, සැනසීමක් හිතට දැනෙන්නේ එය වටා ගොනුව ඇති මහා බල ශක්තියක උණුසුම අපගේ ලේ ධාතුව හරහා ගමන් කිරීමට තරම් බලයක් මේ
    විශ්මිත වූද සදැහැති වූ ද බලගතු ‘මහා සෑය’ මත අදටත් නොනැසී පවතින නිසා